වේදනාවෙන් ලියන්නෙමි

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි නව වන ලිපිය. ගිය සතියෙ ලියපු ලිපියටත් ප්‍රතිචාර ලැබිලා තිබුනා. කොහොම වුනත් මේ සතියෙ ලිපිය ලියන්න ගත්තෙ සෙනසුරාදා රෑ. හිතේ බොහොම කලකිරීම, නොසන්සුන්තාවය හිතේ දරාගෙන ලිවීම ආරම්භ කලේ. ඒ නිසා කිසිම පෙර සූදානමක් නැතිවයි “මගේ සටහන” ලියන්නෙ.

සිකුරාදා දවස උදා වුනේ බොහොම අවාසනාවන්ත සිදුවීමක් එක්ක. ඒ අපේ විශ්ව විද්‍යාලය අසලම පුපුරා ගිය බෝම්බය නිසා. ඒ වෙලාවෙ මම හිටියෙ නවාතැනේ වුනත් දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ ගලා ගෙන ආවා නිමක් නැතුව.  අන්තිමේ දි අපේ විශ්ව විද්‍යාල සිසුවෙක් ඇතුලු විසි දෙදෙනෙක් ගෙ ජීවිත අහිමි කරමින් එම සිද්ධිය නිමා වුනේ.  එක පාරටම ඇහුනු සද්දෙ මොකද්ද කියල මට නිශ්චය කර ගන්න බැරුව හිටියත් දුරකතන ඇමතුම් ගලා එන කොට තමයි තේරුම් ගියෙ බරපතල දෙයක් සිදුවෙලා තියෙන වග. මට කරදරයක් වෙලා නැති බව දැන ගත්ත අය සැනසුම් සුසුම් හෙලුවත් මිය ගිය මිනිසුන් වෙනුවෙන් වැලපෙන කඳුලු නැතිවෙන්නෙ නෑ. මරණය අපි අසලම ගැවසෙන එක ගැන දැනෙන්නෙ බයක් නෙවෙයි. ඒක විශාල කම්පනයක්. අපේ ජන සමාජයේ මිනිසුන් ගේ ජීවිත වලට අත්ව ඇති ඉරණම හදවතට දෙන්නෙ වේදනාවක්. තවත් එක් ලෙයින් වැකුණු දේශයක් බවට පත් වුණු ලංකාවේ මිනිස් ජීවිත ගැන කරුමය හරි වෙලාවෙ වැරැද්ද ගැන හිතමින් සැනසෙන්නට බැරි වග මට දැනෙනවා.  තුවාල වුන ලංකාවේ හදවත් වල ස්භාවය මොන තරම් ඉක්මනට වෙනස් වෙලාද කියන එක නොයෙක් උදාහරණ වලින් දැනෙනවා.

ගිය සතියෙ දුම්රියක් තුල දෙහිවල දි බෝම්බයක් පුපුරලා ගියා. මට එක පාරටම අම්මා ඇතුලු යන එන හිතවත් උදවිය සිහියට ආවා. ඒ අය යන්නෙ මුහුදු බඩ මාර්ගයෙ නොවුනත් දුම්රියේ යන එන නිසා ඒ කම්පනය කොහොමටත් දැනෙනෙවා. ඒ වෙලාවෙ ඒ ගැන කලබලයට පත් වුනු අපේ සඟයන් පූවත් වලට සවන් දෙන්න උත්සුක වන අතරේ පස් දෙනෙක් මිය ගිය පුවත අසා කම්පනයට පත් වුන මගේ මුහූණ දැකපු අපේ තවත් සඟයෙක් උපහාසයෙන්  හිනා වෙන ගමන් මගෙන් ඇහුවා ” අයියෝ පහයිනෙ මැරිලා තියෙන්නෙ” කියල. සංඛ්‍යා වලින් මිනිස් ජීවිත වල වටිනාකම් තෝරන්නට තරම් ඇද වැටුණු ලාංකේය සමාජ සංවේදනයට මම වෛර කරනවා. මිනිස් ජීවිත යනු තව දුරටත් තමන්ගේ සමීපයකු නොවන විට නොසලකා හැරි මට්ටමට අපේ සමාජය පත් වූ ආකාරය ගැන ඇතිවෙන්නෙ වේදනාවක්. මේ සියලු ඛේදවාචකයන්ට කෙලින්ම මුහූණ දෙන්නෙ මගේ පරම්පරාවේ උදවිය. දේශපාලකයන් මොන තරම් වහසි බස් දෙඩුවත් මිය යන්නෙ සාමාන්‍ය ජනතාව. යම් සිදුවීමක් සිදු වූ පසු රූපවාහියේ යන “breaking news”  වලින් පස්සේ හැමෝම තම තමුන්ගේ වැඩ කටයුතු කරා එළඹෙනවා. මම මේ ලියන මොහොතෙත් නිදි මරාගෙන sms ගහන ප්‍රසංගයක් රූපවාහිනියෙ යනවා. මම ජීවත් වන සමාජය සියලු දේ හුදෙක් සිදූවීම් ලෙස සලකා ජීවත් වන්නට පුරුදු පුහුණූ වුනේ ඇයි?

වැඩිහිටි පරම්පරාවල දේශපාලකයන් ඇතුලු අමනයන් විසින් මගේ පරම්පරාව මතට පටවන ලද යුද්ධය මා ඉස්සරහ පුපුරා යන ආකාරය බලා ගෙන ඉන්නෙ බොහොම තැති ගැන්මකින් යුතුව. යුද්ධය සිය ජීවිකාව වෙනුවෙන් සහ අවස්තාවාදය උදෙසා යොදා නොගන්නට මගේ පරම්පරාවේ ජීවිත උතුරේ යුධ පිටියේ දී මෙන්ම දකුණේ මග මග දී මරණයට මුහුණ නොපා ඉන්නට ඉඩ තිබුනා. ඇත්තටම කියනවනම් අවිනිශ්චිත තාව සහ මරණයේ සෙවනැල්ල මගේ පරම්පරාවේ නළල් තල මත කෙටු වැඩිහිටි පරම්පරාවට මම සාප කරනවා. ඒ පරම්පරාව හැමදාමත් ලංකාවේ තරුණ ජීවිත වල ලෙයින් මේ භූමිය සෝදා හැරියා. අසු නවයෙ දිත් ඉන් පසුව යූද්ධය නිසා තරුණ ජීවිත බිල්ලට දුන් ඒ කාලකණ්ණි වැඩිහිටි පරම්පරාවට සාප නොකර ඉන්නට තරම් හේතුවක් මට හොයාගන්න බැහැ. මේ සටහන ලියවෙන්නෙ අපේ ජීවිත මත මුග්ධ භාවය විසින් පතිත කරපු අවාසනාව ගැන කළකිරීම මුසු කේන්තියෙන් දැවෙමින්. වැඩිහිටි පරම්පරාවෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ තරුණ පරම්පරාවෙ ලෙයින් කියන ප්‍රකට කියමන සනාථ කරන්නට විසාලා මහනුවරක් බවට පත්වූ නූතන ලංකාව උදාහරණ දෙනවා.

යූද්ධය තුලදී හෝ මහ මගදී මේ මිය යන්නේ මහජන මුදල් ගසා කාපු උදවිය නෙවෙයි. වැට් බදු වංචාවෙන් සත පහක් හෝ කඩා ගත්ත උදවිය නොවෙයි. ඒ උදවිය යෙහෙන් වැජඹෙද් දි ආරක්ෂකයන්ගේ මුවාව නැති අපේ අසල් වැසියන් මිය යන්නේ සැමදා නොනැසෙන කැලැල් ඉතිරි කරමින්. ලියන්නට දේවල් ගලප ගන්න හරිම අමාරුයි. ලියනවට වැඩිය කලේ කල්පනා කරන එක. මිනිස් ජීවිත කිහිපයක් මහ මග දී අහිමි වීම එදිනෙදා ජීවිතයේ සරල සිද්ධියක් බවට පත් කිරීමට තරම් හේතු වූ කාරණා මොනවද කියන එක හොයලා බැලිය යුතුයි. එහෙම නොවුනොතින් ඉස්සරහට අපිට ඉතිරි වෙන්නෙ යන්ත්‍ර බවට පත් වුනු ආත්මාර්තයෙන් පිරී ගිය මිනිස් චරිත විතරයි.

පොඩි කාලයේ පටන්ම අනෙකා හෙලා දමා තමන් ජය ගත යුතු බව අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් , වැඩිහිටියන් ගෙන් සහ අවට සමාජයෙන් ඉගෙන ගත්ත අපිට , මම මුලින් කියපු සඟයගෙ කතාව එක අතකට පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. ඒ ඔහු අත් විඳි සමාජ හැසිරීම් තුලින් ඉතිරි වූ දෙය.  ඒක වෙනස් කිරීමට කල යුත්තෙ මොකද්ද  කියන එක මම හැමදාම ප්‍රශ්න කරනවා. මොකද තිරිසන් භාවයට පත්වුනු මිනිස් චරිත සමඟ ජීවත් වීමේ අප්පිරියාව වෙන කවදාටවත් වඩා මට දැන් දැනෙන නිසා.

මිය ගිය ගැමුණූ රත්නායක අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුවෙක්. අහිමි වන්නෙ විශ්ව විද්‍යාල සිසුවෙක් වුනත් නොවුනත් එය වටින දෙයක්. මේ දවස් වල හැමෝම කියන දේ පරිස්සම් වෙන්න කියන දේ. නමුත් ඒක කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ. ඒ තරමටම වික්ෂිප්ත වුන තැති ගැන්මකට ලක් වෙලා ඉන්නෙ හැම දෙනාම වගේ. අපි මේ මුහුණ දීලා ඉන්නෙ අපි ඉපදෙන්නටත් පෙර පරම්පරාවේ ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිපල. ඒක නිර්මාණය කරපු අයගේ දූ දරුවන් පිට රටවල ආරක්ෂිතව ඉන්නවා. මේක ලංකාවේ සැබෑ ස්වරූපය. ඒක ඉරණම විසින් තීන්දු කරපු දෙයක් කියල පිළිගන්න මම කැමති නෑ.

හදිසියෙ බස් එකක කෝච්චියක ගියත් දකින්නට ලැබෙන්නෙ සැකයෙන් පිරුණූ මුහුණු. ගිය සතියක ගමන් මල්ලත් අරගෙන කොළඹ ඉඳන් පිළියන්දලට එනකොට මගෙ දිහා බොහොම සැකයෙන් බලාගෙන හිටපු අපේ අම්මල ගෙ වයසෙ කාන්තාව මේ ලියන මොහොතෙ දි මට සිහි වුනා. පවතින තත්වය එක්ක ඒ ගැන මට කිසිම වැරැද්ක් කියන්න බැරි වුනත් තමන් අසල ඉන්න කෙනා තමන්ගේ මරණය ගෙන ඒවි කියන සැකය දැල්වුනු ඇස් දිහා බලාගෙන ඉන්න එක හරි අමාරු අත් දැකිමක්. ඒ වගේ සිදුවීම් බොහොම  වෙහෙසකර ගතියක් හිතට ගෙන දෙනවා. විමසිල්ලෙන් පසුවන ඒ දෑස් පස්සෙ කාලයක අවිශ්වාසය හිතේ දරාගෙන ජීවත් වෙනකොට ටිකෙන් ටික අවිශ්වාසය සමාජ ගත දෙයක් බවට පත් වෙනවා. යුද්ධය ප්‍රතිපලය අපි දෑස් ඉදිරිපිට අහිමි වන මිනිස් ජීවිත වලට අමතරව බරපතල හානියක් සමාජයට කරන්නෙ ඒ නිසයි.

තව දුරටත් මේ සතියෙ ලියන්නට බැරි බග හොඳටම දැනෙනවා. වෙනද ලියන්න හිතාගෙන ඉන්න කිසිම දෙයක් ගලප ගන්න බැරි වුනා. හැම දෙනාම ඒක තේරුම් ගනීවි කියල හිතනවා. මරණය හැමෝටම උරුම දෙයක් වුනත් එය මිනිස්සුන්ට ළඟා වන ආකාරය නිසා සමාජ සංවේදී තාවය මරා දමමින්, අවිනිශ්චිත තාවේ සලකුණු සටහන් කරන කොට ඊට එරෙහි නොවී බෑ. පව්කාර පරම්පරාවේ සාපය නිසා අපේ පරව්පරාවෙන් ගලා යන ලේ ගංගාව නිමා වේවා යන පැතුම ඇතිම මේ සතියේ සටහනට තිත තබනවා.