තොරතුරු යුගය: පුලස්ති ට ඌන පූරණයක්

මෙම ලිපිය සුජීව කොකාවල ගේ බ්ලොග් අඩවියෙහි පලවූ ලිපියක පරිවර්තනයකි. අවසර ඇතිව පරිවර්තනය කරන ලද්දේ බ්ලොග් අවකාශය සහ තොරතුරු යුගය ගැන මතුවූ සංවාදයකට ඌන පූරණයක් ලෙසටය.

අනුන්ගේ කතා බහට ඇහුම්කන් දීම වැරදි පුරුද්දකි. ඒ කොහොම වෙතත් සමහර අවස්ථාවල දී එසේ කරන්නට පෙළඹෙන අවස්ථා නැතුව නොවේ. ඔබ දොස්තර කෙනෙකු මුණ ගැසීමට කල් මරමින්, තවත් පිරිසක් මැද සිටින විටෙක එවැනි අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත. එහිදී අනෙත් අයගේ කතා බහ අතරමැද තැනකදී ඔවුන් කියනා දේ ඔබේ සවනතේ ගැටෙනු ඇත.

‍‍‍‍‍‍‍‍++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

“ආතර් සී කලාක් මධ්‍යස්ථානයේ” එකෙක් කීවේය.

“ඇත්තට? ඒ කොහෙද?” අනෙකා අසයි.

“ආ ඒක ඔය කටුබැද්ද පැත්තෙ තියෙන්නෙ” ඒ තෙවැන්නාය.

මේ මොහොත වෙනවිට මගේ පිටිපස ඉඳගෙන සිටින්නේ කවුදැයි මට මෙලෝ මලදානයක හැඟීමක් නොවීය. කොහොම වුනත් ආවේ නම් පිරිමි කට හඬවල් තුනකි. ඔවුන් තරුණ හෝ මැද වයසේ සිටින්නවුන් විය හැක. ඔවුන් සිටියේ මගේ පිටිපස පේලියෙහි ය. හැබැයි ඒ කතාවට හොරෙන් සවන්දිමේ ආසාවක් නම් මට තිබුනේම නැත.

“කවුද දැන් ඒකෙ ලොක්කා?”

“……… ………… , එයා ආතර් සී. කලාක් ඉන්න කොටත් එතන හිටියනෙ”

“සිරාවට? මිනිහා ළඟදි මලා නේද?”

“ඔව්, ඔව්. හැබැයි ඉතිං හොඳට ඉගෙන ගෙන තිබ්බට වැඩක් නෑ, මැරෙන කොටත් කලාක් කෙනෙක් නෙ. හෙ හෙ හෙ ”

අනිත් එකාට clarke සහ clerk අතර වචන හරඹයවත් , විහිලුව වත් තේරුනෙ නැත.

“මම දැනගෙන හිටියෙ නෑ නෙ” ඔහු බොහොම සීරියස් මූඩ් එකකින් කියයි.

“ඇත්තටම බං, ඌ කලාක් (ලිපිකාරයා) කෙනෙක් ද? ” කතාව පටලවා ගත් අනිකාත් අසයි.

“නෑ නෑ බං, ඌ ඔය විද්‍යා ප්‍රබන්ධ ද මොනාද ලියපු එකෙක් නෙ” තරමක් දත් එකා කියයි.

“මිනිහා නේද මචං ඉන්ටර්නෙට් හොයා ගත්තෙ? ”
තවකෙක් අසයි.

“නෑ බං, ඉන්ටනෙට් නෙමෙයි. චන්ද්‍රිකා හොයා ගත්තෙ ඌ”

“ඒක තමයි යකෝ, ඒ කියන්නෙ ඉන්ටනෙට් එකත් එක්ක තමයි” වාද කරන එකා තම මතය ආරක්ෂා කරයි.

“ඕකා ඇමරිකන් කාරයෙක් නේද?”

“නෑ ඔස්ට්‍රේලින් බං”

“පිස්සුද? ඕකා ඇමරිකන් තමයි. නැත්තං උගෙ වැඩ ගැන ඔච්චර ප්‍රසිද්ධ කරන්නෙ නෑ නෙ. උංගෙ මිනිහනෙ ”

දැං නං මට ඉන්නම බැරිය. පිටිපස්ස හැරී මේ සෙට් එකේ මූණ බලා ගන්නට බැරිව කසනවා වගේ දැනෙයි. ඒ වුනත් මම පිටිපස්ස හැරී බැලූවිට ඔවුන් කතාව නවත්තන්නට හෝ මගෙන් මොකද අසන්නට ඉඩ ඇති නිසා ඒ විදිහටම ඉන්නට තීරණය කලෙමි. කතාව දිගටම ගලා යයි.

“මට මතකයි ඔය කතා ටික. 2001, 2010 යි තව 2035 ද කොහද. මම දැකලා තියෙනවා ඔය පොත්.” එකෙකුට පොත් ගැන මතකය.

දැකලා ඇතකියවලා නැත. ඒත් කමක් නෑ 2035?????? “යකෝ තොට වෙනම ලියල දුන්නද 2035?” ප්‍රශ්නය මගේ හිතේ හිර කරගෙන සිටියෙමි.

“ඒකෙ ෆිල්ම් එකකුත් ආවා බං 1998 දි ද කොහෙද? මම බැලුවා”.

මම ආයෙත් කල්පනා කලෙමි. 1998 දී ආතර් සී. කලාක් චිත්‍රපටියක් ආපු බව නම් මතක නැත. ඒ වෙන මොකක් හෝ වෙන්නට ඇත.

“මිනිහා අනාවැකි කාරකයෙක් නෙ බං”.

“ඌට ඕන උනාලු 2000 අවුරුද්ද බලන්න ……….. ඉඳගෙන (මට ස්ථානයේ නම ඇසුනේ නැත) . එතන තනිකර විෂ බීජ හරණය කරපු තැනක් ලු. හුලං පවා ෆිල්ටර් කරලා තිබිලා තියෙන්නෙ, මිනිහා මැරෙයි කියලා බයට”.

දැන් පොඩි විරාමයකි.

“මිනිහා කියල තියෙනවලු මචං ඔය චන්ද්‍රිකා සේරම අන්තිමට උණවටුනට ඇවිත් කඩාගෙන වැටෙනව කියල” එකෙක් කියාගෙන යයි.

“ඒ මොකෝ?”.

“මං හරියට දන්නෙ නෑ. මොකක් හරි ඇති. මං හිතන්නෙ ඔතන ගුරුත්වාකර්ෂණය වැඩි ඇති. මොකද ඔතන තියෙන්නෙ බර්මියුඩා වල අනිත් පැත්තෙ ලු”.

“මොකද්ද ඒ?”.

“බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ භයානක තැනක්. එතන නැව් අතුරුදන් වෙනවලු, ප්ලේන් කඩාගෙන වුටෙනවලු. එක එක සීන්”.

“දැන් ඒ හරියෙන් මුකුත් යන්නෙ නෑ” මහදැනමුත්තා සනාථ කරයි.

“ඇප නෑ”.

“ඒක හොයාගත්ත ගමන් එතන උඩින් යන එක නවත්තලා”.

බර්මියුඩා ත්‍රිකෝණය ඇතුලේ රටවල් ඇත. අපොයි දෙවියනේ.

“මොකද වෙන්නෙ එතන?”.

“පරණ කතාවක් තියෙනවා. ඉස්සර එහෙ මිනිස්සු ඉඳලා තියෙනවා ලු. පිටසක්වලින් ඇවිත් ඒ නගරෙ විනාස කරලා, දූපත මූදෙ ගිල්ලවලා දාලා. ඒ හිටපු මිනිස්සු ඔය කාන්දම් බලෙන් එක එක ඒවා කරපු උන් ලු. ඉතින් ඒ හරියෙ තාමත් කාන්දම් බලපෑම වැඩි ලු”.

“හැබැයි අපි ඉන්නෙ ලෝකෙ හරිටය අනිත් පැත්තෙ. අපිට බලපෑම අඩුයි”.

“ඒකද බං අපේ මිනිස්සුන්ගෙ මොළේ වැඩී කියන්නෙ?”.

“ඔව්. ඒකනෙ බං කොච්චර උනත් අපිට හැම වෙලේම හොඳ නායකයෙක් එන්නෙ. ඉඳලා හිටලා චාටර් වුනාට, හැම වෙලේම කෙළ වෙන්නෙ නෑ. අනික ඔය අනං මනං ස්වාභාවික කරදර අඩුයිනෙ”.

ආයෙ විරාමයකි. හරියට ඔවුන් තනාගත් බර්මියුඩා කතන්දරය ඇතුලේ ඔවුන් ගිලී ගියා මෙනි.

“ආතර් සී කලාක් කියලා තියෙනවා 2050 වෙනකොට ලෝකේ ඔක්කොම බුද්ධාගම අදහනවා කියල. මොකද ඒක විතරනෙ එකම විද්‍යාත්මක ආගම”. ඔහු තවත් කලාක් පතුරු ගසයි.

“සිරාවට?”

“ඔව්. ඒ වුනාට උං ඕක එළියෙ කියන්නෙ නෑ බං , හංගගෙන ඉන්නෙ”.

“හ්ම්”.

“ක්‍රිස්තියානි උං එහෙම්මම තමයි”.

“ඔය කියන්නෙ බං ජේසු කියන්නෙත් බුද්ධාගම දන්න කෙනෙක් කියලා”.

“ඔව් බං, ඉන්දියාවෙ හිටියලු”.

“කාශ්මීරේ ද?”.

“නෑ. නේපාලෙ”.

“නෑ යකෝ. කාශ්මීරේ තමයි”.

“මං කියෙව්වා ඔය සීන් එක හොඳට. බුදු හාමුදුරුවො ඉපදුනේ , ජේසු ට අවුරුදු 500 කට කලින්. එතකොට ජේසු ගෙ කාලෙ තමයි අසෝක රජතුමා හිටියෙ. එයා තමයි පළවෙන් ධර්ම සංගායනාව කලේ”.

බුදුන් සිටියේ ක්‍රිස්තු පූර්ව හත්වැනි/හයවැනි සියවසේය. අනික අසෝක රජු හිටියේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවෙහිය. අනික ඔහු සංවිධානය කලේ පළවැනි ධර්ම සංඝායනාව නොවේ.

කොහොම වුනත් ….

“උඹට සුවර් ද? ඒ පළවෙනි එක කියලා”.

“නෑ නෙ බං. පළවෙන් එක තිබ්බෙ බුදු හාමුදුරුවො පිරිණිවන් පාපු හැටියෙම”.

“එහෙනං දෙක වෙන්න ඇති”.

“දෙකත් නෙවයි, තුනත් නෙවයි. ඕක හතර තමයි”.

“ඕනෙ මඟුලක්”.

“එතකොට අසෝක රජතුමා හිටියෙ ජේසු ගෙ කාලෙ?”.

“පොඩ්ඩක් හිටපං. දේවානම් පිය තිස්ස රජතුමා හිටියෙත් ඒ කාලෙ තමයි”.

“ආ ඔව් ඔව්”.

“ඒ වුනාට මචං , කතාව තියෙන්නෙ බුතු හාමුදුරුවො පිරිණිවන් පාපු දවසට පස්සෙ දවසෙ විජය කුමාරයා ලංකාවට ආවා කියලනෙ. දේවානම් පිය තිස්ස රජ වුනේ ඊට අවුරුදු 100 කට විතර පස්සෙ”.

“මං දන්නෙ නෑ ඕයි, කොහොම හරි අසෝක ජීවත් වෙලා තියෙන්නෙ ජේසු ගෙ කාලෙ”.

“වෙන්න බෑ”.

“අසෝක ජීවත්වුනේ බුදු හාමුදුරුවන් ගෙන් අවුරුදු 100 කට පස්සෙ”.

“යනවා ඕයි යන්න, මට හෝඳටම සුවර් ජේසුයි අසෝක රජතුමයි හිටියෙ එක කාලෙ හිටිය කියල. අසෝක රජතුමා තමයි ජේසු තුමාට බුද්ධාගම තේරුම් කලේ”.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඊට පස්සෙ කතාව මොන පැත්තට ඇඳුනාද දන්නෙ නැත. ජේසු තුමා විවාහක බවත්, බුදුන් මෙරටෙහි උපන් බවත් , පිටසක්වල ජීවින් මානව ශිෂ්ඨාචාරය ඇති කල බවත්, මිනිසා සඳ මත කිසි දින පා නොතැබූ බවත්, ඉන්දියානුවන් සතුව රසදිය එන්ජින් සතු බවත් (නැත නැත ඒ අපේ රටය) , රාවණා රජු හා ඔහුගේ ගුවන් යානා ගැනත් , 2012 ලෝඛ විනාශය ආදී එකී නෙකී බොහෝ දේ ගැන කතා වන්නට ඇත. අවාසනාවක මහත, මගේ මේ ඉතා වටිනා අධ්‍යාපන සැසිය නිමා වන්නට පෙර හෙදියක් මගේ වාරය එළඹ ඇති බව නිවේදනය කලාය. මට යන්නට සිදුවිය. මම යන අතරතුර මෙතෙක් වෙලා ඉවසාගත නොහැකිව සිටි දෙය වූ ඔවුන්ගේ මුහුණු දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර ගත්තෙමි. ඔවුන් වෘත්තියෙන් මෙඩිකල් රෙප් ලාය. ඔවුන් කවුද යන්න මෙහි වැදගත් නොවේ. අද යුගයේ තේරුමකින් තොරව තොරතුරු සොයන කවුරුන් හෝ විය හැක.

මම නැවත සිතා බැලුවෙමි. අපි වැඩුන යුගයේ තිබුණේ රේඩියෝව සහ පත්තර පමණි. කලු-සුදු රූපවාහිනිය ආවේ මගේ ගැටවර සමයේ දීය. අපිට පෙර යුගයේ රේඩියෝ තිබුනේද නැත. එහෙත් පෘථිවිය බොහොම අපූරුවට භ්‍රමණය වුණි. අද අපි ජීවත් වනුයේ තොරතුරු යගයේ උච්චතම වකවානුවකය. රූප පෙට්ටියේ නාලිකා දුසිම් ගණනින් ද, සැටලයිට් සබඳතා හරහා ඩිස්කවරි ආදී එකී මෙකී නොකී හැට හුටාහමාරක් දේ ද , පත්තර ද ඇත. හැම ගෙදරකම වාගේ අන්තර්ජාලය ඇත. ගූගල්, විකිපීඩියා ඇත. මේ අප බලාපොරොත්තු වූ ඉලක්කය ද? මේ විශාල තොරතුරු යුගය ග්‍රහණය කර ගැනීමට තරම් අපේ සමාජය පරිණත ද?

අවාසනාවකට වගේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට මේ ඉහත කී සියලු මාද්‍ය දායක වන නමුත් , ඒ හා සමානවම හෝ ඊට වඩා වැරදි තොරතුරු මෙහි අඩංගු වෙයි. අපි එය දැනට අව තොරතුරු යැයි නම් කරමු. අව තොරතුරු හොඳට ලුණූ ඇඹුල් එකතු කර ඉතා ලෙහෙසියෙන් ගිල්ලවීමට හැකි පරිදි මනාව සකසා ඇත. මේවා හිතා මතා හැකි තරම් ප්‍රචාරය කර පැතිරවීමේ අරමුණ ඇතිව බෙදා හරියි. මේවා ගිලින පිරිසද වැඩිය. මෙවැනි අව තොරතුරු රැගත් ඊ මේල අපට දිනකට කොපමණ ලැබෙනවා ද?. අද පුවත්පත් “අන්තර්ජාලය ඇසුරෙනි” කියා කොපමණ වැරදි පුවත් පල කරනවාද? අවර ගණයේ දේශපාලන හා වාණිජ අරමුණු රැගත් ක්‍රියාදාම හරහා කොතරම් අව තොරතුරු සමාජ ගත කරනවා ද?.

තොරතුරු යුගයේ හොඳක් වනුයේ බුද්ධිමත් කොටසකට පමණක් සීමාවුණු, ඔවුනට පමණක් උරුම වූ යැයි සැලකුණු දේ සමාජ ගත වීමයි. අද කොල්ලයි බල්ලයි සියලු දෙනාම හැම දේම ගැණම දැනුවත්ය. ඔවුහු නැපෝලියන් ගැනද , ස්ට්‍රින්ග් තියරි, ක්වේසාර හෝ පල්සාර ගැන දනිති. නමුත් ඉස්සර නම් පිළිගත්තේ දැනුවත් මත පමණි. එලෙසම ඒ යුගයේ අප කියූ අනෙක් කොල්ලන් හා බල්ලන් ගේ මත ඔවුන්ගේ ලෝක ඇතුලේ නිර්වචනය කරගත් කුණු ගොඩකට වඩා එහා යමක් වූයේ නැත.

ඉස්සර හිටි ජනමාධ්‍යවේදියෝ කට හැකර කම ආභරණයක් කර නොගත් උගත් , බුද්ධිමත් අය වූහ. නමුත් පින්සිදු වන්නට අන්තර්ජාලය නැමති කතා පෙට්ටිය අද කාලයේ කුඩා මොළ සහ බෝක්කු කටවල් වලට අවශ්‍ය ඕනෑම කුණු ගොඩක් සපයයි. මාධ්‍යවේදය බල්ලන්ට ගිය යුගයක තාර්කික භාවයකින් තොර දැනුම සමාජ ගත වීම හරහා මාධ්‍ය වේදයත්, සමාජයත් පහත හෙලයි.

අප තවමත් එහි ප්‍රථිපල නියමාකාරයෙන් දැක නැත. තවමත් අපට පොඩි මහන්සියකින් නිවැරදි තොරතුරු සොයා ගත හැක. මන්ද තවමත් අපට හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාව ඇති නිසාය. නමුත් එයත් ක්‍රමක්‍රමයෙන් නැතිව යනු ඇත. විශේෂයෙන්ම තොරතුරු යුගයට පෙර සිටි සහ සාම්ප්‍රදායික මිනිසුන් නැතිවූ විට තාර්කික අතිර්කික භාවය පිළිබඳ හැඟීම නැතිව යනු ඇත. අද අප ඉදිරියේ ඇත්තේ තත්ව තුනකි. එනම් නොදැන සිටීම, දැන සිටීම සහ වැරදි දේ දැන සිටීම යන්නයි. හෙට දවසේ දී ඉහත කී අවසාන දෙක එකට එකතු වී අච්චාරුවක් බවට පත්වනු ඇත. නොදැන සිටීම යනු තව දුරටත් විස්තර කිරීමට නොහැකි දෙයක් වනු ඇත.

මේ තොරතුරු යුගයේ අපි ළඟා වීමට අපේක්ෂා කරන හිණි පෙත්තද? තාර්කිකව සිතීම අතුරුදන්වන යුගයද මේ?

[ඉහත සංවාදය සත්‍ය එකකි. යම් යම් දේ එහෙ මෙහෙ වුවත් අන්තර්ගතය වෙනස් වී නැත.]

Advertisements