ගුවන් අනතුරින් චූ බේරේ

ගොඩ කාලයක් තිස්සෙ “මගේ සටහන” ලියවුණේ නෑ. ඒකට නම් ගොඩක් හේතු තිබුනා. රැකියාවෙ කාර්ය බහුල කම ආදී එක එක හේතු. ඉඳල ඉඳල බලනකොට බ්ලොග් කෙරුවාව පටන් අරගෙන අවුරුදු 2 කුත් ගෙවිලා ගිහිල්ලා. ඒ වුනාට දෙවෙනි අවුරුද්දෙ බ්ලොග් සටහන් ලියවුනේ නැති තරම්. ඒ අතර කාලය තුල බ්ලොග් අවකාශයට ගොඩක් අය එකතු වෙලා, නොයෙක් වෙනස් කම් එහෙමත් වෙලා. ඉතින් මේ හැම දේම දිහා බල බල ඉන්න කොට ආයෙමත් “මගේ සටහන” ලියන්න ආසාවක් ඇති වුනා. ඇත්තටම කියනවනම් ලිපියක් ලියන්න ඕන කම ගොග කාලෙක ඉඳන් තිබුණත්, මගෙ කම්මැලි කම නිසා ලිය වුනේම නෑ. එහම නම් ඉතින් මාස 7 ක විරාමයකට පස්සෙ ඉරිදා හැන්දෑවක හතලිස් හතර වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මම මීට ඉස්සර කාලෙක කිව්වනෙ ගොඩක් වෙලාවට මගේ සටහන ලියෙන්නෙ බස් එකේ, කොච්චියෙ යන කොට කියලා. ඒ කියන්නෙ යන අතර තුරේ යතුරු ලියනය කරන එක නෙවෙයි. ලියන්න අවශ්‍ය දේවල් හිතන එක. හැබැයි දැන් නම් ඒ පුරුද්ද මග ඇරිලා ගිහින්. ඉස්සර වගේ ලියන්න දේවල් කල්පනා වෙන්නෙ නෑ යන එන අතර තුර. ඉතින් කාලෙකට පස්සෙ “මගේ සටහන” ලියන්න යන කොට එක පාරටම මොනව ලියනවද කියල හිතා ගන්නත් බැරි වුනා. එහෙම  ඉන්න කොට ඉතින් මතක් වුනා පහුගිය ටිකේ මං බ්ලොග් නොලියපු කාලේ ගිය ඉන්දියානු සවාරිය ගැන ලියන්න.

ඔය ඉන්දියානු සවාරිය ඇත්තටම විනෝද චාරිකාවක් නෙවෙයි. ඒක මගේ කාර්යාලයෙන් පිලියෙල කරපු ගමනක්. කොහොම වුනත් ඒ ගමන තමයි හා හා පුරා කියල මම ලංකාවෙන් එළියට ගිය වතාව. මීට කලින් වෙන රටකට කියල ගිහිල්ලා තිබුනෙ රජරට ට විතරයි. 🙂 ඉතින් ඔය ඉන්දියානු ගමන සූදානම් වුනාම හිතේ ටිකක් දෙගිඩියාවෙන් තමයි හිටියෙ. මුල්ම හේතුව තමයි වෙන කොහෙවත් පිට රටකට ගොහින් නොතිබ්බ එක. අනික ඒ ගමන යන්න තිබුනෙත් තනියම. ඊටත් එහා ගුවන් යානයෙ යන එකත් හිතේ පුංචි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔය ගුවන් යානා ගැන කියද්දි ඒ අස්සෙම තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. හැබැයි මේ කතාව අසභ්‍යයි කියාවිද දන්නනෙත් නෑ. සමහරවිට මේ කතාව “මගේ සටහන” කියවන උදවිය අහල තියෙන්නත් පුලුවන්. ඔන්න එක්තරා දවසක ගුවන් යානයක් කන්දක හැප්පීම හින්දා අනතුරට පත් වුනා ලු. ඉතින් මේ යානයෙ ගිය අය අතරෙන් දහ දෙනෙක් මැරිලා ලින් චූ කියන චීන ජාතිකයා විතරක් ජීවිතේ බේර ගත්තලු. මේ අවාසනාවන්ත අනතුරෙන් ඒ ගුවන් යානයේ නියමුවා සහ කාර්ය මණ්ඩලයේ උදවියත් මිය ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රවෘත්ති වලට බොහොම උනන්දුවක් දක්වනවනෙ අපේ මාධ්‍ය ආයතන හෙවත් පත්තර , රේඩියෝ මහත්තුරු. ඉතින් ඔය අනතුරත් සිද්ධ වුන දවසෙ ගොඩක් පත්තර කන්තෝරු වල කට්ටිය උනන්දු වුනාලු ඔය ප්‍රවෘත්තිය පහුවදා පත්තරේ පල කරන්න. මේ අතරින් එක පත්තරේක ඒ වගේ විශේෂ සිද්ධි වාර්තා කරන කෙනා හිටපු නැති නිසා පත්තරේ කර්තෘ තුමා තීරණය කලා ලු අලුතින් සේවයට එකතු වෙච්ච මාධ්‍යවේදියෙක්ට මේ රාජකාරිය බාරදෙන්න.

ඉතින් මේ පත්තර මහත්තයත් බොහොම උනන්දුවෙන් ලෑස්ති වුනාලු ප්‍රවෘත්තිය ආවරණය කරන්න. ඔන්න ඉතින් මෙයා ඒ අනතුර වෙච්ච තැනට ඡායාරූප ශිල්පියෙක් එහෙම අරගෙන ගිහිල්ලා හොඳ පින්තූර ටිකක් එහෙම අරගෙන ඇවිත් බොහොම අපූරු විදිහෙ විස්තරයක් ලිව්වලු පත්තරේට. හරියට මේ අනතුර සිද්ධ වෙනවා ඇස් දෙකෙන් බලාගෙන හිටියා වගේ ලිව්වලු. කොහොම ලිව්වත් තාම අලුත් කෙනා නෙ. ඒක නිසා මාතෘකාව දැම්මලු මෙහෙම.  “ඊයේ සවස සිදුවූ බිහිසුණූ ගුවන් අනතුරින් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඇතුලුව පුද්ගලයින් දස දෙනෙක් මිය ගොස් ලින් චූ නම් චීන ජාතිකයාගේ පමණක් බේරේ” . ඔන්න ඒ පාර මේ ලිපිය බාර දුන්නලු පත්තරේ පිටු සකසන අයට. මෙතනදි තමයි පත්තරේක සාමන්‍යයෙන් පිටු වල ඉඩ තියෙන හැටියට, පුවතේ වැදගත් කම අනුව පල කරන්න සකස් කරන්නෙ. ඉතින් මේ පිටු සකසන උදවියට සිද්ධ වෙනවා සමහර විට හෙඩිම දිග වැඩි නම් ටිකක් සකස් කරන්න එහෙම.  ඔන්න මේ උදවිය බලන කොට හෙඩිම බොහොම දිග වැඩියි. හදිස්සි ප්‍රවෘත්තියක් නිසා පල කරන්නත් ඕන. ඒ වුනාට ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් තියනවා. අන්තිමේ දී ටිකක් වෙල් කල්පනා කරලා ඒ අය තීරණය කලා ලු මාතෘකාව කොට කරන්න. ඉතින් එහෙම කරලා ගුවන් යානා අනතුර ගැන පහුවදා පත්තරේ පල කලා ලු. පහුවදා පත්තරේ ගුවන් යානා අනතුර ගැන හෙඩිම තිබ්බලු මෙන්න මේ විදිහට.

“ගුවන් අනතුරින් චූ බේරේ”

ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ. මම දන්න තරමින් මේක ඇත්ත කතාවක් නෙවෙයි. ප්‍රබන්ධ කරපු කතාවක්. 🙂 ඉතින් අතුරු කතාවකට ගිහිල්ලා මගෙ ප්‍රධාන කතාව මග ඇරුණනෙ. ඇත්තටම ගුවන් යානයේ යන එක ගැන පුංචි තිගැස්සමක් තිබුනා. මගෙ ගමනට ආසන්න කාලයෙදි ප්‍රංශ ගුවන් සේවාවෙ යානයක් අනතුරට පත් වෙලා සියලුම දෙනා මිය ගියා. කවදාවත් ගිහින් නැති ගමනක් යන එකේ එහෙම දැනුනු එක පුදුමයකුත් නෙවෙයි.

ගමනට සූදානම් වෙද්දිත් තිබුනෙ හරි අවුලක්. අරගෙන යන්නෙ මොනවද, කොච්චර විය හියදම් වෙයිද කියන කිසිම දෙයක් ගැන හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි ඉතින් කාර්යාලයයෙන් ගමනට අවශ්‍ය විය හියදම් ඔක්කොම වගේ සපයපු නිසා ටිකක් බය ගතිය මග ඇරුනා. කොහොම හරි යන දවසත් ආවා. එදා ගුවන් තොටුපලට ගියෙ හරියට කාලෙකට ලංකාවෙන් පිට වෙලා ඉන්න යනවා වගේ.  ගමන යෙදිලා තිබුනෙ මහ රෑ. ඒක නිසා රෑ නිදා ගන්න ලැබුනෙත් නෑ.ගුවන් තොටුපල ඇතුලට ගියාම මට මැජික් වගේ.  එතන මහ රෑ වෙලාවෙත් සෙනඟ යන එන හැටි, සමුගන්න හැටි මම බලාගෙන හිටියෙ මොහොම ආසාවෙන්. ඒ වගේම එක එක රට වලට යන ගුවන් යානා වලට යන මිනිස්සු පෙල ගැහිලා ඉන්න හැටි, ඒ විස්තර රූපවාහින් තිර වල වැටෙන හැටි මං බලාගෙන හිටියෙ ලොකු කුතුහලයකින්. ඔය අස්සෙ මාව ගුවන් තොටුපලට ඇරලවන්න ආපු අපේ අම්මයි, ඥාතී සහෝදරයයි මට සමුදීලා යන්න ගියා. ඔන්න එවෙලෙ තමයි මට ඉස්සෙලම මොකද්දෝ තනිකමක් වගේ දෙයක් දැනුනෙ.

ඔය ගුවන් තොටුපලේ ඉන්න අතර වාරෙදි මට හම්බුනා ඉන්දියානු ශිෂ්‍යයො දෙන්නෙක්. ඒ අය ලංකාවෙ මොකද්ද වැඩ සටහනකට ඇවිත් ආපහු යන ගමන්. අපේ ගුවන් යානය එනකම් මම ඒ දෙන්නත් එක්ක කතාවට වැටිලා හිටියා. ඒ දෙන්නා ගෙ ලංකාව ගැන හිතපු දේවල් සහ ඉන්දියාවෙ ජීවීතේ ගැන අහපු එක මහ රෑ පාලුව නැති කර ගන්න උදව් වුනා.කලින් උපදෙස් ලැබිලා තිබුන නිසා අමාරුවක් නැතුව ගුවන් යානයට නැග ගත්තා. මම හිතා ගෙන හිටියෙ බස් එකක ගිහින් පඩි පෙලක් දිගේ ලොකු ගුවන් යානයක නගින්න තියේවි කියල. ඒ වුනාට අන්තිමට ගොඩනැගිල්ලක් අස්සෙන් ගිහිල්ලා ගුවන් යානෙට නැග්ගම මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා. මොකද මම හිතාගෙන හිටිය වගේ භාගයක් වත් නැති ගුවන් යානයක් ඒක. ඊට අමතරව දැනිච්ච දේ තමයි ඉන්දියාවට යන මගීන්ට අපේ ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩය කිසිම සුහදත්වයක් දැක්වුවෙ නැති එක. ඒ අයගෙ කතා බහයි හැසිරීම් රටාවෙනුයි හොදටම දැනුනා අපිට සලකපු හැටි.

ඔන්න ඉතින් ගුවන් යානෙ යන්න පිටත් වුනා. ඒ වෙනකොටත් මට නම් ටිකක් එපා වෙලයි තිබුනෙ. ඒ වෙලාවෙ පාන්දර 3.20 ට විතර. යන්තම් ගුවන් යානය ගමන ආරම්භ කරන්න ගත්තා. ඒ වෙලාවෙ නම් ටිකක් බය හිතුනා මුල්ම අත්දැකීම නිසා. අර ගුවන් යානේ පොලවෙන් ඉහලට ඉස්සුනාට පස්සෙ තමයි හිතේ තිබ්බ බය අඩු වෙලා ගියෙ.  හැබැයි ඊට වඩා අකරතැබ්බෙකට මූණ දෙන්න සිද්ධ වුනේ ගුවන් යානේ ඉහලටම නැගුනට පස්සෙ. මට ඉවසන්න බැරි කණේ කැක්කුමක් හැදුනා ඒ වෙලාවෙ. ජීවිතේට එහෙම කණේ වේදනාවක් හැදිලා තිබුනෙ නෑ. ඒක නිසා මගෙ මුල්ම ගුවන් ගමන හරිම වදයක් වුනා. ඒ වේදනාව කොයි තරම් තදට දැනුනද කියනවනම් මට හිතුනා ගුවන් යානය කඩා ගෙන වැටෙනවනම් හොඳයි කියල දැන්ම බිමට පහත් කරන්නෙ නැත්තම්.

එහෙම නම් ඉතින් ගමනෙ විස්තර ඊළඟ “මගේ සටහන” හරහා කියන බලාපොරොත්තුවෙන් මේ දිග හැරීම නතර කරනවා. නැවත හමුවෙමු.