කුඩ මිටි ගැහිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හත් වන සටහන. ගිය සතියෙ සටහනට ප්‍රතිචාර පල කරපු සියලුම දෙනාටම බොහොම ස්තූතියි. ගොඩක් අයගෙ අදහස වෙලා තිබුනෙ “මගේ සටහන” හි පුරුදු රටාවට ලියනවනම් හොඳ බවයි. ඒක නිසා මේ සතියෙ පරණ විදිහටම ලියන්න කල්පනා කලා. ඉන්ධන මිල ඉහළ යාම නිසා තාම සාමාන්‍ය මහජනතාව හොල්මන් වෙලා ඉන්න ඉරිදා උදේ වරුවෙ සටහන ලියන්න හදන්නෙ.

ගිය සතියෙ මම කිව්වනෙ ක්‍රිකට් ගහන්න තිබුණු ආසාව ගැන . මේ සතියෙ කියන්න හදන්නෙ කතන්දරේ ඉතුරු ටික. ඔන්න ඉතින් ළමයි ගොඩක් දෙනා මොකක් හරි ක්‍රීඩාවක නිරත වෙනවා දැක්කම මටත් ලොකු ආසාවක් ඇති වුනා. මුලින්ම මම ගියා චෙස් සෙල්ලම් කරන්න. දවස් දෙක තුමක් ගියාට පස්සෙ මට වැඩේ එපා වුනා. ඊට පස්සෙ මම කල්පනා කලා මොකද්ද කරන්නෙ කියල. වැඩිය වියදම් යන්නෙ නැති සෙල්ලමක් වෙන්නත් ඕනේ. නැත්තම් අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න අම්මට වද දෙන්නත් බෑ. කොහොම හරි නවය පන්තිය වෙනකම් මම සද්ද නැතුව හිටියා.  ඒ කාලේ අපේ පන්තියෙ ඉගෙන ගත්ත, පාසලේ නේවාසිකව නැවතිලා හිටපු ළමයි ගොඩක් දෙනා මොකක් හරි සෙල්ලමක් කලා. මගේ හොඳම මිත්‍රයෙකුත් ඔය අතර හිටියා. මම මිනිහට කිව්වා මගේ ආසාව ගැන.

ඒ පාර ඉතින් මිනිහත් මට කියපි එහෙනම් ගෙදරින් අහල ආවා නම් හවස ඉඳල සෙල්ලම් කරන්න පුලුවනි කියල. මමත් බොහොම කැමැත්තෙන් අම්මට ගිහින්  කිව්වා මගෙ ආසාව ගැන. හවස මට තනියම ගෙදර එන එක ගැන අම්මා ටිකක් අකමැති වුනත් මට අවසරය ලැබුනා. මමත් හරිම ආසාවෙන් හා හා පුරා කියල දවසක් හවස නැවතුනා. ඒ වෙනකොටත් මම කරන  සෙල්ලම මොකද්ද කියල හරි හැටි තීරනයක් තිබ්බෙ නෑ. ඒ වුනාට මගේ හොඳම මිත්‍රයා හොකී සෙල්ලම් කරපු නිසා මමත් ඒකම කරනවා කියල හිතා ගත්තා.

ඇත්තටම කියනවනම් ඊට කලින් මම හොකී සෙල්ලම් කරනවා දැකලා තිබ්බෙ නෑ. යන්තම් ඉතින් මොකක් හරි සෙල්ලමක් කරන්න ලැබුනු එක ගැන මුල්ම දවසෙ පුදුම සතුටක් දැනුනෙ. ඒ කාලේ මම නවය පන්තියෙ හිටියට උපන්නෙ ජනවාරි මාසයක නිසා මාව අයත් වුනේ දහ තුනෙන් පහල වයස් සීමාවට. මගෙ පලවන අවුරුද්ද ඒක නිසා මට ඒකත් ලොකු වාසියක් වුනා.  හැබැයි ඉතින් සෙල්ලම් කරන්න පටන් ගත්තට මුල දවස් වල තිබුන ප්‍රධානම ප්‍රශ්නෙ මටම කියල හොකී පිත්තක් නොතිබුන එක. සාමාන්‍යයෙන් තමන්ට හුරු පුරුදු පිත්තකින් ක්‍රීඩා කරන එක ලොකු වාසියක්. මුල දවස් වල මට සිද්ධ වුනේ ඉස්කෝලෙ තිබුන පිත්තක් තෝර ගෙන සෙල්ලම් කරන එක. සමහර වෙලාවට ගොඩක් ලමයි පුහුණු වෙන්න ඉන්නව නම් පිති මදි වෙනවා. එතකොට ඉතින් හිතට හරි අමාරුයි. ගොඩක් වෙලාවට අපිට වඩා වයසින් වැඩි ළමයි හොඳ පිති තෝර ගන්නවා. අපිට ඉතුරු වෙන්නෙ එච්චර හරි නැති ඒවා.

බැරිම තැන මම අම්මට කරදර කරන්න පටන් ගත්තා මටත් හොකී පිත්තක් අරගෙන දෙන්න කියල. අන්තිමේ දි අම්මත් මං ගැන අනුකම්පා කරල මට හොකී පිත්තකුයි බෝලයකුයි අරගෙන දුන්නා. ඒ දවස්වල තිබුන ලාබම ගානට තිබුනෙ ඒවා තමයි. සාමාන්‍යයෙන් හොකී පිත්තක් මාගෙන යන්න මලු තියෙනවනෙ. එහෙම එකක් තිබුනෙ නැති නිසා මම හොකී පිත්ත අරගෙන යන්නෙ එන්නෙ නිකම්ම තමයි. ඒකත් අරගෙන පාරෙ ටිකක් හයියෙන් දුවල ගියොත් මිනිස්සෙ හිතන්න ඇත්තෙ රණ්ඩුකට යනවා කියල. වැඩිය දේවල් ඉල්ලන එක හරි නැති නිසා හොකී පිත්තෙන් විතරක් සැනසෙන්න සිද්ධ වුනා.
හොකී පිත්ත අරගෙන යන එන එකේ අනිත් වදය වෙලා තිබුනෙ අපෙ පන්තියෙ හිටපු කොලෙ රැලෙන් පරිස්සම් කරගන්න එක. සමහරෙ ඒකෙන් ක්‍රිකට් ගහන්න හදනවා. එහෙමත් නැත්තම් කාට හරි තඩි බානවා. අන්තිමට ගුටි කාපු එකාට මාත් එක්කත් කේන්ති යනවා. මට ඉතින් අපේ දඩබ්බර කොල්ලන්ට කන්නලව් කරන්න වෙනවා “අනේ ඕක මෙහාට දීපං” කියල. හොකී පිත්ත බේරගන්න බැරිම තැන මම කලේ ඒක උදේ ඉස්කෝලෙට ගිය ගමන් නේවාසිකාගාරයේ තියන එක.  එහෙම කරන්න ගත්තෙ ඉතිහාසය පාඩම වෙලාවෙ වෙන කොලුවෙක් පිත්ත අරගෙන තව කොල්ලෙකුට අනිනවා දැකපු ගුරුතුමා පිත්තෙ අයිතිකාරයා වුන මාවත් එක්කම පන්තියෙන් එළියට ඇදල දැම්මට පස්සෙ. එවෙලෙ පන්තියෙන් එළියට ගියහම මම ඇති වෙච්ච කේන්තියට සිද්ධියට මුල්වුන කොලුවට හොකී පිත්තෙන් සංග්‍රහ කලා.

මම කොහොමටත් ක්‍රීඩාවට ඒ තරම් දක්ෂ නැති බව මම කලිනුත් කිව්වනෙ. ඒ වයසෙදිත් මම බොහොම පුංචි කොල්ලෙක් අනිත් ළමයි එක්ක තියල බලන කොට. ඒ වුනත් හැමදාම වරද්දන්නෙ නැතුව පුහුණු වීම් වලට ගිය නිසාම මම පලවන අවුරුද්දෙම අවුරුදු දහ තුනෙන් පහල හොකී කණ්ඩායමට තේරුනා. ඒ කණ්ඩායම අනූ අට අවුරුද්දෙ කොළඹ දිස්ත්‍රික්ක පාසල් හොකී ශූරතාවයෙ තුන්වන ස්ථානය දිනාගත්තා. තුන්වන තැන සඳහා පැවති තරඟයෙදි අපි වෙස්ලි විද්‍යාලය පරාද කලා. ඊට පස්සෙ අවුරුදු වලත් මම දිගින් දිගටම කණ්ඩායමට තේරුනා. කොහොම හරි අපේ අම්මා ක්‍රීඩා කටයුතු වලට යන එක ගැන ඒ තරම් විරුද්ධ වුනේ නැතත් අපේ මාමා නම් බොහොම තදින් විරුද්ධ වුනා.

මාමා හිතුවෙ මම සෙල්ලම නිසා ඉගෙන ගන්න වැඩ අතපසු කර ගනියි කියලා. මොකද මම අනිත් ළමයි යන තරම් අමතර පන්ති ගියෙ නෑ පුහුණුවීම් නිසා. අනික මම එන්නෙ රෑ බෝ වෙලා සතියට දවස් තුනක්. ඉතින් මමම හොකි පිත්ත උස්ස ගෙන යනවා දකින අපේ මාමා මට කැ ගහනවා මෙහෙම “කොලුවො , ඔය කුඩ මිටි ගැහිල්ල නවත්තල දාලා ඉගෙන ගනින්”. සාමාන්‍යයෙන් හොකී පිත්තක අග කොටස කවාකාර හැඩයක් තියෙන්නෙ හරියට කුඩ මිටක් වගේ. මාමා කොහොමටත් හොකී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒක නිසා එයා කියන්නෙ “අර කොල්ලා ගෙ කුඩ මිටි සෙල්ලම” කියලා. ඒ කාලේ ඒක ඇහෙන කොටත් මට හරි විනෝදයි. හැබැයි ඉතින් තාත්තා නැති වුනාට පස්සෙ අපි ගැන බොහොම සෝදිසියෙන් ඉඳල රැකවරණය සැපයුවෙ මාමා තමයි. ඒක ජීවිතේ තියෙන තුරාවට අමතක කරන්න බෑ.

මමත් ඉතින් උසස් පෙළ පන්තිය දක්වාම හොකී සෙල්ලම් කලා. ක්‍රීඩා කිරීම නිසා ජීවිතේට ඉගෙන ගත්ත දේවල් නම් බොහොමයි. මම අති විශිෂ්ඨ මට්මේ ක්‍රීඩකයෙක් නම් වුනේ නෑ කවදාවත්. නමුත් මම පුලුවන් විදිහට සෙල්ලම් කලා. ඒක නිසා අති විශිෂ්ඨයෙක් වෙන්න බැරි වුන එක ගැන නම් කවදාවත් දුක් වුනේ නෑ. ඒ සියලුම දේවල් අතර අපි ලබාගත්ත ලොකුම දිනුම ලැබුවෙ මම විශ්ව විද්‍යාලයට ඇවිත් සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සෙ.  ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ තිබුන නව වෙනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලෙ දි අපිට මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් හොකී ඉසව්වෙ රන් පදක්ම දිනා ගන්න ලැබුනා. ඒ තරඟ වලදී මුල් වටයෙදි කැළණිය කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදි කොළඹ කණ්ඩායමත් පරාද කරපු අපි අවසාන තරඟෙදි රජරට කණ්ඩායම ලකුණු 3-0 විදිහට පරාද කලා.

ඒකේ තිබුන හරි අපූරු තරඟය වුනේ කොළඹ විශ්ව විද්‍යාලය සමඟ තිබ්බ තරඟය. ඒ තරඟය අපි දිනුවෙ ඉතාම තියුණු සටනකින් පස්සෙ. අනිත් කාරණාව ඒ කණ්ඩායමේ හිටිය වැඩි දෙනා පාසලේදී මාත් එක්ක එකට හොකී ක්‍රීඩා කරපු සඟයො වීම. සමහරු මගේ වයස් කාණ්ඩයෙ. තවත් අය අපිට වඩා ඉහල පන්තිවල හිටපු දැන් කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන්. ඉස්කෝලෙ දී එක කණ්ඩායමේ ක්‍රීඩා කරපු අපි දෙපැත්තකට බෙදිලා ක්‍රීඩා කලත් තරඟය ඉවර වෙලා නැවතත් සුහද මිතුරන් බවට පත් වුනා. කොහොමටත් ගොඩක් විශ්ව විද්‍යාල වල අපේ සමකාලීන මිත්‍රයන් ක්‍රීඩා කලා. එහෙම නොහිටියෙ පේරාදෙණිය කණ්ඩායමේ විතරයි.

තාමත් ඉතින් ක්‍රීඩා කිරීමේ ආසාව අත ඇරිලා නෑ . හැබැයි ගොඩ කාලෙකින් පුහුණුවීම් කරන්නත් බැරිවුනා. ආයෙමත් පිට්නිය පැත්ත යන්න තමයි හිතාගෙන ඉන්නෙ.  එහෙමනම් ඉතින් පුරුදු සීමාවට ආව නිසා මේ සතියේ “මගේ සටහන” නිමා කරනවා. දැන් “මගේ සටහන” හි ඒ තරම් රසයක් නැහැයි කියල ප්‍රතිචාරයක් ලැබුනා ගිය සතියෙ සටහනින් පස්සෙ. නැවත සුපුරුදු රටාවට එළඹෙන්න ඉක්මනට උත්සහ කරනවා. ඒක නිසා අඩු පාඩු ගැන හැකි තරම් ප්‍රතිචාර දක්වන්න කියල ඉල්ලා සිටන අතරවාරයේ නැවතීමේ තිත තබනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

Advertisements

16 thoughts on “කුඩ මිටි ගැහිල්ල

  1. එළම කිරි. කොල්ලගෙ කුඩ මිටි ගැහිල්ල නම් නියමයි. දැන් ලියන්නෙත් ඒ කාලෙ කුඩ මිටි ගැහුව වගේද? නියම්යි මචං මේ පාර ලියවිල්ල.

  2. Yours is one blog I enjoy reading.

    There is one question that puzzles me. Sorry for been blunt, but what do you gain in return by writing about old times? Is it just the ‘kick’?

    This is just my view, but I feel if you change the objectives a bit, it would be more helpful for the society. You have an inspiration story to tell. You are somebody who has achieved something in spite of the hurdles on your way. Why not make your story a book? Start here and later compile. Just an idea.

    Have you ever read Gunadasa Liyanage’s ‘Mallige Viththi’? It too started as a column and later ended in a book.

  3. ගොඩක් ලස්සනයි. හරිම රසවත්. සෑහෙන කාලෙකට පස්සෙ ගොඩක් අසාවෙන් කියවපු සටහනක්. කියවන අපි වගේම ලියන ඔයත් වෙනදට වඩා රසවිඳින්න ඇති කියලා හිතනවා..

  4. @ මලින්ත – ස්තූතියි වෙනද වගේම ප්‍රතිචාර ලබා දීම ගැන. “මගේ සටහන” මුල සිටම මට සිටිය පාඨකයෙක් ලෙස ඔබ ලබා දුන්න දිරිය විශාලයි.

    @ දිලින – ඔව් ලියන්නෙත් ඒ වගේම තමයි. අර ලියන්න කියපු එක මේ සතිය ඇතුලත ලියනවා.

    @ දිල්ෂි – ස්තූති. මගේ සටහන” මුල සිටම මට සිටිය පාඨකයෙක් ලෙසට ඔබත් ලබා දුන්න දිරිය විශාලයි. ඒක නිසා හැමදාම ලියන්න පෙළඹුනා. ඇත්තටම මමත් මෙවර සටහන රස වින්දා.

  5. @ අරවින්ද – මුලින්ම ප්‍රතිචාරය ගැන තුති. මම පරණ කාලෙ සිද්ධි අවුස්සන්නෙ බහොම විනෝදයෙන් යුතුව. අතිශය සුන්දර නැතත් සුලකිය යුතු ලෙස විනෝද වුනු ළමා කාලයක් මට තිබුනා කියල හිතනවා. අනික ගෝර්කි ගෙ ” මගේ සරසවි” , “මිනිසුන් අතර” සහ නොයෙක් රචකයන් ලියල තියෙන රසවත් ජීවන අත් දැකීම් දකින කොට තමයි මෙහෙම දෙයක් ලියන්න සිත පහල වුනේ. ඒක නිසා කියවන අයත් බොහෝ දුරට සටහන් තුල එලි දකින යම් තරමකට හෝ අව්‍යාජත්වය රස විඳිනව ඇති කියල මම හිතනවා.

  6. ෂා නියමයි!
    ඔයාගේ සටහන් කියෙව්වාම කොහොමද comment එකක් නොදා ඉන්නේ, හරිම ලස්සනට ලියනවා, අර කිව්වත් වගේ පොතක් ලිව්වොත් නරකද? ඉදිරියටත් හොද සටහන් ඉදිරිපත් කරන්න ලැබේ වා 🙂

  7. @ පුබුදු – ඇත්තටම ඒ කාලයේ සිදුවීම් වල මිහිරි භාවය අදටත් අපේ ජීවිත හරහා වැයුණු එළියක් කියලයි මට හිෙන්නෙ. හැමදාම බගේ දිරි ගැන්වීම ගැන තුති.

    @ myfamily84- ප්‍රතිචාර දක්වල දිරි ලබා දීම ගැන තුති. පොතක් හැටියට පල කරන්න තියෙනවනම් ඇත්තටම ආසයි. නමුත් ඒකට තවත් ලිවීමේ රටාව දියුණූ කර ගන්න අවශ්‍යයි වගේම , ලියපු සරටහන් වල අවිධිමත් භාවය මග හරවා ගන්න ඕනේ කියලයි මට හිතෙන්නෙ.

    @ කසුන් – වෙනද වගේම දිරි ලබා දීම ගැන තුති. අිගටම මෙහෙම ලියනවා.

  8. ටිකක් පහුවෙලා තමා සටහන දැක්කේ. පහුගිය සටහනෙනුයි මේ සටහනෙනුයි, නිදහස් අදහස් මාවත් අතීතෙට ගෙනිච්චා. වැඩි ඈතක් නෙවෙයි, දැනට අවුරුදු පහකට විතර විතර කලින්. අතීතය මතක් කරපු වෙලාවේ, මගේ බ්ලොග් එකේම ලියන්න ඕන කියලා හිතපු දේවල් මේකේම ලියලා දාන්නත් හිතෙනවා. තිස්සමහාරාමේ ඉඳලා ශිෂ්‍යත්වේ පාස් වෙලා රෝයල් එකට ආපුවාම නිකන් කරකවලා අතෑරියා වගේ තමයි දැනුනේ. මුලදී ගමේ යාළුවන්ගෙන් දුරස්වෙන්න වෙචිච නිසා ටිකක් දුක දැනුනත් පස්සේ නේවාසිකාගාරේට ඇතුල් වෙන්න ලැබුනාට පස්සේ. නේවාසිකා‍ගාරේ හිටපු අවුරුදු 4තමයි ජීවිතේ ගෙවිච්ච ස්වර්ණමය කාලේ හිතලා තමයි දැන් නම් හිතෙන්නේ. රාජකීය විද්‍යාල‍යේ නේවාසිකාගාරය කියන්නේ රාජකීය විද්‍යාලය වගේම නියම තැනක්. ජාති භේද, ආගම් භේද නැති. රණ්ඩු වෙවී, යාළු වෙන සිංහල, දෙමළ, මුස්ලිම් මොළකාරයින්ගේ නවාතැන තමයි ඒක. ඊයේ (2008.05.29) තිබ්බා අපේ නේවාසිකාගාරේ 11ශ්‍රේණියේ අයගේ මියැසි මිරාවය (www.miyesimeerawaya.com) ඒක තමයි මම දැක්ක ‍හොඳම සංගීත ඉසව්වක් රාජකීය විද්‍යාලයේ. මට හිතෙන විදිහට නම් මේක මේපාර දෙවැනි වුනේ ස-ග ප්‍රසංගයට විතරයි. වේදිකාව විවෘත වෙද්දී, පුදුමත් හිතුනා මේ වැඩේ ගැන. මාස 5ක් චාටරේ කාගෙන. සා.පෙ කටේ තියාගෙන මේ කරපු ප්‍රසංගය නම් ඉස්තරම්. ඉතින් ඔහොමයි රාජකීය විද්‍යාලයට එන ශිෂ්‍යත්වකාරයින්ගේ වැඩ… (මේක ලිව්වේ අනිත් පාසල් හෑල්ලු කරන්න නම් නෙවෙයි)

  9. දැන්ම කිව්වා. ප්‍රාථමික අංශයේ සිට එන රාජකීයෙක්‌ හැටියට රාජකීය විද්‍යාලයට එන ශිෂ්‍යත්වකාරයින්ගේ වැඩ ගැන පාසැලේ හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන් කියල මම කියනව. හොදට කෙරෙන්න ඇති. ආයිත් ඒව බලන්න ආසයි.

    වැරැද්දකට කියනව නෙමෙයි, ඒත් ඒ පොලොවට පය ගැහුවට පස්‌සෙ ආවෙ කොහෙන්ද, කොයි කාලෙද වගෙ ප්‍රශ්න නෑ නෙ. කොහොම ආවත් රාජකීය විදුහලට ආවට පස්‌සෙ හැමෝම රජවරු තමයි.

  10. පින්ග්කිරීම: සුදාරකගේ අන්තර්ජාල සටහන » මියැසී මීරාවය 2008

  11. @ සුපුන් – කතාව හරි. ආපු මුල දවස් වල අපි හිටියෙ හොල්මන් වෙලා. නමුත් පස්සෙ තමයි වැඩට හුරු වුනේ. අනික දිලින ගෙ කතාව වැරදියට තේරුම් ගන්න එපා. පාසලට ආවට පස්සෙ අපි හැමෝම එකයි. එහෙම තිබුනා කියල මම හිතනවා.
    ප්‍රතිචාර දැක්වීම ගැන තුති.

    @ දිලින – ඉස්කෝලෙට ආවට පස්සෙ අපි හැමෝම එකයි. එකේ ආයෙ කතා දෙකක් නෑ.

  12. මම කියපු එකට හිත රිදුනා නම් සමාවෙන්න ඕනෙ සුදාරක. මට කියන්න උවමනාව තිබ්බෙ ඉස්‌කෝලෙ ඇතුලෙදි අපි ඔක්‌කොම එකයි කියල. වෙන මොනවත් නෙමෙයි. ඔයාටවත් වෙන කාටවත් දොසක්‌ කිව්ව නෙමෙයි. 🙂

    Comment පරක්‌කු වුනාට සමාවෙන්න ඕනෙ. ව්භාගයක්‌ මැද්දෙ ඉන්නෙ. දැන් ආපහු ගිරවා පාරක්‌ දාන්න දුවන්න ඔනෙ.

    මේ සුදාරකගෙ blog එකෙත් දැම්මා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )