පොල් කටු පාපන්දු

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් දෙවන සටහන. වෙනද වගේ නැතුව ටිකක් වැඩ අස්සෙ තමයි ලියන්න පටන් ගත්තෙ. කරන්න වැඩ ගොඩ ගැහිල තිබුනත් සුපුරුදු ඉරිදා හැන්දෑවේ ලියල දාන්න කල්පනා කලා. එහෙමනම් ඉතින් “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ සටහන නම් ගොඩක් ප්‍රතිචාර ලැබිල තිබුනා. මම හිතන්නෙ ඒකට හේතුව වෙන්න ඇත්තෙ අර බෙදිල්ලෙ තිබුන පිස්සු ගතිය නිසා වෙන්න ඇති. කොහොම වුනත් ඒක හරි අපූරු වැඩක්. ඔය පොත් කියවීමේ පිස්සුව ගැනත් මම ලිව්වනෙ ගිය සතියෙ. ඒ දවස් වල ඉඳන්ම අලුත් පොතක් කොහෙ හරි දැක්කම නිකමට හරි අතට අරගෙන පෙරලල බලන්න හිතෙනවා. සමහර වෙලාවට පොතක් ගන්නව තියා අමතර රුපියලක් වත් නැති දවසක් වුනත් පැය ගානක් තිස්සෙ පොත් ප්‍රදර්ශන වලට ගිහිල්ලා කාලය ගත කරල තියෙනවා. හැබැයි ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මුල කාලෙ හරිම ආසාවෙන් ගියත් පස්සෙ කාලේ යන එක නවත්තල දැම්මා. ඒකට ප්‍රධානම හේතුව වුනේ පොතක් ජීවිතේටවත් කියවන්න හිතපු නැති උදවිය එතන පිරිලා වැඩේ අවුල් කරන්න ගත්ත නිසයි. ඒ තද බදය අස්සෙ පොත් තෝරනවට වඩා කීයක් හරි වැඩිපුර දීලා පොත් සාප්පුවකින් පොත් ගන්න එක සැප නිසා මතක ඇති කාලෙකින් ගියෙ නෑ මම නම්. සාමාන්‍යයෙන් ඔය වගේ තැනක දි ලේඛකයො සහ පාඨකයන් එකතු වෙන තැනක් බවට පත් විය යුතු වුනත් එහෙම වෙන පාටක් පෙනෙන්න නෑ. හැබැයි මුල කාලේ මමයි මිත්‍රයකුයි ගිය වෙලාවක මම මිල දී ගන්න ලෑස්ති වුනා “චිත්‍රා අයි. පෙරේරා” මහත්තමිය අතින් සිංහලයට පරිවර්තනය වුන “කූඩු කිරිල්ලි” පොත් පෙල. කොහොම හරි මේ පොතේ අන්තර්ගතය ගැන මගේ මිත්‍රය පල කරපු අදහස් නිසා එතන කුටියෙ හිටපු අයත් එක්ක ලොකු විවාදයකුත් ඇති වුනා. කොහොම නමුත් මම පොත මිලදී ගත්තා. වැඩේ කියන්නෙ ඒ වගේ පොත් වල ගුණ දොස් ගැන තර්ක විතර්ක වලට එළඹෙන්න තරම් නිදහස් ඉඩ කඩක් එතන තිබුනු එක. නමුත් පස්සෙ කාලේ එතනට ලැබුන නුවමනා ප්‍රචාරයට පිං සිද්ධ වෙන්න වැඩේ අල වුනා.

පොත් ගැන නම් තව කියන්න තියෙනවා. ඒවා ඉඩ ලැබුන වෙලාවල දි කියන්න පුලුවනි. “මගේ සටහන” ලියාගෙන යන කොට මට එන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි අවිධිමත් කම. මොකද එක එක දේවල් හිටපු ගමන් මතක් වෙනවා. ඒක නිසා මට හැමදාම හිතෙනවා වගේ ලියල ඉවර වෙලා බලන කොට අපිළිවෙල ගතිය දැනෙනවා. ඒකට ඉතින් විශේෂ පිළියමකුත් නැති නිසා දිගටම මේ විදිහට ලියන්න තමයි වෙන්නෙ. ඔය ඉස්කෝලෙ යන කාලෙ අපිට තිබ්බෙ කාලයෙන් කාලයට එක එක පිස්සු වැඩ. සමහර වෙලාවට ඒවා ඒ කාලයේ ජනප්‍රිය වෙන දේවල්. එහෙමත් නැත්තම් අර PI වල අගය හොයනවා වගේ පිස්සු වැඩ. එක කාලයක් තිබුනා අපිට පාපන්දු පිස්සුවක් හැදිල තිබුනා. ඒ අපි පහේ පන්තියෙ ඉන්න කොට. හරියටම කියනවනම් නවසිය අනූ හතරෙ අවුරුද්දෙ. එ්කට ප්‍රධාන හේතුව වුනේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය. පිස්සුව කොයි තරම් තද වුනාද කියනවනම් විවේක කාලයේදි අපි කරන සුපුරුදු සෙල්ලමා නවත්තලා පාපන්දු සෙල්ලම් කරන්න ගත්තා. හැබැයි අපි හිටපු ඉස්කෝලෙ කොහෙන්ද පාපන්දූ? අඩුම ගානෙ අපිට සෙල්ලම් කරන්න සැහැල්ලු පන්දුවක්, වොලි බෝලයක් වත් තිබුනෙ නෑ. ළමයි කාගෙවත් ගෙදරක පාපන්දු ඇත්තෙත් නෑ. එහෙම එකක් අරගෙන දෙන්න කිව්වොත් කියයි “මේකා පොතක් පතක් අරගෙන දෙන්න කියල ඉල්ලන්නෙ නෑ, ඒ වුනාට ෆුට් බෝල ගහන්න කල්පනාව. පැත්තකට වෙලා පොතක් බලාගත්තොත් නරක් වෙලා තියෙයි” වගේ කතාවක්. කොහොමටත් තමන් හීන අසරණ දරුවො මතින් සපුරගන්න දඟලන, මිනිස් යන්ත්‍ර සූත්‍ර බිහි කිරීමේ පෙරමුණ ගත්ත ලංකාවේ බහුතර වැඩිහිටි පරම්පරාව ඔය වගේ තකතීරු කතන්දර ඇහුවෙ නැත්තං තමයි පුදුමෙ. හරිම අමාරුයි මේ අයට ළමයින්ගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න.

කතාවෙන් ටිකක් පිට පැන්නා වුනත් ඉතින් කොහොම හරි පාපන්දුවක් නැහැයි කියල අපේ පාපන්දු ගැසීමේ ආසාව නැති වුනේ නෑ. පාපන්දුව වෙනුවට අපි යොදා ගත්තෙ පොල් කට්ටක්. ඒ කාලේ මට මතක ඇති තරමින් ඒ දරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කලේ නෑ. ඒක නිසා පොල් කටුවක් පාවිච්චි කිරීමේ අදහස කවුරු ඉදිරිපත් කලා වුනත් විරුද්ධ වෙන්න කෙනෙක් හිටියෙ නෑ. හැබැයි ඉතින් සැබෑ පාපන්දුවක් වගේ පොල් කට්ට උඩින් ගහන්න බෑ. ඒක නිසා බිම දිගේ තමයි අපේ “පොල් කටු” පාපන්දුව අරගෙන යන්නෙ. සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ සුපුරුදු සෙල්ලම් වලට ගෑණූ ළමයි හවුල් වුත් “පොල් කටු” පාපන්දු සෙල්ලමට ඒ අය වැඩිය හවුල් වුනේ නෑ. ඕනෙවට වඩා දූවිලි අවුස්සගෙන , එක ගොඩේ හැප්පිලා සෙලලම් කරන්න ගෑණූ ළමයි අකමැති වෙන්න ඇති. හැබැයි ඔය සෙල්ලම පාපන්දු ලෝක කුසලානය ඉවර වුන ගමන්ම වගේ අපි අතින් මග ඇරිලා ගියා. ඊට පස්සෙ අපි අපේ සුපුරුදු සෙල්ලම් වලට මාරු වුනා. කොහොම වුනත් මට “පොල් කටු” පාපන්දු එපා වුනේ එක දවසක් දැල රකින්නා ලෙස ඉන්න කොට “පොල් කටු” පාපන්දුව අතින් අල්ල ගන්න ගිහින් දාරයකට අත කැපුනු නිසා. ඊට පස්සෙ මම පැත්තකට වෙලා හිටියා. ඒ කාලේ මගේ ප්‍රියතම කණ්ඩායම වුනේ ආර්ජන්ටිනාව. සුපිරි ක්‍රීඩක “දියාගෝ මැරඩෝනා” තමයි එම කණ්ඩායමේ නායකයා වුනේ. නමුත් තහනම් මත් ද්‍රව්‍ය ගැනීමේ චෝදනාව මත තරඟාවලිය අතරමැද ඔහු තහනමට ලක් වුනා. ඒක නිසාම ආර්ජන්ටිනා කණ්ඩායම වැඩි දුරකට ගියෙත් නෑ.

ඇත්තටම පහේ පන්තියෙ ඉන්න කාලේ ක්‍රීඩා පහසුකම් අපිට තිබුනෙම නැති තරම්. ටෙනිස් බෝලයක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක්. පිත්තක් නම් තිබුනෙම නෑ. ඒක නිසාම අපි වැඩිපුර ක්‍රිකට් ගහන්නෙ නෑ. අපි වැඩි පුරම කලේ එල්ලෙ ගහන එක. කවුදෝ කෙනෙක් උණ බම්බුවක් හොයා ගෙන ඇවිත් තිබුනා. කොහෙන් හරි ටෙනිස් පන්දුවක් හොයා ගත්තම වැඩේ පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිරිමි ළමයි ක්‍රීඩා කරන කොට ගැහැණු ළමයි එන්නෙ නෑ නෙ. මොකද පිරිමි ළමයි ශරීර ශක්තියෙන් වැඩි නිසා වේගෙන් දුවනවා, විශාල පහරවල් ගහනවා වගේ දේවල් නිසා. ඒ වුනාට අපි පහේ පන්තියෙ ඉන්න කොට එල්ලෙ ක්‍රීඩා කරද්දි ඉස්කෝලෙ ගොඩනැගිල්ලෙ වහල උඩින් ගිහිල්ල අනිත් පැත්තට වැටෙන්න පන්දුවට පහර දෙන්න පුලුවන් වුනේ අපේ පන්තියෙ හිටපු ගෑණු ළමයෙකුට. අපේ සම වයසෙ ළමයෙක් වුනත් සෙල්ලමේ දී කිසිම අමාරුවක් නැතිව අපිව පරද්දන්න ඒ යෙහෙළියට පුලුවන් වෙච්ච එක ගැන තිබුනෙ ලොකු ඉරිසියාවක්. පිරිමි ළමයි කොච්චර උත්සහ කලත් යන්තම් ඒ ගොඩනැගිල්ලෙ පළවෙනි තට්ටුව විතර උසකට තමයි පන්දුව යවන්න පුලුවන් වුනේ. මම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒ පාසලේ සෙල්ලම් වගේම සිදුවුන සංවේදි සිදුවීම් තාමත් මගේ මතකයෙ තියෙනවා. ඒ අතර එක සිදුවීමක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. සිද්ධිය මෙහෙමයි. පහ වසර ශිෂ්‍යත්වයෙන් මම ත් ඇතුලුව පාසලේ ළමයි හය දෙනෙක් සමත් වුනා අනූ හතර අවුරුද්දෙ. කොහොම හරි පාසලේ ළමයි ඔක්කොම කැඳවල අපිට සුබ පතල, අගය කරල රැස්වීමක් එහෙම පැවැත් වුනා. ඉතින් එදා හවස අපේ පන්තියෙ හිටපු ළමයි කිහිප දෙනෙක් එකතු වෙලා සමත් වෙච්ච සියලු දෙනාවම ළඟ පාත තිබ්බ කඩයකට එක්ක ගෙන ගිහින් බීම බෝතල් සහ කෑම අරගෙන දුන්නා. සාමාන්‍යයෙන් ඒ වයසෙදි ළමයි ළඟ වැඩිපුර සල්ලි නෑ. එදා වියදම් කරපු මුදලත් සැලකිය යුතු මට්ටමේ ගණනක් කාලෙ හැටියට. ඇත්තටම ඒ සංග්‍රහය නිසා අපි බොහොම සතුටටත්, පුදුමයටත් පත් වුනා. මොකද ඒ තරම් ගණනක් අපි වෙනුවෙන් වියදම් කරපු නිසා. ඒ පාර මම එක සඟයෙක් ගෙන් ඇහුවා “ඇයි අපිට මේවා අරගෙන දුන්නෙ ඔයාලගෙ වියදමින්” කියල. ඒ පාර ඒ සඟයා කිව්වා ” අපි ට හරිම සන්තෝසයි ඔයාලා පාස් වෙච්ච එක ගැන. ඔයාලා වෙන ඉස්කෝලෙකට ගියහම අපිට හම්බ වෙන එකකුත් නෑ නෙ, ඒකයි මේ” කියල. ඇත්ටම ඔවුන් තමන්ගෙ මිත්‍රයන්ගේ ජයග්‍රහණය ගැන සතුටු වුන අව්‍යාජ භාවය මේ ලියන මොහොතේ දී පවා මට දැනෙනවා. ඒ සිදුවීම නැවත සිහිපත් කලේ වැඩිහිටියන්  “අනිත් අයට වඩා ඔයා ඉහළට යන්න ඕන” කියල මොන තරම් විස පෙව්වත් ළමයින්ගෙ සිත් තුල මොන තරම් මනුෂ්‍යත්වයේ හැඟීම් දැල්වෙනවද කියන එක දැනුන නිසා. අද කොහේ ඒ මිත්‍රයන් කොහේ ඉන්නවද, මොනව කරනවද කියල දන්නෙ නැති වුනත් එදා ඒ දක්වපු අව්‍යජ භාවයට උපහාර පුද කරමින් “මගේ සටහන” නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

අමුතු බෙදිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් එක්වන ලිපිය. සුපුරුදු පරිදි ඉරිදා හැන්දෑවේ , ත්‍රිත්ව සහ කිංස්වුඩ් දෙවිදුහල් අතර පැවැත්වුන රගබි තරඟය නරඹලා ඉවර වෙලා තමයි වැඩට බැස්සෙ. විටින් විට කඩා ගෙන හැලෙන වැස්ස එක්ක ටිකක් කේන්තියෙනුත් එක්ක තමයි ලියන්න පටන් ගත්තෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම කිව්ව දන්කෝ ගැන කතාව මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතා වලින් මම ඉතාම කැමති එකක්. ඊට අමතරව මම කැමතිම කෙටිකතා අතර “මගේ කුලුඳුල් ආලය” හා “විසි හය දෙනෙක් සහ තරුණියක්” කියන කතාවන් ඇතුලත්. ගෝර්කි ගෙ ඒ කෙටි කතා දෙක කියවල නැත්තනම් කොහෙන් හරි හොයාගෙන කියවන එක නරක නෑ. අන්ත දිළින්දකු ලෙස සිය ජීවිතයේ නොයෙක් බාධක වලට මුහුණ දුන් ගෝර්කි මම කියවල තියෙන ලේඛකයන් අතර විශිෂ්ඨතමයා විදිහට තමයි හිතෙන්නෙ. කොතරම් දුක් කරදර වින්දත් තමන් ලියපු දේවල් වල වයිරය , ක්‍රෝධය වගේ හැඟීම් වලින් තොරව, ඉතාමත් සංයමයෙන් මිනිස් සම්බන්ධතා වල ගුණ සුවඳ පිළිබඳ නොනැසෙන විශ්වාසයක් ඇතිව ලියපු ලේඛකයෙක් විදිහටයි මම ගෝර්කි ව සලකන්නෙ. එවැනි මානව දයාවෙන් පිරුණු ලේඛකයන් බිහි වෙන්නෙ බොහොම කලාතුරකින්.

හදිසියෙම ගෝර්කි මතක් වුන නිසා ඒ ටික කියල දැම්මා. ඉදිරි “මගේ සටහන්” හරහා මම කියවපු ගෝර්කි ගෙ පොත් ගැනත් ටිකක් කියන්න කල්පනාව තියෙනවා. මේ සතියෙ සටහන ලියන්න ගන්න කොටම පෙර සූදානමක් නැති කමින් ලියන්නෙ මොනවද කියන එක කල්පනා කරන්න සිද්ධ වුනා. වෙලාවකට ලියන එකේ ලබන ආස්වාදය ගිලිහිලා යන ගතිය ඒකට හේතුව වගේ දැනෙනවා. එදිනෙදා දේවල් වල නිරත වෙන යාන්ත්‍රික ස්භාවයට “මගේ සටහන” ලක් වෙලාද කියල මටත් සැක හිතෙන වෙලාවල් තියෙනවා. ඔය අස්සෙ ඉස්කෝලෙ යන කාලේ සිද්ධි මතක් වුනා. මතක් වෙන හැම සිද්ධියම කියන්න බැරි වුනත් කියන්න පුලුවන් තරමේ ඒවා කියල දාන්නයි කල්පනාව.

සාමාන්‍යයෙන් වැස්සකට හරි ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙක් ගණිතය කියල විෂයක් ගැන අහල ඇතිනෙ. එක වසරෙ ඉඳන් ලංකාවෙ ඉස්කෝල වල අවුරුදු එකොළහක් තිස්සෙ හණිතය උගන්නනවා වුනත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් ප්‍රතිශතය සියයට පනහක (50%) ට මදක් වැඩි ගණනක්. අබ්බගාත අධ්‍යාපන ක්‍රමය ගැන ඔයිට වඩා හොඳ උදාහරණ තවත් ඕනෙ නෑ නෙ. ගෙවල් වලින් ළමයින්ට වෙලාවකට බනිනවනෙ කේන්ති ගියහම “මේකට වියදම් කරපු  සල්ලි වලින් එළදෙනක් හැදුවා නම් කිරි ටික වත් ගන්නවා” කියල. ඒ වගේ අධ්‍යාපන ක්‍රමය නඩත්තු කරන්න ගෙවන බදු වලින් බලධාරීන් පිස්සු කෙලින හැටි දැක්කම හිතෙනවා “ඉස්කෝල වහල, ළමයි අතට සල්ලි ටික දුන්නනම්” කියල. කතාව ඉතින් බලධාරීන් ගැන නෙවේ. ඔය ගණිතයෙ තියෙනවනේ PI කියල අගයක්. ගණිතය යන්තමින් හරි මතක නම් ඔය අගය අමතක වෙන්න විදිහක් නෑ. සාමාන්‍යයෙන් ඕකෙ අගය 3.14 ක් විතර ආසන්න වශයෙන්.

ඉතින් අපි දහයෙ පන්තියෙ ඉන්නකොට අපේ සඟයෙක්ට ඇති වුනා අපූරු ආසාවක්. ඔය PI කියන අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හෙව්වොතින් ඒක ඉතා නිවැරදි අගයක් ලු.ඒක කොහෙන් හරි දැනගෙන ආපු මිනිහා අපිට කිව්වා කොහොම හරි  PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හොයමු කියල. මම එක පාරට කිව්වා “එච්චර ගොඩක් තනියම බෙදන්න බෑ, අත ඇරල දාමු” කියල. ඒ වුනාට මිනිහ නෙවෙයි සැලුනෙ. මිනිහා කිව්වා අපි තව දෙතුන් දෙනෙක් හවුල් කරගෙන මාරුවෙන් මාරුවට බෙදාගෙන යමු කියල. ඒ පාර තවත් සඟයෙක්ට ඇම දාලා වැඩේට හවුල් කර ගන්න පුලුවන් වුනා. වැඩේ යෝජනා කරපු මිත්‍රයා එදාම පිටු අසූවේ පොතකුත් මිලදී අරගෙන ආවා තමුන්ගෙ වියදමින්ම. මට ඉතින් ඇතිවුන ප්‍රශ්නෙ දශම ස්ථාන දශ ලක්ෂයක් ලියන්න පොතේ ඉඩ ඇති වෙයිද කියන එක.

කොහොම හරි අපි මුලින්නම සම්මුතියකට එළඹිලා වැඩේ පටන් ගත්තා. සම්මුතිය තමයි එක් කෙනෙක් දශම ස්ථාන සියයක් වෙනකම් බෙදිය යුතුයි කියන එක. කොහොම හරි අපිත් බොහොම උද්යෝගයෙන් යුතුව වැඩේ පටන් ගත්තා. කරදරයක් නැතිව දශම ස්ථාන දාහක් විතර වෙනකම් බෙදාගෙන ගියා. ඔන්න මුලින්ම “මේක කිසි තේරුමක් නැති වැඩක්” කියල අපේ හවුල්කාර සඟය ඉවත් වුනා. ඒක නිසා මගේ උද්යෝගයත් හීන වෙලා ඉවත් වුනා. අන්තිමට PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් දක්වා හොයාගෙන කීර්තිමත් ගණිතඥයකු වෙන ආසාව අකමැත්තෙන් වුනත් අත ඇරල දාන්න වැඩේ යෝජනා කරපු සඟයට සිද්ධ වුනා. හැබැයි සල්ලි දීලා ගත්ත අභ්‍යාස පොත නම් අපතෙ ගියෙ නෑ. මිනිහ ඒකෙ මුල් පිටු දෙක තුන ඉරල දාලා වෙන විෂයකට පාවිච්චි කලා. ඔය වගේ වැඩ කරන්න පරිගණක භාවිතා කරනවා කියල අපි මෙලෝ හාංකවිසියක් දැන ගෙන හිටියෙ නෑ ඒ කාලේ. කවුරුහරි මේක කියවන කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා “මෙච්චර මෝඩ වැඩ කරන්න මොළේ මහන්සි කලේ මොකටද” කියල. ඒ වුනාට ඉතින් ඉස්කෝලෙ යන කාලෙට එන ඔය වගේ අරුම පුදුම කල්පනා වලත් අමුතු ජොලියක් තියෙනවා. ඒ අවධිය පහු කලාට පස්සෙ තමයි කරපු මෝඩ කම් වල තරම තේරෙන්නෙ.

ඔය අතරෙ ටිකක් මොළේ ඇති වැඩත් කරල තියෙනවා. එකක් තමයි අපේ පන්තියෙ පිහිටුවගෙන තිබුන පොත් කියවීමේ කල්ලිය. ඒක හරිම අපූරු එකක්. ඒ කාලේ අපි කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු ටාර්සන්ගේ වීර ක්‍රියා ඇතැලත් පොත් වලට වගේම රයිඩර් හැගාර්ඩ් ලේඛකයගෙ ඈ හේවත් අයේෂා, විජයග්‍රහී කෝනෑන් වගේ පොත් වලට පිස්සු වැටිලා හිටියෙ. ඒ දවස් වල චන්දන මෙන්ඩිස් ශූරීන්  ගෙ ෂර්ලොක් හෝම්ස් පොත් ඒ තරම්ම ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඔය සම වයසෙ ගෑණූ ළමයි ගැන උනන්දුව ඇති වෙන්න කලින් අපිට තිබුන ලොකුම ආසාව ඔය පොත් කියවන එක.

ටාර්සන් පොත් සියල්ල කියවලා තියෙන කෙනෙක් හිටියොත් ඒ කෙනා නිතරඟ වීරයෙක්. “මම ඔය ඔක්කොම පොත් කියවල තියෙනවා” කියල කියන්නෙ හරිම උජාරුවෙන්. අපිට ඒ වෙලාවට හරිම ඉරිසියයි. අපිට ගොඩක් වෙලාවට අලුත් පොතක් කියවන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ කවුරු හරි පොත මිලදී ගත්ත කෙනෙක් ගෙන් හරි පුස්තකාලයෙන් හරි ඒ පොත හොයාගන්න කම්. ගෙදරින් අමතර වියදමට කියල සල්ලි වැඩිපුර ලැබුනෙ නැති නිසා ඉතින් පොතක් ගන්න සල්ලි එකතු කරගන්න මාස ගානක් බලාගෙන ඉන්න වෙනවා. හැබැයි හරි අමාරුවෙන් සල්ලි ඉතුරු කරගෙන මාස කිහිපයකට සැරයක් හරි පොතක් ගන්න සල්ලි හොයා ගත්තා ඉහළ පන්ති වලට ආවට පස්සෙ.

අලුත් පොත් “අහවලා ළඟ තියෙනවා” හරි “මම කියෙව්වා” වගේ කතන්දර අහගෙන ඉන්න කොට නම් ඉවසීමේ සීමාව ඉක්මවල යනවා. අන්තිමේ දී අපේ පන්තියෙ සඟයෙක් යෝජනා කලා අපි හැමෝගෙම සල්ලි යොදවල අලුතෙන් පිටවන පොත් මිල දී ගම්මු කියල. හැමෝම එක පයින් යෝජනාවට එකඟ වුනා. ඒ කල්ලියට විසි දෙනෙක් විතර හිටපු නිසා එක ළමයෙක්ට දෙන්න වුනේ රුපියල් දහයක් හෝ පහළොවක් වගේ ගණනක්. වැඩිම වුනොත් රුපියල් විස්සක්. ඒක හැමෝටම දරා ගන්න පුලුවන් ගණනනක් නිසා අපිට ලොකු සතුටක් දැනුනෙ. හැබැයි ඉතින් ක්‍රමයෙ පොඩි පොඩි අඩු පාඩුත් තිබුනා. මොකද සමහර අයට පොත කියවන්න සති දෙක තුනක් කට ඇරගෙන බලා ඉන්න වෙනවා. එතකොට පොත අතින් අතට ගිහිල්ලා අලුත් ගතිය නැතිවෙලා. පොත ගන්න සල්ලි දුන්න උදවියට අමතරව අපේ පන්තියෙ සහ අහල පහල පන්ති වල සඟයන්ට ත් පොත බලන්න දෙනවා. හැබැයි පොතට සල්ලි යොදවපු කට්ටිය කියවල ඉවර වුනාට පස්සෙ. ඒක බොහොම සාධාරණ වැඩක් වුනා කියල මට හිතෙන්නෙ.

ඔය විදිහට කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු “මොන්ත ක්‍රිස්තො” සිටුවරයා පොත් මාලාවේ පොත් හයම මිලදී අරගෙන කියවන්න අපිට පුලුවන් වුනා. ඊට අමතරව “ඈ හෙවත් අයේෂා” , “අයේෂා ආපසු එයි” වගේ පොත් කියවන්න ලැබුනා. හැබැයි මිලදී ගත්ත පොත් වල අවසාන අයිතිකාරයා වුනේ කවුද කියන එක ගැන කවුරුවත් ඒ තරම්ම වද වුනේ නෑ. මොකද ඒ වගේ රස වෑහෙන පොතක් පුංචි මුදලක් දීලා හරි කියවන්න ලැබීමත් ලොකු දෙයක් අපිට ඒ කාලෙ හැටියට.  ඔය පොත් අතරින් අපි වැඩිපුරම ආස කරපු “ටාර්සන්” පොත් ගැන තිබ්බ උනන්දුව කොච්චරද කියනවනම් අපේ සමහර සඟයන්ට ඒ පොත් වල එන නම් පවා පට බැඳල තිබුනා. යෝධයෙක් වගේ ඇඟ පත තිබුන ලමයෙක්ට නම දාලා තිබුනෙ “ටැන්ටෝර්” හෙවත් “ඇතා”. තව “පම්බා” හෙවත් “මීයා” සහ “හෝර්තා” හෙවත් “ඌරා” වගේ නම් පට බැඳිලා තිබුනා. මොනව වුනත් කියවීමට අපි ගොඩක් හුරු වුනේ ඒ පොත් හරහා තමයි. අප අතරින් වියෝ වුන තරුණ පරපුර කියවීමට හුරු කරමින් රසාලිප්ත ලෙස පරිවර්තන කාර්යයෙහි නිරත වුන කේ.ජී. කරුණාතිලක ශූරීන් ට “මගේ සටහන” හි උපහාර පුදමින් මෙවර සටහන නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

දන්කෝ

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙනනෙ තිස් වන ලිපිය. ගිය සතියෙ ලිපිය ලිව්වෙ බොහොම කම්පනයෙන් යුතුව. ඒ කම්පනය කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. තුවාල වුනු ලංකාවෙ හදවත් වලින් ගලාගිය ලේ බිංඳු නිසා හැගීම් දැනීම් නැති යන්ත්‍ර බවට පත්වුනු මිනිස් ජීවිත නැවත යථා තත්වයට පත් වෙනකම් ඒ කම්පනය තියෙනවා. කොහොම වුනත් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ බෝම්බයෙන් අපේ විශ්ව විද්‍යාලයෙ ප්‍රමාණ සමීක්ෂණය හැදෑරු සොයුරියකුත් , ඉංජිනේරු සොයුරෙකුත් සහ කටුබැද්ද තාක්ෂණික ආයතනයේ සිසුන් තිදෙනෙකුත් මිය ගොස් තිබුනා. ඒ ගැමුණු රත්නායක සොහොයුරාට අමතරව. මේ ඛේදවාචකයන්ගේ නිමාව කවදාදැයි ප්‍රශ්න කරනවාට වඩා එය නැවැත්තවීමට කල යුත්තේ කුමක්දැයි සොයන එක වඩා වැදගත් කියල මට හිතෙනවා. ඔය සිදුවීම් කාලය විසින් අමතක කර දමාවි. නමුත් ඒ තුලින් වඩා යහපත් සමාජයක ගොඩ නගන එක ගැන අපේ අවධානය යොමු කල යුතුයි.

සතියෙ කාර්ය බහුල කම එක්ක ගෙවිලා යද්දි නොයෙක් දේවල් මතක් වුනා. ළඟදි හොද පොතක් කියවන්න අවස්ථාව ලැබුනෙ නැති වුනත් එක පාරටම මම ආස කරපු කතාවක චරිතයක් මතක් වුනා. චරිතයේ නම “දන්කෝ” . මේ චරිතය තියෙන්නෙ මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතාවක. “දන්කෝ” ගෙ චරිතය මතක් වෙන හැම වෙලාවෙම ඔහු වගේ මැරෙන්න ඇත්නම් කියල හිතෙනවා. “දන්කෝ” ගෙ චරිතයෙ කතාව එක්තරා අන්දමට වීර කතාවක් වගෙයි. ඒ කෙටි කතාව සිංහලයට පරිවර්තනය කරල තිබුනෙ විශිෂ්ඨ පරිවර්තකයකු වුන දැදිගම වී. රුද්‍රගූ ශූරින්. රුසියන් බසින් එතුම් සිංහලයට එම පරිවර්තනය කර තිබුනෙ. මම දන්නා තරමින් එතුමා මිය ගියේ රුසියාවේ සිටියදීම යි. ඒ කතාව මෙහෙමයි.

එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා යම් කාලයක. ඉතා සැහැල්ලුවෙන් දිවි ගෙවපු මේ ගෝත්‍රය වෙනත් ආක්‍රමණික ගෝත්‍රයක් විසින් අන්ධකාරය පිරුණු වනාන්තරයක් තුලට එලවල දමනමා. මේක බොහොම අඳුරු කෑලැවක්. බොහොම නිර්භය ගෝත්‍රයක් වුනත් මේ මිනිස්සුන්ගෙ ආත්ම දිරිය මේ කෑලැව විසින් සිඳ දමනවා. ඉර එළිය නොවැටෙන , ආශ්වාස කරන්න බැරි වායූන් පිට වෙන මඩ ගොහොරු සහිත මේ කැලෑව නිසා මිනිස්සු ලෙඩ වෙන්න පටන් ගන්නවා. ගැහැණු සහ ළමයි මිය යන්න පටන් ගන්නවා. අන්තිමේ දී මේ ගෝත්‍රය බොහොම දුක්ඛිත ඉරණමකට මුහුණ පාලා හිටියෙ. තමන්ගෙ ඉරණම නිසා මේ දේවල් සිදුවනෙවා කියල මොවුන් බොහොම උදාසීනව ඉන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙ තමයි “දන්කෝ” ඉදිරිපත් වෙන්නෙ.

“දන්කෝ” බොහොම නිර්භීත තරුණයෙක්. බොහෝ දෙනා ආක්‍රමණික ගෝත්‍රයට ගිහින් යටත් වෙලා වහලුන් ලෙස ජීවිතය රැක ගනිමු කියන කොට “දන්කෝ” ඒකට එරෙහි වෙනවා. ඔහූ කියනවා මොන තරම් විශාල වුනත් මේ කැලෑවෙ අවසානයක් ඇති. ඒක නිසා අපි කැලෑව අවසානය වෙනකම් ගමන් කරමු කියල. ඒ පාර හැම දෙනාම ඔහුට කිව්වා මග පෙන්වන්න කියල. ඉතින් මේ නිර්භීත “දන්කෝ” පෙරමුණ අරගෙන යන්න පිටත් වුනා. නමුත් මේ බිහිසුණු කැලෑව මේ ගමන අසීරු කලා. මඩ ගොහොරු වලට වැටිලා මිනිසුන් මිය ගියා. ඉක්මනට වෙහෙසට පත් වුනා. ඉර එළිය පොළොවට නොවැටෙන්න තරම් වැවුන ගස් පෙනුනෙ හරියට රාක්ෂයො වගේ. නමුත් “දන්කෝ” බය නැතුව ඉදිරියටම ගියා. නමුත් එන්න එන්නම ගමන අමාටු වෙනකොට මිනිස්සු “දන්කෝ” ට බනින්න පටන් ගත්තා.

“මේ පළපුරුද්දක් නැති, මෝඩ දන්කෝ නිසා අපිට මැරෙන්න වෙනවා” කියල මිනිස්සු කියන්න පටන් ගත්තා. මිනිස්සු කේන්ති අරගෙන “දන්කෝ” ට බනිනවා. නමුත් “දන්කෝ” කිව්වා ඔහුට දිරිය ඇති නිසා මග පෙන්වන බවත් ඔවුන් මෝඩ බවත් කිව්වා. එතකොට මිනිස්සු බොහොම කේන්තියට පත්වෙලා ඔහු වටේ එකතුවුනා. “දන්කෝ” ට තේරුනා ඔවුන් කේන්තිය නිසා තමන්ව මරන්න යන බව. එතකොට ඔහු වේදනාවෙන් කෑ ගැහුවා. “මගේ ජනතාව සඳහා මා කල යුත්තේ මොනවාද?”  ඒ වේදනාව නිසාම “දන්කෝ” තමන් ගෙ පපුව ඉරා දමලා හදවත එළියට අරගෙන ඔලුවට උඩින් උස්සලා පෙන්නුවා. ඇත්තටම ඒක ඉරටත් වඩා දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තා. අර කැලෑව එක පාරටම ඒ ආලෝකය ඉස්සරහ දමනය වුනා. මිනිස්සු ගිල ගන්න බලාගෙන හිටපු මඩ ගොහොරු හැංගුනා වගේ. අර රාස්සයො වගේ පෙනුන ගස් පැත්තකට වුනා වගේ දැනුනා. “ඉස්සරහට යමු” කියල “දන්කෝ” කෑ ගැහුවා. ඒ එක්කම ආලෝකයෙන් මෝහනය වුනා වගේ මිනිස්සු “දන්කෝ” එක්ක පිටිපස්සෙන් ගමන් කරන්න පටන් ගත්තා. ඒ යන අතරමගදිත් මඩ ගොහොරු වල ගිලිලා මිය ගියා. නමුත් ඉස්සෙල්ලා වගේ අඳෝනා නගන්නෙ නැතුව. අන්තිමේදී එක පාරටම අර මහ කැලෑව ඉවර වුනා. මිනිස්සු එළිමහන් බිමකට ආවා. ඉර බැබලුනා. ලස්සන ගහ කොල , තණ බිම් පිරුණු ප්‍රදේශයක්.  එතකොට මේ නිර්භීත “දන්කෝ” මිනිස්සු දිහා බලල ප්‍රීතියෙන් හිනා වෙලා බිම වැටිලා මැරුණා. ප්‍රීතියෙන් ඉව වහා ගිය මිනිසුන් අතරෙ හිටපු එක් කෙනෙක් දැක්කා බිම වැටුනු “දන්කෝ” ගෙ හදවත. ඒ කෙනා ඒක පාගලා නිවල දැම්මා. නමුත් එයින් ගිනි පුපුරු විසිරිලා ගියා. ඒක නිසා අදත් ස්ටෙප්ස් තණ බිම් වල විදුලි කොටන්න කලින් පුංචි ගිනි පුපුරු ඇති වෙනවා.

ඒ කතාවෙ වගේ “දන්කෝ” ලා සිය දහස් ගණනක් අපේ යුගයට අවශ්‍යයි. ඔය කතාව මතක් වෙන වාරයක් ගානේ මටත් දන්කෝ වෙන්නට තිබුනා නම් කියන එක දැනෙනවා. ආත්මාර්ථකාමීව හැසිරෙන්නෙ කොහොමද කියන එක පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත අපේ පරම්පරාවට දන්කෝ ගෙ කතාව විහිඵවක් වගේ පේන්න ඉඩ තියෙනවා. මම හැමදාම කියනවා වගේ එතනට අපේ පරම්පරාව ඇද දැමීමට වැඩිහිටි පරම්පරාව වග කියන්න ඕනේ. මට කලින් ජීවත් වූ පරම්පරාවල හැසිරීම , මගේ පරව්පරාවේ උදවියට සාප ගෙන දෙන ආකාරය ගැන උදාහරණ ඕනෙ තරම් හොයාගන්න පුලුවන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔය කතාව කිව්වෙ වර්තමාන ඛේදවාචක ඉස්සරහ බිහිරන්, ගොලුවන් වගේ බලා නොසිටිය යුතුයි කියන එක “මගේ සටහන” පාඨකයන් ගෙන් ඉල්ලන ගමන්.

සති අන්තය ගෙවිලා ගියා සුපුරුදු විදිහටම. මේ සටහන ලියනනෙ ඉරිදා දවාලේ. ඊයෙ හවස (සෙනසුරාදා) බ්‍රැඩ්බි කුසලානය සඳහා වන වාර්ෂික රගර් තරඟාවලියේ කොළඹ දී පැවැත්තවෙන තරඟය බලන්න ගියා. මේ තරඟය පැවැත්තවෙන්නෙ රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අතර. තරඟයේ මුල් විනාඩි දෙක ඇතුලත අපේ ක්‍රීඩකයන් ලකුණු ලබා ගත්තත් ඊට පසුව ඉතාම හොඳින් සෙල්ලම් කරපු ත්‍රිත්ව  විදුහල් කණ්ඩායම ලකුණූ 24 – 12 විදිහට ජයග්‍රහණය ලබා ගත්තා. මොනව වුනත් දෙපිලම ඉතා හොඳ තරගයක නිරත වුනේ රැස්ව සිටි ක්‍රිඩා ලෝලීන් පිනවමින්. අපේ පන්තිවල හිටපු සඟයො කිහිප දෙනෙක්ම තරඟය අතරතුර මුණ ගැහුනා. සාමාන්‍යයෙන් බ්‍රැඩ්බි තරඟය ක්‍රීඩා තරඟයක් වගේම පැරණි සඟයන් මුණ ගැහෙන තැනක්. නමුත් ඔය අතරෙ ප්‍රේක්ෂකයන්ගේ අවිනීත හැසිරීම නිසා බොහොම අවාසනාවන්ත විදිහට තරඟයට බාධා එල්ල වුනා. ඒක ක්‍රීඩාවට වගේම විදුහල් දෙක අතර පවතින සුහදතාවයටත් හානියක්. ඒ සිදූවීම වුනේ මම හිටිය ක්‍රීඩාගාර අන්තයේ. ජය පරාජය විඳගන්න බැරි එක්තරා අතකට රෝගී වුන පරම්පරාවක් බිහි වීමේ වැරැද්ද කා අත ද කියන එක මට තේරෙන්නෙ නෑ. දැන් අවුරුදු කිහිපයක පටන් ක්‍රීඩා තරඟවල මෙවැනි සිදුවීම් වැඩිපුර සිද්ධ වෙන්න පටන් අරගෙන. ගිය අවුරුද්දෙ මහනුවර කිංස්වුඩ් සහ ත්‍රිත්ව විදුහල් අතර තරඟයෙ දිත් මීට වඩා බරපතල සිදුවීම් සිදුවුනා. තරඟය ක්‍රීඩා කල ක්‍රීඩකයන් පවා තුවාල ලැබුවා ඒ සිද්ධිය නිසා. මෙවැනි දේවල් වලක්වන්නට කවුරුත් ඉදිරිපත් වන පාටක් පේනන නම් නෑ. එහෙම දෙයක් නොකෙරුනොතින් තිරිසන් බවට පත්වුනු මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්නට සිද්ධ වේවි. හැම දේම තමන්ට කෙලින්ම සිදු නොවෙන තෙක් පෞද්ගලික වැඩ කටයුතු වල නිරතව ඉන්න සමාජයකට එවැනි ඉරණමකට භාජනය වීම නවත්තන්නත් බැහැ.

හැම අතින්ම පිරිහෙන සමාජය තුල බලාපොරොත්තුවේ එළියක් හෝ පේන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක මේ සතියේ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

වේදනාවෙන් ලියන්නෙමි

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි නව වන ලිපිය. ගිය සතියෙ ලියපු ලිපියටත් ප්‍රතිචාර ලැබිලා තිබුනා. කොහොම වුනත් මේ සතියෙ ලිපිය ලියන්න ගත්තෙ සෙනසුරාදා රෑ. හිතේ බොහොම කලකිරීම, නොසන්සුන්තාවය හිතේ දරාගෙන ලිවීම ආරම්භ කලේ. ඒ නිසා කිසිම පෙර සූදානමක් නැතිවයි “මගේ සටහන” ලියන්නෙ.

සිකුරාදා දවස උදා වුනේ බොහොම අවාසනාවන්ත සිදුවීමක් එක්ක. ඒ අපේ විශ්ව විද්‍යාලය අසලම පුපුරා ගිය බෝම්බය නිසා. ඒ වෙලාවෙ මම හිටියෙ නවාතැනේ වුනත් දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ ගලා ගෙන ආවා නිමක් නැතුව.  අන්තිමේ දි අපේ විශ්ව විද්‍යාල සිසුවෙක් ඇතුලු විසි දෙදෙනෙක් ගෙ ජීවිත අහිමි කරමින් එම සිද්ධිය නිමා වුනේ.  එක පාරටම ඇහුනු සද්දෙ මොකද්ද කියල මට නිශ්චය කර ගන්න බැරුව හිටියත් දුරකතන ඇමතුම් ගලා එන කොට තමයි තේරුම් ගියෙ බරපතල දෙයක් සිදුවෙලා තියෙන වග. මට කරදරයක් වෙලා නැති බව දැන ගත්ත අය සැනසුම් සුසුම් හෙලුවත් මිය ගිය මිනිසුන් වෙනුවෙන් වැලපෙන කඳුලු නැතිවෙන්නෙ නෑ. මරණය අපි අසලම ගැවසෙන එක ගැන දැනෙන්නෙ බයක් නෙවෙයි. ඒක විශාල කම්පනයක්. අපේ ජන සමාජයේ මිනිසුන් ගේ ජීවිත වලට අත්ව ඇති ඉරණම හදවතට දෙන්නෙ වේදනාවක්. තවත් එක් ලෙයින් වැකුණු දේශයක් බවට පත් වුණු ලංකාවේ මිනිස් ජීවිත ගැන කරුමය හරි වෙලාවෙ වැරැද්ද ගැන හිතමින් සැනසෙන්නට බැරි වග මට දැනෙනවා.  තුවාල වුන ලංකාවේ හදවත් වල ස්භාවය මොන තරම් ඉක්මනට වෙනස් වෙලාද කියන එක නොයෙක් උදාහරණ වලින් දැනෙනවා.

ගිය සතියෙ දුම්රියක් තුල දෙහිවල දි බෝම්බයක් පුපුරලා ගියා. මට එක පාරටම අම්මා ඇතුලු යන එන හිතවත් උදවිය සිහියට ආවා. ඒ අය යන්නෙ මුහුදු බඩ මාර්ගයෙ නොවුනත් දුම්රියේ යන එන නිසා ඒ කම්පනය කොහොමටත් දැනෙනෙවා. ඒ වෙලාවෙ ඒ ගැන කලබලයට පත් වුනු අපේ සඟයන් පූවත් වලට සවන් දෙන්න උත්සුක වන අතරේ පස් දෙනෙක් මිය ගිය පුවත අසා කම්පනයට පත් වුන මගේ මුහූණ දැකපු අපේ තවත් සඟයෙක් උපහාසයෙන්  හිනා වෙන ගමන් මගෙන් ඇහුවා ” අයියෝ පහයිනෙ මැරිලා තියෙන්නෙ” කියල. සංඛ්‍යා වලින් මිනිස් ජීවිත වල වටිනාකම් තෝරන්නට තරම් ඇද වැටුණු ලාංකේය සමාජ සංවේදනයට මම වෛර කරනවා. මිනිස් ජීවිත යනු තව දුරටත් තමන්ගේ සමීපයකු නොවන විට නොසලකා හැරි මට්ටමට අපේ සමාජය පත් වූ ආකාරය ගැන ඇතිවෙන්නෙ වේදනාවක්. මේ සියලු ඛේදවාචකයන්ට කෙලින්ම මුහූණ දෙන්නෙ මගේ පරම්පරාවේ උදවිය. දේශපාලකයන් මොන තරම් වහසි බස් දෙඩුවත් මිය යන්නෙ සාමාන්‍ය ජනතාව. යම් සිදුවීමක් සිදු වූ පසු රූපවාහියේ යන “breaking news”  වලින් පස්සේ හැමෝම තම තමුන්ගේ වැඩ කටයුතු කරා එළඹෙනවා. මම මේ ලියන මොහොතෙත් නිදි මරාගෙන sms ගහන ප්‍රසංගයක් රූපවාහිනියෙ යනවා. මම ජීවත් වන සමාජය සියලු දේ හුදෙක් සිදූවීම් ලෙස සලකා ජීවත් වන්නට පුරුදු පුහුණූ වුනේ ඇයි?

වැඩිහිටි පරම්පරාවල දේශපාලකයන් ඇතුලු අමනයන් විසින් මගේ පරම්පරාව මතට පටවන ලද යුද්ධය මා ඉස්සරහ පුපුරා යන ආකාරය බලා ගෙන ඉන්නෙ බොහොම තැති ගැන්මකින් යුතුව. යුද්ධය සිය ජීවිකාව වෙනුවෙන් සහ අවස්තාවාදය උදෙසා යොදා නොගන්නට මගේ පරම්පරාවේ ජීවිත උතුරේ යුධ පිටියේ දී මෙන්ම දකුණේ මග මග දී මරණයට මුහුණ නොපා ඉන්නට ඉඩ තිබුනා. ඇත්තටම කියනවනම් අවිනිශ්චිත තාව සහ මරණයේ සෙවනැල්ල මගේ පරම්පරාවේ නළල් තල මත කෙටු වැඩිහිටි පරම්පරාවට මම සාප කරනවා. ඒ පරම්පරාව හැමදාමත් ලංකාවේ තරුණ ජීවිත වල ලෙයින් මේ භූමිය සෝදා හැරියා. අසු නවයෙ දිත් ඉන් පසුව යූද්ධය නිසා තරුණ ජීවිත බිල්ලට දුන් ඒ කාලකණ්ණි වැඩිහිටි පරම්පරාවට සාප නොකර ඉන්නට තරම් හේතුවක් මට හොයාගන්න බැහැ. මේ සටහන ලියවෙන්නෙ අපේ ජීවිත මත මුග්ධ භාවය විසින් පතිත කරපු අවාසනාව ගැන කළකිරීම මුසු කේන්තියෙන් දැවෙමින්. වැඩිහිටි පරම්පරාවෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ තරුණ පරම්පරාවෙ ලෙයින් කියන ප්‍රකට කියමන සනාථ කරන්නට විසාලා මහනුවරක් බවට පත්වූ නූතන ලංකාව උදාහරණ දෙනවා.

යූද්ධය තුලදී හෝ මහ මගදී මේ මිය යන්නේ මහජන මුදල් ගසා කාපු උදවිය නෙවෙයි. වැට් බදු වංචාවෙන් සත පහක් හෝ කඩා ගත්ත උදවිය නොවෙයි. ඒ උදවිය යෙහෙන් වැජඹෙද් දි ආරක්ෂකයන්ගේ මුවාව නැති අපේ අසල් වැසියන් මිය යන්නේ සැමදා නොනැසෙන කැලැල් ඉතිරි කරමින්. ලියන්නට දේවල් ගලප ගන්න හරිම අමාරුයි. ලියනවට වැඩිය කලේ කල්පනා කරන එක. මිනිස් ජීවිත කිහිපයක් මහ මග දී අහිමි වීම එදිනෙදා ජීවිතයේ සරල සිද්ධියක් බවට පත් කිරීමට තරම් හේතු වූ කාරණා මොනවද කියන එක හොයලා බැලිය යුතුයි. එහෙම නොවුනොතින් ඉස්සරහට අපිට ඉතිරි වෙන්නෙ යන්ත්‍ර බවට පත් වුනු ආත්මාර්තයෙන් පිරී ගිය මිනිස් චරිත විතරයි.

පොඩි කාලයේ පටන්ම අනෙකා හෙලා දමා තමන් ජය ගත යුතු බව අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් , වැඩිහිටියන් ගෙන් සහ අවට සමාජයෙන් ඉගෙන ගත්ත අපිට , මම මුලින් කියපු සඟයගෙ කතාව එක අතකට පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. ඒ ඔහු අත් විඳි සමාජ හැසිරීම් තුලින් ඉතිරි වූ දෙය.  ඒක වෙනස් කිරීමට කල යුත්තෙ මොකද්ද  කියන එක මම හැමදාම ප්‍රශ්න කරනවා. මොකද තිරිසන් භාවයට පත්වුනු මිනිස් චරිත සමඟ ජීවත් වීමේ අප්පිරියාව වෙන කවදාටවත් වඩා මට දැන් දැනෙන නිසා.

මිය ගිය ගැමුණූ රත්නායක අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුවෙක්. අහිමි වන්නෙ විශ්ව විද්‍යාල සිසුවෙක් වුනත් නොවුනත් එය වටින දෙයක්. මේ දවස් වල හැමෝම කියන දේ පරිස්සම් වෙන්න කියන දේ. නමුත් ඒක කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ. ඒ තරමටම වික්ෂිප්ත වුන තැති ගැන්මකට ලක් වෙලා ඉන්නෙ හැම දෙනාම වගේ. අපි මේ මුහුණ දීලා ඉන්නෙ අපි ඉපදෙන්නටත් පෙර පරම්පරාවේ ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිපල. ඒක නිර්මාණය කරපු අයගේ දූ දරුවන් පිට රටවල ආරක්ෂිතව ඉන්නවා. මේක ලංකාවේ සැබෑ ස්වරූපය. ඒක ඉරණම විසින් තීන්දු කරපු දෙයක් කියල පිළිගන්න මම කැමති නෑ.

හදිසියෙ බස් එකක කෝච්චියක ගියත් දකින්නට ලැබෙන්නෙ සැකයෙන් පිරුණූ මුහුණු. ගිය සතියක ගමන් මල්ලත් අරගෙන කොළඹ ඉඳන් පිළියන්දලට එනකොට මගෙ දිහා බොහොම සැකයෙන් බලාගෙන හිටපු අපේ අම්මල ගෙ වයසෙ කාන්තාව මේ ලියන මොහොතෙ දි මට සිහි වුනා. පවතින තත්වය එක්ක ඒ ගැන මට කිසිම වැරැද්ක් කියන්න බැරි වුනත් තමන් අසල ඉන්න කෙනා තමන්ගේ මරණය ගෙන ඒවි කියන සැකය දැල්වුනු ඇස් දිහා බලාගෙන ඉන්න එක හරි අමාරු අත් දැකිමක්. ඒ වගේ සිදුවීම් බොහොම  වෙහෙසකර ගතියක් හිතට ගෙන දෙනවා. විමසිල්ලෙන් පසුවන ඒ දෑස් පස්සෙ කාලයක අවිශ්වාසය හිතේ දරාගෙන ජීවත් වෙනකොට ටිකෙන් ටික අවිශ්වාසය සමාජ ගත දෙයක් බවට පත් වෙනවා. යුද්ධය ප්‍රතිපලය අපි දෑස් ඉදිරිපිට අහිමි වන මිනිස් ජීවිත වලට අමතරව බරපතල හානියක් සමාජයට කරන්නෙ ඒ නිසයි.

තව දුරටත් මේ සතියෙ ලියන්නට බැරි බග හොඳටම දැනෙනවා. වෙනද ලියන්න හිතාගෙන ඉන්න කිසිම දෙයක් ගලප ගන්න බැරි වුනා. හැම දෙනාම ඒක තේරුම් ගනීවි කියල හිතනවා. මරණය හැමෝටම උරුම දෙයක් වුනත් එය මිනිස්සුන්ට ළඟා වන ආකාරය නිසා සමාජ සංවේදී තාවය මරා දමමින්, අවිනිශ්චිත තාවේ සලකුණු සටහන් කරන කොට ඊට එරෙහි නොවී බෑ. පව්කාර පරම්පරාවේ සාපය නිසා අපේ පරව්පරාවෙන් ගලා යන ලේ ගංගාව නිමා වේවා යන පැතුම ඇතිම මේ සතියේ සටහනට තිත තබනවා.

කේතලෙන් මල්ලක්

“මගේ සටහන” මේ ලියන්න සුදානම් වෙන්නෙ විසි අටවන සටහන. ගිය සතියෙ සටහන ගැන නම් ප්‍රතිචාර ගොඩක් ලැබුනා. ඒ සටහන පුරුදු රටාවෙන් ලියපු නිසා වෙන්න ඇති නිසා කියල හිතෙනවා. ඒ අස්සෙ සංවාදයකුත් ගොඩ නැගෙමින් තිබුනා . සංවාදය තුල පල කෙරෙන සියල්ලම මම වාරණයකින් තොරව පල කලා. මොකද එහෙම වාරණය කරන එක මගේ පැත්තෙන් සදාචාරාත්මක නැති නිසා. කොහොම වුනත් එම සංවාද හරහා බ්ලොග් අවකාශය තුල දැනුම සහ අදහස් ගලා යාමේ අරමුණ ඉෂ්ඨ වෙනවානම් ඇති කියලයි හිතෙන්නෙ. එහෙමනම් “මගේ සටහන” විසි අටවන දිග හැරුම මෙතැන් සිට.

ගිය සතියෙ මම කිව්වෙ හොකී සෙල්ලම් කරපු හැටි ගැන. ඒ අස්සෙ තව දිලින සොහොයුරා ලියන්න කියපු දෙයක් තවම ලියවුනේ නෑ. මේ සතිය ඇතුලත ඒක පල කරනවමයි. ගිය සතියෙ “කුඩ මිටි ගැහිල්ල” මම කිව්වා වගේ හරි අපූරු වැඩක්. ඒක ගැන බැඳුනු කතන්දර ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් හොකී සෙල්ලම් කරන්න අනිත් ක්‍රීඩා කරන ජාතියේ ක්‍රීඩාංගන වල පුලුවන් වුනත් ඒ සඳහා විශේෂයෙන්ම සකස් කරපු ක්‍රීඩාංගනත් තියෙනවා. ඒවට කියන්නෙ කෘතීම හොකී තණ තීරු. ඒ වගේ කෘතීම හොකී තණ තීරු හදන්න වගේම නඩත්තු කරන්නත් සෑහෙන මුදලක් යනවා. ඒක නිසාම ලංකාවට තවම තියෙන්නෙ මේ කෘතීම හොකී තණ තීරු දෙකයි. මුල්ම එක හැදුවෙ කොළඹ රීඩ් මාවතේ තුරඟ තරඟ පිට්ටනියෙ. අනිත් එක තියෙන්නෙ මාතලේ පුරවරයෙ. කොළඹ තියෙන කෘතීම තණ තීරුව නම් දැන් හොඳටම ගෙවිලා ගිහින් අලුතෙන් හදන්න අවශ්‍යය තත්වයට ඇවිත් තියෙන්නෙ. නමුත් තනතුරු සහ මහජන මුදල් ගසා කෑමේ උවමනාව ඇර වැඩක් කරන උවමනාව බලධාරීන්ට නැති නිසා වැඩේ දවසින් දවස කල් යනවා.

මේ කියන්න හදන්නෙ ඔය කෘතීම හොකී තණ තීරු ගැන බැඳුනු කතාවක්. කෘතීම තණ තීරු වල ක්‍රීඩා කරන්න කලින් ඒකට වතුර දමන්න අවශ්‍යය යි. නැත්තම් සෙල්ලම් කරන්න බෑ. එක්තරා කාලයක් තිබුනා වැස්ස ගොඩක් කල් නොවැටුන කාලයක්. කොහොම හරි අපේ කණ්ඩායමේ සඟයෙක් ආම්පන්න ටිකත් අරගෙන පුහුණු වීම් වලට යනවා දැකපු අසල් වැසියෙක් ඇහුවලු “මල්ලි , කොළඹ ට වැස්සා නේද පහුගිය දවස් වල” කියල. වැස්සක් තියා ආසාවට වැහි වළාකුලක් වත් අහසෙ තිබ්බෙ නැති නිසා ඒ දවස් වල හොල්මන් වුන මගේ සඟයා කිව්වලු ” නෑ වැස්සෙ නෑ” කියල.  ඒ පාර අර මනුස්සයා කිව්වලු ” ඒක වෙන්න බෑ නෙ , ඔයාලගෙ මැච් එකක් ටී වී එකේ පෙන්නන කොට මම  දැක්කනෙ පිට්ටනියෙ වතුර පිරිලා තියෙනවා” කියල. ඒ මනුස්සයා හිතල තියෙන්නෙ වැස්සට හොකී තණ තීරුව යට වෙලා කියල. අපේ සඟයා ඉතින් මුකුත් කියන්නෙ නැතුව ඇවිල්ලා.

සාමාන්‍යයෙන් හොකී හරි ආස හිතෙන සෙල්ලමක් වුනත් ලංකාවේ ගොඩක් ජනප්‍රියම සෙල්ලමකුත් නෙවෙයි. අපේ මාමා ඒකට කුඩ මිටි ගැහිල්ල කිව්වා වගේ ගොඩක් අය අහනවා කොහොමද ඔය සෙල්ලම කරන්නෙ කියල. එක වතාවක් හොකී තරඟාවලියක් සංවිධානය කරන්න අනුග්‍රාහක දැන්වීමක් හොයාගන්න අපේ සඟයෙක් ගිහිල්ලා එක්තරා ආයතනයක වෙළඳ අංශය බාර නිලධාරියා මුණ ගැහෙන්න. ඒ කෙනා ඇහුවලු ” ආ ඕක නේද අර බෝලෙ වලට දාන සෙල්ලම” කියල. ඒ කෙනා හිතාගෙන ඉඳල තියෙන්නෙ ගොල්ෆ් ක්‍රීඩාව ගැන. අපේ සඟයත් දැන්වීම ගැන කතා කරන පැත්තක තියල හෙමිහිට මාරු වෙලා ඇවිල්ලා.

මං මුලින් කියපු කෘතීම හොකී තණ තීරුවේ සෙල්ලම් කරන්න ලැබෙන කම් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ. මොකද හොඳට සෙල්ලම් කරන්න පුලුවන් නිසා. අපිට මුලින්ම ඒකේ සෙල්ලම් කරන්න ලැබුනෙ අවුරුදු පහලොවෙන් පහළ තරඟයකට සෙල්ලම් කරන කොට. ඊට පස්සෙ නම් දිගටම වගේ කොළඹ දිස්ත්‍රික්ක තරඟ පැවැත්වුනේ කෘතීම තණ තීරුවෙ තමයි. මුල දවස් වල ඒකට ගැලපෙන ආකාරයෙ සපත්තු තිබුනෙත් නෑ. ගොඩක් වෙලාවට අපි කරන්නෙ අපිට වඩා ඉහළ පන්තිවල හිටපු කාගෙන් හරි ඉල්ල ගන්න එක. සාමාන්‍යය ආකාරයේ සපත්තු දැම්මොත් ලිස්සල වැටෙන එක අනිවාර්යයි. එතකොට හරියට අලුතෙන් මැදපු පොලොවක් උඩ ඉන්නවා වගෙයි. කොයි වෙලේ සමබරතාවය නැති වෙලා වැටෙයිද කියන්න බෑ. මාව නම් ඕනෙ තරම් වැටිලා තියෙනවා එහෙම හරි හමන් සපත්තු දැම්මෙ නැති නිසා.

පස්සෙ කාලෙක අපිට මාතලේ කෘතීම තණ තීරුවෙ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනා. ඒකත් මට නම් වැදගත් අවස්ථාවක්. ජීවිතේ එක පාරක් හරි හොකී ක්‍රීඩාවේ පුරවරය වුනු මාතලේ ක්‍රීඩා කරන්න ලැබුනු එක ගැන. හැබැයි ඔය මාතලේ තණ තීරුවත් විවෘත කලාට පස්සෙ නිසි පහසුකම් නැති කම නිසා ප්‍රයෝජනයට ගන්නෙ නැතිව වහල දමල තිබුනා. ලංකාවේ බලධාරීන්ගේ මුග්ධ භාවය ගැන ඔය වගේ උදාහරණ නම් ඕනේ තරම් හොයා ගන්න පුලුවන්. අද වෙනකොට නම් මාතලේ හොකී ක්‍රීඩාවට ආදරය කරන අයගේ බල කිරීම  නිසා ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට පිටිය සකස් කරල තියෙනවා. අවසාන වතාවට ලංකාවේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදි හොකී තරඟ පැවැත්වුනේ මාතලේ දී තමයි. ඒ තරඟයෙදි අපේ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය පරවමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඇත්තටම කියනවනම් මාතලේ හඳුන්වන්නෙ “හොකී පුරවරය” කියන නමින්. මාතලෙන් බිහි කරපු අති විශිෂ්ඨ ක්‍රිඩකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි අවුරුදු පහලොවක් තිස්සෙ ජාතික මහා ක්‍රීඩා උළෙලෙ දි නොකඩවා අවුරුදු පහලොවක් තිස්සෙ හොකී රන් පදක්කම දිනා ගන්න මධ්‍යයම පලාතට හැකි වීම. කොළඹ ඉන්න අපේ අය කොච්චර උත්සහ කලත් හැමදාම දිනන්නෙ මාතලේ තමයි. ඒක ගැන පොඩි පහේ ඉරිසියාවක් ඇති වුනත් දක්ෂතාවය අගය කරන්න එපැයි. විශේෂයෙන්ම මාතලේ සාන්ත තෝමස්, සහිරා, විජය සහ ක්‍රිස්තුදේව යන විදුහල් අති දක්ෂ ක්‍රිඩකයන් බිහි කරනවා.

අවුරුදු දහ හතෙන් පහළ කණ්ඩායම නියෝජනය කරන කාලේ සමස්ත ලංකා තරඟාවලිය වෙනුවෙන් සහභාගි වෙන්න අපි මාතලේ ට ගියා. තරඟාවලියෙ ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුනු අපිට අඩුම ගානෙ “කේතලෙන් මල්ලක්” වත් හොයාගන්න බැරි වුනා. තාමත් ඉතින් තනිකඩ නිසා “කේතලෙන් මල්ලක්” හොයා ගන්න පුලුවන් නම් හොඳයි කියලයි හිතෙන්නෙ. ඉස්සරහට මොනව වෙයිද කියල කවුද දන්නෙ. ඒ මාතලේ ගිය ගමන අපිට නම් අත්දැකීම් ගොඩක් එකතු කරපු තරඟාවලියක් වුනා. කොළඹින් පිට තරඟාවලියකට අපි ගිය මුල්ම වතාව ඒක. එහෙ අපි නැවතිලා හිටපු පොලිස් දෙපාර්තුමේන්තුවට අයිති නිල නිවාසයෙ තිබුන අඹ ගහේ මී පැණි වගේ රස අඹ කාපු හැටි එහෙම මට තාම මතකයි. ඒ වගේ රසවත් අඹ මම  කාලා තියෙන්නෙ දෙතුන් වතාවයි. ඒ සියලුම අත් දැකීම් අපිට ලබා දුන්න ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් හිටපු නායකයකු වගේම පොලිස් කණ්ඩායමේ නායකත්වය දරපු අපේ පුහුණුකරු වුන දර්ශන එදිරිසිංහ මහත්මයාව අමතක කරන්න බෑ. කොහොමටත් ඔහු අති දක්ෂ පුහුණුකරුවෙක්.

හොකී ගහන්න ගිහල්ලා අමතක නොවෙන පාරවල් කිහිපයකුත් මට ලැබිලා තියෙනවා. මුලින්ම අපි අවුරුදු දහ හතෙන් පහල තරඟාවලයෙදි දණහිසට වැදුනා හොඳ පාරක්. ඒ නාලන්ද විද්‍යාලය සමඟ තිබුන තරඟයක දි. ඒ ඇතිවුන දන හිසේ ආබාධය නම් තාමත් විටින් විට මතු වෙනවා. හැබැයි ලොකුම අකරතැබ්බය වුනේ විශ්ව විද්‍යාලය වෙනුවෙන් සෙල්ලම් කරන කොට. පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරපු සය සාමාජික හොකී තරඟාවලයට පුහුණුවීම් කරන අතර තුරේදි අපේම සඟයෙක් ගෙන් එල්ල වුන පහරක් වැදිලා නළලට ඉහලින් පැලුනා. අන්තිමේ දී නතර වුනේ මැහුම් පහක් දමල. ලොකුම අපරාදේ වුනේ ඒ සිදුවීම තරඟාවලියට දවස් දෙකකට කලින් වුන එක. ඒක නිසා මට සිද්ධ වුනේ පේරාදෙණියට ගිහිල්ලා අනිත් සඟයො ක්‍රීඩා කරන එක බලාගෙන ඉන්න.  පුහුණු වීම් කරල අන්තිම මොහොතෙ දි තුවාල ලබල එළියට වෙලා ඉන්න එක හරිම වේදනාබර අත්දැකිමක්. නමුත් බලාපොරොත්තු නොවෙන දේ බාර ගන්න වෙනවා කියන එකට ඒක හොඳ උදාහරණයක්. හැබැයි ඒ වෙලාවෙ කණ්ඩායමේ සඟයො හැම දෙනාම මාත් එක්ක හිටිය එක හිතට ලොකු සැනසීමක්.

හොකී සෙල්ලමේ දී මම ආසම කරපු දේ තමයි කණ්ඩායම් හැඟීම. හැමෝම අනිත් කෙනා ගැන සැලකිලිමත් වෙලා හොයල බලන එක අපූරු සහෝදර බැම්මක් ඇති කරනවා. මම ඒක හොඳටම අත් වින්දෙ විශ්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රිඩා කරන කාලේ. සමහර වෙලාවට පුහුණුවීම් වලට නොගියත් මිත්‍රත්වයෙන් යුතුව සලකමින් අපේ කණ්ඩායම් සඟයො නිසා තමයි නිකමට හරි පිට්ටනිය පැත්තෙ යන්න හරි හිතුනෙ. ක්‍රීඩාව කියන්නෙ කොහොමටත් එකි නෙකා අතර බැඳීම වැඩි කරන දෙයක්. පාසලේ හොකී සෙල්ලම් කරද්දි අවුරුදු දෙකක් අපේ නිවාස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුනා. හැබැයි මම නායකත්වය දීපු එක තරඟයක් වත් දිනන්න නම් බැරි වුනා. ජිවිතේ හැම දේම ජයග්‍රහණයෙන් විතරක් කෙලවර වෙන්නෙ නැති බව ඒවා හරහා තේරුම් ගත්තා.

එහෙමනම් ඉතින් මේ සතියෙ සටහන සුපුරුදු සීමාවට පැමිණි නිසා නිමා කරන්නයි සූදානම . එහෙනම් ලබන සතියේ නැවත හමු වෙමු.