සුනේත්‍රා සහ කතරගම

“මගේ සටහන” ආයෙමත් ගොඩ කාලයක් තිස්සෙ ලියවුනේ නෑ. ලියන්න හිත හිත හිටියට හරිම කම්මැලි කමක් දැනුන නිසා ලියවුනේ නෑ. එක වතාවක් ලියන්න පටන් අරගෙන අතරමග නවත්තල දැම්ම. එතකොට මේ ලියන්න හදන්නෙ හතලිස් වෙනි සටහන. හරියටම මාස දෙකකට විතර පස්සෙ. එහෙමනම් ඉතින් මගේ සටහනෙ හතලිස් වෙනි ලිපිය ආරම්භ කරනවා.

ලියන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න කොට ගොඩක් දේවල් මතක් වෙලා පස්සෙ අමතක වුනා. ඒ අස්සෙ මේ දවස් වල හිතේ තියෙන පොඩි ඉරිසියාවක් ගැන මතක් වුනා. ඒක ඇතිවුනේ සුනේත්‍රා එක්ක. සුනේත්‍රා කිව්ව සුනේත්‍රා රාජකරුණානායක මහත්මියට. සුනේත්‍රා ගෙ “මතක පොත” කියවල තමයි ඉරිසියාව හැදුනෙ. සුනේත්‍රා ලියන විලාසයට මම කොහොමත් ආසයි. ඒකේ තියෙන්නෙ කුතුහලය අවුස්සන හරි අපූරු ගතියක්. “මතක පොත” ලියල තියෙන්නෙ එයා ගෙ චාරිකා සටහන් මුල් කරගෙන. දැකපු දේවල්, හමුවෙච්චි මිනිස්සු ගැන ආදිය හරිම රසවත් විදිහෙ පෙල ගැවසීමක්. ඉතින් මේ ගෑණු මනුස්සයගෙ සවාරි ගැන කියවන කොට මටත් එහෙම ඇවිදින්න කරන්න තියෙනවනම් කියල හිතුන. ඒත් ඒකට අවස්ථාවක් දැනට නැති නිසා සුනේත්‍රා ගැන ඉරිසියාවක් තමයි හිතේ ඉතුරු වුනේ. 🙂 ඉතින් සුනේත්‍රා ගෙ කතාව කියවපු දවස් වලම කතරගම යන්න ලැබුනා. ඉතින් පොතේ තිබ්බ චරිත එක්ක මග දැකපු දේවල් ගලප ගලප තමයි ගමන ගියේ.  ඒක නිසා කතරගම ගමන් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.

ඔය කතරගම යන එක මට නම් මහ කම්මැලි වැඩක් දැන්. ඉස්සර වගේ කුතුහලයක් නෑ නෙ.ඉස්සෙල්ලම කතරගම චාරිකාවක ගියෙ කොයි කාලෙද කියන එක නම් හරියට මතක නෑ. හැබැයි හයේ පන්තියෙ දි ගියා මතකයි. ඒ ගමන ගියෙ මමයි, අම්මයි විතරයි. ඒ අම්මගෙ කාර්යාලේ උදවිය එක්ක. කොහොම හරි ඊට සතියකට පස්සෙ තාත්තා මිය ගියා. ඔය ගමන අතරතුර මම දකින දේවල් ගැන පොතක ලියන්නෙයි කියල තාත්ත උපදසක් නම් දීල තිබුන. මට මතක විදිහට ඒ වැඩේ මම කලේ නැද්ද කොහෙද. ඊට පස්සෙත් කීප පාරක්ම කතරගම නම් ගියා. ගොඩක් වෙලාවට අපේ නෑදැයෝ එක්ක තමයි. ඒ ගමන් ගොඩක් ඒවා හරිම එක විදිහෙ ගමන්. ඒ කියන්නෙ මෙහෙමයි.

ඔන්න ගමන යන්න කලින් දවසෙ අපේ මහප්පා නිවේදනය කරනවා කට්ටිය ඔක්කොටම උදේ හතර හමාර පහ වෙනකොට පිටත් වෙන්න සූදානම් වෙන්න කියල. ඒක ඉතින් හරි අමාරු වැඩක් මට නම්. මොකද ගමනට කලින් දවසෙ නිදා ගන්නෙත් රෑ දහය පහුවෙලා. ඒකට හේතුව ඉතින් ගමන යන්න කලින් හැන්දෑවෙ ඉඳන් තමයි කලබලේට ඔක්කොම සූදානම් වෙන්නෙ. ඉතින් ගමනට අවශ්‍ය රෙදි ඇතුලු ආම්පන්න ලෑස්ති කරගෙන නිදා ගන්න කොට රෑ එකොළහට විතර. ඔන්න ඉතින් ආයෙ පාන්දර තුන හමාරේ ඉඳල නැගිට ගන්නව. ඔය ගමන් විනෝද චාරිකා වුනාට වෙහෙසකර චාරිකා කරගන්නත් අපේ අම්ම ල හරි දස්සයි. ඒ මොකද  පාන්දර නැගිටල උයනව දවල්ට කෑම අරගෙන යන්න. ඒක හරි මහන්සි වැඩක්. ඔය කෑම බීම , බඩු මුට්ටු අරගෙන අපි යනව පටන් ගන්න තැනට. ගොඩක් වෙලාවට ගමන පටන් ගන්නෙ අපේ ලොකු මම්මල ගෙ ගේ ගාවින්.

හැමදාම ඉතින් අපි පටන් ගන්න තැනට යනකොට මහප්පා පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලනවා. ඒ මොකද කට්ටිය පරක්කු නිසා. කොහොමටත් මනුස්සයා කුකුල් කේන්ති කාරයා. ඒක නිසා හරි අමාරුයි පොඩ්ඩ වැරදුන ගමන්. මේ ගමන යන කොට උයන්න භාජන , දර එක්ක අනම් මනම් ජාති අරගෙන යනව. ඉතින් විනෝද චාරිකාව කෙසේ වෙතත් අපේ නඩයෙ වැඩිහිටි ගෑණූ අය ඒක සුපුරුදු දින චර්යාව බවට පත් වෙනව. මොකද ගෙදර කරනව වගේ උදේ නැගිටල උයන පිහින එක තමයි කරන්නෙ. අන්තිමට විනෝද චාරිකාව ඉවර වෙලා ගෙදර එනකොට වැඩ කරපු මහන්සියයි , ගමන් මහන්සිය නිසා වෙනදටත් වඩා අමාරුයි.  අනෙ මන්දා ඉතින් එහෙම කරන්න හේතුව මොකද්ද කියල. ගොඩක් වෙලාවට අපි ගියෙ වෑන් වල තමයි. අපේ අම්ම ගෙ පැත්තෙ නෑදැයො ටික තමයි ගමනට එකතු වෙන්නෙ.

ඔය චාරිකා ඔක්කොම ගියෙ ගාලු පාරෙ තමයි. මෙදා පාරත් ඉතින් අපි සුපුරුදු විදිහට රෑ වෙනකම් ඇහැරගෙන ඉඳල පහුවදා උදෙන්ම පිටත් වෙන්න සූදානම් වුනා. වෙනද වගේ නෙවෙයි මෙදා පාර නම් උදේ කෑම උයන වැඩේ සිද්ධ වුනේ නෑ. ඒ අතරෙ මොකද්දො හේතුවකට මහප්පා කේන්ති අරගෙන හිටියා. ඒක ඉතින් එයාගෙ චරිතාංගයක්. ගමන පිටත් වුනේ ටිකක් සැප පහසු බස් එකක. මගින් රත්තනපුරේ හිටපු නෑදැ පිරිසකුත් එකතු කරගෙන උදේ කෑමත් අරගෙන තමයි ගියෙ. ඇඹිලිපිටිය හරහා ගිහිල්ලා හවස දක විතර වෙනකොට තිස්ස ට ගියා. කලින් වතාවල ගොඩක් වෙලාවට නැවතුනේ විශ්‍රාම ශාලා වල. වන්දනා නඩ වලින් කතරගම පිරිල තිබුණු වතාවක නවතින්න තැනක් හොයා ගන්න බැරුව ඒ පැත්තෙ ගෙදරක නවාතැන් ගන්නත් සිදධ වුනා. මෙදා සැරේ නම් කොළඹින් ම නවාතැන් වෙන් කරගෙන ගිය නිසා කරදරයක් වුනේ නෑ.

අපි නැවතුන සංචාරක බංගලාව එහා පැත්තෙ තිබ්බෙ තිස්ස වැව. එතනට ගිය ගමන් අපේ නඩේ කට්ටිය හිතාගෙන හිටියෙ වැවේ නානව කියල. හැබැයි වැවේ වතුර ටික දැක්ක ගමන් මම තීරණය කලා පුරුදු විදිහට ඒ බංගලාවෙම වතුර කරාමෙන් නාගන්නව කියල. මොකද ඒ තරම් පිරිසිදු වතුර ටිකක් තිබුනෙ. අන්තිමේ දී සැලැස්ම වෙනස් වෙලා දවල් කෑම එහෙම අරගෙන කිරින්දෙ යන්න පිටත වුනා. ඒක ඉස්සර නම් මට හරි ආස හිතෙන ගමනක්. මොකද්දෝ අපූරු සහගත බවක් තියෙනවනෙ. අනිත් එක ඉතිහාස ජනප්‍රවාද වලට සම්බන්ධ තැනක් නිසා. මෙදා පාර ගිය වෙලේ මට හිතුනෙ ගිනි අව්වෙ බැහල එතන බලන්න යනවට වඩා වාහනේට වෙලා හිටිය නම් සැපයි කියල. ඒත් ඉතින් අපේ කට්ටිය එක්ක මමත් ඇදිල ගියා. ඔය යන අතරෙ අපේ නඩේ හිටපු පුංචි ඈයෙක් වැලි අවුස්ස අවුස්ස ඉරි අඳිනව. මට එක පාරටම වැඩේ නවත්තන්න කියන්න හිතුනත් අපිත් පොඩි කාලෙ එහෙමනෙ කියල මතක් වෙලා නිකං හිටිය.

කිරින්දෙ ගමන ඉවර වෙලා මග එනකොට රෑට උයන්න මෑ කරල් ගන්න ඕනෙ කියල අපේ වැඩිහිටි පිරිස තීරණය කලා. ඉතින් එක තැනක අපේ වාහනේ නවත්තල බැලුවා. වැඩේ කොයි තරම් ලාබද කියනවනම් කිලෝ එකක් දෙකක් අරගෙන එන්න ගිය අපේ කට්ටිය ආවේ ගෙවල් වලට අරගෙන යන්නත් එක්ක මෑකරල් ගෝනියක් අරගෙන . 🙂 කොහොම හරි ආයෙ තිස්ස ටවුමට ඇවිත් අපි නිකමට වගේ ගණං අහල බැලුවම අපි ගත්ත ගාන වගේ දෙගුණයක් මිල කිව්වා කිලෝ එකකට. ගමනෙ අරමුණ කෙසේ වෙතත් එළවලු ටිකක් පටව ගත්ත නම් ගානක් හොයා ගන්න තිබුනයි කියල අපිට හිතුනෙ.

ඊට පස්සෙ ඉතින් කට්ටිය හවස තිස්ස වැවේ නෑවා. කරුවල වැටිල තිබුන නිසා වතුරෙ පිරිසුදු කම නම් පෙනුනෙ නෑ අපේ අයට. රෑ තමයි අපි ඉතින් කතරගම දේවාලෙට ගියෙ. අපි වාහනෙන් බහින කොටම පූජා වට්ටි විකුණන අය අපිව පිළි ගත්තෙ හරියට අවුරුදු ගානක ඉඳල දැන හැඳුනුම් කම් තියෙනව වගේ. අපරාදේ කියන්න බෑ ඒ අයගෙ සේවාව නම් සවුත්තුයි. කේන්ති යන වැඩක් තමයි ඒක. ඔය දේවාලෙ ට යන එක මට එතරම් උනන්දු සහගත වැඩක් නොවුනට මම ආස කරන දේවල් කිහිපයක් තියෙනව. එකක් තමයි පූජා වට්ටි වල තියෙන පලතුරු කන එක. ඒකේ හරි අපූරු ගතියක් තියෙනව. අනිත් වැඩේ අර කාවඩි නැටුම් බලන එක. ඔය එක එක බාර හාර වෙන උදවිය තමයි නටන්නෙ. ඒක හරි අපූරු ආසාවක් ඇති කරන වැඩක්. ඒ සංගීතෙට මටත් නටන්න ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා. හැබැයි අපි ගිය දවසෙ තිබුන පෝලිම කොච්චර දිගද කියනවනම් අපිට ඇතුලට යන්න අවස්ථාවක් ලැබුනෙත් නෑ. ඒ හිටපු සෙනඟ ගොඩේ අපේ කට්ටිය මග අරගන්නෙ නැතුව හිටියෙ හරි අමාරුවෙන්.

තවත් ගොඩක් දේවල් තියෙනව ලියන්න මතක් වෙන. කොහොම වුනත් කාලෙකට පස්සෙ ලියපු “මගේ සටහන” ලියපු ප්‍රමාණය ඇති කියලයි හිතෙන්නෙ. එහෙමනම් නැවත හමු වෙමු.

Advertisements

9 thoughts on “සුනේත්‍රා සහ කතරගම

  1. මම ආස කරන දේවල් කිහිපයක් තියෙනව. එකක් තමයි පූජා වට්ටි වල තියෙන පලතුරු කන එක. ඒකේ හරි අපූරු ගතියක් තියෙනව.

    ඔව් ඇත්තට ඒකත් මරු තමයි

  2. ආයෙත් ලියන්න ගත්තු එකනම් ඉස්තරම්, ඔන්න මල්ලි මගේ පොරොන්දුව. කියෙව්වා එක හුස්මට,අතීත මතක ගොඩක් දිග හැරුණා. මොකද කතරගම හා බැඳුනු ජිවිත අත්දැකීම් බොහෝමයක් තියෙනවා. හැබැයි දේවාල සහ දේව සංකල්ප කොහොමත් බැහැර කරලා නිසා දේවලෙට යන්නේ නෑ.අපි කතරගම යන්නේ කිරිවෙහෙරට. කිරිවෙහෙර අභියස ඉස්සර මහ රෑ ඉඳන් එළි වෙන තුරු ධර්ම සාකච්ඡා කරනවා. දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ නතර වුනේ බොහෝ වෙලාවට. වෙන අනෙක් බෞද්ධ පුදබිම් වගේම කිරිවෙහෙර තිස්සමහාරාමය වඳින්න යන එක හරිම සුන්දර ගමනක්. තිස්ස මහාරාමය ලඟ තිබුන කොහොඹ ගහේ බාගයක කොළ තිත්ත නැතිය කියනවා, කතරගම කිරිවෙහෙර භූමියෙදී කොහොඹ ගහක් දැකලා,කොහොඹ ගෙඩියක් කටේ දාගත්තු ලොකු අක්කා, තිත්ත නෑ කිව්වම, අපිත් ඉතින් කෑවා පටස් ගාලා. තිත්තම තිත්තයි. පුදබිම් දැන් ව්‍යාපාරික ස්ථාන වෙලා, නොයෙක් ලෞකික සැපසම්පත් භව බෝග වස්තු ලබාගන්න මිනිසුන් නොකරන දෙයක් නෑ. ඔයා දකින්න ඇතිනේ. අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආශාවක් , මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ! තමයි කියන්න තියෙන්නෙ.

  3. ඔබේ සටහන කියෙව්වම මටත් අතීතය සිහියට නැගුනා. මම ඉස්සරවෙලාම කතරගම ගියේ 1955 අවුරුද්දෙ. කවුරුත් කතරගම යනව කිය කිය යන නිසා මමත් තාත්තට වද කරල ගියා. යනකොට තාත්තා ඉස්සර කාලෙ කතන්දර කිය කිය ගියා. තාත්තා ඉස්සර ගිහින් තියෙන්නෙ කරත්ත වලින්. සෑහෙන නඩයක් යනවලු. කරත්ත තුනක් පමණ. රෑ හරියෙන් පටන් අරගෙන එලිය වැටෙන්න කිට්ටුව කිවුල කියන ප්‍රදේශයට ලඟා වෙනව. කිවුල තාත්තට හරි මතක තියෙන තැනක්. තාත්ත ගුරුවරයෙක් හැටියට පුහුනු වෙලා ඇවිත් කිවුල ඉස්කෝලෙ ඉස්සෙල්ලම ඉගැන්නුව නිසා. කිවුලෙදි නැවතිල, ගොන්නු ලිහල, උයල කාල ගිමන් නිවා ගෙන ආයෙත් හැන්දෑවෙ ගමන් පටන් ගන්නව. ඒ ගමන ගිහින් තිස්ස නතර වෙනවලු. තිස්ස ඉඳල ආයෙත් රෑ යන්න පටන් ගන්නෙ. තිස්ස කතරගම පාරෙ තාර දාල නැහැ. පාරෙ අයිනට යන කොට කටු ඇනෙනවලු. දැන් වගේ ගෙවල් දොරවල් පාර අයිනෙ තිබුනෙ නැහැයිලු, අලි ඉන්න වනාන්තරේ. තාත්ත නම් අපි බෞද්ධයො කියල එච්චර කතරගම ගැන ශ්‍රද්ධාවක් තිබුනෙ නැහැ. නමුත් ඒ කාලෙ ගිහින් තියෙන්නෙ බොහොම ශ්‍රද්ධාවෙන් බවයි පෙනෙන්නෙ. 1955 දි කතරගම පාරෙ තාර දාල තිබුනෙ. මට එකක හොඳට මතකයි. හම්බන්තොට ලේවාය පහුකරල හැතැප්ම දෙකක් යනකොට කටුපඳුරු කැලෑව අතරෙන් වල් අලියෙක් පාර පනිනව. එතකොට අද වගේ පූජනීය පෙදෙසක් වෙන් කරල තිබුනෙ නැහැ. දේවාලෙ දොරටුව අයිනෙත් පුජවට්ටි විකුනන කඩවල්. ජනප්‍රවාදයෙ එන කථාවකුත් තාත්ත කියනව මතකයි. දුටුගැමුණු රජතුමා, යුද්දෙන් දිනල ඇවිත් මහා ශක්තිමත් පුරුශයෙක් දේවාල භූමියෙ ඉන්ඳල හූවක් කිව්වලු. ඒ හූව ඇහුන තෙක් භූමිය කතරගම දේවාලයට පූජ කරාලු. ඒ භූමියලු දැන් ඌව වෙලා තියෙන්නෙ. තාත්තගෙ අත්දැකීම්, මගේ අත්දැකීම් සහ අද කතරගම ස්වභාවයත් දැක්කම බුදුන්වහන්සේ කියන දේවල් කොපමණ සත්‍යදැයි කියල හිතෙනව. කාලයෙන් කාලයට දේවල් වෙනස් වෙන හැටි!!

  4. ම් ම් කාලේකට පස්සේ ලියපු හොද සටහනක්. මොනා උනත් සුනේත්‍රාවනං හොදට වැදලා තියෙනවා. මං කතරගම ගිහින් තියෙන්නේ එක පාරයි. ඒත් කිරින්දේ ගියේ නැ. මට මතක විදිහට 6දි නැත්තං 7 වසරෙදි අම්මත් එක්ක. දේවාලේ ඇතුලට ගියේ නැ. අපේ අම්මා දෙවියො අදහන්නේ නැ. ඒනිසා පුජා වට්ටිත් නැ පුජා වට්ටි‌යේ තිබුනු පලතුරු කන්න විදියකුත් නැ. ඒත් මං හරි අසායි ඒ පුජා වට්ටිවල තියෙන පලතුරු වලට. හිත ඇදිලම ගිය තැන තාමත් මතක් වෙනවා කිරි වෙහෙර. ඉඩක් ලැබුනොත් ආයේ ගිහින් එන්න යන්න ඔන. කොහොම නමුත් දැං ඔය දේවාලේ අවට තියෙන ‌නිර්නාමික ආර්ථ්ක මධ්‍යස්ථානයට අපි කවුරුත් අකමැති බව පේනවා. ඒත් ඒකෙන් තවත් බඩක් පිරෙනවා නං අපිට මුකුත් කියන්නත් බැ නේද? අනික හැම දේම මුදල් මත තීරණය වෙච්ච කාලේ ඔක විතරක් වෙනස් වෙන එකකුත් නැ.
    හරි අගෙයි සටහන. 🙂

  5. අපොයි මමත් අන්තිමටම කතරගම ගියපු ගමනෙන් මට කතරගම එපාවටම එපා වුනා.. පුජා වට්ටි ගැන කථා කරලා වැඩක් නෑ.. සටහන කතරගම ගමන් කීපයක්ම මතක් කලා.. ස්තූතියි.

  6. මමත් වතාවක් දෙකක් විතර කතරගම ගිහින් තියෙනවා. හැබැයි ආයෙත් නම් ගියේ නැහැ. යන්න අවස්ථා හම්බවුනත් ගියේ නැහැ. ඔය ගැන මට තියෙන්නේ කලකිරීමක්.
    කොාහාම වුනත් ආපහු ලියන්න ගත්තු එක නම් ලොකු දෙයක් 🙂

  7. කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
    කිරි වෙහෙරේ මලුව වටේ පහන් වැටම නිවිලා…කියලා කිය කිය ගියේ නැද්ද ?
    මං පොඩිම පොඩිම පොඩි කාලෙ අපි කිරින්දේ ගිහින් සල්ලි දීලා ලවුඩිස්පීකරෙන් අක්කාගෙ නම කියන කොට ලැජ්ජා හිතිලා අලුතෙන්ම ගත්තු රබර් සෙරෙප්පු දෙකත් කිරින්දේ ගල් පොත්තේම දාලා ආපුහැටිනම් මතකයි.. ඉස්සරෝම ඉස්සර අපිත් කීප පාරක් කතරගම ගියා. කනේරු මල් පිපුණ ගස් පිරුණ තැනක ගෙස්ට් හවුසියක නිදාගත්තත් මතකයි… ආයෙ යන්න ආසයි..ඒත් යැවෙන පාටක් නැහැ.. මහ රෑට මැණික් ගඟෙන් නාලා කිරි වෙහෙර වැන්දත් මතකයි..ඒවා දැන් හීන..
    ආ..ඔය චාරිකා සටහන් ලියන්න මාත් වරක් පාට 4ක පොතක් ගත්තා.. ඒත් පොතනම් හිස් තාම.. සුනේත්‍රාගෙ පොත්වල ඇවිදින කොට ලියන්න හිතෙන්නේ නෑ..අපිට කියන්න හිතෙන බො‍හොමයක් දේවල් එයා ලියලා තියෙනවානෙ.. ඉතින් මහන්සිවෙන්නෙ මොකටද කියලා හිතෙනවා 😀 .. ආයෙ ලියපු එකමනම් ‍හොඳයි..

  8. කාලෙකට පස්සෙ මගෙ සටහන ලියලා තියනවා දැක්කම ගොඩක් සතුටුයි. කියවන්නම ඕනා හින්දා උදේම කියෙවුවා. ලස්සනට ලියලා තියනවා හැමදාම වගේ. කම්මැලි වෙන්නෙ නැතුව ලියන්න..:)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )