“මගේ සටහන” ට ගිය සතියෙත් ඒ තරම්ම ප්‍රතිචාර ලැබිලා තිබුණෙ නැති නිසා එක පාරටම හිතේ පොඩි සැකයකුත් ඇති වුනා. ඒ කොහොම වුනත් මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. මොකද කම්මැලි ඉරිදා හැන්දෑවෙ කැරකි කැරකි ඉන්නවට වඩා ඒක හොඳයිනෙ. කොහොමටත් මේ දවස් ටිකේ කොයි තරම් වැඩ තිබුනත් චිත්‍රපටි බලන එක යහමින් කලා. ඒ හින්දා ලිවීමේ නිරත වෙන එකෙත් වරදක් නෑ නෙ. එහෙම නම් ඉතින් තව වැඩි දේවල් කියව කියව ඉන්නෙ නැතුව හතලිස් හත් වෙනි “මගේ සටහන” ලිවීම ආරම්භ කරනවා.
මගේ ඉන්දීය ගමන් ගැන විස්තර ඉස්සෙල්ලම ලියන කොට හිතාගෙන හිටියෙ එක ලිපියකින් ලියල ඉවර කරන්නපුලුවන් වෙයි කියල. ඒ වුනාට සටහන් තුනක් ලියවිලා ඉවර වුනත් තාම ගමන් විස්තරේ ඉවර නෑ. කොහොමටත් මෙගා නාට්‍ය කතන්දර වලට කොටස් පනසීයක් දාහක් පෙන්නන්න පුලුවන් නම් “මගේ සටහන” ඉන්දියානු ගමන් විස්තර ටිකක් ඇදුනට කමක් නෑ කියලත් හිතුනා. 🙂 දේසේ හැටියට වාසේ කියල කියනවනෙ. ගිය සතියෙ මම නැවැත්තුවෙ ගුවන් යානයට නැගීමේ අවසර පත ගත්ත තැනින් නෙ. ඉතින් අවසර පත අරගෙන ඇතුලට යන කොට ආයෙ ආරක්ෂක පරීක්ෂාවක්. මට ඒ වගක් වැඩිය තේරුනේ නැතිව ගියා. ඒ පාර එතන හිටපු පොලිස් නිලධාරියො මොනවදෝ කිව්වා. මට තේරුනෙ නෑ කියපු මෙලෝ දෙයක්. මොකද ඒ අය මට තේරුණු විදිහට හින්දි භාෂාවෙන් කතා කලේ. මම ඒ පාර ඉංග්‍රීසියෙන් කිව්වා මට තේරුනේ නෑ කියල. මෙන්න ඒ පාර හින්දියෙන් තව මොනවදෝ කියවගෙන යනව. බැරිම තැන මම අනිත් මිනිස්සු දිහා බලල මොකද කරන්න ඕනෙ කියල බලා ගත්තා.
යන්තම් ඒ කරදරෙන් ගැලවිලා මම ඇතුලට ඇවිල්ලා ඉඳ ගත්තා. එතන ගොඩක් සෙනඟ පිරිලා. මොකද එක එක පලාත් වලට යන ගුවන් යානා ගැන විස්තර රූපවාහිනි තිර වල වැටෙනවා. ඊට අමතරව නිවේදනයන් නිකුත් කරනවා. මේ දේවල් බල බල හිටපු හින්දා අමුතු ගතිය ටිකක් අඩු වුනත් මහන්සිය හින්දා එපා වෙන ගානට ඇවිත් තිබුනෙ. ඉන්දියාවෙ ගුවන් තොටුපලේ තමයි මම දැක්ක තවත් වෙනසක් තිබුනෙ. කටුනායක ගුවන් තොටුපලේ දි නම් ගුවන් යානය කෙලින්ම ඇවිත් නවත්තනවා ගොඩනැගිල්ලක් ලග. ඒ ගොඩනැගිල්ලෙ ඉඳල ගැවන් යානයට කෙලින්ම ගොඩ වෙන්න පුලුවන් පාලමක් තියෙනවා. ඒ පාලම සම්බන්ධ වෙන්නෙ හරියටම ගුවන් යානයෙ දොරටමයි. ඒ නිසා ගුවන් යානයට නගින එක හරිම ලේසියි. ඒ වුනාට ඉන්දියාවෙදි ගුවන් යායට නගින්න බස් එකක යන්න ඕන. අදාල ගුවන් යානය ආවම නිවේදනයක් කරනවා ගේට්ටු අංකය හෙවත් පිටවීමේ දොරටුව ගැන. එතකොට අපි ගිහිල්ලා අදාල බස් එකට නැග්ගම ඒ බස් එක අපිව අරගෙන යනවා ගුවන් යානය ළඟට. එතනදි තමයි අපිට ගුවන් යානයට නැග ගන්න වෙන්නෙ. ඔය කතන්දරේ මම යන්න කලින් කෙනෙක් කියල දීල තිබුන නිසා ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ.
ඔය ගුවන් තොටුපලේ ඉන්න වෙලාවෙ තමයි ඉස්සෙල්ම ඉන්දියානු ළඳුන්ගෙ රූප සොබාවේ අගේ දැක්කෙ. හරියට හැමෝම හින්දි චිත්‍රපටි වල දැකල පුරුදු අය වගේ. කොහොමටත් ලෝක රූ රැජිණන් ගණනාවක් බිහි කරපු රටක් නෙව. මමත් ඉතින් මහන්සිය කෙසේ වෙතත් ඉන්දියානු ළඳුන්ගෙ රූ සිරි නම් විඳ ගත්තා. 🙂 අන්තිමේ දී බලාගෙන ඉඳල ඉඳල මගේ ගුවන් යානය එනවයි කියල නිවේදනය කරා. ඒ පාර මමත් දඩි බිඩියෙ මගෙ ගමන් මලු ලෑස්ති කරගෙන පිටවීමේ දොරටුව ගාවට ගියා. ඒ පාර ඉතින් ගුවන් යානයට නැග ගත්තට පස්සෙ අර ශාරීරික අවශ්‍යතාවේ ආයෙ දැනෙන්න ගත්තා. ඒපාර හිතුවා ඉවසගෙන හිටපු එකේ කොහොම හරි ඉතුරු ටිකත් ඉවසගෙන ඉන්නව කියල.
චෙන්නායි ඉඳල හයිද්‍රාබාදයට ගමනෙදි තමයි තව අපූරු සිදුවීම් දැක්කෙ. මේවා ඉතින් ඒ තරම් අපූරු දේවල් නොවෙන්න පුලුවනි. ඒ වුනාට ඉස්සෙල්ලම වතාවට ගුවන් යානයක ගිය මට දකින දකින හැම දේම මොකද්දෝ අපූරු ගතියකින් දැනුනා. ඔන්න යන්තම් අපේ ගැවන් යාව යන්න පිටත් වැනා. මම හිතුවෙ එක පාරටම උඩට ගනී කියල. ඒ වැනාට මෙන්න බොලේ හරියට පාරේ යන බස් එකක් වගේ අපේ යානාව හෙමිහිට වංගු අරගෙන යනවා. එහෙම ගිහිල්ලා එක තැනක නැවැත්තවා. මම බැලුවා මොකද මේ වුනේ කියල. ඔන්න එතකොට තමයි ජනේලෙන් එලිය දකින කොට දැක්කෙ තවත් ගුවන් යානයක් ගොඩ බස්සවනවා. එතකොට පිටිපස්සෙන් තවත් යානයක් ඇවිත් නවත්තගෙන ඉන්නවා අපි වගේ. ඔන්න අර යානාව හෙමිහිට පහලට ඇවිත් ගොඩ බස්සවලා ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට හරව ගත්තා. ඊට පස්සෙ තමයි අපේ යානාව ප්‍රධාන ධාවන පථයට අරගෙන අහසට නැග්ගුවෙ.වාසනාවකට වගේ චෙන්නායි ඉඳල හයිද්‍රාබාදයට යන ගමනෙ දි කණේ කැක්කුම හැදුනෙ නෑ. ඒ වුනාට ඒකටත් හරි යන්න ශාරීරික අවශ්‍යතාවෙ දැනෙන්න අරගෙන තිබුනෙ. 🙂 ඒ ගුවන් යානාවෙ ගමන් කරපු ගොඩක් දෙනා මුඛ ආවරණ පැලඳගෙන හිටියෙ. ඒකෙන්ම තේරුණා සූකර උණ ගැන කොයි තරම් එහෙ බය පැතිරිලා තිබුණද කියන එක.
කොහොමින් කොහොම හරි වැඩි කරදරයක් නැතුව හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලට ළඟා වුනා. ඒ පාර නම් මට පුදුම අහනයක් දැනුනෙ. මට මතක විදිහට වෙලාව උදේ නමයට විතර. ඔන්න ඉතින් මගෙ ගමන් මලු ටික අරගෙන මම එළියට ආවා. එලියට ආවම එතන ඉඳන් මම නවාතැන් ගන්න තැනට කුලී ගමන් රථයක් අපේ ඉන්දියානු සමාගමේ මිත්‍රයො ලෑස්ති කරල තිබුනෙ. මම එතන එළියට එනකොට තමයි අනිත් අපූරු දර්ශනය දැක්කෙ. ගුවන් තොටුපලෙන් එළියට එන අය පිලි ගන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය තමන් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගෙ නම සඳහන් කරපු නාම පුවරු උස්සගෙන ඉන්නවා. හරියට උද්ඝෝෂණයක් වගේ. ඔන්න ඔය අතරෙ මඟේ නමයි , ශ්‍රී ලංකා කියල ගහපු බොඩ් එකක් උස්සගෙන තරුණයෙක් ඉන්නවා දැක්කා. එවෙලෙ හිතුනා ඇති යන්නතම් කියල. මම ඉතින් ඒ පාර මිනිහට කිව්ව මම තමයි කෙනා කියල. ඒ කොල්ලටත් ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ. ඒ වුනාට කොහොම හරි තේරෙන වචන දෙක තුනකුයි හස්ත මුද්‍රා වලිනුයි කතා කරගෙන අපි ටැක්සියට ආවා.
හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලෙන් එළියට ආවම තමයි මම දැක්ක තවත් ලස්නම දර්ශනයක් දැක්කෙ. හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලෙන් එළියට එන පාර දෙපැත්තෙ වවල තිබුනා හරි ලස්සන කහ පාට දම් පාට මල්. පාර දෙපැත්තෙ එක යායට පිරිලා තිබ්බ මල් දැක්කම ආස හිතුනා. අවාසනාවට ඉන්දියානු ගමනට යනකොට මම කැමරාවක් අරගෙන ගියෙ නැති නිසා ඒ දර්ශනය සටහන් කර ගන්න බැරි වුනා. ඔය ගමන යන අතරෙ මගෙ රියදුරා මාත් එක්ක කතාවට වැටුනා. මිනිහා කතා කරන්නෙ මිනිහගෙ බාසාව මැද්දට දන්න ඉංග්‍රීසි වචන දෙක තුනක් දාලා. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ් වලට කියල මම කිව්වනෙ. එහෙ ප්‍රධාන භාෂාව තමයි තෙළිඟු. තෙළඟු භාෂාව කතා කරනකොට ගොඩක් වෙලාවට තේරෙන්නෙ දෙමළ භාෂාව වගේ. ඒක නිසා රියදුරාගේ කතා බහ මට ගොඩක් හුරු පුරුදුයි වගේ දැනුනා.
මේ මනුස්සයට ඕන වුනා මම ආවේ කොයි රටේ ඉඳලද , මොන පළාතෙද වගේ එක එක විස්තර දැන ගන්න. මිනිහා ලංකාව ගැන දන්නවා ටිකක්. කොහොමටත් අසල්වැසි රටක්නෙ. මිනිහා ගඔඩක් කතා කාරයෙක්. ටැක්සියට නැගපු වෙලේ ඉඳල එක එක දේවල් කියවනවා මාත් එක්ක. චිත්‍රපටි ගැනයි, සින්දු ගැනයි තව මොන මොනවදෝ විස්තර වගයක් නවත්තන්නෙ නැතුව මේ මනුස්සයා කියා ගෙන ගියා. මේ විස්තර අහගෙන ඉන්නකොට ආයෙ වතාවක් “නීල් විජේරත්න” මහත්තමයගෙ “කේරළ නළඟන” පොතේ එන ඉන්දියානු ගමන් විස්තර මතක් වුනා.
එහෙම නම් ඉතින් අද “මගේ සටහන” නුත් ඉන්දියානු ගමන් විස්තර කියල ඉවර කරන්න බැරි වුනා. එහෙම නම් ලබන සතියෙවත් ඉන්දියානු ගමන් විස්තරේ කියල ඉවර කරන බලාපොරොත්තුවෙන් මේ සතියෙ සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.
මචන් ආන්ද්‍ර දෙමළ වලට තමා අපි අන්ඩර දෙමළ කියලා කියන්නේ. මම හිතන විදියට එක එහෙම තමා හදිලා ඇත්තේ. උඹට ඒක පුරුදු විදියට දැනුන එක අහන්න දෙයක් නෙවේ. හරි නම් උඹට ආන්ද්‍ර දෙමළ තේරෙන්න ඔනි.
ඉවරකරන්න හදිස්සි වෙන්නෙ නැතුව හිමිහිට ලියපන්. මේවගේ අලුත් අත්දැකීමක් කියවන්නත් අපි ආසයි…
“ඉන්දියාවෙ ගුවන් තොටුපලේ තමයි මම දැක්ක තවත් වෙනසක් තිබුනෙ. කටුනායක ගුවන් තොටුපලේ දි නම් ගුවන් යානය කෙලින්ම ඇවිත් නවත්තනවා ගොඩනැගිල්ලක් ලග. ඒ ගොඩනැගිල්ලෙ ඉඳල ගැවන් යානයට කෙලින්ම ගොඩ වෙන්න පුලුවන් පාලමක් තියෙනවා. ඒ පාලම සම්බන්ධ වෙන්නෙ හරියටම ගුවන් යානයෙ දොරටමයි. ඒ නිසා ගුවන් යානයට නගින එක හරිම ලේසියි. ඒ වුනාට ඉන්දියාවෙදි ගුවන් යායට නගින්න බස් එකක යන්න ඕන.”
ලංකාවෙත් 2004 වෙනකම් ඔහොම තමයි. බස් එකේ ගිහිල්ලයි නගින්න තිබ්බෙ
Good one.. Its really interesting. Waiting for next episode of the story. Keep up writing.. 🙂
ගුවන් යානය තුලදි කනේ කැක්කුම ආපුහාම කරන්න දෙයක් තියනවා හරිම ලේසියි, නහය මිරිකගෙන කටත් වහගෙන හයියෙන් හුස්ම පිට කරන්න එත කොට කන් දෙකෙන් හුස්ම එලියට යනවා ඊට පස්සේ පොඩ්ඩක් වත් කන රිදෙන් නෑ, මට කියලා දුන්නේ ඉන්දියනු ගුවන් සේවයක අක්කා කෙනක්, හැබයි මට එපා කරපුම ගුවන් තොටුපල ඉන්දියානු චෙන්නයි එක, මල ජරාවක් එ වගේම තමා එයාර් ඉන්ඩියා ඒක්ස්ප්‍රස් එකේ පෙල්න් අප්පා අපෙ 138 බුස් වගේ එපා වුනා
@ තරිදු – ඒක ඇත්ත බං . මාර පුරුදුයි තෙළිඟු බාසාව. තේරුනෙ නූ බං. අපරාදෙ දෙමල දැන ගෙන හිටියනං කියල හිතුනා
@ indika – මෙගා ටෙලියක් වෙයිද දන්නෙ නෑ :p
@ chanaka – එහෙම තිබ්බ නම් ලේසියි ඉන්දියාවෙත්
@ dilshi – thanks 🙂
@ kkrox – සමපූර්ණ ඇත්ත 🙂
2004 නෙමෙයි 2006 දිත් බස් එකක ගිහිල්ල තමයි අපි මිහින් එයාර් එකට නැග්ගෙ.
ගෙදරින් එලියට බහින කොට කැමරාවක් අරගෙන යන්න පුරුදු වෙන්න. ඒකෙ අවශ්‍යතාව කොයි වෙලේද කියන්න බැහැ. විශේෂයෙන්ම පිටරට ගමනක් යනවිට කැමරාවක් අනිවාර්යයි. මොකද හිතේ රැඳුනු දේ ටික කාලයකින් මැකිල ගියත් ඒ මතකය අලුත් කරගන්න ඡායාරූප ඉතා වැදගත්.
හප්පා…. අපුරු සටහන් ටික. අර කාලයක් පුනේත්රාට ඊර්සියා කර කර හිටියා නේද? ඔය අපුරු ඉන්දියානු සංචාරයෙන් පස්සේවත් එක ටිකක් අඩු උනාද? ඒක නෙමෙයි සුනෙත්රාට වගේ නිදහසේ ඉන්දියාව පුරා ඇවිදින්න පුළුවං උනාද? ඇයි හැබැටම කැමරාවක් අරං නොගියේ?
මොනව උනත් අපුරු සටහන් ටික. comments ගැන worry වෙන්නේ නැතුව දිගටම ලියන්න. කෙනෙක්ට මවා ගන්න පුළුවං විදිහට ලියන එකේ ප1තිචාර ගැන එච්චර හිතන්න එපා. 🙂