අපි නොදන්න චෙස්

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් නම වන සටහන. ගිය සතියෙත් සටහන ලියන් හම්බ වුනේ නෑ. තාමත් එක දිගට ලියන්න හම්බ වුනේ නෑ වෙනද වගෙ. බ්ලොග් ලියවිල්ල පටන් අරගෙන අවුරුද්දකට වැඩි කාලයක් ගතවුන එකත් මතක් වුනා මේ අස්සෙ. ඒක ගැන නම් වෙනම සටහනක් ලියන්න වෙනවා. ඒක මැරතන් එක දවසෙම ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. ඒ අතරෙ ජීවිතෙ වෙනස්කම් පවා සිද්ධ වුනා.  🙂 ඒක නිසා ටිකක් කාර්ය බහුලයි. එහෙම නම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

අන්තිම ලිපියෙ මම කිව්වනෙ “තාප්පෙ අයිනෙ” සෙල්ලම කරපු හැටි. ඇත්තටම ඔය ක්‍රීඩාවේ තිබ්බ සමහර නීති ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුලත් කරල තියෙනවා. ඔය එක සටහනක් ලියනකොට තවත් ගොඩක් දේවල් මතක් වෙනවා. හැබැයි ගොඩක්  ඒවා මතක් වෙන්නෙ අපිළිවෙලට. සේරම කල්පනාවල් අස්සෙ අපිට තිබ්බ තවත් පිස්සුවක් මතක් වුනා. ඒක තිබුනෙ අපි හතේ අටේ පන්තිවල ඉන්න කොට.  ඒ තමයි චෙස් ඇදීමේ පිස්සුව. චෙස් කියන්නෙ මොළයට ඉතාම හොඳ අභ්‍යාසයක් නම් තමයි. ඒ වුනාට අපි ඒකට ඇබ්බැහි වෙලා හිටියා ඉස්කෝලෙ යන දවස් වල. හැබැයි චෙස් ක්‍රීඩාව ගැන පොඩි පන්තිවල ඉන්නකොට මට උනන්දුවක් තිබුනෙම නෑ. මොකද අපි හිටපු ඉස්කෝලෙ ඔය වගේ ක්‍රීඩා පහසුකම් තිබුනෙ නැති නිසා. ඇත්තටම මම දැන ගෙන හිටියෙ දාම් අදින හැටි විතරයි. ඒක නම් මට මහ කම්මැලි සෙල්ලමක්. කොහොම හරි අලුත් ඉස්කෝලෙට ආවට පස්සෙ තමයි මම චෙස් අදින ලෑල්ලක් ඉස්සෙල්ලම දැක්කෙ.

කොහොමහරි ඉතින් චෙස් ලෑල්ලක් දැක්කෙත් ඔය ඉස්කෝලෙදි නිසා මට මෙලෝ හසරක තේරුමක් තිබුනෙ නෑ මොකද්දද මේ සෙල්ලම කියන එක ගැන. ඒක නිසා මම මුලින්ම කලේ සෙල්ලම කරන හැටි ගැන බලා ඉන්න එක. මුලදි නම් මට මේ සෙල්ලම හරි විකාර වුනා. මොකද ඉත්තන්ගෙ හැඩය හරි වෙනස්. එක එක ඉත්තො අදින හැටිත් වෙනස්. ඒක නිසාම මට මොකද්දො අපූරු ගතියකුත් දැනුනා.ඔහොම ඉතින් බලාගෙන ඉන්න කොට මටත් ඔය සෙල්ලම කරන්න ආසාවක් ඇතිවුනා. ඊට පස්සෙ තමයි සෙල්ලමේ නීති රීති අහගෙන චෙස් ගැහිල්ල පටන්න ගත්තෙ. ඒ කාලෙ වෙනකොට අපේ පන්ති වල චෙස් ක්‍රීඩාවෙ කප්පිත්තො තමයි හිටියෙ. ඒක නිසා මටත් සිද්ධ වුනේ ඔය කප්පිත්තො එක්ක තමයි මුලින්ම සෙල්ලම් කරන්න. ඉතින් මුල දවස් වල මට දිගටම අත් වුනේ පරාජය තමයි. කොයි තරම් පැරදුනාද කියනවනම් එක ළමයෙක් එක්ක මම එක දිගට තරඟ තිස් පහක් පැරදුනා. තිස් හයවන තරඟය තමයි මුල් වතාවට ජයග්‍රහණය කලේ. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ මගෙ දක්ෂතාවය. මාව පරද්දපු ළමයා දැන් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. මිනිහට සමහර විට මතක නැතුව ඇති ඔය සිද්ධිය.

සාමාන්‍යයෙන් බෝල ගහන්නෙ විවේක කාලයෙ දි වුනත් චෙස් ඇදිල්ල කරන්නෙ පන්තිය වෙලාවෙදි තමයි. ඒකට හේතුව ඒක පිස්සුවක් තරමට අපි ඇබ්බැහි වෙලා හිටපු එක. මේ සෙල්ලමට ඕන චෙස් ලෑලි අරගෙන එන්නෙ ළමයි තමයි. සමහර ළමයි ගාව තම තමුන්ට අයිති චෙස් ලෑලි තිබුනැ. මේවා අර කාන්දම් පිටිපස්සෙ තියෙන ඉත්තො සහිත ලෑලි. ඒක නිසා ඉත්තො ලිස්සල අහකට වැටෙන්නෙ නෑ. ඉතින් මේ චෙස් ලෑල්ල ඉස්කෝලෙට අරගෙන එන එක ළමයි නොවරදීම කරන දෙයක්. සමහර වෙලාවට පොතක් පතක් ගෙදර දාලා ආවත් චෙස් ලෑල්ල අරගෙන එන එක නම් කට්ටිය අමතක කරන්නෙ නෑ. ඉතින් මොකක් හරි ඉස්පාසුවක් ලැබුනු ගමන්ම අපි කරන්නෙ චෙස් ලෑල්ල අරගෙන සෙල්ලම කරන්න පටන් ගන්න එක.

මේක අපි වෙලාවක් අවේලාවක් නැතුව කලාද කියනවනම් පන්තියෙ උගන්නන වෙලාවට පවා අපි හිටියෙ චෙස් අදින සිහියෙන්. ඒක නිසා  ළඟ ඉන්න ළමයා එක්ක චෙස් තරඟයක් සෙල්ලම් කරන්න අපි පසුබට වුනේ නෑ. ගොඩක් වෙලාවට අපිට තිබුනෙ ඩෙස් වල යටින් පොත් පත් තියා ගන්නත් කොටසක් තිබුන නිසා වැඩේ ලේසි වුනා. ඒක නිසා අපි කලේ පාඩම අහගෙන ඉන්න ගමන් චෙස් ඇදපු එක. හැබැයි ඉතින් ඔය වැඩේ උගන්නපු ගුරුතුමාට එහෙම  අහුවුනු අවස්ථාවල් තිබුනා. ඒ වෙලාවට ඉතින් දඬුවම් එහෙම ලැබෙනවා. සමහර වෙලාවට චෙස් ලෑල්ල රාජ සන්තක කරන අවස්ථා තිබුනා. එහෙම වුනොත් යාදිනි කියල කියල වැඩේ බේර ගන්න එක තමයි කරන්නෙ . හැබැයි අපි ළඟ තිබ්බෙ වෙන කාගෙන් හරි චෙස් ලෑල්ලක් නම් ඒකෙ අයිතිකාරයගෙනුත් හොඳට බැණුම් අහගන්න සිද්ධ වෙනව. අර කතාවට කියනවනෙ කිඹුල කන එක ඉවසන්න පුලුවන් කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි කියල.

ඔය විදිහට චෙස් ඇදල ටික කාලයක් යන කොට මට හෙමිහිට යම් මට්ටමකට එන්න පුලුවන් වුනා. හැබැයි ඒකට සෑහෙන කාලයක් ගතවුනා. මමත් හැබැයි කොච්චර පැරදුනත් උත්සහ කරන එකත් අත ඇරියෙ නෑ. හැබැයි ඉතින් එහෙම කලා කියල අති දක්ෂ මට්ටමේ ක්‍රීඩකයෙක් නම් වුනේ නෑ කවදාවත්. ඒත් මම ගොඩක් විනෝද වුනා සෙල්ලමෙන්.  ඔයින් මෙයින් සෙල්ලමට හිත ඇදිල ගිය නිසා අපේ ඉස්කෝලෙ චෙස් පුහුණුවීම් වලට සහභාගි වෙන්න ආසාවක් ඇති වුනා මට. අන්තිමේ දි අපේ අම්මට කරතර කරල හතේ පන්තියෙ හරි අටේ පන්තියෙ හරි ඉන්නකොට මම චෙස් පුහුණුවීම් වලට ගියා. මට ඇත්තටම මතක නෑ හරියටම කොයි වයසෙද හිටියෙ කියල. කොහොම හරි හවස දෙකහ මාරේ විතර ඉඳන් පැය දෙකක් විතර පුහුණුවිම් කලා. ඒක මටත් ලොකු සතුටක් වුනා ඒ කාලෙ. ඒ පුහුණුවීම් වලට යනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරපු චෙස් ලෑලි වල නෙවෙයි සෙල්ලම් කලේ. අපිට ලැබුනෙ ලොකු ලී වලින් හදපු ලෑලි සහ ඉත්තො. ඒවයින් සෙල්ලම් කරපු එකත් හරි ආස හිතෙන වැඩක්. ඔහොම ඉතින් ටික දවසක් යනකොට පුහුණුවම් වලට යන එක බග ඇරුණා. ඒකට විශේෂ හේතුවක් තිබුනෙ නම් නෑ.

මුල දවස් වල චෙස් තරඟයක් වාර්තා කරන හැටි එහෙම ඉගෙන ගත්තා. නමුත් ටිකෙන් ටික හවස නවතින වැඩේට කම්මැලි හිතුන නිසා අල්ලල දැම්මා. ඒ දවස් වල හරි ආසාවක් තිබුනා හැබැයි මට ම කියල චෙස් ලෑල්ලක් මිලදී ගන්න. ඒ වුනාට ඉතින් වැඩිය කරදර කරන්න බැරි නිසා මම ඉල්ලන්න ගියෙ නෑ ගෙදරින්. අනික අපි ආව ගිය පාසල් වෑන් එකේ චෙස් ගහන්න ආස ළමයි හිටියෙත් නෑ. ඒ නිසා චෙස් ලෑල්ලක හිමි කාරයෙක් වෙන ආසාව ටිකක් යටපත් වෙලා ගියා. ඔය සෙල්ලම කරද්දි අපිට තරහ යම කාරනා එහෙම තිබුනා. එකක් තමයි බලාගෙන හිටපු ළමයි තමන්ගෙ අදහස් ප්‍රකාශ කරම එක. සමහරු තමන්ගෙ දැනුම ප්‍රදර්ශනය කරන්න ඊළඟට කරන්න ඕනේ දේ කියනවා. එහෙමත් නැත්තම් මොකක් හරි කියල ඔලුව අවුල් කරල දානවා. ඒ වෙලාවට ඉතින් යක්ෂාරූඪ වෙනවා අපිට. සමහර වෙලාවට එහෙම කරන්නෙ චෙස් ලැල්ලෙ අයිති කාරයා නිසා කට පියාගෙන ඉන්න සිද්ධ වෙනව. මොකද වවුලගෙ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න සිද්ධ වෙන නිසා. අනිත් වැඩේ තමයි සමහරු එක්ක තරඟ කරන කොට පැය ගානක් යන එක. ඒකට හේතුව ඒ අය එක ඉත්තෙක් අදින්න කලින් සෑහෙන වෙලාවක් කල්පනා කරන එක. චෙස් සෙල්ලමේ   කාලය මණින යන්තර පාවිච්චි කලත් අපි ලඟ ඒවා තිබුනෙ නැති නිසා අනිත් ලමය අදිනකම් ඉවසගෙන ඉන්න වෙනවා. මේ බලාගෙන ඉන්න එක එපා වුනා සමහර වෙලාවට.

ඔය පිස්සුව ඉතින් අපි නවයෙ පන්තියට එනකම් වගේම තිබුනා. හැබැයි ටික ටික ඒ ආසාවත් නැතිවෙලා යන්න ගත්තා. පස්සෙ කාලවල පරිගණකයත් එක්ක චෙස් සෙල්ලලමේ යෙදුනත් ඒ කාලේ වගේ ආස්වාදයක් දැනුනෙ නෑ. දැන්නම් මතක ඇති කාලෙකින් චෙස් අදින්න ලැබුනෙ නෑ. සෙල්ලමට ආස කෙනෙක් මුණ ගැහෙනවත් බොහොම අඩුයි. අනිත් කාරණාව මේ එදිනෙදා වැඩ කටයුතු වල ඇලිල ගැලිල ඉන්නව මිසක් අමතර දෙයක් ගැන අවධානය යොමු කරන්නෙ බොහොම කලාතුරකින් වීම.  ගොඩක් වෙලාවට පොඩි කාලෙ හරිම ආසාවෙන් උනන්දුවෙන් කරපු දේවල් දැන් මග ඇරිල ගිහිල්ලා. ඒවා අතර ගොඩක් හොඳ දේවල් පවා තියෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ හැටි. එහෙමනම් ඉතින් මෙ සතියෙ සටහන නිමා කරනවා. ලබන සතියෙ නැවත හමුවෙමු.

බෝල ගැහිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හත් වන සටහන. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබිල තිබුනා. ඒ කරපු වැඩේ නම් ඉතින් මොනව වුනත් අනුමත කරන්න බැරි වැඩක්. මොකද අපි විනෝද වෙන්න අනිත් මිනිස්සුන්ට වද දෙන එක ඒ තරම් හොඳ වැඩක් නොවන නිසා. එහෙමනම් ඉතින් මේ සියෙ සටහන මෙතන සිට ආරම්භ කරනවා.

ඉස්කෝලෙ යන කාලෙ ගිය විනෝද චාරිකා නම් හොඳට මතකයෙ තියෙනවා. ඒවට මුල කාලේ කියන්නෙ අධ්‍යාපන චාරිකා කියලනෙ. මට මතක තියෙන පලවෙනි චාරිකාව ගියෙ මම හතරෙ හරි තුනේ පන්තියෙ හරි ඉන්න කොට. එතකොට මම ඉගෙන ගත්තෙ බප/කඩ බැප්ටිස්ට් විද්‍යාලයෙ. කොහොම හරි අපේ අධ්‍යාපන චාරිකාව ගියේ කොළඹ ට. කොහොම හරි ලොකු බස් එකක් එකක් අරගෙන තුනේ පන්තියෙ ළමයි  ටික පටවගෙන ගමන පිටත් වුනා. මට මතක නෑ හරියටම තුනේ පන්තියෙ ළමයි විතරද ගමනට එක්ක ගෙන ගියෙ කියල. කොහොමටත් මුලු ඉස්කොලෙටම යන්න බස් තුනක් තිබ්බ නම් හොදටම ඇති. මොකද ඉස්කෝලෙ හිටිය ළමයි ගාන 250 යි. මම ශිෂ්‍යත්වෙ සමත් වෙලා ගියහම අපේ 6 වසර පන්ති වල විතරක් ළමයි පන්සීයකට වැඩිය හිටියා අලුත් ඉස්කෝලෙ. මාව නිකං කරකවල අත ඇරියා වගේ වුනා. කොහොම හරි ඉතින් අපේ නියමිත දවසෙ උදේම පිටත් වුනා. අපි මුලින්ම ගියේ ග්‍රහලෝකාගාරය බලන්න. මට නම් ඒක මැජික් වගෙ . මොකද ඒක ඇතුලෙ අඳුරු කරල, අහසෙ තාරකා ගමන් කරන හැටි පේනවා. එක එක ජාති ගොඩයි. මට හිතා ගන්න බැරිවුනා මේවා කොහොමද පෙන්නන්නෙ කියල. හැබැයි අපරාදෙ කියන්න බෑ එදා ඒ කියල දුන්න ඒවා මෙලෝ හසරක් මට එවෙලෙ තේරුණේ නෑ . ඒ වුනාට ඉතින් මම කට පියාගෙන ආවා.

ඊට පස්සෙ අපිව අරගෙන ගියෙ කෞතුකාගාරයට. ඒකෙත් තිබ්බ දේවල් දැකල පුදුම වුනා මිසක් මට ඒ හැටි දෙයක් තේරුනේ නෑ. හැබැයි එතන ඉඳගෙන තමයි අපි දවල්ට කෑවේ. ඒ අතරෙ ඉතින් කොළඹ වට පිට බලන එක තමයි වැඩේ වුනේ. හැබැයි මම ගියපු ආසම තැන වුනේ වරායට ගිය එක. අප නැව් තටාකයට ගිහින් විසාල නැවක් නවතතල තියෙනව බලාගෙන හිටියෙ කටවල් ඇරගෙන. කොහොම වුනත් කලින් අවසර අරගෙන තිබුනෙ නැති නිසා නැවකට ගොඩ වෙන්න බැරි වුනා. ඒක ගැන තමයි අපි වැඩියෙන්ම දුක් වුනේ. ඔය තැන් වල සවාරි ගහල හවස් වෙද්දි අපි ගෙවල් වලට ආවා. හැබැයි ඔය ගමනට අපේ තාත්තා සහභාගි වුනා. මොකද ගුරුවරුන්ටය අමතරව දෙමව්පියො කිහිප දෙනෙක් එක්ක ගෙන යන එක සිරිතක් වෙලා තිබුන නිසා. ඉතින් ගමන ගිහින් ඇවිත් තාත්තා ඇහුවා “කොහොමද ගමන ” කියල. මම කිව්වා ඉතින්  ග්‍රහලෝකාගාරය බලන්න ගියාට මට මෙලෝ මඟුලක් තේරුනේ නෑ කියල. ඒ පාර ඉතින් තාත්තා මොනවත් කියන්න ගියෙ නෑ. හැබැයි ලස්සන වැඩේ කියන්නෙ තුන වසරෙදි ගියාට පස්සෙ මම ග්‍රහලෝකාගාරයට ආයෙ අඩියක් වත් තියල නෑ. වරාය ගැනත් ඒ ටිකම තමයි. එකම එක වතාවක් කෞතුකාගාරයට ගියා කරන්න වැක් නැති වුන දවසක. මම දන්න තරමින් දැන් නම් ඉස්කෝල ළමයින්ට වත් වරාය නරඹන්න දෙන්නෙ නෑ ආරක්ෂක හේතු නිසා. ඒක නම් බොහොම කණගාටුවට කරුණක්. මොකද අපි හරියට විස්මයට පත් වෙච්ච තැනක් තමයි වරාය.

ඔය ගිය සතියෙ කිය කිය හිටපූ තක්කඩි කම් ගැන මතක් කරන කොට තව එක එක දේවල් මතක් වුනා. සමහර ඒවා දැන් මතක් වෙනකොට හිනා යනවා. මම කිව්වනෙ හය වසරට ගිය මුල්ම කාලෙ මම හිටියෙ අන්ද මන්ද වෙලා කියල. මොකද ඉස්කෝලෙ හරි විසාලයි. හය වසර පන්ති ඔක්කොම දා හතරක්ද කොහොදෙ තිබ්බා. මම හිටපු ඉස්කෝලෙ තිබුනෙ පන්ති දහයයි එකේ ඉඳන් පහ වෙනකම්ම. හැබැයි හය වසර පන්ති තිබුනෙ ටිකක් සිත් ගත්ත වටා පිටාවක. අපේ පන්ති කාමර වලට ඉස්සරකහ තමයි අති සුප්‍රසිද්ධ නව රඟහල තිබුනෙ. සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන ප්‍රසිද්ධ රංග පීඨයක් තමයි නව රඟහල. කොහොම හරි අපි හිටපු හය වසර පන්ති සහ නව රඟහල අතර තිබ්බා තීරුවක්. මේක අරලිය ගස් එහෙම වවල හොඳට හෙවන තියෙන තැනක්. විවේක කාලෙට සනීපෙට ඉන්න කියාපු තැන.කොහොම හරි අපේ ශිෂ්‍යයයො විවේක කාලෙදී සෙල්ලම් කරන්න යොදා ගත්තෙ ඔය තීරුව තමයි.

ඉතින් ඔය තීරුවෙ ක්‍රිකට් ගහන එක තමයි ප්‍රධාන වැඩේ. ළමයි බැට් , බෝල එහෙම ගෙවල් වලින් අරගෙන එනවා. මට ඉතින් ඒකත් මැජික් වගේ. මොකද බොහොම කලාතුරකින් තමයි අපි පොල් පිති වලින් හදපු පිත්තකින් ඇර වෙන පිත්තකින් සෙල්ලම් කලේ. මම ඉතින් මුල දවස් වල කලේ බලාගෙන හිටපු එක. වැරදිලාවත් සෙල්ලමට යන්න හිතුවෙ නෑ. ඔහොම ඉන්න කොට විවේක කාලෙ දී එක දවසක් මම කොහේ හරි පැත්තකට දුවන ගමන් ළමයි කට්ටියක් සෙල්ලම් කර කර හිටපු තීරුවක් මැදින් දුවන්න හැදුවා. එවෙලෙ පන්දුවට පහර දෙමින් හිටියෙ තඩි ඇඟක් තියෙන මගෙ වයසට සාපේක්ෂව වැඩුණු ශරීරයක් තිබුනු ළමයෙක්. මම කරපු ක්‍රියාවට කෝපයට පත් වුනු පාර එක පාරමට මාව ඇදල ගත්තා. ඇදල අරගෙන විතරක් නැවතුනේ නෑ. මගෙ කමිස කෙලවරෙන් අල්ලල උඩට උස්සල තර්ජනය කලා “මීට පස්සෙ මැදින් පැන්නනොත් බලා ගනිං” කියල. ඇත්තටම කියනවනං මාව පොළවෙන් අඟල් හය හතක් උඩට ඉස්සුනා. මම ත් ඉතින් බය වුනා මදි නොකියන්න. මොකද ඉස්කෝල වෙනසයි, විශාලත්වයයි හින්දා කොහොමටත් තෝන්තුවෙන් වගේ හිටපු කාලයක් ඒක. ඒ පාර මාව බිමින් තිබ්බා විතරයි මම පස්ස බලන්නෙත් නැතුව පැනල දිව්වා. ඔය ක්‍රියාව කරපු ළමයා ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍ර රත්නය. තමුන්ගෙ තාත්තගෙ අඩි පාරෙ ඒ පුතණ්ඩියත් පොඩි කාලේ ඉඳන්ම ගියා. හැබැයි නම ගම නම් පෞද්ගලිකව වත් අහන්න නම් එපා. මොකද නැත්තම් මට ත්‍රස්තවාදී ලේබලයක් ඇලවෙන්න ඉඩ තියෙනවා රටක් වටින ඇමතිතුමෙකුට , මේ වගේ රජය බරපතල යුද්ධයකට මුහුණ දීලා ඉන්න වෙලාවක අත්භූත චෝදනා එල්ල කරනවා කියල.

ඊට පස්සෙ ඉතින් සෙල්ලම් කරන්න හිතපු එකත් නැවැත්තුවා. හැබැයි හොඳ වෙලාවට ඒ කොලුවා හිටියෙ අපේ පන්තියෙ නෙවෙයි නිසා පන්තියෙ දි කරදරයක් එහෙම වුනේ නෑ. ඊට ටික කාලයක් ගියාට පස්සෙ තමයි මම ක්‍රිකට් ගැහිල්ලට එකතු වුනේ . ඒත් ඉතින් මුල දවස් වල අපිට හරි අමාරුයි පන්දුවට පහර දෙන්න්, බෝල දාන්න අවස්ථාවක් ඉල්ල ගන්න. ඒකට ඉතිං කං කෙඳිරි ගාන්න වෙනවා. කොහොම හරි ටිකක් කල් යන කොට ළමයි ඔක්කකොම වගේ අලුත් පරිසරයට හුරු වෙන්න පටන් ගත්තා . එතකොට තමයි අපේ කණිෂ්ඨ අංශයට වෙන් වුනු ක්‍රීඩා පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරන්න ගත්තෙ. ළමයි ඔක්කකොම වගේ යන කොට ඉතින් මමත් පස්සෙන් වැටිලා බය නැතුව ගියා. මම මේ කියන පිට්ටනියෙ තමයි මීට කලින් “මගේ සටහන” ක දි කියපු ලකුණු එකසිය අනූව ගහන්න ඉමංක හෙට්ටි ආරච්චි කියන සහෝදර ශිෂ්‍යයා සමත් වුනේ. මේ කොලුවා දැන් විවාහයක් එහෙම කරගෙන ඉන්නවා.  වැඩේ කියන්නෙ ක්‍රිකට් ගහන්න කට්ටිය ගන්න කොට දෙපැත්තට කට්ටිය එකොළහ ගානේ ඕන නිසා අපිව ක්‍රීඩාවට එකතු කර ගන්නවා. හැබැයි කවදාවත් හයේ පන්තියෙ ඉන්න කාලේ මට මතක විදිහට පන්දුවට පහර දෙන්න වත් , බෝල දාන්නවත් අවසාථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කණ්ඩායම් නායකයොත් හරියට අර දේශපාලකයො වගේ හැමදාම බොරු පොරොන්දු දෙනවා. හැබැයි ඉස්සෙල්ම පන්දු යවන්නෙත් , පහර දෙන්නෙත් ඒ අයම තමයි. අපි ඉතින් හැම දාම කලේ බෝල අහුලපු එක තමයි. ඔය සෙල්ලම හැමදාම කරන්න බැරි නිසා ටික දවසක් ක්‍රිකට් ගහන පැත්තට නොගිහිල්ලා ඉන්නවා. ඒත් ආයෙමත් අර කට්ටිය සෙල්ලම් කරනව දකින කොට යන්න හිතෙනවා. ගිහිල්ලා සුපුරුදු විදිහට පන්දු රැකීමෙන් විතරක් සැනසිලා පන්තියට එන එක තමයි කරන්නෙ.

එක අතකට සෙල්ලමේ දී අනිත් අය ගැන හිතන්නෙ නැතුව එහෙම කරන්න පුරුදු වුනේ පොඩි කාලේ ඉඳන්ම ගෙදර දි , ඉස්කෝලෙ දි ළමයින්ට ආත්මාර්ථ කාමී විදිහට හැසිරෙන්න උගන්නන හින්ද ද , එහෙමත් නැත්තනම් පොඩි කාලේ ළමා ගතියද කියන එක නම් හරි ප්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ පලවෙනි කාරණාව කියල. ඒ කාරණාව හිතේ තියාගෙන මේ සතියෙ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමු වෙමු.

ජල සංග්‍රාමය

ගොඩ කාලෙකට පස්සෙ ලිව්ව  “මගේ සටහන” ට ප්‍රතිචාර නම් ලැබිල තිබුනා ගිය සතියෙ. කාලෙකට පස්සෙ ලියන කොට පොඩි නුහුරු ගතියක් දැනුනත් ලිව්වට පස්සෙ නම් සතුටක් දැනුනා. එහෙම නම් ඉතින් “මගේ සටහන” තිස් හය වන ලිපිය මෙතැන් සිට.

ගිය සතියෙ මම ලියපු කොපි කිරිල්ල ගැන ගොඩක් අයට අත් දැකීම් ඇතිනෙ. හැබැයි ඉතින් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ කොපි කරන්න ගිහිල්ලා වැඩේ වරද්ද ගත්ත අයත් හිටියා ඕනෙ තරම්. අපේ සඟයෙක් හිටියා හැමදාම අපේ උපහාසයට ලක්වෙන. මිනිහ විභාගෙට කලින් හොඳට පාඩම් කරනවා. විභාගෙට ගිහින් ඒ වගේම හොඳට කොපි කරන වැඩේ කරනවා. අපි මිනිහට කියනව “කොපි කරල ඩීන් ලිස්ට්” යන්නෙ මොකටද කියල. ඔය ඩීන් ලිස්ට් කියන්නෙ වැඩිම ලකුණු ගත්ත ළමයින් ඇතුලත් වන කොටසකට. ඒ වුනාට මිනිහ නෙවෙයි වැඩේ අත ඇරියෙ. තවත් සමහරු කොල ලඟ තියාගෙන ලියනව කිසිම ගානක් නැතුව . ඒ අය කොපි කිරීමේ උපාධි ලබපු අය. ඔය විභාග ගැන කියන කොට මතක් වෙන තව කතන්දර තියෙනවා. සමහර ඒවා මොන තරම් විකාර සහගත ද කියනව නම් මිනිස්සු එහෙම කියන්නෙ ඇයි කියල හිතෙනව. මම පොඩි කාලෙදි සහ ඊට පස්සෙ අහපු එක කතාවක තමයි අපේ ඉස්කෝලෙ ළමයි උසස් පෙල , සාමාන්‍ය පෙළ පාස් වෙන්නෙ කොපි කරලලු. ශාලා භාරව ඉන්න ගුරුවරු බය නිසා මොකුත් කියන්නෙ නැතිලු. එහෙමත් නැත්තම් විභාගෙට කලින් දවසෙ ප්‍රශ්න පත්තරේ අතටම ලැබෙනව වගේ කතන්දර මිනිස්සු කියනවමම අහල තිබුනා. හැබැයි අපේ වාසනාවට ද අවාසනාවටද මන්දා අපි ලියන කොට නම් එක ප්‍රශ්නයක් වත් විභාගෙට කලින් අපිට ලැබුනෙ නෑ. මිනිස්සු ඒ වගෙ කතනදර කියන්නෙ මොන හේතුවකටද කියල හිතා ගන්න හරි අමාරු වුනා ඒ කාලේ.

කොපි කිරිල්ල ගැන කතා කරන කොට පාසල් යන කාලේ අපි කරපු තව දඩබ්බර වැඩ කීපයක් මතක් වුනා. ඉන් එකක් නම් අති විශේෂයි. මොකද ඒ සිද්ධියෙන් අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. සිද්ධිය වුනේ මෙහෙමයි. අපි ඉස්කෝලෙ යන කාලෙ හරි ආස වැඩක් තමයි විනෝද චාරිකා යන එක. පාසල් වලින් ඉතින් බොහොම කලාතුරකින් තමයි ළමයි එක්කගෙන යන්නෙ විනෝද චාරිකා වලට. පාසල් වාතාවරණයෙන් එළියට බැහැහල විනෝද වෙන්න අපිත් ඉන්නෙ බොහොම ආසාවෙන්. පාසලෙන් යන විනෝද චාරිකා වල අමාරුම කාරිය තමයි ගෙදරින් අවසර ගන්න එක. ඒක හරියට කෙල්ලෙක් දාගන්නවට වඩා අමාරු වැඩක්. මොන තරම් කනි පින්දම් ගෑවත් ගෙදරින් අවසර දෙන්නෙම නෑ. මොකක් හරි හේතුවක් කියනවා. ගෙවල් වලින් බොහොම බයයි කොහෙවත් යවන්න. සනහර ළමයින්ට නම් ගෙවල් වලින් අවසර දුන්නෙම නෑ. කොහොම හරි අපි දහයෙ පන්තියෙ ඉන්න කොට විනෝද චාරිකාවක් යමු කියල පන්තියෙ ළමයි ටික කතා වුනා. හැමෝම ඉතින් වැඩේට එක පයින් කැමති වුනා.

ඊට පස්සෙ ලොකුම අමාරු වැඩේ වුනේ අපේ පන්ප භාර ගුරුතුමිය කැමති කරවගන්න එක. ඒත් ඉතින් අපේ දුක් අඳෝනා වලින් හෙම්බත් වීම නිසා ගුරුතුමිය තීරණය කලා අපිව විනෝද චාරිකාව අරගෙන යන්න. හැබැයි විනීතව , කීකරුව හැසිරෙනවා කියල අපි පොරොන්දු වුනාට පස්සෙ.කොහොම හරි ඉතින් ගෙවල් වලින් සහ නොයෙකුත් බලධාරීන්ගෙන් අවසර අරගෙන අපි චාරිකාව යන්න පිටත් වුනා. අපේ ගමනාන්තය වෙලා තිබුනෙ අනුරාධපුරය. ඒක දින දෙකක චාරිකාවක්. අන්තිමේ දි අපි පිටත් වුනා කියමුකො. මුලින් ඉතින් හැමෝම සින්දු කිය කිය ගමන් කලත් ඇස් යොමු වෙලා තිබුනෙ මග දෙපැත්තෙ ගමන් කරපු අය දිහා තමයි. කොහොමටත් ඒ වයස ඉතින් විරුද්ධ පාර්ශවය දිහා බැල්ම දාන්න පටන් ගන්න වයසනෙ.  ඒ අතරෙ අපේ ළමයි තව වැඩකට ලෑස්ති වේවි තමයි හිටියෙ . ඒ තමයි පාරෙ යන එන උදවියට වතුර ගහන එක. ඒකට කට්ටිය සැරසුනේ හරියට යුද්දෙට යන සෙබල කණ්ඩායමක් වගේ. වතුර විදින පිස්තෝල අරගෙන , පොඩි සිලි කවර ලෑස්ති කරගෙන එකම ජංජාලයයි. මොනව වුනත් අපේ ගුරුතුමියටත් වැඩේ ඉව වැටිලා තිබුනෙ. ඒක නිසා බොහොම කල්පනාවෙන් හිටපු ගුරුතුමී කොහෙදෝ තැනක නවත්තපු ගමන අපේ මිත්‍රයෙක් සල්ලි දීලා ගත්ත වතුර විදින තුවක්කුව ඇගේ භාරයට ගත්තා අපි හංග ගන්න කලින්. ඒ සේරම දේවල් අස්සෙ කීප දෙනෙකුට ජලයෙන් සංග්‍රහ කරන්න අපේ කට්ටිය සමත් වුනා. ඒ වුනාට කිසි කලබලයකින් කරදරයකින් තොරව චාරිකාවේ පළවෙනි දවස ගෙවුනා.

ඔන්න ඉතින් ඊ ළඟ දවසෙ අපි අනුරාධපුරයෙ ටිකක් ඇවිදල කරල දවල් වෙම කොට ආයෙමත් කොළඹ බලා එන්න පිටත් වුනා. කොහොම හරි එන අතරමග දි ජල සංග්‍රහය ජයටම කෙරුවා. ගුරුතැමිය හිටියෙ ඉස්සරහ වාඩිවෙල් නිසා ඇයට හොරෙන් වැඩේ කර ගෙන යන්න අපේ කට්ටිය සමත් වුනා . ඒ අතර වාරෙදි හවස තේ බොන්න අපි කුරුණෑගල නගරයේ නැවැත්තුවා. නවත්තල ටික වෙලාවකින් එක පාරටම ආවා පොලිස් නිලධාරියෙක්. ඇවිත් අපේ ගුරුතුමියට හොඳටම බැන ගෙන ගියා. ඊට පස්සෙ කේන්ති ගිය ගුරුතුමිය බස් එකේ පිටිපස්ට ඇවිත්ත ජල සංග්‍රහයෙ යෙදුනු කීප දෙනෙක් කර මුලින්ම අල්ල ගෙන එක ළමයෙකුට එවෙලෙම ගුටි සංග්‍රහයක් දුන්නා. හොරු ටික අල්ල ගන්න ලේසි වුනේ ජල සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදිහට කට්ටිය ඇඳුම් , අත පය තෙමාගෙන හිටපු එක.  එක පාරටම මේ මොකද්ද වුනේ කියල හොල්මන් වුන අපි ඊට පස්සෙ තමයි කතාව දැන ගත්තෙ.

එදා එන අතර තුර ජල සංග්‍රාමයෙ නිරත වෙච්ච අපේ මිත්‍රයො ඉලක්ක විදිහට තෝරගෙන තිබුනෙ ගෑණු ළමයි. ඒකට හේතුව ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ නෙ . ඉතින් ඉබ්බාගමුව හරියෙදි කුඩයක් ඉහළගෙන තරුණියො දෙන්නෙක් පාර දිගේ ගිහින්. මේක දැකපු එක ළමයෙක් වතුර පුරවපු සිලි බෑග් එකකින් දමල ගහලා. මේක වැදිලා තියෙන්නෙ කුඩේට. වතුර බෑග් එක විසප කරපු වේගෙට කුඩේ පැත්තක විසි වෙලා. එතකොට අපේ සඟයෙක් හොඳට ඉලක්කය අරගෙන තව වතුර පුරවපු සිලි බෑග් ප්‍රහාරයක් එල්ල කරල. ඒ වෙලාවෙ අපේ ජල ඵරහාරක නඩයෙ ප්‍රීතිය වැඩි කරමින් ඒක හරියටම වැදිලා තියෙන්නෙ ඒ තරුණියගෙ ළැම ප්‍රදේශයට. අපරාදේ කියන්න බෑ ඉලක්ක කරුවගෙ නිරවද්‍ය තාවය වැඩි කමට ඒ තරුණිය හොඳටම තෙමිලා. අනික ළැම ප්‍රදේශය තෙමාගෙන පාරෙ යන්නත් ලැජ්ජයිනෙ. ප්‍රහාරය සාර්ථක වෙව්ච එක ගැන අපේ කණ්ඩායම උද්දාමයට පත් වුනාට වැඩේ බරපතල කම තිබුනෙ ඊට පස්සෙ.

ඒ ප්‍රහාරය එල්ල කරල තිබුනෙ සිවිල් ඇඳුමින් ගිය පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට. ඒකෙන් බොහොම කෝපයට පත් වෙච්ච ඒ දෙන්නා ළඟම තිබුන මුරපලේ ඉඳන් තව පොලිස් නිලධාරියෙකුත් එක්ක ලොරියක නැගල අපි පස්සෙ පන්නගෙන ඇවිත්. අන්තිමේ දි අපි කුරුණෑගල තේ බොන්න නතර කලාම වැඩේ බෙල්ලෙන්ම අල්ල ගන්න පුලුවන් වුනා. ඉස්කෝලෙ ළමයි හින්ද අපි ගුටි නොකා බේරුණාට වැඩිහිටි තරුණ පිරිසක් කලා නම් හොඳට ගුටි කන අවස්ථාවක් වෙන්න තිබුනා එදා. ඒ සිද්ධිය නිසා අපේ ගුරුතුමියට නම් තදින්ම කේනති ගිහල්ලා තිබුනෙ. මොකද මුල ඉඳලම ජල සංග්‍රාමය තහනම් කරල නියෝග පනවල තිබුන නිසා. අනිත් එක වුනෙත් ගුටි කන ජාතියෙ සිද්ධියක්. ඒ මදිවට අපේ ගුරුතුමී සුද්ධ සිංහල බාසාවෙන්ම බැණුම් ඇහුවා අර පොලිස් නිලධාරියාගෙන්. ඒක නිසා ඇගේ කේන්තිය තවත් වැඩි වුනා.

කොහොමහරි චාරිකාවේ ඉතුරු ටික කරදරයක් නොවී අපි ගෙවල් වලට ආවා . ඇත්තටම කියනවනම් මම ඔය ජල ප්‍රහාරක බල ඇණියට සම්බන්ධ වුනේ නෑ. අඩුම ගානේ මම සැපයුම් බලකායෙ හිටියෙවත් නෑ. සැපයුම් බලකාය කියන්නෙ සිලි බෑග් වලට වතුර පුරවල දෙන කට්ටිය. හේතුව මොකක් වුනත් පාරෙ යන අයට වතුර ගහන වැඩේ මට එච්චර ඇල්ලුවෙ මෑ. මොකද වතුර නාගෙන පාරෙ යන්න බැරි බව දන්න නිසා. හැබැයි අපි විශ්ව විද්‍යාලෙන් චාරිකා යන කොට නම් ජල පරහාරක බල ඇණි තිබුනෙ නෑ. ඒක නිසා හිතේ කරදරයක් නැතුව ගිහන් එනවා. මොකද පරපමප ළමයාන්ගෙ උනන්දුව තියෙන්නෙ වෙන වෙන දේවල් බලට නිසා. හැබැයි අපි බැණුම් අහපු සිද්ධිය ඉස්කොලෙට නම් ආරංචි වුනා. ආරංචිය ආවේ කොහොමද කියල හිතා ගන්න බැරි වුනත් ටික දවසක් යන කොට අපේ පන්තියෙ වීර ක්‍රියාව නිසා ඉස්කෝලෙට අත් වෙච්ච ගෞරවය ගැන නම් හැමෝම කතා කලා. ඒකෙන් වැඩියෙන්ම කෝපයට පත් වුනේ අපේ ගුරුතුමිය තමයි.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

යකඩ කට

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හතර වන සටහන. ගිය සතියෙ සටහන ලියන එක දවසක් ප්‍රමාද වුන නිසා මේ සතියෙ සටහන දවසක් කලින් ලියන්න තීරණය කලා. ජනාධිපති කුසලානය සඳහා ඉසිපතන – ශාන්ත පීතර දෙවිදුහල් අතර පැවති උණුසුම් රගර් තරඟය නරඹලා ඉවර වෙලා තමයි ලියන එක පටන් ගන්නෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

වෙනදා වගේම ලියන්න පටන් ගන්න කොටම නිශ්චිත අහසක් නැගුනෙ නෑ. මේ දවස් වල තියෙන වැඩ වැඩි කමත් ඒකට එක හේතුවක්. කොහොමටත් විශ්ව විද්‍යාල ජීවිතයේ මේ ගෙවිලා යන්නෙ අන්තිම මාස දෙක තුන. වැඩ කොයි තරම් ගොඩ ගැහිල තිබුනත් වෙලාවකට හරි කම්මැලි කමක් දැනෙනවා. නින්ද යන්නෙ නැති එක තමයි ලොකුම ලෙඩේ. බරපතලම කාරණාව ඒක නිසා උදේට නැගිටින්නෙ නිදි මතේ. ඊට පස්සෙ දවසම නිදි මතේ වැනි වැනි ඉන්න එක තමයි කරන්නෙ. මේ සටහන ලියන සෙනසුරාදා දවසෙ උදේ පාන්දර දහයට විතර නැගිටල ආයෙ පැය භාගයක් නිදා ගත්තා. ඊට පස්සෙ ටිකක් ඉඳල දවල් දොලහට විතර ආයෙ නිදාගෙන නැගිට්ටා දවල් එක පහු වෙලා. දවල් කෑම එහෙම අරගෙන ආයෙමත් නිදාගෙන නැගිටින කොට තුනහ මාර පහුවුනා. දැන් මේ හවස් ජාමේ තමයි ටිකක් ඇහැරගෙන ඉන්නෙ අද දවසටම. නිදි මත ලෙඩේ නිසා එදිනෙදා ජිවිතේ කටයුතු වලට බාධාවක් වෙන එක තමයි ඉවසන්න බැරි. ලියන්න දේවල් කල්පනා කර කර ඉන්න කොට ඉස්කෝලෙ යන කාලේ සිදුවීම් තව මතක් වුනා. ඔය වැඩිහිටියන් අතර තියෙන නොයෙකුත් ප්‍රශ්න නිසා අපි අපහසු තාවයට පත් වුනු සිදූවීම් ඔය අතර තිබුනා. ඒ අතර එක සිදුවීමක් වුනේ අපේ පන්ති භාර ගුරුතුමිය සහ පාසලේ විදුහල්පතිනිය අතර තිබුනු මොකද්දෝ නෝක්කාඩුවක්. හේතුව මොකද්ද කියන්න දන්නෙ නැති වුනත් අපේ පන්තියට නොයෙකුත් පුංචි පුංචි කෙනෙහිලිකම් සිද්ධ වෙන අපිටත් තේරිලා තිබුනෙ. සමහර වෙලාවට විදුහල්පතිනිය කරපු වැඩ මොන තරම් විකාර සහගත ද කියනවනම් ඒවායින් පීඩා විඳින උදවියට කේන්ති යන එක පුදුමයක් නෙවෙයි. ඒවා අතර එක දෙයක් වුනේ නොමනා ශබ්ද විකාශන යන්ත්‍රයෙ භාවිතය. ඒ සිද්ධිය වුනේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් පන්තියෙ ගුරුවරයෙක් නැති වෙලාවකට ටිකක් කෑ කෝ ගහන එක, ගුටි බැට ඇණ ගන්න එක ළමයින්ගෙ පුරුද්දක්. ළමයි එහෙම නොකලොත් තමයි අපි කලබල වෙන්න ඕනෙ. ඉතින් අපේ පන්තියෙත් ගුරුතුමිය හිටියෙ නැත්තනම් ටිකක් සද්දෙ වැඩියි. අවාසනාවකට වගේ අපේ පන්තිය පිහිටලා තිබුනෙ විදුහල්පතිනියගෙ කාමරයට යාබදව. ඒක නිසා පොඩ්ඩක් සද්දෙ වැඩි වුනත් ඇහෙනවා. ඉතින් සද්දෙ වැඩිවුන ගමන් ඇය කරන්නෙ අපේ පන්තියෙ වෙන්නෙ මොකද්ද කියල හොයල බලන්නෙ වත් නැතුව “5 A පන්තියෙ ළමයි වහාම නිශ්ශබ්ද වෙන්න” හරි නැත්තම් “විනීතව හැසිරෙන්න” කියල යකඩ කටින් කෑ ගහන එක. අපරාදේ කියන්න බෑ ඇගේ කාමරයෙන් ඔලුව එළියට දාලා කතා කරන දුරින් තියෙන පන්තියට කියන්න ඕනෙ පණිවිඩය මුලු ගමටම ඇහෙනවා. ඉතින් ඒ වගේ යකඩ කටින් ඇහෙනකොට තප්පර දෙක තුනක් සද්ද නැතුව ඉන්න අපි, ඊට පස්සෙ ඊටත් වඩා හයියෙන් කෑ ගහනවා. ආයෙත් යකඩ කට කෑ ගහනවා. ඔය සෙල්ලම ඉතින් මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. දවසක් අපිට හදිසි අවශයතාවයකට පැයකට දෙකකට අපේ පන්ති භාර ගුරුතුමිය යන්න ගියා. ඒ අතරෙ අපිට රචනාවක් ලියන්න කියල ගියා. අපි හිතුවා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් ගුරුතුමී ආපසු එන එකක් නෑ කියලා. ගුරුතුමිය කොහොම හරි ආපහු ආවා ඉස්කෝලෙ ඇරෙන්න කලින්. ඒ කාලය අතරතුර අර යකඩ කටින් කෑ ගහන සෙල්ලම සුපුරුදු පරිදි වුනා. ආපහු එන ගුරුතුමිය ඉස්කෝලෙට ලං වෙනකොට ඇහිලා යකඩ කටෙන් අපේ හැසිරීම ගැන ගුණ වර්ණනාවක් කියවෙන සද්දෙ. පන්තියෙ හැසිරීම ගැන ශබ්ද විකාශනයෙන් කියන කොට අහගෙන ඉන්න උදවිය හිතන්නෙ “මේ පන්තියෙ විනය අන්තිමයි” කියලනෙ. ඒක නිසා කෝපයට පත් වෙච්ච ගුරුතුමිය ගෙන් අපිට ගුටි කන්න සිද්ධ වුනා. මොකද එදා නට නටා හිටියා මිසක් අපි ගුරුතුමිය පවරපු රචනාව ලියල තිබුනෙත් නෑ. සාමාන්‍යයෙන් ඔය සිදුවීම මට හොඳට මතක හිටියෙ අපේ ගුරුතුමී අපිට දඬුවම් කරල තියෙන්නෙ බොහොම කලාතුරකින් නිසා.

ඔය විදිහෙ කෙනෙහිලිකම් නිසා ඉතින් අපිට වුනත් විදුහල්පතිනිය ගැන තිබුනෙ ඒ තරම් පැහැදීමක් නෙවෙයි. තවත් වතාවක ළමයි දෙන්නෙක් අතර ඇතිවුන ගැටුමක දි අනවශ්‍ය විදිහට මැදිහත්වීම නිසා ඇතිවෙන්න ගිය ලොකු අලකලංචියක් යන්තම් ගොඩින් බේරුනා. ලොකු අයගෙ වැඩ නිසා ළමයින්ට තමයි කරදරේ. තවත් දවසක් මට අපූරු වැඩක් වුනා. ඒක වුනේ මම දහයෙ පන්තියෙ හරි නවයෙ පන්තියෙ හරි ඉන්න කොට. ඒ දවස්වල මම ආවෙ ගියෙ කෝච්චියෙ. කොහොමටත් කෝච්චියෙ යන එන ගමන හරි විනෝදයි ඒ කාලෙ දැනට වඩා. දැන් නම් කෝච්චියෙ යන එන එක මතක් වෙනකොට එපා වෙනවා. කොහොමහරි මම දවසක් මම වෙනද යන කෝච්චියට කලින් කෝච්චියක ගියෙ. ඉස්කෝලෙ යන්න වේලාසන වැඩි නිසා මම මරදාන ස්ටේසමට වෙලා හිටියා. ඔය අතරෙ ආවා මැදිවියේ මනුස්සෙක්. ඒ කෙනා මගෙන් ඇහුවා උදව්වක් කරන්න පුලවන්ද කියල. මමත් බැලුවා මොකද්ද වැඩේ කියල. බලන කොට ඒ කෙනා අමතක වීමකින් වාර ප්‍රවේශ පත්‍රය ගෙනල්ලා නෑ. මට කිව්වා පුලුවන් නම් එළියට ගිහින් ප්‍රවේශ පත්‍රයක් ගෙනල්ලා දෙන්න නැත්තම් එයාට එළියට යන්න විදිහක් නෑ ස්ටේෂන් එකෙන් කියල. ඒ පාර ඉතින් මමත් වැඩි දුර හිතන්නෙ නැතුව එළියට ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඇවිල්ලා අර කෙනාට දුන්නා.

වැඩේ පත්තු වුනේ ඊට පස්සෙ. මම ඒ කරපු වැඩේ ටිකට් පරීක්ෂා කරන මහත්මයෙක් බලාගෙන ඉඳල. මම ප්‍රවේශ පත්‍රය අර පුද්ගලයගෙ අතට දෙනකොටම පරීක්ෂක මහත්තයා ඇවිල්ලා අල්ල ගත්තා දෙන්නවම. ඊට පස්සෙ දෙන්නවම අරගෙන ගියා දුම්රිය කාර්යාලයට. එතන මාර යුද්ධයයි. කට්ටියම වටවෙලා ප්‍රශ්න කරනවා. මගේ වාර ප්‍රවේශ පත්‍රයත් අතට අරගෙන ඒක අවලංගු කරනවා කියල තර්ජනයකුත් කලා. එවෙලෙ නම් මමත් හොඳටම බය වෙලා හිටියෙ. අපූරු වැඩේ කියන්නෙ මට කියල ප්‍රවේශ පත්‍රය ගෙන්න ගත්තු මනුස්සයා ජාතික හැදුනුම්පත ඇපයට තියල මොනවදො කියල යන්න ගියා. ඒ මනුස්සයා මට මොකද වෙන්නෙ කියල අහන්නෙවත් නැතුවයි යන්න ගියෙ. ඒ වැඩෙන් නම් මාව හොඳටම හොල්මන් වුනා. අන්තිමට ටිකට් පරීක්ෂක මහත්වරුන්ගෙන් කන් ඈත් වෙනකම් දේශනා වලට සවන් දුන්නට පස්සෙ මට එන්න අවසරය ලැබුනා. මම බයවෙලා හිටියෙ වාර ප්‍රවේශ පත්‍රය රඳව ගනියි කියල. අන්තිමේ දී ඔය වගේ වැරදි වැඩ කරන්න ගිහිල්ලා අමතක නොවෙන පාඩමක් ඉගෙන ගෙන තමයි ඉස්කෝලෙ ගියෙ. බැනූම් අහපු එකටත් වඩා මගෙ හිතට අමාරු කාරණාව වුනේ අර මනුස්සයා කිසිම වචනයක් වත් නොකියා පිට වෙලා ගිය හැටි දැක්කම.

එතකොට මම කෝච්චියෙ ගමන් බිමන් පටන් අරගෙන මාස දෙක තුනකට වඩා නෑ. ඔය වගේ කපටි වැඩ කරන උදවිය ගෙන් ඊට පස්සෙ නම් පරිස්සම් වෙන්න ඕන කියල මම ඉගෙන ගත්තා. ඔය වගේ උදවිය කරන තව කපටි වැඩක් තමයි ගමනෙන් බාගයක් දුරට ටිකට් ගන්න එක. ඒ සිද්ධිය පැහැදිලි කලොත් මෙහෙමයි. ගම්පහ ඉඳන් කොළඹ එන කෙනෙක් ප්‍රවේශ පත්‍රය ගන්නෙ වනවාසල වගේ නැවතුමකින්. කෝච්චියෙ පා පුවරුවෙ එල්ලිලා එන මෙයාලා කරන්නෙ කෝච්චිය නවත්තපු ගමන් දුවල ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ආයෙ තමුන් ආපු කෝච්චියට නගින එක. ලංකාවෙ උදවිය ඔය වගේ හොර වැඩ කරන්න හරි දක්ෂයි. හැබැයි මොකද්දෝ කල්පනාවක ගිහින් රාගම දි ටිකට් ගන්න අමතක වුන දවසක මටත් ඔය වැඩේ කරන්න සිද්ධ වුනා. කලබලේට ඔය වගේ වැඩ ගොඩක් වෙලාවට වෙනවා. ඒක නිසා හොරකම් කරන එක, කපටි වැඩ කරන එක සමහර වෙලාවට ඉතින් නොකරම බැරි වෙනවා. හැබැයි එහෙම කියල ඒවා සාධාරණී කරණය කරන එකත් හරි නෑ තමයි. කොහොම වුනත් පුරුද්දට කරන දෙයක් නෙවේනෙ කියල හිත හදා ගන්නවා. හැබැයි මගේ මිත්‍රයෙක් හිටියා ඉස්කෝලෙ යන කාලෙ මහජන පුස්තකාලය ළඟ ඉඳල ටවුන් හෝල් එක ගාවට යන්න ඕන වුනාම කපටි වැඩක් කරපු. එතන තියෙන්නෙ බස් නැවතුම් දෙකක දුර. මිනිහා කරන්නෙ කොටුව පැත්තට යන බස් එකට නැගලා මහරගමට ටිකට් එකක් ඉල්ලනවා. ඉතින් කොන්දොස්තර හිතන්නෙ “අනේ මේ ඉස්කෝලෙ යන ළමයට වැරදිලා, පවු” කියල. එහෙම හිතල එයාලා ටවුන් හෝල් එකෙන් බස් එකෙන් බැහැලා මහරගමට යන හැටි කියල දෙනවා. මිනිහත් බොහොම සතුටින් ටවුන් හෝල් එකෙන් බැහල යනවා සල්ලි නොදී.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” ලියල හමාරයි. එහෙමනම් ලබන සතියෙ නැවත හමුවෙමු.

හිර කාරයෝ

“මගේ සටහන” මේ ලියන්නෙ තිස් තුන්වන සටහන. වෙනදට නම් ඉරිදා හවස් වරුවෙ ලියල ඉවර කරනව වුනත් මෙදා පාර කම්මැලි කම නිසාම වැඩේ කල් ගියා. අන්තිමට සඳුදා හවස් වරුවෙ බෝඩිමට වෙලා ඉන්න අතරෙ තමයි සටහන ලියන එක ආරම්භ කරන්නෙ. මේ සතියෙ “මගේ සටහන” ලියන්නෙ නැතුව ඉඳල පොඩි නිවාඩුවක් දාන්න හිතුනත් පස්සෙ ලියන්න තිරණය කලා. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම අන්තිමටම කියපු සිදුවීම හරි සංවේදී එකක්. ඒ කාලයේ මිත්‍රයන්ගෙන් එකම එක මිත්‍රයෙක් මට තවමත් මුණ ගැහෙනවා. අපි දෙන්නටම බොහෝ දේ මතකයෙ තිබුණත් දැන් ඒ අය ඉන්න තැනක් හරියට දන්නෙ නෑ. ඔය සිදුවීම් අතරෙ තුනේ හෝ හතරෙ පන්තියෙ දි වුන සිදුවීමක් සිහියට නැගුනා. වැඩිහිටියන්ට බොහෝ විට ළමයින්ගෙ අභ්‍යන්තරය වටහා ගන්නට අපහසුයි කියන එකට මේකත් හොඳ උදාහරණයක්. මේක වුනේ පාසලේ වාර විභාගයක් අතර තුර. එදා තිබුනෙ මගෙ මතකයෙ හැටියට පරිසරය විෂය. කොහොම හරි නියමිත කාලයට කාලයට කලින් උත්තර ලියල අවසන් කරල ඉවර වෙච්ච මම කම්මැලි කමට වට පිට බැලුවා. ඔහොම වට පිට බලන කොට මම දැක්කා තවත් සඟයෙක් අපුරු වැඩක් කරනවා. මිනිහත් ප්‍රශ්න පත්තරේට උත්තර ලියල ඉවර වෙලා කම්මැලි කමට විසඳුමක් හොයා ගෙන. විසඳුම තමයි මිනිහා එතන ඉඳගෙනම මනෝමය යතුරු ලියන්නෙක් ගෙ චරිතය රඟපානවා. මිනිහා හිතින් මවා ගත්ත යතුරු ලියනයකින් ලිපියක් යතුරු ලියනය කරනවා. ඒකට මූලාශ්‍රය තමයි මිනිහගෙ උත්තර පත්තරේ. ඇත්තටම සැබෑ යතුරු ලියන්නෙක් වගේ මේ කරන වැඩේ දැක්කම මටත් ඇති වුනේ ලොකු ආසාවක් . ඒ පාර මමත් ඉක්මනට “මෙන්න මගේ එකත් ටයිප් කරල දෙන්න” කියල   මානාහ අතට දුන්න. ඒ පාර මිනිහත් බොහොම සතුටින් වැඩේ භාර ගත්තා. මමත් දැන් බලාගෙන ඉන්නවා.

නමුත් අපේ මනෝමය යතුරු ලියන්නාට බාධා කරගෙන පන්ති භාර ගුරුතුමිය කඩා වැදුනා. “මෙහෙට දෙනවා ඕක” කියල ගුරුතුමිය මගේ සඟයා ගාව තිබුන මගේ උත්තර පත්තරේ උදුරල අරගෙන අපිට හොදටෝම බැණ වැදුනා. ඇය හිතුවෙ මගේ සඟයා මගේ උත්තර පත්තරේ ඉල්ලගෙන උත්තර ලියන්න හැදුවා කියල. මමත් සඟයත් කොච්චර කරුණු පැහැදිලි කරත් ගුරුතුමිය පිළි ගත්තෙම නෑ. “පුංචි කාලේ ඉඳලම නරක වැඩ වලට පුරුදු වෙනවා” ගුරුතුමිය බැණ වැදුණු හැටියට අපිට ලොකු වේදනාවක් දැනුනා. මට බැණුම් අහපු එක එතරම් ගණනක් නොවුනත් මම හින්දා නිකරුනේ අර සඟයට බැණුම් අහන්න සිද්ධ වුන එක ගැන මට දැනුනෙ ලොකු වේදනාවක්. වැඩිහිටියන් ළමයින්ගේ සිතුම් පැතුම් තෝරා බේරා ගැනීමේ දී කොයි තරම් අසමත් ද කියන එක දකින හැම වෙලේම මට ඔය සිද්ධිය මතක් වෙනවා.

කොහොමටත් හිතින් මවා ගත්ත වීර චරිත රඟපාන්න පුංචි සන්ධියෙ ළමයින්ගෙ හිත් වල තියෙන්නෙ ලොකු කැමත්තක්. මම කලින් “මගේ සටහන” වල කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තිබුණ ආසාව ගැන කිව්වනෙ. ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන් ගෙ “ටොම් සෝයර්” කියවල තියෙනවනම් දැනෙනවා ඇති ඔය හීන වල තියෙන අපූර්ව කම. ඔය පහේ පන්තියෙ ඉන්න දවස් වල මම කිව්වනෙ කරපු සෙල්ලම් ගැන. ඔය “පොල් කටු පාපන්දු” සෙල්ලම ඒ අතර හරි අපූරු නිර්මාණයක්. අවශයතාවය තියෙනවනම් ඕනෙ දෙයක් හැඩ ගසා ගන්න ළමයින්ට තියෙන්නෙ අපූරු හැකියාවක්. පහසුකම් ඒ තරම්ම නැති පුංචි ඉස්කෝලයක් වුනත් ළමයින්ගෙ නිර්මාණ ශීලිත්වයෙ අඩුවක් වෙන්නෙ නෑ. ඉස්කෝලෙ තිබුනෙ කොහොමටත් පහේ පන්තිය වෙනකම් නිසා ක්‍රීඩා පහසුකම් දියුණු කරන එක ගැන දෙමවුපියන් වත් ගුරුවරුන්වත් ඒ තරම්ම උනන්දු වුනේ නෑ. මොකද පහේ පන්තියෙදි ශිෂයත්ව විභාගය ගැන උනන්දු කරනවා මිසක් ළමයි සෙල්ලමක් නොකර ඉන්න එකට තමයි වැඩිහිටියො ගොඩක් කැමති. වාසනාවකට වගේ අපේ තාත්තා ගුරුවරයෙක් වුන නිසා මට නිදහසේ ඉන්න ලැබුනා.

ඔය කාලේ ගැන තව මතක් කරන කොට තව දවසක් වුන සිද්ධියක් මට මතක් වෙනවා. සාමාන්‍යයෙන් පාසල පිරිසිදු කිරීමේ කටයුතු පැවරිලා තිබුනෙ අපිට. පන්තියෙ ළමයි සියලු දෙනාටම සතියෙ එක දවසක පිරිසිදු කිරීමේ කාර්යය කරන එක පැවරිලා තිබුනා. ඒක අපි බොහොම කැමැත්තෙන් කලා. බොහෝ වෙලාවට පන්තිය අතු ගෑමේ කටයුත්ත පැවරිලා තියෙන දවසට කලින් දවසෙ හවස පන්තිය අතුගාන එක අපේ සිරිත වෙලා තිබුනා බොහොම වෙලාවට. මොකද එහෙම නොවුනොත් නියමිත දවසෙ වේලාසන එන්න වෙන නිසා. මේ කටයුත්ත අපි කරන්නෙ ඉස්කෝලෙ හමාර වුනාට පස්සෙ. දවසක් සුපුරුදු විදිහට පන්තිය අතු ගෑමේ කටයුත්තට අපි හවස නැවතුනා. එදා හවස මාව ගෙදර එක්ක ගෙන යන්න තාත්තට මොකක්  හෝ හේතුවක් නිසා එන්න බැරි වුන දවසක්. ඒක නිසා වෙනත් ඥාති බාප්පා කෙනෙකුට තමයි ඒ කටයුත්ත පැවරිලා තිබුනෙ. කොහොම හරි අතු ගෑම ඉවර කරල මම පාසලෙන් එළියට එනකොට වෙනදට වඩා විනාඩි දහයක් හෝ පහළොවක් ප්‍රමාදයි. ඊට පස්සෙ මම බාප්පා එක්ක ගෙදර ආවා කියමුකො. ගෙදර ආවට පස්සෙ ගෙදර කට්ටිය ඒකක බාප්පා කිව්වා “මෙයා ඉස්කෝලේ ඇරිලා ළමයි එක්ක සෙල්ලම් කර කර නට නටා හිටියෙ. පරක්කු මොකද කියල මම ගිහන් බලල එක්කගෙන ආවෙ” කියල. ඒ කතාව අහල මට මුලින්ම පුදුමයක් ඇති වුනේ. ඒ කතාව අහපු ආච්චි ත්(අම්ම ගෙ අම්මා)  සැර වුනා ” නටන්න හිටියෙ මොකද , මේ මනුස්සයගෙ වැඩ පාලු වෙනවනෙ” කියල . ඇත්තටම එවෙලෙ කේන්තියයි , දුකයි වැඩි කමට මට ඇඬුනා. මට මතක විදිහට මම හතරෙ පන්තියෙ හිටියෙ එතකොට. බාප්පා එහෙම බොරු කියල විනෝදයක් ගත්තද , නැත්තම් මොළේ හොඳ නැති වෙලාද කියල මට හිතා ගන්න බැරි වුනා. මම කොච්චර කිව්වත් කවුරුවත් ඇත්ත කාරණාව පිළි ගත්තෙත් නෑ. කොහොම හරි අම්මයි , තාත්තයි හිටියෙ නෑ එවෙලෙ.

ඇත්තටම ඒ සිද්ධිය සුලු සිදුවීමක් වුනත් වැඩිහිටියන් ගැන ළමයෙක් හැටියට මගේ තිබුන විශ්වාසය ඒක නිසා බිඳ වැටුනා. දැන් එහෙම සිදු වීමක් වුනා නම් ඉතින් උන්දැගෙ පරම්පරාවට හිතින් හරි පිං අනුමෝදනා කරල තමයි මම සැනසෙන්නෙ. මොනව වුනත් ළමයින්ව අවිශ්වාසට , අවඥාවට ලක් කරල සතුටට පත් වෙන නරුම වැඩිහිටියො ඕනෙ තරම් මම දැකල තියෙනවා. ඒ වගේ වෙලාවට නම් මට ඇතිවෙන්නෙ පුදුමාකාර කේන්තියක්.  ඔය සෙල්ලම් ගැන කතාව ඒ අතරෙ මග ඇරුනනෙ. සාමාන්‍යයෙන් ගහ මරා ගන්න වැඩ වලදි ඇරෙන්න ගෑණු ළමයි අපේ සෙල්ලම් වලට එනවා. හැබැයි ගහ මරා ගන්න ගිහින් ගෑණූ ළමයින්ගෙන් අපේ කොලු ගැටවු ගුටි කාපු වෙලාවල් තිබුනා. ඒ ගැන මම මීට කලින් “මගේ සටහන්” වලින් කියල තියෙනවා.

ඉස්කෝලෙ විවේක කාලයට අපිට තිබුන ජනප්‍රියම සෙල්ලම තමයි “අල්ලන සෙල්ලම”. අපි ඒ සෙල්ලම කලේ අපූරු විදිහකට. මුලින්ම අපි කණ්ඩායම් දෙකකට බෙදෙනවා. ඊට අමතරව කණ්ඩායම් දෙකේ මූලස්ථානය හැටියට පිට්ටනියෙ පැත්තක තිබුනු ගස් දෙකක් තෝර ගන්නවා. සෙල්ලමේ මූලික දේ වුනේ විරුද්ධ පැත්තෙ කට්ටිය හැකි තරම් අල්ලා ගැනීම. ඊට පස්සෙ අල්ල ගන්න උදවිය හිර කාරයො හැටියට තමන්ගෙ මූලස්ථානයට අරගෙන යනවා. එතන හිර කාරයො ටික රැක ගන්නත් තව දෙතුන් දෙනෙක් රඳ වනවා. නැත්තම් අනිත් පැත්තෙ නොදැවුණු ක්‍රීඩකයන්ට අත දීලා අර හිර කාරයො බේරගන්න පුලුවන්. ඒක නිසා ඒක වලක්වා ගන්න තමයි එහෙම කලේ. සෙල්ලමේ දිනුම තීරණය වෙන්නෙ එක පැත්තක ක්‍රීඩකයො සියලුම දෙනාම  හිර කාරයො විදිහට අල්ලා ගත්තට පස්සෙ. සාමාන්‍යයෙන් සියලුම දෙනා අල්ලා ගන්නකම් ගොඩක් වෙලා සෙල්ලම කරන්න පුලුවන්. දුවල දුවල මහන්සි වැටුනොත් තමන්ගෙ මූලස්ථානයට වෙලා ටිකක් විවේක ගන්නත් පුලුවන් විදිහට තමයි නීති හදල තිබුනෙ. සෙල්ලම පටන් අරගෙන ටික වෙලාවක් යන කොට වැඩි දෙනෙක් ප්‍රතිවාදී පැත්තෙ හිර කාරයො බවට පත් වෙනවා. වේගයෙන් , වෙට්ටු දමමින් දුවන්න පුලුවන් ළමයි අල්ල ගන්න විරුදධ පැත්තෙ වැඩි පිරිසක් එකතු වෙනවා. එකතු වෙලා වට කරල තමයි ඒ වගේ ළමයි අල්ල ගත්තෙ. මමත් බොහොම උනන්දුවෙන් ඔය සෙල්ලමට සහභාගි වුනත් සෙල්ලම පටන් අරගෙන ටික වෙලාවක් යනකොට විරුද්ධ පැත්තෙ හිර කාරයෙක් වෙලා අපේ පිලේ සඟයෙක් ඇවිල්ලා බේර ගනීවි කියන බලාපොරොත්තුවෙන් බල්ගෙන ඉන්න තමයි මට සිද්ධ වුනේ. ඒක ට හේතුව ඉතින් මට ඒ තරම් වේගයෙන් දුවන්න බැරි කම මිසක් වෙන දෙයක් නෙවෙයි.

එහෙමනම් ඉතින් සඳුදා රාත්‍රී යාමයේ (ඇත්තටම අගගහරුවාදා පාන්දර ) “මගේ සටහන” ලියල ඉවර කලා. ලබන සතියේ නැවත හමු වෙමු.

පොල් කටු පාපන්දු

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් දෙවන සටහන. වෙනද වගේ නැතුව ටිකක් වැඩ අස්සෙ තමයි ලියන්න පටන් ගත්තෙ. කරන්න වැඩ ගොඩ ගැහිල තිබුනත් සුපුරුදු ඉරිදා හැන්දෑවේ ලියල දාන්න කල්පනා කලා. එහෙමනම් ඉතින් “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ සටහන නම් ගොඩක් ප්‍රතිචාර ලැබිල තිබුනා. මම හිතන්නෙ ඒකට හේතුව වෙන්න ඇත්තෙ අර බෙදිල්ලෙ තිබුන පිස්සු ගතිය නිසා වෙන්න ඇති. කොහොම වුනත් ඒක හරි අපූරු වැඩක්. ඔය පොත් කියවීමේ පිස්සුව ගැනත් මම ලිව්වනෙ ගිය සතියෙ. ඒ දවස් වල ඉඳන්ම අලුත් පොතක් කොහෙ හරි දැක්කම නිකමට හරි අතට අරගෙන පෙරලල බලන්න හිතෙනවා. සමහර වෙලාවට පොතක් ගන්නව තියා අමතර රුපියලක් වත් නැති දවසක් වුනත් පැය ගානක් තිස්සෙ පොත් ප්‍රදර්ශන වලට ගිහිල්ලා කාලය ගත කරල තියෙනවා. හැබැයි ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මුල කාලෙ හරිම ආසාවෙන් ගියත් පස්සෙ කාලේ යන එක නවත්තල දැම්මා. ඒකට ප්‍රධානම හේතුව වුනේ පොතක් ජීවිතේටවත් කියවන්න හිතපු නැති උදවිය එතන පිරිලා වැඩේ අවුල් කරන්න ගත්ත නිසයි. ඒ තද බදය අස්සෙ පොත් තෝරනවට වඩා කීයක් හරි වැඩිපුර දීලා පොත් සාප්පුවකින් පොත් ගන්න එක සැප නිසා මතක ඇති කාලෙකින් ගියෙ නෑ මම නම්. සාමාන්‍යයෙන් ඔය වගේ තැනක දි ලේඛකයො සහ පාඨකයන් එකතු වෙන තැනක් බවට පත් විය යුතු වුනත් එහෙම වෙන පාටක් පෙනෙන්න නෑ. හැබැයි මුල කාලේ මමයි මිත්‍රයකුයි ගිය වෙලාවක මම මිල දී ගන්න ලෑස්ති වුනා “චිත්‍රා අයි. පෙරේරා” මහත්තමිය අතින් සිංහලයට පරිවර්තනය වුන “කූඩු කිරිල්ලි” පොත් පෙල. කොහොම හරි මේ පොතේ අන්තර්ගතය ගැන මගේ මිත්‍රය පල කරපු අදහස් නිසා එතන කුටියෙ හිටපු අයත් එක්ක ලොකු විවාදයකුත් ඇති වුනා. කොහොම නමුත් මම පොත මිලදී ගත්තා. වැඩේ කියන්නෙ ඒ වගේ පොත් වල ගුණ දොස් ගැන තර්ක විතර්ක වලට එළඹෙන්න තරම් නිදහස් ඉඩ කඩක් එතන තිබුනු එක. නමුත් පස්සෙ කාලේ එතනට ලැබුන නුවමනා ප්‍රචාරයට පිං සිද්ධ වෙන්න වැඩේ අල වුනා.

පොත් ගැන නම් තව කියන්න තියෙනවා. ඒවා ඉඩ ලැබුන වෙලාවල දි කියන්න පුලුවනි. “මගේ සටහන” ලියාගෙන යන කොට මට එන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි අවිධිමත් කම. මොකද එක එක දේවල් හිටපු ගමන් මතක් වෙනවා. ඒක නිසා මට හැමදාම හිතෙනවා වගේ ලියල ඉවර වෙලා බලන කොට අපිළිවෙල ගතිය දැනෙනවා. ඒකට ඉතින් විශේෂ පිළියමකුත් නැති නිසා දිගටම මේ විදිහට ලියන්න තමයි වෙන්නෙ. ඔය ඉස්කෝලෙ යන කාලෙ අපිට තිබ්බෙ කාලයෙන් කාලයට එක එක පිස්සු වැඩ. සමහර වෙලාවට ඒවා ඒ කාලයේ ජනප්‍රිය වෙන දේවල්. එහෙමත් නැත්තම් අර PI වල අගය හොයනවා වගේ පිස්සු වැඩ. එක කාලයක් තිබුනා අපිට පාපන්දු පිස්සුවක් හැදිල තිබුනා. ඒ අපි පහේ පන්තියෙ ඉන්න කොට. හරියටම කියනවනම් නවසිය අනූ හතරෙ අවුරුද්දෙ. එ්කට ප්‍රධාන හේතුව වුනේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය. පිස්සුව කොයි තරම් තද වුනාද කියනවනම් විවේක කාලයේදි අපි කරන සුපුරුදු සෙල්ලමා නවත්තලා පාපන්දු සෙල්ලම් කරන්න ගත්තා. හැබැයි අපි හිටපු ඉස්කෝලෙ කොහෙන්ද පාපන්දූ? අඩුම ගානෙ අපිට සෙල්ලම් කරන්න සැහැල්ලු පන්දුවක්, වොලි බෝලයක් වත් තිබුනෙ නෑ. ළමයි කාගෙවත් ගෙදරක පාපන්දු ඇත්තෙත් නෑ. එහෙම එකක් අරගෙන දෙන්න කිව්වොත් කියයි “මේකා පොතක් පතක් අරගෙන දෙන්න කියල ඉල්ලන්නෙ නෑ, ඒ වුනාට ෆුට් බෝල ගහන්න කල්පනාව. පැත්තකට වෙලා පොතක් බලාගත්තොත් නරක් වෙලා තියෙයි” වගේ කතාවක්. කොහොමටත් තමන් හීන අසරණ දරුවො මතින් සපුරගන්න දඟලන, මිනිස් යන්ත්‍ර සූත්‍ර බිහි කිරීමේ පෙරමුණ ගත්ත ලංකාවේ බහුතර වැඩිහිටි පරම්පරාව ඔය වගේ තකතීරු කතන්දර ඇහුවෙ නැත්තං තමයි පුදුමෙ. හරිම අමාරුයි මේ අයට ළමයින්ගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න.

කතාවෙන් ටිකක් පිට පැන්නා වුනත් ඉතින් කොහොම හරි පාපන්දුවක් නැහැයි කියල අපේ පාපන්දු ගැසීමේ ආසාව නැති වුනේ නෑ. පාපන්දුව වෙනුවට අපි යොදා ගත්තෙ පොල් කට්ටක්. ඒ කාලේ මට මතක ඇති තරමින් ඒ දරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කලේ නෑ. ඒක නිසා පොල් කටුවක් පාවිච්චි කිරීමේ අදහස කවුරු ඉදිරිපත් කලා වුනත් විරුද්ධ වෙන්න කෙනෙක් හිටියෙ නෑ. හැබැයි ඉතින් සැබෑ පාපන්දුවක් වගේ පොල් කට්ට උඩින් ගහන්න බෑ. ඒක නිසා බිම දිගේ තමයි අපේ “පොල් කටු” පාපන්දුව අරගෙන යන්නෙ. සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ සුපුරුදු සෙල්ලම් වලට ගෑණූ ළමයි හවුල් වුත් “පොල් කටු” පාපන්දු සෙල්ලමට ඒ අය වැඩිය හවුල් වුනේ නෑ. ඕනෙවට වඩා දූවිලි අවුස්සගෙන , එක ගොඩේ හැප්පිලා සෙලලම් කරන්න ගෑණූ ළමයි අකමැති වෙන්න ඇති. හැබැයි ඔය සෙල්ලම පාපන්දු ලෝක කුසලානය ඉවර වුන ගමන්ම වගේ අපි අතින් මග ඇරිලා ගියා. ඊට පස්සෙ අපි අපේ සුපුරුදු සෙල්ලම් වලට මාරු වුනා. කොහොම වුනත් මට “පොල් කටු” පාපන්දු එපා වුනේ එක දවසක් දැල රකින්නා ලෙස ඉන්න කොට “පොල් කටු” පාපන්දුව අතින් අල්ල ගන්න ගිහින් දාරයකට අත කැපුනු නිසා. ඊට පස්සෙ මම පැත්තකට වෙලා හිටියා. ඒ කාලේ මගේ ප්‍රියතම කණ්ඩායම වුනේ ආර්ජන්ටිනාව. සුපිරි ක්‍රීඩක “දියාගෝ මැරඩෝනා” තමයි එම කණ්ඩායමේ නායකයා වුනේ. නමුත් තහනම් මත් ද්‍රව්‍ය ගැනීමේ චෝදනාව මත තරඟාවලිය අතරමැද ඔහු තහනමට ලක් වුනා. ඒක නිසාම ආර්ජන්ටිනා කණ්ඩායම වැඩි දුරකට ගියෙත් නෑ.

ඇත්තටම පහේ පන්තියෙ ඉන්න කාලේ ක්‍රීඩා පහසුකම් අපිට තිබුනෙම නැති තරම්. ටෙනිස් බෝලයක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක්. පිත්තක් නම් තිබුනෙම නෑ. ඒක නිසාම අපි වැඩිපුර ක්‍රිකට් ගහන්නෙ නෑ. අපි වැඩි පුරම කලේ එල්ලෙ ගහන එක. කවුදෝ කෙනෙක් උණ බම්බුවක් හොයා ගෙන ඇවිත් තිබුනා. කොහෙන් හරි ටෙනිස් පන්දුවක් හොයා ගත්තම වැඩේ පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිරිමි ළමයි ක්‍රීඩා කරන කොට ගැහැණු ළමයි එන්නෙ නෑ නෙ. මොකද පිරිමි ළමයි ශරීර ශක්තියෙන් වැඩි නිසා වේගෙන් දුවනවා, විශාල පහරවල් ගහනවා වගේ දේවල් නිසා. ඒ වුනාට අපි පහේ පන්තියෙ ඉන්න කොට එල්ලෙ ක්‍රීඩා කරද්දි ඉස්කෝලෙ ගොඩනැගිල්ලෙ වහල උඩින් ගිහිල්ල අනිත් පැත්තට වැටෙන්න පන්දුවට පහර දෙන්න පුලුවන් වුනේ අපේ පන්තියෙ හිටපු ගෑණු ළමයෙකුට. අපේ සම වයසෙ ළමයෙක් වුනත් සෙල්ලමේ දී කිසිම අමාරුවක් නැතිව අපිව පරද්දන්න ඒ යෙහෙළියට පුලුවන් වෙච්ච එක ගැන තිබුනෙ ලොකු ඉරිසියාවක්. පිරිමි ළමයි කොච්චර උත්සහ කලත් යන්තම් ඒ ගොඩනැගිල්ලෙ පළවෙනි තට්ටුව විතර උසකට තමයි පන්දුව යවන්න පුලුවන් වුනේ. මම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒ පාසලේ සෙල්ලම් වගේම සිදුවුන සංවේදි සිදුවීම් තාමත් මගේ මතකයෙ තියෙනවා. ඒ අතර එක සිදුවීමක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. සිද්ධිය මෙහෙමයි. පහ වසර ශිෂ්‍යත්වයෙන් මම ත් ඇතුලුව පාසලේ ළමයි හය දෙනෙක් සමත් වුනා අනූ හතර අවුරුද්දෙ. කොහොම හරි පාසලේ ළමයි ඔක්කොම කැඳවල අපිට සුබ පතල, අගය කරල රැස්වීමක් එහෙම පැවැත් වුනා. ඉතින් එදා හවස අපේ පන්තියෙ හිටපු ළමයි කිහිප දෙනෙක් එකතු වෙලා සමත් වෙච්ච සියලු දෙනාවම ළඟ පාත තිබ්බ කඩයකට එක්ක ගෙන ගිහින් බීම බෝතල් සහ කෑම අරගෙන දුන්නා. සාමාන්‍යයෙන් ඒ වයසෙදි ළමයි ළඟ වැඩිපුර සල්ලි නෑ. එදා වියදම් කරපු මුදලත් සැලකිය යුතු මට්ටමේ ගණනක් කාලෙ හැටියට. ඇත්තටම ඒ සංග්‍රහය නිසා අපි බොහොම සතුටටත්, පුදුමයටත් පත් වුනා. මොකද ඒ තරම් ගණනක් අපි වෙනුවෙන් වියදම් කරපු නිසා. ඒ පාර මම එක සඟයෙක් ගෙන් ඇහුවා “ඇයි අපිට මේවා අරගෙන දුන්නෙ ඔයාලගෙ වියදමින්” කියල. ඒ පාර ඒ සඟයා කිව්වා ” අපි ට හරිම සන්තෝසයි ඔයාලා පාස් වෙච්ච එක ගැන. ඔයාලා වෙන ඉස්කෝලෙකට ගියහම අපිට හම්බ වෙන එකකුත් නෑ නෙ, ඒකයි මේ” කියල. ඇත්ටම ඔවුන් තමන්ගෙ මිත්‍රයන්ගේ ජයග්‍රහණය ගැන සතුටු වුන අව්‍යාජ භාවය මේ ලියන මොහොතේ දී පවා මට දැනෙනවා. ඒ සිදුවීම නැවත සිහිපත් කලේ වැඩිහිටියන්  “අනිත් අයට වඩා ඔයා ඉහළට යන්න ඕන” කියල මොන තරම් විස පෙව්වත් ළමයින්ගෙ සිත් තුල මොන තරම් මනුෂ්‍යත්වයේ හැඟීම් දැල්වෙනවද කියන එක දැනුන නිසා. අද කොහේ ඒ මිත්‍රයන් කොහේ ඉන්නවද, මොනව කරනවද කියල දන්නෙ නැති වුනත් එදා ඒ දක්වපු අව්‍යජ භාවයට උපහාර පුද කරමින් “මගේ සටහන” නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.