ජල සංග්‍රාමය

ගොඩ කාලෙකට පස්සෙ ලිව්ව  “මගේ සටහන” ට ප්‍රතිචාර නම් ලැබිල තිබුනා ගිය සතියෙ. කාලෙකට පස්සෙ ලියන කොට පොඩි නුහුරු ගතියක් දැනුනත් ලිව්වට පස්සෙ නම් සතුටක් දැනුනා. එහෙම නම් ඉතින් “මගේ සටහන” තිස් හය වන ලිපිය මෙතැන් සිට.

ගිය සතියෙ මම ලියපු කොපි කිරිල්ල ගැන ගොඩක් අයට අත් දැකීම් ඇතිනෙ. හැබැයි ඉතින් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ කොපි කරන්න ගිහිල්ලා වැඩේ වරද්ද ගත්ත අයත් හිටියා ඕනෙ තරම්. අපේ සඟයෙක් හිටියා හැමදාම අපේ උපහාසයට ලක්වෙන. මිනිහ විභාගෙට කලින් හොඳට පාඩම් කරනවා. විභාගෙට ගිහින් ඒ වගේම හොඳට කොපි කරන වැඩේ කරනවා. අපි මිනිහට කියනව “කොපි කරල ඩීන් ලිස්ට්” යන්නෙ මොකටද කියල. ඔය ඩීන් ලිස්ට් කියන්නෙ වැඩිම ලකුණු ගත්ත ළමයින් ඇතුලත් වන කොටසකට. ඒ වුනාට මිනිහ නෙවෙයි වැඩේ අත ඇරියෙ. තවත් සමහරු කොල ලඟ තියාගෙන ලියනව කිසිම ගානක් නැතුව . ඒ අය කොපි කිරීමේ උපාධි ලබපු අය. ඔය විභාග ගැන කියන කොට මතක් වෙන තව කතන්දර තියෙනවා. සමහර ඒවා මොන තරම් විකාර සහගත ද කියනව නම් මිනිස්සු එහෙම කියන්නෙ ඇයි කියල හිතෙනව. මම පොඩි කාලෙදි සහ ඊට පස්සෙ අහපු එක කතාවක තමයි අපේ ඉස්කෝලෙ ළමයි උසස් පෙල , සාමාන්‍ය පෙළ පාස් වෙන්නෙ කොපි කරලලු. ශාලා භාරව ඉන්න ගුරුවරු බය නිසා මොකුත් කියන්නෙ නැතිලු. එහෙමත් නැත්තම් විභාගෙට කලින් දවසෙ ප්‍රශ්න පත්තරේ අතටම ලැබෙනව වගේ කතන්දර මිනිස්සු කියනවමම අහල තිබුනා. හැබැයි අපේ වාසනාවට ද අවාසනාවටද මන්දා අපි ලියන කොට නම් එක ප්‍රශ්නයක් වත් විභාගෙට කලින් අපිට ලැබුනෙ නෑ. මිනිස්සු ඒ වගෙ කතනදර කියන්නෙ මොන හේතුවකටද කියල හිතා ගන්න හරි අමාරු වුනා ඒ කාලේ.

කොපි කිරිල්ල ගැන කතා කරන කොට පාසල් යන කාලේ අපි කරපු තව දඩබ්බර වැඩ කීපයක් මතක් වුනා. ඉන් එකක් නම් අති විශේෂයි. මොකද ඒ සිද්ධියෙන් අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. සිද්ධිය වුනේ මෙහෙමයි. අපි ඉස්කෝලෙ යන කාලෙ හරි ආස වැඩක් තමයි විනෝද චාරිකා යන එක. පාසල් වලින් ඉතින් බොහොම කලාතුරකින් තමයි ළමයි එක්කගෙන යන්නෙ විනෝද චාරිකා වලට. පාසල් වාතාවරණයෙන් එළියට බැහැහල විනෝද වෙන්න අපිත් ඉන්නෙ බොහොම ආසාවෙන්. පාසලෙන් යන විනෝද චාරිකා වල අමාරුම කාරිය තමයි ගෙදරින් අවසර ගන්න එක. ඒක හරියට කෙල්ලෙක් දාගන්නවට වඩා අමාරු වැඩක්. මොන තරම් කනි පින්දම් ගෑවත් ගෙදරින් අවසර දෙන්නෙම නෑ. මොකක් හරි හේතුවක් කියනවා. ගෙවල් වලින් බොහොම බයයි කොහෙවත් යවන්න. සනහර ළමයින්ට නම් ගෙවල් වලින් අවසර දුන්නෙම නෑ. කොහොම හරි අපි දහයෙ පන්තියෙ ඉන්න කොට විනෝද චාරිකාවක් යමු කියල පන්තියෙ ළමයි ටික කතා වුනා. හැමෝම ඉතින් වැඩේට එක පයින් කැමති වුනා.

ඊට පස්සෙ ලොකුම අමාරු වැඩේ වුනේ අපේ පන්ප භාර ගුරුතුමිය කැමති කරවගන්න එක. ඒත් ඉතින් අපේ දුක් අඳෝනා වලින් හෙම්බත් වීම නිසා ගුරුතුමිය තීරණය කලා අපිව විනෝද චාරිකාව අරගෙන යන්න. හැබැයි විනීතව , කීකරුව හැසිරෙනවා කියල අපි පොරොන්දු වුනාට පස්සෙ.කොහොම හරි ඉතින් ගෙවල් වලින් සහ නොයෙකුත් බලධාරීන්ගෙන් අවසර අරගෙන අපි චාරිකාව යන්න පිටත් වුනා. අපේ ගමනාන්තය වෙලා තිබුනෙ අනුරාධපුරය. ඒක දින දෙකක චාරිකාවක්. අන්තිමේ දි අපි පිටත් වුනා කියමුකො. මුලින් ඉතින් හැමෝම සින්දු කිය කිය ගමන් කලත් ඇස් යොමු වෙලා තිබුනෙ මග දෙපැත්තෙ ගමන් කරපු අය දිහා තමයි. කොහොමටත් ඒ වයස ඉතින් විරුද්ධ පාර්ශවය දිහා බැල්ම දාන්න පටන් ගන්න වයසනෙ.  ඒ අතරෙ අපේ ළමයි තව වැඩකට ලෑස්ති වේවි තමයි හිටියෙ . ඒ තමයි පාරෙ යන එන උදවියට වතුර ගහන එක. ඒකට කට්ටිය සැරසුනේ හරියට යුද්දෙට යන සෙබල කණ්ඩායමක් වගේ. වතුර විදින පිස්තෝල අරගෙන , පොඩි සිලි කවර ලෑස්ති කරගෙන එකම ජංජාලයයි. මොනව වුනත් අපේ ගුරුතුමියටත් වැඩේ ඉව වැටිලා තිබුනෙ. ඒක නිසා බොහොම කල්පනාවෙන් හිටපු ගුරුතුමී කොහෙදෝ තැනක නවත්තපු ගමන අපේ මිත්‍රයෙක් සල්ලි දීලා ගත්ත වතුර විදින තුවක්කුව ඇගේ භාරයට ගත්තා අපි හංග ගන්න කලින්. ඒ සේරම දේවල් අස්සෙ කීප දෙනෙකුට ජලයෙන් සංග්‍රහ කරන්න අපේ කට්ටිය සමත් වුනා. ඒ වුනාට කිසි කලබලයකින් කරදරයකින් තොරව චාරිකාවේ පළවෙනි දවස ගෙවුනා.

ඔන්න ඉතින් ඊ ළඟ දවසෙ අපි අනුරාධපුරයෙ ටිකක් ඇවිදල කරල දවල් වෙම කොට ආයෙමත් කොළඹ බලා එන්න පිටත් වුනා. කොහොම හරි එන අතරමග දි ජල සංග්‍රහය ජයටම කෙරුවා. ගුරුතැමිය හිටියෙ ඉස්සරහ වාඩිවෙල් නිසා ඇයට හොරෙන් වැඩේ කර ගෙන යන්න අපේ කට්ටිය සමත් වුනා . ඒ අතර වාරෙදි හවස තේ බොන්න අපි කුරුණෑගල නගරයේ නැවැත්තුවා. නවත්තල ටික වෙලාවකින් එක පාරටම ආවා පොලිස් නිලධාරියෙක්. ඇවිත් අපේ ගුරුතුමියට හොඳටම බැන ගෙන ගියා. ඊට පස්සෙ කේන්ති ගිය ගුරුතුමිය බස් එකේ පිටිපස්ට ඇවිත්ත ජල සංග්‍රහයෙ යෙදුනු කීප දෙනෙක් කර මුලින්ම අල්ල ගෙන එක ළමයෙකුට එවෙලෙම ගුටි සංග්‍රහයක් දුන්නා. හොරු ටික අල්ල ගන්න ලේසි වුනේ ජල සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදිහට කට්ටිය ඇඳුම් , අත පය තෙමාගෙන හිටපු එක.  එක පාරටම මේ මොකද්ද වුනේ කියල හොල්මන් වුන අපි ඊට පස්සෙ තමයි කතාව දැන ගත්තෙ.

එදා එන අතර තුර ජල සංග්‍රාමයෙ නිරත වෙච්ච අපේ මිත්‍රයො ඉලක්ක විදිහට තෝරගෙන තිබුනෙ ගෑණු ළමයි. ඒකට හේතුව ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ නෙ . ඉතින් ඉබ්බාගමුව හරියෙදි කුඩයක් ඉහළගෙන තරුණියො දෙන්නෙක් පාර දිගේ ගිහින්. මේක දැකපු එක ළමයෙක් වතුර පුරවපු සිලි බෑග් එකකින් දමල ගහලා. මේක වැදිලා තියෙන්නෙ කුඩේට. වතුර බෑග් එක විසප කරපු වේගෙට කුඩේ පැත්තක විසි වෙලා. එතකොට අපේ සඟයෙක් හොඳට ඉලක්කය අරගෙන තව වතුර පුරවපු සිලි බෑග් ප්‍රහාරයක් එල්ල කරල. ඒ වෙලාවෙ අපේ ජල ඵරහාරක නඩයෙ ප්‍රීතිය වැඩි කරමින් ඒක හරියටම වැදිලා තියෙන්නෙ ඒ තරුණියගෙ ළැම ප්‍රදේශයට. අපරාදේ කියන්න බෑ ඉලක්ක කරුවගෙ නිරවද්‍ය තාවය වැඩි කමට ඒ තරුණිය හොඳටම තෙමිලා. අනික ළැම ප්‍රදේශය තෙමාගෙන පාරෙ යන්නත් ලැජ්ජයිනෙ. ප්‍රහාරය සාර්ථක වෙව්ච එක ගැන අපේ කණ්ඩායම උද්දාමයට පත් වුනාට වැඩේ බරපතල කම තිබුනෙ ඊට පස්සෙ.

ඒ ප්‍රහාරය එල්ල කරල තිබුනෙ සිවිල් ඇඳුමින් ගිය පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට. ඒකෙන් බොහොම කෝපයට පත් වෙච්ච ඒ දෙන්නා ළඟම තිබුන මුරපලේ ඉඳන් තව පොලිස් නිලධාරියෙකුත් එක්ක ලොරියක නැගල අපි පස්සෙ පන්නගෙන ඇවිත්. අන්තිමේ දි අපි කුරුණෑගල තේ බොන්න නතර කලාම වැඩේ බෙල්ලෙන්ම අල්ල ගන්න පුලුවන් වුනා. ඉස්කෝලෙ ළමයි හින්ද අපි ගුටි නොකා බේරුණාට වැඩිහිටි තරුණ පිරිසක් කලා නම් හොඳට ගුටි කන අවස්ථාවක් වෙන්න තිබුනා එදා. ඒ සිද්ධිය නිසා අපේ ගුරුතුමියට නම් තදින්ම කේනති ගිහල්ලා තිබුනෙ. මොකද මුල ඉඳලම ජල සංග්‍රාමය තහනම් කරල නියෝග පනවල තිබුන නිසා. අනිත් එක වුනෙත් ගුටි කන ජාතියෙ සිද්ධියක්. ඒ මදිවට අපේ ගුරුතුමී සුද්ධ සිංහල බාසාවෙන්ම බැණුම් ඇහුවා අර පොලිස් නිලධාරියාගෙන්. ඒක නිසා ඇගේ කේන්තිය තවත් වැඩි වුනා.

කොහොමහරි චාරිකාවේ ඉතුරු ටික කරදරයක් නොවී අපි ගෙවල් වලට ආවා . ඇත්තටම කියනවනම් මම ඔය ජල ප්‍රහාරක බල ඇණියට සම්බන්ධ වුනේ නෑ. අඩුම ගානේ මම සැපයුම් බලකායෙ හිටියෙවත් නෑ. සැපයුම් බලකාය කියන්නෙ සිලි බෑග් වලට වතුර පුරවල දෙන කට්ටිය. හේතුව මොකක් වුනත් පාරෙ යන අයට වතුර ගහන වැඩේ මට එච්චර ඇල්ලුවෙ මෑ. මොකද වතුර නාගෙන පාරෙ යන්න බැරි බව දන්න නිසා. හැබැයි අපි විශ්ව විද්‍යාලෙන් චාරිකා යන කොට නම් ජල පරහාරක බල ඇණි තිබුනෙ නෑ. ඒක නිසා හිතේ කරදරයක් නැතුව ගිහන් එනවා. මොකද පරපමප ළමයාන්ගෙ උනන්දුව තියෙන්නෙ වෙන වෙන දේවල් බලට නිසා. හැබැයි අපි බැණුම් අහපු සිද්ධිය ඉස්කොලෙට නම් ආරංචි වුනා. ආරංචිය ආවේ කොහොමද කියල හිතා ගන්න බැරි වුනත් ටික දවසක් යන කොට අපේ පන්තියෙ වීර ක්‍රියාව නිසා ඉස්කෝලෙට අත් වෙච්ච ගෞරවය ගැන නම් හැමෝම කතා කලා. ඒකෙන් වැඩියෙන්ම කෝපයට පත් වුනේ අපේ ගුරුතුමිය තමයි.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.