ගුටි පන්දු

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි තුන්වන සටහන. වෙනද වගේ නෙවෙයි වැසිබර ඉරිදා හැන්දාවේ මොකද්දෝ නොසන්සුන් බවක් හිතේ තියාගෙන තමයි ලියන එක පටන් ගත්තෙ. ඒ අස්සෙ අහස ගිගුරුම් දෙන්නත් පටන් ගත්තා.  ගිය සතියෙ දෙකේ “මගේ සටහන” ට එතරම් ප්‍රතිචාර ලැබිල තිබුනෙත් නෑ වගේ දැනුනා. කොහොම වුනත් මේ සතියේ සටහන මෙතැන් සිට.

ගිය සතියෙත් මතක් කරේ අවුරුදු කාලය හා බැඳුණු මතක සටහන් ගැන. ඒවා සමහර විට ලියාගෙන යන කොට එක එක තැනින් අමුණන නිසා අවිධිමත් ගතියකුත් පේන්න තියෙනවා. මොනව වුනත් මේ සතියෙත් කියන්නට යන්නෙ ඒ ගැනම තමයි. සාමාන්‍යයෙන් අවුරුදු කාලය කියන්නෙ හැමෝම එක තැනකට වෙලා සිරිත් විරිත් ඉෂ්ඨ කරන කාලයක්. තාත්තා ඉන්න කාලයේ දී නම් සිරිත් විරිත් ඉෂ්ඨ කරන එක අකුරටම කරනව. ඒ දවස් වල ගෙදර තුන් දෙනයි. දැන් ඉතින් අවුරුද්දට ඉන්නෙත් අම්මයි මමයි විතරයි. ඒක හින්දම ඉස්සර වගේ වෙලාවට ඒවා කරන්න තරම් උනන්දුවකුත් නැහැ.

අවුරුදු කාලේ සිරිත් වල මම ආසම කරපු දේ තමයි නැකතට ආහාර අනුභව කරන වේලාව. ඔය වෙලාවට අපි ඉස්සෙල්ලම කරන්නෙ පොල්තෙල් පහනක් පත්තු කරන එක. ඒ වැඩේ කරන්නෙ තාත්තා. මට නියම වෙලා තිබුන වැඩේ තමයි ඉස්කෝලේ පොතක් ශබ්ද නගල කියවන එක. ඉගෙන ගන්න ළමයින්ට සුදුසු ඒ වගේ වැඩ කියල ගුරුවරයෙක් වුන නිසාම තාත්තා හිතන්න ඇති. මමත් බොහොම ආසාවෙන් සිංහල පොතේ කැමතිම පාඩමක් අරගෙන කියවනව. පිටු දෙකක් විතර කියෙව්වම ඒ රාජකාරිය අහවරයි. ඊට පස්සෙ තියෙන්නෙ අවුරුද්ද රස විදීම තමයි.

අවුරුදු දවසෙ දහවල් කෑමට අපේ නෑදෑ පිරිස සියලු දෙනාම එකතු වෙන්නෙ අපේ අම්මගේ මහ ගෙදර. දවල් කෑම කිව්වට ඒක ටිකක් වෙනස් වෙනවා නැකත් වෙලාවන් අනුව. ඒ කිව්වෙ ආහාර අනුභව නැකත උදේ වරුවෙ තිබුනොත් දහවල් කෑමට තමයි කට්ටිය එකතු වෙන්නෙ. නැකත දහවලට යෙදිල තිබුනොත් රාත්‍රී කෑම සඳහා. එහෙමත් නැත්තනම් ඉතින් පහුවෙනිදා දවල් කෑමට තමයි. රෑ කෑම දෙන එකට පුංචි කාලේ මගේ කිසි කැමැත්තක් තිබුනෙ නෑ. ඒකට හේතුව අපේ ඥාති සහෝදර සහෝදරියො එක්ක ක්‍රීඩා කරන්න නොලැබෙන නිසා. අවුරුද්දෙ ගෙදර සිරිත් විරිත් ඉෂ්ඨ කරල අම්මයි තාත්යි එක්ක මහ ගෙදරට යනකම් ඉන්නෙ බොහොම නොඉවසිල්ලෙන්.

අපේ සෙල්ලම තමයි ක්‍රිකට් ගහන එක. මහ ගෙදර ගිය ගමන් ආච්චි සහ මාම ට බුලත් දීලා වඳින අපි ඊළඟට ක්‍රීඩාව ආරම්භ කරනවා. අවුරුදු දවසෙ ක්‍රීඩාව ටිකක් විශේෂයි. නිකං දවස් වලට ක්‍රිකට් ගහන්න එකතු වෙන්නෙ මමයි , වැඩිමහල් ඥාති සහෝදරයන් දෙදෙනා පමණයි.  නමුත් අවුරුද්ද දවසට ඒක වෙනස් වෙනවා. ඒ විශේෂ දවස් වල ක්‍රීඩාවට එකතු වෙන පිරිස ඔක්කොම පස් දෙනයි . අපේ අම්මගේ වැඩිමහල්ම සොයුරියගෙ පුතා වන රංග අයියයි ඊළඟට වැඩිමල් සොයුරියගෙ පුතා වන නදික අයියයි තමයි ක්‍රීඩාවේ පෙරමුණ ගන්නෙ. ඊට අමතරව පුංචි සන්ධියෙදි අපේ ඥාති සොයුරියන් දෙදෙනාත් බොහොම කැමැත්තෙන් එකතු වෙනවා. ඒක නිසා ඒ වගේ දවස් වල ක්‍රීඩාවෙදි ටිකක් රණ්ඩු වෙනව වැඩියි.

සාමාන්‍යයෙන් මම කොහොමටත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් නෙවෙයි. කොරේ පිටට මරේ කියනව වගේ ඥාති සොහොයුරන් දෙදෙනා මට වඩා වසර පහකින් පමණ වැඩි මහල් නිසා වැඩේ තවත් බරපතල වුනා. කොහොම හරි අපි කණ්ඩායම් බෙදා ගන් යද්දි තමයි තවත් ගැටලුවක් මතු වුනේ. මොකද පස් දෙනෙක් ඉන්න නිසා. ඒක දෙකෙන් බෙදෙන ගණනකුත් නෙවෙයි. ඒක හින්දම එක එක දවසට අපේ කණ්ඩායම් වල සංයුතිය වෙනස්. සංයුතිය මොන ආකාරයේ වුනත් මට හැම වෙලේම අවශ්‍යය වුනේ දිනන පැත්තෙ ඉන්න. ඒ වුනාට අන්තෙටම පරදින වෙලාවල් ඕනෙ තරම් තිබුනා. ලකුණු බිංදුවකට එහෙම දැවිලා ගියොත් මට ඇති වෙන්නෙ දරා ගන්න බැරි තරම් කේන්තියක්.

අපි ක්‍රිකට් ගහන්න යොදා ගත්තෙ ටෙනිස් බෝල. අපේ තාත්තා හරි වෙන කෙනෙක් හරි අපිට බෝල ගන්න සල්ලි දෙනවා. හැබැයි පිති හැටියට පාවිච්චි කලේ පොල් පිති වලින් කපා ගත්ත පිති.  අමු ද්‍රව්‍ය හිඟයක් තිබුනෙ නැති නිසා අපිට පිති වලින් නම් අඩුවක් වුනේ නෑ. නියමිත බරින් යුතු පොල් පිති තෝරගෙන පිතිත තැනීමේ විශේඥයයා වුනේ රංග අයියා. ඒ වගේ හදා ගත්ත පිත්තක් දවස් තුනක් විතර කැඩෙන්නෙ නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ශිෂ්‍යත්ව විභාගේ සමත් වීම නිමිත්තෙන් මට රුපියල් අසූ ගණනකට ද කොහෙදෝ පිත්තක් තෑගි වශයෙන් ලැබෙන තුරුම අපි පාවිච්චි කලේ  පොල් පිති වලින් තැනූ පිති තමයි.

අපේ සෙල්ලමේ හරි අපූරු දේවලුත් තිබුනා. ඒවා අපි විසින්ම නිර්මාණය කරගත්ත ඒවා. සාමාන්‍ය නීති අනුව නම් එක එක ඉනිමකදී පන්දුවට පහර දෙන්න ලැබෙන්නෙ එක අවස්ථාවයි. නමුත් අපේ සෙල්ලමේදී ඥාතී සහෝදරියන් දෙදෙනාට වැඩිපුර අවස්ථා දෙක බැගින් ලබා දෙනවා. ඒ සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න අවශ්‍යය නිසා. මමත් ඉතින් කොහොම හරි  වැඩිපුර අවස්ථාවක් ඉල්ල ගන්නවා. වැඩිමහල් ඥාති සහෝදරයන් දෙදෙනාට පමණක් අවස්ථා ලබා දුන්නෙ නෑ. ඊට අමතරව අල්ලපු වැටේ ඉඩමට මායිම්ව තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩා කරපු කොටස තිබුනෙ. අපේ ඉඩමත් අල්ලපු වැටත් වෙන් කරල තිබුනෙ කම්බි වැටකින්. මේ කාරණාව නිසා අල්ලපු වත්තට බෝලය යන එක තමයි ලොකුම හිසරදය.  ඒක සීමා කරන්න අපි කලේ අල්ලපු වත්තට බෝලය ගියොත් අපි ඒක දැවී යාමක් ලෙස තමයි ගණන් ගන්න පුරුදු වෙලා හිටියෙ. බොහෝ වෙලාවට  ඥාති සහෝදරයන් දෙදෙනා පන්දු එවන්නෙ අල්ලපු වත්තට යන්න පෙළඹෙන ආකාරයේ පන්දු තමයි එව්වෙ. මේ උපක්‍රමයට ගොදුරු වෙලා මම දැවී ගිය වාර අනන්තයි. මමත් ඔය උපක්‍රමය අනුගමනය කරන්න හිතාගෙන පන්දු යවන්න උත්සහ කලා. ඒත් ඒකේ ප්‍රතිපලය වුනේ පන්දුව හතරේ සීමාවට එපිටින් වැටෙන එක තමයි.

ඊට අමතරව අපි කරපු තවත් සෙල්ලමක් වුනේ ගුටි පන්දු කෙළිය. ක්‍රිකට් ගැහුවෙ ටෙනිස් බෝල වලින් වුනත් මේ සෙල්ලම කරන්නෙ ප්ලාස්ටික් බෝලයකින්.ඒක නම් මම ඒ තරම් කැමති සෙල්ලමක් වුනේ නෑ. මොකද පන්දුව වැදුනම රිදෙන නිසා. අනිත් උදවියට රිදෙන්න පිට මැදටම බෝලයෙන් දමල ගහන්න මම කැමති වුනත් මට පාරවල් වදින කොට තමයි ඉවසන්න බැරි වුනේ. මේ නොඉවසිල්ල කොයි තරම් දරුණු වුනාද කියනවනම් එක වතාවක් ඥාති සහෝදරියකගෙන් මට වැදුණු බෝල පහරට මම උත්තර දුන්නෙ ඇගේ කම්මුල හරහ පාරක් දීලා. අන්තිමට ගුටි පන්දු කෙළිය ඉවර වුනේ තනිකරම ගුටි කෙළියකින්. ඇත්තටම කියනවනම් පුංචි අවධියෙ දි ක්‍රීඩාවේ ජය පරාජය විඳගන්න මම ඒ තරම්ම පුරුදු වෙලා හිටියෙ නෑ. හැබැයි පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන කාලවල දි ජය පරාජය සමසේ විඳ ගත යුතුයි කියන මූලික සිද්ධාන්තය හෙමිහිට ඉගෙන ගත්තා.

ඔය විදිහට ක්‍රීඩා කලේ මීට අවුරුදු දහයකට හෝ ඊට ඉස්සර කාලේ. ටිකෙන් ටික වයසින් වැඩීගෙන එනකොට මුලින්ම ක්‍රීඩාවෙන් ඉවත් වුනේ අපේ ඥාතී සහෝදරියන් දෙදෙනා. මුලින් ක්‍රීඩාවේ නිත්‍ය සාමාජිකයින් වුනත් ක්‍රම ක්‍රමයෙන් නරඹන්නන් බවට පමණක් ඔවුන් දෙදෙනා පත් වුනා. ඥාති සහෝදරයන් දෙදෙනා  නම් තව ටික කාලයක් මාත් එක්ක ක්‍රීඩා කලා වුනත් අන්තිමේදී ඔවුනුත් ගමේ අසල්වැසි තරුණයන් සමග ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඔයින් මෙයින් අපේ ක්‍රිකට් ගැහිල්ල අභාවයට ගියා. දැන් ඉතින් ඔවුන් සියලු දෙනාම විවාහ වෙලා දරු සුරතල් බලනවා. මෙදා පාර අවුරුද්දට මහ ගෙදරට ගියහම සිද්ධ වුනේ පුංචි එවුන්ගේ හුරතල් වැඩ බලන එක තමයි. කාලය ගෙවිල යන ඉක්මන ගැනත් , අපි වයසට යන බවත් සිහියට නැගෙන්නෙ ඔය සිදුවීම් යලි සිහි කරන කොට තමයි. ඒකෙත් එක්තරා අතකට හරි අපූරු ගතියක් තියෙනවා. මටත් ඔය සිදුවීම් අමතක වෙමින් වගේ තිබුනත් ඒ ගැන යලිත් ලියන්න හිතුනෙ අවුරුදු දවසෙදි අපේ නදික අයියා ඒ අතීතය මතක් කරපු නිසා.

අන්තිමේදි ඉතින් වෙනද ලියන සීමාවට “මගේ සටහන” එළඹුනා. හෙට ඉඳන් ආයෙමත් විශ්ව විද්‍යාලෙ පටන් ගන්නවා. ඒක හින්දමද මන්දා නොසන්සුන් තාවය වැඩියි වගේ දැනෙනවා. කොහොම වුනත් අන්තිම මාස කීපයේ වැඩ ටික කරදරයක් නැතුව ඉවර කරගෙන එළියට පා නගන බලා පොරොත්තුව ඇතුව “මගේ සටහනට” තිත තබනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

සීයා

“මගේ සටහන” සටහන් විසි එකක් ලියවිලා ඉවරයි. මේ සටහන ලියන්න සූදානම් වෙන්නෙ ඉරිදා හැන්දෑවේ. අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ඉවර වුනේ ඊයේ රාත්‍රියේ. මොනව වුනත් වැඩේ සාර්ථකව ඉවර වුනා කියල හිතෙනවා. මේ අදහස මුලින්ම ඉදිරිපත් කරපු ආනන්දවර්ධන සොහොයුරාටත් ඊට පස්සෙ දිගටම ඒ හා රැදී සිටි මලින්ත , සුදාරක සහ ඉතා විශාල කාර්ය භාර්යක් ඉෂ්ඨ කල බුද්ධික සහ කාලිංග සොහොයුරන් හට ස්තූතිය පල කරන්න ඕනේ. ඒ වගේම අපේ ඔන්න මෙන්න  දොස්තර බෝ අක්කා සහ සූ අක්කා වත් මතක් කරන්න අවශ්‍යයි. ලක්මාල්, නිලක්ෂ, චාමර, බුද්ධික සිද්ධිසේන, ප්‍රසාද් දොස්තර මහත්තයා ඇතුලු නොයෙක් අයුරින් දායක වුන සියලුම දෙනා නිසා තමයි වැඩේ ගොඩ ගියෙ. සිංහල බ්ලොග් කරුවන්ගෙ වැඩක් වුනත් ප්‍රචාරනය සඳහා අපට සහය දුන්න දිලින වත් මතක් වෙනවා.  තාක්ෂණික පැත්තෙන් මේ ඉසව්ව සාර්ථක වුනේ බුද්ධික සහ කාලිංග සොහොයුරන් දෙදෙනා සහ මලින්ත මලය නිසා. තව විස්තර කියනවනම් දවස තිස්සෙ බ්ලොග් ලියපු මේ මැරතන් ඉසව්ව දුවපු සමනලී නංගි, රජිත් , අනුරාධ ඇතුලු නම් නොකියවුනු සියලු දෙනාමත් “මගේ සටහන” වෙනුවෙන් සිහිපත් කරනවා. මම හිතන්නෙ වැඩිම ඉහළක ඉඳල මේ ඉසවුවට සහභාගි වුනේ මම. ඊට හේතුව තමයි මම හිටියෙ කාලිංග සොහොයුරාගෙ කාර්යාලයෙ බුද්ධික සොහොයුරාත් සමගින් වීම. ඒ කාර්යාලය තිබුනෙ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙ විසි අටවන තට්ටුවෙ. ඒකත් බොහොම අපූරු අත්දැකීමක්.මේ දවස් ටිකේම සිංහල බ්ලොග් කියවීම නිසා කට්ටියට එපා වෙලාද දන්නෙ නෑ කියල හිතුනා වුනත් සුපුරුදු පරිදි මේ සතියෙ “මගේ සටහන” ලිවීම පටන් ගන්නවා. මේ සතියෙ ලිවීමේ රටාව ටිකක් වෙනස් නිසා තවත් එපා වෙලාම යයිද දන්නෙ නෑ. අවුරුද්ද හා බැදුණු මතක සටහන් නැවත හාරවුස්සන ගමන්  “මගේ සටහන” විසි දෙවන සටහන මෙතැන් සිට.

අවුරුද්ද හා බැඳුණු මගේ මතකයන් විවිධාකාරය. සමහර සිදුවීම් අවුරුදු සිරිත් විරිත් හා සබැඳී ඒවා නොව වේදානබර මතකයන් වෙයි. ඉන් එකක් නම් අපේ සීයා පිළිබඳව මතකයයි. ඊට හේතුව වුයේ සීයා මිය ගියේ අප්‍රේල් මාසයේ දහතුන් වැනි දා වක හෙවත් පරණ අවුරුද්ද දවසක වීමයි. මගේ මතකයේ හැටියට මම එවිට හිටියේ එකේ පන්තියේ විය යුතුය. මා උපදින විට අපේ අම්මාගේ තාත්තා ජීවතුන් අතර සිටියේ නැත. ජීවත්ව උන්නේ අපේ අම්මාගේ මව පමණි. කෙසේ නමුදු තාත්තාගේ  දෙමවුපියන් දෙපල හෙවත් සීයා ගේ සහ ආච්චි ගේ ආදරණය රැකවරණය ලැබීමට තරම් මම වාසනාවන්ත වීමි. සීයා ජිවත්ව සිටි කාලයේ මට දැක්වූයේ ඉමහත් ආදරයකි. ආච්චී ත් එසේමය. උන්දෑට මම ඇමතුවේ “හොරපේ ආච්චි” යන නමිනි. ඊට හෙතුව වූවේ ආච්චි සහ සීයාගේ නිත්‍ය වාසස්තානය වූවේ හොරපේ පිහිටි ඔවුනගේ දියණිය ගේ ගෙදර වීම නිසාය. ආච්චීට අපි හොරපේ ආච්චි කියා ආමන්ත්‍රණය කලත් ඔවුන් දෙපලම අපේ තාතතා ජීවත්ව සිටියදී බොහෝ කලක් අපේ නිවසේ වාසය කලෝය. ඒ කාලයේ අප පදිංචිව උන්නේ දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේය. තාත්තා ඒ දිනවල ඉගැන්වූයේ දෙල්ගොඩ පිරිවනෙහි වීම ඊට මූලිකම හේතුවයි. තාත්තා මිය යාමෙන් පසුවත් ආච්චි අපේ ළඟ සැලකිය යුතු කාලයක් නැවතී උන්නේ මට තිබු ඉමහත් ආදරය නිසාවෙනි.

සීයා අපේ ගෙදර සිටි අවධියේ මම පෙර පාසල් යන ශිෂ්‍යයකු වීමි. මගේ පෙර පාසල් අධ්‍යාපනය කොහොමටත් අවිධිමත් එකකි.  මුලන්ම අපේ තාත්තා මාව දෙල්ගොඩ පිරිවන අසල පෙර පාසලකට මා ඇතුලත් කලේය. මොකක් හෝ හේතුවක් නිසාවෙන් මම ඒ පෙර පාසලට ගියේ මාස දෙකක පමණ කාලයකි. ඉන් පසු මාස හයක් පමණ යන තෙක් නිවසට වී කෙළි සෙල්ලමින් කල් යැවූ මා , අපේ අම්මාගේ බලවත් උන්නදුව නිසා අප පදිංචිව උන් නිවස අසල ළදරු පාසලට ඇතුලත් කිරීමට තාත්තා කටයුතු කලේය. අපේ ගෙදරට අල්ලපු වැටේ වූයේ වැඩිහිටි නිවාසයකි. ඊට එහා වත්ත වූයේ ළදරු පාසලයි. මම ඒ ළදරු පාසලට ගිය මාස තුනක පමණ කාලයේ සැමදාම උදෑසන මා කැඳවා ගෙන ගියේ හොරපේ ආච්චි ය. නැවත උදැසන දහයයි තිහට පෙර පාසල නිමාවූ විට මම තනියම නිවස බලා එමි. ආපසු එනවිට තනියම පැමිණියත් උදෑසන යනවිට ආච්චි නොමැතිව යාමට මම කිසිදා කැමති නොවූයෙමි. මේ බැඳීම කොතරම්ද කියතොත් මම මුල්ම දවසේ පටන් පාසල් ආවේ ගියෙත් හොරපේ ආච්චි සමගයි.

සීයා නැවත කතන්දරයට සම්බන්ධ වන්නේ මෙන්න මේ අයුරිනි. සාමාන්‍යයෙන්  උදැසන දහයයි තිහ යනු සීයා තේ පානය කරන වෙලාවයි. මම ඒ වෙලාව වන විට නැවත ගෙදර එන බව දන්නා සීයා මා වෙනුවෙන් කිඹුලා බනිසයක් ගෙනවිත් තබයි. පෙර පාසලේ අවසාන ක්‍රියාව ලෙස අපට තිබුනේ ඉලක්කම් ලිවීමයි. ඉක්මනින්ම ඉලක්කම් ලියා අවසාන වුවහොත් අපට ගෙදර යෑමේ අවසරය ගුරුතුමිය ලබා දෙයි. සීයා මා වෙනුවෙන් ගෙනවිත් තබන කිඹුලා බනිසය සිහිවීමෙන් කලබලයට පත් වන මම හැකි ඉක්මනින් ඉලක්කම් ලියා අවසාන කොට ගෙදර බලා දුව එමි. ඒ නිසා හැමදාම ගුරුතුමිය නියම කරන ඉලක්කම් ලියා නිම කරන ප්‍රථමයා වීමට මම සමත් වුනෙමි. මගේ පියා ගුරුවරයකු වූ බැවින් ඉලක්කම් ලිවීමේ දී මා දක්ෂයෙකැයි ඈ සිතා ගන්නට ඇති වුවද සැබෑ රහස තිබුනේ සීයා ගෙනවිත් තබන කිඹුලා බනිසයේ බව ඈ දැන නොසිටි බව මට උදක්ම ස්ථිරය.

ඉතින් පොත් බෑගයත් රැගෙන ප්‍රීතියෙන් දුව එන මා අනතුරු සහිතව එන්නේ දැයි සැක හැර දැන ගැනීමට ආච්චී පාර අද්දරට වී බලා සිටී. නිවසට ආ විගස ඇගේ අතට පොත් බෑගය දී මම සීයා වෙතට දිව යමි. සීයා ද ඉමහත් ආදරයෙන් මා පිළිගෙන කිඹුලා බනිසය මට පිළිගන්වයි. සීයාගේ තිළිණයෙන් උදම්වන මා එය ගිල දමන අයුරු උතුරා යන සෙනෙහසින් යුතුව සීයා සහ ආච්චී දෙපලම බලා සිටි ආකාරය සිහිවන විට, අහිමි වූ ළමා වියේ සුන්දරත්වය ගැන සියුම් ශෝකයකින් මා හදවත පෙලන්නට පටන් ගනී. කිඹුලා බනිසය ගිල දමන මම සීයා සමගම තේ පානයෙන් අනතුරුව සෙල්ලමට දිව යමි. නැවත දහවලට ස්නානය කරනු පිණිස සීයා මා කැඳවයි. පුංචි සන්ධියේ පටන්ම නෑමට මම ප්‍රිය වූ නිසා ඒ ගැන නම් සීයාට වද වීමට දෙයක් නොතිබුනේ මම බොහෝ කීකරුව සීයා මා නහවා අහවර කරන තෙක් උන් බැවිනි.  තාත්තා පාසලේ වැඩ කටයුතු නිමව ඒමට හවස් වන අතර අම්මා කොළඹ සිට රැකියාව නිමවා පැමිණඑන විට මදක් රෑ බෝවන බැවිනුත් මගේ ළමාවිය ගෙවුනේඔය අයුරින් ආච්චී සහ සීයා සමගිනි.

කෙසේ වතදු මට බොහො ආදරයෙන් සිටි සීයා හදිසියේම මිය ගියේ මොළයේ නහරයක් පුපුරා යාම නිසාය. දහතුන් වැනි දා උදයේ හදිසියේ අසනීප වූ සීයාව විගස රෝහලට රැගෙන යාමට තාත්තා කටයුතු කල නමුත් එදින දහවල වන විට සීයා මිය ගිය පුවත නිවසට ලැබුනි. ඒ වන විට මම බත් කමින් උන්නෙමි. ඒ අසා ඉමහත් කම්පනයට පත්වූ අම්මා මා කැටුව හොරපේ ගෙදරට ගියාය. සීයාට සිදුවූයේ කුමක්දැයි ඒ වයසේ දී හරියටම අවබෝධ කර ගැනීමට මට නොහැකි වුවත් පසු කාලීනව තමුන් ආදරය කල කෙනෙකුගේ මිය යාම  කොතරම් කටුකදැයි මම අත් වින්දෙමි. සීයාගේ නිසල දේහය හොරපේ නිවසට ගෙන ආ විට සිය පියා අහිමි වීමේ ශෝකයෙන් තාත්තා වැලපෙන අයුරු වික්ෂිප්තව බලා උන් මම ඊට වසර පහකට පමණ පසුව ඒ අත්දැකීමට මුහුණ පෑවෙමි.

අවුරුද්ද හා බැදුනු සිදුවීම් මගේ මතකයට නැගෙන්නේ ඔය ආකාරයටය. දැන් සීයා මිය ගොස් අවුරුදු විස්සකට ආසන්න ප්‍රමාණයක් ගතවී ඇතත් ඒ හා බැඳුනු අතීතයේ මිහිරියාව තවමත් සිහි වෙයි. ආච්චී මියගියේ තාත්තා මියගොස් අවුරුදු දෙකකට පමණ පසුවය. ජිවත්ව සිටින කාලය තුල ආච්චී සහ සීයා ගෙන් ලැබුනු ආදර සැලකිලි නිසා මම සේස්සන් හට දයාවෙන් කරුණාවෙන් සැලකීමට උගත්තෙමි. මිනිසකුගේ ළමා කාලය තුල මානව ගුණාංග හැඩ ගැස්සවීමේ ලා වැඩිහිටියන් සතු යුතුකම අති මහත් වෙයි. ඒ යුතුකම නොපැකිලිව ඉටු කල අපේ ආච්චී සහ සීයා ට උපහාර “මගේ සටහන” වෙතින් පුදකරන අතරම උදාවූ අවුරුද්දේ නොසිතූ ලෙස සමුගත් “යසරුවන් ගුණතිලක” සොහොයුරාට නිවන් සුව පතමින් නැවතීමේ තිත තබමි. ලබන සතියේ හමුවන තෙක් ආයූබෝවන්.

යසරුවන් ගුණතිලක

අද හවස් වරුවෙ කියවන්ට ලැබුනු පුවතකින් එකවරම කම්පනයට පත්වුනා. ඒ තමයි “යසරුවන් ගුණතිලක” කියන තරුණයාගේ මරණය පිළිබඳ ආරංචිය.

“යසරුවන් ගුණතිලක” පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන් වන වසරේ අධ්‍යපනය ලබමින් සිටි ශිෂ්‍යයෙක්. අවුරුද්දට ගෙදර ගිය විට අත්වැල්තොට නැමති දිය ඇල්ලේ නෑමට ගොස් දියේ ගසාගෙන යාම නිසා තමයි ඔහු මිය ගොස් තියෙන්නෙ. “යසරුවන් ගුණතිලක” මම දැනගත්තෙ බ්ලොග් කරුවෙක් විදිහට. මුලින්ම ඉංග්‍රීසි බසින් බ්ලොග් කරණයේ යෙදුන “යසරුවන් ගුණතිලක”  පස්සෙ සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ගැන අසා දැනුවත් වී බොහොම උද්යෝගයෙන් යුතුව ඒ ඉසව්වට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් හිටියා. ඇත්තටම කියනවනම් මගේ බ්ලොග් අඩවියට එකතු වුන අවසාන ප්‍රතිචාරය දක්වල තිබුනේ යසරුවන්. ඒ මෙන්න මේ ආකාරයෙන්.

“මම පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්නෙ. මම දන්න විදියට නම් හොල්මන් අවතාර භීතියක් ඇති වුනේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ (හිල්ඩා කුමාරිගෙ අවතාරෙ). ඊට පස්සෙ ඒකෙ ගැහැණු ළමයි විජේවර්ධන ශාලාවටත්, ජේම්ස් පීරිස් ශාලාවටත් දාලා විජේවර්ධන එකේ හිටපු පිරිමි ළමයි හිල්ඩා එකට දැම්මා.

ඔයාගෙ බ්ලොග් එක නම් එලකිරි. මමත් දැන් අවුරුද්දක විතර ඉදන් බ්ලොග් ලිව්වත් තාම සිංහලෙන් මොකුත් ලියන්න බැරි වුනා. හෙට අනිද්දාම සිංහලෙන් මොනවා හරි ලියනවා, ලියනවාමයි.

ආයෙත් පේරාදෙණිය පැත්තෙ එනවනම් අපිටත් කියලා එන්න.

Comment by යසරුවන් — April 14, 2008 @ 1:56 am “

අපි කාටවත් හිතා ගන්න බැරි පුවතක් වුන යසරුවන් ගේ මරණය ගැන සටහනක් ලියන්නට සිදුවීම පවා වේදනාබර කටයුත්තක්. මැරතන් වැඩ කටයුතු නිමා වුනාට පස්සෙ යසරුවන් ට පෞද්ගලිකව අමතල පේරාදෙණිය පැත්තෙ යන්න පුලුවන් වෙයි කියල මම හිතාගෙන හිටියෙ. ඔහු සිංහල බසින් මැරතන් ඉසව්වට සහභාගි වන බව ඔහුගේ බ්ලොග් අඩවියේ සඳහන් කර තිබුනු බව දුටු විට මම පහත ප්‍රතිචාරය ඔහුට එකතු කලා.


“නිදහස said: On 04/14/2008 at 10:19 pm

ලියමු ලියමු . පේරා වල අත්දැකීම් ඇතිනෙ ඕන තරම් 🙂 “

අප අතරින් අකාලයේ සමුගත් “යසරුවන් ගුණතිලක”  වෙනුවෙන් “මගේ සටහන” වෙතින් සහ පොදුවේ අපේ බ්ලොග්කරුවන් වෙනුවෙනුත් විශ්ව විදයාල ශිෂයයෙක් හැටියටත් ශෝකය පල කර සිටිනවා.

“යසරුවන් ඔබට නිවන් සුව අත්වේවා”

අවුරුද්ද

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි එක්වන සටහන. “මගේ සටහන” ලියන එක ආරම්භ කලේ අපේ ආයතනික පුහුණුව පටන් ගත්ත දින වලම වගේ තමයි. දන්නෙම නැතුව කාලය ගෙවිල්ලා ගිහින් ගිය සතියෙ ආයතනික පුහුණු කාල සීමාව අවසාන වුනා. ඒ කාලය තුල අධ්‍යාපනය පැත්තෙන් වගේම වෙනත් දේවල් ගොඩකුත් ඉගෙන ගන්නට අවස්ථාව ලැබුන එක ගැන සතුටුයි. ගිය සතියෙ “මගේ සටහන” ට තවත් ප්‍රතිචාර ලැබිල තිබුනා. ඊට අමතරව මෙතෙක් කල් ප්‍රතිචාර පල නොකරුවත් “මගේ සටහන” කියවපු බව සඳහන් කරල තිබුන අයට තුති පුද කරනවා. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ “මගේ සටහන” ලිව්වෙ මදක් අඩුවෙන්. ඒකට ප්‍රධාන හේතුව වුනේ කලබලයෙන් සහ එතරම් උද්යෝගයකින් යුතුව ලිව්වෙ නැති කම. මැරතන් දිනයත් ළඟ ළඟම එන නිසා මේ සතියෙ නිසියාකාරව ලියන්න තමයි බලාපොරොත්තුව. මුලින්ම මං ගිය සතියෙ කියපු “මැරතන් කරූ” ගැන මට අහන්න ලැබුනු කතන්දර කිහිපයක් හා ඔහුගේ ජීවන තොරතුරු කිහිපයක් සටහන් කරන්න හිතුනා. ඒක ඒ අහිංසක මිනිසාට කරන ගෞරවයක් වෙයි කියල හිතෙනවා. ලංකාව පුරා “මැරතන් කරූ” යන නමින් ප්‍රචලිත වුන කේ.ඒ.කරුණාරත්න මහතාව අපේ ගම් වාසීන් හැඳින්වූයේ “ශාන්ත” යන නමින්.ඒක තමයි ගමේ මිනිස්සු ඔහුට ආමන්ත්‍රණය කරන නම.

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඇති දැඩි වුන “කරූ” පසු කාලයයේ දී පවා තමන්ගෙ තාත්තා ලී ඉරන රස්සාව කල බවත් අම්මා බොහොම දුක් මහන්සි වී තමන් හැදු වැඩු බවත් කියන්න පැකිලුනේ නැහැ. ඉහළ තැන්වලට ගියාට පස්සේ තමන්ගේ දෙමව්පියන් තම තත්වයට මදිකමක් කියල හිතන අපේ නූතන පන්තියේ දුවා දරුවන්ට ඔහු ගේ හැසිරීමෙන් ගත යුතු දෑ බොහොමයි. කොහොමහරි දෙල්ගොඩ කළ්‍යාණ ප්‍රදීප පිරිවෙනෙ හි ඉගෙනුම ලබන කාලයේ තමයි ඔහු ඔය දිවීමේ තරඟ වලට සහභාගි වෙන්න පටන් ගෙන තියෙන්නෙ. ඔන්න ඉතින් දවසක් “කරූ” මේ වගේ ගම හරහා දිවීමේ තරඟයකට මුල්ම වතාවට සහභාගි වෙලා. තරඟය පටන් අරගෙන ටික වෙලාවක් යන කොට අනෙත් තරඟ කරුවො සියල්ලම ඔහුව පසු කරගෙන හැල්මේ දුවගෙන ගිහින්. ඉතින් මේ වෙලාවෙ තරඟයෙ අන්තිමයා විදිහට දුවගෙන යන “කරූ” දැකපු මග දෙපස තරඟය නරඹමින් හිටිය අය ඔහුට සරදම් කරන්නත් අරගෙන . නමුත් ඒ කිසිවක් ගණනකට නොගෙන තමන්ගේ වේගයෙන් දිවපු “කරූ” අන්තිමේදි පළමු වෙනියා හැටියට තරඟය නිමා කරල තියෙන්නෙ මුලින්ම තමන් පසු කරල හැල්මේ දුවපු ක්‍රීඩකයන් අතරමග නවතිද්දී යි. එදා පටන් තමයි ඔහු දිගින් දිගටම මෙවැනි දිගු දුර තරඟ වලට සහභාගි වෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

සාමාන්‍යයෙන් මේ වගේ ගම හරහා දුවන තරඟ වලට තමන්ගෙ මිත්‍රයෙක් සහභාගි වන විට ඔහුව දිරිමත් කරන්න බයිසිකල් වල නැගී පසු පස යාම තරුණයන්ගේ සිරිතක්. දුවන්නෙ එක් කෙනෙක් පමණක් වුනාට ආධාරකරුවො පහක් විතර පස්සෙන් යනවා. කොහොමහරි “කරූ” හෙවත් “ශාන්ත” හදිස්සියෙම මිය ගිය වෙලාවෙ තරුණ සන්ධියෙ දී “ශාන්ත” පසු පස දිරිගන්වමින් ගිය අතීතය අපේ මාමා සිහිපත් කලා. ඔහුගේ සම වයසේ මිත්‍රයකු සහ ඒ කාලයේ පටන් දිරි ගැන්වීම උදෙසා පසු පසින් ගිය “ශාන්ත” ගේ මිය යාම ඔහුට ලොකු සිත් වේදනාවක් ඇති කලා. මුල් කාලයේ ගම හරහා දිවීමේ තරඟ වලදි අනේත් ක්‍රීඩකයින් “ශාන්ත” පසුකර ඉදිරියට යන විට “ශාන්ත අරූ ලඟ යන්නෙ . අල්ලපං , අල්ලපං” යනුනමෙන් කෑ මොර දෙමින් දිරිමත් කිරීමේ යෙදුනු ආකාරය ඔහු ආවර්ජනය කලා.

ඔයින් මෙයින් අපේ ගම් පළාත ඇතුලු ප්‍රදේශ වල ජය කෙහෙළි නැංවූ “කරූ” ජාතික තලයේ ක්‍රීඩකයෙක් බවට පත් වුනා. මේ සියලුම දේවල් වල උපරිම අවස්ථාව වුනේ එක් දහස් නවසිය අනූ එකේ අවුරුද්දේ දකුණු ආසියාතික ක්‍රීඩා තරඟාවලිය. ලංකාවේ පැවැත්තවුන එම ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව පැවැත්වුනේ මීගමූව මාර්ගය දිගේ ජා- ඇළ දඬුගම තෙක් පැමිණ නැවත ආපසු හැරී යාමට සිදුවන ලෙසයි. එදා උදේ අපේ මාමත් බොහොම උනන්දුවෙන් තමන්ගේ මිත්‍රයා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වදින ආකාරය බලන්න හිතාගෙන මීගමුව පාරේ මහබාගෙ හන්දියට ගිහින්. මුලින්ම මැරතන් තරඟය මහබාගෙහන්දියට ළඟා වෙන කොට “කරූ” හා සම සමව නේපාල ජාතිකයන් දෙදෙනෙක් දුවනමින් ඉඳල. ඔවුන් “කරූ” ට වඩා බොහොම උස මහත ක්‍රීඩකයින්. කරට කර තරඟය යන නිසා ආපසු හැරිල එන්නෙ නැතිව දඬුගමි න් තරඟය නැවත හරවා මහබාගෙ හන්දියට තරඟකරුවන් පැමිණෙන තෙක් මාමත් නැවතිලා ඉඳල. අවසානයේදි මහබාගෙ හන්දියට නැවත තරඟය එන විට අර හැඩි දැඩි නේපාල තරඟකරුවන් දෙදෙනාට වඩා බොහෝ ඉදිරියෙන් සිටි “කරූ” ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා දුන්නා.

මිය යාමට කලින් සතියේ “ලක්බිම” පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්න “කරූ” තමන් සංවිධානය කල, තමාටම මරු කැදවූ වැලිවේරියේ මැරතන් තරඟය ගැන විස්තර ලබා දී තිබුනා. එහිදී “කරූ” කියල තිබුනේ කවදා හෝ ඔලිම්පික් පදක්කමක් ගන්න කොල්ලෙක් ලංකාවෙන් හදන්න අවශ්‍යය යි කියන කාරණාව. තමන් දුවන කොට ” කමෝන් කරූ” කියමින් පාරෙ බස් වල ගිය ජනතාව පවා තමා දිරිමත් කල බවත් , ඒ දිරි හැන්වීම අලුත් කොල්ලන්ට කෙල්ලන්ට ලබා දෙන ලෙසත් මේ අව්‍යාජ්‍ය මිනිසා ඉල්ලා තිබුනා. ඉහළ නිල තනතුරු ඔහු දැරුවා වුනත් මං දන්න තරමින් මිය යන තෙක් ඒ පදවි තානාන්තර ගැන ගොඩක් දෙනා දැනගෙන හිටියෙ නැහැ . ඒකට මූලික හේතුව වුනේ නම්බු නාම වලින් ඔලුව ඉදිමෙන ගතිය මේ මිනිසා තුල නොතිබුන එක. නැවත වතාවක් “මැරතන් කරූ” හෙවත් අපේ ගමේ හිතවතුන් අතර “ශාන්ත” නමින් ආදරයට හා ගෞරවයට පාත්‍ර වුනු කේ.ඒ. කරුණාරත්න මහතාට “මගේ සටහන” හි ආචාර උත්තමාචාර පිරි නමනවා.

ආයෙමත් සුපුරුදු ජීවන තොරතුරු දිහාවට හැරෙන්නයි කල්පනාව. ආයතනික පුහුණුව ඉවර වෙලා විශ්ව විද්‍යාලෙ ආපසු ආරම්භ කරන තෙක් පොඩි නිවාඩුවක් ලැබිල තියෙන්නෙ මේ දවස්සවල. විශ්ව විද්‍යාලෙ පැත්තෙ ගියත් එක දවසක වෙනද වගේ අපේ බැචාලා මුණ ගැහුනෙ නෑ. සමහරු ගම් පලාත් වල ගිහිල්ලා පැදුරටත් නොකියම වගේ. තවත් සමහරු දුක සේ තවම ආයතනික පුහුණුව ලබන ආයතනයේ වැඩ රාජකාරි කරනවා. අපිට පුහුණු කාලසීමාව නියමිත ප්‍රමාණය සති විසි හතරක් වුනාට අමහර ආයතන වල මාස හයක් වැඩ කරන්න සිද්ධ වෙලා. ඒ කියන්නෙ සති විසි හයක් වගේ ප්‍රමාණයක්. වැඩේ දුකයි වුනත් කරන්න දේකුත් නැහැ. මම හිතන්නෙ රුසියාවෙත් ඔහොම වෙන්න ඇති.

මම නම් ගෙදරට වෙලා ඔහේ අන්තර්ජාලයෙ සැරි සරන ගමන් , පොතක් පතක් පතක් කියවගෙන චිත්‍රපටියක් කාරිය බලාගෙන කරගෙන ඉන්නවා. මැක්සිම් ගෝර්කි ගේ “මගේ සරසවි” කියවමින් ඉන්නෙ මේ දවස්වල. අන්තර්ජාලය ගැන නම් කියල වැඩක් නැහැ. ඒ ගැන ලියන්න වචන නාස්ති කරන එකයි මතක් වෙනකොට ලේ පිච්චෙන එකයි අපරාදෙ නිසා නොලියා ඉන්නවා. කොහොමටත් මගෙ ඇඟේ තියෙන ලේ ටික මදි නිසා තියෙන ටිකත් පුච්චගත්තොත් ලොකු අකරතැබ්බයක් වෙන්න ඉඩ තියෙනවා. ශරීර සෞඛ්‍යයය ට අහිතකර දේවල් කරන්න එපයි කියල උපදෙස් ලැබිල තියෙන්නෙ මට. චිත්‍රපටි බැලීම නම් ඉඩ කඩ ලැබුන නිසා ආයෙ පටන් ගත්තා. හැබැයි මගේ ළඟ තියෙන ගබඩා ධාරිතාවය අඩු නිසා ඉක්මටම මූලාශ්‍ර හිඟයක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

අලුත් අවරුද්ද අත ලඟටම ආවත් ඒ තරම්ම අමුත්තක් දැනුනෙත් නෑ. ටික කාලයක් යන කොට නිවාඩු පාඩුවෙ ඉන්න එකේ ආශ්වාදය ඇරෙන්න පුංචි කාලේ හිතට දැනුනු සතුට එන්නෙ නෑ. හේතුව මොකක් වුනත් අවුරුදු එළඹීම බාර ගත්තෙ බොහොම උදාසීන හැඟීමකින්. සිරිතක් හැටියට මම ඔය රතිඤ්ඤා පත්තු කරන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳලම විශාල සද්ද වලට තිගැස්සෙන ගතියක් තියෙන නිසාවෙන් දෝ රතිඤ්ඤා පත්තු කිරීම මට නම් කිසි සේත්ම ආස හිතෙන වැඩක් නොවෙයි.

ඔන්න ඉතින් “මගේ සටහන” විසි එක්වන දිග හැරුම ඉරිදා හැන්දෑවේ ලියල ඉවර කලා. මේ සිකුරාදා මැරතන් ඉසව්වට “මගේ සටහන” ඉදිරිපත් වෙන්නෙ නෑ. ඇත්තටම කියනවනම් “අදහස් අවකාශය” කියන බ්ලොග් අඩවිය ඔස්සේ ලියන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. “මගේ සටහන” මූලිකවම තීරු ලිපියක් නිසා එක දිගට සටහන් අනූ හයක් පල කිරීම අසීරුයි. ඒක නිසාම වගේ වෙනස් ආකාරයේ සටහන් කිහිපයක් සමග මැරතන් ඉසව්වට මම කියපු බ්ලොග් අඩවියෙන් සහභාගි වෙනවා. එහෙමනම් අලුත් අවුරුද්ද සමරන “මගේ සටහන” පාඨකයන් ඇතුලු සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් මේ සතියේ සටහන නිමා කරනවා. ලබන සතියේ හමුවෙමු.

මැරතන් කරූ

“මගේ සටහන” ලියවෙන්නෙ මේ විසි වෙනි සටහන. ගිය සතියෙ සටහනට වෙනදට වඩා ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුනා. කොහොම නමුත් විසිවන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

“මගේ සටහන” වෙනදට ලියවෙන්නෙ ඉරිදා හවස් වරුවෙ වුනත් රෑ බෝ වන තුරු වැඩේ කල් ගියා. ඊට ප්‍රධාන හේතුව වුනේ අද දවස තුල අසන්නට වුනු ඛේදජනක සිදුවීම් නිසා. අද උදයේ සිදුවුන බෝම්බ පිපිරීම නිසා සිවිල් වැසියන් ගණනනාවක් මිය ගියා. ඒ අතර අපේ ගම් ප්‍රදේශයේ වාසය කල කේ.ඒ . කරුණාරත්තන මහතා ද වුනා. මැරතන් ක්‍රීඩාව හා බැඳුනු නමක් වුන කරුණාරත්න බොහොම නිහතමානී මනුස්සයෙක්. දෙල්ගොඩ පිරිවෙනෙ හි අධ්‍යාපනය ලබන කාලයේ ඔහු අපේ තාත්තා ගේ ගෝලයකු වුනා. තාත්තා ගේ අවමගංගල සභාවේ ඔහු කතාවක් පැවැත්වූ බව පුංචි අවධියේ වුනත් මගේ සිතේ රැඳී තිබුනා. “මැරතන් කරූ” යන නමින් ලංකාව පුරා පතල වුනු ඔහු හැම දෙනාගේම සිත් දිනාගත්ත මිනිසෙක්.

එක්දහස් නවසිය අනූ එකේ අවුරුද්දේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙ දී ඔහු මැරතන් ඉසව්වවේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා නාමය ඉහළින් රඳවමින්. ඇත්තටම මේ සිදුෟවීම නිසා අපේ ගම් ප්‍රදේශයම කම්පාවට පත්වුනා. දේශපාලනික වශයෙන් ඉදිරියට නොගොස් ම්ලේච්ඡත්වයට මුල් තැන දුන් ත්‍රස්තවාදීන් හමුවේ ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කොතැනටදැයි සිතා ගැනීමටත් බැහැ. ඇත්තටම ඔය සිදුවීම් නිසා “මගේ සටහන” ලියන එක පවා ඕනැවට එපාවට වගේ පටන් ගත්තෙ.

මේ සති අන්තයත් ගෙවිල ගියා. සෙනසුරාදා දවස ගෙවිල ගියේ නුවර නගරයේදි. සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ගැන දැනුවත් කිරීමට හා ප්‍රචාරය කිරීමේ අරමුණු ඇතිව සංවිදානය කල වැඩ සටහනකට සහභාගි වෙන්න තමයි නුවර ගියේ. මෙතෙක් කලක් අන්තර්ජාලය හරහා පමණක් මුණ ගැසී තිබුනු ආනන්ද වර්ධන , බුද්ධික, කාලිංග සහ මීට කලින් වතාවක මුණ ගැසුනු මලින්ත මලයත් හමු වුනා සෙනසුරාදා දවසෙ. අපි එදින කලේ නුවර නගරයේ තෝරා ගත් ස්ථාන වල දී මැරතන් ඉසව්ව ගැන ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා සහ ස්ටිකර් බෙදා දීම. අපේ උත්සහය ඒ තරම්ම අපේ ගියෙත් නැහැ. යම් තරමක සාර්ථකයත්වයක් ලබා ගන්න පුලුවන් වුනා. ඒ අතරෙ දළදා මාලිගාව දිහා හැරිලවත් බැලුවෙ නැති  වුනත්, බුද්ධික සහෝදරය මල් ලක්ෂයයක් පූජා කිරීමේ පින් කමකට සහභාගි වෙනවාදැයි අපට සැක හිතෙන තරමට දවස පුරාම මල් කැඩීමේ නිරත වුනා. ඇත්තටම ඒක දැකල බැති බර වුන අපේ මලින්ත මලයගෙන් ඉබේම සාදුකාර පිටවුනා.

මලින්ත මලය නුවර දි කරපු කියපු කතා මෙහි පල කරන්න එපයි කියල කියපු නිසා ඒ ගැන කියන්නෙ නෑ. සමේ පැහැපත් භාවයට හානි සිදුවෙයි කියල කාලීංග නම්  අව්වේ ඇවිද යාම ගැන දැඩි විරෝධය පල කලා. ඔය අතරෙ ආනන්ද වර්ධන ත් බොහොම උන්නදුවෙන් ප්‍රචාරක කටයුතු වල නිරත වුනා. අන්තිමේදි සිැයලු වැඩ කටයුතු නිමා කරල සෙනසුරාදා හවස් වරුවෙම ගෙදර බලා එන්න පිටත් වුනා. නුවර ගිය වෙලාවට මම කවදත් යන්න ආස කරන පේරාදෙණිය සරසවිය ට නම් මේ වතාවෙ යන්න අවස්ථාව නොලැබීම නිසා පොඩි දුකකුත් ඇති වුනා.

නුවර නගරය නම් බොහොම රස්නෙයි මේ දවස්වල. මේ දවස් වල දවල් වරුවට වැඩිය එළියට බැහැල ඇවිදින්නෙ නැති නිසා දෝ බොහොම වෙහෙසක් දැනුනා අපිට. ඒ මදිවට කාලෙකින් සැලකිය යුතු දුරක් ඇවිදීම ත් හොඳ ව්‍යායාමයක් වගේ වුනා. මොනව වුනත් නුවර නගරයේ ගැවසෙන ජනකායට ප්‍රමාණවත් තරමින් නගරය විශාල නොමැති කමින් මට නම් ඇතිවුනේ බොහොම අපහසුතාවයක්. නගරයයේ ඒ තියෙන අපිළිවෙල ගතිය නිසාවෙන් දෝ මට නම් නොසතුටක් දැනුනා.

නිමා වන සතියෙ සිකුරාදා අපේ “ආයතනික පුහුණුව” නිමා වුනා. සති විසි හතරක කාලය ගෙවිලා ගියේ අපටත් තේරෙන්නෙ නැතිවම වගේ. ඒ කාලය තුල තමයි “මගේ සටහන” ලියන එක ආරම්භ කලේ . සැලකිය යුතු තාක්ෂණික දැනුමක් ලබා ගත්තා වගේම පරිබාහිර කටයුතු වලටත් දායක වුනා මේ සති විසි හතර තුල, විශ්ව විද්‍යායලට වඩා එක්තරා අතකට සැහැල්ලු වාතාවරණයක ඉන්නට ලැබීම එක අතකට ශරීර සෞඛ්‍යයට නම් හොඳ දෙයක් වුනා. ආයෙමත් තව සති දෙක තුනකින් විශ්ව විද්‍යාලෙ යන්න වෙනව.

අන්තිම සතියෙදි නම් තදින් වැඩත් යෙදී තිබුනා. ඒ හේතුව නිසාම මගේ චිත්‍රපටි බැලීමේ විනෝදාංශය කරන්නත් බැරි වුනා. අවුරදු කාලය තුල බලන්න චිත්‍රපට සූදානම් කරගෙන තියෙන්නෙ. විවේකයක් ලැබෙන තුරු තමා දැන් බලාගෙන ඉන්නෙ. ගිය සතියෙ දවසක ගිහින් කාලෙකට පස්සෙ කියවන්න පොත් පත් කිහිපයකුත් ගත්තා. ඒ අතරින් Jerome K. Jerome කියන ලේඛකයගෙ Three men in the boat කියන පොතේ සිංහල පරිවර්තනයත් ගත්තා. එය පරිවර්තනය කරල තිබුනෙ “තේම්ස් නදියෙ සවාරියක්” යන නමින් ජනක මහබෙල්ලන  නම් ලේඛකයා එය සිංහලයට නගා තිබුනා. ඒ පොත කියවීමෙන් නම් ඉළ ඇට ඇදෙන කම් හිනා වුනා.

සාමාන්‍යයෙන් මම පොතක් කියවන විට මහ හඬින් සිනා සෙමින් උපරිම ලෙස රස විඳිනවා. සිනා සෙන්න අවස්ථාවක්  ලැබුන විට සිත් සේ සිනා සිය යුතුයි. ඒ හේතුව නිසා පිටස්තර කෙනෙක් මම පොත් කියවන ආකාරය බලාගෙන ඉන්න කෙනෙක් “මේ යෝධය ට පිස්සු ද මන්ද?” කියල හිතන්නත් ඉඩ තියෙනව . ඔන්න ඔහොමයි මම පොත් කියවන්නෙ. එහෙමනම් මේ සතියෙ “මගේ සටහන” නිමා කරන්නයි සුඋදානම. වෙනද ලියන ප්‍රමාණයට සාපේක්ෂව බොහොම අඩුවෙන් තමයි ලියවුනෙ. ලබන සතියෙ සුපුරුදු ප්‍රමාණය ලියන අදහසින් සමුගන්නවා. ලබන සතියේ නැවත හමුවෙමු.

සඳුදා නිවාඩුව

“මගේ සටහන” නැවත ලිවීම ගැන සතුට පල කිරීම ගැන සියලු දෙනාටම මුලින්ම මේ සතියේ තුති පුද කරනවා. ටිකක් කාර්ය බහුල වුනත් ඉරිදා දවල් වරුවේ “මගේ සටහන” ලිවීම පටන් ගත්තා . එහෙමනම් ඉතින් දහ නව වන “මගේ සටහන” ආරම්භ කරනවා.

ගිය සතියෙ ලිව්වෙ බිග් මැච් සම්බන්ධ මගේ මතකයන් ගැන. ඒක නිසාම මේ සතියෙත් ඒ හා බැඳුනු තවත් මතකයන් ටිකක් හාරවුස්සන්න හිතුනා. බිග් මැච් එක පාසල් ශිෂ්‍යයන් හැටියට ඒ කාලයේ අපට තිබුණු විනෝදාත්මක ඉසව්ව හැටියට හදුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපේ බිග් මාච් එක පැවැත්වෙන්නෙ බ්‍රහස්පතින්දා , සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල. එම සතිය පාසලේ කිසිම අධ්‍යාපනික කටයුත්තක් නොකෙරෙන ගානයි. බොහොම කුල්මත් භාවය කැටි වුන උද්යෝගයකින් තමයි අපි බිග් මැච් එක දිහා බැලුවෙ. එම සතියෙ පැවැත්වෙන අපේ විද්‍යාලයයෙ ශිෂ්‍ය නායකයන් සහ  ගුරුවරුන් අතර පැවැත්වෙන සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරඟය අපේ විනෝදය දියුණු තියුණු කලා.

එම තරඟය තරම් වෙන කිසිම විනෝදයක් තිබුනෙ නෑ කියල හිතෙනවා. අපේ ද්වේශයට ලක් වුනු ශිෂ්‍ය නායකයින්ට එරෙහිව කොහොම හරි ගුරුතුමන් ලා ජයග්‍රහණය කරනව දකින එක තමයි අපේ බලාපොරොත්තුව වුනේ. හැබැයි මම පාසලේ හිටපු කාලය තුල අපේ බලාපොරොත්තු සුන් කරමින් අපේ සතුරු කැල වූ ශිෂ්‍ය නායකයන් හැමදාමත් ජයගත්තා. අඩුම ගානේ වස්තුවක් උපරිම වේගයෙන් යන ආකාරයට ප්‍රක්ෂිප්ත කල යුතු ආකාරය සැමදාම කජු කනවා වගේ  ලෙහෙසියෙන් අපට ඉගැන්වූ අපේ සංයුක්ත ගණිත ගුරුතුමාට වත් නියමිත කෝණයට පහරක් එල්ල කරල ලකුණු ලබා ගන්න බැරි වුනා. භෞතික විද්‍යාව ගුරුතුමා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඉගෙන ගන්න හැමදේම ප්‍රායෝගික නෑ කියන්නෙ ඕක නිසා වෙන්න ඇති.  ඒ තරඟයෙන් ගුරුතුමන්ලා ජයග්‍රහණය කරනවා දකින්න අපේ තිබුණු උනන්දුව කොතරම්ද කියනවනම් අපි කට්ට වැඩත් කලා ඒ වෙනුවෙන්. ගුරුතුමන් ලා පන්දුවට පහර දෙනකොට අපි කරන්නෙ හතර සීමාව ඉදිරියට ගෙන එන එක . එතකොට හතරෙ හයේ පහරවල් එල්ල කරන එක ලේසියි. ශිෂ්‍ය නායකයන්ගෙ වාරයෙදි හතරෙ සීමා ඈත් කරනවා. එතකොට හතරෙ පහරවල් ගහන එක අසීරු වෙනවා. මොන දේ කලත් අපේ සියලු උත්සහයන් ගඟට කපපු ඉනි වගේ අපතේ ගියා.

බිග් මැච් කාලෙට තිබුණු අනිත් විනෝදය තමයි cycle parade එක. ඔය වැඩේ ගැන නම් පත්තර වල බොහොම විවේචනාත්මක ලිපි පලවුනා. අන්තිමේදි cycle parade යන එක තහනම් කරන්න පවා සිද්ධ වුනා. හැබැයි පාසල වෙනුවෙන් ජය ඝෝෂා නගමින් , කොඩි වනමින් පාරවල් දිගේ ගිය හැටි මතක් වෙනකොට ආයෙමත් යන්න හිතෙනවා. ඒ හා බැඳුනු සමහර රසවත් දේවල් තිබුනා. cycle parade එකේදි අපේ විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙක් පෙට්ටයක් රැගෙන ඊට අපේ ප්‍රතිවාදි සාන්ත තෝමස් කොඩියක් පෙරවාගෙන මීනී පෙට්ටියක් රැගෙන යනවා වගේ වීදි ඔස්සේ රැගෙන යනවා. අපේ සිසුන් තව පිරිසක් එය පස්සෙන් “අයියෝ තෝරා මලා, අම්මෝ” යැයි අඬමින් යනවා. සාන්ත තෝමසුවන් හැදින්වූයේ “තෝරා” යන කෙටි නමින්. එය ඔවුන්ට අපහාස කිරීමට යොදා ගත්ත වැඩක්. අපරාදේ කියන්න බෑ ඔවුන්ගේ සිසුනුත් ඒ දේම අපිට කලා. මොනව වුනත් ක්‍රීඩාවෙ දි දෙපිරිසක් වුනත් මිත්‍රයන් හැටියට සාන්ත තෝමසුවන් අති විශිෂ්ඨයි.

සාමාන්‍යයෙන් බිග් මැච් එක දිනුවොතින් ඊ ළඟට එළඹෙන සඳුදා දින පාසලට නිවාඩු දීමේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ එම ජයග්‍රහණය සැමරීමට. කොහොම හරි අනූ එකේ අවුරුද්දෙන් පස්සෙ බිග් මැච් එක දිනන්න බැරි වීම නිසා හැමෝම නොඉවසිල්ලෙන් හිටියෙ. ඒ සම්ප්‍රදාය හා බැඳුනු රසවත් සිද්ධියක් මගේ මතකයේ තියෙනවා. එම සිද්ධිය වුනේ අනූ නවය අවුරුද්දෙ. බිග් මැච් එකට කලින් දවසක ක්‍රීඩා කරන කණ්ඩායම සිසුන්ට හදුන්වාදීමට සහ විදුහල්පති තුමාගේ සුබ පැතුම් පිරි නැමීමට රැස්වීමක් පැවැත්වෙනවා . මෙම රැස්වීමට මුලු පාසලම සහභාගි වෙනවා. පාසලම සහභාගි වන විට විද්‍යාලයෙ ශාලා වල ඉඩ නොමැති නිසාවෙන් ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩාගාරය ඉදිරිපිට තමයි එය පැවැත්වෙන්නෙ.

එම අවුරුද්දෙ කණ්ඩායමේ නායකයා වුනේ තුෂාන් අමරසූරිය. ඔහු තමයි සිංගර් සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතාගේ පුතණුවන්. කොහොම හරි නායකයා විදුහල්පති තුමාට හඳුන්වා දෙන කොට අපේ ගුරුතුමෙක් තුෂාන් ගෙන් ඇහුවා මෙහෙම. “Thushan, will monday be a holiday?” ඒ ව්‍යංගාර්ථයෙන් ඇහුවෙ අපි බිග් මැච් එක දිනයි නේද කියල. “Yes , sir I am sure that monday will be a holiday” කියල තුෂාන් උත්තර දුන්නෙ බිග් මැච් එක දිනන එක ගැන ආත්ම විශ්වාසය පෙන්වමින්. එම ප්‍රකාශයෙන් කුල්මත් වුන අපිත් උඩ පනිමින් අත් පුඩි තැලුවා. මොකද ඒ අවුරුද්දෙ අපිට ප්‍රබල කණ්ඩායමක් හිටියා. අන්තිමේදි බිග් මැච් එකේ ලකුණු පුවරුව මෙහෙමයි.

රාජකීයන් මුල් ඉනිමට කඩුලු 3 කට ලකුණු 288.  සාන්ත තෝමස් පිල කඩුලු 9 කට ලකුණු 258 . රාජකීය දෙවන ඉනිම ලකුණු 80 සියල්ල දැවී. සාන්ත තෝමස් පිල ජයග්‍රහණයට අවැසි වුන ලකුණු 111 කඩුලු 6 ක් දැවී ලබා ගත්තා. මුල් ඉනිමේදි අඩු ලකුණු ගණනකට කඩුලු දැවී ගොස් සිටි   සාන්ත තෝමසුවන් වෙනුවෙන් මෙෂාඩ් පීරීස් අලංකාර ශතකයකුත් දෙවනි ඉනිමේදි සුරංග පීරිස් කඩුලු පහකුත් ලබා ගත්තා. මොනව වුනත් මෙෂාඩ් පීරීස්  ලකුණු බිංදුවෙදි ලබා දුන්නු ඉතා පහසු උඩ පන්දුව අත හැරපු රාජකීය නායක තුෂාන් අමරසූරියගෙ ප්‍රකාශය සනාථ කරමින් අපට කෙසේ වෙතත් සාන්ත තෝමස් විදුහලට සඳුදා නිවාඩු දිනයක් වුනා. ඒ සිද්ධිය බොහොම හාස්‍යජනක වුනාට රාජකීය නායකයට කොතරම් වේදනාවක් දැනෙන්න ඇතිද කිල හිතෙනව. ඒක තමයි ක්‍රීඩාවෙ ස්භාවය.

ඒ සිද්ධි බිග් මැච් එකට බාහිර සිදුවීම්. බිග් මැච් එක තුල මතක් වෙන බොහෝ සිද්ධි තියෙනවා. සාමාන්‍යයෙන් බිග් මැච් එක පවත්වන දිනවල දි දිවා ආහාරය සහ තේ පානය සඳහා තරඟය නතර කරන අවස්ථාවල පිට්ටනිය ඇතුලට යන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව උදා වෙන කම් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ප්‍රීති නාද නගමින් එස්.එස්.සී පිට්ටනියෙ හතර අතට දුව පනින්න ලැබුනු එම අවස්ථාව අපි කවදාවත් පැහැර හැරියෙ නෑ. ආදි ශිෂ්‍යයන් තරඟය නරඹන ක්‍රීඩාගාර ඉදිරියට යන අපි, අපේ විද්‍යාලය වෙනුවෙන් ඔවුන් හා එකතුව ජය ඝෝෂා පවත්වනවා. එවිට තමන් පාසලේ සිටිය කාලය සිහිවීමෙන් වගේ ඔවුන්ගේ දෑස් ප්‍රීතියෙන් පිනා යන අයුරු දැක ගන්න පුලුවන්. ඒ වගේම ක්‍රීඩක විවේකාගාරය ඉදිරිපිටට ගිය විට ඔවුනුත් ,අපි ඔවුන් වෙනුවෙන් දක්වන දිරි ගැන්වීම වෙනුවෙන් දෑත් වනමින් ප්‍රතිචාර පල කරන විට අපි කතා කරගැනීමට බැරිවන තුරු කෑ ගහනවා.

මීට අමතරව සමහර ක්‍රීඩකයන් එල්ල කරපු පහරවල් සහ ක්‍රීඩා කල ඉනිම් තවමත් මගේ මතකයේ රැඳී තිබෙනවා. පාසල් කාලයෙදි ක්‍රීඩා පිටිය පුරා සිය අණසක පැතිරවූ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රීඩක ජෙහාන් මුබාරක් එල්ල කරපු පහරක් ඒ අතර විශේෂයි. දෙදහෙ අවුරුද්දෙ බිග් මැච් එකේදි තමයි ඔහු එම පහර එල්ල කලේ. දෙවන රාජකීය කඩුල්ල බිඳ වැටුනු පසු පිටියට පිවිසි ඔහු සාන්ත තෝමස් පිලේ ජීවන් මෙන්ඩිස් ගේ මුල් පන්දු දෙක තුන ආරක්ෂාකාරීව පිළිගත්තා. ඊළඟට ජීවන් මෙන්ඩිස් එවූ මදක් කෙටි පන්දුවට පාදයක් පිටි පස්සට අරගෙන එහු එල්ල කරපු පහර හතරෙ සීමාවට උඩින් පියාඹගෙන ඇවිත් සාන්ත තෝමස් ශිෂ්‍ය කූඩාරමේ වහලය උඩට වැටුනා. මහ හඬක් නංවමින් වහලයට පතිත වුන ඒ පන්දු පහර අපිට ඉමහත් ප්‍රීතියක් ගෙන දුන්නා. කොහොම වුනත් ජෙහාන් මුබාරක් ලකුණු දහයකට එම ඉනිමේ දැවී ගියා. කොතරම් දක්ෂ පිති කරුවකු වුනත් බිග් මැච් එකකදි ශතකයක් කරා යාමට ඔහුට බැරි වුනා. ඊට අමතරව ඒ අවුරුද්දෙදිම සාන්ත තෝමස් පිලේ මෙෂාඩ් පීරිස් රාජකීය පන්දු යවන්නකු එවූ කෙටි පන්දුවකට සාන්ත තෝමස් ශිෂ්‍ය කූඩාරමේ වහලය උඩට හයේ පහරක් එල්ල කලේ පන්දු යැවූ දිලින පෙරේරා අන්ද මන්ද කරමින්.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” නිමා කරනවා. වචන දහස පැන්නට පස්සෙ කොහොමටත් ලියන්න හිතෙන්නෙ නෑ. කම්මැලි කම නිසා ඊට වඩා ලියවෙන්නෙ නෑ.   ලබන සතියේ ටිකක් කාර්ය බහුල වුනත් වෙලාවට “මගේ සටහන” පල කරන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

අලුත් අවුරුදු බ්ලොග් මැරතන්

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය ඉදිරිපත් කරන සමාරම්භක පොදු කටයුත්ත තමයි බ්ලොග් මැරතන් දිනය. මෙයට ආරම්භක ආවේශය ලැබුණේ ජාත්‍යන්තරව පවත්වන බ්ලොගතන් ඉසවුවෙන්. නමුත් සුළු සුළු වෙනස්කම් කීපයක් සහිත ව ශ්‍රී ලංකාවේ සිංහලෙන් බ්ලොග්කරණයේ යෙදෙන සහ යෙදෙන්න අපේක්ෂා කරන අයගේ සහභාගීත්වයට ගැලපෙන පරිදි සකසා ගත් මැරතන් ලිවීමේ දිනයක් තමයි මේ.

අප්‍රේල් මාසේ 18 වැනි සිකුරාදා රාත්‍රී 8 ට පැවැත්වෙන මෙය අප්‍රෙල් මාසයේ පැවැත්වෙන නිසා “අලුත් අවුරුදු බ්ලොග් මැරතන” යනුවෙන් හඳුන්වා ඇත.

මොකක්ද මේ අලුත් අවුරුදු බ්ලොග් මැරතන් කියන්නෙ?

මෙය පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්.

කොහොමද මම එකතු වෙන්නෙ?

පළමුවෙන් ඔබට බ්ලොග් එකක් තිබිය යුතුයි. බ්ලොග් අඩෙවියක් ඇරඹීම ඉතා සරල කටයුත්තක්. උපදෙස් අවශ්‍ය නම් මේ පිටුව බලන්න.

මට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි ද?

බෑ. මේ අවස්ථාවේ පළ වෙන සටහන් සිංහල බසින් වීම අත්‍යවශ්‍ය යි.

තේමාවක් තියෙනවද?

නෑ. ඔබ ලියන්නේ ඉතා කෙටි සටහනක්, කවියක්, වැකි කීපයක්, සජීවී පුවත් විචාරයක්, නැතහොත් නන්දෙඩවිල්ලක් විය හැකියි. මහා දිග ලිපියක්, ශාස්ත්‍රීය ලේඛනයක්, විචාරයක් වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ බ්ලොග් සටහන් පළ කිරීම මගින් අඛණ්ඩ ව පැය විසි හතර පුරා සහභාගී වීම යි.

මට සිංහලෙන් පරිගණකයේ ලියන්න සකස් කරගන්නෙ කොහොමද?

මෙන්න මේ උපදෙස් අනුව ඔබේ පරිගණකයට ගැලපෙන සිංහල පැකේජය ස්ථාපනය කරගන්න. ගැටලු මතු වෙනවා නම් #sinhala-bloggers යන ස්ථානයේ පිහිටි IRC පිළිසඳර කුටියට (chat room) පිවිස අපේ සාමාජිකයින්ගෙන් උදව් ලබා ගන්න. එසේ නැති නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහයෙන් උදව් ගන්න.

ඉතින් දිවා රෑ නැතුව මේ ලිවීමෙන් ලැබෙන පලප්‍රයෝජනය මොකක්ද?

  • බ්ලොග්කරුවන් අතර සුහදත්වය දියුණු කරන විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.
  • කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
    (awareness) පුලුල් කිරීමට දවසක්.
  • සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

එහෙනන් මැරතන් එක දුවන්න ලෑස්තිවෙමු! )

බිග් මැච්

“මගේ සටහන” ලිවීම අතඇරල දැම්මෙ ඒක ලියන එකෙන් ලබපු ආශ්වාදය නැති වෙලා ගිය නිසා. අන්තයටම කලකිරීමෙන් හිටපු වෙලාවක ලියන එක වදයක් බවට පත් වුනා. කොහොම වුනත් “මගේ සටහන” හරහා මට මුණ ගැසුනු යාලු මිත්‍රයින් හා අනෙක් ළබැඳියන් නොයෙක් වර කතා කරමින් දිරි ලබා දුන්නා “මගේ සටහන” නොනවත්වා දිගටම ලියන්න කියලා. නැවත ලිවීම කෙසේ වෙතත් විද්‍යුත් ලිපින එවමින්, ප්‍රතිචාර දක්වමින් සහ මාව අමතමින් හිත හදාගන්න උදව් කරපු දිලි, මධු, ආනන්ද, ටිරෝන්, මලින්ත ඇතුලු සියලුම දෙනා හට ස්තූතිය පල කල යුතුයි. එහෙම නොවන්නට සියලුම ලිවීමේ වැඩ කටයුතු අත හැරල දමල හුදකලාවෙ ඉන්නට තිබුනා.  අන්තිමේදි සියලු දෙනාම දැක්වූ අවධානය නිසා මැරතන් උළෙල නිමා වන තුරුවත් “මගේ සටහන” ලියන්නට තීරණය කලා. මොනව වුනත් විශ්‍රාම ගන්නා බ්ලොග් කරුවන්ට එල්ල වන තර්ජන ගර්ජන වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි කියන එක නම් වැටහුනා මේ වෙලාවෙ. 🙂 එහෙමනම් යම් නිහැඩියාවකට පස්සෙ “මගේ සටහන” දහ අටවන ලිපිය ආරම්භ කරනවා.

ගිය සති කිහිපය ගෙවී ගියේ පාසල් අතර මහා ක්‍රිකට් තරඟ හෙවත් “බිග් මැච්” උණුසුමින් හැම දෙනාවම කුල්මත් කරමින්. කාලකට පස්සෙ ලියන එකේ මගේ බිග් මැච් මතකයන් ගැන මෙවර “මගේ සටහන” ලියන්න හිතුනා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තමන්ගෙ පාසලේ නොවුනත් අනෙකුත් පාසල් මහා ක්‍රිකට් තරග ගැන උනන්දුවක් දක්වන එක තමයි ස්භාවය. මට බිග් මැච් ගැන ආසාව ඇති වුනෙේ අපේ තාත්තා නිසා. බිග් මැච් ගැන මට දැනුමක් තේරුම්ක ආවෙ මම හතරෙ පන්තියෙ විතර ඉන්න කොට. ඒ දවස් වල තාත්තා අයහපත් සෞඛ්‍යය තත්වය මත ගුරු වෘත්තියට ආයුබෝවන් කියලා ගෙදරට වී සිටි කාලය.  තාත්තා හොඳ ක්‍රිකට් ලෝලියෙක්. ඒක නිසා පාසල් මහා ක්‍රිකට් තරඟ වල විස්තර විචායන්ට සවන්දීම තාත්තගෙ පුරඋුද්දක් වෙලා තිබුනා. ඔය විස්තර ප්‍රචාර ඇහෙනකොට මටත් ඉබේටම වගේ ඒ ගැන උන්නදුව ඇති වුනා.

සාමාන්‍යයෙන් තර්ස්ටන් – ඉසිපතන , ආනන්ද – නාලන්ද , රාජකීය – සාන්ත තෝමස් විද්‍යාල අතර බිග් මැච් වලට සවන්දීම අපේ පුරුද්ද. ඔය අතරින් මගේ වඩාත් සිත් ගත් තරඟය වුනේ රාජකීය – සාන්ත තෝමස් විද්‍යාල අතර “නිල් මහ සටන” නමින් විරුදාවලි ලත් මහා ක්‍රිකට් තරඟය. ඒකට ප්‍රධානම හේතුව එම තරඟය දින තුනක් පුරා පැවැත්වීම. වර්තමානයේ මාතර සාන්ත තෝමස් සහ සර්වේශස් විදුහල් අතර තරඟය දින තුනක් පැවැත්වුනත් ඒ කාලයේ තුන් දින තරඟයකට තිබුනෙ එම තරඟය පමණයි. එම නිසාම ශිෂත්ව විභාගය සමත් වෙලා එම විදුහල් දෙකෙන් එකකට යන්න ඇත්නම් කියල මට හිතෙමින් තිබුනා. ක්‍රිකට් ක්‍රීඩාවට මං කිසි සේත්ම දක්ෂයකු නොවුනත් කවදහරි ඒ වගේ මහා තරඟයක පිට්ටනිය හතර වටේට යන්න පන්දුවට පහර දෙන්න ඇත්නම් කියන එක මගෙ සිහින වල තිබුනා. කොහොමටත් පොඩි කාලෙ ළමයි දකින සිහින වල ඒවා සැබෑ කරගන්න පුලුවන්ද කියන එක ගැන එතරම් තැකීමක් නෑ. ඒක තමයි ළමා වයසෙ හැටි.

ඔය ක්‍රිකට් තරඟ ගැන මතකය කොතරම්ද කියනවනම් අනූ හතරෙ අවුරුද්දෙ රාජකීය කණ්ඩායමේ නායක්ත්වය දැරුවෙ දිනේෂ් ධර්මරත්න බව මට තවම මතකයි. ඒ වගේම අනූ පහ අවුරුද්දෙ නාලන්ද කණ්ඩායමේ නායකත්වය දැරුවෙ වර්තමාන ජාතික කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන. ඒ කාලයේ ඔහුව හැදින්වුනේ “නාලාන්දාවේ දිලෙන තරුව” යන නමින්. ඒ තරමටම කුඩා අවධියේ ඉඳන්ම ඔහු ගැන විශාල බලාපොරොත්තු තබා තිබුනා. ඊට අමතරව තිලාන් සමරවීර, අවිශ්ක ගුණවර්ධන, හේමන්ත බොතේජු යන් ක්‍රීඩකයන්ගේ නම් බොහොම ප්‍රසිද්ධ වී තිබුනා.

අන්තිමේදි පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසා රාජකීය විද්‍යාලයට ඇතුලත් වෙන්න ලැබුනා. බිග් මැච් ලෝකයේ මගේ සිහින වල අංක එකට තිබුන විද්‍යාලයට යන්න ලැබීම එක අතකට මගේ සිත සතුටට පත් කලා. කොහොම වුනත් මම මුල්ම වතාවට බිග් මැච් එක බලන්න ගියේ අනූ අටේ අවුරුද්දෙදි. එතකොට ම  හිටියෙ නවයෙ පන්තියෙ. අපේ තරඟය පැවැත්වුනේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදි. කොහොමටත් බිග් මැච් එක බලන්න යන එක ඒ දවස්වල ශිෂ්‍යයන් හැටියට අපිට හරිම විනෝදජනක වගේම වාසිදායක කටයුත්තක්. ඊට හේතුව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ගේ සංවිධාන ශක්තිය. සාමාන්‍යයෙන් බිග් මැච් එකේදි අපට දිවා ආහාරය සහ සිසිල් බීම බෝතල තුනක් නොමිලයේ ලැබෙනවා. තරඟයේ තෙවනි දවස වන විට පැමිණීම අඩු නිසා වැඩිපුරත් ලැබෙනවා. ඒ දිනවල ප්‍රවේශ පත්‍රය වුනේ රුපියල් තිහක් වගේ මුදලක්. ඒ මුදලෙ හැටියට අපිට ලැබුන පහසුකම් ඉහටත් උඩින්.

අනිත් සිත් ඇදගන්න සුලු කාරණාව තමයි අලංකාර සැරසිලි සහ අති ප්‍රසිද්ධ පපර බෑන්ඩ් හෙවත් සංගීත කණ්ඩායම්. දවස් තුන පුරාම එම සංගීතයට අනුව නිදහසේ දුුවිලි නාගෙන නටන්න ලැබීම අපිට ඒ දින වල ගෙන ආවෙ කියා නිම කල නොහැකි තරමේ සන්තෝසයක්. එ් සංගීතය ඇහෙන කොට ඕනේම කෙනුකුට ඉබේම නටන්න හිතෙන තරම්. මම බිග් මැච් නැරඹන්න ගිය ප්‍රථම අවුරුද්දෙදි අපේ විදුහලේ පාසල් ශිෂ්‍යන්ගේ කූඩාරමත් සාන්ත තෝමසුවන්ගේ ශිෂ්‍ය කූඩාරම් පිහිටා තිබුනේ එස්.එස්.සී පිටියේ ස්ථාන දෙකක. නමුත් පස්සෙ කාලෙකදි අප දෙවිදුහලේම කූඩාරම් එක ළඟ ඉදිවුනා. ඒක නිසා අපේ පිතිකරුවකු හතරේ හෝ හයේ පහරක් එල්ල කල විට සාන්ත තෝමසුවන්ගේ කූඩාරම් දෙසට හිතේ හැටි හූ හඬ ලබා දෙන්නට පසුබට වුනේ නෑ. ඒ වගේම ඔවුන්ගේ ශිෂ්‍ය නායකයන් අපේ කූඩාරම ඉදිරි පිටින් යන විට ඔවුන්ගේ කන් බිහිරි වන තරමට හූ හඬ නගමින් කෑ ගැසූ හැටි සිහිවන විට ආයෙමත් ඒ කාලයට යන්නට ඇත්නම් කියල හිතෙනවා. මොනව වුනත් මගේ පාසල් ජීවිතය තුල සාන්ත තෝමස් ශිෂ්‍යන් සහ අපේ ශිෂ්‍යන් අතර ගැටුම් ඇතිවෙනවා මම දැකල නැහැ. ලංකාවේ පාසල් අතර විනය අතින් ඉතාමත් ඉහළ මට්ටමේ හැසීරීමක් සාන්ත තෝමසුවන් තුල තිබුන බව අදටත් ආපසු හැරිලා බලන විට සිහි වෙනවා.

අපේ ශිෂ්‍ය කූඩාරම් ඉදිකරන්නෙ එස්.එස්.සී පිටියේ ප්‍රධාන ලකුණු පුවරුව ඇති ස්ථානය මැදි කරගෙන. උදේ ඉඳන් කෑ ගැසීමෙන් හෙම්බත් වෙලා ඉන්න අපි බොහෝ විට හවස් යාමයේ ලකුණු පුවරුව හෙවනේ බොහොම විවේක සුවයෙන් යුතුව වැතිරිලා ඉන්නවා. එස්.එස්.සී පිටියේ යකඩ වැටේ අස්සෙන් කකුල් දමාගෙන අපේ විද්‍යාලයීය කොඩියක් වනමින් හිටපු මාව එක වරක් රූපවාහිනි කැමරාවකටත් ලක්වුනා. එම දර්ශනය රූපවාහිනියේ ප්‍රදර්ශනය වන විට වඳුරු පැටියෙක් සත්තු වත්තෙ කූඩුවකින් එළියට එබිලා බලන දසුනක් සිහියට නැගීම වලක්වන්න බැහැ. ඇත්තටම ඒ අතීතය මොන තරම් සුන්දරද කියල සිහියට නැගෙන්නෙ දැන් තමයි.  

 මම නරඹපු මුල්ම රාජකීය – සාන්ත තෝමස් තරඟයෙදි මුලින්ම කාසිය වාසිය දිනුව සාන්ත තෝමස් කණ්ඩායම ලකුණු  රැස් කිරීමේ වාරය තමන්ට ලබා ගත්තා. තම පාසල් දිවිය තුල රාජකීය පන්දු යවන්නන් භීතියට පත් කල උපේක ප්‍රනාන්දු පිට්ටනිය හතර වටේට පන්දුවට පහර දුන්නෙ අපේ පිල හොඳින් ක්‍රීඩා කරන්නවා බලන්නට මුල්ම වතාවට ගිය මගේ බලාපොරොත්තු කඩ කරමින්. ඇත්තටම සාන්ත තෝමස් විදුහල මෑත භාගයේ බිහිප කල අපූරුතම පිතිකරුවා ඔහු වග මගේ හැගීම. හරියට සනත් ජයසූරියට අනූ හයේදි සෙසු කණ්ඩායම් දැක්වූ සැලකිල්ලට සමාන සැලකිල්ලක් ප්‍රතිවාදි පාසල් කණ්ඩායම් ඔහුට දැක්වූවා. ඒ තරඟයේ දිවා ආහාරය වන තුරුත් ඔවුන්ගේ  කඩුල්ලක් දැවුනෙ නෑ. අන්තිමේදි මුලු ලකුණු එකසිය විස්සෙදි ඔවුන්ගෙ මුල්ම පිතිකරුවා දවා ගන්නට අපේ පන්දුයවන්න් සමත්වුනේ අප අමන්දානන්දයට පත් කරමින්. එතෙක් වේලා දුක්මුසුව පසුවුන අපේ ශිෂ්‍යන් නැවත පණ ලැබුවා මෙන් ප්‍රීති ඝෝෂා නගමින් නැටුව ආකාරය මට අදටත් මතක් වෙනවා. දුවිලි වලාවලින් අපි සියලු දෙනාම වැසී යන තරමේ උද්යෝගයකින් යුතුව අපි ඒ නැටුමේ නිරතවුනා. කලින් වසරෙදි බිග් මැච් එක පැරදිලා හියපු අපේ රාජකීය කණ්ඩායම යන්තම් ජය පරාජයෙන් තොරව එම තරඟ නිමා කලා. දක්ෂ නායකයකු වුන රාජකීය නායක ෂානක පෙරේරා හට එම උත්සහය පිළිබඳව වැඩි අගය කිරීම ලබා දිය යුතුයි.

එහෙමනම් ඉතින් අන්තිමේදි “මගේ සටහන” නැවත වතාවක් ලියවුනා. ආයෙමත් ඉතින් එහෙම කරන්න දිරි ලබාදුන් මිතුරන් සිහියට නැගෙනවා. බිග් මැච් එක ගැන කියන්න කතන්දර එමටයි. දිගටම ලිව්වොතින් ඒ ටික අනිවාර්යයෙන්ම ලියනවා. එහෙනම් සමුගන්නට අවසරයි මේ සතියට.
 

    

අවසාන සටහන

“මගේ සටහන” සුපුරුදු පරිදි මෙවර පල වෙන්නෙ නැහැ. ප්‍රමාද වී හෝ පල කරන බවට ගිය සතියෙ කිව්වත් අන්තිමේදි මුකුත් නොකර ඉන්න තීරණය කලා. මේ ටික ලියන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ “මගේ සටහන” හි ඉදිරිය ගැන දැනුම් දීමට අවශ්‍යය වුන නිසා. බොහෝ විට මේ ලියවෙන්නෙ “මගේ සටහන” අවසාන ලිපිය වන්නට ඉඩ තියෙනවා.

මේ ලියන්න පටන් ගත්තෙ සිකුරාදා රාත්‍රියෙ.  වෙනදට “මගේ සටහන” ලියන්නනෙ බොහොම උද්යෝගයකින් වුනත් මෙවර එය දැනුනෙම නෑ . මොකද්දෝ විස්තර කරන්න බැරි ශුන්‍ය භාවයක් මාව වෙලාගෙන තියෙනව කියල දැනෙන්න පටන් ගත්තා. දැන් ටික දවසක ඉඳල ඒක හිතට වද දුන්නා. “මගේ සටහන” ලියන එකත් වැඩකට නැති දෙයක් කියන එක මගේ සංවේදනයට පාත්‍ර වුනා.

ශුන්‍ය භාවය , හිස්කම එක්ක ජීවිතෙ අත් වැල් බැඳ ගෙන. ලෙර්මන්තොව් ගෙ “අපේ කාලයේ වීරයෙක්” මතක් වුනා. ඔහු කියපු තමන්ගෙ ජීවිතේ අරමුණ හොයා ගන්න බැරිව එය සොයමින් ඇවිදපු රුසියානු තරුණයා මට ආදේශ වෙලා කියල මට හිතුනා. “වොලී බිසෙල්” නම් ඇමරිකානු බැලේ තරුව ඇතුලෙ හිටපු ඛේදවාචකයක් වුන මිනිස් ආත්මය අන්තිමේදි මට අබිමුඛ වෙලා කියල දැනෙමින් පවතිනව. මම ශුන්‍යත්වයට ආදරය කරන්න පටන් අරගෙන.

සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගෙ ලිපි ආයෙ කියෙව්ව. හැම තැනම මුල ඉඳල උත්තර හොයන්න පටන් ගත්තා. සුනිල් මහත්මයා ඉන්නෙ කලකිරිලද කියන ප්‍රශ්නෙ ඇති වුනා.  සුනිල් දිවි නසාගැනීම ගැන ලියල තිබුන. පරාජිත භාවය කියන්නෙ මොකද්ද කියන එක මට හොයන්න අවශ්‍යය වුනා.

ජීවිතය මොකද්දෝ කෙලවරක නැවතිලා තියෙනව කියල දැනෙනව. හිතට එන දේ පවා ඔහේ ලියල දැම්මෙ ඒක නිසයි. ළඟදි මගේ මිත්‍රයෙක් හා කතා කරපු වෙලාවෙ ඔහු ඇහුව “කලකිරීමෙන්ද ඉන්නෙ?” කියල. ඒකට උත්තරය මං හරියටම දන්නෙ නෑ. ලංකාවෙ තරුණ පරම්පරාව මුහුණ දෙන සමාජ විපර්යාස වලින් මමත් හෙම්බත්ව ඉන්නවද කියල මං මගෙන්ම ඇහුවා. පිළිතුර මං තවම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මට මෙන්න මේ ටික හම්බ වුනා.

“ශාරි පුත්‍රයෙනි, සැබවින්ම, සකල විධ වූ ධර්මතාවයක්ම ශුන්‍යතාවය ස්වභාව කොට පවතින්නේය. එය අලුතින් නිපද විය නොහැක්කේය. විනාශකල නොහැක්කේය . ශුන්‍යත්වය ජීවිතයේ සෞන්දර්යයි. ආනන්ද ජනක වූ පැවැත්මයි………… ආදී වශයෙනි.”

සංසාරණ්‍ය අසබඩ, සයිමන් නවගත්තේගම. 316 පිටුව

“මගේ සටහන” මෙතෙක් කල් කියවපු ප්‍රතිචාර දක්වපු සියලු දෙනාටම ස්තූතිය පල කරනවා. මට තවම මාව මුණ ගැහුණෙ නෑ. ඒක නිසා මේ අවසාන “මගේ සටහන” වේවි. අවසානය ඉක්මනින් ළඟා වෙතැයි සිතුවෙ නැති වුනත් එය මං අසල කියල මට හිතුන නිසා “මගේ සටහන” ට නැවතීමේ තිත තබන්නට අවසරයි.

කකුල උඩින්

“මගේ සටහන” ගිය වර ලිපිය මුල දවසෙදි එතරම්ම ප්‍රමාණයක් කියවල තිබුණෙත් නැහැ. කියවන එක එපා වෙලාදෝ කියලත් හිතුනා එක පාරටම. කොහොම වුනත් සතියෙ මැද වෙනකොට වෙනද කියවන ප්‍රමාණයම කියවල තිබුනා. අපේ බැචාලා කිහිප දෙනෙක් “මගේ සටහන” කියවනව කියල දැන ගත්තෙ මේ සතියෙ. ඒක බොහොම සතුටට කාරණාවක්. අපේ බැචාලට “මගේ සටහන” හඳුන්වා දීම ගැන අපේ පුබුදුනී ට “මගේ සටහන” හි ස්තුතිය පල කරනව ඉස්සෙල්ලම. එහෙම නම් “මගේ සටහන” දහ හත්වන ලිපිය මෙතැන් සිට ආරම්භ කරනව.

ගියවර ප්‍රතිචාර අතරෙ කියල තිබුනනෙ කාන්තාවන්ගෙ විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයෙත් වැරදි ගැන ලියන්න කියල. ඒක කතාව ඉතින් ඇත්ත. නොයෙක් ආර්ථික , සමාජ සහ දේශපාලන විපර්යාස වලට මුහුණ දුන්නට පස්සෙ ගැහැණු පිරිමින්ගෙ හැසිරීම් රටා වෙනස් වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි. සරලවම කියනවනම් කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවනෙ. දවසින් දවස මිනිස් සම්බන්ධතා වල තිබිය යුතු මානූෂීය භාවය ගිලිහිලා යන ආකාරය දකින කොට දුක හිතෙනවා.  ගනුදෙනු ඇරෙන්නට වෙනත් දෙයක් අපි ඉදිරිපිට නැති වෙන තැනට සමාජය ගමන් කරනවා. ඔය කාරණාව ගැන “මගේ සටහන” පාඨකයන්ට හිතල බලන්න කියල ආරාධනා කරනව.

කාන්තාවන් හැන කියන කොට මට තව කතාවක් මතක් වුනා. මේ කතාව අපේ පිරිමි පාර්ශවයෙ උදවියට ටිකක් කල්පනා කරල බලන්න හිතෙන ආකාරයෙ කතාවක් වෙයි කියල හිතෙනව. කතාව මං කියෙව්වෙ “මුතුහර” සඟරාවකින්. මං හතේ පන්තියෙ ඉඳල “මුතුහර” සඟරා එක්ක ඇතිවුණ බැඳීම තාම එහෙමම තියෙනව. ඒ හරහා මගෙ දැනුම් පිපාසය සංසිඳවගන්න ලැබුණු පිටිවහල අති විශාලයි. වැඩිය වැල් වටාරම් නෑතුව මං කතාව කියල ඉන්නම්.

මේ සිදුවීම වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ යටත් විජිත පාලන සමයෙදි. ඒ කාලෙ ඉන්දියාවෙ සේවය කරපු මහත්මයෙක් තමන්ගෙ හිත මිතුරන් පිරිසකට සාදයක් පැවැත්තුවලු. සාදය බොොම ජයටම පැවැත්වීගෙන යන අතරෙ සියලු දෙනාම ප්‍රධාන ශාලාවෙ කෑම මේසයෙ අසුන් ගෙන ඉන්නවලු. සාමාන්‍යයයෙන් පිරිසක් එකතු වුනහම නොයෙක් මාතෘකා ඔස්සෙ වාද විවාද ඇති වෙනවනෙ. මෙතනදිත් ඔය වගේ වාදයක් ඇතිවුනාලු කර්නල් වරයෙක් සහ තරුණියක් අතර. මාතෘකාව වුනේ හදිසි අවස්ථාවකදි කලබල නොවී නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තියෙන්නෙ ගැහැණු පාර්ශවයටද පිරිමි පාර්ශවයටද කියන එක.

අර තරුණියත් බොහොම උනන්දුවෙන් තියුණු විදිහට විවාදයට එළඹිලා ඉන්නවලු. මේසෙ හිටපු අනිත් උදවියත් පොහොර දමමින් මේ කතාවට සම්බන්ධ වෙමින් හිටියලු. මේ අතරෙදි ඔය මේසෙ හිටපු එක්තරා මහත්මයෙක්ට (අපි කියමු ජැක් කියල) තමන්ගෙ ඉදිරිපස අසුන්ගෙන හිටපු සාදය සංවිධානය කරපු ආරාධකයගෙ බිරිඳගෙ මුහුණ දිහා දැකල අමුත්තක් තේරුණාලු. එක පාරටම ඇයගෙ මුහුණෙ මස් පිඩු දැඩි වෙලා භීතියට පත් වෙනව ඔහු නීරීක්ෂණය කලාලු. මොකක් හෝ අසාමාන්‍ය දෙයක් සිද්ධ වෙන බව ඔහුට එවෙලෙ දැනුනලු. ඊළඟට අර කාන්තාව ළඟ හිටපු මෙහෙකාර කොලුවකුට කතා කරල රහසින් මොකද්දෝ කොඳුරනව ඔහු බලා ගෙන හිටියලු. මෙහෙකාර කොලුවත් විස්මයෙන් වගේ ඇගේ දිහා බලල නිවස ඇතුලට ගිහිලල ඉක්මනට ආපසු ආවලු කිරි දමාපු දීසියකුත් අරගෙන. මෙහෙකාර කොලුවා ඒක ශාලාවට එපිට ආලින්දයෙ ඒ කිරි දීසිය ගිහින් තිබ්බලු. සංවාදයෙ ගිලිල හිටපු නිසා අනිත් උදවියට මේ ගැන අවධානය යොමු වුනේ නෑ.

ඉතින් මේ සිද්ධිය බලාගෙන හිටපු මහත්මය කල්පනා කරන්න පටන් ගත්තලු මේ කොකද වෙන්නෙ කියල. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ කිරි දීසියක් තියන්නෙ සර්පයන්ට. ඒ කියන්නෙ මේ ශාලාව ඇතුලත සර්පයෙක් සිටිය යුතුයි. ඔහු වටපිට බැලුවා ශාලාවෙ හැම කෙලවරකම. සර්පයෙක්ගෙ සලකුණක් වත් නැහැ. එක පාරටම ඔහුට තේරුණා එහෙනම් සර්පයා ඉන්නෙ කෑම මේසය යට බව. අනතුරු අඟවල කෑ ගහුවොත් සර්පයා කලබල වෙලා දෂ්ඨ කරනව නියතයි.  ඒක නිසා ඔහු හිතුව මොකද කරන්නෙ කියල.

එක පාරටම ඔහු මෙහෙම කියමින් කෑම මේසේ රැස්වෙලා හිටපු උදවියගෙ අවධානය තමන් වෙත දිනාගත්ත. “මං දැන් එකේ ඉඳන් තුන්සීයට ගණන් කරනව , ඒ කාලය ඇතුලත හැමෝම හෙලවෙන්නෙ නැතිව ඉන්න ඕනේ. එහෙම ඉන්න බැරුව තමුන්ගෙ හැඟීම් පාලනය කරගන්න බැරි වුන කෙනා පරාදයි.” හැමෝම යෝජනාවට එකඟ වුනා. දැන් ගණන් කිරීම ආරම්භ වුනා. එකයි, දෙකයි,  …….. ………………….   දෙසිය අසූ තුනයි. ්

ඒ මොහොතේ මේසය යටින් මතුවුන දැවැන්ත නාගයෙක් ආලින්දයෙ කිරි දීසිය දිහාවට ඇදෙන්න ගත්ත. වහාම පුටුවෙන් ඉවතට පැනල හැමෝටම අනතුරු අඟවන ගමන් ඔහු ශාලාවෙ දොර ඉක්මනට වහල දැම්මා. රැස්වෙලා හිටපු පිරිස පුදුමයට පත්වුනා වුන දේ ගැන. එවෙලෙ සාදය සංවිධානය කරපු මහත්මය කිව්ව මෙන්න මෙහෙම.

“හදිසි අවස්ථාවකදි නිවැරදි තීරණ කලබල නොවී ගන්න පිරිමි දක්ෂයි කියන එක ජැක් මහත්මය අපිට උදාහරණයකින්ම පෙන්නල දුන්නා”

“පොඩ්ඩක් ඉන්න” මේ ජැක් කියන පුද්ගලයා අර මුලින් කිව්ව ආරාධකයගෙ බිරිඳ දිහාවට හැරෙමින් කිව්වලු.

“මට කියනවද ඔබ කොහොමද දැනගත්තෙ මේසය යට නාගයෙක් ඉන්න බව” සාදයෙ හිටපු පිරිස වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉහළට ගත්ත හුස්ම  පහල දාන්නෙ නැතුව අර කාන්තාව දිහා බලන් හිටියලු. ඒ කාන්තාවත්  හෙමිහිට හිනා වෙලා මෙහෙම කිව්වලු.

“ඌ ඉස්සෙල්ලම බඩ ගාගෙන ඇදුනෙ මගෙ කකුල උඩින් නිසා”

කොහොමද කතන්දරේ. ඇත්ත කතන්දරයක් වුනත් ප්‍රබන්ධයක් වුනත් ඒක බොහොම වටින කතාවක් කියලයි මට හිතෙන්නෙ. අපි බොහෝ වෙලාවට නොයෙක් දේවල් ගැන අධි තක්සේරුවෙන් ඉන්නවනෙ. ඒ වුනාට හිතට එකඟව හිතල බැලුවොත් මේ ලොකේ තියෙන කාරණා වල යතාර්ථය අපි විසින් ගොඩ නගා ගත්ත දේවල් වලට වඩා බොහොම වෙනස් බව තේරුම් ගන්න පුලුවන්.

ඔය ගැහැණු පිරිමි කතන්දරේ ගැන තව කිව්වොත් කාලෙකට ඉස්සෙල්ලා ගුවන් විදුලි නාලිකාවක් ගැන ගිය දැන්වීමක් මට මතක් වෙනව. ඒ දැන්වීමේදි කියනව “හැකියාවට ගැහැණු පිරිමි භේදයක් නැහැ” කියල. ඒකත් මං කැමති කියමනක්. වැදගත් වන්නෙ මිනිස්සු හැටියට කොතරම් හොඳින් හැසිරෙනවද කියන එක විතරයි. මං ගිය සතියෙ කිව්වා වගේ ගෙවල් වල අපේ අම්මල ඒ කියන්නෙ කාන්තා පාර්ශවය කරන වැඩ කන්දරාවෙ මූල්‍යයමය වටිනාකම එහෙම බැලුවොත් කොච්චර වටිනාකමක් තියෙයිද? නමුත් කිසිම මැසිවිල්ලක් නගන්නෙ නැතුව ජීවිතේ දුක්ඛ දෝමනස්සනයන්ට මුහුණ දෙන්න කාන්තාවන්ට පුලුවන් වුනේ මාතෘත්වය කියන සොබාදහමින් මිනිස් වර්ගයා සතුවුන විශිෂ්ඨතම ගුණය ඇයට දායාද වුන නිසයි කියන එක මගේ කල්පනාව.

සාමාන්‍යයෙන් කියනවනෙ පැටියෙක් ලැබුනම අලි රංචුවක ඉන්න අනිත් ඇතින්නියන්ටත් කිරි එරෙනව කියල. ඇත්තටම අම්ම කියන්නෙ කොහොමටත් විශ්ව සංකල්පයක් වගෙයි. මානව ඉතිහාසය පුරාවටම කාන්තාව මීට වඩා ඉහළින් සැලකුම් ලබන්න ඇයට ලැබ්‍ෙන අම්ම කියන පදවියම හොඳටම ඇති.

කරගෙන ආපු  මාතෘකාවෙන් බැහැර වෙලා ටිකක් මගෙ ජීවිතේ දිහාවට ආපහුව හැරෙන්න හිතුනා. ගිය සතියෙ ප්‍රශ්න පත්තර දෙකකට උත්තර ලියන්න විශ්ව විද්‍යාලෙ ගිහින් ආවා. ඒක නිසා දැන් හිත ටිකක් නිදහස්. තවත් එකක් තියෙනව ලියන්න. ඒක වෙලා තියෙන නිසා කරදරයක් නැතුව ලියල දාන්න පුලුවනි. හැබැයි ඒක නිසා “මගේ සටහන” ලබන සතියෙ පල කිරීම ටිකක් ප්‍රමාද වෙන්නත් ඉඩ තියෙනව.

 “මගේ සටහන” ලියන්න ගත්තෙ අන්තිම මොහොතෙ. ඒ කියන්නෙ ඉරිදා රැ වෙලා. එක පාරටම ලියන්න දෙයක් හිතා ගන්න බැරුව පසු තැවි තැවී තමයි හිටියෙ. ලියන එක ආරම්භ කලාට පස්සෙ අදහස් ගලාගෙන ආවා. ප්‍රතිචාරය සඳහන් කරල තිබුන වගේ අනිත් උදවියත් තමුන්ගෙම කියල බ්ලොග් අඩවියක් පටන් ගන්නවනම් බොහොම සතුටුයි.

කාලය ඉක්මනට ගෙවිල යන බව සමහරවිට නොතේරෙන කම නිසාදෝ කරන්න බලාපරොත්තු වෙලා හිටපු වැඩ කිහිපයක් තවම කරන්න බැරිවුනා. කාලෙ ගෙවිල යන ඉක්මන ගැන පුදුමත් හිතෙනව මට එහෙම වුනහම. එහෙමනම් ඉතින් නිදිමත වැඩිවේගෙන එන නිසා “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ ප්‍රමාද වී හෝ නැවත හමුවෙමු.