පුරුදු දේවල්

“මගේ සටහන” මේ ලියන්න හදන්නෙ විසි හතර වන සටහන. පුරුදු විදිහටම ඉරිදා හැන්දෑවේ තමයි ලියන්න වාඩි වුනේ. එක පාරටම ලියන්න දෙයක් හිතට එන්නෙත් නැතිව කල්පනා කරමින් ඉඳල තමයි පරිගණකය ඉස්සරහ වාඩි වුනේ. වෙනද වගේ නෙවෙයි අර නොසන්සුන් කම හිතේ දරාගෙන. තවම ඒක නිසා නිදහසේ හිතට අදහස් එන්නෙත් නෑ. එන්න එන්නම “මගේ සටහන” ලියන එක වගේම කියවන උදවියට කියවන එකත් නීරස වැඩක් දෝ කියන දෙගිඩියාව හිතේ දරාගෙන මේ සතියේ සටහන ආරම්භ කරනවා. 

විශ්ව විද්‍යාල ජීවිතේ ආයෙමත් පටන් ගත්තා. මුල් සතිය ඔහේ ගෙවිල ගියා. පරණ පුරුදු දේවල් එක්ක ජීවිතේ ආයෙමත් ගලා යන්න සූදානම. වෙලාවකට මිනිස් සම්බන්ධතා වුනත් බොහොම වෙහෙසකරයි. වෙනදට මිත්‍රතත්වයෙන් හමුවන , පිළිගන්න උදවිය වුනත් මග ඇරල යන්න පෙළඹෙන්නෙ ඒක නිසා වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ඒ වගේ වෙහෙසකර බවක් දැනෙන්න ගත්තම ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි වෙනදට දක්වන සුහදත්වය පල කෙරෙන්නෙ නෑ. කරන්න දෙයක් නැති වුනත් ජීවිදේ හැටි එහෙම තමයි.

වෙනද වගේ කම්මැලි කමේ ඉන්නෙ නැතුව දේශන වලට නම් සහභාගි වුනා. ඒත් තවම නිදිමත හැදෙනව කිසිම හේතුවක් නැතුව. රෑ තිස්සෙ හොඳට නිදා ගත්තත් නිදි මත නිසා ඇස් පියවෙන වෙලාවල් එනවා. හැබැයි ඉතින් හවස් වරුවෙ දේශන තියෙන කොට තමා නිදිමත ලෙඩේ වැඩිපුරම හැදෙන්නෙ.  ආයෙමත් බෝඩිමක නැවතුනා. ඒකෙන් අදහස් වෙන්නෙ කැන්ටිමේ කෑමයි, උදේට නැගිට්ටම තේ නෑ කියන එකයි තමා. පරණ බෝඩිමේ ඉන්න කාලෙ නම් උදේට තේ ලැබුණත් ඊට පස්සෙ බෝඩිම් වලදි තේ හදන වැඩේ අත ඇරල දැම්මා. උදේට තේ නැතුව ඉන්න එක මුලදි අමාරු වැඩක් වුනත් පස්සෙ කාලෙදි ඒක ඒ තරම් දෙයක් වුනේ නෑ. ඕනෙම දෙයක් ටික කාලයක් කරගෙන යනකොට පුරුද්දක් බවට පත් වෙනවනෙ.

අවුරුදු කාලය එහෙම්ම වාගේ ගෙවිල ගියා. ඊළඟට වෙසක් කාලයත් ළඟ ළඟම එනවා.  බොහෝ දෙනා වෙසක් කූඩු ආදී සැරසිලි කරන කාලේ. නමුත් වෙනද වගේ ඒ දේවල් වලට වුනත් මිනිස්සු අතර එතරම් උනන්දුවක් නැහැ. එදිනෙදා ජිවිතයේ මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන ඛේදවාචකයන් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කඩා වැටීම පුදුමයක් නෙවෙයි. වෙසක් කාලයේ හැබැයි කූඩු හදන වැඩේ මගේ අතින් කෙරෙන්නෙ නෑ. හේතුව මොකක්ද දන්නෙ නැති වුනත් මගෙ ජීවිතේටම කූඩුවක් හදල තියෙන්නෙ එකම එක පාරයි. පුංචි කාලෙදි වුනත් ඉවසීමකින් යුතුව ඒ වගේ වැඩක් කරන්න තරම් හැකියාවක් තිබුනෙ නැති එක තමයි මූලිකම හෙතුව කියල මට හිතෙන්නෙ. කොහොමටත් ඉවසීමෙන් යුතුව කරන සියුම් වැඩ වලට මං එතරම් දක්ෂයෙක් නෙවෙයි. මොනව වුනත් අපේ ඥාතී සහෝදරයො සහ සහෝදරියො කිහිප දෙනා නම් බොහොම උනන්දුවෙන් යුතුව කූඩු හදන වැඩේ නිරත වෙනවා. ඔවුන්ගේ උන්නදුව වැඩි කම නිසාවෙන්ම වෙසක් කාලයෙදි අට පට්ටමක් වත් හදන්නෙ නැති එක ගැන ඔවුන්ගේ උපහාසයට මාව ලක් වුනා. අපරාදේ කියන්න බෑ දැන් දරු මල්ලො ලැබිලත් කාල වෙලාව හොයාගෙන ඒ වැඩේ ඔවුන් නොවැරදීම කරනවා.

වෙසක් කාලෙදි කරන්නෙ කොහෙ හරි ඇවිදින්න යන එක.  ඉස්සර අපි ගනේමුල්ලෙ පදිංචි වෙලා ඉන්න කාලෙදි වෙසක් කාලය කියන්නෙ හරි ආස හිතෙන කාලයක්. පාසල් වැඩ කටයුතු වලින් නිවාඩුවක් ලැබෙන නිසා වැඩේ කොහොමටත් හොඳයි. වෙසක් කූඩු හදන වැඩේ මට දිරවන්නෙ නැති වුනත් තාත්තා නොවරදවාම කූඩුවක් හදනවමයි. මගෙ වැඩේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක. අවශ්‍ය වෙන දේවල් ළඟට ගෙනත් දෙන එක තමයි මගෙ සිරිත. ඕනෙම වුනොත් සව් කඩදාසියක් අලවන එක හරි එහෙමත් නැත්තනම් මොකක් හරි ඇදක් පලුද්දක් තියෙනවද කියන එක බලනව ඇරෙන්න මගෙන් කිසි දායකත්වයක් නෑ. කොහොමටත් අට පට්ටමක් හදන්න ගිහින් හරියට රාමු ටික අමුණනන්න තනියම උත්සහ කලොත් මගේ ඔලුව කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා බැරි වැඩ කරන එක මම අත ඇරියා. තාත්තා වැඩිපුරම හදන්නෙ අට පට්ටම්. ඊට අමතරව තාරකා හැඩය තියෙන කූඩු. ඔය කිව්ව ඒවට අමතරව තවත් නම් වලින් හැදින්වෙන කූඩු තියෙනවනෙ. නෙඵම් මල්, දහ දට පට්ටම් වගේ ටිකක් හදන්න අමාරු ඒවා. කොහොමටත්  කූඩුවක් දැක්කම මට ඒකෙ ලස්සන බලනවට වඩා හිතෙන්නෙ අනේ මේක හදපු කෙනා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියල.  

වෙසක් දවසෙ හවස් වෙනකොට හදපු කූඩු පත්තු කරල තාත්තයි අම්මයි එක්ක අපේ මහ ගෙදර එන්න පිටත් වෙනව. ගනේමුල්ලෙ ගෙදර ඉඳන් හැතප්ම තුනක් හතරක් ඈතින් තමයි මහ ගෙදර පිහිටල තියෙන්නෙ. වෙසක් දවස නිසා අපි සම්පූර්ණ දුරම යන්නෙ පා ගමනින්. ඒක බොහොම විනෝද ජනක වැඩක්. පාර දෙපැත්තෙ වෙසක් අසිරිය නරඹමින් එන කොට එතරම් වෙහෙසක් දැනෙන්නෙ නැහැ. අතරමග තියෙන දන්සැල් අසලදි නැවතෙමින් තමයි අපේ ගමන යන්නෙ. සාමාන්‍යයෙන් බත් දන්සැල් ළඟ නතර වෙනවට මගේ එච්චර කැමැත්තක් නෑ. මොකද පුංචි සන්ධියෙ ගොඩක් කන්නත් බෑ. මං වැඩිපුරම ආස කලේ සිසිල් බීම දන්සැල් වලට. හැමදාම ලැබෙන අවස්තාවක් නොවන නිසා එදාට අම්මාගෙන් තහංචි වැටෙන්නෙ නෑ මොනව බිව්වත්. ඒක නිසා වෙසක් දවසෙ උපරිම ප්‍රයෝජනය ගන්න පැකිලෙන්නෙ නෑ. මහ ගෙදර ආවම අපිට ගමේ පන්සලේ තොරණ බලන්න අවස්ථාව ලැබෙනවා. තොරණ් බලන එක තමයි වෙසක් දවසෙ තියෙන වැදගත්ම දේ. නොයෙක් ආකාරයේ රටා මවමින් විදුලි බුබුලු දැල්වෙන එක මම බලා ඉන්නෙ බොහොම පුදුමයට පත් වෙලා.

කොහොමටත් පුංචි කාලේ දකින ගොඩක් දේවල් ඇති කරන්නෙ විශ්මය දනවන හැඟීම්. ඒ කාලෙදි කුතුහලයෙන් බලාගෙන ඉන්න ප්‍රීතිමත් ඇස් තමයි ඕනේම පොඩි එකෙක් තුල දකින්න තියෙන්නෙ. නමුත් ටිකෙන් ටික වයස ගෙවෙන කොට ඒ කුතුහලය සහ ප්‍රීතිමත් භාවය නැති වෙලා යන එක හරිම කණගාටුදායකයි කියල හිතෙනවා. එහෙම වෙන්නෙ ඇයි කියන එකත් ටිකක් හිතල බලන්න අවශ්‍ය කාරණාවක්. ඒ ටික හදිස්සියෙම ලියන්න මතක් වුනේ ළඟදි අපේ කුඩා ඥාතී  සහෝදරියගෙ මුහුණ දැක්කම. ඒ කාලයේ තිබුන කුතුහලය දැන්නම් ඇති වෙන්නෙම නෑ. වෙසක් දවසට දැන් කරන්නෙ යාලුවොත් එක්ක සවාරි යන එක. බයිසිකල් වල නැගිලා වට රවුමක් ගිහින් එන එක තමයි කරන්නෙ. දන්සැල් ළඟ නැවතෙමින් ගම්පහ පැත්තට ගිහින් නුවර පාර හරහා ගෙදර එකන එක තමයි අපේ සිරිත. මෙදා වාරෙ නම් ටිකක් දුර පළාතක යන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. කොහොමටත් අපේ ජීවිත එක්ක දැන් අවිනිශ්චිතතාව බැඳිල තියෙන නිසා කරන දෙයක් ඉකමනටම කරල දාන්න තමයි කල්පනාව. 

සිතුවිලි ගලප ගන්න එක ටිකක් අමාරු වැඩක් නිසා ලියවෙනෙ බොහොම හෙමින්. මැරතන් ඉසව්වෙන් පස්සෙ අපේ බ්ලොග්කරුවන් පවා ටිකක් නිහඬතාවයකට එළඹිලා තියෙනවා වගේ දැනෙනවා. වෙනද තරම් අලුත් සටහන් අවකාශය තුල දකින්නට ලැබෙන්නෙත් නැහැ.  අලුතෙන් දේවල් මොනව හරි ලියන්න හිතාගෙන හිටියත් දවසින් දවස වැඩේ කල් යනවා. කොහොමටත් විශ්ව විද්‍යාල ජීවීතේ ඉවර වෙන්න තව මාස හතරක් වගේ කාලයක් තියෙන්නෙ. අවුරුදු තුනහමාරක වගේ කාලයක් ඉතාම ඉක්මනට ගෙවිල ගියා වගේ තමා දැනෙන්නෙ.  ඉක්මනට ඉතිරි කාලය ගෙවිල යනකම් තමයි දැන් නම් බලාගෙන ඉන්නෙ. “ආයතනික පුහුණුව” ලබපු කාලය තව ටිකක් දිගට තිබුණ නම් කියලත් හිතුන ආයෙමත් විශ්ව විද්‍යාලෙ පැත්තෙ ගියහම. හැබැයි මුලින් කියපු මාස හතර ගියාට පස්සෙ අධ්‍යාපනයට ඉතින් නැවතීමේ තිත තමයි තැබෙන්නෙ. අපේ සඟයො බොහෝ දෙනෙක් කියන්නෙ විශ්ව විද්‍යාලයෙන් එළියෙ ඉන්න කොට තමයි අගය දැනෙන්නෙ කියල. ඒ කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. නමුත් කාලය බොහොම ඉක්මනට ගෙවිල යනකොට හැකි ඉක්මනින් එළියට එන එකේ ඕනෑකම දැනෙනව. 

අන්තිමේදි මෙවර “මගේ සටහන” ඉවර කරන සීමාවට ආවා. ගිය වර “මගේ සටහන” කියවල ඒක ඒ තරම් හොඳට ලියල නැ කියල ප්‍රතිචාර ලැබුනා. ලියන එකේ ආශ්වාදය වෙනද තරම් දැනෙන්නෙ නැති එක සමහර විට ඒකට හේතුව වෙන්න පුලුවන්. ඉදිරි සති වලදි මේ නොසන්සුන්තාවය මග අරවාගෙන ලියන්න හැකිවේවි කියන බලාපොරොත්තුව දල්වා ගෙන මෙවර සටහන නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු. 

Advertisements

4 thoughts on “පුරුදු දේවල්

  1. “වෙලාවකට මිනිස් සම්බන්ධතා වුනත් බොහොම වෙහෙසකරයි. වෙනදට මිත්‍රතත්වයෙන් හමුවන , පිළිගන්න උදවිය වුනත් මග ඇරල යන්න පෙළඹෙන්නෙ ඒක නිසා වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ඒ වගේ වෙහෙසකර බවක් දැනෙන්න ගත්තම ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි වෙනදට දක්වන සුහදත්වය පල කෙරෙන්නෙ නෑ.”

    අප සැමටම තනිව ගත කිරීමට කාලයක් අවශ්‍ය වෙනවා. තනිව සිටියත් හිතේ ඇඳෙන දේවල් හරහාත් තනිවම නොතනවී සිටින අවස්ථා තමයි වැඩිපුර තිබෙන්නෙ. ඒ වගේ අවස්ථාවල තමාට ම කියා වෙන් කරගත් කාලය නිකරුනේ ගත කලා කියලා පසුතැවිල්ලක් දැනෙන්නෙ.

  2. මගෙ සටහන නම් වෙනදා වගේම ලස්සන‍යි. ඒත් ඔයා කියන ඔය නොසන්සුන් කමට හේතුව හොයාගත්ත නම් ඒකට විසඳුමක් ලැබෙයි කියලා හිතනවා.. ඒ ගැන ටිකක් හිතලා බලන්න..

  3. ජීවිතේ හැටි ඔහොම තමයි. ගල් මුල් වල හැපි හැපී ගියොත්නෙ ගඟක් වුනත් ලස්සන වෙන්නෙ.

  4. බාදක මගහැරී එලඹුන නව වසරේ
    ජයගොස නගනු මැන දිනු ලෝකය අතරේ
    දිය බිඳ වන්න සොහොයුරු කැල වෙත සසරේ
    ඒ සෙනෙහසින් ඔබෙ දිවියට කිරි ඉතිරේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )