තාප්පෙ අයිනෙ

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් අටවෙනි සටහන. ගිය සතියෙ සටහන නම් ලියන්න බැරිවුනා. ඒක ට හේතුව නම් ඉතින් කම්මැලි කම මිසක් වෙන දෙයක් නම් නෙවෙයි. සතියම ගෙදර හිටියට ලියාගන්න බැරි වුනා. ඒ මදිවට මේ සතියෙ අසනීප වුන නිසා ලියම්දො නොලියම්දො කියල හිත හිත ඉඳල තමයි වැඩට බැස්සෙ. එහෙමනම් ඉතින් මේ සතියෙ සටහන මෙතැන් සිට.

අන්තිමට ලියපු සටහනෙදි කිව්වනෙ බෝල ගහන්න ගිහිල්ලා අපිට සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන. මුල දවස් වල ඉතින් ගල් බීත වෙලා හිටිය මිසක් මුකුත් කලේ නෑ ඒ ගැන. කොහොම හරි ඔය ගල් බීත  වෙලා හිටපු ස්භාවයේ තරම කොතරම්ද කියනවනම් හය වසර පන්ති වලින් එහාට ඇවිදින්න යන්නෙත් නෑ වැඩිපුර.  කොහොම හරි ඉතින් හත වසර , අට වසර එහෙම මුකුත් නොකරම ගෙවිල ගියා. ඔයින් මෙයින් අපි මුලින්ම හිතේ හැටියට සෙල්ලම් කරන්න පටන් ගත්තෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ තමයි. ඒක වුනේ මෙහෙමයි.

නවයෙ පන්තිය අවසාන වෙනකම් මම ඉස්කෝලෙ ආවෙ ගියෙ වෑන් එකක. සාමාන්‍යයෙන් පාසල් වෑන් රථ වල ගොඩක් ඉස්කෝල වලින් ලමයි එකතු කරගන්න තියෙනවනෙ. ඒක නිසා සමහර ඉස්කෝල ළඟට වැන් රථ එන්නෙ පරක්කු වෙලා. ගොඩක් වෙලාවට මම ගියපු වෑන් රථය ආවෙ ඉස්කෝලෙ ඇරිල විනාඩි හතලිහකට විතර පස්සෙ.  පාසල් වෑන් රථය එනකම් බලාගෙන ඉන්න කොට මුල කාලේ හරි අමාරු වැඩක් වුනා. ඒත් ඉතින් ඔය වගෙ තම තමන්ගේ පාසල් වෑන් රථ එනකම් බලාගෙන ඉන්න ළමයි එකතු වෙලා ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තා.

එතකොට තමයි මුලින්ම අපිට නිදහසේ සෙල්ලම් කරන්න ලැබුනෙ. මොකද ළමයි ගොඩක් හිටියෙත් නැහැ. අනිත් එක එතන සෙල්ලම් කරන්න ආවෙත් එච්චර ප්‍රබල ක්‍රීඩකයො නෙවෙයි. අපි සෙල්ලම් කලේ ඔය රීඩ් මාවත පැත්තෙන් එනකොට අපේ ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවට කලින් හමුවන ඉස්කෝලෙ තාප්පය සහ මාර්ගය අතර තීරුවෙ. පාසල ඇතුලෙ ඒ වෙලාවට නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ තිබුණත් පාසල් වෑන් රථය ආවම දුවගෙන යන්න වෙන නිසා තමයි එතන තෝර ගත්තෙ.

ඉතින් ඉස්කෝලෙ හමාර වෙච්ච හැටියෙම අපි ඔය තාප්පය අයිනට දුව ගෙන එනව. ඇවිල්ලා අපේ බෑග් ටිකයි , වතුර බෝතල් ටිකයි තාප්පෙ අයිනෙ පැත්තක ගොඩ ගහනව. කඩුල්ල හැටියට තෝර ගන්නෙ තාප්පයෙම කොටසක්. ඒ තාප්පය දැකල තියෙන කෙනෙක ඉන්නවනම් මම මේ කියන දේ හිතා ගන්න පුලුවනි. ඒ තාප්පෙ කොටස් තියෙනවා අනිත් කොටස් වලට වඩා ඉදිරියට නෙරා ආපු. අන්න ඒ වගේ කොටසක් තමයි අපි විකට් එක හැටියට තෝර ගත්තෙ. කවුරු හරි ළමයෙක් පිත්තක්, බෝලයක් අරගෙන එනවා. ඉතින් ඉස්කෝලෙ ඇරිලා විනාඩි පහක් යන කොට කට්ටිය එතනට රැස් වෙලා සෙල්ලම පටන් අරගෙන ඉවරයි.

අපි එතන කලේ ඔය ළමයි අතර ගොඩක් ජනප්‍රිය “වන් බම්ප්” කියන සෙල්ලම. ඒ කියන්නෙ උඩ පන්දු වලට අමතරව එක පාරක් බිම පතිත වෙලා එන පන්දු අල්ල ගත්තත් දැවී යාමක් හැටියට සැලකෙනවා. මේක බොහොම ඉවසිල්ලෙන් කරන්න ඕන සෙල්ලමක්. මොකද කලබල වුනෝතින් හරි අමාරුයි. ලොකු පාරවල් ගහන්න ගියෝතින් එහෙම වැඩේ අමාරුයි. පුලුවන් තරම් තට්ටු දාගෙන විකට් එක රැක ගන්න ඕන. අනිත් එක සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන කොට වඩා හරි කල්පනාවෙන් පුලුවන් තරම් පොලවෙ පන්දුව කෙටෙන විදිහට තමයි පන්දුවට පහර දෙන්න ඕන.

ඊට අමතරව අපිට තිබුනු බාධකය තමයි අපි සෙලලම් කලේ පාර අද්දර වීම. ඒක නිතර දෙවේලෙ වාහන ගමන් කරන පාරක්. ඒක නිසා ලොකු පාරවල් ගහන එක නවත්තන්න අපි යොදල තිබුන උපක්‍රමයක්. ඒ තමයි කෙලින්ම පාරට වැටෙන ලෙස පහරක් එල්ල කලොත් ඒ ක්‍රීඩකයා දැවී ගිය කෙනෙක් විදිහට සලකන එක. ඒ වුනත් සමහර වෙලාවට ඉවසීම නැති වුනාම අපි අතින් ඔය වගේ පාරවල් එල්ල වෙනවා. තවත් සමහර වෙලාවට පන්දු රකාන ළමයි අතින් හරියට අල්ල ගන්න බැරි වීම නිසා පන්දුව පාරට යනවා. ඒ වෙලාවට තමයි ඉතින් අපිට සංසාරෙ එපා වෙන්නෙ. මොකද වාහන ගමන කරන අතර පතර රිංගල ගිහිල්ල පන්දුව අහුල ගෙන එන එක ටිකක් අවදානමක් තිබුන වැඩක්. සමහර වෙලාවට ගමන් කරන වාහන වලට අහුවීම නිසා පන්දුව තවත් ඈතට යනව. ඒ වෙලාවට ඉතින් හරි පරිස්මෙන්  යන්න වෙනව පන්දුව අහුල ගෙන.

හැබැයි ඉතින් ඔය මොන බාධක ආවත් අපේ ළමයි බොහොම සන්තෝසයෙන් තමයි ක්‍රීඩාවේ නිරත වුනේ. මොකද ගොඩක් වෙලාවට විවේක කාලයෙ දි සෙල්ලම් කරන වට වඩා පන්දුවට පහර දෙන්න සහ පන්දු යවන්න  ලැබෙන නිසා. ඔය සෙල්ලමේදි පන්දු යවන්නෙත් සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩා කරන කොට වගේ න්ම නෙවෙයි. අත සම්පූර්ණයෙන්ම කරකවල පන්දු යවන්නෙ නැතුව එක ඉරියව්වක ඉඳගෙන තමයි පන්දු යවන එක කරන්නෙ. ඒකට අපි කිව්වෙ “කොකා” පන්දු යවනව කියල. ඒ වචනය නම් හැදුන හැටි ගැන කිසිම අදහසක් නැහැ.

මේ සෙල්ලමේදී අපි පහර දෙන්නෙ ලකුණු රුස් කරන්න නෙවෙයි. පුලුවන් තරම් වෙල්වක් නඔදැවි පන්දුවට පහර දෙන එක තමයි කරන්න තියෙන්නෙ. එක අවස්ථාවක එක ළමයෙකුට විතරක් පන්දුවට පහර දෙන්න වෙන නිසා තමන්ගේ වාරය එනකම් පිළිවෙලට බලාගෙන ඉන්න වෙනවා. හැබැයි ඒ පිළිවෙල අපි තීරණය කලේ කොහොමද කියන එක නම් මට දැන් මතක නැහැ. ඒ කොහොම වුනත් සමහර වෙලාවට පන්දුවට පහර දෙන අතරමග දි හරි , පහර දීමේ අවස්ථාව ලැබෙන්න කලින් හරි පාසල් වෑන් රථය ආවොතින් ඔක්කොම පැත්තකින් තියල දුවගෙන යන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට බෝලෙ හරි පිත්තෙ හරි අයිතිකාරයගෙ වැන් එක ආවොතින් එතනින් සෙල්ලමට තිත තමයි. ඒ වෙලාවට ඉතින් බකං නිලාගෙන අපේ වෑන් එනකං බලාගෙන ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

ඔය සෙල්ලම අපි කරපු තීරුව තනිකරම පස් වලින් විතරක් වැහිච්ච තීරුවක්. ඒක නිසා ඉතින් හොඳට දූවිලි නාගෙන තමයි ගෙදර යන්නෙ ළමයි ටික. ඒ දවස්වල ඇඳුම් හෝදන්නෙ අම්මා නිසා ගොඩක් වෙලාවට අහනවා මොකද ඒ හැටි දඟලන්නෙ කියල. ඒ මදිවට සපත්තු දෙක නම් තනිකරම දුඹුරු පාට වෙනකම් දුවිල්ලෙන් වැහිලා.  ඔය සෙල්ලම ඉතින් අපි අට වසරෙ අවසානය වෙනකම් විතර කලා. හැබැයි අපි නවයෙ පන්තියට වගේ එනකොට සෙල්ලමට ළමයින්ගෙ සහභාගිත්වය ටිකෙන් ටික අඩු වුනා. ඒක ට ගොඩක් හේතු තිබුනා. සමහර ළමයි පාසල් වෑන් රථවල යන එක නැවැත්තුවා. පොදු ප්‍රවාහන එහෙම භාවිතා කරන්න පටන් ගත්තා. තවත් සමහරු කම්මැලි කමටයි, දූවිලි පෙරාගෙන වෑන් වල යන්න බැරි කම නිසා සෙල්ලම නවත්තල දැම්මා. මොකද ඒ කාලේ ඔය වෙනත් දේවල් වලට අවධානය යොමු වෙන්න පටන් ගන්න කාලෙනෙ.

හැබැයි අපේ සමහර ළමයි හිටියා සාමාන්‍ය පෙළ පන්ති වලට යනකම්ම වගේ ඔය සෙල්ලම කරගෙන ගියපු. මම නම් නවයෙ පන්තියට යනකොට සෙල්ලමට සමුදෙන්න තිරනය කලා. ඒකට හේතු වුනේ කලින් කියපු දෙවනි හේතුව තමයි. අනිත් එක අපේ උනන්දුව අඩු වෙලා තිබුනෙ ඒ කාලෙ. ඔය කාලෙ ඔය සෙල්ලමේ නිරත වෙච්චි එකම ළමයි කාණ්ඩය අපි විතරක් නෙවෙයි. ඔය වගේ තාප්පය දිගටම අයිනක් අල්ල ගෙන ලමයි රංචු ඔය සෙල්ලමේ නිරත වුනා. දැන් නම් ඉතින් ළමයි ඔය සෙල්ලම කරනවද දන්නෙ නැහැ. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගිහිල්ලා බැලුවොතින් තාමත් සමහර විට පොඩි එවුන් ක්‍රීඩා කරනවා ඇති. ඔය ” වන් බම්ප්” සෙල්ලමට අපි කොයිතරම් ඇබ්බැහි වෙලා හිටියද කියනවනම් බිග් මැච් එක බලන්න ළමයි යන්නෙත් බෝල , පිති අරගෙන. මොකද එක දිගට තරඟය බලන්න කම්මැලි නිසා එස්.එස්.සී ක්‍රීඩා පිටියෙ ඉඩ ඇති කොනක සෙල්ලම් කරන්න. හැබැයි ඉතින් අපේ ශිෂ්‍ය නායකයො විටින් විට ඇවිල්ලා බාධා කරනවා තරඟය නරඹන්න බල කරල.

එහෙමනම් ඉතින් මේ සතියේ “මගේ සටහන” හමාර කරනව. ලබන සතියේ නැවත හමුවෙමු.

බෝල ගැහිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හත් වන සටහන. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබිල තිබුනා. ඒ කරපු වැඩේ නම් ඉතින් මොනව වුනත් අනුමත කරන්න බැරි වැඩක්. මොකද අපි විනෝද වෙන්න අනිත් මිනිස්සුන්ට වද දෙන එක ඒ තරම් හොඳ වැඩක් නොවන නිසා. එහෙමනම් ඉතින් මේ සියෙ සටහන මෙතන සිට ආරම්භ කරනවා.

ඉස්කෝලෙ යන කාලෙ ගිය විනෝද චාරිකා නම් හොඳට මතකයෙ තියෙනවා. ඒවට මුල කාලේ කියන්නෙ අධ්‍යාපන චාරිකා කියලනෙ. මට මතක තියෙන පලවෙනි චාරිකාව ගියෙ මම හතරෙ හරි තුනේ පන්තියෙ හරි ඉන්න කොට. එතකොට මම ඉගෙන ගත්තෙ බප/කඩ බැප්ටිස්ට් විද්‍යාලයෙ. කොහොම හරි අපේ අධ්‍යාපන චාරිකාව ගියේ කොළඹ ට. කොහොම හරි ලොකු බස් එකක් එකක් අරගෙන තුනේ පන්තියෙ ළමයි  ටික පටවගෙන ගමන පිටත් වුනා. මට මතක නෑ හරියටම තුනේ පන්තියෙ ළමයි විතරද ගමනට එක්ක ගෙන ගියෙ කියල. කොහොමටත් මුලු ඉස්කොලෙටම යන්න බස් තුනක් තිබ්බ නම් හොදටම ඇති. මොකද ඉස්කෝලෙ හිටිය ළමයි ගාන 250 යි. මම ශිෂ්‍යත්වෙ සමත් වෙලා ගියහම අපේ 6 වසර පන්ති වල විතරක් ළමයි පන්සීයකට වැඩිය හිටියා අලුත් ඉස්කෝලෙ. මාව නිකං කරකවල අත ඇරියා වගේ වුනා. කොහොම හරි ඉතින් අපේ නියමිත දවසෙ උදේම පිටත් වුනා. අපි මුලින්ම ගියේ ග්‍රහලෝකාගාරය බලන්න. මට නම් ඒක මැජික් වගෙ . මොකද ඒක ඇතුලෙ අඳුරු කරල, අහසෙ තාරකා ගමන් කරන හැටි පේනවා. එක එක ජාති ගොඩයි. මට හිතා ගන්න බැරිවුනා මේවා කොහොමද පෙන්නන්නෙ කියල. හැබැයි අපරාදෙ කියන්න බෑ එදා ඒ කියල දුන්න ඒවා මෙලෝ හසරක් මට එවෙලෙ තේරුණේ නෑ . ඒ වුනාට ඉතින් මම කට පියාගෙන ආවා.

ඊට පස්සෙ අපිව අරගෙන ගියෙ කෞතුකාගාරයට. ඒකෙත් තිබ්බ දේවල් දැකල පුදුම වුනා මිසක් මට ඒ හැටි දෙයක් තේරුනේ නෑ. හැබැයි එතන ඉඳගෙන තමයි අපි දවල්ට කෑවේ. ඒ අතරෙ ඉතින් කොළඹ වට පිට බලන එක තමයි වැඩේ වුනේ. හැබැයි මම ගියපු ආසම තැන වුනේ වරායට ගිය එක. අප නැව් තටාකයට ගිහින් විසාල නැවක් නවතතල තියෙනව බලාගෙන හිටියෙ කටවල් ඇරගෙන. කොහොම වුනත් කලින් අවසර අරගෙන තිබුනෙ නැති නිසා නැවකට ගොඩ වෙන්න බැරි වුනා. ඒක ගැන තමයි අපි වැඩියෙන්ම දුක් වුනේ. ඔය තැන් වල සවාරි ගහල හවස් වෙද්දි අපි ගෙවල් වලට ආවා. හැබැයි ඔය ගමනට අපේ තාත්තා සහභාගි වුනා. මොකද ගුරුවරුන්ටය අමතරව දෙමව්පියො කිහිප දෙනෙක් එක්ක ගෙන යන එක සිරිතක් වෙලා තිබුන නිසා. ඉතින් ගමන ගිහින් ඇවිත් තාත්තා ඇහුවා “කොහොමද ගමන ” කියල. මම කිව්වා ඉතින්  ග්‍රහලෝකාගාරය බලන්න ගියාට මට මෙලෝ මඟුලක් තේරුනේ නෑ කියල. ඒ පාර ඉතින් තාත්තා මොනවත් කියන්න ගියෙ නෑ. හැබැයි ලස්සන වැඩේ කියන්නෙ තුන වසරෙදි ගියාට පස්සෙ මම ග්‍රහලෝකාගාරයට ආයෙ අඩියක් වත් තියල නෑ. වරාය ගැනත් ඒ ටිකම තමයි. එකම එක වතාවක් කෞතුකාගාරයට ගියා කරන්න වැක් නැති වුන දවසක. මම දන්න තරමින් දැන් නම් ඉස්කෝල ළමයින්ට වත් වරාය නරඹන්න දෙන්නෙ නෑ ආරක්ෂක හේතු නිසා. ඒක නම් බොහොම කණගාටුවට කරුණක්. මොකද අපි හරියට විස්මයට පත් වෙච්ච තැනක් තමයි වරාය.

ඔය ගිය සතියෙ කිය කිය හිටපූ තක්කඩි කම් ගැන මතක් කරන කොට තව එක එක දේවල් මතක් වුනා. සමහර ඒවා දැන් මතක් වෙනකොට හිනා යනවා. මම කිව්වනෙ හය වසරට ගිය මුල්ම කාලෙ මම හිටියෙ අන්ද මන්ද වෙලා කියල. මොකද ඉස්කෝලෙ හරි විසාලයි. හය වසර පන්ති ඔක්කොම දා හතරක්ද කොහොදෙ තිබ්බා. මම හිටපු ඉස්කෝලෙ තිබුනෙ පන්ති දහයයි එකේ ඉඳන් පහ වෙනකම්ම. හැබැයි හය වසර පන්ති තිබුනෙ ටිකක් සිත් ගත්ත වටා පිටාවක. අපේ පන්ති කාමර වලට ඉස්සරකහ තමයි අති සුප්‍රසිද්ධ නව රඟහල තිබුනෙ. සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන ප්‍රසිද්ධ රංග පීඨයක් තමයි නව රඟහල. කොහොම හරි අපි හිටපු හය වසර පන්ති සහ නව රඟහල අතර තිබ්බා තීරුවක්. මේක අරලිය ගස් එහෙම වවල හොඳට හෙවන තියෙන තැනක්. විවේක කාලෙට සනීපෙට ඉන්න කියාපු තැන.කොහොම හරි අපේ ශිෂ්‍යයයො විවේක කාලෙදී සෙල්ලම් කරන්න යොදා ගත්තෙ ඔය තීරුව තමයි.

ඉතින් ඔය තීරුවෙ ක්‍රිකට් ගහන එක තමයි ප්‍රධාන වැඩේ. ළමයි බැට් , බෝල එහෙම ගෙවල් වලින් අරගෙන එනවා. මට ඉතින් ඒකත් මැජික් වගේ. මොකද බොහොම කලාතුරකින් තමයි අපි පොල් පිති වලින් හදපු පිත්තකින් ඇර වෙන පිත්තකින් සෙල්ලම් කලේ. මම ඉතින් මුල දවස් වල කලේ බලාගෙන හිටපු එක. වැරදිලාවත් සෙල්ලමට යන්න හිතුවෙ නෑ. ඔහොම ඉන්න කොට විවේක කාලෙ දී එක දවසක් මම කොහේ හරි පැත්තකට දුවන ගමන් ළමයි කට්ටියක් සෙල්ලම් කර කර හිටපු තීරුවක් මැදින් දුවන්න හැදුවා. එවෙලෙ පන්දුවට පහර දෙමින් හිටියෙ තඩි ඇඟක් තියෙන මගෙ වයසට සාපේක්ෂව වැඩුණු ශරීරයක් තිබුනු ළමයෙක්. මම කරපු ක්‍රියාවට කෝපයට පත් වුනු පාර එක පාරමට මාව ඇදල ගත්තා. ඇදල අරගෙන විතරක් නැවතුනේ නෑ. මගෙ කමිස කෙලවරෙන් අල්ලල උඩට උස්සල තර්ජනය කලා “මීට පස්සෙ මැදින් පැන්නනොත් බලා ගනිං” කියල. ඇත්තටම කියනවනං මාව පොළවෙන් අඟල් හය හතක් උඩට ඉස්සුනා. මම ත් ඉතින් බය වුනා මදි නොකියන්න. මොකද ඉස්කෝල වෙනසයි, විශාලත්වයයි හින්දා කොහොමටත් තෝන්තුවෙන් වගේ හිටපු කාලයක් ඒක. ඒ පාර මාව බිමින් තිබ්බා විතරයි මම පස්ස බලන්නෙත් නැතුව පැනල දිව්වා. ඔය ක්‍රියාව කරපු ළමයා ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍ර රත්නය. තමුන්ගෙ තාත්තගෙ අඩි පාරෙ ඒ පුතණ්ඩියත් පොඩි කාලේ ඉඳන්ම ගියා. හැබැයි නම ගම නම් පෞද්ගලිකව වත් අහන්න නම් එපා. මොකද නැත්තම් මට ත්‍රස්තවාදී ලේබලයක් ඇලවෙන්න ඉඩ තියෙනවා රටක් වටින ඇමතිතුමෙකුට , මේ වගේ රජය බරපතල යුද්ධයකට මුහුණ දීලා ඉන්න වෙලාවක අත්භූත චෝදනා එල්ල කරනවා කියල.

ඊට පස්සෙ ඉතින් සෙල්ලම් කරන්න හිතපු එකත් නැවැත්තුවා. හැබැයි හොඳ වෙලාවට ඒ කොලුවා හිටියෙ අපේ පන්තියෙ නෙවෙයි නිසා පන්තියෙ දි කරදරයක් එහෙම වුනේ නෑ. ඊට ටික කාලයක් ගියාට පස්සෙ තමයි මම ක්‍රිකට් ගැහිල්ලට එකතු වුනේ . ඒත් ඉතින් මුල දවස් වල අපිට හරි අමාරුයි පන්දුවට පහර දෙන්න්, බෝල දාන්න අවස්ථාවක් ඉල්ල ගන්න. ඒකට ඉතිං කං කෙඳිරි ගාන්න වෙනවා. කොහොම හරි ටිකක් කල් යන කොට ළමයි ඔක්කකොම වගේ අලුත් පරිසරයට හුරු වෙන්න පටන් ගත්තා . එතකොට තමයි අපේ කණිෂ්ඨ අංශයට වෙන් වුනු ක්‍රීඩා පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරන්න ගත්තෙ. ළමයි ඔක්කකොම වගේ යන කොට ඉතින් මමත් පස්සෙන් වැටිලා බය නැතුව ගියා. මම මේ කියන පිට්ටනියෙ තමයි මීට කලින් “මගේ සටහන” ක දි කියපු ලකුණු එකසිය අනූව ගහන්න ඉමංක හෙට්ටි ආරච්චි කියන සහෝදර ශිෂ්‍යයා සමත් වුනේ. මේ කොලුවා දැන් විවාහයක් එහෙම කරගෙන ඉන්නවා.  වැඩේ කියන්නෙ ක්‍රිකට් ගහන්න කට්ටිය ගන්න කොට දෙපැත්තට කට්ටිය එකොළහ ගානේ ඕන නිසා අපිව ක්‍රීඩාවට එකතු කර ගන්නවා. හැබැයි කවදාවත් හයේ පන්තියෙ ඉන්න කාලේ මට මතක විදිහට පන්දුවට පහර දෙන්න වත් , බෝල දාන්නවත් අවසාථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කණ්ඩායම් නායකයොත් හරියට අර දේශපාලකයො වගේ හැමදාම බොරු පොරොන්දු දෙනවා. හැබැයි ඉස්සෙල්ම පන්දු යවන්නෙත් , පහර දෙන්නෙත් ඒ අයම තමයි. අපි ඉතින් හැම දාම කලේ බෝල අහුලපු එක තමයි. ඔය සෙල්ලම හැමදාම කරන්න බැරි නිසා ටික දවසක් ක්‍රිකට් ගහන පැත්තට නොගිහිල්ලා ඉන්නවා. ඒත් ආයෙමත් අර කට්ටිය සෙල්ලම් කරනව දකින කොට යන්න හිතෙනවා. ගිහිල්ලා සුපුරුදු විදිහට පන්දු රැකීමෙන් විතරක් සැනසිලා පන්තියට එන එක තමයි කරන්නෙ.

එක අතකට සෙල්ලමේ දී අනිත් අය ගැන හිතන්නෙ නැතුව එහෙම කරන්න පුරුදු වුනේ පොඩි කාලේ ඉඳන්ම ගෙදර දි , ඉස්කෝලෙ දි ළමයින්ට ආත්මාර්ථ කාමී විදිහට හැසිරෙන්න උගන්නන හින්ද ද , එහෙමත් නැත්තනම් පොඩි කාලේ ළමා ගතියද කියන එක නම් හරි ප්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ පලවෙනි කාරණාව කියල. ඒ කාරණාව හිතේ තියාගෙන මේ සතියෙ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමු වෙමු.

යකඩ කට

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හතර වන සටහන. ගිය සතියෙ සටහන ලියන එක දවසක් ප්‍රමාද වුන නිසා මේ සතියෙ සටහන දවසක් කලින් ලියන්න තීරණය කලා. ජනාධිපති කුසලානය සඳහා ඉසිපතන – ශාන්ත පීතර දෙවිදුහල් අතර පැවති උණුසුම් රගර් තරඟය නරඹලා ඉවර වෙලා තමයි ලියන එක පටන් ගන්නෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

වෙනදා වගේම ලියන්න පටන් ගන්න කොටම නිශ්චිත අහසක් නැගුනෙ නෑ. මේ දවස් වල තියෙන වැඩ වැඩි කමත් ඒකට එක හේතුවක්. කොහොමටත් විශ්ව විද්‍යාල ජීවිතයේ මේ ගෙවිලා යන්නෙ අන්තිම මාස දෙක තුන. වැඩ කොයි තරම් ගොඩ ගැහිල තිබුනත් වෙලාවකට හරි කම්මැලි කමක් දැනෙනවා. නින්ද යන්නෙ නැති එක තමයි ලොකුම ලෙඩේ. බරපතලම කාරණාව ඒක නිසා උදේට නැගිටින්නෙ නිදි මතේ. ඊට පස්සෙ දවසම නිදි මතේ වැනි වැනි ඉන්න එක තමයි කරන්නෙ. මේ සටහන ලියන සෙනසුරාදා දවසෙ උදේ පාන්දර දහයට විතර නැගිටල ආයෙ පැය භාගයක් නිදා ගත්තා. ඊට පස්සෙ ටිකක් ඉඳල දවල් දොලහට විතර ආයෙ නිදාගෙන නැගිට්ටා දවල් එක පහු වෙලා. දවල් කෑම එහෙම අරගෙන ආයෙමත් නිදාගෙන නැගිටින කොට තුනහ මාර පහුවුනා. දැන් මේ හවස් ජාමේ තමයි ටිකක් ඇහැරගෙන ඉන්නෙ අද දවසටම. නිදි මත ලෙඩේ නිසා එදිනෙදා ජිවිතේ කටයුතු වලට බාධාවක් වෙන එක තමයි ඉවසන්න බැරි. ලියන්න දේවල් කල්පනා කර කර ඉන්න කොට ඉස්කෝලෙ යන කාලේ සිදුවීම් තව මතක් වුනා. ඔය වැඩිහිටියන් අතර තියෙන නොයෙකුත් ප්‍රශ්න නිසා අපි අපහසු තාවයට පත් වුනු සිදූවීම් ඔය අතර තිබුනා. ඒ අතර එක සිදුවීමක් වුනේ අපේ පන්ති භාර ගුරුතුමිය සහ පාසලේ විදුහල්පතිනිය අතර තිබුනු මොකද්දෝ නෝක්කාඩුවක්. හේතුව මොකද්ද කියන්න දන්නෙ නැති වුනත් අපේ පන්තියට නොයෙකුත් පුංචි පුංචි කෙනෙහිලිකම් සිද්ධ වෙන අපිටත් තේරිලා තිබුනෙ. සමහර වෙලාවට විදුහල්පතිනිය කරපු වැඩ මොන තරම් විකාර සහගත ද කියනවනම් ඒවායින් පීඩා විඳින උදවියට කේන්ති යන එක පුදුමයක් නෙවෙයි. ඒවා අතර එක දෙයක් වුනේ නොමනා ශබ්ද විකාශන යන්ත්‍රයෙ භාවිතය. ඒ සිද්ධිය වුනේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් පන්තියෙ ගුරුවරයෙක් නැති වෙලාවකට ටිකක් කෑ කෝ ගහන එක, ගුටි බැට ඇණ ගන්න එක ළමයින්ගෙ පුරුද්දක්. ළමයි එහෙම නොකලොත් තමයි අපි කලබල වෙන්න ඕනෙ. ඉතින් අපේ පන්තියෙත් ගුරුතුමිය හිටියෙ නැත්තනම් ටිකක් සද්දෙ වැඩියි. අවාසනාවකට වගේ අපේ පන්තිය පිහිටලා තිබුනෙ විදුහල්පතිනියගෙ කාමරයට යාබදව. ඒක නිසා පොඩ්ඩක් සද්දෙ වැඩි වුනත් ඇහෙනවා. ඉතින් සද්දෙ වැඩිවුන ගමන් ඇය කරන්නෙ අපේ පන්තියෙ වෙන්නෙ මොකද්ද කියල හොයල බලන්නෙ වත් නැතුව “5 A පන්තියෙ ළමයි වහාම නිශ්ශබ්ද වෙන්න” හරි නැත්තම් “විනීතව හැසිරෙන්න” කියල යකඩ කටින් කෑ ගහන එක. අපරාදේ කියන්න බෑ ඇගේ කාමරයෙන් ඔලුව එළියට දාලා කතා කරන දුරින් තියෙන පන්තියට කියන්න ඕනෙ පණිවිඩය මුලු ගමටම ඇහෙනවා. ඉතින් ඒ වගේ යකඩ කටින් ඇහෙනකොට තප්පර දෙක තුනක් සද්ද නැතුව ඉන්න අපි, ඊට පස්සෙ ඊටත් වඩා හයියෙන් කෑ ගහනවා. ආයෙත් යකඩ කට කෑ ගහනවා. ඔය සෙල්ලම ඉතින් මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. දවසක් අපිට හදිසි අවශයතාවයකට පැයකට දෙකකට අපේ පන්ති භාර ගුරුතුමිය යන්න ගියා. ඒ අතරෙ අපිට රචනාවක් ලියන්න කියල ගියා. අපි හිතුවා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් ගුරුතුමී ආපසු එන එකක් නෑ කියලා. ගුරුතුමිය කොහොම හරි ආපහු ආවා ඉස්කෝලෙ ඇරෙන්න කලින්. ඒ කාලය අතරතුර අර යකඩ කටින් කෑ ගහන සෙල්ලම සුපුරුදු පරිදි වුනා. ආපහු එන ගුරුතුමිය ඉස්කෝලෙට ලං වෙනකොට ඇහිලා යකඩ කටෙන් අපේ හැසිරීම ගැන ගුණ වර්ණනාවක් කියවෙන සද්දෙ. පන්තියෙ හැසිරීම ගැන ශබ්ද විකාශනයෙන් කියන කොට අහගෙන ඉන්න උදවිය හිතන්නෙ “මේ පන්තියෙ විනය අන්තිමයි” කියලනෙ. ඒක නිසා කෝපයට පත් වෙච්ච ගුරුතුමිය ගෙන් අපිට ගුටි කන්න සිද්ධ වුනා. මොකද එදා නට නටා හිටියා මිසක් අපි ගුරුතුමිය පවරපු රචනාව ලියල තිබුනෙත් නෑ. සාමාන්‍යයෙන් ඔය සිදුවීම මට හොඳට මතක හිටියෙ අපේ ගුරුතුමී අපිට දඬුවම් කරල තියෙන්නෙ බොහොම කලාතුරකින් නිසා.

ඔය විදිහෙ කෙනෙහිලිකම් නිසා ඉතින් අපිට වුනත් විදුහල්පතිනිය ගැන තිබුනෙ ඒ තරම් පැහැදීමක් නෙවෙයි. තවත් වතාවක ළමයි දෙන්නෙක් අතර ඇතිවුන ගැටුමක දි අනවශ්‍ය විදිහට මැදිහත්වීම නිසා ඇතිවෙන්න ගිය ලොකු අලකලංචියක් යන්තම් ගොඩින් බේරුනා. ලොකු අයගෙ වැඩ නිසා ළමයින්ට තමයි කරදරේ. තවත් දවසක් මට අපූරු වැඩක් වුනා. ඒක වුනේ මම දහයෙ පන්තියෙ හරි නවයෙ පන්තියෙ හරි ඉන්න කොට. ඒ දවස්වල මම ආවෙ ගියෙ කෝච්චියෙ. කොහොමටත් කෝච්චියෙ යන එන ගමන හරි විනෝදයි ඒ කාලෙ දැනට වඩා. දැන් නම් කෝච්චියෙ යන එන එක මතක් වෙනකොට එපා වෙනවා. කොහොමහරි මම දවසක් මම වෙනද යන කෝච්චියට කලින් කෝච්චියක ගියෙ. ඉස්කෝලෙ යන්න වේලාසන වැඩි නිසා මම මරදාන ස්ටේසමට වෙලා හිටියා. ඔය අතරෙ ආවා මැදිවියේ මනුස්සෙක්. ඒ කෙනා මගෙන් ඇහුවා උදව්වක් කරන්න පුලවන්ද කියල. මමත් බැලුවා මොකද්ද වැඩේ කියල. බලන කොට ඒ කෙනා අමතක වීමකින් වාර ප්‍රවේශ පත්‍රය ගෙනල්ලා නෑ. මට කිව්වා පුලුවන් නම් එළියට ගිහින් ප්‍රවේශ පත්‍රයක් ගෙනල්ලා දෙන්න නැත්තම් එයාට එළියට යන්න විදිහක් නෑ ස්ටේෂන් එකෙන් කියල. ඒ පාර ඉතින් මමත් වැඩි දුර හිතන්නෙ නැතුව එළියට ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඇවිල්ලා අර කෙනාට දුන්නා.

වැඩේ පත්තු වුනේ ඊට පස්සෙ. මම ඒ කරපු වැඩේ ටිකට් පරීක්ෂා කරන මහත්මයෙක් බලාගෙන ඉඳල. මම ප්‍රවේශ පත්‍රය අර පුද්ගලයගෙ අතට දෙනකොටම පරීක්ෂක මහත්තයා ඇවිල්ලා අල්ල ගත්තා දෙන්නවම. ඊට පස්සෙ දෙන්නවම අරගෙන ගියා දුම්රිය කාර්යාලයට. එතන මාර යුද්ධයයි. කට්ටියම වටවෙලා ප්‍රශ්න කරනවා. මගේ වාර ප්‍රවේශ පත්‍රයත් අතට අරගෙන ඒක අවලංගු කරනවා කියල තර්ජනයකුත් කලා. එවෙලෙ නම් මමත් හොඳටම බය වෙලා හිටියෙ. අපූරු වැඩේ කියන්නෙ මට කියල ප්‍රවේශ පත්‍රය ගෙන්න ගත්තු මනුස්සයා ජාතික හැදුනුම්පත ඇපයට තියල මොනවදො කියල යන්න ගියා. ඒ මනුස්සයා මට මොකද වෙන්නෙ කියල අහන්නෙවත් නැතුවයි යන්න ගියෙ. ඒ වැඩෙන් නම් මාව හොඳටම හොල්මන් වුනා. අන්තිමට ටිකට් පරීක්ෂක මහත්වරුන්ගෙන් කන් ඈත් වෙනකම් දේශනා වලට සවන් දුන්නට පස්සෙ මට එන්න අවසරය ලැබුනා. මම බයවෙලා හිටියෙ වාර ප්‍රවේශ පත්‍රය රඳව ගනියි කියල. අන්තිමේ දී ඔය වගේ වැරදි වැඩ කරන්න ගිහිල්ලා අමතක නොවෙන පාඩමක් ඉගෙන ගෙන තමයි ඉස්කෝලෙ ගියෙ. බැනූම් අහපු එකටත් වඩා මගෙ හිතට අමාරු කාරණාව වුනේ අර මනුස්සයා කිසිම වචනයක් වත් නොකියා පිට වෙලා ගිය හැටි දැක්කම.

එතකොට මම කෝච්චියෙ ගමන් බිමන් පටන් අරගෙන මාස දෙක තුනකට වඩා නෑ. ඔය වගේ කපටි වැඩ කරන උදවිය ගෙන් ඊට පස්සෙ නම් පරිස්සම් වෙන්න ඕන කියල මම ඉගෙන ගත්තා. ඔය වගේ උදවිය කරන තව කපටි වැඩක් තමයි ගමනෙන් බාගයක් දුරට ටිකට් ගන්න එක. ඒ සිද්ධිය පැහැදිලි කලොත් මෙහෙමයි. ගම්පහ ඉඳන් කොළඹ එන කෙනෙක් ප්‍රවේශ පත්‍රය ගන්නෙ වනවාසල වගේ නැවතුමකින්. කෝච්චියෙ පා පුවරුවෙ එල්ලිලා එන මෙයාලා කරන්නෙ කෝච්චිය නවත්තපු ගමන් දුවල ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ආයෙ තමුන් ආපු කෝච්චියට නගින එක. ලංකාවෙ උදවිය ඔය වගේ හොර වැඩ කරන්න හරි දක්ෂයි. හැබැයි මොකද්දෝ කල්පනාවක ගිහින් රාගම දි ටිකට් ගන්න අමතක වුන දවසක මටත් ඔය වැඩේ කරන්න සිද්ධ වුනා. කලබලේට ඔය වගේ වැඩ ගොඩක් වෙලාවට වෙනවා. ඒක නිසා හොරකම් කරන එක, කපටි වැඩ කරන එක සමහර වෙලාවට ඉතින් නොකරම බැරි වෙනවා. හැබැයි එහෙම කියල ඒවා සාධාරණී කරණය කරන එකත් හරි නෑ තමයි. කොහොම වුනත් පුරුද්දට කරන දෙයක් නෙවේනෙ කියල හිත හදා ගන්නවා. හැබැයි මගේ මිත්‍රයෙක් හිටියා ඉස්කෝලෙ යන කාලෙ මහජන පුස්තකාලය ළඟ ඉඳල ටවුන් හෝල් එක ගාවට යන්න ඕන වුනාම කපටි වැඩක් කරපු. එතන තියෙන්නෙ බස් නැවතුම් දෙකක දුර. මිනිහා කරන්නෙ කොටුව පැත්තට යන බස් එකට නැගලා මහරගමට ටිකට් එකක් ඉල්ලනවා. ඉතින් කොන්දොස්තර හිතන්නෙ “අනේ මේ ඉස්කෝලෙ යන ළමයට වැරදිලා, පවු” කියල. එහෙම හිතල එයාලා ටවුන් හෝල් එකෙන් බස් එකෙන් බැහැලා මහරගමට යන හැටි කියල දෙනවා. මිනිහත් බොහොම සතුටින් ටවුන් හෝල් එකෙන් බැහල යනවා සල්ලි නොදී.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” ලියල හමාරයි. එහෙමනම් ලබන සතියෙ නැවත හමුවෙමු.