“මගේ සටහන” ආයෙමත් ගොඩ කාලයක් තිස්සෙ ලියවුනේ නෑ. ලියන්න හිත හිත හිටියට හරිම කම්මැලි කමක් දැනුන නිසා ලියවුනේ නෑ. එක වතාවක් ලියන්න පටන් අරගෙන අතරමග නවත්තල දැම්ම. එතකොට මේ ලියන්න හදන්නෙ හතලිස් වෙනි සටහන. හරියටම මාස දෙකකට විතර පස්සෙ. එහෙමනම් ඉතින් මගේ සටහනෙ හතලිස් වෙනි ලිපිය ආරම්භ කරනවා.
ලියන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න කොට ගොඩක් දේවල් මතක් වෙලා පස්සෙ අමතක වුනා. ඒ අස්සෙ මේ දවස් වල හිතේ තියෙන පොඩි ඉරිසියාවක් ගැන මතක් වුනා. ඒක ඇතිවුනේ සුනේත්‍රා එක්ක. සුනේත්‍රා කිව්ව සුනේත්‍රා රාජකරුණානායක මහත්මියට. සුනේත්‍රා ගෙ “මතක පොත” කියවල තමයි ඉරිසියාව හැදුනෙ. සුනේත්‍රා ලියන විලාසයට මම කොහොමත් ආසයි. ඒකේ තියෙන්නෙ කුතුහලය අවුස්සන හරි අපූරු ගතියක්. “මතක පොත” ලියල තියෙන්නෙ එයා ගෙ චාරිකා සටහන් මුල් කරගෙන. දැකපු දේවල්, හමුවෙච්චි මිනිස්සු ගැන ආදිය හරිම රසවත් විදිහෙ පෙල ගැවසීමක්. ඉතින් මේ ගෑණු මනුස්සයගෙ සවාරි ගැන කියවන කොට මටත් එහෙම ඇවිදින්න කරන්න තියෙනවනම් කියල හිතුන. ඒත් ඒකට අවස්ථාවක් දැනට නැති නිසා සුනේත්‍රා ගැන ඉරිසියාවක් තමයි හිතේ ඉතුරු වුනේ. 🙂 ඉතින් සුනේත්‍රා ගෙ කතාව කියවපු දවස් වලම කතරගම යන්න ලැබුනා. ඉතින් පොතේ තිබ්බ චරිත එක්ක මග දැකපු දේවල් ගලප ගලප තමයි ගමන ගියේ. ඒක නිසා කතරගම ගමන් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
ඔය කතරගම යන එක මට නම් මහ කම්මැලි වැඩක් දැන්. ඉස්සර වගේ කුතුහලයක් නෑ නෙ.ඉස්සෙල්ලම කතරගම චාරිකාවක ගියෙ කොයි කාලෙද කියන එක නම් හරියට මතක නෑ. හැබැයි හයේ පන්තියෙ දි ගියා මතකයි. ඒ ගමන ගියෙ මමයි, අම්මයි විතරයි. ඒ අම්මගෙ කාර්යාලේ උදවිය එක්ක. කොහොම හරි ඊට සතියකට පස්සෙ තාත්තා මිය ගියා. ඔය ගමන අතරතුර මම දකින දේවල් ගැන පොතක ලියන්නෙයි කියල තාත්ත උපදසක් නම් දීල තිබුන. මට මතක විදිහට ඒ වැඩේ මම කලේ නැද්ද කොහෙද. ඊට පස්සෙත් කීප පාරක්ම කතරගම නම් ගියා. ගොඩක් වෙලාවට අපේ නෑදැයෝ එක්ක තමයි. ඒ ගමන් ගොඩක් ඒවා හරිම එක විදිහෙ ගමන්. ඒ කියන්නෙ මෙහෙමයි.
ඔන්න ගමන යන්න කලින් දවසෙ අපේ මහප්පා නිවේදනය කරනවා කට්ටිය ඔක්කොටම උදේ හතර හමාර පහ වෙනකොට පිටත් වෙන්න සූදානම් වෙන්න කියල. ඒක ඉතින් හරි අමාරු වැඩක් මට නම්. මොකද ගමනට කලින් දවසෙ නිදා ගන්නෙත් රෑ දහය පහුවෙලා. ඒකට හේතුව ඉතින් ගමන යන්න කලින් හැන්දෑවෙ ඉඳන් තමයි කලබලේට ඔක්කොම සූදානම් වෙන්නෙ. ඉතින් ගමනට අවශ්‍ය රෙදි ඇතුලු ආම්පන්න ලෑස්ති කරගෙන නිදා ගන්න කොට රෑ එකොළහට විතර. ඔන්න ඉතින් ආයෙ පාන්දර තුන හමාරේ ඉඳල නැගිට ගන්නව. ඔය ගමන් විනෝද චාරිකා වුනාට වෙහෙසකර චාරිකා කරගන්නත් අපේ අම්ම ල හරි දස්සයි. ඒ මොකද පාන්දර නැගිටල උයනව දවල්ට කෑම අරගෙන යන්න. ඒක හරි මහන්සි වැඩක්. ඔය කෑම බීම , බඩු මුට්ටු අරගෙන අපි යනව පටන් ගන්න තැනට. ගොඩක් වෙලාවට ගමන පටන් ගන්නෙ අපේ ලොකු මම්මල ගෙ ගේ ගාවින්.
හැමදාම ඉතින් අපි පටන් ගන්න තැනට යනකොට මහප්පා පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලනවා. ඒ මොකද කට්ටිය පරක්කු නිසා. කොහොමටත් මනුස්සයා කුකුල් කේන්ති කාරයා. ඒක නිසා හරි අමාරුයි පොඩ්ඩ වැරදුන ගමන්. මේ ගමන යන කොට උයන්න භාජන , දර එක්ක අනම් මනම් ජාති අරගෙන යනව. ඉතින් විනෝද චාරිකාව කෙසේ වෙතත් අපේ නඩයෙ වැඩිහිටි ගෑණූ අය ඒක සුපුරුදු දින චර්යාව බවට පත් වෙනව. මොකද ගෙදර කරනව වගේ උදේ නැගිටල උයන පිහින එක තමයි කරන්නෙ. අන්තිමට විනෝද චාරිකාව ඉවර වෙලා ගෙදර එනකොට වැඩ කරපු මහන්සියයි , ගමන් මහන්සිය නිසා වෙනදටත් වඩා අමාරුයි. අනෙ මන්දා ඉතින් එහෙම කරන්න හේතුව මොකද්ද කියල. ගොඩක් වෙලාවට අපි ගියෙ වෑන් වල තමයි. අපේ අම්ම ගෙ පැත්තෙ නෑදැයො ටික තමයි ගමනට එකතු වෙන්නෙ.
ඔය චාරිකා ඔක්කොම ගියෙ ගාලු පාරෙ තමයි. මෙදා පාරත් ඉතින් අපි සුපුරුදු විදිහට රෑ වෙනකම් ඇහැරගෙන ඉඳල පහුවදා උදෙන්ම පිටත් වෙන්න සූදානම් වුනා. වෙනද වගේ නෙවෙයි මෙදා පාර නම් උදේ කෑම උයන වැඩේ සිද්ධ වුනේ නෑ. ඒ අතරෙ මොකද්දො හේතුවකට මහප්පා කේන්ති අරගෙන හිටියා. ඒක ඉතින් එයාගෙ චරිතාංගයක්. ගමන පිටත් වුනේ ටිකක් සැප පහසු බස් එකක. මගින් රත්තනපුරේ හිටපු නෑදැ පිරිසකුත් එකතු කරගෙන උදේ කෑමත් අරගෙන තමයි ගියෙ. ඇඹිලිපිටිය හරහා ගිහිල්ලා හවස දක විතර වෙනකොට තිස්ස ට ගියා. කලින් වතාවල ගොඩක් වෙලාවට නැවතුනේ විශ්‍රාම ශාලා වල. වන්දනා නඩ වලින් කතරගම පිරිල තිබුණු වතාවක නවතින්න තැනක් හොයා ගන්න බැරුව ඒ පැත්තෙ ගෙදරක නවාතැන් ගන්නත් සිදධ වුනා. මෙදා සැරේ නම් කොළඹින් ම නවාතැන් වෙන් කරගෙන ගිය නිසා කරදරයක් වුනේ නෑ.
අපි නැවතුන සංචාරක බංගලාව එහා පැත්තෙ තිබ්බෙ තිස්ස වැව. එතනට ගිය ගමන් අපේ නඩේ කට්ටිය හිතාගෙන හිටියෙ වැවේ නානව කියල. හැබැයි වැවේ වතුර ටික දැක්ක ගමන් මම තීරණය කලා පුරුදු විදිහට ඒ බංගලාවෙම වතුර කරාමෙන් නාගන්නව කියල. මොකද ඒ තරම් පිරිසිදු වතුර ටිකක් තිබුනෙ. අන්තිමේ දී සැලැස්ම වෙනස් වෙලා දවල් කෑම එහෙම අරගෙන කිරින්දෙ යන්න පිටත වුනා. ඒක ඉස්සර නම් මට හරි ආස හිතෙන ගමනක්. මොකද්දෝ අපූරු සහගත බවක් තියෙනවනෙ. අනිත් එක ඉතිහාස ජනප්‍රවාද වලට සම්බන්ධ තැනක් නිසා. මෙදා පාර ගිය වෙලේ මට හිතුනෙ ගිනි අව්වෙ බැහල එතන බලන්න යනවට වඩා වාහනේට වෙලා හිටිය නම් සැපයි කියල. ඒත් ඉතින් අපේ කට්ටිය එක්ක මමත් ඇදිල ගියා. ඔය යන අතරෙ අපේ නඩේ හිටපු පුංචි ඈයෙක් වැලි අවුස්ස අවුස්ස ඉරි අඳිනව. මට එක පාරටම වැඩේ නවත්තන්න කියන්න හිතුනත් අපිත් පොඩි කාලෙ එහෙමනෙ කියල මතක් වෙලා නිකං හිටිය.
කිරින්දෙ ගමන ඉවර වෙලා මග එනකොට රෑට උයන්න මෑ කරල් ගන්න ඕනෙ කියල අපේ වැඩිහිටි පිරිස තීරණය කලා. ඉතින් එක තැනක අපේ වාහනේ නවත්තල බැලුවා. වැඩේ කොයි තරම් ලාබද කියනවනම් කිලෝ එකක් දෙකක් අරගෙන එන්න ගිය අපේ කට්ටිය ආවේ ගෙවල් වලට අරගෙන යන්නත් එක්ක මෑකරල් ගෝනියක් අරගෙන . 🙂 කොහොම හරි ආයෙ තිස්ස ටවුමට ඇවිත් අපි නිකමට වගේ ගණං අහල බැලුවම අපි ගත්ත ගාන වගේ දෙගුණයක් මිල කිව්වා කිලෝ එකකට. ගමනෙ අරමුණ කෙසේ වෙතත් එළවලු ටිකක් පටව ගත්ත නම් ගානක් හොයා ගන්න තිබුනයි කියල අපිට හිතුනෙ.
ඊට පස්සෙ ඉතින් කට්ටිය හවස තිස්ස වැවේ නෑවා. කරුවල වැටිල තිබුන නිසා වතුරෙ පිරිසුදු කම නම් පෙනුනෙ නෑ අපේ අයට. රෑ තමයි අපි ඉතින් කතරගම දේවාලෙට ගියෙ. අපි වාහනෙන් බහින කොටම පූජා වට්ටි විකුණන අය අපිව පිළි ගත්තෙ හරියට අවුරුදු ගානක ඉඳල දැන හැඳුනුම් කම් තියෙනව වගේ. අපරාදේ කියන්න බෑ ඒ අයගෙ සේවාව නම් සවුත්තුයි. කේන්ති යන වැඩක් තමයි ඒක. ඔය දේවාලෙ ට යන එක මට එතරම් උනන්දු සහගත වැඩක් නොවුනට මම ආස කරන දේවල් කිහිපයක් තියෙනව. එකක් තමයි පූජා වට්ටි වල තියෙන පලතුරු කන එක. ඒකේ හරි අපූරු ගතියක් තියෙනව. අනිත් වැඩේ අර කාවඩි නැටුම් බලන එක. ඔය එක එක බාර හාර වෙන උදවිය තමයි නටන්නෙ. ඒක හරි අපූරු ආසාවක් ඇති කරන වැඩක්. ඒ සංගීතෙට මටත් නටන්න ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා. හැබැයි අපි ගිය දවසෙ තිබුන පෝලිම කොච්චර දිගද කියනවනම් අපිට ඇතුලට යන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ. ඒ හිටපු සෙනඟ ගොඩේ අපේ කට්ටිය මග අරගන්නෙ නැතුව හිටියෙ හරි අමාරුවෙන්.
තවත් ගොඩක් දේවල් තියෙනව ලියන්න මතක් වෙන. කොහොම වුනත් කාලෙකට පස්සෙ ලියපු “මගේ සටහන” ලියපු ප්‍රමාණය ඇති කියලයි හිතෙන්නෙ. එහෙමනම් නැවත හමු වෙමු.