තාප්පෙ අයිනෙ

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් අටවෙනි සටහන. ගිය සතියෙ සටහන නම් ලියන්න බැරිවුනා. ඒක ට හේතුව නම් ඉතින් කම්මැලි කම මිසක් වෙන දෙයක් නම් නෙවෙයි. සතියම ගෙදර හිටියට ලියාගන්න බැරි වුනා. ඒ මදිවට මේ සතියෙ අසනීප වුන නිසා ලියම්දො නොලියම්දො කියල හිත හිත ඉඳල තමයි වැඩට බැස්සෙ. එහෙමනම් ඉතින් මේ සතියෙ සටහන මෙතැන් සිට.

අන්තිමට ලියපු සටහනෙදි කිව්වනෙ බෝල ගහන්න ගිහිල්ලා අපිට සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන. මුල දවස් වල ඉතින් ගල් බීත වෙලා හිටිය මිසක් මුකුත් කලේ නෑ ඒ ගැන. කොහොම හරි ඔය ගල් බීත  වෙලා හිටපු ස්භාවයේ තරම කොතරම්ද කියනවනම් හය වසර පන්ති වලින් එහාට ඇවිදින්න යන්නෙත් නෑ වැඩිපුර.  කොහොම හරි ඉතින් හත වසර , අට වසර එහෙම මුකුත් නොකරම ගෙවිල ගියා. ඔයින් මෙයින් අපි මුලින්ම හිතේ හැටියට සෙල්ලම් කරන්න පටන් ගත්තෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ තමයි. ඒක වුනේ මෙහෙමයි.

නවයෙ පන්තිය අවසාන වෙනකම් මම ඉස්කෝලෙ ආවෙ ගියෙ වෑන් එකක. සාමාන්‍යයෙන් පාසල් වෑන් රථ වල ගොඩක් ඉස්කෝල වලින් ලමයි එකතු කරගන්න තියෙනවනෙ. ඒක නිසා සමහර ඉස්කෝල ළඟට වැන් රථ එන්නෙ පරක්කු වෙලා. ගොඩක් වෙලාවට මම ගියපු වෑන් රථය ආවෙ ඉස්කෝලෙ ඇරිල විනාඩි හතලිහකට විතර පස්සෙ.  පාසල් වෑන් රථය එනකම් බලාගෙන ඉන්න කොට මුල කාලේ හරි අමාරු වැඩක් වුනා. ඒත් ඉතින් ඔය වගෙ තම තමන්ගේ පාසල් වෑන් රථ එනකම් බලාගෙන ඉන්න ළමයි එකතු වෙලා ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තා.

එතකොට තමයි මුලින්ම අපිට නිදහසේ සෙල්ලම් කරන්න ලැබුනෙ. මොකද ළමයි ගොඩක් හිටියෙත් නැහැ. අනිත් එක එතන සෙල්ලම් කරන්න ආවෙත් එච්චර ප්‍රබල ක්‍රීඩකයො නෙවෙයි. අපි සෙල්ලම් කලේ ඔය රීඩ් මාවත පැත්තෙන් එනකොට අපේ ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවට කලින් හමුවන ඉස්කෝලෙ තාප්පය සහ මාර්ගය අතර තීරුවෙ. පාසල ඇතුලෙ ඒ වෙලාවට නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ තිබුණත් පාසල් වෑන් රථය ආවම දුවගෙන යන්න වෙන නිසා තමයි එතන තෝර ගත්තෙ.

ඉතින් ඉස්කෝලෙ හමාර වෙච්ච හැටියෙම අපි ඔය තාප්පය අයිනට දුව ගෙන එනව. ඇවිල්ලා අපේ බෑග් ටිකයි , වතුර බෝතල් ටිකයි තාප්පෙ අයිනෙ පැත්තක ගොඩ ගහනව. කඩුල්ල හැටියට තෝර ගන්නෙ තාප්පයෙම කොටසක්. ඒ තාප්පය දැකල තියෙන කෙනෙක ඉන්නවනම් මම මේ කියන දේ හිතා ගන්න පුලුවනි. ඒ තාප්පෙ කොටස් තියෙනවා අනිත් කොටස් වලට වඩා ඉදිරියට නෙරා ආපු. අන්න ඒ වගේ කොටසක් තමයි අපි විකට් එක හැටියට තෝර ගත්තෙ. කවුරු හරි ළමයෙක් පිත්තක්, බෝලයක් අරගෙන එනවා. ඉතින් ඉස්කෝලෙ ඇරිලා විනාඩි පහක් යන කොට කට්ටිය එතනට රැස් වෙලා සෙල්ලම පටන් අරගෙන ඉවරයි.

අපි එතන කලේ ඔය ළමයි අතර ගොඩක් ජනප්‍රිය “වන් බම්ප්” කියන සෙල්ලම. ඒ කියන්නෙ උඩ පන්දු වලට අමතරව එක පාරක් බිම පතිත වෙලා එන පන්දු අල්ල ගත්තත් දැවී යාමක් හැටියට සැලකෙනවා. මේක බොහොම ඉවසිල්ලෙන් කරන්න ඕන සෙල්ලමක්. මොකද කලබල වුනෝතින් හරි අමාරුයි. ලොකු පාරවල් ගහන්න ගියෝතින් එහෙම වැඩේ අමාරුයි. පුලුවන් තරම් තට්ටු දාගෙන විකට් එක රැක ගන්න ඕන. අනිත් එක සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන කොට වඩා හරි කල්පනාවෙන් පුලුවන් තරම් පොලවෙ පන්දුව කෙටෙන විදිහට තමයි පන්දුවට පහර දෙන්න ඕන.

ඊට අමතරව අපිට තිබුනු බාධකය තමයි අපි සෙලලම් කලේ පාර අද්දර වීම. ඒක නිතර දෙවේලෙ වාහන ගමන් කරන පාරක්. ඒක නිසා ලොකු පාරවල් ගහන එක නවත්තන්න අපි යොදල තිබුන උපක්‍රමයක්. ඒ තමයි කෙලින්ම පාරට වැටෙන ලෙස පහරක් එල්ල කලොත් ඒ ක්‍රීඩකයා දැවී ගිය කෙනෙක් විදිහට සලකන එක. ඒ වුනත් සමහර වෙලාවට ඉවසීම නැති වුනාම අපි අතින් ඔය වගේ පාරවල් එල්ල වෙනවා. තවත් සමහර වෙලාවට පන්දු රකාන ළමයි අතින් හරියට අල්ල ගන්න බැරි වීම නිසා පන්දුව පාරට යනවා. ඒ වෙලාවට තමයි ඉතින් අපිට සංසාරෙ එපා වෙන්නෙ. මොකද වාහන ගමන කරන අතර පතර රිංගල ගිහිල්ල පන්දුව අහුල ගෙන එන එක ටිකක් අවදානමක් තිබුන වැඩක්. සමහර වෙලාවට ගමන් කරන වාහන වලට අහුවීම නිසා පන්දුව තවත් ඈතට යනව. ඒ වෙලාවට ඉතින් හරි පරිස්මෙන්  යන්න වෙනව පන්දුව අහුල ගෙන.

හැබැයි ඉතින් ඔය මොන බාධක ආවත් අපේ ළමයි බොහොම සන්තෝසයෙන් තමයි ක්‍රීඩාවේ නිරත වුනේ. මොකද ගොඩක් වෙලාවට විවේක කාලයෙ දි සෙල්ලම් කරන වට වඩා පන්දුවට පහර දෙන්න සහ පන්දු යවන්න  ලැබෙන නිසා. ඔය සෙල්ලමේදි පන්දු යවන්නෙත් සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩා කරන කොට වගේ න්ම නෙවෙයි. අත සම්පූර්ණයෙන්ම කරකවල පන්දු යවන්නෙ නැතුව එක ඉරියව්වක ඉඳගෙන තමයි පන්දු යවන එක කරන්නෙ. ඒකට අපි කිව්වෙ “කොකා” පන්දු යවනව කියල. ඒ වචනය නම් හැදුන හැටි ගැන කිසිම අදහසක් නැහැ.

මේ සෙල්ලමේදී අපි පහර දෙන්නෙ ලකුණු රුස් කරන්න නෙවෙයි. පුලුවන් තරම් වෙල්වක් නඔදැවි පන්දුවට පහර දෙන එක තමයි කරන්න තියෙන්නෙ. එක අවස්ථාවක එක ළමයෙකුට විතරක් පන්දුවට පහර දෙන්න වෙන නිසා තමන්ගේ වාරය එනකම් පිළිවෙලට බලාගෙන ඉන්න වෙනවා. හැබැයි ඒ පිළිවෙල අපි තීරණය කලේ කොහොමද කියන එක නම් මට දැන් මතක නැහැ. ඒ කොහොම වුනත් සමහර වෙලාවට පන්දුවට පහර දෙන අතරමග දි හරි , පහර දීමේ අවස්ථාව ලැබෙන්න කලින් හරි පාසල් වෑන් රථය ආවොතින් ඔක්කොම පැත්තකින් තියල දුවගෙන යන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට බෝලෙ හරි පිත්තෙ හරි අයිතිකාරයගෙ වැන් එක ආවොතින් එතනින් සෙල්ලමට තිත තමයි. ඒ වෙලාවට ඉතින් බකං නිලාගෙන අපේ වෑන් එනකං බලාගෙන ඉන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

ඔය සෙල්ලම අපි කරපු තීරුව තනිකරම පස් වලින් විතරක් වැහිච්ච තීරුවක්. ඒක නිසා ඉතින් හොඳට දූවිලි නාගෙන තමයි ගෙදර යන්නෙ ළමයි ටික. ඒ දවස්වල ඇඳුම් හෝදන්නෙ අම්මා නිසා ගොඩක් වෙලාවට අහනවා මොකද ඒ හැටි දඟලන්නෙ කියල. ඒ මදිවට සපත්තු දෙක නම් තනිකරම දුඹුරු පාට වෙනකම් දුවිල්ලෙන් වැහිලා.  ඔය සෙල්ලම ඉතින් අපි අට වසරෙ අවසානය වෙනකම් විතර කලා. හැබැයි අපි නවයෙ පන්තියට වගේ එනකොට සෙල්ලමට ළමයින්ගෙ සහභාගිත්වය ටිකෙන් ටික අඩු වුනා. ඒක ට ගොඩක් හේතු තිබුනා. සමහර ළමයි පාසල් වෑන් රථවල යන එක නැවැත්තුවා. පොදු ප්‍රවාහන එහෙම භාවිතා කරන්න පටන් ගත්තා. තවත් සමහරු කම්මැලි කමටයි, දූවිලි පෙරාගෙන වෑන් වල යන්න බැරි කම නිසා සෙල්ලම නවත්තල දැම්මා. මොකද ඒ කාලේ ඔය වෙනත් දේවල් වලට අවධානය යොමු වෙන්න පටන් ගන්න කාලෙනෙ.

හැබැයි අපේ සමහර ළමයි හිටියා සාමාන්‍ය පෙළ පන්ති වලට යනකම්ම වගේ ඔය සෙල්ලම කරගෙන ගියපු. මම නම් නවයෙ පන්තියට යනකොට සෙල්ලමට සමුදෙන්න තිරනය කලා. ඒකට හේතු වුනේ කලින් කියපු දෙවනි හේතුව තමයි. අනිත් එක අපේ උනන්දුව අඩු වෙලා තිබුනෙ ඒ කාලෙ. ඔය කාලෙ ඔය සෙල්ලමේ නිරත වෙච්චි එකම ළමයි කාණ්ඩය අපි විතරක් නෙවෙයි. ඔය වගේ තාප්පය දිගටම අයිනක් අල්ල ගෙන ලමයි රංචු ඔය සෙල්ලමේ නිරත වුනා. දැන් නම් ඉතින් ළමයි ඔය සෙල්ලම කරනවද දන්නෙ නැහැ. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගිහිල්ලා බැලුවොතින් තාමත් සමහර විට පොඩි එවුන් ක්‍රීඩා කරනවා ඇති. ඔය ” වන් බම්ප්” සෙල්ලමට අපි කොයිතරම් ඇබ්බැහි වෙලා හිටියද කියනවනම් බිග් මැච් එක බලන්න ළමයි යන්නෙත් බෝල , පිති අරගෙන. මොකද එක දිගට තරඟය බලන්න කම්මැලි නිසා එස්.එස්.සී ක්‍රීඩා පිටියෙ ඉඩ ඇති කොනක සෙල්ලම් කරන්න. හැබැයි ඉතින් අපේ ශිෂ්‍ය නායකයො විටින් විට ඇවිල්ලා බාධා කරනවා තරඟය නරඹන්න බල කරල.

එහෙමනම් ඉතින් මේ සතියේ “මගේ සටහන” හමාර කරනව. ලබන සතියේ නැවත හමුවෙමු.

Advertisements

5 thoughts on “තාප්පෙ අයිනෙ

  1. හෙහේ පොඩ්ඩක් සලකා බැලුවොත් නරකද ඔය වන් බම්බ් සිස්ටම් එක ලොක ක්‍රිකඩ් නීතී පද්දතියටත් ඇතුලත් කරන්න :p

  2. මරු “වන් බම්ප්” සෙල්ලම. හැමදාම වගේ ලස්සනට ලියලා තියනවා.. කියවන්න ආසා හිතෙනවා.. Comment දාන්න පරක්කු වුන එක ගැන කණගාටුයි..

  3. @ මලී මසාජ් – ඔව් ගෘහස්ථ ක්‍රිකට් වල ඒ නීතිය ඇතුලත්.

    @ දිල්ෂි – ස්තූතියි ප්‍රතිචාරයට

    @ කසුන් – අනිවාර්යයෙන්ම

    @ සිතුවිලි – ස්තූතියි ප්‍රතිචාරයට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )