යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර්

කාලයක් තිස්සෙ නොලියවුනු “මගේ සටහන” ආයෙ ලියන්න පටන් අරගෙන දැන් සති දෙකක් වෙනවා. එතනින් මුල්ම සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණට ඡන්ද කලබල අස්සෙ හින්ඳ මන්දා ගිය සතියෙ සටහනට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා තිබුනෙ නෑ. ඒ “මගේ සටහන” කම්මැලි හින්ද දෝ කියලත් හිතුනා. කොහොම වුනත් මගේ ගමන් චාරිකාව ගැන විස්තර තව කියන්නත් එක්කම මේ සතියෙ “මගේ සටහන” හතලිස් හය වෙනි දිග හැරීම මෙතැන් සිට ආරම්භ කරනවා.

මදැරාසියෙන් හේවත් නූතන චෙන්නායි නගරෙට මම ගොඩ බැස්සෙ පාන්දර හතරහ මාරට විතර කියල කිව්වනෙ. ඒ ගුවන් තොටුපලට කියන්නෙ අන්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල කියල. කොහොම හරි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වැඩ කටයුතු ටික ඉවර කරගෙන දේශීය ගුවන් තොටුපලට සේන්දු වුනා. මම හිතාගෙන හිටියෙ හදිස්සියෙ හරි බස් එකකින් එහෙම යන්න වෙයිද කියල. ඒ වුනාට මගේ සැනසීමට පයින් ඇවිද ගෙන යන දුරින් ගුවන් තොටුපල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. මේ කතාව ලියා ගෙන යන අතර තුරේ සුපුරුදු පරිදි තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. කොහොමටත් “මගේ සටහන” ඇතුලෙ එක එක තැනින් පැනපු අතුරු කතන්දර තියෙනවා. ඒක නිසා පාඨකයන්ට වුනත් දැන් ඒ තරම් නුහුරු ගතියක් නැතිව ඇති කියල හිතනවා කියාගෙම යන දේ මැදට කොහෙන් හරි වෙන කතන්දරයක් පාත් වුනාහම.

මම මේ කියන්න යන දේ ඇත්තටම කතන්දරයක් මත් නෙවෙයි. එක්එරා විදිහක ඉන්දියානුවන්ගෙ හැසිරීම් රටාව ගැන විස්තරයක්. ඔය ඉන්දියානුවන්ගෙ භාෂා උච්චාරණ විලාසය බොහොම වෙනස්. මොකද ලංකාවෙ උදවිය කතා කරනවාට වඩා අමුතුයි. මේ ගැන සමහර විහිලු කතා පවා තියෙනවා. ඉන්දියානුවො ඉංග්‍රීසි කතා කරන කොට ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි “r” අකුර ඇදලා කියන එක. ඒ කියන්න්නේ “යාර්ර්ර්ර” වගේ දේවල්. අපිට විශ්ව විද්‍යාලෙදි දේශනයකට ආපු ආචාර්ය වරයෙක් කිව්වා හරි අපූරු කතාවක්. ඇත්තටම ඒ කතාව කියවල බලනවට වඩා අහන්න තිබුනා නම් තමයි හොඳ.

ඔන්න ඔය දේශක තුමා පොඩි කාලෙ එයාගෙ ගෙදරට ආවලු ඉන්දියානු ජාතිකයෙක් , පායාව මුණ ගැහෙන්න. මේ මනුස්සයා ගේ ඇතුලටම ඇවිත්. ඒ පාර තාත්තා ඇහුවලු අමුත්තා ගෙන් “How did you came in?” . ඒ කියන්නෙ කොහොමද ඔබ ඇතුලට ආවෙ කියල. ඒ පාර අර ඉන්දියානුවා උත්තර දුන්නලු මෙන්න මෙහෙම. ” යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර් ඕපන් ද ඩෝර්ර්ර් ෆොර්ර්ර් මී” කියල. “yourrrrrrrr driverrrrrrrr open the dooorrrrrr forrrrrrrrr me” . ඔය කතාව මම කියන හැම තැනකදිම අපේ මිත්‍රයො හිනා වෙනවා. කතාව මම කිව්වෙ ඉන්දියානුවන්ට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි. මොකද ඒ උච්චාරණ රටාව ඒ අයටම ආවේණීක දෙයක් නිසා.

ආයෙ ඉතින් මගෙ කතාවට ආයෙ එන්නයි සූදානම. දේශීය ගුවන් තොටුපලට ආවයි කියමුකො. චෙන්නායි ඉඳලා හයිද්‍රාබාදයට යන ගුවන් යානය තිබුනෙ උදේ අටහ මාරට හරි නමයට විතර. ඒ අතර තුර පැය හතරක් විතර මට දේශීය ගුවන් තොටුපලේ රැඳිලා ඉන්න තිබුනෙ. ඔන්න එතන මාර කලබලයක්. ජාත්‍යන්තර ගුවන් තොටුපලටත් වඩා එතන කලබලේ වැඩී. සමහර අය පුටු වල දිගෑදිලා පත්තර බලනවා. තවත් සමහර අය නිදි. මේ කිසිම කෙනෙක් අතර ලංකාවෙ කෙනෙක් බෙහෙතකටවත් හිටියෙ නෑ. ඒක නිසා මගේ හිතේ පාලුව තවත් වැඩි වුනා ඒ වෙලාවෙ.

කලින් දවසෙ රෑ ඉඳලම ඇහැරගෙන හිටපු නිසා ඒ වෙනකොටත් මම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. අලි මදිවට හරක් කිව්වා වගේ පාන්දර ජාමේ නිසා මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුනා. ඒකත් සුලු දිය පහ කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. බරපතල අවශ්‍යතාවයක්. ඔය වෙලාවෙ තමයි මම බරපතල ප්‍රශ්නෙකට මැදි වුනේ. මොකද මගෙ ගමන් මලු ප්‍රශ්නෙ නිසා. ඒක වුනේ මෙහෙමයි.

මේ ගමනට මම අරගෙන ගියේ එක ගමන් මල්ලයි. ඒක විශාල ගමන් මල්ලක්. ඒ ගමන් මල්ලට තමයි මගේ ගමනට අවශ්‍ය ඇඳුම් පැලදුම් ආදී ජාති ටික අහුර ගෙන තිබුනෙ. කොහොමටත් අවශ්‍යයම දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් උස්සගෙන යන්නෙ නෑ කියල මම තීරණය කරල තිබුනෙ. ඉතින් ඔය ගමන් මල්ල ඇත්තටම සූට් කේස් එකක්. අර අතින් ඇදගෙන යන්න පුලුවන් විදිහෙ. ඉතින් මම ගමන යන්න කලින් ඉන්දියාවෙ පොදු ප්‍රවාහන සේවා වල ඉන්න හොර හතුරො ගැන ගොඩක් අය මට උපදෙස් දීලා තිබුනෙ. ඒක නිසා මේ සූට් කේස් එකට ඉබි යතුරු දාගෙන හිටියෙ වැඩි ආරක්ෂාවට. 🙂 මේ සූට් කේස් එකට අමතරව මගෙ පරිගණකයත් අරගෙන තමයි ගියෙ. එතකොට ඔක්කොම බෑග් දෙකයි.

ඉතින් දැන් ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න හැටි කල්පනා කරන කොට තමයි ගමන් මලු බල පරශ්නෙ ඔලුවට ආවෙ. මොකද ගමන් මලු කොහවත් තනියම තියන්න එපා කියල උපදෙස් ලැබිලා තිබුනෙ. ඒක නිසා මුකුත් කරන්නත් බෑ. වැසිකිලිය ඇතුලට ගමන් මලු උස්සගෙන යන්නත් බෑ. කොහොමටත් උදේ පාන්දර රේගු නිලධාරියගෙ වැඩෙන් පස්සෙ ගමන් මලු ටික පොඩ්ඩකට හරි තියල වැසිකිලි යන එකත් හිතට හරි නෑ වගේ දැනුනෙ. මමම කල්පනා කරා මොකද කරන්නෙ කියල. තව කෙනෙක් ගෙන් පොඩ්ඩකට බෑග් බලා ගන්න කියල ඉල්ලීමක් කරන්නත් හිතුනා. ඒ වුනාට එතන හිටපු අයගෙ මූණු දිහා බැලුවම ඒ වගේ ඉල්ලීමක් කරන්න තරම් හිතෙන කෙනෙක් හිටියෙත් නෑ.

අන්තිමේදි මම තීරණය කලා ඉවසගෙන ඉන්නවා කියල. කණේ අමාරුව හැදිලා මුල්ම ගුවන් ගමන එපා වෙලා හිටපු මට ඒ වෙනඛඔට නම් ආයෙ ගෙදර දුවන්න හිතුනා. 🙂 කරන්න දෙයක් නැතිම තැන මම පොඩ්ඩක් නිදා ගන්න බලපු එක. ඒ වුනාට ඒක හරි ගියෙත් නෑ. මොකද මගෙ ගමන් මලු ගැන එන්න කලින්ම දීපු උපදෙස් මතක් වීම නිසා විනාඩියෙන් විනාඩියට ඇහැරල බලනවා ඔක්කොම හරියට තියෙනවද කියල. 🙂 ඒකත් හරියට මානසික ලෙඩක් වගේ. මගෙ දිහා කවුරු හරි බලාගෙන හිටියනම් මොනව හරි හිතන්න තිබුනා.

අන්තිමේදී නිදා ගන්න වැඩේ හරි ගියෙ නැති නිසා මට හිතුනා ගුවන් යානයට අදාල නැව් නැගීමේ පත්‍රය හෙවත් බෝඩිං පාස් එක අරගෙන ඇතුලට ගියා නම් හොඳයි කියල . ඔන්න ඒ පාර ම ගියා අදාල ගුවන් යානා කාර්ය මණ්ඩලය ලඟට. ඒ පාර ඒ අය කියපි මම මොකද්ද ආරක්ෂක පරීක්ෂාවක් කරගෙන නැතිලු. මොකද්ද ආරක්ෂක පරික්ෂාවක් කරගෙන ගමන් මලු වල මොකද්ද සහතික කිරීමේ ස්ටිකරයක් අලවගෙන එන්නලු. මම වටපිට බලනකොට ඇත්තටම තියෙනවා එහෙම එකක්. මම ඒක හරහා නෙවෙයි ඇවිල්ලා තියෙන්නෙ.

ඉන්දියාවෙ ගුවන් තොටුපල වලයි , ලංකාවෙ ගුවන් තොටුපල වලයි අතර ම දැක්ක විශේෂ වෙනස් කමක් තමයි ඒක. කටුනායක ගුවන් තොටුපලේ නම් ඇතුල් වෙන කොට අපේ ගම් මලු පරීක්ෂා කරනවා විතරයි. ඒ වුනාට ඉන්දියාවෙදි ගමන් මල්ලෙ ස්ටිකරයක් අලවනවා ඇතුල් වෙන තැනදි. ඊට පස්සෙ ගුවන් යානයට අදාල ප්‍රවේශ පත්‍රය ගන්න ගියහම ඒ කාර්ය මණ්ඩලය අපිට දෙනවා ටැග් පත්. ඒ ටැග් පත් අපේ ගමන් මලුවල ගැට ගහ ගන්න ඕන. ඊට පස්සෙ ගුවන් යානයට නගින්න කලින් ආයෙ ආරක්ෂක නිලධාරීන් පරීක්ෂා කරල අර ටැග් වල සීල් එකක් ගහනවා. ඒ සීල් එක තියෙනවනම් තමයි ගුවන් යානයට නගින්න අවසර ලැබෙන්නෙ.

ඉතින් මම මගේ අවසර පත්‍ර ටික අරගෙන ඇතුලට ගියා. එහෙමනම් ඉතින් ගමනෙ ඉතුරු විස්තර ටික තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. නැවත හමුවෙමු.

සුද්දො ආයෙ ආවොත්

ගොඩ කාලයක් තිස්සෙ ලියවුනෙ නැති “මගේ සටහන” හදිස්සියෙම ගිය සතියෙ ලියල දැම්මනෙ . ඒ සටහනට මම හිතුව තරමටත් වැඩිය ප්‍රතිචාර හම්බ වෙලා තිබුනා. ඒක නිසා මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ ලිව්වමත් අමුතු උද්යෝගයක් දැනෙනවා. ගිය සතියෙ මම ලිව්වෙ චූ බේරෙන කතාවයි මගේ ගමන් විස්තරයි. ඒකට ලැබිල තිබුනු ප්‍රතිචාර අතර නොදන්න දේවල් ගොඩක් ඇතුලත් වෙලා තිබුනා. ඒ හැම දේම මුල්ම වතාවට රටින් බැහැරව යන ඕනෙම කෙනෙක්ට හරිම වැදගත්. ඉතින් එහෙමනම් වැඩි ආගිය තොරතුරු නැතිව මේ සතියෙ හතලිස් පස් වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මේ සතියෙත් මගේ ගමන් විස්තරේ ඉතුරු ටික කියන්න කියල තමයි මම කල්පනා කලේ. මම ඔය ඉන්දියාවට ගියා කියල කිව්වට ගමනාන්තය කොහෙද කියල කිව්වෙ නැති එක සමහර වෙලාවට “මගේ සටහන” පාඨකයන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. මම ගියෙ ඉන්දියාවෙ හයිද්‍රාබාදයට. ඔය හයිද්‍රාබාදය තියන්නෙ ඉන්දියාවෙ ටිකක් උඩ හරියට වෙන්න. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ වලට. ඉතින් මගේ ගමන හයිද්‍රාබාදයට වුනාට කෙලින්ම හයිද්‍රාබාදයට ගුවන් යානා තිබුනෙ නෑ. ඒක නිසා මට සිද්ධ වුනා චෙන්නායි නුවර හරහා යන්න. ඔය චෙන්නායි කියල දැන් හැඳින්වුනාට ඉස්සර ඒ නගරය ප්‍රසිද්ධ වෙලා තිබුනෙ අපි කවුරුත් දන්න මදුරාසිය නමින්.

ඔය මදුරාසිය කියන නමට මම ගොඩක් කැමති. මොකද නීල් විජේරත්න මහත්මය, එතුමාගේ ඉන්දියානු සවාරි ගැන විස්තර කරල ලියපු “මදුරාසි කොලුවා” පොත කියවලා. ඒ පොත කියසව්වට පස්සෙ කවදාවත් දැකල නැති මදුරාසියට යන්න ලොකු ආසාවක් හිතේ පහල වෙලා තිබුනෙ. ඉන්දියාවෙ කොහොමටත් පරණ නගර වල නම් මිට කාලෙකට කලින් වෙනස් වුනා. මට මතක විදිහට බොම්බේ කියන නම මුම්බායි කියල වෙනස් වුනා. ඔය ඉන්දියාවෙ නගර වල නම් වෙනස් කරපු එක ගැනත් රසවත් කතාවක් මතක් වුනා මේ ලියන අතර වාරෙ. ඒ කතාව කියන්නෙ රසල් පීටර්ස් කියන කැනේඩියානු ඉන්දියානුවා. රසල් කියන්නෙ ප්‍රසිද්ධ වේදිකාවල කතන්දර කියන කැනඩාවේ ඉපදිච්ච කෙනෙක්. මෙයගෙ දෙමවුපියො ඉන්දියානුවො. ඉතින් රසල් පීටර්ස් මේ නගර වල නම් වෙනස් කරපු එක ගැන මෙන්න මෙහෙම කියනවා.

“ඔන්න ඔය අය දන්නවා ඇතිනෙ ඉන්දියානුවො ළඟදි ඒ අයගෙ නගර කීපයක නම් වෙනස් කලා කියලා. ඒ අය එතකම්ම පාවිච්චි කලේ සුද්දා ඒ නගර වලට කියපු නම් තමයි. සුද්දො ඉන්දියාව අත ඇරලා ගිහින් අවුරුදු පනහක් ගෙවෙන කම් නම් වෙනස් නොකර හිටියෙ ඇයි කියල දන්නවද?  ඉන්දියානුවො හිතුවා ආයෙ සුද්දො එයි කියලා. ඉතින් ඒ අය බලාගෙන හිටිය සුද්දන්ට කල් දීලා ආපහු එන්න. මොකද කලබලේට නම් වෙනස් කරල ආයෙ මාරු කරන්න සිද්ධ වුනෝතින් කියල” 🙂

මේක ඇත්ත කතන්දරයක් කියල වරදවා වටහා ගන්න එපා. රසල් පීටර්ස් මේ වගේ උපහාසාත්මක කතා බොහොමයක් කියනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයෙ හොයල බලන්න පුලුවන්. ඉතින් ගිය සතියෙ වගේම “මගේ සටහන” ප්‍රධාන කතාවෙන් පොඩ්ඩක් එළියට ගියා. ඒක ගැන එච්චර වද වෙන එකක් නැහැ කියල හිතෙනවා.

ඔන්න ගිය සතියෙ මම කතාව නැවැත්තුවෙ කණේ කැක්කුම ගැන කියලනෙ. කොහොමින් හරි ආයෙ ගුවන් යානය පහත් කරන්න ලං වෙන කොට කණේ වේදනාව අඩු වෙලා තිබුනා. ඒ වුනාට කණ අගුලු වැටිලා වගේ මොකද්ද වෙලා තියෙනවා කියල දැනුනා. වෙලා තියෙන දේ හොඳට තේරුනෙ ගුවන් යානයෙන් බැහැලා ඇවිදගෙන යනකොට.  මොකද ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අහන ප්‍රශ්න මට හරියට ඇහෙන්නෙ නෑ. මම කතා කරන ඒවත් මටම ඇහෙන්නෙ නෑ. හරියට තාවකාලිකව බීරී වෙලා වගේ. ඒ වෙලාවෙ පාන්දර හතරහ මාරට විතර. මුලු රෑම නිදා ගන්නෙ නැතුව ඉඳල මට හොල්මන් වගේ. ඒ ඔක්කොම අස්සෙ මිනිස්සු කියන දේ ඇහෙන්නෙත් නෑ. ඒ අය කියනව මොනවද පත්‍රිකාවක් පුරවල භාර දෙන්නලු . බලන කොට සූකර උණ ගැන මොකද්දෝ පත්‍රිකාවක් පුරවල දෙන්නලු.

කොහොමටත් මම ඉන්දියාවෙ යන දවස් සල සූකර උණ ගැන බොහොම බයක් පැතිරිලා තිබුනෙ. අත්‍යවශ්‍ය කටයුත්තකට ඇරෙන්න ඉන්දියාවට යන්න එපා කියල නිවේදනයකුත් කරල. මම යනකොටත් ගුවන් තොටුපලේ උදවිය මූණු ආවරණ දාගෙන හිටියෙ. ඒ අස්සෙ මුම්බායි නගරෙ ඉස්කෝල , විශ්ව විද්‍යාල එහෙම වහලා දැම්මා ලෙඩේ පැතිරෙන වලක්වන්න. මට නම් ඒක ඒ තරම් ගානක් වුනේ නෑ. මොකද බරපතල ලෙඩක් මට හැදෙන්නෙ නෑ කියල මෝඩ විස්වායක් මගෙ තියෙන නිසා . 🙂 ඉතින් බාගෙට ඇහෙන දේවල් වලට යන්තම් උත්තර දීලා මම ගියා ගුවන් යානයට පටවපු ගමන් මල්ල අරගන්න. ඒකෙ තමයි මගෙ ඇඳුම් ටික තිබුනෙ. එතනදි මට තවත් අපූරු වැඩක් වුනා.

මම ඒ බෑග් එක ගන්න අතරෙ එතන හිටියා ගුවන් තොටුපලේ ඉන්දියන් ජාතික නිලධාරියෙක්. මේ මනුස්සයා මගේ ළඟට ඇවිත් නොහොම සුහදව හිනා වුනා. මමත් ඉතින් හෙම්බත් වෙලා හිටිය එකේ ඒක බොහොම ලොකු සැනසීමක් වගේ දැනිච්ච හින්දා හිනා වුනා ඒ පුද්ගලයා එක්ක. මේ මනුස්සයා මගෙන් අහපි ඔන්න “ඔයාගෙ බෑග් ඔක්කොම ගත්තද? සේරම හරිද?” කියලා. මටත් ඉතින් හරි සතුටු දායක හැඟීමක් ඇති වුනා මේ ඉන්දියානු ජාතිකයගෙ සුහද බව ගැන. ඉතින් මමත් පැනල උතත්ර දුන්නා ” ඔව් , ඔව්” කියල. ඊට අමතරව මම කිව්වා දේශීය ගුවන් තොටුපල තියෙන තැන කියන්න කියල. මොකද මම මුලින්ම ගොඩ බැස්සෙ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට. එතන ඉඳල හයිද්‍රාබාදයට යන ගුවන් යානය ප්‍රාදේශිය ගුවන් යානාවක්. ඒකට නගින්න නම් චෙන්නායි ප්‍රාදේශිය ගුවන් තොටුපලට යන්න ඕන. මොකද ඉන්දියාව විශාල රටක් නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් වගේම අභ්‍යන්තර ගුවන් ගමනුත් බොහොම ජනප්‍රියයි.

ඉතින් මේ මනුස්සයත් කියපි “හරි හරි මම උදව් කරන්නම්, හැබැයි මටත් පොඩි උදව්වක් කරන්න” කියල. මම ඇහුවා මොකද්ද කියල. මෙන්න මේ මනුස්සයා කියපි “මගෙ යාලුවෙක් ඉන්නවා එළියෙ, මම සල්ලි දෙන්නම්. විස්කි බෝතල් දෙකක් අරගෙන එළියෙ ඉන්න යාලුවට ගිහිල්ලා දෙන්න කියල” එක පාරටම මම බැලුවා මොකද්ද ඒ කතාව කියල. බලන කොට ගුවන් තොටුපලෙන් එළියට යන මගියෙක්ට තීරු බදු රහිත සාප්පු වලින් මත්පැන් ඇතුලු දේවල් මිලදී ගන්න පුලුවන්. ඉතින් රට ඇතුලෙදි ගන්න මිලෙන් භාගෙකටත් වඩා අඩුවෙන් අරගෙන යන්න පුලුවන් ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පු වලින්. මේ මනුස්සයාට ඕන වුනේ එළියට යන කවුරු හරි හරහා පොඩි ජාවාරමක් කර ගන්න. ඒ වෙලාවෙ හොඳටම එපා වෙලා හිටපු මට යකා නැග්ගා ඒ කතාව අහලා. ඉතින් මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල ගුවන් තොටුපල ඇතුලෙ තියෙන බැංකුවක් ළඟට ආවා සල්ලි ටිකක් මාරු කර ගන්න.

මෙන්න මේ මනුස්සයා පස්සෙන් ඇවිත් ආයෙ දෙපාරක් විතර ඒ ඉල්ලීම කලා. ඒ පාර මම ගනන් ගන්නෙ නැතුව මගෙ වැඩේ කර ගන්න ගියා. මේ මනුස්සයා ඒ අස්සෙ තවත් කෙනෙක් ගෙන් ඒ ඉල්ලීම කලා. ඒ කෙනත් බැහැයි කිව්වා. කොහොම හරි අන්තිමට ඉතින් මම තනියම සල්ලි ටිකත් මාරු කරගෙන ගුවන් තොටුපලෙන් එළියට ආවා. ඒ වෙලාව වෙනකොට නම් නුහුරු නුපුරුදු තැනක ඉන්නව ටත් වඩා නොදන්න රටක ඉන්න එක හිතේ පොඩි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔන්න මම ගුවන් තොටුපලෙන් එළියට ආපු ගමන් දැක්කෙ හරියට ලංකාවෙ බස් නැවතුම් පොලක වගේ දර්ශනයක්. මොකද සිඟමන් යදින අයයි, පිලිවෙලක් නැතිව ඇඳ ගත්තු බඩු ගෙනි යන මිනිස්සුයි එක්ක එතන එකම ජංජාලයක් වෙලා තිබුනෙ. ඒ අතින් බලන කොට අපේ කටුනායක ගුවන් තොටුපල කොයි තරම් හොඳද කියල හිතුනා. හැබැයි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එලියට බැස්ස ගමන් තියෙන කොරිඩෝව දිගේම ගියහම දේශීය ගුවන් තොටුපල තිබුන නිසා කරදරයක් වුනේ නෑ.

එහෙම නම් ඉතින් ඉතුරු විස්තර තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් අද සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.

ගුවන් අනතුරින් චූ බේරේ

ගොඩ කාලයක් තිස්සෙ “මගේ සටහන” ලියවුණේ නෑ. ඒකට නම් ගොඩක් හේතු තිබුනා. රැකියාවෙ කාර්ය බහුල කම ආදී එක එක හේතු. ඉඳල ඉඳල බලනකොට බ්ලොග් කෙරුවාව පටන් අරගෙන අවුරුදු 2 කුත් ගෙවිලා ගිහිල්ලා. ඒ වුනාට දෙවෙනි අවුරුද්දෙ බ්ලොග් සටහන් ලියවුනේ නැති තරම්. ඒ අතර කාලය තුල බ්ලොග් අවකාශයට ගොඩක් අය එකතු වෙලා, නොයෙක් වෙනස් කම් එහෙමත් වෙලා. ඉතින් මේ හැම දේම දිහා බල බල ඉන්න කොට ආයෙමත් “මගේ සටහන” ලියන්න ආසාවක් ඇති වුනා. ඇත්තටම කියනවනම් ලිපියක් ලියන්න ඕන කම ගොග කාලෙක ඉඳන් තිබුණත්, මගෙ කම්මැලි කම නිසා ලිය වුනේම නෑ. එහම නම් ඉතින් මාස 7 ක විරාමයකට පස්සෙ ඉරිදා හැන්දෑවක හතලිස් හතර වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මම මීට ඉස්සර කාලෙක කිව්වනෙ ගොඩක් වෙලාවට මගේ සටහන ලියෙන්නෙ බස් එකේ, කොච්චියෙ යන කොට කියලා. ඒ කියන්නෙ යන අතර තුරේ යතුරු ලියනය කරන එක නෙවෙයි. ලියන්න අවශ්‍ය දේවල් හිතන එක. හැබැයි දැන් නම් ඒ පුරුද්ද මග ඇරිලා ගිහින්. ඉස්සර වගේ ලියන්න දේවල් කල්පනා වෙන්නෙ නෑ යන එන අතර තුර. ඉතින් කාලෙකට පස්සෙ “මගේ සටහන” ලියන්න යන කොට එක පාරටම මොනව ලියනවද කියල හිතා ගන්නත් බැරි වුනා. එහෙම  ඉන්න කොට ඉතින් මතක් වුනා පහුගිය ටිකේ මං බ්ලොග් නොලියපු කාලේ ගිය ඉන්දියානු සවාරිය ගැන ලියන්න.

ඔය ඉන්දියානු සවාරිය ඇත්තටම විනෝද චාරිකාවක් නෙවෙයි. ඒක මගේ කාර්යාලයෙන් පිලියෙල කරපු ගමනක්. කොහොම වුනත් ඒ ගමන තමයි හා හා පුරා කියල මම ලංකාවෙන් එළියට ගිය වතාව. මීට කලින් වෙන රටකට කියල ගිහිල්ලා තිබුනෙ රජරට ට විතරයි. 🙂 ඉතින් ඔය ඉන්දියානු ගමන සූදානම් වුනාම හිතේ ටිකක් දෙගිඩියාවෙන් තමයි හිටියෙ. මුල්ම හේතුව තමයි වෙන කොහෙවත් පිට රටකට ගොහින් නොතිබ්බ එක. අනික ඒ ගමන යන්න තිබුනෙත් තනියම. ඊටත් එහා ගුවන් යානයෙ යන එකත් හිතේ පුංචි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔය ගුවන් යානා ගැන කියද්දි ඒ අස්සෙම තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. හැබැයි මේ කතාව අසභ්‍යයි කියාවිද දන්නනෙත් නෑ. සමහරවිට මේ කතාව “මගේ සටහන” කියවන උදවිය අහල තියෙන්නත් පුලුවන්. ඔන්න එක්තරා දවසක ගුවන් යානයක් කන්දක හැප්පීම හින්දා අනතුරට පත් වුනා ලු. ඉතින් මේ යානයෙ ගිය අය අතරෙන් දහ දෙනෙක් මැරිලා ලින් චූ කියන චීන ජාතිකයා විතරක් ජීවිතේ බේර ගත්තලු. මේ අවාසනාවන්ත අනතුරෙන් ඒ ගුවන් යානයේ නියමුවා සහ කාර්ය මණ්ඩලයේ උදවියත් මිය ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රවෘත්ති වලට බොහොම උනන්දුවක් දක්වනවනෙ අපේ මාධ්‍ය ආයතන හෙවත් පත්තර , රේඩියෝ මහත්තුරු. ඉතින් ඔය අනතුරත් සිද්ධ වුන දවසෙ ගොඩක් පත්තර කන්තෝරු වල කට්ටිය උනන්දු වුනාලු ඔය ප්‍රවෘත්තිය පහුවදා පත්තරේ පල කරන්න. මේ අතරින් එක පත්තරේක ඒ වගේ විශේෂ සිද්ධි වාර්තා කරන කෙනා හිටපු නැති නිසා පත්තරේ කර්තෘ තුමා තීරණය කලා ලු අලුතින් සේවයට එකතු වෙච්ච මාධ්‍යවේදියෙක්ට මේ රාජකාරිය බාරදෙන්න.

ඉතින් මේ පත්තර මහත්තයත් බොහොම උනන්දුවෙන් ලෑස්ති වුනාලු ප්‍රවෘත්තිය ආවරණය කරන්න. ඔන්න ඉතින් මෙයා ඒ අනතුර වෙච්ච තැනට ඡායාරූප ශිල්පියෙක් එහෙම අරගෙන ගිහිල්ලා හොඳ පින්තූර ටිකක් එහෙම අරගෙන ඇවිත් බොහොම අපූරු විදිහෙ විස්තරයක් ලිව්වලු පත්තරේට. හරියට මේ අනතුර සිද්ධ වෙනවා ඇස් දෙකෙන් බලාගෙන හිටියා වගේ ලිව්වලු. කොහොම ලිව්වත් තාම අලුත් කෙනා නෙ. ඒක නිසා මාතෘකාව දැම්මලු මෙහෙම.  “ඊයේ සවස සිදුවූ බිහිසුණූ ගුවන් අනතුරින් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඇතුලුව පුද්ගලයින් දස දෙනෙක් මිය ගොස් ලින් චූ නම් චීන ජාතිකයාගේ පමණක් බේරේ” . ඔන්න ඒ පාර මේ ලිපිය බාර දුන්නලු පත්තරේ පිටු සකසන අයට. මෙතනදි තමයි පත්තරේක සාමන්‍යයෙන් පිටු වල ඉඩ තියෙන හැටියට, පුවතේ වැදගත් කම අනුව පල කරන්න සකස් කරන්නෙ. ඉතින් මේ පිටු සකසන උදවියට සිද්ධ වෙනවා සමහර විට හෙඩිම දිග වැඩි නම් ටිකක් සකස් කරන්න එහෙම.  ඔන්න මේ උදවිය බලන කොට හෙඩිම බොහොම දිග වැඩියි. හදිස්සි ප්‍රවෘත්තියක් නිසා පල කරන්නත් ඕන. ඒ වුනාට ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් තියනවා. අන්තිමේ දී ටිකක් වෙල් කල්පනා කරලා ඒ අය තීරණය කලා ලු මාතෘකාව කොට කරන්න. ඉතින් එහෙම කරලා ගුවන් යානා අනතුර ගැන පහුවදා පත්තරේ පල කලා ලු. පහුවදා පත්තරේ ගුවන් යානා අනතුර ගැන හෙඩිම තිබ්බලු මෙන්න මේ විදිහට.

“ගුවන් අනතුරින් චූ බේරේ”

ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ. මම දන්න තරමින් මේක ඇත්ත කතාවක් නෙවෙයි. ප්‍රබන්ධ කරපු කතාවක්. 🙂 ඉතින් අතුරු කතාවකට ගිහිල්ලා මගෙ ප්‍රධාන කතාව මග ඇරුණනෙ. ඇත්තටම ගුවන් යානයේ යන එක ගැන පුංචි තිගැස්සමක් තිබුනා. මගෙ ගමනට ආසන්න කාලයෙදි ප්‍රංශ ගුවන් සේවාවෙ යානයක් අනතුරට පත් වෙලා සියලුම දෙනා මිය ගියා. කවදාවත් ගිහින් නැති ගමනක් යන එකේ එහෙම දැනුනු එක පුදුමයකුත් නෙවෙයි.

ගමනට සූදානම් වෙද්දිත් තිබුනෙ හරි අවුලක්. අරගෙන යන්නෙ මොනවද, කොච්චර විය හියදම් වෙයිද කියන කිසිම දෙයක් ගැන හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි ඉතින් කාර්යාලයයෙන් ගමනට අවශ්‍ය විය හියදම් ඔක්කොම වගේ සපයපු නිසා ටිකක් බය ගතිය මග ඇරුනා. කොහොම හරි යන දවසත් ආවා. එදා ගුවන් තොටුපලට ගියෙ හරියට කාලෙකට ලංකාවෙන් පිට වෙලා ඉන්න යනවා වගේ.  ගමන යෙදිලා තිබුනෙ මහ රෑ. ඒක නිසා රෑ නිදා ගන්න ලැබුනෙත් නෑ.ගුවන් තොටුපල ඇතුලට ගියාම මට මැජික් වගේ.  එතන මහ රෑ වෙලාවෙත් සෙනඟ යන එන හැටි, සමුගන්න හැටි මම බලාගෙන හිටියෙ මොහොම ආසාවෙන්. ඒ වගේම එක එක රට වලට යන ගුවන් යානා වලට යන මිනිස්සු පෙල ගැහිලා ඉන්න හැටි, ඒ විස්තර රූපවාහින් තිර වල වැටෙන හැටි මං බලාගෙන හිටියෙ ලොකු කුතුහලයකින්. ඔය අස්සෙ මාව ගුවන් තොටුපලට ඇරලවන්න ආපු අපේ අම්මයි, ඥාතී සහෝදරයයි මට සමුදීලා යන්න ගියා. ඔන්න එවෙලෙ තමයි මට ඉස්සෙලම මොකද්දෝ තනිකමක් වගේ දෙයක් දැනුනෙ.

ඔය ගුවන් තොටුපලේ ඉන්න අතර වාරෙදි මට හම්බුනා ඉන්දියානු ශිෂ්‍යයො දෙන්නෙක්. ඒ අය ලංකාවෙ මොකද්ද වැඩ සටහනකට ඇවිත් ආපහු යන ගමන්. අපේ ගුවන් යානය එනකම් මම ඒ දෙන්නත් එක්ක කතාවට වැටිලා හිටියා. ඒ දෙන්නා ගෙ ලංකාව ගැන හිතපු දේවල් සහ ඉන්දියාවෙ ජීවීතේ ගැන අහපු එක මහ රෑ පාලුව නැති කර ගන්න උදව් වුනා.කලින් උපදෙස් ලැබිලා තිබුන නිසා අමාරුවක් නැතුව ගුවන් යානයට නැග ගත්තා. මම හිතා ගෙන හිටියෙ බස් එකක ගිහින් පඩි පෙලක් දිගේ ලොකු ගුවන් යානයක නගින්න තියේවි කියල. ඒ වුනාට අන්තිමට ගොඩනැගිල්ලක් අස්සෙන් ගිහිල්ලා ගුවන් යානෙට නැග්ගම මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා. මොකද මම හිතාගෙන හිටිය වගේ භාගයක් වත් නැති ගුවන් යානයක් ඒක. ඊට අමතරව දැනිච්ච දේ තමයි ඉන්දියාවට යන මගීන්ට අපේ ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩය කිසිම සුහදත්වයක් දැක්වුවෙ නැති එක. ඒ අයගෙ කතා බහයි හැසිරීම් රටාවෙනුයි හොදටම දැනුනා අපිට සලකපු හැටි.

ඔන්න ඉතින් ගුවන් යානෙ යන්න පිටත් වුනා. ඒ වෙනකොටත් මට නම් ටිකක් එපා වෙලයි තිබුනෙ. ඒ වෙලාවෙ පාන්දර 3.20 ට විතර. යන්තම් ගුවන් යානය ගමන ආරම්භ කරන්න ගත්තා. ඒ වෙලාවෙ නම් ටිකක් බය හිතුනා මුල්ම අත්දැකීම නිසා. අර ගුවන් යානේ පොලවෙන් ඉහලට ඉස්සුනාට පස්සෙ තමයි හිතේ තිබ්බ බය අඩු වෙලා ගියෙ.  හැබැයි ඊට වඩා අකරතැබ්බෙකට මූණ දෙන්න සිද්ධ වුනේ ගුවන් යානේ ඉහලටම නැගුනට පස්සෙ. මට ඉවසන්න බැරි කණේ කැක්කුමක් හැදුනා ඒ වෙලාවෙ. ජීවිතේට එහෙම කණේ වේදනාවක් හැදිලා තිබුනෙ නෑ. ඒක නිසා මගෙ මුල්ම ගුවන් ගමන හරිම වදයක් වුනා. ඒ වේදනාව කොයි තරම් තදට දැනුනද කියනවනම් මට හිතුනා ගුවන් යානය කඩා ගෙන වැටෙනවනම් හොඳයි කියල දැන්ම බිමට පහත් කරන්නෙ නැත්තම්.

එහෙම නම් ඉතින් ගමනෙ විස්තර ඊළඟ “මගේ සටහන” හරහා කියන බලාපොරොත්තුවෙන් මේ දිග හැරීම නතර කරනවා. නැවත හමුවෙමු.