ලයිසන් එක

“මගේ සටහන” අන්තිමට ලියල දැන් අවුරුද්දකටත් වැඩී. හිතෙන දේ ලියෙන යන්තරයක් වත් තිබ්බ නම් අඩුම ගානෙ තව ලිපි දෙක තුනක් වත් ලියවිලා තියෙන්න තිබුනා. ඒ කොහොම වුනත් අවුරුද්දක් තිස්සෙ හිතුවත් පනස් වෙනි ලිපිය දාගන්න තවම බැරි වුනා. ඉස්සර වගේම සුපුරුදු කම්මැලි කම ලෙඩේ හැදිලා නිසා ගොඩක් වෙලාවට ලියන්න හිත හදා ගන්න බැරි වුනත් අද කොහොම හරි මගේ සටහන 49 වෙනි ලිපිය ලියල දානවා.

මගේ සටහන අන්තිමට නැවතුනේ මගේ ඉන්දියන් ගමන් කතන්දර කියන ගමන්. ඒ කතන්දරේ ඒ දවස්වලම ඉවර කරලා දාලා අලුත් කතාවකට යන්න ඕනෑකම තිබ්බත් බැරිවුනා. අද කොහොම හරි මගේ හයිද්‍රාබාද් ගමන් විස්තරය කියල ඉවර කරනවා.

මම කොහොමටත් කිව්වනෙ හයිද්‍රාබාදය හරිම අපූරු නගරයක් කියල. හයිද්‍රාබාදය කොළඹ වගේ ජනාකීර්ණ සහ විශාල නගරයක් වුනාට මුලු ටවුමටම මම දැක්කෙ මාර්ග විදුලි එලි (trafic signals) එක තැනකදි විතරයි.

අනෙත් තැන් වල මිනිස්සු කොහොම හරි වාහන හප්පගන්නෙ නැතිව ධාවනය කරන හැටි දැකල මට හිතුනෙ අපි බැන්නට ලංකාවෙ පාරක වාහනයක් එලවන එක කොච්චර ලේසි ඇතිද කියල. මුලු නගරය පුරාම මං ගිය ගමන් වලදි වාහන හසුරුවන්න පොලිස් නිලධාරීන් හිටියෙ එකම එක තැනක විතරයි.

හයිද්‍රාබාදයෙ හරිම අපූරු වැඩේ තමයි එහෙ පාවිච්චි වෙන යතුරු පැදි ගණන. මොකද ගොඩක් අය යතුරු පැදියෙන් තමයි ගමන් බිමන් වල යන්නෙ. විශේෂයෙන්ම සකූටර් වල නැගී ගෙන තනියම උදේට වැඩට යන සුන්දර ඉන්දීය ලලනාවන් දැක්කම මගෙ හිත මොහොතකට සලිත වුනේ නැතුවමත් නෙවෙයි 🙂 . අනිත් අපූරු කාරණය තමයි එහෙදි හිස් ආරක්ෂක භාවිතයක් නැති කම. පොලිස්සිය ඉන්න කොට මගේ ගමන් සඟයා වුන කිරන් ඒක්ක බයිසකලේ නැගල යනකොට මම හිතුවෙ “මූට පිස්සු හෙල්මට නැතුව යන්නෑ කියල. බලනකොට එහෙම හිතපු මට තමයි වැරදුනේ කියල තේරුනෙ පොලිස් නිලධාරීන් ඉන්න කොට වුනත් කිසිම ගානක් නැතුව යතුරු පැදි වල හිස් ආවරණ නැතුව යනවා දැක්කම.

හයිද්‍රාබාදයෙ මාර්ග නීති කොයි තරම් අපුරුද කියනව නම් මගෙ සඟයා වෙච්ච කිරන් ගෙන් මම  ඉල්ලුවා මිනිහගෙ රියදුරු බලපත්‍රය. මෙන්න බොලෙ මිනිහා මට දීපි පොටො කොපි කරලා ලැමිනේටින් කරපු එකක්. පුදුම වෙච්ච පාර මම ඇහුවා ” කො මිනිහො මේකේ නියම එක ” කියලා. ඒ පාර මිනිහා කියපි ” මම ඒක ගෙදර අරගෙන තියල තියෙන්නෙ පරිස්සමට , මොකද මෙහෙදි නැතිවුනොත් කියලා ” . ඔන්න ඉතින් හිතාගන්නෙ පුලුවන්නෙ ඉන්දියාවේ මාර්ග නීති වල තද කම :).

ඉන්දියාවෙ දි පාරවල් වල යන එකේ රඟේ මට තේරැනෙ හවසට . කිරන් මගෙ නවාතැනට ඉස්සරහින් ගෙනත් දැම්මම මගෙ නවාතැන පැත්තට යන්න පාර පැන ගන්න බැරුව මම ගැහි ගැහි ඉන්නකොට. මොකද ඒ එන වාහන කන්දරාව අස්සෙ කහ ඉරක්වත් නැතුව පාර පනින්න විනාඩි 10 කට වඩා බලා ගෙන හිටපු මම අන්තිමට වාහන අඩු වෙනකම් පාරෙ උඩහට පල්ලෙහට ඇවිදල බැරිම තැන දෙවියො බුදුන් සිහි කර ගෙන තමයි පාර මාරු වුනේ. මේ වැඩේ කොච්චරම අමාරු වුනාද කියනව නම් මගෙ අවශ්‍යතාවයකට ටවුමට ගිය වෙල්වක මාත් එක්ක හිටපු සඟයට මගෙ බය දැනිලා අර පුංචි ළමයෙක් පාර හරහා එක්කර ගෙන යනවා වගේ මගෙ අතින් අල්ල ගෙන තමයි පාර මාරු වුනේ.

ඔය අස්සෙ මට තව කියන්න අමතක වුනානෙ ඉන්දියාවෙ කෑම ගැන. ඉන්දියන් කෑම ගැන මම කොච්චර ආස වුනාද කියනවනම් කට්ටිය මට එක එක කෑම අත්හදා බලන්න අවස්ථාව දුන්නා. වතාවක් සල්ලි ටිකක් මාරු කර ගන්න ගිය වෙලාවෙ පාර අයිනෙ පෙට්ටි කඩේකින් පපඩමක් වගේ එකකට තැම්බුං හොද්දක් වගේ එකක් දාලා කාපු හරිම රසවත් කෑමත් මට අමතක වෙන්නෙ නෑ. ඉන්දියාවෙ දි දවල් කෑමට මම ගොඩක් වෙලාවට එළියට ගියෙ නෑ. ඒ වෙනුවට මගෙ ඉන්දීය සඟයන් එක්ක කාර්යාලයෙ දෙන කෑම එක කන්න තමයි මටත් සිද්ධ වුනේ.

ඒ කෑම වේල තනිකරම නිර්මාංශ නිසා මට දි මුල දි නම් එපා වුනා. මොකද රෑට බඩ පැලෙන්න බුරියානි කාපු මට ඒ කෑම එක ඇල්ලුවෙ නෑ මුලදි. ඒ කෑම වේලට බත් , රොටි එක්ක බටු හොදි වගේ නොයෙක් ජාති තිබුනා. කොහොම වුනත් ඒ කෑම වේලෙ නරකක් නම් තිබ්බෙ නෑ. හැබැයි මුලදි මට තවත් හිතට අල්ලපු නැති කාරණාවක් වුනේ කෑම කාපු ඉඳුල් පිඟානෙම අතුරු පස දාගෙන කාපු එක. සව් වගේ දේවල් කෑම පිඟානෙම දාගෙන අතින් කන එක ටිකක් අමුතු වුනත් අර රොමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන නිසා මම ඒකත් කරලා බැලුවා.

කොහොම හරි ඉන්දියන් ගමන නිමා කරලා ආපහු හයිද්‍රාබාදයෙන් එන කොට ටිකක් දුකත් හිතුනා. ඒ අස්සෙ හයිද්‍රාබාදයෙ තිබුන ලංකාවෙ කවදාවත් දැකල තිබුනෙ නැති තරම් විසාල සාප්පු සංකීරණ , සාරි කඩ අස්සෙ කරක් ගැහුවට ඒ එකක් වත් සටහන් කර ගන්න කැමරාවක් නොගෙනිපු එක ගැන නම් අපරාදෙ කියලා හිතුනා. විශේෂයෙන්ම එහෙ තිබ්බ සාප්පු සංකීර්ණ තරම් විශාල ඒවා මම ලංකාවෙදි දැකල තිබුනෙ නෑ.

හයිද්‍රාබාදයෙ ඉඳල චෙන්නායි නුවරට එන කොට ගුවන් යානයෙ එනකොට තමයි තවත් අපුරු දර්ශනයක් දැක්කෙ. ඒ තමයි එක ලඟ ක්‍රීඩාංගන තුනක එකම වෙලාවෙ ක්‍රිකට් තරඟ තුනක් පැවැත් වෙවින් තිබුනු එක. උඩ ඉඳන් කැමරාවට සටහන් කර ගන්න මං දැකපු අපූරුම දර්ශනයක් තමයි ඒක. එතනින් එහාට ඉතින් ගමනෙ ඉතුරු හරිය සාමාන්‍ය විදිහට ඉවර වුනා.

එහෙම නම් ඉතින් මගේ සටහනෙ ඉන්දීය ගමන් විස්තර මේ ලිපියෙන් අවසන් කරනවා. පුලුවන් ඉක්මනින් නැවත හමුවෙමු.

හයිද්‍රාබාදයේ බිරියානි

මගේ සටහන එක පාරටම සටහන් හතරක් විතර ලියල දැම්මට පස්සෙ අයෙ පරණ ලෙඩේ හැදුනා. ඒ තමයි අර කම්මැලි කම කියන ලෙඩේ. ඒ කොහොම වුණත් මගේ සටහන ආයෙමත් ලියන්න ඕනෙ කියලා හිත හිතා හිටියා. අන්තිමේදි එකපාරටම මගේ සටහන ලියල දාන්න පටන් ගත්තා. මේ පාර මගේ සටහන ලියන්නෙ අමුතු විදියකට. මම කියවන ගමන් තව කෙනෙක් ටයිප් කරනවා. ඒ විදිය ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්. එහෙමනම් ඉතින් 48 වෙනි මගෙ සටහන මෙතැන් සිට ආරම්භ කරනවා.

මගේ සටහන අන්තිම ලිපි වලදී කියමින් හිටියෙ ඉන්දියානු ගමන් විස්තර ගැන. එක ලිපියකින් කියල ඉවර වෙයි කියල හිතුනත් පහුගිය සටහන් හතරම ඒ ගැන තමයි ලියවුනේ. එහෙම කලබලයක් නැතුව විස්තර ලියන එක හොඳයි කියලා ප්රමතිචාර වලටත් කියලා තිබුණ හින්දා මතක් වෙන හැම විස්තරේම ලියන්න මතත් හිතුණා. අන්තිමට මගේ සටහන නැවැත්තුවේ ගුවන් තොටුපොළේ ඉඳන් හයිද්රාලබාදයට ගිය ටැක්සි ගමන ගැන විස්තරෙන්. එතන ඉඳන් ඉතුරු ටික කියන්න තමයි අද කල්පනාව.

මගේ ඉන්දියානු ගමන් විස්තර ගැන මුලින්ම යොදාගන්න හිටියෙ මේ මගේ සටහනේ මාතෘකාව තමයි. ඒ කියන්නෙ හයිද්‍රාබාදයේ බිරියානි ගැන. මෙච්චර ගමන් විස්තරේක සාරාංශය වෙන්න තරම් හයිද්‍රාබාදයේ බිරියානි වල ඇති විශේෂත්වය මොකද්ද කියලා මගේ සටහන පාඨකයින් කල්පනා කරාවි. කොහොම වුනත් හයිද්‍රාබාදයේ බිරියානි අත්දැකීම විඳින්න ලැබුණු කෙනෙක් එහෙම කියන එක පුදුමයක් නැහැ. බිරියානි කියන්නෙ ලංකාවෙ අපි කවුරුත් දන්න බුරියානි වලට. අපි දන්න කාලෙ ඉඳන් බුරියානි කිව්වට ඒකෙ හරි නම බිරියානි කියලා මම දැනගත්තෙ ඉන්දියානු ගමනෙදි තමයි. ඒ බිරියානි වල රසට මම කොච්චර වහ වැටුනද කියනවනම් මේ ලියන වෙලාවෙත් කටට කෙළ උනන එක නවත්තන්න බෑ.

ඔන්න ඉතින් මගේ ටැක්සි රියදුරා මාව මගෙ නවාතැනට ගෙනල්ලා බැස්සුවා. ඒ අතරතුරේදි තමයි මම දැක්කෙ හයිද්‍රාබාදයේ තත්ත්වය. ඇත්තටම අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ඉන්දියාව හරි වෙනස්. මොකද හයිද්‍රාබාදය බොහොම දියුණු නගරයක්. මම එහෙ හිටපු දවස් වල තේරුණු විදිහට හයිද්‍රාබාදය කොළඹ නගරයට වඩා ලොකු වගේම දියුණු නගරයක්. මම මගේ නවාතැනට එන අතරෙ තමයි දැක්කෙ ප්රිධාන නගරයේ ඉඳන් හයිද්‍රාබාදයේ ගුවන් තොටුපොළට කිලෝමීටර් 20ක් දිග ගුවන් පාලමක් හදලා තියන හැටි. ඒ වගේම එහෙ පාරවල් මෙහෙට වඩා හරි දියුණුයි. අර ලංකාවෙ වගේ සමහර තැන්වල හදිස්සියට වැස්ස වෙලාවකට මාලුවෙක් අල්ලගන්න පුලුවන් වලවල් පාරවල් වල තිබුනෙ නෑ.

ඔන්න ඉතින් බිරියානි ගැන කියන්න ගිහින් පාරවල් ගැනනෙ කිව්වෙ. අයෙ එන්න ඕනෙ බිරියානි කතාවට. ඔක්කොටම කලින් හැමදාම අහල පුරුදු බුරියානි එක බිරියානි පැටලෙනවනම් කියවන කොට බුරියානි කියලම කියවගන්න කියල තමයි මගේ සටහන පාඨකයන්ට කියන්න තියෙන්නෙ.

ඇත්තටම හයිද්‍රාබාදයේ බිරියානි වලට ප්‍රසිද්ධයි. බිරියානි වල රහ විඳගන්න මට නියම අවස්ථාවක් ලැබුණෙ මම නැවතිලා හිටියෙ ” හයිද්‍රාබාද් හවුස්” කියන හයිද්‍රාබාදයේ ප්‍රසිද්ධ බිරියානි අවන් හලට උඩ තට්ටුවේ තිබිච්ච නවාතැන් පොලක නිසා. කොහොමහරි මම එහෙට ගිය පළවෙනි දවසෙම හයිද්‍රාබාදයේ බිරියානි කන්න අවස්ථාව ලැබුණා. හයිද්‍රාබාදයේ බිරියානි මේ තරම් වර්ණනා කරන්න ලංකාවෙ බුරියානි එක්ක තියන වෙනස මොකද්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒකට නම් ඉතින් කියන්න තියෙන්නෙ කාලම තමයි වෙනස බලන්න වෙන්නෙ කියලා.

ඉන්දියාවෙ බිරියානි හදන්නෙ බාස්මතී සහල් වර්ගයකින්. ඒක ටිකක් දිග ලංකාවෙදි මම කාලා නැති ජාතියෙ සහල් වර්ගයක්. එතන එක එක ජාතියෙ බිරියානි තියනවා. මම එතන තියන හැම ජාතියම කාලා බැලුවා. ඇත්තටම කියනවනම් මම හිටපු දවස් හතේම කෑවෙ බිරියානි තමයි. පුලුවන් කමක් තිබ්බනම් ලංකාවට එද්දි එකක් අරගෙන එනවා.

එහෙදි බිරියානි පාර්සල් කරලා දෙන්නෙ අමුතු විදියකට. සාමාන්යයෙන් එක බිරියානි එකක් දෙන්නෙකුට විතර කන්න පුළුවන්. බිරියානි ඒ අය දාන්නෙ අපේ කිරිපිටි පැකට් අසුරන කවර වල. එහෙම දාලා සීල් කරලා තමයි දෙන්නෙ. මගෙ පෙරේත කම කොච්චරද කියනවනම් ඔය දෙන්නෙක්ට කන්න පුලුවන් බිරියානි එකට අමතරව චිකන් කෙබාබ් වගේ අමතර දේකුත් එක වේලට ගිලලා දැම්මා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ බිරියානි වලට මගේ තිබ්බ කෑදර කම. කොහොමටත් මට මතක විදියට ඒ බිරියානි එකක් ඉන්දියන් රුපියල් 200 කට අඩුයි. කාර්යාලයෙන් අතේ වියදමට ඇතිවෙන්න සල්ලි දීල තිබුන නිසා රෑ කෑමට ඉන්දියානු රුපියල් 500ක් විතර ලෝබ නැතුව වියදම් කලා.

ඉන්දියානු බිරියානු ගැන කියව කියව හිටියා මිසක් හයිද්‍රාබාදයේ ගැන මුකුත් විස්තර කියන්න බැරි වුනා නෙ. හයිද්‍රාබාදයේ අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේෂ් කියන ප්‍රාන්තයට කියල කලින් “මගේ සටහන” ක දී මම කිව්වනෙ. ඇත්තටම අපේ නුවර නගරයට වඩා සිසිලසක් එහෙ තියෙනවා. ටිකක් උස් බිම් සහිත ප්‍රදේශයක් තමයි ඒක. හයිද්‍රාබාදයේ නොයෙකුත් අපූරු දේවල් තිබුනා.

එකක් තමයි ඒ නගරයෙදි මම දැක්ක ත්‍රී රෝද රථ. හයිද්‍රාබාදයේ ත්‍රී රෝද රථ හැම එකක්ම කහ පාටයි. අනිත් එක කිලෝ මීටරයකට ගන්නෙ ඉන්දියන් රැපියල් දොලහයි. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් රැපියල් තිහක් විතර. ඒ අතින් එහෙ ගාස්තු ලාබයි. අනිත් කාරණාව තමයි එහෙ ත්‍රී රෝද රථ පාවිච්චි කරන්නෙ බස් වලට ආදේශකයක් වගේ. ඒ කියන්නෙ එක රථයක මිනිස්සු පස් හය දෙනෙක් යනවා. රියදුරාගෙ දෙපැත්තෙත් මිනිස්සු ඉඳගෙන යනවා. එහෙ හවසට පාර අයිනෙ හිටගෙන හිටියොත් සෙනග පටවගත්ත ත්‍රී රෝද රථ නවත්තල අහනවා අපෙන් යන්න අවශ්යද කියල. ඒකයි මම කිව්වෙ ලං කාවෙ බස් රථ වගේ තමයි ඉන්දියාවේ ත්‍රී රෝද රථ භාවිතය කියල.

මේ සටහනත් වෙනද තරම් දිගට ලියන්නෙ නැතිව ඉතුරු විස්තර ඊළඟ සටහනින් අවසන් කරන්න ඕනේ කියල හිතුනා. එහෙමනම් තවත් සටහනකින් නැවත හමු වෙමු.

ඉන්දියානු ඩ්‍රයිවර්

“මගේ සටහන” ට ගිය සතියෙත් ඒ තරම්ම ප්‍රතිචාර ලැබිලා තිබුණෙ නැති නිසා එක පාරටම හිතේ පොඩි සැකයකුත් ඇති වුනා. ඒ කොහොම වුනත් මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. මොකද කම්මැලි ඉරිදා හැන්දෑවෙ කැරකි කැරකි ඉන්නවට වඩා ඒක හොඳයිනෙ. කොහොමටත් මේ දවස් ටිකේ කොයි තරම් වැඩ තිබුනත් චිත්‍රපටි බලන එක යහමින් කලා. ඒ හින්දා ලිවීමේ නිරත වෙන එකෙත් වරදක් නෑ නෙ. එහෙම නම් ඉතින් තව වැඩි දේවල් කියව කියව ඉන්නෙ නැතුව හතලිස් හත් වෙනි “මගේ සටහන” ලිවීම ආරම්භ කරනවා.

මගේ ඉන්දීය ගමන් ගැන විස්තර ඉස්සෙල්ලම ලියන කොට හිතාගෙන හිටියෙ එක ලිපියකින් ලියල ඉවර කරන්නපුලුවන් වෙයි කියල. ඒ වුනාට සටහන් තුනක් ලියවිලා ඉවර වුනත් තාම ගමන් විස්තරේ ඉවර නෑ. කොහොමටත් මෙගා නාට්‍ය කතන්දර වලට කොටස් පනසීයක් දාහක් පෙන්නන්න පුලුවන් නම් “මගේ සටහන” ඉන්දියානු ගමන් විස්තර ටිකක් ඇදුනට කමක් නෑ කියලත් හිතුනා. 🙂 දේසේ හැටියට වාසේ කියල කියනවනෙ. ගිය සතියෙ මම නැවැත්තුවෙ ගුවන් යානයට නැගීමේ අවසර පත ගත්ත තැනින් නෙ. ඉතින් අවසර පත අරගෙන ඇතුලට යන කොට ආයෙ ආරක්ෂක පරීක්ෂාවක්. මට ඒ වගක් වැඩිය තේරුනේ නැතිව ගියා. ඒ පාර එතන හිටපු පොලිස් නිලධාරියො මොනවදෝ කිව්වා. මට තේරුනෙ නෑ කියපු මෙලෝ දෙයක්. මොකද ඒ අය මට තේරුණු විදිහට හින්දි භාෂාවෙන් කතා කලේ. මම ඒ පාර ඉංග්‍රීසියෙන් කිව්වා මට තේරුනේ නෑ කියල. මෙන්න ඒ පාර හින්දියෙන් තව මොනවදෝ කියවගෙන යනව. බැරිම තැන මම අනිත් මිනිස්සු දිහා බලල මොකද කරන්න ඕනෙ කියල බලා ගත්තා.

යන්තම් ඒ කරදරෙන් ගැලවිලා මම ඇතුලට ඇවිල්ලා ඉඳ ගත්තා. එතන ගොඩක් සෙනඟ පිරිලා. මොකද එක එක පලාත් වලට යන ගුවන් යානා ගැන විස්තර රූපවාහිනි තිර වල වැටෙනවා. ඊට අමතරව නිවේදනයන් නිකුත් කරනවා. මේ දේවල් බල බල හිටපු හින්දා අමුතු ගතිය ටිකක් අඩු වුනත් මහන්සිය හින්දා එපා වෙන ගානට ඇවිත් තිබුනෙ. ඉන්දියාවෙ ගුවන් තොටුපලේ තමයි මම දැක්ක තවත් වෙනසක් තිබුනෙ. කටුනායක ගුවන් තොටුපලේ දි නම් ගුවන් යානය කෙලින්ම ඇවිත් නවත්තනවා ගොඩනැගිල්ලක් ලග. ඒ ගොඩනැගිල්ලෙ ඉඳල ගැවන් යානයට කෙලින්ම ගොඩ වෙන්න පුලුවන් පාලමක් තියෙනවා. ඒ පාලම සම්බන්ධ වෙන්නෙ හරියටම ගුවන් යානයෙ දොරටමයි. ඒ නිසා ගුවන් යානයට නගින එක හරිම ලේසියි. ඒ වුනාට ඉන්දියාවෙදි ගුවන් යායට නගින්න බස් එකක යන්න ඕන. අදාල ගුවන් යානය ආවම නිවේදනයක් කරනවා ගේට්ටු අංකය හෙවත් පිටවීමේ දොරටුව ගැන. එතකොට අපි ගිහිල්ලා අදාල බස් එකට නැග්ගම ඒ බස් එක අපිව අරගෙන යනවා ගුවන් යානය ළඟට. එතනදි තමයි අපිට ගුවන් යානයට නැග ගන්න වෙන්නෙ. ඔය කතන්දරේ මම යන්න කලින් කෙනෙක් කියල දීල තිබුන නිසා ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ.

ඔය ගුවන් තොටුපලේ ඉන්න වෙලාවෙ තමයි ඉස්සෙල්ම ඉන්දියානු ළඳුන්ගෙ රූප සොබාවේ අගේ දැක්කෙ. හරියට හැමෝම හින්දි චිත්‍රපටි වල දැකල පුරුදු අය වගේ. කොහොමටත් ලෝක රූ රැජිණන් ගණනාවක් බිහි කරපු රටක් නෙව. මමත් ඉතින් මහන්සිය කෙසේ වෙතත් ඉන්දියානු ළඳුන්ගෙ රූ සිරි නම් විඳ ගත්තා. 🙂 අන්තිමේ දී බලාගෙන ඉඳල ඉඳල මගේ ගුවන් යානය එනවයි කියල නිවේදනය කරා. ඒ පාර මමත් දඩි බිඩියෙ මගෙ ගමන් මලු ලෑස්ති කරගෙන පිටවීමේ දොරටුව ගාවට ගියා. ඒ පාර ඉතින් ගුවන් යානයට නැග ගත්තට පස්සෙ අර ශාරීරික අවශ්‍යතාවේ ආයෙ දැනෙන්න ගත්තා. ඒපාර හිතුවා ඉවසගෙන හිටපු එකේ කොහොම හරි ඉතුරු ටිකත් ඉවසගෙන ඉන්නව කියල.

චෙන්නායි ඉඳල හයිද්‍රාබාදයට ගමනෙදි තමයි තව අපූරු සිදුවීම් දැක්කෙ. මේවා ඉතින් ඒ තරම් අපූරු දේවල් නොවෙන්න පුලුවනි. ඒ වුනාට ඉස්සෙල්ලම වතාවට ගුවන් යානයක ගිය මට දකින දකින හැම දේම මොකද්දෝ අපූරු ගතියකින් දැනුනා. ඔන්න යන්තම් අපේ ගැවන් යාව යන්න පිටත් වැනා. මම හිතුවෙ එක පාරටම උඩට ගනී කියල. ඒ වැනාට මෙන්න බොලේ හරියට පාරේ යන බස් එකක් වගේ අපේ යානාව හෙමිහිට වංගු අරගෙන යනවා. එහෙම ගිහිල්ලා එක තැනක නැවැත්තවා. මම බැලුවා මොකද මේ වුනේ කියල. ඔන්න එතකොට තමයි ජනේලෙන් එලිය දකින කොට දැක්කෙ තවත් ගුවන් යානයක් ගොඩ බස්සවනවා. එතකොට පිටිපස්සෙන් තවත් යානයක් ඇවිත් නවත්තගෙන ඉන්නවා අපි වගේ. ඔන්න අර යානාව හෙමිහිට පහලට ඇවිත් ගොඩ බස්සවලා ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට හරව ගත්තා. ඊට පස්සෙ තමයි අපේ යානාව ප්‍රධාන ධාවන පථයට අරගෙන අහසට නැග්ගුවෙ.වාසනාවකට වගේ චෙන්නායි ඉඳල හයිද්‍රාබාදයට යන ගමනෙ දි කණේ කැක්කුම හැදුනෙ නෑ. ඒ වුනාට ඒකටත් හරි යන්න ශාරීරික අවශ්‍යතාවෙ දැනෙන්න අරගෙන තිබුනෙ. 🙂 ඒ ගුවන් යානාවෙ ගමන් කරපු ගොඩක් දෙනා මුඛ ආවරණ පැලඳගෙන හිටියෙ. ඒකෙන්ම තේරුණා සූකර උණ ගැන කොයි තරම් එහෙ බය පැතිරිලා තිබුණද කියන එක.

කොහොමින් කොහොම හරි වැඩි කරදරයක් නැතුව හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලට ළඟා වුනා. ඒ පාර නම් මට පුදුම අහනයක් දැනුනෙ. මට මතක විදිහට වෙලාව උදේ නමයට විතර. ඔන්න ඉතින් මගෙ ගමන් මලු ටික අරගෙන මම එළියට ආවා. එලියට ආවම එතන ඉඳන් මම නවාතැන් ගන්න තැනට කුලී ගමන් රථයක් අපේ ඉන්දියානු සමාගමේ මිත්‍රයො ලෑස්ති කරල තිබුනෙ. මම එතන එළියට එනකොට තමයි අනිත් අපූරු දර්ශනය දැක්කෙ. ගුවන් තොටුපලෙන් එළියට එන අය පිලි ගන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය තමන් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගෙ නම සඳහන් කරපු නාම පුවරු උස්සගෙන ඉන්නවා. හරියට උද්ඝෝෂණයක් වගේ. ඔන්න ඔය අතරෙ මඟේ නමයි , ශ්‍රී ලංකා කියල ගහපු බොඩ් එකක් උස්සගෙන තරුණයෙක් ඉන්නවා දැක්කා. එවෙලෙ හිතුනා ඇති යන්නතම් කියල. මම ඉතින් ඒ පාර මිනිහට කිව්ව මම තමයි කෙනා කියල. ඒ කොල්ලටත් ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ. ඒ වුනාට කොහොම හරි තේරෙන වචන දෙක තුනකුයි හස්ත මුද්‍රා වලිනුයි කතා කරගෙන අපි ටැක්සියට ආවා.

හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලෙන් එළියට ආවම තමයි මම දැක්ක තවත් ලස්නම දර්ශනයක් දැක්කෙ. හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලෙන් එළියට එන පාර දෙපැත්තෙ වවල තිබුනා හරි ලස්සන කහ පාට දම් පාට මල්. පාර දෙපැත්තෙ එක යායට පිරිලා තිබ්බ මල් දැක්කම ආස හිතුනා. අවාසනාවට ඉන්දියානු ගමනට යනකොට මම කැමරාවක් අරගෙන ගියෙ නැති නිසා ඒ දර්ශනය සටහන් කර ගන්න බැරි වුනා. ඔය ගමන යන අතරෙ මගෙ රියදුරා මාත් එක්ක කතාවට වැටුනා. මිනිහා කතා කරන්නෙ මිනිහගෙ බාසාව මැද්දට දන්න ඉංග්‍රීසි වචන දෙක තුනක් දාලා. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ් වලට කියල මම කිව්වනෙ. එහෙ ප්‍රධාන භාෂාව තමයි තෙළිඟු. තෙළඟු භාෂාව කතා කරනකොට ගොඩක් වෙලාවට තේරෙන්නෙ දෙමළ භාෂාව වගේ. ඒක නිසා රියදුරාගේ කතා බහ මට ගොඩක් හුරු පුරුදුයි වගේ දැනුනා.

මේ මනුස්සයට ඕන වුනා මම ආවේ කොයි රටේ ඉඳලද , මොන පළාතෙද වගේ එක එක විස්තර දැන ගන්න. මිනිහා ලංකාව ගැන දන්නවා ටිකක්. කොහොමටත් අසල්වැසි රටක්නෙ. මිනිහා ගඔඩක් කතා කාරයෙක්. ටැක්සියට නැගපු වෙලේ ඉඳල එක එක දේවල් කියවනවා මාත් එක්ක. චිත්‍රපටි ගැනයි, සින්දු ගැනයි තව මොන මොනවදෝ විස්තර වගයක් නවත්තන්නෙ නැතුව මේ මනුස්සයා කියා ගෙන ගියා. මේ විස්තර අහගෙන ඉන්නකොට ආයෙ වතාවක් “නීල් විජේරත්න” මහත්තමයගෙ “කේරළ නළඟන” පොතේ එන ඉන්දියානු ගමන් විස්තර මතක් වුනා.

එහෙම නම් ඉතින් අද “මගේ සටහන” නුත් ඉන්දියානු ගමන් විස්තර කියල ඉවර කරන්න බැරි වුනා. එහෙම නම් ලබන සතියෙවත් ඉන්දියානු ගමන් විස්තරේ කියල ඉවර කරන බලාපොරොත්තුවෙන් මේ සතියෙ සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.

යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර්

කාලයක් තිස්සෙ නොලියවුනු “මගේ සටහන” ආයෙ ලියන්න පටන් අරගෙන දැන් සති දෙකක් වෙනවා. එතනින් මුල්ම සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණට ඡන්ද කලබල අස්සෙ හින්ඳ මන්දා ගිය සතියෙ සටහනට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා තිබුනෙ නෑ. ඒ “මගේ සටහන” කම්මැලි හින්ද දෝ කියලත් හිතුනා. කොහොම වුනත් මගේ ගමන් චාරිකාව ගැන විස්තර තව කියන්නත් එක්කම මේ සතියෙ “මගේ සටහන” හතලිස් හය වෙනි දිග හැරීම මෙතැන් සිට ආරම්භ කරනවා.

මදැරාසියෙන් හේවත් නූතන චෙන්නායි නගරෙට මම ගොඩ බැස්සෙ පාන්දර හතරහ මාරට විතර කියල කිව්වනෙ. ඒ ගුවන් තොටුපලට කියන්නෙ අන්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල කියල. කොහොම හරි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වැඩ කටයුතු ටික ඉවර කරගෙන දේශීය ගුවන් තොටුපලට සේන්දු වුනා. මම හිතාගෙන හිටියෙ හදිස්සියෙ හරි බස් එකකින් එහෙම යන්න වෙයිද කියල. ඒ වුනාට මගේ සැනසීමට පයින් ඇවිද ගෙන යන දුරින් ගුවන් තොටුපල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. මේ කතාව ලියා ගෙන යන අතර තුරේ සුපුරුදු පරිදි තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. කොහොමටත් “මගේ සටහන” ඇතුලෙ එක එක තැනින් පැනපු අතුරු කතන්දර තියෙනවා. ඒක නිසා පාඨකයන්ට වුනත් දැන් ඒ තරම් නුහුරු ගතියක් නැතිව ඇති කියල හිතනවා කියාගෙම යන දේ මැදට කොහෙන් හරි වෙන කතන්දරයක් පාත් වුනාහම.

මම මේ කියන්න යන දේ ඇත්තටම කතන්දරයක් මත් නෙවෙයි. එක්එරා විදිහක ඉන්දියානුවන්ගෙ හැසිරීම් රටාව ගැන විස්තරයක්. ඔය ඉන්දියානුවන්ගෙ භාෂා උච්චාරණ විලාසය බොහොම වෙනස්. මොකද ලංකාවෙ උදවිය කතා කරනවාට වඩා අමුතුයි. මේ ගැන සමහර විහිලු කතා පවා තියෙනවා. ඉන්දියානුවො ඉංග්‍රීසි කතා කරන කොට ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි “r” අකුර ඇදලා කියන එක. ඒ කියන්න්නේ “යාර්ර්ර්ර” වගේ දේවල්. අපිට විශ්ව විද්‍යාලෙදි දේශනයකට ආපු ආචාර්ය වරයෙක් කිව්වා හරි අපූරු කතාවක්. ඇත්තටම ඒ කතාව කියවල බලනවට වඩා අහන්න තිබුනා නම් තමයි හොඳ.

ඔන්න ඔය දේශක තුමා පොඩි කාලෙ එයාගෙ ගෙදරට ආවලු ඉන්දියානු ජාතිකයෙක් , පායාව මුණ ගැහෙන්න. මේ මනුස්සයා ගේ ඇතුලටම ඇවිත්. ඒ පාර තාත්තා ඇහුවලු අමුත්තා ගෙන් “How did you came in?” . ඒ කියන්නෙ කොහොමද ඔබ ඇතුලට ආවෙ කියල. ඒ පාර අර ඉන්දියානුවා උත්තර දුන්නලු මෙන්න මෙහෙම. ” යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර් ඕපන් ද ඩෝර්ර්ර් ෆොර්ර්ර් මී” කියල. “yourrrrrrrr driverrrrrrrr open the dooorrrrrr forrrrrrrrr me” . ඔය කතාව මම කියන හැම තැනකදිම අපේ මිත්‍රයො හිනා වෙනවා. කතාව මම කිව්වෙ ඉන්දියානුවන්ට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි. මොකද ඒ උච්චාරණ රටාව ඒ අයටම ආවේණීක දෙයක් නිසා.

ආයෙ ඉතින් මගෙ කතාවට ආයෙ එන්නයි සූදානම. දේශීය ගුවන් තොටුපලට ආවයි කියමුකො. චෙන්නායි ඉඳලා හයිද්‍රාබාදයට යන ගුවන් යානය තිබුනෙ උදේ අටහ මාරට හරි නමයට විතර. ඒ අතර තුර පැය හතරක් විතර මට දේශීය ගුවන් තොටුපලේ රැඳිලා ඉන්න තිබුනෙ. ඔන්න එතන මාර කලබලයක්. ජාත්‍යන්තර ගුවන් තොටුපලටත් වඩා එතන කලබලේ වැඩී. සමහර අය පුටු වල දිගෑදිලා පත්තර බලනවා. තවත් සමහර අය නිදි. මේ කිසිම කෙනෙක් අතර ලංකාවෙ කෙනෙක් බෙහෙතකටවත් හිටියෙ නෑ. ඒක නිසා මගේ හිතේ පාලුව තවත් වැඩි වුනා ඒ වෙලාවෙ.

කලින් දවසෙ රෑ ඉඳලම ඇහැරගෙන හිටපු නිසා ඒ වෙනකොටත් මම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. අලි මදිවට හරක් කිව්වා වගේ පාන්දර ජාමේ නිසා මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුනා. ඒකත් සුලු දිය පහ කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. බරපතල අවශ්‍යතාවයක්. ඔය වෙලාවෙ තමයි මම බරපතල ප්‍රශ්නෙකට මැදි වුනේ. මොකද මගෙ ගමන් මලු ප්‍රශ්නෙ නිසා. ඒක වුනේ මෙහෙමයි.

මේ ගමනට මම අරගෙන ගියේ එක ගමන් මල්ලයි. ඒක විශාල ගමන් මල්ලක්. ඒ ගමන් මල්ලට තමයි මගේ ගමනට අවශ්‍ය ඇඳුම් පැලදුම් ආදී ජාති ටික අහුර ගෙන තිබුනෙ. කොහොමටත් අවශ්‍යයම දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් උස්සගෙන යන්නෙ නෑ කියල මම තීරණය කරල තිබුනෙ. ඉතින් ඔය ගමන් මල්ල ඇත්තටම සූට් කේස් එකක්. අර අතින් ඇදගෙන යන්න පුලුවන් විදිහෙ. ඉතින් මම ගමන යන්න කලින් ඉන්දියාවෙ පොදු ප්‍රවාහන සේවා වල ඉන්න හොර හතුරො ගැන ගොඩක් අය මට උපදෙස් දීලා තිබුනෙ. ඒක නිසා මේ සූට් කේස් එකට ඉබි යතුරු දාගෙන හිටියෙ වැඩි ආරක්ෂාවට. 🙂 මේ සූට් කේස් එකට අමතරව මගෙ පරිගණකයත් අරගෙන තමයි ගියෙ. එතකොට ඔක්කොම බෑග් දෙකයි.

ඉතින් දැන් ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න හැටි කල්පනා කරන කොට තමයි ගමන් මලු බල පරශ්නෙ ඔලුවට ආවෙ. මොකද ගමන් මලු කොහවත් තනියම තියන්න එපා කියල උපදෙස් ලැබිලා තිබුනෙ. ඒක නිසා මුකුත් කරන්නත් බෑ. වැසිකිලිය ඇතුලට ගමන් මලු උස්සගෙන යන්නත් බෑ. කොහොමටත් උදේ පාන්දර රේගු නිලධාරියගෙ වැඩෙන් පස්සෙ ගමන් මලු ටික පොඩ්ඩකට හරි තියල වැසිකිලි යන එකත් හිතට හරි නෑ වගේ දැනුනෙ. මමම කල්පනා කරා මොකද කරන්නෙ කියල. තව කෙනෙක් ගෙන් පොඩ්ඩකට බෑග් බලා ගන්න කියල ඉල්ලීමක් කරන්නත් හිතුනා. ඒ වුනාට එතන හිටපු අයගෙ මූණු දිහා බැලුවම ඒ වගේ ඉල්ලීමක් කරන්න තරම් හිතෙන කෙනෙක් හිටියෙත් නෑ.

අන්තිමේදි මම තීරණය කලා ඉවසගෙන ඉන්නවා කියල. කණේ අමාරුව හැදිලා මුල්ම ගුවන් ගමන එපා වෙලා හිටපු මට ඒ වෙනඛඔට නම් ආයෙ ගෙදර දුවන්න හිතුනා. 🙂 කරන්න දෙයක් නැතිම තැන මම පොඩ්ඩක් නිදා ගන්න බලපු එක. ඒ වුනාට ඒක හරි ගියෙත් නෑ. මොකද මගෙ ගමන් මලු ගැන එන්න කලින්ම දීපු උපදෙස් මතක් වීම නිසා විනාඩියෙන් විනාඩියට ඇහැරල බලනවා ඔක්කොම හරියට තියෙනවද කියල. 🙂 ඒකත් හරියට මානසික ලෙඩක් වගේ. මගෙ දිහා කවුරු හරි බලාගෙන හිටියනම් මොනව හරි හිතන්න තිබුනා.

අන්තිමේදී නිදා ගන්න වැඩේ හරි ගියෙ නැති නිසා මට හිතුනා ගුවන් යානයට අදාල නැව් නැගීමේ පත්‍රය හෙවත් බෝඩිං පාස් එක අරගෙන ඇතුලට ගියා නම් හොඳයි කියල . ඔන්න ඒ පාර ම ගියා අදාල ගුවන් යානා කාර්ය මණ්ඩලය ලඟට. ඒ පාර ඒ අය කියපි මම මොකද්ද ආරක්ෂක පරීක්ෂාවක් කරගෙන නැතිලු. මොකද්ද ආරක්ෂක පරික්ෂාවක් කරගෙන ගමන් මලු වල මොකද්ද සහතික කිරීමේ ස්ටිකරයක් අලවගෙන එන්නලු. මම වටපිට බලනකොට ඇත්තටම තියෙනවා එහෙම එකක්. මම ඒක හරහා නෙවෙයි ඇවිල්ලා තියෙන්නෙ.

ඉන්දියාවෙ ගුවන් තොටුපල වලයි , ලංකාවෙ ගුවන් තොටුපල වලයි අතර ම දැක්ක විශේෂ වෙනස් කමක් තමයි ඒක. කටුනායක ගුවන් තොටුපලේ නම් ඇතුල් වෙන කොට අපේ ගම් මලු පරීක්ෂා කරනවා විතරයි. ඒ වුනාට ඉන්දියාවෙදි ගමන් මල්ලෙ ස්ටිකරයක් අලවනවා ඇතුල් වෙන තැනදි. ඊට පස්සෙ ගුවන් යානයට අදාල ප්‍රවේශ පත්‍රය ගන්න ගියහම ඒ කාර්ය මණ්ඩලය අපිට දෙනවා ටැග් පත්. ඒ ටැග් පත් අපේ ගමන් මලුවල ගැට ගහ ගන්න ඕන. ඊට පස්සෙ ගුවන් යානයට නගින්න කලින් ආයෙ ආරක්ෂක නිලධාරීන් පරීක්ෂා කරල අර ටැග් වල සීල් එකක් ගහනවා. ඒ සීල් එක තියෙනවනම් තමයි ගුවන් යානයට නගින්න අවසර ලැබෙන්නෙ.

ඉතින් මම මගේ අවසර පත්‍ර ටික අරගෙන ඇතුලට ගියා. එහෙමනම් ඉතින් ගමනෙ ඉතුරු විස්තර ටික තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. නැවත හමුවෙමු.

සුද්දො ආයෙ ආවොත්

ගොඩ කාලයක් තිස්සෙ ලියවුනෙ නැති “මගේ සටහන” හදිස්සියෙම ගිය සතියෙ ලියල දැම්මනෙ . ඒ සටහනට මම හිතුව තරමටත් වැඩිය ප්‍රතිචාර හම්බ වෙලා තිබුනා. ඒක නිසා මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ ලිව්වමත් අමුතු උද්යෝගයක් දැනෙනවා. ගිය සතියෙ මම ලිව්වෙ චූ බේරෙන කතාවයි මගේ ගමන් විස්තරයි. ඒකට ලැබිල තිබුනු ප්‍රතිචාර අතර නොදන්න දේවල් ගොඩක් ඇතුලත් වෙලා තිබුනා. ඒ හැම දේම මුල්ම වතාවට රටින් බැහැරව යන ඕනෙම කෙනෙක්ට හරිම වැදගත්. ඉතින් එහෙමනම් වැඩි ආගිය තොරතුරු නැතිව මේ සතියෙ හතලිස් පස් වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මේ සතියෙත් මගේ ගමන් විස්තරේ ඉතුරු ටික කියන්න කියල තමයි මම කල්පනා කලේ. මම ඔය ඉන්දියාවට ගියා කියල කිව්වට ගමනාන්තය කොහෙද කියල කිව්වෙ නැති එක සමහර වෙලාවට “මගේ සටහන” පාඨකයන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. මම ගියෙ ඉන්දියාවෙ හයිද්‍රාබාදයට. ඔය හයිද්‍රාබාදය තියන්නෙ ඉන්දියාවෙ ටිකක් උඩ හරියට වෙන්න. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ වලට. ඉතින් මගේ ගමන හයිද්‍රාබාදයට වුනාට කෙලින්ම හයිද්‍රාබාදයට ගුවන් යානා තිබුනෙ නෑ. ඒක නිසා මට සිද්ධ වුනා චෙන්නායි නුවර හරහා යන්න. ඔය චෙන්නායි කියල දැන් හැඳින්වුනාට ඉස්සර ඒ නගරය ප්‍රසිද්ධ වෙලා තිබුනෙ අපි කවුරුත් දන්න මදුරාසිය නමින්.

ඔය මදුරාසිය කියන නමට මම ගොඩක් කැමති. මොකද නීල් විජේරත්න මහත්මය, එතුමාගේ ඉන්දියානු සවාරි ගැන විස්තර කරල ලියපු “මදුරාසි කොලුවා” පොත කියවලා. ඒ පොත කියසව්වට පස්සෙ කවදාවත් දැකල නැති මදුරාසියට යන්න ලොකු ආසාවක් හිතේ පහල වෙලා තිබුනෙ. ඉන්දියාවෙ කොහොමටත් පරණ නගර වල නම් මිට කාලෙකට කලින් වෙනස් වුනා. මට මතක විදිහට බොම්බේ කියන නම මුම්බායි කියල වෙනස් වුනා. ඔය ඉන්දියාවෙ නගර වල නම් වෙනස් කරපු එක ගැනත් රසවත් කතාවක් මතක් වුනා මේ ලියන අතර වාරෙ. ඒ කතාව කියන්නෙ රසල් පීටර්ස් කියන කැනේඩියානු ඉන්දියානුවා. රසල් කියන්නෙ ප්‍රසිද්ධ වේදිකාවල කතන්දර කියන කැනඩාවේ ඉපදිච්ච කෙනෙක්. මෙයගෙ දෙමවුපියො ඉන්දියානුවො. ඉතින් රසල් පීටර්ස් මේ නගර වල නම් වෙනස් කරපු එක ගැන මෙන්න මෙහෙම කියනවා.

“ඔන්න ඔය අය දන්නවා ඇතිනෙ ඉන්දියානුවො ළඟදි ඒ අයගෙ නගර කීපයක නම් වෙනස් කලා කියලා. ඒ අය එතකම්ම පාවිච්චි කලේ සුද්දා ඒ නගර වලට කියපු නම් තමයි. සුද්දො ඉන්දියාව අත ඇරලා ගිහින් අවුරුදු පනහක් ගෙවෙන කම් නම් වෙනස් නොකර හිටියෙ ඇයි කියල දන්නවද?  ඉන්දියානුවො හිතුවා ආයෙ සුද්දො එයි කියලා. ඉතින් ඒ අය බලාගෙන හිටිය සුද්දන්ට කල් දීලා ආපහු එන්න. මොකද කලබලේට නම් වෙනස් කරල ආයෙ මාරු කරන්න සිද්ධ වුනෝතින් කියල” 🙂

මේක ඇත්ත කතන්දරයක් කියල වරදවා වටහා ගන්න එපා. රසල් පීටර්ස් මේ වගේ උපහාසාත්මක කතා බොහොමයක් කියනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයෙ හොයල බලන්න පුලුවන්. ඉතින් ගිය සතියෙ වගේම “මගේ සටහන” ප්‍රධාන කතාවෙන් පොඩ්ඩක් එළියට ගියා. ඒක ගැන එච්චර වද වෙන එකක් නැහැ කියල හිතෙනවා.

ඔන්න ගිය සතියෙ මම කතාව නැවැත්තුවෙ කණේ කැක්කුම ගැන කියලනෙ. කොහොමින් හරි ආයෙ ගුවන් යානය පහත් කරන්න ලං වෙන කොට කණේ වේදනාව අඩු වෙලා තිබුනා. ඒ වුනාට කණ අගුලු වැටිලා වගේ මොකද්ද වෙලා තියෙනවා කියල දැනුනා. වෙලා තියෙන දේ හොඳට තේරුනෙ ගුවන් යානයෙන් බැහැලා ඇවිදගෙන යනකොට.  මොකද ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අහන ප්‍රශ්න මට හරියට ඇහෙන්නෙ නෑ. මම කතා කරන ඒවත් මටම ඇහෙන්නෙ නෑ. හරියට තාවකාලිකව බීරී වෙලා වගේ. ඒ වෙලාවෙ පාන්දර හතරහ මාරට විතර. මුලු රෑම නිදා ගන්නෙ නැතුව ඉඳල මට හොල්මන් වගේ. ඒ ඔක්කොම අස්සෙ මිනිස්සු කියන දේ ඇහෙන්නෙත් නෑ. ඒ අය කියනව මොනවද පත්‍රිකාවක් පුරවල භාර දෙන්නලු . බලන කොට සූකර උණ ගැන මොකද්දෝ පත්‍රිකාවක් පුරවල දෙන්නලු.

කොහොමටත් මම ඉන්දියාවෙ යන දවස් සල සූකර උණ ගැන බොහොම බයක් පැතිරිලා තිබුනෙ. අත්‍යවශ්‍ය කටයුත්තකට ඇරෙන්න ඉන්දියාවට යන්න එපා කියල නිවේදනයකුත් කරල. මම යනකොටත් ගුවන් තොටුපලේ උදවිය මූණු ආවරණ දාගෙන හිටියෙ. ඒ අස්සෙ මුම්බායි නගරෙ ඉස්කෝල , විශ්ව විද්‍යාල එහෙම වහලා දැම්මා ලෙඩේ පැතිරෙන වලක්වන්න. මට නම් ඒක ඒ තරම් ගානක් වුනේ නෑ. මොකද බරපතල ලෙඩක් මට හැදෙන්නෙ නෑ කියල මෝඩ විස්වායක් මගෙ තියෙන නිසා . 🙂 ඉතින් බාගෙට ඇහෙන දේවල් වලට යන්තම් උත්තර දීලා මම ගියා ගුවන් යානයට පටවපු ගමන් මල්ල අරගන්න. ඒකෙ තමයි මගෙ ඇඳුම් ටික තිබුනෙ. එතනදි මට තවත් අපූරු වැඩක් වුනා.

මම ඒ බෑග් එක ගන්න අතරෙ එතන හිටියා ගුවන් තොටුපලේ ඉන්දියන් ජාතික නිලධාරියෙක්. මේ මනුස්සයා මගේ ළඟට ඇවිත් නොහොම සුහදව හිනා වුනා. මමත් ඉතින් හෙම්බත් වෙලා හිටිය එකේ ඒක බොහොම ලොකු සැනසීමක් වගේ දැනිච්ච හින්දා හිනා වුනා ඒ පුද්ගලයා එක්ක. මේ මනුස්සයා මගෙන් අහපි ඔන්න “ඔයාගෙ බෑග් ඔක්කොම ගත්තද? සේරම හරිද?” කියලා. මටත් ඉතින් හරි සතුටු දායක හැඟීමක් ඇති වුනා මේ ඉන්දියානු ජාතිකයගෙ සුහද බව ගැන. ඉතින් මමත් පැනල උතත්ර දුන්නා ” ඔව් , ඔව්” කියල. ඊට අමතරව මම කිව්වා දේශීය ගුවන් තොටුපල තියෙන තැන කියන්න කියල. මොකද මම මුලින්ම ගොඩ බැස්සෙ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට. එතන ඉඳල හයිද්‍රාබාදයට යන ගුවන් යානය ප්‍රාදේශිය ගුවන් යානාවක්. ඒකට නගින්න නම් චෙන්නායි ප්‍රාදේශිය ගුවන් තොටුපලට යන්න ඕන. මොකද ඉන්දියාව විශාල රටක් නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් වගේම අභ්‍යන්තර ගුවන් ගමනුත් බොහොම ජනප්‍රියයි.

ඉතින් මේ මනුස්සයත් කියපි “හරි හරි මම උදව් කරන්නම්, හැබැයි මටත් පොඩි උදව්වක් කරන්න” කියල. මම ඇහුවා මොකද්ද කියල. මෙන්න මේ මනුස්සයා කියපි “මගෙ යාලුවෙක් ඉන්නවා එළියෙ, මම සල්ලි දෙන්නම්. විස්කි බෝතල් දෙකක් අරගෙන එළියෙ ඉන්න යාලුවට ගිහිල්ලා දෙන්න කියල” එක පාරටම මම බැලුවා මොකද්ද ඒ කතාව කියල. බලන කොට ගුවන් තොටුපලෙන් එළියට යන මගියෙක්ට තීරු බදු රහිත සාප්පු වලින් මත්පැන් ඇතුලු දේවල් මිලදී ගන්න පුලුවන්. ඉතින් රට ඇතුලෙදි ගන්න මිලෙන් භාගෙකටත් වඩා අඩුවෙන් අරගෙන යන්න පුලුවන් ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පු වලින්. මේ මනුස්සයාට ඕන වුනේ එළියට යන කවුරු හරි හරහා පොඩි ජාවාරමක් කර ගන්න. ඒ වෙලාවෙ හොඳටම එපා වෙලා හිටපු මට යකා නැග්ගා ඒ කතාව අහලා. ඉතින් මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල ගුවන් තොටුපල ඇතුලෙ තියෙන බැංකුවක් ළඟට ආවා සල්ලි ටිකක් මාරු කර ගන්න.

මෙන්න මේ මනුස්සයා පස්සෙන් ඇවිත් ආයෙ දෙපාරක් විතර ඒ ඉල්ලීම කලා. ඒ පාර මම ගනන් ගන්නෙ නැතුව මගෙ වැඩේ කර ගන්න ගියා. මේ මනුස්සයා ඒ අස්සෙ තවත් කෙනෙක් ගෙන් ඒ ඉල්ලීම කලා. ඒ කෙනත් බැහැයි කිව්වා. කොහොම හරි අන්තිමට ඉතින් මම තනියම සල්ලි ටිකත් මාරු කරගෙන ගුවන් තොටුපලෙන් එළියට ආවා. ඒ වෙලාව වෙනකොට නම් නුහුරු නුපුරුදු තැනක ඉන්නව ටත් වඩා නොදන්න රටක ඉන්න එක හිතේ පොඩි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔන්න මම ගුවන් තොටුපලෙන් එළියට ආපු ගමන් දැක්කෙ හරියට ලංකාවෙ බස් නැවතුම් පොලක වගේ දර්ශනයක්. මොකද සිඟමන් යදින අයයි, පිලිවෙලක් නැතිව ඇඳ ගත්තු බඩු ගෙනි යන මිනිස්සුයි එක්ක එතන එකම ජංජාලයක් වෙලා තිබුනෙ. ඒ අතින් බලන කොට අපේ කටුනායක ගුවන් තොටුපල කොයි තරම් හොඳද කියල හිතුනා. හැබැයි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එලියට බැස්ස ගමන් තියෙන කොරිඩෝව දිගේම ගියහම දේශීය ගුවන් තොටුපල තිබුන නිසා කරදරයක් වුනේ නෑ.

එහෙම නම් ඉතින් ඉතුරු විස්තර තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් අද සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.

ගුවන් අනතුරින් චූ බේරේ

ගොඩ කාලයක් තිස්සෙ “මගේ සටහන” ලියවුණේ නෑ. ඒකට නම් ගොඩක් හේතු තිබුනා. රැකියාවෙ කාර්ය බහුල කම ආදී එක එක හේතු. ඉඳල ඉඳල බලනකොට බ්ලොග් කෙරුවාව පටන් අරගෙන අවුරුදු 2 කුත් ගෙවිලා ගිහිල්ලා. ඒ වුනාට දෙවෙනි අවුරුද්දෙ බ්ලොග් සටහන් ලියවුනේ නැති තරම්. ඒ අතර කාලය තුල බ්ලොග් අවකාශයට ගොඩක් අය එකතු වෙලා, නොයෙක් වෙනස් කම් එහෙමත් වෙලා. ඉතින් මේ හැම දේම දිහා බල බල ඉන්න කොට ආයෙමත් “මගේ සටහන” ලියන්න ආසාවක් ඇති වුනා. ඇත්තටම කියනවනම් ලිපියක් ලියන්න ඕන කම ගොග කාලෙක ඉඳන් තිබුණත්, මගෙ කම්මැලි කම නිසා ලිය වුනේම නෑ. එහම නම් ඉතින් මාස 7 ක විරාමයකට පස්සෙ ඉරිදා හැන්දෑවක හතලිස් හතර වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මම මීට ඉස්සර කාලෙක කිව්වනෙ ගොඩක් වෙලාවට මගේ සටහන ලියෙන්නෙ බස් එකේ, කොච්චියෙ යන කොට කියලා. ඒ කියන්නෙ යන අතර තුරේ යතුරු ලියනය කරන එක නෙවෙයි. ලියන්න අවශ්‍ය දේවල් හිතන එක. හැබැයි දැන් නම් ඒ පුරුද්ද මග ඇරිලා ගිහින්. ඉස්සර වගේ ලියන්න දේවල් කල්පනා වෙන්නෙ නෑ යන එන අතර තුර. ඉතින් කාලෙකට පස්සෙ “මගේ සටහන” ලියන්න යන කොට එක පාරටම මොනව ලියනවද කියල හිතා ගන්නත් බැරි වුනා. එහෙම  ඉන්න කොට ඉතින් මතක් වුනා පහුගිය ටිකේ මං බ්ලොග් නොලියපු කාලේ ගිය ඉන්දියානු සවාරිය ගැන ලියන්න.

ඔය ඉන්දියානු සවාරිය ඇත්තටම විනෝද චාරිකාවක් නෙවෙයි. ඒක මගේ කාර්යාලයෙන් පිලියෙල කරපු ගමනක්. කොහොම වුනත් ඒ ගමන තමයි හා හා පුරා කියල මම ලංකාවෙන් එළියට ගිය වතාව. මීට කලින් වෙන රටකට කියල ගිහිල්ලා තිබුනෙ රජරට ට විතරයි. 🙂 ඉතින් ඔය ඉන්දියානු ගමන සූදානම් වුනාම හිතේ ටිකක් දෙගිඩියාවෙන් තමයි හිටියෙ. මුල්ම හේතුව තමයි වෙන කොහෙවත් පිට රටකට ගොහින් නොතිබ්බ එක. අනික ඒ ගමන යන්න තිබුනෙත් තනියම. ඊටත් එහා ගුවන් යානයෙ යන එකත් හිතේ පුංචි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔය ගුවන් යානා ගැන කියද්දි ඒ අස්සෙම තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. හැබැයි මේ කතාව අසභ්‍යයි කියාවිද දන්නනෙත් නෑ. සමහරවිට මේ කතාව “මගේ සටහන” කියවන උදවිය අහල තියෙන්නත් පුලුවන්. ඔන්න එක්තරා දවසක ගුවන් යානයක් කන්දක හැප්පීම හින්දා අනතුරට පත් වුනා ලු. ඉතින් මේ යානයෙ ගිය අය අතරෙන් දහ දෙනෙක් මැරිලා ලින් චූ කියන චීන ජාතිකයා විතරක් ජීවිතේ බේර ගත්තලු. මේ අවාසනාවන්ත අනතුරෙන් ඒ ගුවන් යානයේ නියමුවා සහ කාර්ය මණ්ඩලයේ උදවියත් මිය ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රවෘත්ති වලට බොහොම උනන්දුවක් දක්වනවනෙ අපේ මාධ්‍ය ආයතන හෙවත් පත්තර , රේඩියෝ මහත්තුරු. ඉතින් ඔය අනතුරත් සිද්ධ වුන දවසෙ ගොඩක් පත්තර කන්තෝරු වල කට්ටිය උනන්දු වුනාලු ඔය ප්‍රවෘත්තිය පහුවදා පත්තරේ පල කරන්න. මේ අතරින් එක පත්තරේක ඒ වගේ විශේෂ සිද්ධි වාර්තා කරන කෙනා හිටපු නැති නිසා පත්තරේ කර්තෘ තුමා තීරණය කලා ලු අලුතින් සේවයට එකතු වෙච්ච මාධ්‍යවේදියෙක්ට මේ රාජකාරිය බාරදෙන්න.

ඉතින් මේ පත්තර මහත්තයත් බොහොම උනන්දුවෙන් ලෑස්ති වුනාලු ප්‍රවෘත්තිය ආවරණය කරන්න. ඔන්න ඉතින් මෙයා ඒ අනතුර වෙච්ච තැනට ඡායාරූප ශිල්පියෙක් එහෙම අරගෙන ගිහිල්ලා හොඳ පින්තූර ටිකක් එහෙම අරගෙන ඇවිත් බොහොම අපූරු විදිහෙ විස්තරයක් ලිව්වලු පත්තරේට. හරියට මේ අනතුර සිද්ධ වෙනවා ඇස් දෙකෙන් බලාගෙන හිටියා වගේ ලිව්වලු. කොහොම ලිව්වත් තාම අලුත් කෙනා නෙ. ඒක නිසා මාතෘකාව දැම්මලු මෙහෙම.  “ඊයේ සවස සිදුවූ බිහිසුණූ ගුවන් අනතුරින් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඇතුලුව පුද්ගලයින් දස දෙනෙක් මිය ගොස් ලින් චූ නම් චීන ජාතිකයාගේ පමණක් බේරේ” . ඔන්න ඒ පාර මේ ලිපිය බාර දුන්නලු පත්තරේ පිටු සකසන අයට. මෙතනදි තමයි පත්තරේක සාමන්‍යයෙන් පිටු වල ඉඩ තියෙන හැටියට, පුවතේ වැදගත් කම අනුව පල කරන්න සකස් කරන්නෙ. ඉතින් මේ පිටු සකසන උදවියට සිද්ධ වෙනවා සමහර විට හෙඩිම දිග වැඩි නම් ටිකක් සකස් කරන්න එහෙම.  ඔන්න මේ උදවිය බලන කොට හෙඩිම බොහොම දිග වැඩියි. හදිස්සි ප්‍රවෘත්තියක් නිසා පල කරන්නත් ඕන. ඒ වුනාට ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් තියනවා. අන්තිමේ දී ටිකක් වෙල් කල්පනා කරලා ඒ අය තීරණය කලා ලු මාතෘකාව කොට කරන්න. ඉතින් එහෙම කරලා ගුවන් යානා අනතුර ගැන පහුවදා පත්තරේ පල කලා ලු. පහුවදා පත්තරේ ගුවන් යානා අනතුර ගැන හෙඩිම තිබ්බලු මෙන්න මේ විදිහට.

“ගුවන් අනතුරින් චූ බේරේ”

ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ. මම දන්න තරමින් මේක ඇත්ත කතාවක් නෙවෙයි. ප්‍රබන්ධ කරපු කතාවක්. 🙂 ඉතින් අතුරු කතාවකට ගිහිල්ලා මගෙ ප්‍රධාන කතාව මග ඇරුණනෙ. ඇත්තටම ගුවන් යානයේ යන එක ගැන පුංචි තිගැස්සමක් තිබුනා. මගෙ ගමනට ආසන්න කාලයෙදි ප්‍රංශ ගුවන් සේවාවෙ යානයක් අනතුරට පත් වෙලා සියලුම දෙනා මිය ගියා. කවදාවත් ගිහින් නැති ගමනක් යන එකේ එහෙම දැනුනු එක පුදුමයකුත් නෙවෙයි.

ගමනට සූදානම් වෙද්දිත් තිබුනෙ හරි අවුලක්. අරගෙන යන්නෙ මොනවද, කොච්චර විය හියදම් වෙයිද කියන කිසිම දෙයක් ගැන හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි ඉතින් කාර්යාලයයෙන් ගමනට අවශ්‍ය විය හියදම් ඔක්කොම වගේ සපයපු නිසා ටිකක් බය ගතිය මග ඇරුනා. කොහොම හරි යන දවසත් ආවා. එදා ගුවන් තොටුපලට ගියෙ හරියට කාලෙකට ලංකාවෙන් පිට වෙලා ඉන්න යනවා වගේ.  ගමන යෙදිලා තිබුනෙ මහ රෑ. ඒක නිසා රෑ නිදා ගන්න ලැබුනෙත් නෑ.ගුවන් තොටුපල ඇතුලට ගියාම මට මැජික් වගේ.  එතන මහ රෑ වෙලාවෙත් සෙනඟ යන එන හැටි, සමුගන්න හැටි මම බලාගෙන හිටියෙ මොහොම ආසාවෙන්. ඒ වගේම එක එක රට වලට යන ගුවන් යානා වලට යන මිනිස්සු පෙල ගැහිලා ඉන්න හැටි, ඒ විස්තර රූපවාහින් තිර වල වැටෙන හැටි මං බලාගෙන හිටියෙ ලොකු කුතුහලයකින්. ඔය අස්සෙ මාව ගුවන් තොටුපලට ඇරලවන්න ආපු අපේ අම්මයි, ඥාතී සහෝදරයයි මට සමුදීලා යන්න ගියා. ඔන්න එවෙලෙ තමයි මට ඉස්සෙලම මොකද්දෝ තනිකමක් වගේ දෙයක් දැනුනෙ.

ඔය ගුවන් තොටුපලේ ඉන්න අතර වාරෙදි මට හම්බුනා ඉන්දියානු ශිෂ්‍යයො දෙන්නෙක්. ඒ අය ලංකාවෙ මොකද්ද වැඩ සටහනකට ඇවිත් ආපහු යන ගමන්. අපේ ගුවන් යානය එනකම් මම ඒ දෙන්නත් එක්ක කතාවට වැටිලා හිටියා. ඒ දෙන්නා ගෙ ලංකාව ගැන හිතපු දේවල් සහ ඉන්දියාවෙ ජීවීතේ ගැන අහපු එක මහ රෑ පාලුව නැති කර ගන්න උදව් වුනා.කලින් උපදෙස් ලැබිලා තිබුන නිසා අමාරුවක් නැතුව ගුවන් යානයට නැග ගත්තා. මම හිතා ගෙන හිටියෙ බස් එකක ගිහින් පඩි පෙලක් දිගේ ලොකු ගුවන් යානයක නගින්න තියේවි කියල. ඒ වුනාට අන්තිමට ගොඩනැගිල්ලක් අස්සෙන් ගිහිල්ලා ගුවන් යානෙට නැග්ගම මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා. මොකද මම හිතාගෙන හිටිය වගේ භාගයක් වත් නැති ගුවන් යානයක් ඒක. ඊට අමතරව දැනිච්ච දේ තමයි ඉන්දියාවට යන මගීන්ට අපේ ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩය කිසිම සුහදත්වයක් දැක්වුවෙ නැති එක. ඒ අයගෙ කතා බහයි හැසිරීම් රටාවෙනුයි හොදටම දැනුනා අපිට සලකපු හැටි.

ඔන්න ඉතින් ගුවන් යානෙ යන්න පිටත් වුනා. ඒ වෙනකොටත් මට නම් ටිකක් එපා වෙලයි තිබුනෙ. ඒ වෙලාවෙ පාන්දර 3.20 ට විතර. යන්තම් ගුවන් යානය ගමන ආරම්භ කරන්න ගත්තා. ඒ වෙලාවෙ නම් ටිකක් බය හිතුනා මුල්ම අත්දැකීම නිසා. අර ගුවන් යානේ පොලවෙන් ඉහලට ඉස්සුනාට පස්සෙ තමයි හිතේ තිබ්බ බය අඩු වෙලා ගියෙ.  හැබැයි ඊට වඩා අකරතැබ්බෙකට මූණ දෙන්න සිද්ධ වුනේ ගුවන් යානේ ඉහලටම නැගුනට පස්සෙ. මට ඉවසන්න බැරි කණේ කැක්කුමක් හැදුනා ඒ වෙලාවෙ. ජීවිතේට එහෙම කණේ වේදනාවක් හැදිලා තිබුනෙ නෑ. ඒක නිසා මගෙ මුල්ම ගුවන් ගමන හරිම වදයක් වුනා. ඒ වේදනාව කොයි තරම් තදට දැනුනද කියනවනම් මට හිතුනා ගුවන් යානය කඩා ගෙන වැටෙනවනම් හොඳයි කියල දැන්ම බිමට පහත් කරන්නෙ නැත්තම්.

එහෙම නම් ඉතින් ගමනෙ විස්තර ඊළඟ “මගේ සටහන” හරහා කියන බලාපොරොත්තුවෙන් මේ දිග හැරීම නතර කරනවා. නැවත හමුවෙමු.

සිරිපා මතක

බොහොම කාලයක් තිස්සේ  “මගේ සටහන” ලියවුනේ නෑ. ඒකට හේතු නම් තිබුනා ගොඩක්. ජීවීතේ වෙනස්කම් සිද්ධ වුනා, අසනීප වුනා , කාර්ය බහුල වුනා සහ තවත් එක එක දේවල්. මාස තුනක් තිස්සේ ලියන්නේ නැතුව ඉඳලා හදිස්සියේම හිතුනා “මගේ සටහන” ලියල දාන එක හොඳයි කියල. එහෙමනම් ඉතින් කාලෙකට පස්සෙ ලියැවෙන හතලිස් දෙවන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

අන්තිම සටහන ලියවිලා තිබුනෙ අපි කතරගම ගිය ගමනක් ගැන. කාලෙකට පස්සෙ සටහන ලියන කොට ලියන්නෙ මොනවද කියලත් දෙගිඩියාවක් ඇති වුනා. ගොඩක් දේවල් කල්පනා කර කර හිටියත් අන්තිමේදී හිතුවා තවත් මට අමතක නොවන චාරිකා සටහනක් ගැන ලියන්න. ඒ තමයි අපි ගිය සිරීපාද ගමන් ගැන ලියන එක. ඔය සිරීපාදේ ගමන ගැන කතාවට කියනවනේ “සිරීපාදේ නගින්න එක පාරක් හරි නොගිය මිනිහත් මෝඩයා , එක පාරට වැඩිය යන මිනිහත් මෝඩයා” කියල. ඔය කතාව කොහොම වුනත් මම නම් දැනට දෙපාරක් සිරීපාදේ කරුණා කරල තියෙනවා. කොහොම හරි ඉතින් මට මුල්ම වතාවට සිරීපාදේ යන්න ලැබෙන්නෙ කවද කියන එක ගැන හරි කුතුහලයක් තිබුනෙ.

ඔහොම බල බල ඉන්න කොට මුල්ම වතාවට මට සිරීපාදේ යන්න උදාවුනේ පාසල් ජීවිතෙත් හමාර කලාට පස්සෙ. ඒ කියන්නෙ අවුරුදු විස්සක් පැන්නටත් පස්සෙ. ඒ අවස්ථාව උදා වුනේ අපේ පවුලෙ නෑදෑයෝ පිරිස එකමුතු වෙල් සිරීපාදේ කරුණා කරන්න ලෑස්ති වුන නිසා. ඒ ගමන ගැන අහපු වෙලාවේ ඉඳන් මට ලොකු ආසාවකුයි , කුතුහලයකුයි තිබුනා. ඉතින් ගොඩ කාලයක් යන්න බලාපොරොත්තුවක් තිබුන ගමනක් නිසා මගේ අර ළමා කුතුහලය අවදි වෙලා තිබුනෙ.

ඉතින් මගේ මතකෙ හැටියට අපි පිටත් වුනේ සිකුරාදා දවසක හවස. අපි ඉතින් වෑන් එකක නැගල බොහොම විනෝදෙන් යුතුව ඒ ගමන යන්න පිටත් වුනා. කොහොම හරි ඉතින් කිති අතුරු ආන්තරාවක් සිද්ධ නොවී අපි නල්තන්නියට ළඟා වුනා හවස් ජාමේ වෙනකොට. එතන ඉඳගෙන රෑට සප්පායම් වෙල් එහෙම රෑ නමයට විතර තමයි අපි පිටත් වුනේ. ඒ කාලේ ටිකක් සෙනඟත් හිටපැ කාලයක්. ඈත ඉඳන් සිරීපාදේ කන්ද දකාන කොට නම් මට එකපාර මතක් වුනේ “අනේ අපිට මේ කන්ද නගින්න තියෙනව නේද? ” කියන එක තමයි. කොහොම වුනත් පටන් ගත්ත තැනම හිත අවුල් කරගන්න හොඳ නැති නිසා යන්න පිටත් වුනා. කොහොම හරි අපේ අම්මා එහෙම ඔය ගමනට සහභාගි කර ගන්න බැරි වුනා .මොකද සීරීපාදේ නගින්න අපහසුතාවය හින්දා.

ඉතින් නල්තන්නියෙන් අපි ගමන පටන් ගන්න  කොටම කන්ද නගින්න මට පොඩි කම්මැලි කමක් ඇවිල්ලා තිබුනෙ. ඒ වුනත් ඒ පරිසරයෙ තිබුන ස්භාවයයි , කරුණා කරන්න ඇවිත් ආයෙමත් මට උද්‍යෝගයක් ඇති වුනා. ඉතින් රෑ ජාමේ ගමන යන නිසා අව්වෙන් බාධාවක් තිබුනෙත් නැති නිසා ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. ඔහොම ඉතින් මුල හරියෙ ගමන පිටත් වෙලා යනකොට ඒ තරම් අමාරුවක් දැනුනෙ නැති වුනාට ටිකක් දුර යන කොට තමයි මහන්සි දැනෙන්න ගත්තෙ. ඒ පාර ඉතින් මග ටික ටික නැවතිලා හති අරින ගමන් තමයි අපේ ගමන යන්න සිද්ධ වුනේ. කොහොමටත් අපේ නඩේ ගෑණු උදවිය හිටපු නිසා ගමන තවත් හිමින් තමයි සිද්ධ වුනේ. ඒ අය හති දම දමා ආපු හැටි දකින කොට මතක් වුනේ අර පරණ කාලේ කෝච්චි ඇංජින් ටිකක්. 🙂

කොහොම හරි අමාරු වෙන් වුනත් පාන්දර තුන විතර වෙනකොට සිරීපාද කන්ද මුදුනට නැග ගන්න අපේ නඩේ කට්ටියට පුලුවන් වුනා. ඒ යන අතරමග තිබ්බ ගොඩක් දේවල් මට බොහොම ආස්වාදයක් ගෙනාපු දේවල් වුනා. ඒ අතර එකක් තමයි අපේ නඩේ උදවිය සිරිපා කරුණා කරල ආපසු බහින උදවිය ගෙන් “තව ගොඩක් දුරද?” කියල අහන කොට දීපු උත්තරේ. එතකොට ඒ හැමෝම කියන්නෙ “අපෝ තව ටික දුරයි” කියල . එහෙම කිව්වම හිත හදාගෙන ගිහිල්ලා බැලුවට මන්ද මුදුන පේන තෙක් මානයකවත් නැහැ. ඒ වෙලාවට මම ඉතින් කල්පනා කරනවා මේ මොකද මෙහෙම කියන්න හේතුව කියල. කොහොම හරි මම පස්සෙ තමයි දැන ගත්තෙ එහෙම කියන එක සම්ප්‍රදායක් කියල. ඒ කියන්නෙ කොච්චර යන්න තිබුණත් කියන්නෙ තව ටික දුරයි කියල. ඒකත් හරි අපූරු වැඩක් තමයි.

ඊටත් වඩා මට පුදුම හිතුනෙ අපේ නඩේ හිටපු තරුණ උදවිය හති දාගෙන කන්ද නගින කොට වයසක ආච්චි අම්මලා සිරීපාදේ කරුණා කරනවා දැකපු එක. ඒ අය කාගෙවත් වාරුවක් නැතුව සිරිපාදේ කරුණා කලේ අපි ඔක්කොටම පුදුම හිතෙන විදියට. සමහර නඩ වල වල හිටියෙ වයස උදවිය විතරයි. ඒ අයගෙ උදව්වට තරුණ උදවිය කවුරුවත් හිටියෙ නෑ. නමුත් ඒ අය බුදු ගුණ කවි කියමින් හරිම විනෝදයෙන්, බැතියෙන් තමයි ඒ ගමන ගියේ.

හැබැයි සමහර කාල වලදි සිරීපාදේ කරුණා කරන්න ගොඩාක් සෙනඟ හිටියත් අපි ගිය දවසෙ සාමාන්‍ය තරමෙ සෙනඟක් හිටියෙ. මගෙ මතකෙ හැටියට අපි ගියෙ පෙබරවාරි මාසෙක. ඉතින් කොහොම හරි අමාරුවෙන් අපේ නඩේ කට්ටිය සිරීපාදේ මුදුනග නැඟත්තම මට අමුතු සතුටක් දැනුනා. එවෙලෙ දැනුන හැඟීම මොන වගේද කියන්න බැරි වුනත් ඒක අමුතුම හැඟීමක් දැනුන දෙයක්. හැබැයි සිරිපා මලුවෙ තිබුනෙ තද සීතලක්. පාන්දර ජාමේ නිසා ඒක තවත් තදට දැනුනා.

කොහොම හරි විනාඩි දහයක් පහලොවක් විතර මලුවෙ ඉඳලා අපි ආයෙමත් පල්ලෙහාට එන්න පිටත් වුනා. ආපහුව එන කොට නම් අපි හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. මොකද මුලු රෑම ගමන් කරපු හින්දත්, නිදි  මරාගෙන ඉන්න වුන නිසාත් තමයි. හැබැයි සිරිතක් හැටියට සිරීපාදේ කරුණා කරන කොට සීත ගඟුලෙන් නාලා පිරිසුදුැ වෙන එක සිරිතක් වුනාට අපිට නම් චාරිත්‍රය කරන්න බැරිවුනා. කොහොමටත් ඒ සීතල වතුරෙ නෑව නම් අපිට සීතල හැදිලා මොකක් හරි ආන්තරාවක් වෙන්න තිබුනා. ඒ වතුර ඒ තරමටම සීතලයි. කොහොම වුනත් සීත ගඟුලෙන් මූණ කට හෝදගෙන තමයි අපි ගමන ඉස්සරහට ගියේ.

ඊට අමතරම කෝඩු කාරයෝ වෙච්ච අපේ නඩේ ගොඩක් අය ඉඳිකටු පානේ දී චාරිත්‍ර කලා. ඒකත් මට අමුතු සතුටක් ලැබුණු දෙයක් වුනා. ඉතින් උදේ අටට විතර තමයි අපේ නඩේ කට්ටිය පල්ලෙහාට බැස්සෙ. එතකොට නම් අපි හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. මට නම් ඒ වෙනකොට ගමනෙ ආස්වාදයට වඩා මහන්සිය වැඩිවෙලා මටත් එපා වෙල් තමයි තිබුනෙ. කොහොම හරි ගෙදර එන්න පිටත් වුනා උදේ වරුවෙම. මහන්සි වැඩි කමට අතරමග කොහේවත් අපේ නඩේ අය නැවතුනේ නෑ. ගෙදර ඇවිත් හති අරින කොට තමයි ගිය ගමනෙ රඟේ තේරුනේ. මම නම් හොදට දවස් දෙකක් විතර මහන්සි නිවාගෙන තමයි එළියට බැස්සෙ.

මොනව වුනත් සිරීපාදේ කන්ද පාමුල ඉඳල රෑට බලන කොට පෙනුන දර්ශනය නම් හරිම අපූරුයි. ඒ මොකද වන්දනා නඩමන්ද මුදුනට යන පාර දිගට විදුලි පහන් දාලා තියෙනවා. ඒ විදැලි පහන් වල ආලෝකය කන්ද මුදුනට වෙනකම් පේනකොට මැවෙන දර්ශනය තාමත් මතක් වෙනවා. ඒ වගේ අපූරු දෙයක් නම් මම වෙන කොහෙදිවත් දැකල නෑ.

ඊට පස්සෙත් තවත් එක පාරක් අපි සිරීපාදේ ගියා. හැබැයි ඒ මගේ මිත්‍රයො පිරිසක් එක්ක. ඒ ගමන ගැන විස්තර වෙන සටහනකින් කියන්නම්. එහෙම නම් කාලෙකට පස්සෙ ලිව්ව “මගේ සටහන” මෙතනින් අවසන් කරනවා. නැවත හමුවෙමු.

සෙල්ල කතරගම යාතිකා

“මගේ සටහන” ගිය සතියෙ ලියවුනේ යම් කාලෙකට පස්සෙ. ඒකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මේ සතියෙත් කම්මැලි නැතුව ලියල දාන්න ඕනෙ කියල හිතුනා. ඒ ප්‍රතිචාර අතරෙ නොයෙකුත් අත් දැකීම් එකතු වෙලා තිබුනා. එදා යටගිය දවස් වල ඉඳල සමාජීය වශයෙන් සිද්ධ වුන වෙනස් කම් තමයි ඒ ප්‍රතිචාර වල තිබුනෙ. ඒක නිසා ඉතින් තවත් ටිකකි ඒ ගැන බැඳුණු මතකයන් ගැනම ලියන්න හිතුනා. එහෙමනම් ඉතින් “මගේ සටහන” හතලිස් එක් වන දිග හැරීම මෙතැන් සිට පටන් ගන්නවා.

ඔය කතරගම යන අතරවාරේ මම කිව්වනෙ සුනේත්‍රා ව මතක් වුනා කියල. මම ඉතින් සුනේත්‍රා මේ දකින දේවල් මොන විදිහට ලියාවිද හිත හිත. ඔය කතරගම මතකයන අතර මම කිව්වනෙ පූජා වට්ටි වල කතන්දරේ. සාමාන්‍යයෙන් ඉතින් ඔය පූජා වට්ටියෙ තියන්නෙ පළතුරු ජාති එහෙම ගොඩක්. ඒ අතරෙ මගේ ආසම කෑමක් වුන පැණි කොමඩු වරදින්නෙ නෑ. මෙදා පාර අපි ගිය ගමනෙදි ගත්ත පූජා වට්ටියෙ මිනිහෙක්ට තියා සතෙකුට වත් කන්න පුලුවන් මට්ටමේ පළතුරු කෑල්ලක් තිබ්බෙ නෑ. හිනා වෙලා පිලි ගත්තට මොකද ඒ වෙළෙන්දන්ගෙ හැසිරීම නම් අන්තිමයි. සාමාන්‍යයෙන් කතරගම දේව ඇදහිල්ල බුද්ධාගම එක්ක සම්බන්ධයක් නැති වුනාට ඒක සංස්කෘතික පැත්තෙන් වටිනාකමක් තියෙන හරි අපූරු වැඩක් කියල මට හිතෙනවා හැම දාම කතරගම වන්දනාවෙ ගියහම.

ඔය දේවාල භූමියෙදී වුන භාර හාර ඔප්පු කරන්නන්ගෙ ගෙ නැටිලි වලට අමතරව පොල් ගෙඩියක් ගහල යම් යම් ප්‍රාර්ථනා කරම මිනිස්සු දිහා බලාගෙන ඉන්න එකත් අමුතුම විදිහෙ අත්දැකීමක් තමයි. පොල් ගෙඩියක් අතට අරගෙන ඒක ගලේ ගහල බිඳෙන වද නැද්ද කියන එක වගේම ඒ කාරිය කරන කොට මිනිස්සුන් ගෙ මූණේ ඇතිවන හැඟීම් තේරුම් ගන්න හදන එක තමයි මගෙ වැඩේ. සමහර අය ඉන්නෙ කේන්තියෙන්. තවත් අයගෙ මූණු වල බලාපොරොත්තු පිරිලා. අපේ සංස්කෘතිය ඇතුලට මේ දේවල් කොයි තරම් බද්ධ වෙලාද කියනවනම් කතරගම වන්දනාවේ එන මිනිස්සුන් ගෙන් වත්, එහෙම ඇවිත් තමුන්ගෙ අතේ ඇති හැටියට පූජා වට්ටියක් හදාගෙන ඒකේ පඬුරු විදිහට යම් මුදලක් තියල දෙවියන්ට පූජ කරන අයගෙන්වත් කවදාවත් අඩුවක් නම් නෑ.  හැබැයි ඉතින් දෙවියො සල්ලි ටික අරගෙන පූජා වට්ටිය ආපහුව දෙනවා. එහෙම තමයි දේවාලෙ වැඩ සිද්ධ වෙන්නෙ.

දෙවියන් ඇදහීමක් මම කලේ නැති වුනත් කතරගමට මගෙ හිත ඇදිල යන්නෙ ඒ පරිසරය එක්ක බැදිච්ච විචිත්‍රවත් කම හින්ද කියල මට හිතෙන්නෙ. රෑ ජාමේ ලංකාවේ නොයෙක් පලාත් වලින් ආපු සෙනග අස්සෙ පුංචි ඈයොත් උස්සගෙන ඒ යන ගමනෙ සුන්දරත්වයක් නෑ කියලනම් කියන්න බෑ. ඉස්සර වතාවල අපේ ගිය නඩවල පුංචි ඈයෝ හිටියෙ නැති වුනාට මෙදා පාර නම් හිටියා. බාර හාර වීම කෙසේ වෙතත් ළමයි වඩාගෙන යන්න වුනා ඒක නිසා. දේවාලෙ ඇතුලෙ මගෙ හිත් ඇදගච්ච දේවල් වලින් එකක් තමයි ඒක ඇතුලෙ තියෙන විචිත්‍ර කම. හරි අපූරු පාට එකතු වෙලා නිර්මාණය වෙච්ච දේව පින්තූර, දෙවියන්ගෙ සේවයට කැපවෙලා ඉන්න කපු මහත්වරුන්ගෙ ඇඳුම් වගේ දේවල් ඒ සංස්කෘතිය එක්ක බැදිච්ච දේවල්. ඊටත් වඩා මම ආස දෙයක් තමයි මොණර පිහාටු වලින් හදපු සළඹ (නම මතක නෑ) අරගෙන ආවේසයෙන් කපු රාල ල දෙයියන්ට යාතිකා කරන එක බලාගෙන ඉන්න එක. ඒක බලාගෙන ඉන්න හැම වෙල්වෙම මට නම් අමුතුම ආස්වාදයක් දැනෙනවා. ඒ කියන යාතිකා සමහර වෙල්වට තේරුනේ නැති වුනත් ඒ හැම දෙයක්ම අපේ වටාපිටාවේ කොටසක් වගේ කියල හිතෙනව. කොහොමටත් මනස බොහොම උද්දීපනය වෙන තැනක් තමයි එතන.

දේවාලෙ ට ගිහිල්ලා තමයි අපි කිරි වෙහෙරට ගියේ. ඒක නම් මට ඒ තරම් ආස්වාදජනක අත් දැකීමක් වුනේ නෑ. ඒක ගැන කවුරුත් මුකුත් හිතන්න එපා. මොකද මගෙ කුතුහලේ අවුස්සන කිසිම දෙයක් මට එතනදි හොයා ගන්න බැරි වුනා. එතන මට පුදුම හිතුන දේ තමයි සිල් සමාදන් වෙලා හිටපු උපාසක අම්මල තොගේ. මට හිතුන විදිහට දාහකට වැඩිය සේනාවක් ගස් යට පැදුරු , රෙදි එළාගෙන රෑ නිදියගෙන උන්නා. මම ඉතින් කල්පනා කලේ රෑ සීතලේ පින්නත් එක්ක ඒ අය කොහොම ඉන්නවද කියල. මොකද ඒ අය අතර බොහොම වයසක උදවිය පවා හිටිය නිසා. මට ඉතින් ඒක අමාරු දෙයක් වගේ පෙනුනට ඒ අයට ඒක බොහොම ප්‍රීතිමත් අත්දැකීමක් වෙන්න ඇති කියල හිතුන.

ඔය කතරගම අත්දැකීම් අතරෙ මතක් වෙන අනිත් දේ තමයි මැණික් ගඟ. වෙන හැම පාරම වගේ මැණික් ගඟේ නාන එක අපි කලත් මෙදා සැරේ නම් අපිට ඒකට අවස්ථාවක් හම්බ වුනේ නෑ. ඒකට එක හේතුවක් වුනේ අපි නැවතිලා හිටියෙ තිස්ස ටවුමෙ නිසා. කොහොමටත් මැණික් ගඟේ නාන එක ගැන අපේ කට්ටිය එච්චර උනන්දු වුනෙත් නෑ. හැබැයි ඉතින් මැණික් ගඟේ නාන එක මට නම් ඒ තරම් ආස හිතෙන වැඩක් නෙවයි. මොකද ඒකෙ පිරිසිදු කම අතින් ඉහළ කම නිසා. හැබැයි මැණික් ගඟේ නාන එක වන්නදනා නඩ වල අනිවාර්ය වැඩක්.

කොහොමින් කොහොම හරි අපි ඊළඟ දවසෙ ගියා සෙල්ල කතරගමට. ඒකත් මට හරි කුතුහලය දුන්න ගමනක්.  ඒ ගමන සාමාන්‍යයෙන් යන්නෙ දවල් කාලේ දි. ඒ ගමනෙදි හරි ආස හිතෙන වැඩක් වුනා.

එතන තියෙනවා දේවාලයක්. ඒක කතරගම ප්‍රධාන දේවාලේ තරම සරුසාර එකක් නෙවයි. අපේ නඩයෙ අය ඒකටත් ගිය අතරෙ මම කැරකි කැරකි යන එන අය දිහා බල බල හිටියා. ඒ අස්සෙ තමයි මම දුක්කෙ එක තැනක මිනිස්සු වට වෙලා ඉන්නවා. එක පාරටම මගෙත් ළමා කුතුහලය අවදි වුනා. මමත් ඉක්මනට ගිහිල්ලා බැලුවා මොකද්ද එතන සිද්ධ වෙන කරාණාව කියල. බලනකොට එතනත් පොල් ගහන තැනක්. හැබැයි එතන තව අපූරු දෙයක් වුනා. ඒ දේවාලෙ කපු මහත්තයෙක් ඉඳගෙන පොල් ගෙඩිය අතට අරගෙන යාතිකා කියනව. මොකද්දෝ අමුතු යාතිකාවක් කියල ඔලුව වටේ පොල් ගෙඩිය කරකවලා වතාවත් එහෙම කරල තමයි පොල් ගෙඩිය ගහන කෙනා අතට දෙන්නෙ. ඒකේ තිබ්බ අපූරු කම වැඩි වුනේ පුංචි පහේ සාස්තර කීමක් ඒ කපු උන්නැහෙ කරපු නිසා.

එයා කියනව මෙන්න මේ වගේ දෙවල්. “දරුව , තොප පැමිණි කාරණාව මොකද්ද දරුව? තොපට අපල තියෙනව දරුව. මේ මනුස්ස් ප්‍රාණියා ට අරක් කරගෙන ඉන්නෙ නැතුව පල. තොපේ භුමියට කොඩි වින කරල තියෙනව දරුව. තොපිට අපල තියෙනව. සෙත් සාන්ති කරයිපව්. දෙවියන් එක්ක සෙල්ලම් බෑ දරුව.” ඔන්න ඔය වගේ එක එක දේවල් තමයි මේ කෙනා කිව්වවෙ. කියපු සේරම දේවල් මට දැන් මතක නැති වුනත් ඒ ස්වරයයි හැසිරීම් රටාවේ තිබ්බ හරි අපූරු නාට්‍යමය ගතිය විඳගන්න ඕනෙ නම්  ඒක ගිහිල්ලම බලන්න ඕනෙ. පොල් ගෙඩිය උඩ පත්තු කරපු කපුරු පෙති තියල ඒක ඔලුව වටේ අරගෙන යන ගමන් යාතිකා කියපු හැටි තාම මතක් වෙනව. දේව ඇදහිලි කොහොම වුනත් රස විඳීමක් තියෙන ඕනෑම මිනිහෙක්ට දැක බලාගන්න එතන ඕනේ තරම් දේවල් තියෙනව කියල හිතෙනව. ඒ අස්සෙ අපේ නඩේ කෙනෙක් ටත් ඕන වුනා අර කපුප උන්නැහෙ ට කියල පොල් ගෙඩියට ආශිර්වාද කර ගන්න.  ඒ පාර ඒ මනුස්සය අපේ නඩේ උන්දැටත් මොකද්ද සාස්තරයක් කිව්වා. මොනවදෝ අපල වගයක් තියෙනව කියල ඒව දුරු වෙන්න සශත් සාන්ති කරගන්නයි කියල උපදෙස් ලැබුනා. අනිත් එක ඒක හරි අපූරු , ගැඹුරු කටහඬක්.

ඔය ඔක්කකොම ඉවර වෙලා බෙලි මල් කෝප්පයකින් එහෙම සපපායම් වෙලා ඉවර වුන අපේ කට්ටිය දොදොල් කඩ දිහාවට ඇදුනා. දොදොල් කඩ වල කේවල් කිරීම් අස්සෙ මමත් හැම තැනම කැරකිලා බැලුවා. ඒ හැම දේකම විඳින්න මොනව හරි දෙයක් මට නම් ඉතුරු වෙලා තිබුනා. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” නිමා කරනවා. නැවත හමුවෙමු.

සුනේත්‍රා සහ කතරගම

“මගේ සටහන” ආයෙමත් ගොඩ කාලයක් තිස්සෙ ලියවුනේ නෑ. ලියන්න හිත හිත හිටියට හරිම කම්මැලි කමක් දැනුන නිසා ලියවුනේ නෑ. එක වතාවක් ලියන්න පටන් අරගෙන අතරමග නවත්තල දැම්ම. එතකොට මේ ලියන්න හදන්නෙ හතලිස් වෙනි සටහන. හරියටම මාස දෙකකට විතර පස්සෙ. එහෙමනම් ඉතින් මගේ සටහනෙ හතලිස් වෙනි ලිපිය ආරම්භ කරනවා.

ලියන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න කොට ගොඩක් දේවල් මතක් වෙලා පස්සෙ අමතක වුනා. ඒ අස්සෙ මේ දවස් වල හිතේ තියෙන පොඩි ඉරිසියාවක් ගැන මතක් වුනා. ඒක ඇතිවුනේ සුනේත්‍රා එක්ක. සුනේත්‍රා කිව්ව සුනේත්‍රා රාජකරුණානායක මහත්මියට. සුනේත්‍රා ගෙ “මතක පොත” කියවල තමයි ඉරිසියාව හැදුනෙ. සුනේත්‍රා ලියන විලාසයට මම කොහොමත් ආසයි. ඒකේ තියෙන්නෙ කුතුහලය අවුස්සන හරි අපූරු ගතියක්. “මතක පොත” ලියල තියෙන්නෙ එයා ගෙ චාරිකා සටහන් මුල් කරගෙන. දැකපු දේවල්, හමුවෙච්චි මිනිස්සු ගැන ආදිය හරිම රසවත් විදිහෙ පෙල ගැවසීමක්. ඉතින් මේ ගෑණු මනුස්සයගෙ සවාරි ගැන කියවන කොට මටත් එහෙම ඇවිදින්න කරන්න තියෙනවනම් කියල හිතුන. ඒත් ඒකට අවස්ථාවක් දැනට නැති නිසා සුනේත්‍රා ගැන ඉරිසියාවක් තමයි හිතේ ඉතුරු වුනේ. 🙂 ඉතින් සුනේත්‍රා ගෙ කතාව කියවපු දවස් වලම කතරගම යන්න ලැබුනා. ඉතින් පොතේ තිබ්බ චරිත එක්ක මග දැකපු දේවල් ගලප ගලප තමයි ගමන ගියේ.  ඒක නිසා කතරගම ගමන් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.

ඔය කතරගම යන එක මට නම් මහ කම්මැලි වැඩක් දැන්. ඉස්සර වගේ කුතුහලයක් නෑ නෙ.ඉස්සෙල්ලම කතරගම චාරිකාවක ගියෙ කොයි කාලෙද කියන එක නම් හරියට මතක නෑ. හැබැයි හයේ පන්තියෙ දි ගියා මතකයි. ඒ ගමන ගියෙ මමයි, අම්මයි විතරයි. ඒ අම්මගෙ කාර්යාලේ උදවිය එක්ක. කොහොම හරි ඊට සතියකට පස්සෙ තාත්තා මිය ගියා. ඔය ගමන අතරතුර මම දකින දේවල් ගැන පොතක ලියන්නෙයි කියල තාත්ත උපදසක් නම් දීල තිබුන. මට මතක විදිහට ඒ වැඩේ මම කලේ නැද්ද කොහෙද. ඊට පස්සෙත් කීප පාරක්ම කතරගම නම් ගියා. ගොඩක් වෙලාවට අපේ නෑදැයෝ එක්ක තමයි. ඒ ගමන් ගොඩක් ඒවා හරිම එක විදිහෙ ගමන්. ඒ කියන්නෙ මෙහෙමයි.

ඔන්න ගමන යන්න කලින් දවසෙ අපේ මහප්පා නිවේදනය කරනවා කට්ටිය ඔක්කොටම උදේ හතර හමාර පහ වෙනකොට පිටත් වෙන්න සූදානම් වෙන්න කියල. ඒක ඉතින් හරි අමාරු වැඩක් මට නම්. මොකද ගමනට කලින් දවසෙ නිදා ගන්නෙත් රෑ දහය පහුවෙලා. ඒකට හේතුව ඉතින් ගමන යන්න කලින් හැන්දෑවෙ ඉඳන් තමයි කලබලේට ඔක්කොම සූදානම් වෙන්නෙ. ඉතින් ගමනට අවශ්‍ය රෙදි ඇතුලු ආම්පන්න ලෑස්ති කරගෙන නිදා ගන්න කොට රෑ එකොළහට විතර. ඔන්න ඉතින් ආයෙ පාන්දර තුන හමාරේ ඉඳල නැගිට ගන්නව. ඔය ගමන් විනෝද චාරිකා වුනාට වෙහෙසකර චාරිකා කරගන්නත් අපේ අම්ම ල හරි දස්සයි. ඒ මොකද  පාන්දර නැගිටල උයනව දවල්ට කෑම අරගෙන යන්න. ඒක හරි මහන්සි වැඩක්. ඔය කෑම බීම , බඩු මුට්ටු අරගෙන අපි යනව පටන් ගන්න තැනට. ගොඩක් වෙලාවට ගමන පටන් ගන්නෙ අපේ ලොකු මම්මල ගෙ ගේ ගාවින්.

හැමදාම ඉතින් අපි පටන් ගන්න තැනට යනකොට මහප්පා පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලනවා. ඒ මොකද කට්ටිය පරක්කු නිසා. කොහොමටත් මනුස්සයා කුකුල් කේන්ති කාරයා. ඒක නිසා හරි අමාරුයි පොඩ්ඩ වැරදුන ගමන්. මේ ගමන යන කොට උයන්න භාජන , දර එක්ක අනම් මනම් ජාති අරගෙන යනව. ඉතින් විනෝද චාරිකාව කෙසේ වෙතත් අපේ නඩයෙ වැඩිහිටි ගෑණූ අය ඒක සුපුරුදු දින චර්යාව බවට පත් වෙනව. මොකද ගෙදර කරනව වගේ උදේ නැගිටල උයන පිහින එක තමයි කරන්නෙ. අන්තිමට විනෝද චාරිකාව ඉවර වෙලා ගෙදර එනකොට වැඩ කරපු මහන්සියයි , ගමන් මහන්සිය නිසා වෙනදටත් වඩා අමාරුයි.  අනෙ මන්දා ඉතින් එහෙම කරන්න හේතුව මොකද්ද කියල. ගොඩක් වෙලාවට අපි ගියෙ වෑන් වල තමයි. අපේ අම්ම ගෙ පැත්තෙ නෑදැයො ටික තමයි ගමනට එකතු වෙන්නෙ.

ඔය චාරිකා ඔක්කොම ගියෙ ගාලු පාරෙ තමයි. මෙදා පාරත් ඉතින් අපි සුපුරුදු විදිහට රෑ වෙනකම් ඇහැරගෙන ඉඳල පහුවදා උදෙන්ම පිටත් වෙන්න සූදානම් වුනා. වෙනද වගේ නෙවෙයි මෙදා පාර නම් උදේ කෑම උයන වැඩේ සිද්ධ වුනේ නෑ. ඒ අතරෙ මොකද්දො හේතුවකට මහප්පා කේන්ති අරගෙන හිටියා. ඒක ඉතින් එයාගෙ චරිතාංගයක්. ගමන පිටත් වුනේ ටිකක් සැප පහසු බස් එකක. මගින් රත්තනපුරේ හිටපු නෑදැ පිරිසකුත් එකතු කරගෙන උදේ කෑමත් අරගෙන තමයි ගියෙ. ඇඹිලිපිටිය හරහා ගිහිල්ලා හවස දක විතර වෙනකොට තිස්ස ට ගියා. කලින් වතාවල ගොඩක් වෙලාවට නැවතුනේ විශ්‍රාම ශාලා වල. වන්දනා නඩ වලින් කතරගම පිරිල තිබුණු වතාවක නවතින්න තැනක් හොයා ගන්න බැරුව ඒ පැත්තෙ ගෙදරක නවාතැන් ගන්නත් සිදධ වුනා. මෙදා සැරේ නම් කොළඹින් ම නවාතැන් වෙන් කරගෙන ගිය නිසා කරදරයක් වුනේ නෑ.

අපි නැවතුන සංචාරක බංගලාව එහා පැත්තෙ තිබ්බෙ තිස්ස වැව. එතනට ගිය ගමන් අපේ නඩේ කට්ටිය හිතාගෙන හිටියෙ වැවේ නානව කියල. හැබැයි වැවේ වතුර ටික දැක්ක ගමන් මම තීරණය කලා පුරුදු විදිහට ඒ බංගලාවෙම වතුර කරාමෙන් නාගන්නව කියල. මොකද ඒ තරම් පිරිසිදු වතුර ටිකක් තිබුනෙ. අන්තිමේ දී සැලැස්ම වෙනස් වෙලා දවල් කෑම එහෙම අරගෙන කිරින්දෙ යන්න පිටත වුනා. ඒක ඉස්සර නම් මට හරි ආස හිතෙන ගමනක්. මොකද්දෝ අපූරු සහගත බවක් තියෙනවනෙ. අනිත් එක ඉතිහාස ජනප්‍රවාද වලට සම්බන්ධ තැනක් නිසා. මෙදා පාර ගිය වෙලේ මට හිතුනෙ ගිනි අව්වෙ බැහල එතන බලන්න යනවට වඩා වාහනේට වෙලා හිටිය නම් සැපයි කියල. ඒත් ඉතින් අපේ කට්ටිය එක්ක මමත් ඇදිල ගියා. ඔය යන අතරෙ අපේ නඩේ හිටපු පුංචි ඈයෙක් වැලි අවුස්ස අවුස්ස ඉරි අඳිනව. මට එක පාරටම වැඩේ නවත්තන්න කියන්න හිතුනත් අපිත් පොඩි කාලෙ එහෙමනෙ කියල මතක් වෙලා නිකං හිටිය.

කිරින්දෙ ගමන ඉවර වෙලා මග එනකොට රෑට උයන්න මෑ කරල් ගන්න ඕනෙ කියල අපේ වැඩිහිටි පිරිස තීරණය කලා. ඉතින් එක තැනක අපේ වාහනේ නවත්තල බැලුවා. වැඩේ කොයි තරම් ලාබද කියනවනම් කිලෝ එකක් දෙකක් අරගෙන එන්න ගිය අපේ කට්ටිය ආවේ ගෙවල් වලට අරගෙන යන්නත් එක්ක මෑකරල් ගෝනියක් අරගෙන . 🙂 කොහොම හරි ආයෙ තිස්ස ටවුමට ඇවිත් අපි නිකමට වගේ ගණං අහල බැලුවම අපි ගත්ත ගාන වගේ දෙගුණයක් මිල කිව්වා කිලෝ එකකට. ගමනෙ අරමුණ කෙසේ වෙතත් එළවලු ටිකක් පටව ගත්ත නම් ගානක් හොයා ගන්න තිබුනයි කියල අපිට හිතුනෙ.

ඊට පස්සෙ ඉතින් කට්ටිය හවස තිස්ස වැවේ නෑවා. කරුවල වැටිල තිබුන නිසා වතුරෙ පිරිසුදු කම නම් පෙනුනෙ නෑ අපේ අයට. රෑ තමයි අපි ඉතින් කතරගම දේවාලෙට ගියෙ. අපි වාහනෙන් බහින කොටම පූජා වට්ටි විකුණන අය අපිව පිළි ගත්තෙ හරියට අවුරුදු ගානක ඉඳල දැන හැඳුනුම් කම් තියෙනව වගේ. අපරාදේ කියන්න බෑ ඒ අයගෙ සේවාව නම් සවුත්තුයි. කේන්ති යන වැඩක් තමයි ඒක. ඔය දේවාලෙ ට යන එක මට එතරම් උනන්දු සහගත වැඩක් නොවුනට මම ආස කරන දේවල් කිහිපයක් තියෙනව. එකක් තමයි පූජා වට්ටි වල තියෙන පලතුරු කන එක. ඒකේ හරි අපූරු ගතියක් තියෙනව. අනිත් වැඩේ අර කාවඩි නැටුම් බලන එක. ඔය එක එක බාර හාර වෙන උදවිය තමයි නටන්නෙ. ඒක හරි අපූරු ආසාවක් ඇති කරන වැඩක්. ඒ සංගීතෙට මටත් නටන්න ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා. හැබැයි අපි ගිය දවසෙ තිබුන පෝලිම කොච්චර දිගද කියනවනම් අපිට ඇතුලට යන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ. ඒ හිටපු සෙනඟ ගොඩේ අපේ කට්ටිය මග අරගන්නෙ නැතුව හිටියෙ හරි අමාරුවෙන්.

තවත් ගොඩක් දේවල් තියෙනව ලියන්න මතක් වෙන. කොහොම වුනත් කාලෙකට පස්සෙ ලියපු “මගේ සටහන” ලියපු ප්‍රමාණය ඇති කියලයි හිතෙන්නෙ. එහෙමනම් නැවත හමු වෙමු.

අපි නොදන්න චෙස්

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් නම වන සටහන. ගිය සතියෙත් සටහන ලියන් හම්බ වුනේ නෑ. තාමත් එක දිගට ලියන්න හම්බ වුනේ නෑ වෙනද වගෙ. බ්ලොග් ලියවිල්ල පටන් අරගෙන අවුරුද්දකට වැඩි කාලයක් ගතවුන එකත් මතක් වුනා මේ අස්සෙ. ඒක ගැන නම් වෙනම සටහනක් ලියන්න වෙනවා. ඒක මැරතන් එක දවසෙම ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. ඒ අතරෙ ජීවිතෙ වෙනස්කම් පවා සිද්ධ වුනා.  🙂 ඒක නිසා ටිකක් කාර්ය බහුලයි. එහෙම නම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

අන්තිම ලිපියෙ මම කිව්වනෙ “තාප්පෙ අයිනෙ” සෙල්ලම කරපු හැටි. ඇත්තටම ඔය ක්‍රීඩාවේ තිබ්බ සමහර නීති ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුලත් කරල තියෙනවා. ඔය එක සටහනක් ලියනකොට තවත් ගොඩක් දේවල් මතක් වෙනවා. හැබැයි ගොඩක්  ඒවා මතක් වෙන්නෙ අපිළිවෙලට. සේරම කල්පනාවල් අස්සෙ අපිට තිබ්බ තවත් පිස්සුවක් මතක් වුනා. ඒක තිබුනෙ අපි හතේ අටේ පන්තිවල ඉන්න කොට.  ඒ තමයි චෙස් ඇදීමේ පිස්සුව. චෙස් කියන්නෙ මොළයට ඉතාම හොඳ අභ්‍යාසයක් නම් තමයි. ඒ වුනාට අපි ඒකට ඇබ්බැහි වෙලා හිටියා ඉස්කෝලෙ යන දවස් වල. හැබැයි චෙස් ක්‍රීඩාව ගැන පොඩි පන්තිවල ඉන්නකොට මට උනන්දුවක් තිබුනෙම නෑ. මොකද අපි හිටපු ඉස්කෝලෙ ඔය වගේ ක්‍රීඩා පහසුකම් තිබුනෙ නැති නිසා. ඇත්තටම මම දැන ගෙන හිටියෙ දාම් අදින හැටි විතරයි. ඒක නම් මට මහ කම්මැලි සෙල්ලමක්. කොහොම හරි අලුත් ඉස්කෝලෙට ආවට පස්සෙ තමයි මම චෙස් අදින ලෑල්ලක් ඉස්සෙල්ලම දැක්කෙ.

කොහොමහරි ඉතින් චෙස් ලෑල්ලක් දැක්කෙත් ඔය ඉස්කෝලෙදි නිසා මට මෙලෝ හසරක තේරුමක් තිබුනෙ නෑ මොකද්දද මේ සෙල්ලම කියන එක ගැන. ඒක නිසා මම මුලින්ම කලේ සෙල්ලම කරන හැටි ගැන බලා ඉන්න එක. මුලදි නම් මට මේ සෙල්ලම හරි විකාර වුනා. මොකද ඉත්තන්ගෙ හැඩය හරි වෙනස්. එක එක ඉත්තො අදින හැටිත් වෙනස්. ඒක නිසාම මට මොකද්දො අපූරු ගතියකුත් දැනුනා.ඔහොම ඉතින් බලාගෙන ඉන්න කොට මටත් ඔය සෙල්ලම කරන්න ආසාවක් ඇතිවුනා. ඊට පස්සෙ තමයි සෙල්ලමේ නීති රීති අහගෙන චෙස් ගැහිල්ල පටන්න ගත්තෙ. ඒ කාලෙ වෙනකොට අපේ පන්ති වල චෙස් ක්‍රීඩාවෙ කප්පිත්තො තමයි හිටියෙ. ඒක නිසා මටත් සිද්ධ වුනේ ඔය කප්පිත්තො එක්ක තමයි මුලින්ම සෙල්ලම් කරන්න. ඉතින් මුල දවස් වල මට දිගටම අත් වුනේ පරාජය තමයි. කොයි තරම් පැරදුනාද කියනවනම් එක ළමයෙක් එක්ක මම එක දිගට තරඟ තිස් පහක් පැරදුනා. තිස් හයවන තරඟය තමයි මුල් වතාවට ජයග්‍රහණය කලේ. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ මගෙ දක්ෂතාවය. මාව පරද්දපු ළමයා දැන් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. මිනිහට සමහර විට මතක නැතුව ඇති ඔය සිද්ධිය.

සාමාන්‍යයෙන් බෝල ගහන්නෙ විවේක කාලයෙ දි වුනත් චෙස් ඇදිල්ල කරන්නෙ පන්තිය වෙලාවෙදි තමයි. ඒකට හේතුව ඒක පිස්සුවක් තරමට අපි ඇබ්බැහි වෙලා හිටපු එක. මේ සෙල්ලමට ඕන චෙස් ලෑලි අරගෙන එන්නෙ ළමයි තමයි. සමහර ළමයි ගාව තම තමුන්ට අයිති චෙස් ලෑලි තිබුනැ. මේවා අර කාන්දම් පිටිපස්සෙ තියෙන ඉත්තො සහිත ලෑලි. ඒක නිසා ඉත්තො ලිස්සල අහකට වැටෙන්නෙ නෑ. ඉතින් මේ චෙස් ලෑල්ල ඉස්කෝලෙට අරගෙන එන එක ළමයි නොවරදීම කරන දෙයක්. සමහර වෙලාවට පොතක් පතක් ගෙදර දාලා ආවත් චෙස් ලෑල්ල අරගෙන එන එක නම් කට්ටිය අමතක කරන්නෙ නෑ. ඉතින් මොකක් හරි ඉස්පාසුවක් ලැබුනු ගමන්ම අපි කරන්නෙ චෙස් ලෑල්ල අරගෙන සෙල්ලම කරන්න පටන් ගන්න එක.

මේක අපි වෙලාවක් අවේලාවක් නැතුව කලාද කියනවනම් පන්තියෙ උගන්නන වෙලාවට පවා අපි හිටියෙ චෙස් අදින සිහියෙන්. ඒක නිසා  ළඟ ඉන්න ළමයා එක්ක චෙස් තරඟයක් සෙල්ලම් කරන්න අපි පසුබට වුනේ නෑ. ගොඩක් වෙලාවට අපිට තිබුනෙ ඩෙස් වල යටින් පොත් පත් තියා ගන්නත් කොටසක් තිබුන නිසා වැඩේ ලේසි වුනා. ඒක නිසා අපි කලේ පාඩම අහගෙන ඉන්න ගමන් චෙස් ඇදපු එක. හැබැයි ඉතින් ඔය වැඩේ උගන්නපු ගුරුතුමාට එහෙම  අහුවුනු අවස්ථාවල් තිබුනා. ඒ වෙලාවට ඉතින් දඬුවම් එහෙම ලැබෙනවා. සමහර වෙලාවට චෙස් ලෑල්ල රාජ සන්තක කරන අවස්ථා තිබුනා. එහෙම වුනොත් යාදිනි කියල කියල වැඩේ බේර ගන්න එක තමයි කරන්නෙ . හැබැයි අපි ළඟ තිබ්බෙ වෙන කාගෙන් හරි චෙස් ලෑල්ලක් නම් ඒකෙ අයිතිකාරයගෙනුත් හොඳට බැණුම් අහගන්න සිද්ධ වෙනව. අර කතාවට කියනවනෙ කිඹුල කන එක ඉවසන්න පුලුවන් කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි කියල.

ඔය විදිහට චෙස් ඇදල ටික කාලයක් යන කොට මට හෙමිහිට යම් මට්ටමකට එන්න පුලුවන් වුනා. හැබැයි ඒකට සෑහෙන කාලයක් ගතවුනා. මමත් හැබැයි කොච්චර පැරදුනත් උත්සහ කරන එකත් අත ඇරියෙ නෑ. හැබැයි ඉතින් එහෙම කලා කියල අති දක්ෂ මට්ටමේ ක්‍රීඩකයෙක් නම් වුනේ නෑ කවදාවත්. ඒත් මම ගොඩක් විනෝද වුනා සෙල්ලමෙන්.  ඔයින් මෙයින් සෙල්ලමට හිත ඇදිල ගිය නිසා අපේ ඉස්කෝලෙ චෙස් පුහුණුවීම් වලට සහභාගි වෙන්න ආසාවක් ඇති වුනා මට. අන්තිමේ දි අපේ අම්මට කරතර කරල හතේ පන්තියෙ හරි අටේ පන්තියෙ හරි ඉන්නකොට මම චෙස් පුහුණුවීම් වලට ගියා. මට ඇත්තටම මතක නෑ හරියටම කොයි වයසෙද හිටියෙ කියල. කොහොම හරි හවස දෙකහ මාරේ විතර ඉඳන් පැය දෙකක් විතර පුහුණුවිම් කලා. ඒක මටත් ලොකු සතුටක් වුනා ඒ කාලෙ. ඒ පුහුණුවීම් වලට යනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරපු චෙස් ලෑලි වල නෙවෙයි සෙල්ලම් කලේ. අපිට ලැබුනෙ ලොකු ලී වලින් හදපු ලෑලි සහ ඉත්තො. ඒවයින් සෙල්ලම් කරපු එකත් හරි ආස හිතෙන වැඩක්. ඔහොම ඉතින් ටික දවසක් යනකොට පුහුණුවම් වලට යන එක බග ඇරුණා. ඒකට විශේෂ හේතුවක් තිබුනෙ නම් නෑ.

මුල දවස් වල චෙස් තරඟයක් වාර්තා කරන හැටි එහෙම ඉගෙන ගත්තා. නමුත් ටිකෙන් ටික හවස නවතින වැඩේට කම්මැලි හිතුන නිසා අල්ලල දැම්මා. ඒ දවස් වල හරි ආසාවක් තිබුනා හැබැයි මට ම කියල චෙස් ලෑල්ලක් මිලදී ගන්න. ඒ වුනාට ඉතින් වැඩිය කරදර කරන්න බැරි නිසා මම ඉල්ලන්න ගියෙ නෑ ගෙදරින්. අනික අපි ආව ගිය පාසල් වෑන් එකේ චෙස් ගහන්න ආස ළමයි හිටියෙත් නෑ. ඒ නිසා චෙස් ලෑල්ලක හිමි කාරයෙක් වෙන ආසාව ටිකක් යටපත් වෙලා ගියා. ඔය සෙල්ලම කරද්දි අපිට තරහ යම කාරනා එහෙම තිබුනා. එකක් තමයි බලාගෙන හිටපු ළමයි තමන්ගෙ අදහස් ප්‍රකාශ කරම එක. සමහරු තමන්ගෙ දැනුම ප්‍රදර්ශනය කරන්න ඊළඟට කරන්න ඕනේ දේ කියනවා. එහෙමත් නැත්තම් මොකක් හරි කියල ඔලුව අවුල් කරල දානවා. ඒ වෙලාවට ඉතින් යක්ෂාරූඪ වෙනවා අපිට. සමහර වෙලාවට එහෙම කරන්නෙ චෙස් ලැල්ලෙ අයිති කාරයා නිසා කට පියාගෙන ඉන්න සිද්ධ වෙනව. මොකද වවුලගෙ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න සිද්ධ වෙන නිසා. අනිත් වැඩේ තමයි සමහරු එක්ක තරඟ කරන කොට පැය ගානක් යන එක. ඒකට හේතුව ඒ අය එක ඉත්තෙක් අදින්න කලින් සෑහෙන වෙලාවක් කල්පනා කරන එක. චෙස් සෙල්ලමේ   කාලය මණින යන්තර පාවිච්චි කලත් අපි ලඟ ඒවා තිබුනෙ නැති නිසා අනිත් ලමය අදිනකම් ඉවසගෙන ඉන්න වෙනවා. මේ බලාගෙන ඉන්න එක එපා වුනා සමහර වෙලාවට.

ඔය පිස්සුව ඉතින් අපි නවයෙ පන්තියට එනකම් වගේම තිබුනා. හැබැයි ටික ටික ඒ ආසාවත් නැතිවෙලා යන්න ගත්තා. පස්සෙ කාලවල පරිගණකයත් එක්ක චෙස් සෙල්ලලමේ යෙදුනත් ඒ කාලේ වගේ ආස්වාදයක් දැනුනෙ නෑ. දැන්නම් මතක ඇති කාලෙකින් චෙස් අදින්න ලැබුනෙ නෑ. සෙල්ලමට ආස කෙනෙක් මුණ ගැහෙනවත් බොහොම අඩුයි. අනිත් කාරණාව මේ එදිනෙදා වැඩ කටයුතු වල ඇලිල ගැලිල ඉන්නව මිසක් අමතර දෙයක් ගැන අවධානය යොමු කරන්නෙ බොහොම කලාතුරකින් වීම.  ගොඩක් වෙලාවට පොඩි කාලෙ හරිම ආසාවෙන් උනන්දුවෙන් කරපු දේවල් දැන් මග ඇරිල ගිහිල්ලා. ඒවා අතර ගොඩක් හොඳ දේවල් පවා තියෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ හැටි. එහෙමනම් ඉතින් මෙ සතියෙ සටහන නිමා කරනවා. ලබන සතියෙ නැවත හමුවෙමු.