බෝල ගැහිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හත් වන සටහන. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබිල තිබුනා. ඒ කරපු වැඩේ නම් ඉතින් මොනව වුනත් අනුමත කරන්න බැරි වැඩක්. මොකද අපි විනෝද වෙන්න අනිත් මිනිස්සුන්ට වද දෙන එක ඒ තරම් හොඳ වැඩක් නොවන නිසා. එහෙමනම් ඉතින් මේ සියෙ සටහන මෙතන සිට ආරම්භ කරනවා.

ඉස්කෝලෙ යන කාලෙ ගිය විනෝද චාරිකා නම් හොඳට මතකයෙ තියෙනවා. ඒවට මුල කාලේ කියන්නෙ අධ්‍යාපන චාරිකා කියලනෙ. මට මතක තියෙන පලවෙනි චාරිකාව ගියෙ මම හතරෙ හරි තුනේ පන්තියෙ හරි ඉන්න කොට. එතකොට මම ඉගෙන ගත්තෙ බප/කඩ බැප්ටිස්ට් විද්‍යාලයෙ. කොහොම හරි අපේ අධ්‍යාපන චාරිකාව ගියේ කොළඹ ට. කොහොම හරි ලොකු බස් එකක් එකක් අරගෙන තුනේ පන්තියෙ ළමයි  ටික පටවගෙන ගමන පිටත් වුනා. මට මතක නෑ හරියටම තුනේ පන්තියෙ ළමයි විතරද ගමනට එක්ක ගෙන ගියෙ කියල. කොහොමටත් මුලු ඉස්කොලෙටම යන්න බස් තුනක් තිබ්බ නම් හොදටම ඇති. මොකද ඉස්කෝලෙ හිටිය ළමයි ගාන 250 යි. මම ශිෂ්‍යත්වෙ සමත් වෙලා ගියහම අපේ 6 වසර පන්ති වල විතරක් ළමයි පන්සීයකට වැඩිය හිටියා අලුත් ඉස්කෝලෙ. මාව නිකං කරකවල අත ඇරියා වගේ වුනා. කොහොම හරි ඉතින් අපේ නියමිත දවසෙ උදේම පිටත් වුනා. අපි මුලින්ම ගියේ ග්‍රහලෝකාගාරය බලන්න. මට නම් ඒක මැජික් වගෙ . මොකද ඒක ඇතුලෙ අඳුරු කරල, අහසෙ තාරකා ගමන් කරන හැටි පේනවා. එක එක ජාති ගොඩයි. මට හිතා ගන්න බැරිවුනා මේවා කොහොමද පෙන්නන්නෙ කියල. හැබැයි අපරාදෙ කියන්න බෑ එදා ඒ කියල දුන්න ඒවා මෙලෝ හසරක් මට එවෙලෙ තේරුණේ නෑ . ඒ වුනාට ඉතින් මම කට පියාගෙන ආවා.

ඊට පස්සෙ අපිව අරගෙන ගියෙ කෞතුකාගාරයට. ඒකෙත් තිබ්බ දේවල් දැකල පුදුම වුනා මිසක් මට ඒ හැටි දෙයක් තේරුනේ නෑ. හැබැයි එතන ඉඳගෙන තමයි අපි දවල්ට කෑවේ. ඒ අතරෙ ඉතින් කොළඹ වට පිට බලන එක තමයි වැඩේ වුනේ. හැබැයි මම ගියපු ආසම තැන වුනේ වරායට ගිය එක. අප නැව් තටාකයට ගිහින් විසාල නැවක් නවතතල තියෙනව බලාගෙන හිටියෙ කටවල් ඇරගෙන. කොහොම වුනත් කලින් අවසර අරගෙන තිබුනෙ නැති නිසා නැවකට ගොඩ වෙන්න බැරි වුනා. ඒක ගැන තමයි අපි වැඩියෙන්ම දුක් වුනේ. ඔය තැන් වල සවාරි ගහල හවස් වෙද්දි අපි ගෙවල් වලට ආවා. හැබැයි ඔය ගමනට අපේ තාත්තා සහභාගි වුනා. මොකද ගුරුවරුන්ටය අමතරව දෙමව්පියො කිහිප දෙනෙක් එක්ක ගෙන යන එක සිරිතක් වෙලා තිබුන නිසා. ඉතින් ගමන ගිහින් ඇවිත් තාත්තා ඇහුවා “කොහොමද ගමන ” කියල. මම කිව්වා ඉතින්  ග්‍රහලෝකාගාරය බලන්න ගියාට මට මෙලෝ මඟුලක් තේරුනේ නෑ කියල. ඒ පාර ඉතින් තාත්තා මොනවත් කියන්න ගියෙ නෑ. හැබැයි ලස්සන වැඩේ කියන්නෙ තුන වසරෙදි ගියාට පස්සෙ මම ග්‍රහලෝකාගාරයට ආයෙ අඩියක් වත් තියල නෑ. වරාය ගැනත් ඒ ටිකම තමයි. එකම එක වතාවක් කෞතුකාගාරයට ගියා කරන්න වැක් නැති වුන දවසක. මම දන්න තරමින් දැන් නම් ඉස්කෝල ළමයින්ට වත් වරාය නරඹන්න දෙන්නෙ නෑ ආරක්ෂක හේතු නිසා. ඒක නම් බොහොම කණගාටුවට කරුණක්. මොකද අපි හරියට විස්මයට පත් වෙච්ච තැනක් තමයි වරාය.

ඔය ගිය සතියෙ කිය කිය හිටපූ තක්කඩි කම් ගැන මතක් කරන කොට තව එක එක දේවල් මතක් වුනා. සමහර ඒවා දැන් මතක් වෙනකොට හිනා යනවා. මම කිව්වනෙ හය වසරට ගිය මුල්ම කාලෙ මම හිටියෙ අන්ද මන්ද වෙලා කියල. මොකද ඉස්කෝලෙ හරි විසාලයි. හය වසර පන්ති ඔක්කොම දා හතරක්ද කොහොදෙ තිබ්බා. මම හිටපු ඉස්කෝලෙ තිබුනෙ පන්ති දහයයි එකේ ඉඳන් පහ වෙනකම්ම. හැබැයි හය වසර පන්ති තිබුනෙ ටිකක් සිත් ගත්ත වටා පිටාවක. අපේ පන්ති කාමර වලට ඉස්සරකහ තමයි අති සුප්‍රසිද්ධ නව රඟහල තිබුනෙ. සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන ප්‍රසිද්ධ රංග පීඨයක් තමයි නව රඟහල. කොහොම හරි අපි හිටපු හය වසර පන්ති සහ නව රඟහල අතර තිබ්බා තීරුවක්. මේක අරලිය ගස් එහෙම වවල හොඳට හෙවන තියෙන තැනක්. විවේක කාලෙට සනීපෙට ඉන්න කියාපු තැන.කොහොම හරි අපේ ශිෂ්‍යයයො විවේක කාලෙදී සෙල්ලම් කරන්න යොදා ගත්තෙ ඔය තීරුව තමයි.

ඉතින් ඔය තීරුවෙ ක්‍රිකට් ගහන එක තමයි ප්‍රධාන වැඩේ. ළමයි බැට් , බෝල එහෙම ගෙවල් වලින් අරගෙන එනවා. මට ඉතින් ඒකත් මැජික් වගේ. මොකද බොහොම කලාතුරකින් තමයි අපි පොල් පිති වලින් හදපු පිත්තකින් ඇර වෙන පිත්තකින් සෙල්ලම් කලේ. මම ඉතින් මුල දවස් වල කලේ බලාගෙන හිටපු එක. වැරදිලාවත් සෙල්ලමට යන්න හිතුවෙ නෑ. ඔහොම ඉන්න කොට විවේක කාලෙ දී එක දවසක් මම කොහේ හරි පැත්තකට දුවන ගමන් ළමයි කට්ටියක් සෙල්ලම් කර කර හිටපු තීරුවක් මැදින් දුවන්න හැදුවා. එවෙලෙ පන්දුවට පහර දෙමින් හිටියෙ තඩි ඇඟක් තියෙන මගෙ වයසට සාපේක්ෂව වැඩුණු ශරීරයක් තිබුනු ළමයෙක්. මම කරපු ක්‍රියාවට කෝපයට පත් වුනු පාර එක පාරමට මාව ඇදල ගත්තා. ඇදල අරගෙන විතරක් නැවතුනේ නෑ. මගෙ කමිස කෙලවරෙන් අල්ලල උඩට උස්සල තර්ජනය කලා “මීට පස්සෙ මැදින් පැන්නනොත් බලා ගනිං” කියල. ඇත්තටම කියනවනං මාව පොළවෙන් අඟල් හය හතක් උඩට ඉස්සුනා. මම ත් ඉතින් බය වුනා මදි නොකියන්න. මොකද ඉස්කෝල වෙනසයි, විශාලත්වයයි හින්දා කොහොමටත් තෝන්තුවෙන් වගේ හිටපු කාලයක් ඒක. ඒ පාර මාව බිමින් තිබ්බා විතරයි මම පස්ස බලන්නෙත් නැතුව පැනල දිව්වා. ඔය ක්‍රියාව කරපු ළමයා ප්‍රබල දේශපාලකයෙක්ගෙ පුත්‍ර රත්නය. තමුන්ගෙ තාත්තගෙ අඩි පාරෙ ඒ පුතණ්ඩියත් පොඩි කාලේ ඉඳන්ම ගියා. හැබැයි නම ගම නම් පෞද්ගලිකව වත් අහන්න නම් එපා. මොකද නැත්තම් මට ත්‍රස්තවාදී ලේබලයක් ඇලවෙන්න ඉඩ තියෙනවා රටක් වටින ඇමතිතුමෙකුට , මේ වගේ රජය බරපතල යුද්ධයකට මුහුණ දීලා ඉන්න වෙලාවක අත්භූත චෝදනා එල්ල කරනවා කියල.

ඊට පස්සෙ ඉතින් සෙල්ලම් කරන්න හිතපු එකත් නැවැත්තුවා. හැබැයි හොඳ වෙලාවට ඒ කොලුවා හිටියෙ අපේ පන්තියෙ නෙවෙයි නිසා පන්තියෙ දි කරදරයක් එහෙම වුනේ නෑ. ඊට ටික කාලයක් ගියාට පස්සෙ තමයි මම ක්‍රිකට් ගැහිල්ලට එකතු වුනේ . ඒත් ඉතින් මුල දවස් වල අපිට හරි අමාරුයි පන්දුවට පහර දෙන්න්, බෝල දාන්න අවස්ථාවක් ඉල්ල ගන්න. ඒකට ඉතිං කං කෙඳිරි ගාන්න වෙනවා. කොහොම හරි ටිකක් කල් යන කොට ළමයි ඔක්කකොම වගේ අලුත් පරිසරයට හුරු වෙන්න පටන් ගත්තා . එතකොට තමයි අපේ කණිෂ්ඨ අංශයට වෙන් වුනු ක්‍රීඩා පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරන්න ගත්තෙ. ළමයි ඔක්කකොම වගේ යන කොට ඉතින් මමත් පස්සෙන් වැටිලා බය නැතුව ගියා. මම මේ කියන පිට්ටනියෙ තමයි මීට කලින් “මගේ සටහන” ක දි කියපු ලකුණු එකසිය අනූව ගහන්න ඉමංක හෙට්ටි ආරච්චි කියන සහෝදර ශිෂ්‍යයා සමත් වුනේ. මේ කොලුවා දැන් විවාහයක් එහෙම කරගෙන ඉන්නවා.  වැඩේ කියන්නෙ ක්‍රිකට් ගහන්න කට්ටිය ගන්න කොට දෙපැත්තට කට්ටිය එකොළහ ගානේ ඕන නිසා අපිව ක්‍රීඩාවට එකතු කර ගන්නවා. හැබැයි කවදාවත් හයේ පන්තියෙ ඉන්න කාලේ මට මතක විදිහට පන්දුවට පහර දෙන්න වත් , බෝල දාන්නවත් අවසාථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කණ්ඩායම් නායකයොත් හරියට අර දේශපාලකයො වගේ හැමදාම බොරු පොරොන්දු දෙනවා. හැබැයි ඉස්සෙල්ම පන්දු යවන්නෙත් , පහර දෙන්නෙත් ඒ අයම තමයි. අපි ඉතින් හැම දාම කලේ බෝල අහුලපු එක තමයි. ඔය සෙල්ලම හැමදාම කරන්න බැරි නිසා ටික දවසක් ක්‍රිකට් ගහන පැත්තට නොගිහිල්ලා ඉන්නවා. ඒත් ආයෙමත් අර කට්ටිය සෙල්ලම් කරනව දකින කොට යන්න හිතෙනවා. ගිහිල්ලා සුපුරුදු විදිහට පන්දු රැකීමෙන් විතරක් සැනසිලා පන්තියට එන එක තමයි කරන්නෙ.

එක අතකට සෙල්ලමේ දී අනිත් අය ගැන හිතන්නෙ නැතුව එහෙම කරන්න පුරුදු වුනේ පොඩි කාලේ ඉඳන්ම ගෙදර දි , ඉස්කෝලෙ දි ළමයින්ට ආත්මාර්ථ කාමී විදිහට හැසිරෙන්න උගන්නන හින්ද ද , එහෙමත් නැත්තනම් පොඩි කාලේ ළමා ගතියද කියන එක නම් හරි ප්‍රශ්නයක්. මට නම් හිතෙන්නෙ පලවෙනි කාරණාව කියල. ඒ කාරණාව හිතේ තියාගෙන මේ සතියෙ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමු වෙමු.

Advertisements

7 thoughts on “බෝල ගැහිල්ල

  1. මම මේ සටහන දැක්කෙ අහම්බෙන්… කොත්තු එකේ තිබිලා. ඒත් මේ ක්‍රිකට් ගැන කියලා තියෙන දේ මටත් බොහොම සමීප නිසා ප්‍රතිචාරයක් ලියන්න හිතුනා.

    ඉස්සර අපේ ඉස්කෝලෙත් ඔය වගේම තමයි. බැට් කරන්නයි බෝල් කරන්නයි වෙනම අරක් ගත්තු අය හිටියා. අපිට බැට් කරන්න හම්බෙන්නේ අහම්බෙන් හරි අර අය සේරම අවුට් වෙලා ගියොත් විතරයි. බෝල් කරන්න නම් හම්බෙන්නෙම නෑ. ඔය කෙලිය නිසා මට තාමත් ක්‍රිකට් කියන්නේ අරහන් සෙල්ලමක්.

  2. සටහන නං අපුරුයි. ක්‍රිකට් කෙසේ වෙතත් පාසලේ හුගක් දේවල් වලට අරක් ගත්තු පිරිසක් ඕනම පාසලක ඉන්නවා.
    ඒකට වැඩිය බලපාන්නේ මොක්කද කියලනං තාම හිතා ගනන්න බැ. ආත්මාර්ථකාමි කමත් එක්ක ගැවිච්ච දෙමාපියන්ගේ මුදල් කියලා තමයි මට නං හිතෙන්නේ. තවත් කෙනෙක්ට අවස්ථාවක් නොදි හැමදේම එක පිරිසකට සීමා වෙලා තියෙනවා. කරන්න දෙයක් නැ ලංකාවනේ කියලා තමයි හිතාගන්න වෙන්නේ. 🙂

  3. අ‍පේ ඉස්කෝලේ බෝල ගහනවා කියන්නකොට මටත් අත්වුන ඉරණම ඕකම තමයි! හික් හික්. ඒ අය බෝල ගහනවා අපි බෝල අහුලනවා විතරයි 😀 . හැබැයි නේවාසිකාගාරය ඇතුලේ නම් තත්ත්වය වෙනස්. අපේ තිබුනා නිවාස 4ක් ඉතින් ඔය නිවාස 4න් මම තේරුනේ අන්ත අසරණම නිවාසයට. ඉතින් මාත් ඇතුලුව අපේ නිවාසේ හිටපු හැම දෙනාම ක්‍රිකට් වලින් අන්ත අසරණයි. ඔන්න ඕක නිසාම මට චාන්ස් එකක් ලැබුනා බෝල දාන්න එහෙම. බෝල දැමිල්ල කෙසේ වෙතත්, මට පොල් අඩි දෙක තුනක් ගහලා කණ්ඩායමට හොඳ ආරම්භයක් ඇරන් දෙන්න නම් පුළුවන් වුනා. හැබැයි ගහපු මැච් වලින් සීයට අනූවක්ම පරාදයි. හැබැයි ක්‍රිකට් වලින් අන්තිම වුනාට, පාපන්දු වලින් නම් අපේ නිවාසයත් එක්ක තරඟ කරන්න නම් ඔය එක නිවාසයකටත් බැරි වුනා 😀

  4. >එක අතකට සෙල්ලමේ දී අනිත් අය ගැන හිතන්නෙ නැතුව එහෙම කරන්න පුරුදු වුනේ පොඩි කාලේ ඉඳන්ම ගෙදර දි , ඉස්කෝලෙ දි ළමයින්ට
    >ආත්මාර්ථ කාමී විදිහට හැසිරෙන්න උගන්නන හින්ද ද , එහෙමත් නැත්තනම් පොඩි කාලේ ළමා ගතියද කියන එක නම් හරි ප්‍රශ්නයක්. මට නම්
    >හිතෙන්නෙ පලවෙනි කාරණාව කියල.

    මම හිතන්නේ මිනිස් ගතිය නිසා කියලා. ඒත් මිනිසා ශිෂ්ඨ වෙනවා කියනනේ එවනි ලක්ෂණයන් යම් තරමකට සමාජය වෙනුවෙන් කැපකරගෙන පොදුවේ සමාජයක් විදියට හිතන තත්වයට පත්වෙනවා කියන එක. ඒත් ඇත්තටම අපේ සමාජය තුලදි එවන් සාමාජීය ගතිගුණ හුරු කරනවද කියන එක නම් සැකයි. බොහෝ ආප්තෝපදේශයන්ගේ ඉදලා අවවාද, උපදේශ පවා ‘තමන් හැදී රට හදන්න’,’තමාට තමා විතරමය’ යන පටු අදහසින් සමාජගත වී ඇති සමාජයක ළමයින් පවා මේ තත්වයෙන් ක්‍රියා කිරීම පුදුමයක් නම් නෙවෙයි. මේවායේ වෙනසක් ඇතිවෙන්න නම් සමාජයක් පදනම් වෙලා තියෙන එවන් පසුගාමී ආකල්පයන් වෙනස් විය යුතු වෙනවා. ඒත් කවුද එය වෙනස් කරන්නේ? කියන එකත් මේ මොහොතේ ගැටළුවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )