ජල සංග්‍රාමය

ගොඩ කාලෙකට පස්සෙ ලිව්ව  “මගේ සටහන” ට ප්‍රතිචාර නම් ලැබිල තිබුනා ගිය සතියෙ. කාලෙකට පස්සෙ ලියන කොට පොඩි නුහුරු ගතියක් දැනුනත් ලිව්වට පස්සෙ නම් සතුටක් දැනුනා. එහෙම නම් ඉතින් “මගේ සටහන” තිස් හය වන ලිපිය මෙතැන් සිට.

ගිය සතියෙ මම ලියපු කොපි කිරිල්ල ගැන ගොඩක් අයට අත් දැකීම් ඇතිනෙ. හැබැයි ඉතින් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ කොපි කරන්න ගිහිල්ලා වැඩේ වරද්ද ගත්ත අයත් හිටියා ඕනෙ තරම්. අපේ සඟයෙක් හිටියා හැමදාම අපේ උපහාසයට ලක්වෙන. මිනිහ විභාගෙට කලින් හොඳට පාඩම් කරනවා. විභාගෙට ගිහින් ඒ වගේම හොඳට කොපි කරන වැඩේ කරනවා. අපි මිනිහට කියනව “කොපි කරල ඩීන් ලිස්ට්” යන්නෙ මොකටද කියල. ඔය ඩීන් ලිස්ට් කියන්නෙ වැඩිම ලකුණු ගත්ත ළමයින් ඇතුලත් වන කොටසකට. ඒ වුනාට මිනිහ නෙවෙයි වැඩේ අත ඇරියෙ. තවත් සමහරු කොල ලඟ තියාගෙන ලියනව කිසිම ගානක් නැතුව . ඒ අය කොපි කිරීමේ උපාධි ලබපු අය. ඔය විභාග ගැන කියන කොට මතක් වෙන තව කතන්දර තියෙනවා. සමහර ඒවා මොන තරම් විකාර සහගත ද කියනව නම් මිනිස්සු එහෙම කියන්නෙ ඇයි කියල හිතෙනව. මම පොඩි කාලෙදි සහ ඊට පස්සෙ අහපු එක කතාවක තමයි අපේ ඉස්කෝලෙ ළමයි උසස් පෙල , සාමාන්‍ය පෙළ පාස් වෙන්නෙ කොපි කරලලු. ශාලා භාරව ඉන්න ගුරුවරු බය නිසා මොකුත් කියන්නෙ නැතිලු. එහෙමත් නැත්තම් විභාගෙට කලින් දවසෙ ප්‍රශ්න පත්තරේ අතටම ලැබෙනව වගේ කතන්දර මිනිස්සු කියනවමම අහල තිබුනා. හැබැයි අපේ වාසනාවට ද අවාසනාවටද මන්දා අපි ලියන කොට නම් එක ප්‍රශ්නයක් වත් විභාගෙට කලින් අපිට ලැබුනෙ නෑ. මිනිස්සු ඒ වගෙ කතනදර කියන්නෙ මොන හේතුවකටද කියල හිතා ගන්න හරි අමාරු වුනා ඒ කාලේ.

කොපි කිරිල්ල ගැන කතා කරන කොට පාසල් යන කාලේ අපි කරපු තව දඩබ්බර වැඩ කීපයක් මතක් වුනා. ඉන් එකක් නම් අති විශේෂයි. මොකද ඒ සිද්ධියෙන් අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. සිද්ධිය වුනේ මෙහෙමයි. අපි ඉස්කෝලෙ යන කාලෙ හරි ආස වැඩක් තමයි විනෝද චාරිකා යන එක. පාසල් වලින් ඉතින් බොහොම කලාතුරකින් තමයි ළමයි එක්කගෙන යන්නෙ විනෝද චාරිකා වලට. පාසල් වාතාවරණයෙන් එළියට බැහැහල විනෝද වෙන්න අපිත් ඉන්නෙ බොහොම ආසාවෙන්. පාසලෙන් යන විනෝද චාරිකා වල අමාරුම කාරිය තමයි ගෙදරින් අවසර ගන්න එක. ඒක හරියට කෙල්ලෙක් දාගන්නවට වඩා අමාරු වැඩක්. මොන තරම් කනි පින්දම් ගෑවත් ගෙදරින් අවසර දෙන්නෙම නෑ. මොකක් හරි හේතුවක් කියනවා. ගෙවල් වලින් බොහොම බයයි කොහෙවත් යවන්න. සනහර ළමයින්ට නම් ගෙවල් වලින් අවසර දුන්නෙම නෑ. කොහොම හරි අපි දහයෙ පන්තියෙ ඉන්න කොට විනෝද චාරිකාවක් යමු කියල පන්තියෙ ළමයි ටික කතා වුනා. හැමෝම ඉතින් වැඩේට එක පයින් කැමති වුනා.

ඊට පස්සෙ ලොකුම අමාරු වැඩේ වුනේ අපේ පන්ප භාර ගුරුතුමිය කැමති කරවගන්න එක. ඒත් ඉතින් අපේ දුක් අඳෝනා වලින් හෙම්බත් වීම නිසා ගුරුතුමිය තීරණය කලා අපිව විනෝද චාරිකාව අරගෙන යන්න. හැබැයි විනීතව , කීකරුව හැසිරෙනවා කියල අපි පොරොන්දු වුනාට පස්සෙ.කොහොම හරි ඉතින් ගෙවල් වලින් සහ නොයෙකුත් බලධාරීන්ගෙන් අවසර අරගෙන අපි චාරිකාව යන්න පිටත් වුනා. අපේ ගමනාන්තය වෙලා තිබුනෙ අනුරාධපුරය. ඒක දින දෙකක චාරිකාවක්. අන්තිමේ දි අපි පිටත් වුනා කියමුකො. මුලින් ඉතින් හැමෝම සින්දු කිය කිය ගමන් කලත් ඇස් යොමු වෙලා තිබුනෙ මග දෙපැත්තෙ ගමන් කරපු අය දිහා තමයි. කොහොමටත් ඒ වයස ඉතින් විරුද්ධ පාර්ශවය දිහා බැල්ම දාන්න පටන් ගන්න වයසනෙ.  ඒ අතරෙ අපේ ළමයි තව වැඩකට ලෑස්ති වේවි තමයි හිටියෙ . ඒ තමයි පාරෙ යන එන උදවියට වතුර ගහන එක. ඒකට කට්ටිය සැරසුනේ හරියට යුද්දෙට යන සෙබල කණ්ඩායමක් වගේ. වතුර විදින පිස්තෝල අරගෙන , පොඩි සිලි කවර ලෑස්ති කරගෙන එකම ජංජාලයයි. මොනව වුනත් අපේ ගුරුතුමියටත් වැඩේ ඉව වැටිලා තිබුනෙ. ඒක නිසා බොහොම කල්පනාවෙන් හිටපු ගුරුතුමී කොහෙදෝ තැනක නවත්තපු ගමන අපේ මිත්‍රයෙක් සල්ලි දීලා ගත්ත වතුර විදින තුවක්කුව ඇගේ භාරයට ගත්තා අපි හංග ගන්න කලින්. ඒ සේරම දේවල් අස්සෙ කීප දෙනෙකුට ජලයෙන් සංග්‍රහ කරන්න අපේ කට්ටිය සමත් වුනා. ඒ වුනාට කිසි කලබලයකින් කරදරයකින් තොරව චාරිකාවේ පළවෙනි දවස ගෙවුනා.

ඔන්න ඉතින් ඊ ළඟ දවසෙ අපි අනුරාධපුරයෙ ටිකක් ඇවිදල කරල දවල් වෙම කොට ආයෙමත් කොළඹ බලා එන්න පිටත් වුනා. කොහොම හරි එන අතරමග දි ජල සංග්‍රහය ජයටම කෙරුවා. ගුරුතැමිය හිටියෙ ඉස්සරහ වාඩිවෙල් නිසා ඇයට හොරෙන් වැඩේ කර ගෙන යන්න අපේ කට්ටිය සමත් වුනා . ඒ අතර වාරෙදි හවස තේ බොන්න අපි කුරුණෑගල නගරයේ නැවැත්තුවා. නවත්තල ටික වෙලාවකින් එක පාරටම ආවා පොලිස් නිලධාරියෙක්. ඇවිත් අපේ ගුරුතුමියට හොඳටම බැන ගෙන ගියා. ඊට පස්සෙ කේන්ති ගිය ගුරුතුමිය බස් එකේ පිටිපස්ට ඇවිත්ත ජල සංග්‍රහයෙ යෙදුනු කීප දෙනෙක් කර මුලින්ම අල්ල ගෙන එක ළමයෙකුට එවෙලෙම ගුටි සංග්‍රහයක් දුන්නා. හොරු ටික අල්ල ගන්න ලේසි වුනේ ජල සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදිහට කට්ටිය ඇඳුම් , අත පය තෙමාගෙන හිටපු එක.  එක පාරටම මේ මොකද්ද වුනේ කියල හොල්මන් වුන අපි ඊට පස්සෙ තමයි කතාව දැන ගත්තෙ.

එදා එන අතර තුර ජල සංග්‍රාමයෙ නිරත වෙච්ච අපේ මිත්‍රයො ඉලක්ක විදිහට තෝරගෙන තිබුනෙ ගෑණු ළමයි. ඒකට හේතුව ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ නෙ . ඉතින් ඉබ්බාගමුව හරියෙදි කුඩයක් ඉහළගෙන තරුණියො දෙන්නෙක් පාර දිගේ ගිහින්. මේක දැකපු එක ළමයෙක් වතුර පුරවපු සිලි බෑග් එකකින් දමල ගහලා. මේක වැදිලා තියෙන්නෙ කුඩේට. වතුර බෑග් එක විසප කරපු වේගෙට කුඩේ පැත්තක විසි වෙලා. එතකොට අපේ සඟයෙක් හොඳට ඉලක්කය අරගෙන තව වතුර පුරවපු සිලි බෑග් ප්‍රහාරයක් එල්ල කරල. ඒ වෙලාවෙ අපේ ජල ඵරහාරක නඩයෙ ප්‍රීතිය වැඩි කරමින් ඒක හරියටම වැදිලා තියෙන්නෙ ඒ තරුණියගෙ ළැම ප්‍රදේශයට. අපරාදේ කියන්න බෑ ඉලක්ක කරුවගෙ නිරවද්‍ය තාවය වැඩි කමට ඒ තරුණිය හොඳටම තෙමිලා. අනික ළැම ප්‍රදේශය තෙමාගෙන පාරෙ යන්නත් ලැජ්ජයිනෙ. ප්‍රහාරය සාර්ථක වෙව්ච එක ගැන අපේ කණ්ඩායම උද්දාමයට පත් වුනාට වැඩේ බරපතල කම තිබුනෙ ඊට පස්සෙ.

ඒ ප්‍රහාරය එල්ල කරල තිබුනෙ සිවිල් ඇඳුමින් ගිය පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට. ඒකෙන් බොහොම කෝපයට පත් වෙච්ච ඒ දෙන්නා ළඟම තිබුන මුරපලේ ඉඳන් තව පොලිස් නිලධාරියෙකුත් එක්ක ලොරියක නැගල අපි පස්සෙ පන්නගෙන ඇවිත්. අන්තිමේ දි අපි කුරුණෑගල තේ බොන්න නතර කලාම වැඩේ බෙල්ලෙන්ම අල්ල ගන්න පුලුවන් වුනා. ඉස්කෝලෙ ළමයි හින්ද අපි ගුටි නොකා බේරුණාට වැඩිහිටි තරුණ පිරිසක් කලා නම් හොඳට ගුටි කන අවස්ථාවක් වෙන්න තිබුනා එදා. ඒ සිද්ධිය නිසා අපේ ගුරුතුමියට නම් තදින්ම කේනති ගිහල්ලා තිබුනෙ. මොකද මුල ඉඳලම ජල සංග්‍රාමය තහනම් කරල නියෝග පනවල තිබුන නිසා. අනිත් එක වුනෙත් ගුටි කන ජාතියෙ සිද්ධියක්. ඒ මදිවට අපේ ගුරුතුමී සුද්ධ සිංහල බාසාවෙන්ම බැණුම් ඇහුවා අර පොලිස් නිලධාරියාගෙන්. ඒක නිසා ඇගේ කේන්තිය තවත් වැඩි වුනා.

කොහොමහරි චාරිකාවේ ඉතුරු ටික කරදරයක් නොවී අපි ගෙවල් වලට ආවා . ඇත්තටම කියනවනම් මම ඔය ජල ප්‍රහාරක බල ඇණියට සම්බන්ධ වුනේ නෑ. අඩුම ගානේ මම සැපයුම් බලකායෙ හිටියෙවත් නෑ. සැපයුම් බලකාය කියන්නෙ සිලි බෑග් වලට වතුර පුරවල දෙන කට්ටිය. හේතුව මොකක් වුනත් පාරෙ යන අයට වතුර ගහන වැඩේ මට එච්චර ඇල්ලුවෙ මෑ. මොකද වතුර නාගෙන පාරෙ යන්න බැරි බව දන්න නිසා. හැබැයි අපි විශ්ව විද්‍යාලෙන් චාරිකා යන කොට නම් ජල පරහාරක බල ඇණි තිබුනෙ නෑ. ඒක නිසා හිතේ කරදරයක් නැතුව ගිහන් එනවා. මොකද පරපමප ළමයාන්ගෙ උනන්දුව තියෙන්නෙ වෙන වෙන දේවල් බලට නිසා. හැබැයි අපි බැණුම් අහපු සිද්ධිය ඉස්කොලෙට නම් ආරංචි වුනා. ආරංචිය ආවේ කොහොමද කියල හිතා ගන්න බැරි වුනත් ටික දවසක් යන කොට අපේ පන්තියෙ වීර ක්‍රියාව නිසා ඉස්කෝලෙට අත් වෙච්ච ගෞරවය ගැන නම් හැමෝම කතා කලා. ඒකෙන් වැඩියෙන්ම කෝපයට පත් වුනේ අපේ ගුරුතුමිය තමයි.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

කොපි කිරිල්ල

ගොඩ කාලයකින් “මගේ සටහන” ලියන්න බැරිවුනා . හරියටම බැලුවොත් මාස තුනකට වඩා වැඩි කාලයක්. ගොඩක් හේතු නම් තිබුනා නොලියා ඉන්න. එක පාරටම අර අවිනිශ්චිත තාව ලෙඩේ හැදුනා. ඒක නිසා ලියන එක දමල ගහල හිටිය කාලයක්. පස්සෙ වෙන වැඩවලට යොමු වීමත් එක්ක ලියන එකේ ආසාව මග ඇරිලා ගියා. බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගතවුන නිසා ආයෙමත් වතාවක් “මගේ සටහන” ලියන්න හිතුනා එක පාරටම. අවුරුදු 3 කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා අන්තිමේ දී කොහොම හරි විශ්ව විද්‍යාල ජීවිතේ නං ඉවර වුනා . කොහොම හරි අවසාන විභාගෙත් ලියල ඉවර කරල දැම්මා. දැන් ඉතින් රස්සාව තමයි ඊ ළඟට. ඒකත් ඉතින් ලබන මාසෙ මුල ඉඳන් යන්න වෙන නිසා මේ ඉන්නෙ නිදහසේ ගත කරන අන්තිම දවස් ටික. ලියන්නෙ නැතිව හිටපු මාස ටිකේ ගොඩක් සිදුවීම් සිද්ධ වුනත් එක පාරටම ලියන දෙයක් ගලප ගන්නත් අමාරුයි. කාලෙකට පස්සෙ ලියන නිසා ලියන දෙයක් හිතා ගන්නත් අමාරුයි. ඊට වඩා ප්‍රශ්නෙ සුපුරුදු රටාව මග හැරේවිද කියන එක. ඒ මොනව වුනත් හදිසියේම සිකුරාදා රෑ ජාමේ “මගේ සටහන” තිස් පස්වන සටහන සටහන ලිවීම ආරම්භ කරනවා.

අවසාන විභාගෙ ගැන මතක් වුන නිසා විභාග සම්බන්ධ බැඳුනු කාරණා ගැනම ලියන්න හිතුනා “මගේ සටහන” . සාමාන්‍යයෙන් විභාගයක් එක්ක බද්ධ වෙන අනෙත් දේ තමයි කොපි කරන එක . මොන තරම් පාඩම් කරල තිබුණත් , මොන විදියෙ උපක්‍රම දාලා වලක්වන්න හැදුවත් කොපි කරන එක නම් නතර කරන්න හරි අමාරුයි. මම මීට කලින් “මගේ සටහන” ක දි කිව්වනෙ කොපි කරයි කියල වැරදි ලෙස ගුරුතුමිය වටහා ගැනීම නිසා මගේ මිත්‍රයෙක් දඬුවම් ලබපු හැටි. නොකරපු වැරැද්දකට දඬුවම් විඳින එක කොහොමටත් හිතට හරි අමාරුයි. අපේ බැචියක් හිටියා කිඩිම හිරිකිතයක් නැතුව විභාග වලදි කොපි කරන. නම නම් ඉතින් කියන්න බැහැ. කිසිම හිරිකිතයක් නැහැයි කිව්වවෙ කොපි කරන එකේ සීමාවක් නැති නිසා. පූංචි පහේ කට්ට කමකට සමාව දෙන්න පුලුවන් වුනත් ඒ වගේ මහා පරිමාණ කොපි කිරීම් වලදි සමාව දෙන එක හරි අමාරුයි. විශ්ව විද්‍යාලෙ දි කොපි කරල අහුවුනොත් ලැබෙන දඬුවම් බොහොම බරපතලයි. ඒ වුනාට අවදානම අරගෙන බොහොම නිර්භිත ලෙස කොපි කරන්න අපේ අය හරිම සමත්.

කොපි කරන එක ගැන මතක් කරන කොට මට මතක හිටින අපූරු සිද්ධියක් වුනා පාසල් යන කාලේ. එතකොට මම හිටියෙ එකොළහෙ පන්තියෙ. ඒය  දවස් වල සෞන්දර්යය විෂය විදිහට අපි කලේ පෙරදිග සංගීතය. කොහොම හටි මම හිටපු පන්තියෙ පෙරදිග සංගීතය විෂය ඉගෙන ගත්තෙ ළමයි හතර දෙනයි මම ත් ඇතුලුව. කොහොම හරි මම තමයි ඒ හතර දෙනාගෙන් ඉස්සරහින් හිටියෙ. මොකද ඒ දවස් වල සංගීතය ගැන තිබ්බ ආසාව වැඩි කමට මම අපේ පැත්තෙ තිබුන සංගීත පංතියකට පවා සහභාගි වුන නිසා. කොහොම හරි ඉතින් එක වාර විභාගයකදි සංගීතය විෂය ප්‍රශ්න පත්තරේට අපි උත්තර ලියමින් හිටියා . වෙලාවටම වගේ එදා අපේ පන්ති භාර ගුරුතුමිය හිටියෙ නෑ. ඒ වෙනුවට හිටියෙ තරුණ අලුත් ගුරුතුමියක්. මේ ගුරුතුමිය අපි දිහා හොඳට ඇහැ ගහගෙන තමයි හිටියෙ.  අපි හතර දෙනා ඉඳගෙන හිටියෙ එක් කෙනෙකුට පස්සෙ තව කෙනෙක් ඉන්න විදිහට. ඒක නිසා කොපි කරන්න නම් පිටි පස්ස හැරෙන්නම වෙනවා. එදා ඉතින් සුපුරුදු විදිහට අපි කොපි කරන වැඩේ කරගෙන ගියා. ගුරුතුමියගෙ බැල්මට අහු නොවී ඉන්න තමයි අපි පුලුවන් තරම් උත්සහ කලේ. හැබැයි එක වතාවක් දෙකක් ගුරුතුමිය අපට තරවටු බැලුම් හෙලුවා.

හෙමිහිට වැඩේ කරගෙන යනකොට මගෙ පිටිපස්සෙ හිටපු සඟයට ඕන වුනා ප්‍රශ්නශකට උත්තරයක් බලා ගන්න. ඒ පාර ඉතින් මම සඟයට පෙනෙන විදිහට උත්තර ලියපු කොලය තිබ්බා. අපේ අවාසනාවට ගුරුතුමී මේ මුලු සිද්ධියම බලාගෙන ඉඳල එක පාරටම දුවගෙන ආවා අපි ළඟට. ඇවිත් මදි නොකියන්න දෙහි කැපුවා. මම හිතුවා වැඩේ එතනින් ඉවර වෙයි කියල. ඒ වුනාට අපි හිතපු නැති විදිහට ගුරුතුමී මගේ උත්තර පත්තරේ අරගෙන කොනකට වෙනන “copied” කියල රතු පෑනෙන් ලිව්වා. මොකද මම තමයි උත්තර පත්තරේ පෙන්නුවෙ. එවෙලෙ තමයි අපිට තරු විසිවුනේ. ජීවිතේට ම එහෙම දෙයක් සිද්ධ වෙලා තිබුනෙ නෑ. අප කොච්චර අඳෝනා නැගුවත් ගුරුතුමිය තීරණය වෙනස් කලෙත් නෑ. මම ඉතින් කරපු මෝඩ කම ගැන පසු තැවි තැවි හිටියා. ඒ එක්කම වගේ පාසල් වාරය ඉවර වෙලා නිවාඩුව ලැබුනා.

ඊළඟ පාසල් වාරය පටන් ගත්තම අපි ඉතින් ආයෙමත් ඉස්කොලෙ යන්න පටන් ගත්තා. හැබැයි නිවාඩු කාලය පුරාම අර සිද්ධිය මතක් වෙලා පපුව ගැහි ගැහි තමයි හිටියෙ. කොහොම හරි අපිට සංගීත විෂය තිබ්බ දවසෙ අපි ගියා අදාල පන්ති කාමරයට. අපි ගියෙ ටිකක් බයෙන්. අපි යනකොට සර් තේ එකක් බොන්න යන්න ලෑස්තිය. අපි ඇහැවා “සර්, පේපර්ස් බැලුවද” කියල. සර් කිව්වා ” නෑ අයිසෙ තාම බැරි වුනා. අන්න තාම මගෙ මේස උඩ තියෙනවඑ, පොඩ්ඩක් ඉන්නවා මම කැන්ටිම ට ගිහල්ලා එනකම් ” කියල. ඒ පාර අපිත් බොහොම ඉක්මනට සංගීත කාමරේට දුවල ගියා. ගිහින් බලන කොට මේසේ උඩ තියෙනවා උත්තර පත්තර ටික. හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ. ගත්තා මගෙ උත්තර පත්තරේ. “copied” කියල රතු පෑනෙන් ලියල තිබුන කෑල්ල ඉරල දැම්මා. හොඳ වෙලාවට ඒක ලියල තිබුනෙ කොලේ අගට වෙන්න නිසා ඒකෙ එච්චර අවුලක් පෙනුනෙ නෑ. ඊට පස්සෙ අපි මුකුත් දන්නෙ නෑ වගේ හිටියා. අන්තිමට මට ලකුණු අනූ පහක් හම්බ වුනා. ඒ වාරේ තමයි මම ඉස්කෝලේ හිටපු අවුරුදු අටටම වාර විභාගෙක දි පන්තියෙ පස් වෙනියගෙන් ඉහළ ස්ථානයක් ලබා ගත්ත එකම වාරය. ඒ වාරේ මම පන්තියෙ තුන් වෙනියා වුනා. නැත්තම් මම සාමාන්‍යයෙන් හිටියෙ පහළොස් වෙනියට පස්සෙ. ඒකෙන්  හිතා ගන්න පුලුවන් නෙ මගෙ අධ්‍යාපනයට තිබ්බ දක්ෂතාවය. 🙂

හැබැයි ඒ සිදුවීම නිසා හොඳ පාඩමකුත් ඉගෙන ගත්තා. මුල කාලවල අනිත් ළමයින්ට කොපි කරන්න උදව් කරන එක ටිකක් හිතට ලොකු වීරකමක්. ඒක නිසා අනිත් ළමයි අතර තැන ගන්න ඔය වගේ දේවල් කරනවා. සමහර වෙලාවට උත්තර වෙනම කොලයක ලියල හොරෙන් යවනවා අදාල ලමයට. ඒක හරි භයානක වැඩක් වුනත් හරිම ත්‍රාසජනක අත්දැකීමක් ඒ කාලේ. අනිත් එක කොහොම කලත් විභාගෙට යන්නෙ කොපි කරන්න බලාගෙනම තමයි. කොපි කරන්නෙ නැති ළමයෙක් අපි අතර හිටියනම් බොහොම කලාතුරකින්. සමහරු උත්තර ලියල ඒවයෙ හරි වැරදි පරික්ෂා කරනවා ළඟ ඉන්න අය එක්ක. ඒක කෙලින්ම කොපි කිරීමක් කියල පේන්නෙ නැති වුනත් පරමාර්ථය නම් ඉතින් කොහොම හරි වැඩිපුර ලකුණු ගැනීම තමයි. කොපි කිරීම ගැන සමහට ළමයි කොච්චර ප්‍රවීණයො වෙලා හිටියද කියනවනම් උසස් පෙළ පන්තියෙ හිටපු එක ළමයෙක් පන්තියෙ හැමදාම තුන් වෙනි තැනින් පල්ලෙහාට ගියෙ නෑ. හැබැයි මිනිහගෙ උසස් පෙළ ප්‍රථිපලය වුනේ “F” සාමාර්ථ තුනක්. ඒකට හේතුව වුනේ  මිනිහා දෙපැත්තෙ වාර විභාග වලදි හිටියෙ සමස්ත ලංකා කුසලතාවයන් දක්වල ඉහළින්ම උසස් පෙළ සමත් වෙලා අපේ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරුණු ශිෂ්‍යයන් දෙදෙනක් හිටපු එක.   ජාතියේ වාසනාවකට වාර විභාග වලදි වගේ උසස් පෙළ විභාගෙදි කොපි කරන්න බෑ. නැත්තම් ඒ වගේ කපටි රජෙක් ඉංජිනේරුවෙක් වුනා නම් කැළණිය ගුවන් පාලම හදල දවසකින් දෙකකින් කඩා ගෙන වැටෙනවා සිකුරුයි.

වාර විභාග වලදි සුලු සුලු මට්ටමේ කොපි කිරීම් වල නිරත වුනත් සාමාන්‍ය පෙළ , උසස් පෙළ නම් මගේ දැනුමෙන් ලියල සමත් වුනා. ඒක නිසා ඒ ගැන නම් හිතට සතුටුයි. සාමාන්‍ය පෙළ කෙසේ වෙතත් උසස් පෙළ වගේ තරඟකාරී විභාගයකදී මම කලින් කියපු ළමයා වගේ කොපි කලොත් එහෙම ඒක අනෙත් ලමයින්ට කරන ලොකු අසාධාණයක්. එහෙමනම් ඉතින් මාස තුනකට පස්සෙ ලියවුනු “මගේ
සටහන” නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.