කුඩ මිටි ගැහිල්ල

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හත් වන සටහන. ගිය සතියෙ සටහනට ප්‍රතිචාර පල කරපු සියලුම දෙනාටම බොහොම ස්තූතියි. ගොඩක් අයගෙ අදහස වෙලා තිබුනෙ “මගේ සටහන” හි පුරුදු රටාවට ලියනවනම් හොඳ බවයි. ඒක නිසා මේ සතියෙ පරණ විදිහටම ලියන්න කල්පනා කලා. ඉන්ධන මිල ඉහළ යාම නිසා තාම සාමාන්‍ය මහජනතාව හොල්මන් වෙලා ඉන්න ඉරිදා උදේ වරුවෙ සටහන ලියන්න හදන්නෙ.

ගිය සතියෙ මම කිව්වනෙ ක්‍රිකට් ගහන්න තිබුණු ආසාව ගැන . මේ සතියෙ කියන්න හදන්නෙ කතන්දරේ ඉතුරු ටික. ඔන්න ඉතින් ළමයි ගොඩක් දෙනා මොකක් හරි ක්‍රීඩාවක නිරත වෙනවා දැක්කම මටත් ලොකු ආසාවක් ඇති වුනා. මුලින්ම මම ගියා චෙස් සෙල්ලම් කරන්න. දවස් දෙක තුමක් ගියාට පස්සෙ මට වැඩේ එපා වුනා. ඊට පස්සෙ මම කල්පනා කලා මොකද්ද කරන්නෙ කියල. වැඩිය වියදම් යන්නෙ නැති සෙල්ලමක් වෙන්නත් ඕනේ. නැත්තම් අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න අම්මට වද දෙන්නත් බෑ. කොහොම හරි නවය පන්තිය වෙනකම් මම සද්ද නැතුව හිටියා.  ඒ කාලේ අපේ පන්තියෙ ඉගෙන ගත්ත, පාසලේ නේවාසිකව නැවතිලා හිටපු ළමයි ගොඩක් දෙනා මොකක් හරි සෙල්ලමක් කලා. මගේ හොඳම මිත්‍රයෙකුත් ඔය අතර හිටියා. මම මිනිහට කිව්වා මගේ ආසාව ගැන.

ඒ පාර ඉතින් මිනිහත් මට කියපි එහෙනම් ගෙදරින් අහල ආවා නම් හවස ඉඳල සෙල්ලම් කරන්න පුලුවනි කියල. මමත් බොහොම කැමැත්තෙන් අම්මට ගිහින්  කිව්වා මගෙ ආසාව ගැන. හවස මට තනියම ගෙදර එන එක ගැන අම්මා ටිකක් අකමැති වුනත් මට අවසරය ලැබුනා. මමත් හරිම ආසාවෙන් හා හා පුරා කියල දවසක් හවස නැවතුනා. ඒ වෙනකොටත් මම කරන  සෙල්ලම මොකද්ද කියල හරි හැටි තීරනයක් තිබ්බෙ නෑ. ඒ වුනාට මගේ හොඳම මිත්‍රයා හොකී සෙල්ලම් කරපු නිසා මමත් ඒකම කරනවා කියල හිතා ගත්තා.

ඇත්තටම කියනවනම් ඊට කලින් මම හොකී සෙල්ලම් කරනවා දැකලා තිබ්බෙ නෑ. යන්තම් ඉතින් මොකක් හරි සෙල්ලමක් කරන්න ලැබුනු එක ගැන මුල්ම දවසෙ පුදුම සතුටක් දැනුනෙ. ඒ කාලේ මම නවය පන්තියෙ හිටියට උපන්නෙ ජනවාරි මාසයක නිසා මාව අයත් වුනේ දහ තුනෙන් පහල වයස් සීමාවට. මගෙ පලවන අවුරුද්ද ඒක නිසා මට ඒකත් ලොකු වාසියක් වුනා.  හැබැයි ඉතින් සෙල්ලම් කරන්න පටන් ගත්තට මුල දවස් වල තිබුන ප්‍රධානම ප්‍රශ්නෙ මටම කියල හොකී පිත්තක් නොතිබුන එක. සාමාන්‍යයෙන් තමන්ට හුරු පුරුදු පිත්තකින් ක්‍රීඩා කරන එක ලොකු වාසියක්. මුල දවස් වල මට සිද්ධ වුනේ ඉස්කෝලෙ තිබුන පිත්තක් තෝර ගෙන සෙල්ලම් කරන එක. සමහර වෙලාවට ගොඩක් ලමයි පුහුණු වෙන්න ඉන්නව නම් පිති මදි වෙනවා. එතකොට ඉතින් හිතට හරි අමාරුයි. ගොඩක් වෙලාවට අපිට වඩා වයසින් වැඩි ළමයි හොඳ පිති තෝර ගන්නවා. අපිට ඉතුරු වෙන්නෙ එච්චර හරි නැති ඒවා.

බැරිම තැන මම අම්මට කරදර කරන්න පටන් ගත්තා මටත් හොකී පිත්තක් අරගෙන දෙන්න කියල. අන්තිමේ දි අම්මත් මං ගැන අනුකම්පා කරල මට හොකී පිත්තකුයි බෝලයකුයි අරගෙන දුන්නා. ඒ දවස්වල තිබුන ලාබම ගානට තිබුනෙ ඒවා තමයි. සාමාන්‍යයෙන් හොකී පිත්තක් මාගෙන යන්න මලු තියෙනවනෙ. එහෙම එකක් තිබුනෙ නැති නිසා මම හොකී පිත්ත අරගෙන යන්නෙ එන්නෙ නිකම්ම තමයි. ඒකත් අරගෙන පාරෙ ටිකක් හයියෙන් දුවල ගියොත් මිනිස්සෙ හිතන්න ඇත්තෙ රණ්ඩුකට යනවා කියල. වැඩිය දේවල් ඉල්ලන එක හරි නැති නිසා හොකී පිත්තෙන් විතරක් සැනසෙන්න සිද්ධ වුනා.
හොකී පිත්ත අරගෙන යන එන එකේ අනිත් වදය වෙලා තිබුනෙ අපෙ පන්තියෙ හිටපු කොලෙ රැලෙන් පරිස්සම් කරගන්න එක. සමහරෙ ඒකෙන් ක්‍රිකට් ගහන්න හදනවා. එහෙමත් නැත්තම් කාට හරි තඩි බානවා. අන්තිමට ගුටි කාපු එකාට මාත් එක්කත් කේන්ති යනවා. මට ඉතින් අපේ දඩබ්බර කොල්ලන්ට කන්නලව් කරන්න වෙනවා “අනේ ඕක මෙහාට දීපං” කියල. හොකී පිත්ත බේරගන්න බැරිම තැන මම කලේ ඒක උදේ ඉස්කෝලෙට ගිය ගමන් නේවාසිකාගාරයේ තියන එක.  එහෙම කරන්න ගත්තෙ ඉතිහාසය පාඩම වෙලාවෙ වෙන කොලුවෙක් පිත්ත අරගෙන තව කොල්ලෙකුට අනිනවා දැකපු ගුරුතුමා පිත්තෙ අයිතිකාරයා වුන මාවත් එක්කම පන්තියෙන් එළියට ඇදල දැම්මට පස්සෙ. එවෙලෙ පන්තියෙන් එළියට ගියහම මම ඇති වෙච්ච කේන්තියට සිද්ධියට මුල්වුන කොලුවට හොකී පිත්තෙන් සංග්‍රහ කලා.

මම කොහොමටත් ක්‍රීඩාවට ඒ තරම් දක්ෂ නැති බව මම කලිනුත් කිව්වනෙ. ඒ වයසෙදිත් මම බොහොම පුංචි කොල්ලෙක් අනිත් ළමයි එක්ක තියල බලන කොට. ඒ වුනත් හැමදාම වරද්දන්නෙ නැතුව පුහුණු වීම් වලට ගිය නිසාම මම පලවන අවුරුද්දෙම අවුරුදු දහ තුනෙන් පහල හොකී කණ්ඩායමට තේරුනා. ඒ කණ්ඩායම අනූ අට අවුරුද්දෙ කොළඹ දිස්ත්‍රික්ක පාසල් හොකී ශූරතාවයෙ තුන්වන ස්ථානය දිනාගත්තා. තුන්වන තැන සඳහා පැවති තරඟයෙදි අපි වෙස්ලි විද්‍යාලය පරාද කලා. ඊට පස්සෙ අවුරුදු වලත් මම දිගින් දිගටම කණ්ඩායමට තේරුනා. කොහොම හරි අපේ අම්මා ක්‍රීඩා කටයුතු වලට යන එක ගැන ඒ තරම් විරුද්ධ වුනේ නැතත් අපේ මාමා නම් බොහොම තදින් විරුද්ධ වුනා.

මාමා හිතුවෙ මම සෙල්ලම නිසා ඉගෙන ගන්න වැඩ අතපසු කර ගනියි කියලා. මොකද මම අනිත් ළමයි යන තරම් අමතර පන්ති ගියෙ නෑ පුහුණුවීම් නිසා. අනික මම එන්නෙ රෑ බෝ වෙලා සතියට දවස් තුනක්. ඉතින් මමම හොකි පිත්ත උස්ස ගෙන යනවා දකින අපේ මාමා මට කැ ගහනවා මෙහෙම “කොලුවො , ඔය කුඩ මිටි ගැහිල්ල නවත්තල දාලා ඉගෙන ගනින්”. සාමාන්‍යයෙන් හොකී පිත්තක අග කොටස කවාකාර හැඩයක් තියෙන්නෙ හරියට කුඩ මිටක් වගේ. මාමා කොහොමටත් හොකී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒක නිසා එයා කියන්නෙ “අර කොල්ලා ගෙ කුඩ මිටි සෙල්ලම” කියලා. ඒ කාලේ ඒක ඇහෙන කොටත් මට හරි විනෝදයි. හැබැයි ඉතින් තාත්තා නැති වුනාට පස්සෙ අපි ගැන බොහොම සෝදිසියෙන් ඉඳල රැකවරණය සැපයුවෙ මාමා තමයි. ඒක ජීවිතේ තියෙන තුරාවට අමතක කරන්න බෑ.

මමත් ඉතින් උසස් පෙළ පන්තිය දක්වාම හොකී සෙල්ලම් කලා. ක්‍රීඩා කිරීම නිසා ජීවිතේට ඉගෙන ගත්ත දේවල් නම් බොහොමයි. මම අති විශිෂ්ඨ මට්මේ ක්‍රීඩකයෙක් නම් වුනේ නෑ කවදාවත්. නමුත් මම පුලුවන් විදිහට සෙල්ලම් කලා. ඒක නිසා අති විශිෂ්ඨයෙක් වෙන්න බැරි වුන එක ගැන නම් කවදාවත් දුක් වුනේ නෑ. ඒ සියලුම දේවල් අතර අපි ලබාගත්ත ලොකුම දිනුම ලැබුවෙ මම විශ්ව විද්‍යාලයට ඇවිත් සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සෙ.  ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ තිබුන නව වෙනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලෙ දි අපිට මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් හොකී ඉසව්වෙ රන් පදක්ම දිනා ගන්න ලැබුනා. ඒ තරඟ වලදී මුල් වටයෙදි කැළණිය කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදි කොළඹ කණ්ඩායමත් පරාද කරපු අපි අවසාන තරඟෙදි රජරට කණ්ඩායම ලකුණු 3-0 විදිහට පරාද කලා.

ඒකේ තිබුන හරි අපූරු තරඟය වුනේ කොළඹ විශ්ව විද්‍යාලය සමඟ තිබ්බ තරඟය. ඒ තරඟය අපි දිනුවෙ ඉතාම තියුණු සටනකින් පස්සෙ. අනිත් කාරණාව ඒ කණ්ඩායමේ හිටිය වැඩි දෙනා පාසලේදී මාත් එක්ක එකට හොකී ක්‍රීඩා කරපු සඟයො වීම. සමහරු මගේ වයස් කාණ්ඩයෙ. තවත් අය අපිට වඩා ඉහල පන්තිවල හිටපු දැන් කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන්. ඉස්කෝලෙ දී එක කණ්ඩායමේ ක්‍රීඩා කරපු අපි දෙපැත්තකට බෙදිලා ක්‍රීඩා කලත් තරඟය ඉවර වෙලා නැවතත් සුහද මිතුරන් බවට පත් වුනා. කොහොමටත් ගොඩක් විශ්ව විද්‍යාල වල අපේ සමකාලීන මිත්‍රයන් ක්‍රීඩා කලා. එහෙම නොහිටියෙ පේරාදෙණිය කණ්ඩායමේ විතරයි.

තාමත් ඉතින් ක්‍රීඩා කිරීමේ ආසාව අත ඇරිලා නෑ . හැබැයි ගොඩ කාලෙකින් පුහුණුවීම් කරන්නත් බැරිවුනා. ආයෙමත් පිට්නිය පැත්ත යන්න තමයි හිතාගෙන ඉන්නෙ.  එහෙමනම් ඉතින් පුරුදු සීමාවට ආව නිසා මේ සතියේ “මගේ සටහන” නිමා කරනවා. දැන් “මගේ සටහන” හි ඒ තරම් රසයක් නැහැයි කියල ප්‍රතිචාරයක් ලැබුනා ගිය සතියෙ සටහනින් පස්සෙ. නැවත සුපුරුදු රටාවට එළඹෙන්න ඉක්මනට උත්සහ කරනවා. ඒක නිසා අඩු පාඩු ගැන හැකි තරම් ප්‍රතිචාර දක්වන්න කියල ඉල්ලා සිටන අතරවාරයේ නැවතීමේ තිත තබනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

එකසිය අනූව

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හයවන දිග හැරීම. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම අපේ මිතුරු දිලින තව මාතෘකාක් වක් ගැන ලියන්න ආරාධනා කලා. ඒ ඉල්ලීම ඉක්මනටම ඉෂ්ඨ කරනවා. මේ සතියෙ මුණ ගැහුනු අපේ විශ්ව විද්‍යාල සඟයො සමහරු ඇහුවා මොකද එයාලා ගැන සහ අනිත් රසවත් සිදුවීම් ගැන ලියන්නනෙ නැත්තෙ කියලා. ලියන්න කතන්දර එමට තිබුනත් විශ්ව විද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ බයක් සැකක් නැතිවම ලියන්න  කියල තමයි හිතාගෙන හිටියෙ. නමුත් ලැබෙන අල්ල පනල්ලෙ ටික ටික ලියල දාන්න තීරණය කලා ඉල්ලීම පරිදි.  එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. හැබැයි මේ සතියෙත් ලිවීමේ රටාව ටිකක් වෙනස් කරනවා වෙනදට වඩා. මොකද එකම දේ දිගටම කරන කොට එපා වෙන ගතියක් දැනෙන නිසා. ඒක නිසා ටිකක් කියවලා බලලා ඒ ගැනත් ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.

ශිෂ්‍යත්වය සමත් වී අලුත් පාසලට ගිය විගසම වාගේ මා කොහොමටත් උන්නේ මදක් මුලු ගැන්වී ගිය හැඟීමකිනි. කලින් වතාවක කිවූ පරිද්දෙන්ම පාසලෙ විශාලත්වය හා මුහුණ දීමට සිදුවූ වෙනස්කම් නිසා මා උන්නේ වික්ෂිපත වී යැයි කීම නිවැරදිය. මම අලු ගසා දමා කරළියට ආවෙ අටේ පන්තියේ පමණ දීය. ඒ කාලයේදී ටික ටික පරිසරයට හුරු වීමට මට හැකි විය. කෙසේ වෙතත් පාසලට ඇතුලත් වීමේ දී මගේ සිත් ගත් එක කාරණාවක් වූවේ පාසල සතුව පැවති ක්‍රීඩා පහසුකම්ය. කොහොමටත් බිග් මැච් එක ගැන  මගේ තිබු ආසාව ගැන මම කලින් වතාවල කීවේමි.

සාමාන්‍යයෙන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ජයටම පැවැත්වෙයි. ඒ සඳහා එක් එක් ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් නිවාස අතර තරඟ වෙන වෙනම පැවැත්වෙයි.මගේ ප්‍රියතම ඉසව්ව වූයේ ක්‍රිකට් නිසා අපේ පන්තිවල සිටි ළමයි ක්‍රීඩා කරනු බැලීමට මම ගියේ බොහොම උනන්දුවෙනි. රූපවාහිනියෙන් ලෙදර් බෝල ක්‍රීඩා කරනු මම දැක තිබුනත් ජීවිතයේ හා හා පුරා කියා හැබැහින් ලෙදර් පන්දු ක්‍රීඩා කරනවා දුටුවේ එවිටය.  කොට කලිසම් ඇඳගෙන සියලු ආම්පන්න දමාගෙන පිටියට බසින අපේ සම වයසේ ළමුන් ක්‍රීඩා කරනු දැකීම මා තුල විස්මයක් ඇති කලේය. එක ගොඩනැගිල්ලක් පමණක් තිබු පාසලක පහේ පන්තිය දක්ව උගත් මට ඒවා දැකීම කෙතරම් අරුමයක් වූවේදැයි කුමට කියම්ද?

මටත් ක්‍රිකට් ගැසීමට බොහොම ආසාවක් ඇති වුනත් ආම්පන්න වල මිල අධික නිසාත් , හවස පුහුණුවීම් වලට සහභාගි වී ගෙදර කැටුව යාමට අම්මාට කරදර කිරීමට  අකමැති කමත් නිසා ක්‍රිකට් බැලීමෙන් පමණක් සෑහීමට පත් වුනෙමි. ඒ දිනවලත් අත්‍යවශ්‍යම ශරීර ආරක්ෂක උපාංගයක මිල රුපියල් තුන්සීයක් පමණ විය. ඒ කාලයේ එය සැලකිය යුතු මුදලකි. ඉදින් තරඟ නැරඹීම හැර වෙන විකල්පයක් නොවීය.ඒ දිනවල අප අයත් වයස් කාණ්ඩය වුනු අවුරුදු දහ තුනෙන් පහල වයස් කාණ්ඩයේ තරඟ ආරම්භ වන්නේ උදේ දහයයි තිහට පමණය. ඒ වේලාව අපිට විවේක කාලය ලැබෙන කාලය බැවින් පැය බාගයක් පමණ තරඟ නැරඹීමේ අවස්ථාව අපිට හිමි වෙයි. ඊට අමතරව හවස පාසල නිමාවී ගෙදර යාමට පාසල් වෑන් රථය පැමිණෙන තෙක් ටික වේලාවකට හෝ තරඟය බලන්නට අවස්ථාව ලැබෙයි.

හතේ පන්තියේදි මගේ සඟයකු නිවාසාන්තර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල බැවින් මම  දැඩි උනන්දුවෙන් යුතුව තරඟය නැරඹීමට ගියෙමි. පන්තියේ දී එතරම් දැඟලිල්ලක් නැති මේ කොලුවා පිටියට පිවිසෙන විට මට පෙනුනේ වීරයෙකු මෙනි. තමන් මුහුණ දුන් මුල්ම පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරිය මගේ වීරයා ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු බිංදුවකට දැවී ගියේය. ඊට පසුව මම ඔහු වීරයා ගේ තත්වයෙන් සාමාන්‍ය කොලුවෙකු ගේ තත්වයට පහත හෙලා ඉතිරි තරඟ වල ක්‍රීඩා කරන අයුරු බලන්නට යෑමෙන් වැලකුනෙමි. නමුත් පසු කලෙක රාජකීය – සාන්ත තෝමස් නිල් මහ සටනෙදි ලකුණු එකසිය තිස් හතක් රැස්කර අලංකාර ශතකයක් ලබා ගැනීමට මේ මිතුරාට හැකිවිය. මට මතක හැටියට ඒ දෙදහස් හතර අවුරුද්දේ දීය.  අවාසනාවකට මෙන් ඒ තරඟය නැරඹීමට මට යාමට නොහැකි විය.

එදා ඒ ශතකය රැස්කල සඟයා නමින් ධනුෂ්ක එදුස්සූරිය ය. මං දන්නා තරමින් ඔහු පාසලෙන් සමුගත් පසු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත. ඊට පසු අවුරුදු වලත් මගේ පන්ති සඟයෝ නිවාසාන්තර තරඟ වලදී ක්‍රිකට් ක්‍රීඩා කලෝය. සමහරු ශතක , අර්ධ ශතක ලබාගෙන දස්කම් පෑ අතර තවත් සමහරෙක් පිටියේදී දස්කම් දැක්වීමට අසමත්ව අප අතරට පැමිණ පුරසාරම් දෙඩූහ. ඉන් එක මිත්‍රයෙක් හැමදාම කීවේ තමන් දැවී ගියේ වැරදි විනිසුරු තීන්දු නිසා බවය. නමුත් විනිසුරු වරයා නැතිව ක්‍රීඩා කලත් ඔහුට ලකුණු ලබා ගත නොහැකි බව මගේ හිත කිව්වත් , හිතට එන සියලු දේ ඔහේ ඇද බෑම හොඳ නැති නිසා නිහඬව හිටියෙමි. බොහෝ අය විනිසුරු වරයාට චෝදනා කිරීම පහසු මාර්ගයක් කරගෙන තිබුනි. ඊට හේතුව වූයේ විනිසුරු වරයා ලෙස කටයුතු කරන්නේ ද පාසල් සිසුවකු වීමයි. ඉතින් අපිටත් විනිසුරු වරයා වැරදි තීන්දු දුන් බව පිළීගන්නට සිදු විය. නිවාසාන්තර තරඟ ගැන තිබූ අනිත් චෝදනාව නම් ලකුණු සටහන් කරන අය හොර ලකුණු එකතු කරන බවයි. කොහොමටත් තමන්ගේ පිලට ලකුණු කිහිපයක් වැඩිපුර එකතු කිරීම සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන විටත් කරන වැඩකි. එවැනි පොඩි පහේ කට්ටකම් නොකරන කොලු ගැටයන් ඉන්නේ බොහොම කලාතුරකිනි.

පාසල් වියේ අපේ සම වයස් සඟයකු තවත් වතාවත් අන්තර් පාසල් තරඟයක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කලේය. ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව වයස පහළොවෙන් පහල තරඟයකදී ඉමංක හෙට්ටිආරච්චි නම් වූ අපේ මිතුරා ලකුණු එකසිය අනූවක් රැස් කලේය. ඒ ඉනිමට හයේ පහර දහ තුනකුත් , හතරේ පහර විසි දෙකකුත් අන්තර්ගත විය. කොහොමටත් වේගයෙන් පන්දුවට පහර දීමට රුසියකු වූ ඔහු සැහැල්ලු පන්දුවෙන් පවා පොයින්ට් කලාපයට ඉහළින් හයේ පහර එල්ල කිරීමේ සමතෙකි. එවැනි ක්‍රීඩකයන් මා දැක ඇත්තේ ඉතාම කලාතුරකිනි.  පසු කලෙක යගුලිය විසි කිරීමෙන් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් පිහිට වූ ඔහුට බිග් මැච් එක නියෝජනය කිරීමේ වරම නම් අහිමි විය.

පසු කලෙක මගේ මිතුරකු සමඟ එම ඉනිම ගැන සිහිපත් කලෙමි. එවිට මගේ මිත්‍රයා “එදා ඉමංක එකසිය අනූව ගැහුවෙ මං නිසා” යැයි කීවේය. මගේ මිත්‍රයාද කලක් පාසල් කණ්ඩායම නියෝජනය කල නමුත් එම තරඟයට ඔහු ක්‍රීඩා නොකල බැව් හොදාකාරවම දැන සිටි මම උඩ බිම බැලුවෙමි. පසුව මගේ මිත්‍රයා පැහැදිලි කල අයුරු කතාව මෙසේය. පාසල් ක්‍රීඩා පිටියේ එක පසක කෙහෙල් පඳුරු ගාලකි. දැන්නම් එය තිබෙනවාද දන්නේ නැත. කොහොම වුනත් එම ඉනිමේ ඉමංක එල්ල කල දැවැන්ත පහරකින් පන්දුව වැටී ඇත්තේ කෙසෙල් පඳුරු ගොන්නටය. පාසල නිම වී වෑන් රථය එනතුරු මගේ මිත්‍රයා තරඟය නරඹමින් හිඳ ඇත. සියලු දෙනා එකතු වී සොයා බැලුවත් අන්තිමේදි නැතිවූ පන්දුව සොයා ගෙන ඇත්තේ මගේ මිත්‍රයාය. එම නිසා ” එදා මම බෝලෙ හොයල දුන්නෙ නැත්තං ඉමංක ට එකසිය අනූව ගහන්න වෙන්නෙ නෑ” යි මගේ මිත්‍රයා මා හට පැවසුවේ බොහොම උජාරුවෙනි.

ඒ සියලු දෙනා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරතෙරටම ගියේ අටේ පන්තියෙ දි මගේ සඟයකු වූ ගංගනාත් රත්නායක යි. වසර පහක් බිග් මැච් ක්‍රීඩා කිරීමේ දුර්ලභ වරම හිමි කරගත් ඔහු ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කලේය. දෙදහස් හතර අවුරුද්දේ ෆර්වීස් මහරූෆ් නායකත්වය දුන් ශ්‍රී ලංකා පාසල් පිලේ උප නායකයා වුනු ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් හැමදාම තරඟ නැරඹුවා පමණක් මිස ආසාසවට හෝ ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමේ අවස්තාවක් නම් මට ලැබුනේම නැත. පසු කාලයේදී ඒ ආසාව උපන් ගෙයිම මිය යන්නට මම ඉඩ හැරියෙමි. සැබවින්ම කියතොත් මම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයකුද නොවූයෙමි. කාටවත් නොතේරෙන අයුරින් දස්කම් නොදක්වන ක්‍රීඩකයින් කණ්ඩායමේ තබා ගන්නා ශ්‍රී ලංකා තේරීම් කමිටුව අපේ පාසල් කණ්ඩායම තෝරන්නට පත් කර තිබුනානම් මා අවම වශයෙන් නිවාස කණ්ඩායමට හෝ තෝරා ගැනීමට තිබුනි. නමුත් අපේ පාසලේ වාසනාවකට මෙන් එවැනි අකරතැබ්බ සිදු නොවී මම තරඟ නරඹන්නකු බවට පමණක් වීමේන් සතුටු වුනෙමි.

එහෙමනම් ඉතින් මෙවර “මගේ සටහන” නිමා කරනවා සුපුරුදු සීමාවට පැමිණි නිසා. පරිහණකයේ ප්‍රශ්නය විසඳුන නිසා ඉරිදා උදේ වරුවෙම ලියල ඉවර කරන්න ඉඩ ලැබුනා. එහෙමනම් ලබන සතියේ නැවත හමුවන අදහසින් සමුගන්න අතරෙදි මේ දිනවල සිදුවන සමාජ ඛේදවාචකයන් නිසා නිතර සිහියට නැගෙන කියමනක් සටහන් තබනවා.

“යුගයේ මිනිස් හෘදය සාක්ෂිය යනු ලේ වැකුනු පා පන්දුවකි, අප කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”
රෝහිත භාෂණ අබේවර්ධන
හිරු කණ්ඩායම

පුලුවන් තරම් හයියෙන්

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි පස් වන සටහන. සුපුරුදු ඉරිදා හැන්දෑවේ වැඩේ පටන් ගත්තෙ කරදර ගොඩක් මැද්දෙ. මුලින්ම මගේ පරිගණකය වැඩ කරන්නෙ නැතිව ගියා. ඒ මදිවට බෝඩිමේ ඉවසන්න බැරි රස්නෙ. හොඳ වෙලාවට මිත්‍රයෙක් ගෙ පරිගණකය තිබුන නිසා වැඩේ කරගන යන්න පුලුවනි. ඒක හින්දා අපහසුතාවයෙන් තමයි සටහන ලියන එක කරගෙන යන්න වෙන්නෙ. ගිය සතියෙ සටහන කියවමින් දිරි ලබා දුන්න හැමෝටම මුලින්ම ස්තූතිය පල කරන්න ඕනේ. මීට පස්සෙ ප්‍රතිචාර වලට සම්බන්ධව ප්‍රතිචාර සටහනක් ඊට අදාලව තබන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

“මගේ සටහන” පසුගිය සතිවල ලියවුනේ නිශ්චිත මාතෘකා ඔස්සේ නෙවෙයි සමහර වෙලාවට. ටිකක් නොසන්සුන්තාවයෙන් ලිව්ව නිසා එහෙම වුනා කියල හිතෙන්නෙ. මේ සතියෙ නැවත වතාවක් “මගේ සටහන” පරණ පාසල් යන කාලෙ සිදුවීම් කිහිපයක් හාරවුස්සන්න කල්පනා කලා. පාසල් යන කාලෙ මීට පෙර සටහන් වල කිව්වා වගේ ගෙදරින් නිදහස ලැබිල තිබුනා අවශ්‍ය තරමට. ඒක නිසා ඇති තරම් විනෝද වෙන්න අවස්ථා ලැබුනා. සමහර සිදුවීම් නම් බොහොම හාස්‍යජනකයි. සමහර සිදුවීම් “මගේ සටහන” හරහා කියන්න අමාරුයි. මොකද ඒවා ප්‍රසිද්ධියෙ කියන්න බෑ. හරියට අර පේරාදෙණියෙ ගජසිංහ පාලම හා බැඳුනු කතාව වගේ.

පාසල් කාලය කියන්නෙ කොහොමටත් ටිකක් දගගකාර කම් වල යෙදුනු කාලයක්. ගිය සතියෙ මම කිව්වනෙ වෙසක් කාලෙට යන බයිසිකල් සවාරි ගැන. එක වෙසක් දවසක රෑ බෝ වෙලා මමයි තව මිත්‍රයෙකුයි වෙසක් සිරි නරඹන්න හිතාගෙන බයිසිකලයකින් පිටත් වුනා. අපි වැඩි දුරක් යන්න කලින් අපේ ගම් පලාතෙම තරුණයො දීපු දන්සලක් තිබුනා. අපි එතනට ළඟා වෙන කොට දන්සල දීලා ඉවර වෙලා කට්ටිය මහ හයියෙන් සින්දු දාගෙන පාර මැද්දෙ නටනවා. කොහොමහරි අපි එතනට ළඟා වෙනකොටම එක නටමින් හිටපු තරුණයෙක් බයිසකලය ඉස්සරහට පැන්නා. මගේ මිත්‍රයා කොපමණ උත්සහ කලත් හැප්පෙන්නෙ නැතුව බේරගන්න බැරිවුනා. පාර මැදට පැනපු එකාට තුවාල සිදු නොවුනත් මගේ මිත්‍රයට බිම ඇද වැටීම නිසා සැලකිය යුතු ලෙස තුවාල සිදු අන්තිමේදි සවාරිය අතරමග නතර කරල බොහොම අමාරුවෙන් ආපහු ගෙවල් වලට ආවෙ දන්සැල පවත්වපු තරුණ පිරිසෙ පරම්පරා ගණනාවකට හිතින් පිං දෙමින්. ඇත්තටම තමන්ගෙ නොසැලකිලිමත් කම නිසා සෙසු අයට සිදුවන අනතුරු ගැන ලංකාවෙ ඉන්න උදවියට නම් කිසිම තැකීමක් නෑ.

ඔය මම කියපු මිත්‍රයා එක්ක බයිසකලයෙන් යද්දි තව අමතක නොවන අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. මේ කියන සිද්ධි කිහිපය සිදුවන විට අපි හිටියෙ සාමාන්‍ය පෙළ පන්ති වල. ඒ කාලයේ සංගීත විෂය සඳහා අපි අමතර පන්තියකට සහභාගි වෙනවා. පන්තිය තිබුනේ නිවෙස් වලින් ටිකක් දුර බැහැර. අපි දෙන්නා යන්නෙ මිත්‍රයගෙ පා පැදියෙන්. වයලීන පිටේ එල්ලගෙන මාවත් නංවාගෙන මිත්‍රයා බයිසකලේ පදිනවා. ඔය විදිහට පුරුදු විදිහට දවසක් අපි යන්න පිටත් වුනා. සාමාන්‍යයෙන් අපෙ ප්‍රදේශයේ පාරවල් ටිකක් පටුයි. ඔන්න ඉතින් අපි එක පල්ලමක් තියෙන හරියකට ආවා. අපිට ඉස්සරහින් බස් ර්‍යයක් බොහොම වේගයෙන් යනවා. මගේ මිත්‍රයත් බස් එක පිටිපස්සෙන් ඇරල දාලා යනවා. නමුත් එක පාරටම පාරේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහනයක් ආවා. වාහන දෙකට එක විට මාරු වෙන්න ඉඩ නැති නිසා බස් රථය එක තැන තිරිංග තද කලා. අපිට දෙලොව සිහිවුනේ එතකොට. මිත්‍රයගෙ බයිසිකලයේ බ්‍රේක් වැඩ කරන්නෙත් නෑ. බස් රථය හා අපි අතර වැඩි පරතරයක් තිබුනෙත් නෑ. මම කොච්චර බය වුනාද කියනවනම් මට හිතුනෙ ඉවරයි තමයි කියල. වාසනාවකට වගේ යන්තම් පාරෙ අයිනෙ කටු පදුරු ගොන්නකට බයිසිකලය යොමු කලා. මගෙ නම් බය වුන පාර ඇස් දෙක පියවුනා ඉබේටම වගේ. බස් එකේ හැප්පිලා හොම්බ සමතලා කරගත්තෙ නැතුව බේරුන අපි කටු පඳුරු ගාලෙන් එළියට ආවෙ අත පය හූරගෙන. හිටපු හැටියට මළා මදැයි කියල එදා නම් හිත හදා ගත්තා.

තවත් දවසක් පන්තිය අවසාන වෙලා මමයි මිත්‍රයයි ගෙදර බලා එන්න පිටත් වුනා. එදා ටිකක් වැස්ස දවසක්. මම පා පැදියෙ ඉස්සරහ වාඩිවෙලා වයලීනයත් එල්ල ගෙන ඉන්න නිසා මිත්‍රයට හරියට පාර පෙනෙන්නෙත් නැහැ. වැස්ස වැඩි වන්න කලින් ගෙදර එන්න තිබුනු උවමනාව නිසා අපි ටිකක් වේගයෙන් ආවේ. කොහොමහරි එක තැනකදි හිතා ගන්නත් කලින් මනුස්සයෙක් පාර මැදට පැන්නා. කිසි දෙයක් කරගන්න කරගන්න කලින් ඒ මනුස්සයා බයිසිකලේ හැප්පුනා. ඒ වෙලේ මෙයා හිටියෙ ටිකක් අරගෙන. ඒ කියන්නෙ බී මතින්. මේ කෙනාට තුවාලයක් සිදු නොවුනත් එයා අතේ තිබුනා බඩු මල්ල හිල් වෙලා බයිසිකලයේ වැදීම නිසා. ඒකේ තිබුන සීනි පාර්සලයක සිදුරක් හැදිලා බිමට වැටෙනවා. වැස්සට පාර තෙමිලා නිසා එකතු කරන්නත් බෑ. තමුන්ගෙ සීනී මල්ලට සිදු වුන අලහභානිය නිසා කේන්තියට පත් වෙච්ච මනුස්සයා අපිට කිව්වා “මල්ලි, පුලුවන් නම් තව ටිකක් හයියෙන් යනවා” කියල. ඒ පාර කට වහගෙන ඉන්න බැරුව මගේ මිත්‍රයා කියපි “පුලුවන් තරම් හයියෙන් තමයි ඕයි ආවෙ. මීට වඩා හයියෙන් යන්න බෑ” කියල. ඒ පාර අර මනුස්සයට අසූ හාරදාහටම තද වුනා. ඊළඟට අපේ හත් මුතූ පරම්පරාව ගැන ගුණ වර්නණාවක් අහගන්න කලින් අපි එතනින් ඉක්මනට ආවා. ඒ ආවේ බයකට එහෙමනම් නෙවෙයි.

ඒ දවස් සල අපේ අම්මා එහෙම ටිකක් බයේ ඉන්නෙ ඔය ගමන් බිමන් ගැන. මොකද මොන ජංජාලයක් කර ගනීද කියල කියල විශ්වාස නැති නිසා . කොහොම නමුත් පස්සෙ කාලෙකදි එහෙම සිදුවීම් වලට මුහුණ පෑවෙ නම් නෑ. කියන දේවල් නොතක ඉන්න එකෙත් පොඩි විනෝදයක් තියෙනවනෙ ඒ වයසෙදි. ඔහොම තමයි දේවල් සිද්ධ වුනේ ඒ කාලයේ. තවත් දවසක් බයිසිකලය පදින ගමන් මගේ මිත්‍රයා කිව්වා හැඩලය අල්ල ගන්න කියල. ඒකට සූදානම් වෙලා නොහිතපු මම අතින් සමබරතාවය ගිලිහිලා අන්තිමට පාර අයිනෙ තිබුන කාණුවක තමයි නැවතුනේ. ඒ පාරත් අත පය වල මඩ ගාගෙන බෙරුනා.

ආයෙමත් ඉතින් මේ දවස්වල ජීවිතේ දිහාවට ටිකක් හැරෙන්නයි සූදානම. තාම විශ්ව විද්‍යාලෙ පටන් ගත්ත ගමන් වගේ නිසා බරපතල විදිහටම වැඩ යෙදුනෙ නෑ තාම. ඒක නිසා දවසෙ වැඩි හරියක් මිත්‍රයො එක්ක මොකක් හරි කරමින් තමයි ඉන්නෙ. ගිය සතියෙ බැඩ්මින්ටන් ගැහුවා හිතේ හැටියට . මුලදි මම ඒක ඒ තරම් ආස ක්‍රීඩාවක් නොවුනත් පස්සෙ කාලෙකදි මට ආස හිතුන සෙල්ලමට. සාමාන්‍යයෙන් මම කැමති කණ්ඩායම් ක්‍රීඩා වලට. මොකද අනිත් ක්‍රීඩා ටිකක් කම්ැලි වගේ දැනුන නිසා. මොනව වුනත් දෙයක් කරල බලන්නෙ නැතුව හරිම නිගමනයක් දෙන්න අමාරුයි. හරියට ආදරය කරන එක වගේ තමයි. වතුරට බැහලම බලන්න ඕනේ පීනන්න.

සෙනසුරාදා රෑ කාලෙකට පස්සෙ හොඳ චිත්‍රපටියක් බලන්න ලැබුනා. ආයතනික පුහුණුව ලබල ඉවර වුනාට පස්සෙ ටික කාලයට චිත්‍රපට බැලීම මග හැරිලා තිබුනෙ. එදා බැලුවෙ සුප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක වරියක් වන දීපා මේතා ගේ “WATER” චිත්‍රපටය. මෙච්චර කාලයක් ඒ වගේ විශිෂ්ඨ චිත්‍රපටයක් නරඹලා නොතිබුන එක ගැන නම් පසුතැවිල්ලක් ඇති වුනා. පුරුෂාධිපත්‍යය විසින් අසරණ කරනු ලැබූ පෙරදිග සමාජයේ ඛේදවාචකයක් ගැන කතා කරන එම චිත්‍රපටය ලාංකේය සමාජයටත් අඩු හෝ වැඩි වශයෙන් අදාලයි කියල මට හිතුනා. මිනිසුන්ගේ මූලික විඳීමේ අයිතියට එරෙහිව නැගී සිටින්නට සමාජයක් වශයෙන් පෙළඹිය යුතුයි. නැත්තම් ඒක මිනිසත් කමට වුනත් කරන නිගාවක් වගෙයි.

ඊට අමතරව මේ දවස්වල වැඩිපුරම කලේ බ්ලොග් කියවන එක. සිංහල , ඉංග්‍රීසි දෙවර්ගයේම බ්ලොග් මේ දවස් වල කියෙව්වා හිතේ හැටියට. නමුත් බොහොම දුකට හේතු වන විදිහට සිංහල බ්ලොග් කරුවන් මොකද්දෝ නිහඬතාවයකට එළඹිලා තියෙනවා වගේ පෙනෙනවා. හේතුව මොකක් වුනත් සියලුම බ්ලොග් කරුවන්ගෙන් නැවත සුපුරුදු පරිදි ලියන ලෙස ඉල්ලා සිටිනවා. නැත්තම් මොකද්දො පාලු ගතියක් දැනෙනවා. මොනව වුනත් දැන් ඉස්සරට වඩා සිංහල හා ඉංග්‍රීසි බ්ලො කරුවන් අනෙත් බසින් ලියවෙන අඩවි ගැන දක්වන උනන්දුව වැඩි වෙලා. විශේෂයෙන්ම සිංහල බ්ලොග් කරුවන් තමන් කියවන බ්ලොග් ලැයිස්තුවට ඇතුලත් කරගෙන ඉන්න ගවීන් සහ අපේ මිතුරු දිලින ට ස්තූතිය පල කරන්න ඕනේ.

යන්තම් ඉතින් “මගේ සටහන” වචන සීමාවට ආවා. එහෙමනම් ඉතින් ලබන සතියේ කරදර නැතිව ලියන්න වට පිටාව සැකසේවි කියන බලාපොරොත්තුව ඇතිව සමුගන්නවා. ලබන සතියේ හමුවෙමු.

පුරුදු දේවල්

“මගේ සටහන” මේ ලියන්න හදන්නෙ විසි හතර වන සටහන. පුරුදු විදිහටම ඉරිදා හැන්දෑවේ තමයි ලියන්න වාඩි වුනේ. එක පාරටම ලියන්න දෙයක් හිතට එන්නෙත් නැතිව කල්පනා කරමින් ඉඳල තමයි පරිගණකය ඉස්සරහ වාඩි වුනේ. වෙනද වගේ නෙවෙයි අර නොසන්සුන් කම හිතේ දරාගෙන. තවම ඒක නිසා නිදහසේ හිතට අදහස් එන්නෙත් නෑ. එන්න එන්නම “මගේ සටහන” ලියන එක වගේම කියවන උදවියට කියවන එකත් නීරස වැඩක් දෝ කියන දෙගිඩියාව හිතේ දරාගෙන මේ සතියේ සටහන ආරම්භ කරනවා. 

විශ්ව විද්‍යාල ජීවිතේ ආයෙමත් පටන් ගත්තා. මුල් සතිය ඔහේ ගෙවිල ගියා. පරණ පුරුදු දේවල් එක්ක ජීවිතේ ආයෙමත් ගලා යන්න සූදානම. වෙලාවකට මිනිස් සම්බන්ධතා වුනත් බොහොම වෙහෙසකරයි. වෙනදට මිත්‍රතත්වයෙන් හමුවන , පිළිගන්න උදවිය වුනත් මග ඇරල යන්න පෙළඹෙන්නෙ ඒක නිසා වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ඒ වගේ වෙහෙසකර බවක් දැනෙන්න ගත්තම ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි වෙනදට දක්වන සුහදත්වය පල කෙරෙන්නෙ නෑ. කරන්න දෙයක් නැති වුනත් ජීවිදේ හැටි එහෙම තමයි.

වෙනද වගේ කම්මැලි කමේ ඉන්නෙ නැතුව දේශන වලට නම් සහභාගි වුනා. ඒත් තවම නිදිමත හැදෙනව කිසිම හේතුවක් නැතුව. රෑ තිස්සෙ හොඳට නිදා ගත්තත් නිදි මත නිසා ඇස් පියවෙන වෙලාවල් එනවා. හැබැයි ඉතින් හවස් වරුවෙ දේශන තියෙන කොට තමා නිදිමත ලෙඩේ වැඩිපුරම හැදෙන්නෙ.  ආයෙමත් බෝඩිමක නැවතුනා. ඒකෙන් අදහස් වෙන්නෙ කැන්ටිමේ කෑමයි, උදේට නැගිට්ටම තේ නෑ කියන එකයි තමා. පරණ බෝඩිමේ ඉන්න කාලෙ නම් උදේට තේ ලැබුණත් ඊට පස්සෙ බෝඩිම් වලදි තේ හදන වැඩේ අත ඇරල දැම්මා. උදේට තේ නැතුව ඉන්න එක මුලදි අමාරු වැඩක් වුනත් පස්සෙ කාලෙදි ඒක ඒ තරම් දෙයක් වුනේ නෑ. ඕනෙම දෙයක් ටික කාලයක් කරගෙන යනකොට පුරුද්දක් බවට පත් වෙනවනෙ.

අවුරුදු කාලය එහෙම්ම වාගේ ගෙවිල ගියා. ඊළඟට වෙසක් කාලයත් ළඟ ළඟම එනවා.  බොහෝ දෙනා වෙසක් කූඩු ආදී සැරසිලි කරන කාලේ. නමුත් වෙනද වගේ ඒ දේවල් වලට වුනත් මිනිස්සු අතර එතරම් උනන්දුවක් නැහැ. එදිනෙදා ජිවිතයේ මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන ඛේදවාචකයන් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කඩා වැටීම පුදුමයක් නෙවෙයි. වෙසක් කාලයේ හැබැයි කූඩු හදන වැඩේ මගේ අතින් කෙරෙන්නෙ නෑ. හේතුව මොකක්ද දන්නෙ නැති වුනත් මගෙ ජීවිතේටම කූඩුවක් හදල තියෙන්නෙ එකම එක පාරයි. පුංචි කාලෙදි වුනත් ඉවසීමකින් යුතුව ඒ වගේ වැඩක් කරන්න තරම් හැකියාවක් තිබුනෙ නැති එක තමයි මූලිකම හෙතුව කියල මට හිතෙන්නෙ. කොහොමටත් ඉවසීමෙන් යුතුව කරන සියුම් වැඩ වලට මං එතරම් දක්ෂයෙක් නෙවෙයි. මොනව වුනත් අපේ ඥාතී සහෝදරයො සහ සහෝදරියො කිහිප දෙනා නම් බොහොම උනන්දුවෙන් යුතුව කූඩු හදන වැඩේ නිරත වෙනවා. ඔවුන්ගේ උන්නදුව වැඩි කම නිසාවෙන්ම වෙසක් කාලයෙදි අට පට්ටමක් වත් හදන්නෙ නැති එක ගැන ඔවුන්ගේ උපහාසයට මාව ලක් වුනා. අපරාදේ කියන්න බෑ දැන් දරු මල්ලො ලැබිලත් කාල වෙලාව හොයාගෙන ඒ වැඩේ ඔවුන් නොවැරදීම කරනවා.

වෙසක් කාලෙදි කරන්නෙ කොහෙ හරි ඇවිදින්න යන එක.  ඉස්සර අපි ගනේමුල්ලෙ පදිංචි වෙලා ඉන්න කාලෙදි වෙසක් කාලය කියන්නෙ හරි ආස හිතෙන කාලයක්. පාසල් වැඩ කටයුතු වලින් නිවාඩුවක් ලැබෙන නිසා වැඩේ කොහොමටත් හොඳයි. වෙසක් කූඩු හදන වැඩේ මට දිරවන්නෙ නැති වුනත් තාත්තා නොවරදවාම කූඩුවක් හදනවමයි. මගෙ වැඩේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක. අවශ්‍ය වෙන දේවල් ළඟට ගෙනත් දෙන එක තමයි මගෙ සිරිත. ඕනෙම වුනොත් සව් කඩදාසියක් අලවන එක හරි එහෙමත් නැත්තනම් මොකක් හරි ඇදක් පලුද්දක් තියෙනවද කියන එක බලනව ඇරෙන්න මගෙන් කිසි දායකත්වයක් නෑ. කොහොමටත් අට පට්ටමක් හදන්න ගිහින් හරියට රාමු ටික අමුණනන්න තනියම උත්සහ කලොත් මගේ ඔලුව කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා බැරි වැඩ කරන එක මම අත ඇරියා. තාත්තා වැඩිපුරම හදන්නෙ අට පට්ටම්. ඊට අමතරව තාරකා හැඩය තියෙන කූඩු. ඔය කිව්ව ඒවට අමතරව තවත් නම් වලින් හැදින්වෙන කූඩු තියෙනවනෙ. නෙඵම් මල්, දහ දට පට්ටම් වගේ ටිකක් හදන්න අමාරු ඒවා. කොහොමටත්  කූඩුවක් දැක්කම මට ඒකෙ ලස්සන බලනවට වඩා හිතෙන්නෙ අනේ මේක හදපු කෙනා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියල.  

වෙසක් දවසෙ හවස් වෙනකොට හදපු කූඩු පත්තු කරල තාත්තයි අම්මයි එක්ක අපේ මහ ගෙදර එන්න පිටත් වෙනව. ගනේමුල්ලෙ ගෙදර ඉඳන් හැතප්ම තුනක් හතරක් ඈතින් තමයි මහ ගෙදර පිහිටල තියෙන්නෙ. වෙසක් දවස නිසා අපි සම්පූර්ණ දුරම යන්නෙ පා ගමනින්. ඒක බොහොම විනෝද ජනක වැඩක්. පාර දෙපැත්තෙ වෙසක් අසිරිය නරඹමින් එන කොට එතරම් වෙහෙසක් දැනෙන්නෙ නැහැ. අතරමග තියෙන දන්සැල් අසලදි නැවතෙමින් තමයි අපේ ගමන යන්නෙ. සාමාන්‍යයෙන් බත් දන්සැල් ළඟ නතර වෙනවට මගේ එච්චර කැමැත්තක් නෑ. මොකද පුංචි සන්ධියෙ ගොඩක් කන්නත් බෑ. මං වැඩිපුරම ආස කලේ සිසිල් බීම දන්සැල් වලට. හැමදාම ලැබෙන අවස්තාවක් නොවන නිසා එදාට අම්මාගෙන් තහංචි වැටෙන්නෙ නෑ මොනව බිව්වත්. ඒක නිසා වෙසක් දවසෙ උපරිම ප්‍රයෝජනය ගන්න පැකිලෙන්නෙ නෑ. මහ ගෙදර ආවම අපිට ගමේ පන්සලේ තොරණ බලන්න අවස්ථාව ලැබෙනවා. තොරණ් බලන එක තමයි වෙසක් දවසෙ තියෙන වැදගත්ම දේ. නොයෙක් ආකාරයේ රටා මවමින් විදුලි බුබුලු දැල්වෙන එක මම බලා ඉන්නෙ බොහොම පුදුමයට පත් වෙලා.

කොහොමටත් පුංචි කාලේ දකින ගොඩක් දේවල් ඇති කරන්නෙ විශ්මය දනවන හැඟීම්. ඒ කාලෙදි කුතුහලයෙන් බලාගෙන ඉන්න ප්‍රීතිමත් ඇස් තමයි ඕනේම පොඩි එකෙක් තුල දකින්න තියෙන්නෙ. නමුත් ටිකෙන් ටික වයස ගෙවෙන කොට ඒ කුතුහලය සහ ප්‍රීතිමත් භාවය නැති වෙලා යන එක හරිම කණගාටුදායකයි කියල හිතෙනවා. එහෙම වෙන්නෙ ඇයි කියන එකත් ටිකක් හිතල බලන්න අවශ්‍ය කාරණාවක්. ඒ ටික හදිස්සියෙම ලියන්න මතක් වුනේ ළඟදි අපේ කුඩා ඥාතී  සහෝදරියගෙ මුහුණ දැක්කම. ඒ කාලයේ තිබුන කුතුහලය දැන්නම් ඇති වෙන්නෙම නෑ. වෙසක් දවසට දැන් කරන්නෙ යාලුවොත් එක්ක සවාරි යන එක. බයිසිකල් වල නැගිලා වට රවුමක් ගිහින් එන එක තමයි කරන්නෙ. දන්සැල් ළඟ නැවතෙමින් ගම්පහ පැත්තට ගිහින් නුවර පාර හරහා ගෙදර එකන එක තමයි අපේ සිරිත. මෙදා වාරෙ නම් ටිකක් දුර පළාතක යන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. කොහොමටත් අපේ ජීවිත එක්ක දැන් අවිනිශ්චිතතාව බැඳිල තියෙන නිසා කරන දෙයක් ඉකමනටම කරල දාන්න තමයි කල්පනාව. 

සිතුවිලි ගලප ගන්න එක ටිකක් අමාරු වැඩක් නිසා ලියවෙනෙ බොහොම හෙමින්. මැරතන් ඉසව්වෙන් පස්සෙ අපේ බ්ලොග්කරුවන් පවා ටිකක් නිහඬතාවයකට එළඹිලා තියෙනවා වගේ දැනෙනවා. වෙනද තරම් අලුත් සටහන් අවකාශය තුල දකින්නට ලැබෙන්නෙත් නැහැ.  අලුතෙන් දේවල් මොනව හරි ලියන්න හිතාගෙන හිටියත් දවසින් දවස වැඩේ කල් යනවා. කොහොමටත් විශ්ව විද්‍යාල ජීවීතේ ඉවර වෙන්න තව මාස හතරක් වගේ කාලයක් තියෙන්නෙ. අවුරුදු තුනහමාරක වගේ කාලයක් ඉතාම ඉක්මනට ගෙවිල ගියා වගේ තමා දැනෙන්නෙ.  ඉක්මනට ඉතිරි කාලය ගෙවිල යනකම් තමයි දැන් නම් බලාගෙන ඉන්නෙ. “ආයතනික පුහුණුව” ලබපු කාලය තව ටිකක් දිගට තිබුණ නම් කියලත් හිතුන ආයෙමත් විශ්ව විද්‍යාලෙ පැත්තෙ ගියහම. හැබැයි මුලින් කියපු මාස හතර ගියාට පස්සෙ අධ්‍යාපනයට ඉතින් නැවතීමේ තිත තමයි තැබෙන්නෙ. අපේ සඟයො බොහෝ දෙනෙක් කියන්නෙ විශ්ව විද්‍යාලයෙන් එළියෙ ඉන්න කොට තමයි අගය දැනෙන්නෙ කියල. ඒ කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. නමුත් කාලය බොහොම ඉක්මනට ගෙවිල යනකොට හැකි ඉක්මනින් එළියට එන එකේ ඕනෑකම දැනෙනව. 

අන්තිමේදි මෙවර “මගේ සටහන” ඉවර කරන සීමාවට ආවා. ගිය වර “මගේ සටහන” කියවල ඒක ඒ තරම් හොඳට ලියල නැ කියල ප්‍රතිචාර ලැබුනා. ලියන එකේ ආශ්වාදය වෙනද තරම් දැනෙන්නෙ නැති එක සමහර විට ඒකට හේතුව වෙන්න පුලුවන්. ඉදිරි සති වලදි මේ නොසන්සුන්තාවය මග අරවාගෙන ලියන්න හැකිවේවි කියන බලාපොරොත්තුව දල්වා ගෙන මෙවර සටහන නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.