අමුතු බෙදිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් එක්වන ලිපිය. සුපුරුදු පරිදි ඉරිදා හැන්දෑවේ , ත්‍රිත්ව සහ කිංස්වුඩ් දෙවිදුහල් අතර පැවැත්වුන රගබි තරඟය නරඹලා ඉවර වෙලා තමයි වැඩට බැස්සෙ. විටින් විට කඩා ගෙන හැලෙන වැස්ස එක්ක ටිකක් කේන්තියෙනුත් එක්ක තමයි ලියන්න පටන් ගත්තෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම කිව්ව දන්කෝ ගැන කතාව මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතා වලින් මම ඉතාම කැමති එකක්. ඊට අමතරව මම කැමතිම කෙටිකතා අතර “මගේ කුලුඳුල් ආලය” හා “විසි හය දෙනෙක් සහ තරුණියක්” කියන කතාවන් ඇතුලත්. ගෝර්කි ගෙ ඒ කෙටි කතා දෙක කියවල නැත්තනම් කොහෙන් හරි හොයාගෙන කියවන එක නරක නෑ. අන්ත දිළින්දකු ලෙස සිය ජීවිතයේ නොයෙක් බාධක වලට මුහුණ දුන් ගෝර්කි මම කියවල තියෙන ලේඛකයන් අතර විශිෂ්ඨතමයා විදිහට තමයි හිතෙන්නෙ. කොතරම් දුක් කරදර වින්දත් තමන් ලියපු දේවල් වල වයිරය , ක්‍රෝධය වගේ හැඟීම් වලින් තොරව, ඉතාමත් සංයමයෙන් මිනිස් සම්බන්ධතා වල ගුණ සුවඳ පිළිබඳ නොනැසෙන විශ්වාසයක් ඇතිව ලියපු ලේඛකයෙක් විදිහටයි මම ගෝර්කි ව සලකන්නෙ. එවැනි මානව දයාවෙන් පිරුණු ලේඛකයන් බිහි වෙන්නෙ බොහොම කලාතුරකින්.

හදිසියෙම ගෝර්කි මතක් වුන නිසා ඒ ටික කියල දැම්මා. ඉදිරි “මගේ සටහන්” හරහා මම කියවපු ගෝර්කි ගෙ පොත් ගැනත් ටිකක් කියන්න කල්පනාව තියෙනවා. මේ සතියෙ සටහන ලියන්න ගන්න කොටම පෙර සූදානමක් නැති කමින් ලියන්නෙ මොනවද කියන එක කල්පනා කරන්න සිද්ධ වුනා. වෙලාවකට ලියන එකේ ලබන ආස්වාදය ගිලිහිලා යන ගතිය ඒකට හේතුව වගේ දැනෙනවා. එදිනෙදා දේවල් වල නිරත වෙන යාන්ත්‍රික ස්භාවයට “මගේ සටහන” ලක් වෙලාද කියල මටත් සැක හිතෙන වෙලාවල් තියෙනවා. ඔය අස්සෙ ඉස්කෝලෙ යන කාලේ සිද්ධි මතක් වුනා. මතක් වෙන හැම සිද්ධියම කියන්න බැරි වුනත් කියන්න පුලුවන් තරමේ ඒවා කියල දාන්නයි කල්පනාව.

සාමාන්‍යයෙන් වැස්සකට හරි ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙක් ගණිතය කියල විෂයක් ගැන අහල ඇතිනෙ. එක වසරෙ ඉඳන් ලංකාවෙ ඉස්කෝල වල අවුරුදු එකොළහක් තිස්සෙ හණිතය උගන්නනවා වුනත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් ප්‍රතිශතය සියයට පනහක (50%) ට මදක් වැඩි ගණනක්. අබ්බගාත අධ්‍යාපන ක්‍රමය ගැන ඔයිට වඩා හොඳ උදාහරණ තවත් ඕනෙ නෑ නෙ. ගෙවල් වලින් ළමයින්ට වෙලාවකට බනිනවනෙ කේන්ති ගියහම “මේකට වියදම් කරපු  සල්ලි වලින් එළදෙනක් හැදුවා නම් කිරි ටික වත් ගන්නවා” කියල. ඒ වගේ අධ්‍යාපන ක්‍රමය නඩත්තු කරන්න ගෙවන බදු වලින් බලධාරීන් පිස්සු කෙලින හැටි දැක්කම හිතෙනවා “ඉස්කෝල වහල, ළමයි අතට සල්ලි ටික දුන්නනම්” කියල. කතාව ඉතින් බලධාරීන් ගැන නෙවේ. ඔය ගණිතයෙ තියෙනවනේ PI කියල අගයක්. ගණිතය යන්තමින් හරි මතක නම් ඔය අගය අමතක වෙන්න විදිහක් නෑ. සාමාන්‍යයෙන් ඕකෙ අගය 3.14 ක් විතර ආසන්න වශයෙන්.

ඉතින් අපි දහයෙ පන්තියෙ ඉන්නකොට අපේ සඟයෙක්ට ඇති වුනා අපූරු ආසාවක්. ඔය PI කියන අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හෙව්වොතින් ඒක ඉතා නිවැරදි අගයක් ලු.ඒක කොහෙන් හරි දැනගෙන ආපු මිනිහා අපිට කිව්වා කොහොම හරි  PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හොයමු කියල. මම එක පාරට කිව්වා “එච්චර ගොඩක් තනියම බෙදන්න බෑ, අත ඇරල දාමු” කියල. ඒ වුනාට මිනිහ නෙවෙයි සැලුනෙ. මිනිහා කිව්වා අපි තව දෙතුන් දෙනෙක් හවුල් කරගෙන මාරුවෙන් මාරුවට බෙදාගෙන යමු කියල. ඒ පාර තවත් සඟයෙක්ට ඇම දාලා වැඩේට හවුල් කර ගන්න පුලුවන් වුනා. වැඩේ යෝජනා කරපු මිත්‍රයා එදාම පිටු අසූවේ පොතකුත් මිලදී අරගෙන ආවා තමුන්ගෙ වියදමින්ම. මට ඉතින් ඇතිවුන ප්‍රශ්නෙ දශම ස්ථාන දශ ලක්ෂයක් ලියන්න පොතේ ඉඩ ඇති වෙයිද කියන එක.

කොහොම හරි අපි මුලින්නම සම්මුතියකට එළඹිලා වැඩේ පටන් ගත්තා. සම්මුතිය තමයි එක් කෙනෙක් දශම ස්ථාන සියයක් වෙනකම් බෙදිය යුතුයි කියන එක. කොහොම හරි අපිත් බොහොම උද්යෝගයෙන් යුතුව වැඩේ පටන් ගත්තා. කරදරයක් නැතිව දශම ස්ථාන දාහක් විතර වෙනකම් බෙදාගෙන ගියා. ඔන්න මුලින්ම “මේක කිසි තේරුමක් නැති වැඩක්” කියල අපේ හවුල්කාර සඟය ඉවත් වුනා. ඒක නිසා මගේ උද්යෝගයත් හීන වෙලා ඉවත් වුනා. අන්තිමට PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් දක්වා හොයාගෙන කීර්තිමත් ගණිතඥයකු වෙන ආසාව අකමැත්තෙන් වුනත් අත ඇරල දාන්න වැඩේ යෝජනා කරපු සඟයට සිද්ධ වුනා. හැබැයි සල්ලි දීලා ගත්ත අභ්‍යාස පොත නම් අපතෙ ගියෙ නෑ. මිනිහ ඒකෙ මුල් පිටු දෙක තුන ඉරල දාලා වෙන විෂයකට පාවිච්චි කලා. ඔය වගේ වැඩ කරන්න පරිගණක භාවිතා කරනවා කියල අපි මෙලෝ හාංකවිසියක් දැන ගෙන හිටියෙ නෑ ඒ කාලේ. කවුරුහරි මේක කියවන කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා “මෙච්චර මෝඩ වැඩ කරන්න මොළේ මහන්සි කලේ මොකටද” කියල. ඒ වුනාට ඉතින් ඉස්කෝලෙ යන කාලෙට එන ඔය වගේ අරුම පුදුම කල්පනා වලත් අමුතු ජොලියක් තියෙනවා. ඒ අවධිය පහු කලාට පස්සෙ තමයි කරපු මෝඩ කම් වල තරම තේරෙන්නෙ.

ඔය අතරෙ ටිකක් මොළේ ඇති වැඩත් කරල තියෙනවා. එකක් තමයි අපේ පන්තියෙ පිහිටුවගෙන තිබුන පොත් කියවීමේ කල්ලිය. ඒක හරිම අපූරු එකක්. ඒ කාලේ අපි කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු ටාර්සන්ගේ වීර ක්‍රියා ඇතැලත් පොත් වලට වගේම රයිඩර් හැගාර්ඩ් ලේඛකයගෙ ඈ හේවත් අයේෂා, විජයග්‍රහී කෝනෑන් වගේ පොත් වලට පිස්සු වැටිලා හිටියෙ. ඒ දවස් වල චන්දන මෙන්ඩිස් ශූරීන්  ගෙ ෂර්ලොක් හෝම්ස් පොත් ඒ තරම්ම ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඔය සම වයසෙ ගෑණූ ළමයි ගැන උනන්දුව ඇති වෙන්න කලින් අපිට තිබුන ලොකුම ආසාව ඔය පොත් කියවන එක.

ටාර්සන් පොත් සියල්ල කියවලා තියෙන කෙනෙක් හිටියොත් ඒ කෙනා නිතරඟ වීරයෙක්. “මම ඔය ඔක්කොම පොත් කියවල තියෙනවා” කියල කියන්නෙ හරිම උජාරුවෙන්. අපිට ඒ වෙලාවට හරිම ඉරිසියයි. අපිට ගොඩක් වෙලාවට අලුත් පොතක් කියවන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ කවුරු හරි පොත මිලදී ගත්ත කෙනෙක් ගෙන් හරි පුස්තකාලයෙන් හරි ඒ පොත හොයාගන්න කම්. ගෙදරින් අමතර වියදමට කියල සල්ලි වැඩිපුර ලැබුනෙ නැති නිසා ඉතින් පොතක් ගන්න සල්ලි එකතු කරගන්න මාස ගානක් බලාගෙන ඉන්න වෙනවා. හැබැයි හරි අමාරුවෙන් සල්ලි ඉතුරු කරගෙන මාස කිහිපයකට සැරයක් හරි පොතක් ගන්න සල්ලි හොයා ගත්තා ඉහළ පන්ති වලට ආවට පස්සෙ.

අලුත් පොත් “අහවලා ළඟ තියෙනවා” හරි “මම කියෙව්වා” වගේ කතන්දර අහගෙන ඉන්න කොට නම් ඉවසීමේ සීමාව ඉක්මවල යනවා. අන්තිමේ දී අපේ පන්තියෙ සඟයෙක් යෝජනා කලා අපි හැමෝගෙම සල්ලි යොදවල අලුතෙන් පිටවන පොත් මිල දී ගම්මු කියල. හැමෝම එක පයින් යෝජනාවට එකඟ වුනා. ඒ කල්ලියට විසි දෙනෙක් විතර හිටපු නිසා එක ළමයෙක්ට දෙන්න වුනේ රුපියල් දහයක් හෝ පහළොවක් වගේ ගණනක්. වැඩිම වුනොත් රුපියල් විස්සක්. ඒක හැමෝටම දරා ගන්න පුලුවන් ගණනනක් නිසා අපිට ලොකු සතුටක් දැනුනෙ. හැබැයි ඉතින් ක්‍රමයෙ පොඩි පොඩි අඩු පාඩුත් තිබුනා. මොකද සමහර අයට පොත කියවන්න සති දෙක තුනක් කට ඇරගෙන බලා ඉන්න වෙනවා. එතකොට පොත අතින් අතට ගිහිල්ලා අලුත් ගතිය නැතිවෙලා. පොත ගන්න සල්ලි දුන්න උදවියට අමතරව අපේ පන්තියෙ සහ අහල පහල පන්ති වල සඟයන්ට ත් පොත බලන්න දෙනවා. හැබැයි පොතට සල්ලි යොදවපු කට්ටිය කියවල ඉවර වුනාට පස්සෙ. ඒක බොහොම සාධාරණ වැඩක් වුනා කියල මට හිතෙන්නෙ.

ඔය විදිහට කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු “මොන්ත ක්‍රිස්තො” සිටුවරයා පොත් මාලාවේ පොත් හයම මිලදී අරගෙන කියවන්න අපිට පුලුවන් වුනා. ඊට අමතරව “ඈ හෙවත් අයේෂා” , “අයේෂා ආපසු එයි” වගේ පොත් කියවන්න ලැබුනා. හැබැයි මිලදී ගත්ත පොත් වල අවසාන අයිතිකාරයා වුනේ කවුද කියන එක ගැන කවුරුවත් ඒ තරම්ම වද වුනේ නෑ. මොකද ඒ වගේ රස වෑහෙන පොතක් පුංචි මුදලක් දීලා හරි කියවන්න ලැබීමත් ලොකු දෙයක් අපිට ඒ කාලෙ හැටියට.  ඔය පොත් අතරින් අපි වැඩිපුරම ආස කරපු “ටාර්සන්” පොත් ගැන තිබ්බ උනන්දුව කොච්චරද කියනවනම් අපේ සමහර සඟයන්ට ඒ පොත් වල එන නම් පවා පට බැඳල තිබුනා. යෝධයෙක් වගේ ඇඟ පත තිබුන ලමයෙක්ට නම දාලා තිබුනෙ “ටැන්ටෝර්” හෙවත් “ඇතා”. තව “පම්බා” හෙවත් “මීයා” සහ “හෝර්තා” හෙවත් “ඌරා” වගේ නම් පට බැඳිලා තිබුනා. මොනව වුනත් කියවීමට අපි ගොඩක් හුරු වුනේ ඒ පොත් හරහා තමයි. අප අතරින් වියෝ වුන තරුණ පරපුර කියවීමට හුරු කරමින් රසාලිප්ත ලෙස පරිවර්තන කාර්යයෙහි නිරත වුන කේ.ජී. කරුණාතිලක ශූරීන් ට “මගේ සටහන” හි උපහාර පුදමින් මෙවර සටහන නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.