වේදනාවෙන් ලියන්නෙමි

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි නව වන ලිපිය. ගිය සතියෙ ලියපු ලිපියටත් ප්‍රතිචාර ලැබිලා තිබුනා. කොහොම වුනත් මේ සතියෙ ලිපිය ලියන්න ගත්තෙ සෙනසුරාදා රෑ. හිතේ බොහොම කලකිරීම, නොසන්සුන්තාවය හිතේ දරාගෙන ලිවීම ආරම්භ කලේ. ඒ නිසා කිසිම පෙර සූදානමක් නැතිවයි “මගේ සටහන” ලියන්නෙ.

සිකුරාදා දවස උදා වුනේ බොහොම අවාසනාවන්ත සිදුවීමක් එක්ක. ඒ අපේ විශ්ව විද්‍යාලය අසලම පුපුරා ගිය බෝම්බය නිසා. ඒ වෙලාවෙ මම හිටියෙ නවාතැනේ වුනත් දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ ගලා ගෙන ආවා නිමක් නැතුව.  අන්තිමේ දි අපේ විශ්ව විද්‍යාල සිසුවෙක් ඇතුලු විසි දෙදෙනෙක් ගෙ ජීවිත අහිමි කරමින් එම සිද්ධිය නිමා වුනේ.  එක පාරටම ඇහුනු සද්දෙ මොකද්ද කියල මට නිශ්චය කර ගන්න බැරුව හිටියත් දුරකතන ඇමතුම් ගලා එන කොට තමයි තේරුම් ගියෙ බරපතල දෙයක් සිදුවෙලා තියෙන වග. මට කරදරයක් වෙලා නැති බව දැන ගත්ත අය සැනසුම් සුසුම් හෙලුවත් මිය ගිය මිනිසුන් වෙනුවෙන් වැලපෙන කඳුලු නැතිවෙන්නෙ නෑ. මරණය අපි අසලම ගැවසෙන එක ගැන දැනෙන්නෙ බයක් නෙවෙයි. ඒක විශාල කම්පනයක්. අපේ ජන සමාජයේ මිනිසුන් ගේ ජීවිත වලට අත්ව ඇති ඉරණම හදවතට දෙන්නෙ වේදනාවක්. තවත් එක් ලෙයින් වැකුණු දේශයක් බවට පත් වුණු ලංකාවේ මිනිස් ජීවිත ගැන කරුමය හරි වෙලාවෙ වැරැද්ද ගැන හිතමින් සැනසෙන්නට බැරි වග මට දැනෙනවා.  තුවාල වුන ලංකාවේ හදවත් වල ස්භාවය මොන තරම් ඉක්මනට වෙනස් වෙලාද කියන එක නොයෙක් උදාහරණ වලින් දැනෙනවා.

ගිය සතියෙ දුම්රියක් තුල දෙහිවල දි බෝම්බයක් පුපුරලා ගියා. මට එක පාරටම අම්මා ඇතුලු යන එන හිතවත් උදවිය සිහියට ආවා. ඒ අය යන්නෙ මුහුදු බඩ මාර්ගයෙ නොවුනත් දුම්රියේ යන එන නිසා ඒ කම්පනය කොහොමටත් දැනෙනෙවා. ඒ වෙලාවෙ ඒ ගැන කලබලයට පත් වුනු අපේ සඟයන් පූවත් වලට සවන් දෙන්න උත්සුක වන අතරේ පස් දෙනෙක් මිය ගිය පුවත අසා කම්පනයට පත් වුන මගේ මුහූණ දැකපු අපේ තවත් සඟයෙක් උපහාසයෙන්  හිනා වෙන ගමන් මගෙන් ඇහුවා ” අයියෝ පහයිනෙ මැරිලා තියෙන්නෙ” කියල. සංඛ්‍යා වලින් මිනිස් ජීවිත වල වටිනාකම් තෝරන්නට තරම් ඇද වැටුණු ලාංකේය සමාජ සංවේදනයට මම වෛර කරනවා. මිනිස් ජීවිත යනු තව දුරටත් තමන්ගේ සමීපයකු නොවන විට නොසලකා හැරි මට්ටමට අපේ සමාජය පත් වූ ආකාරය ගැන ඇතිවෙන්නෙ වේදනාවක්. මේ සියලු ඛේදවාචකයන්ට කෙලින්ම මුහූණ දෙන්නෙ මගේ පරම්පරාවේ උදවිය. දේශපාලකයන් මොන තරම් වහසි බස් දෙඩුවත් මිය යන්නෙ සාමාන්‍ය ජනතාව. යම් සිදුවීමක් සිදු වූ පසු රූපවාහියේ යන “breaking news”  වලින් පස්සේ හැමෝම තම තමුන්ගේ වැඩ කටයුතු කරා එළඹෙනවා. මම මේ ලියන මොහොතෙත් නිදි මරාගෙන sms ගහන ප්‍රසංගයක් රූපවාහිනියෙ යනවා. මම ජීවත් වන සමාජය සියලු දේ හුදෙක් සිදූවීම් ලෙස සලකා ජීවත් වන්නට පුරුදු පුහුණූ වුනේ ඇයි?

වැඩිහිටි පරම්පරාවල දේශපාලකයන් ඇතුලු අමනයන් විසින් මගේ පරම්පරාව මතට පටවන ලද යුද්ධය මා ඉස්සරහ පුපුරා යන ආකාරය බලා ගෙන ඉන්නෙ බොහොම තැති ගැන්මකින් යුතුව. යුද්ධය සිය ජීවිකාව වෙනුවෙන් සහ අවස්තාවාදය උදෙසා යොදා නොගන්නට මගේ පරම්පරාවේ ජීවිත උතුරේ යුධ පිටියේ දී මෙන්ම දකුණේ මග මග දී මරණයට මුහුණ නොපා ඉන්නට ඉඩ තිබුනා. ඇත්තටම කියනවනම් අවිනිශ්චිත තාව සහ මරණයේ සෙවනැල්ල මගේ පරම්පරාවේ නළල් තල මත කෙටු වැඩිහිටි පරම්පරාවට මම සාප කරනවා. ඒ පරම්පරාව හැමදාමත් ලංකාවේ තරුණ ජීවිත වල ලෙයින් මේ භූමිය සෝදා හැරියා. අසු නවයෙ දිත් ඉන් පසුව යූද්ධය නිසා තරුණ ජීවිත බිල්ලට දුන් ඒ කාලකණ්ණි වැඩිහිටි පරම්පරාවට සාප නොකර ඉන්නට තරම් හේතුවක් මට හොයාගන්න බැහැ. මේ සටහන ලියවෙන්නෙ අපේ ජීවිත මත මුග්ධ භාවය විසින් පතිත කරපු අවාසනාව ගැන කළකිරීම මුසු කේන්තියෙන් දැවෙමින්. වැඩිහිටි පරම්පරාවෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ තරුණ පරම්පරාවෙ ලෙයින් කියන ප්‍රකට කියමන සනාථ කරන්නට විසාලා මහනුවරක් බවට පත්වූ නූතන ලංකාව උදාහරණ දෙනවා.

යූද්ධය තුලදී හෝ මහ මගදී මේ මිය යන්නේ මහජන මුදල් ගසා කාපු උදවිය නෙවෙයි. වැට් බදු වංචාවෙන් සත පහක් හෝ කඩා ගත්ත උදවිය නොවෙයි. ඒ උදවිය යෙහෙන් වැජඹෙද් දි ආරක්ෂකයන්ගේ මුවාව නැති අපේ අසල් වැසියන් මිය යන්නේ සැමදා නොනැසෙන කැලැල් ඉතිරි කරමින්. ලියන්නට දේවල් ගලප ගන්න හරිම අමාරුයි. ලියනවට වැඩිය කලේ කල්පනා කරන එක. මිනිස් ජීවිත කිහිපයක් මහ මග දී අහිමි වීම එදිනෙදා ජීවිතයේ සරල සිද්ධියක් බවට පත් කිරීමට තරම් හේතු වූ කාරණා මොනවද කියන එක හොයලා බැලිය යුතුයි. එහෙම නොවුනොතින් ඉස්සරහට අපිට ඉතිරි වෙන්නෙ යන්ත්‍ර බවට පත් වුනු ආත්මාර්තයෙන් පිරී ගිය මිනිස් චරිත විතරයි.

පොඩි කාලයේ පටන්ම අනෙකා හෙලා දමා තමන් ජය ගත යුතු බව අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් , වැඩිහිටියන් ගෙන් සහ අවට සමාජයෙන් ඉගෙන ගත්ත අපිට , මම මුලින් කියපු සඟයගෙ කතාව එක අතකට පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. ඒ ඔහු අත් විඳි සමාජ හැසිරීම් තුලින් ඉතිරි වූ දෙය.  ඒක වෙනස් කිරීමට කල යුත්තෙ මොකද්ද  කියන එක මම හැමදාම ප්‍රශ්න කරනවා. මොකද තිරිසන් භාවයට පත්වුනු මිනිස් චරිත සමඟ ජීවත් වීමේ අප්පිරියාව වෙන කවදාටවත් වඩා මට දැන් දැනෙන නිසා.

මිය ගිය ගැමුණූ රත්නායක අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුවෙක්. අහිමි වන්නෙ විශ්ව විද්‍යාල සිසුවෙක් වුනත් නොවුනත් එය වටින දෙයක්. මේ දවස් වල හැමෝම කියන දේ පරිස්සම් වෙන්න කියන දේ. නමුත් ඒක කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ. ඒ තරමටම වික්ෂිප්ත වුන තැති ගැන්මකට ලක් වෙලා ඉන්නෙ හැම දෙනාම වගේ. අපි මේ මුහුණ දීලා ඉන්නෙ අපි ඉපදෙන්නටත් පෙර පරම්පරාවේ ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිපල. ඒක නිර්මාණය කරපු අයගේ දූ දරුවන් පිට රටවල ආරක්ෂිතව ඉන්නවා. මේක ලංකාවේ සැබෑ ස්වරූපය. ඒක ඉරණම විසින් තීන්දු කරපු දෙයක් කියල පිළිගන්න මම කැමති නෑ.

හදිසියෙ බස් එකක කෝච්චියක ගියත් දකින්නට ලැබෙන්නෙ සැකයෙන් පිරුණූ මුහුණු. ගිය සතියක ගමන් මල්ලත් අරගෙන කොළඹ ඉඳන් පිළියන්දලට එනකොට මගෙ දිහා බොහොම සැකයෙන් බලාගෙන හිටපු අපේ අම්මල ගෙ වයසෙ කාන්තාව මේ ලියන මොහොතෙ දි මට සිහි වුනා. පවතින තත්වය එක්ක ඒ ගැන මට කිසිම වැරැද්ක් කියන්න බැරි වුනත් තමන් අසල ඉන්න කෙනා තමන්ගේ මරණය ගෙන ඒවි කියන සැකය දැල්වුනු ඇස් දිහා බලාගෙන ඉන්න එක හරි අමාරු අත් දැකිමක්. ඒ වගේ සිදුවීම් බොහොම  වෙහෙසකර ගතියක් හිතට ගෙන දෙනවා. විමසිල්ලෙන් පසුවන ඒ දෑස් පස්සෙ කාලයක අවිශ්වාසය හිතේ දරාගෙන ජීවත් වෙනකොට ටිකෙන් ටික අවිශ්වාසය සමාජ ගත දෙයක් බවට පත් වෙනවා. යුද්ධය ප්‍රතිපලය අපි දෑස් ඉදිරිපිට අහිමි වන මිනිස් ජීවිත වලට අමතරව බරපතල හානියක් සමාජයට කරන්නෙ ඒ නිසයි.

තව දුරටත් මේ සතියෙ ලියන්නට බැරි බග හොඳටම දැනෙනවා. වෙනද ලියන්න හිතාගෙන ඉන්න කිසිම දෙයක් ගලප ගන්න බැරි වුනා. හැම දෙනාම ඒක තේරුම් ගනීවි කියල හිතනවා. මරණය හැමෝටම උරුම දෙයක් වුනත් එය මිනිස්සුන්ට ළඟා වන ආකාරය නිසා සමාජ සංවේදී තාවය මරා දමමින්, අවිනිශ්චිත තාවේ සලකුණු සටහන් කරන කොට ඊට එරෙහි නොවී බෑ. පව්කාර පරම්පරාවේ සාපය නිසා අපේ පරව්පරාවෙන් ගලා යන ලේ ගංගාව නිමා වේවා යන පැතුම ඇතිම මේ සතියේ සටහනට තිත තබනවා.

Advertisements

10 thoughts on “වේදනාවෙන් ලියන්නෙමි

  1. එදා 20 දෙනෙකුගේ හා ඒ හා බැඳුණු සිය ගණනකගේ ජීවිත පුපුරා ගියේ උදේ ..ඒත් දවල් වෙද්දිත් ඒ බස් එකේ පහළම පඩියෙන් ‍රතුපාට ලේ බිංදුව බැගින් පොලවට කාන්දු වෙන හැටි මම දැක්කා..රූපවාහිනිය නැරඹූ ඔබ වුණත් එය දකින්න ඇති. ඒ ලේ බිංදුව හිත හිස් කරලා දැම්මා. ටිකකින් මම දැක්කා එතන බිම රෝස පාට වූල්වලින් ගෙතූ කුඩා පසුම්බියක්..එක් සොල්දාදුවෙකු එය අතට ගෙන ඒ තුළ වූ දේ එ‍‍ළියට ගත්තා..එය කුඩා ජංගම දුරකථනයක්.එය අර මෙලොව හැර ගිය සොයුරියකගේ වෙන්න ඇති. මගේ ජංගම දුරකථනයේ ඇති හද නිවන පණිවිඩ දකින කොට මට නිතර එය සිහි‍වීම වලක්වා ගන්න බැහැ. මගේ පණිවිඩ තුළ ලෝකයක් රැඳී තියෙනවා වගේ අර බිම වැටී තිබුණේත් සිහින ලෝකයක් වෙන්න ඇති. ආදරය, සිහින, බලාපොරොත්තු, කැපකිරීම්, ප්‍රාර්ථනා ගොන්නක් ඒ තුළ තිබෙන්නට ඇති. ඒත් දැන් සියල්ල නතර වෙලා.

    මේ ජීවිතය තුළඳී පුලුවන් තරම් හදවත සාමයෙන් පුරවා ගෙන මේ ලද ජීවිතය අවසන් කරන්නයි මගේ නම් උත්සාහය..

    කම්පා වීමත්, කලකිරීමත් , කෝප වේගයත් මැදහත් සිතින් ඉවසා ගත හැකි තරමට මේ කුඩා කාලයේදී සතුටින් ඉන්න පුලුවන් වේවි.

    අනුන් වෙනුවෙන් සටහනක් තැබීම ගැන සතුටුයි

    : )

  2. ‍මොන බෝම්බෙටත් හිත සසලව, වික්ශිප්තව, කම්පනයෙන් යුතුව අවිනිශ්චිතව ඔහේ ඉන්නවා. මම ආරංචි වෙච්ච ගමං ගත්ත දුරකතන ඇමතුමක් මොරටු සරසවියෙ ඉන්න මල්ලි කෙනෙකුට. ඔහු ඒ වෙලාවේ සිදුවීම වෙච්ච තැන යාළුවො ඉන්නවා දැයි විපරම් කරමිනුයි සිටියේ. මට කථා කරගන්න බැරුව ගියා. ඔබ පැතූ ආකාරයට “අපේ පරව්පරාවෙන් ගලා යන ලේ ගංගාව නිමා වේවා” යන්න මම ද ප්‍රාර්ථනා කරනවා.

  3. ජිවිතය අනියතයි මරණය නියතයි කියලවත් හිත හදාගෙන
    ඉදිරි අධ්‍යාපන කටයුතු වලට හිත යොමු කරන් මල්ලියේ….

    මමත් කොයිවෙලාවේ හරි මගේ බ්ලොග් ලියවිලි නැති වෙනවා කියලා දන්නවා,
    දුම්රියේ පැය 2 1/2 ගමනේදි කොයි මොහොතේ හෝ මමත් අර ගණන් කරන අය අතරට වැටෙන්නට පුලුවන්…

    සමහරට විට මේ ලියන්නේ මගේ අවසාන බ්ලොග් සටහන විමටත්……
    🙂

  4. What is more important is preventing such tragedies in future.

    An interesting observation of mine.

    Since WW II there have been no civil wars in any of the developed countries. They have learnt their lessons in WW II. Most of the developing countries no take exceptional steps to keep themselves out of conflict. Perhaps the only exception is USA which under the stupid leadership of Dubya tries to behave as the cop of the world. Hope Obama addresses that issue too.

    So conflict is something inherent to non advanced primitive societies. The cradle of terrorism is poverty. The only way to prevent conflict is to develop our societies.

    No matter what we do, till we educate the population about the fallacy of fighting against each other these unfortunate events will happen.

  5. හ්ම්.. ජීවිතේ කියන්නෙ මේක තමයි. අපි කවුරුවත් හැමදාම ඉන්න ආපු අය නෙමෙයිනෙ. මේ වගේ සිදුවීම් දැන් සුලභ නිසා ඒවා දරාගන්න පුරුදු වෙන්න ඕනා. එහෙම නොවී ජීවිතේ ගැන කලකිරිලා පලක් නෑ. මේ හැම දේම ඉක්මනින් ඉවරවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..

  6. තම ජිවිතේ විදි අනේක විධි දුක් කම්කටොළු පසෙකලා ජිවිතේ ඉදිරිය දකින අටියෙන් ආදරය, කරුණාව, දයාව හා දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැදගෙන වෙව්ලමින් වුව ඉදිරියට තැබු පය පසෙකට නොගෙන ගිය ඒ අහිංසක ජිවිතවල අවසන් ගමන වෙනුවෙන් හිතේ ඇති වු වේදනාවෙන් වුවද ඔබ තැබු මේ සටහනට කෘතඥ වෙනවා. ජිවිතේ වටිනාකම් නොදත් , මරණ ගණනේ සංඛ්‍යාව අඩු හෝ වැඩි වීම තුල සැනසුම් හා හීල්ලීම් පවතින මෙවන් සමාජයක ජීවත් වන ඔබ වැනී සංවේදී මිනිසුන්ගේ දුක් අදෝනා තම වටිනා ජීවිතය අතරමග අතහැර දැමීමට සිදු වු ඒ අහිංසක ආත්මවලට සැනසීමක් වේවා.

  7. ශ්‍රී ලංකාව, භීෂණයේ දේශයක් බවට පත් කරවා ඇත්තේ ඔවුන්මය… යුද්ධයෙන් නේක පීඩි විඳින්නේ ඔබ, අප, මා පමණක් නොවන්නේමය. සියළු සැප සම්පත් වලින් අනූන වූ මේ ධරණි තලය සූරා කමින් මෙම ධරණි තලයටම වින කරනවුන්ගෙන් හා නොයෙකුත් දේශපාලන වාසි උදෙසා අභ්‍යන්තර ගැටුම් ඇතිකරනවුන්ගෙන් කවදා ගැලවුමක් අප මව් භූමියට ලැබෙන්නේද? එදින මේ භූමිය සාමයෙන් බැබලෙනු ඇත. අපට ඇත්තේ ඒ දිනය උදාවනතෙක් ඇඟිලි ගැනීමට පමණද? ඒ තුඡ්චයින්ගේ පරම්පාරව‍ටවත් අඩු ගානේ රට කරන්නටවත් රටක් ඉතිරිවේද? අහෝ ඛේදයකි, ලක් මෑණිය දුකෙන් හඬන්නී…

    අප රකින්නට, රට රකින්නට වෙර දරණ ත්‍රිවිධ හමුදා හා පොලිස් අංශ වෙත අපගේ ප්‍රණාමය…

  8. සියල්ල අවිනිශ්චිතය. වේදනාකාරීයි.!!
    ඔබ කියූ පරිදිම මේ යුද්ධය මිනිසුන්ගේ සමාජ සංවේදනයන් මොට කර දමලා. තමන්ගේ නොවන අනෙකුගේ මරණය ඔවුන්ට ඇති කරන්නේ තාවකාලික කම්පනයක් විතරයි. මට හිතනෙ විදියට දැන් ලංකාව ගොඩ ගත නොහැකි අඳුරකට ගමන් කරමින් සිටිනවා. මිනිස් සම්බන්ධතා සියල්ල මහත් නරුම ස්භාවයක් අරගෙන.
    අන්තවාදී, අවස්ථාවාදී සමාජ ව්‍යාපාරයනුත්, බලලෝභී මුග්ධ දේශපාලනයත් අපට අද ඉතුරු කොට ඇත්තේ මරණය හා වේදනාව පමණයි….මට කිසිදෙයක් හිතාගන්නට බැහැ. මේ නරුම ක්‍රමය වෙනස් කිරීමට අපට යමක් කල හැකි නම්..
    කොහොම වුනත් ඔබට ස්තූතියි!

  9. @ Anonymous – මිනිස් බලාපොරොත්තු අප වටා සිදු වන ඛේදවාචක මගින් බිඳ දමන ආකාරය හැමදාම බලාගෙන ඉන්නට බෑ. ඊට එරෙහි වූ සමාජමය කර්තව්‍යක්, දේශපාලනික ව්‍යාපාරයක් ඇති විය යුතුයි.

    @ ඩනිෂ්ක – එහෙම නොවෂවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා. හිත හදාගෙන ජීවත් වීම විතරක් හරි යන්නෙ නෑ. තිරිසන් භාවයට පත් වුන සමාජ සංවෙදනය සුවපත් කල යුතුයි.

    @ අමරසර – මීට සති දෙකකට පමණ උඩ දී මුදා නොගත් ප්‍රදේශයකදී ක්ලේමෝ බෝ්බයකට ගොදුරු වීමෙන් සවිල් වැසියන් 17 මිය ගියා. කොහෙ කොතැනක මිය ගියත් ඒ සියලු දෙන් අපේ අසල් වැසියන්.

    @ අරවින්ද – ඔබ කියන කාරණාවට මම එකඟ වෙනවා. සංස්කෘතිම, ලිංගිකමය නිදහස ආදී නොයෙකුත් කාරණා වලින් නොදියුණු ගෝත්‍රික ලාංකේය සමාජය දැනුවත් කර ඉන් මුදවා ගන්නා තුරු මේ සාපලත් සිදුවීව් නිම වන්නේ නෑ.

    @ දිල්ෂි – ප්‍රාර්තනා වලින් පමණක් සමාජ ව්‍යාපාර ප්‍රගමනය වෙන්නෙ නෑ. ඉවසා දරා සිඨීම යනු අපේ න්‍යාය පත්‍ර වලට අනුගත වීම පමණයි.

    @ සිතුවිලි – සංවේදීතාවය විහිලුවක් බවට පත් වූ සමාජයක මිනිස් හෘද සාක්ෂිය වැලපෙනවා. ප්‍රතිචාරයට තුති.

    @ කසුන් – මොට වුනු සමාජ සඅවේදනය අප නැවත ගොඩ නැගිය යුතුයි. එය හෙට දවස උදෙසා කරන්නා වූ කැපවීමක්.

    @ සුපුන් සුදාරක – නැවැත්වීම ද, එරෙහි වීමේ අයිතිය ද අප සතුයි.

  10. මට නම් කියන්න වැඩි දෙයක් නෑ. පළමු වතාවට බෝම්බයක් සද්දේ දැනුනේ හතේ පංතියෙදී. එදා ජනවාරි 31 වැනිදාවක්. එදා ඉදල අද වෙනකම් බෝම්බ කොච්චර පිපිරිලා ඇතිද? කී දෙනෙක්ගෙ ජීවිත ඒ බෝම්බ වලින් නැති කරන්නට ඇතිද? ඒත් මගේ හිතට තදින්ම දැනුනු බෝම්බය – කටුබැද්දෙදි පුපුරපු බෝම්බය තමයි. ඒ මම ඊට පිටුපසින් ආපු බස් එකේ හිටපු හන්දමත් නෙමෙයි. අපේම කොල්ලෙක් ඒ බෝම්බයට බිලිවුන හන්දයි.
    මේ ත්‍රස්තවාදය හැකිතරම් ඉක්මණින් මේ රටෙන් තුරන් කරන්නට අපේ හමුදාවන්ට හැකිවේවායි කියල මම ප්‍රාර්තනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )