සඳුදා නිවාඩුව

“මගේ සටහන” නැවත ලිවීම ගැන සතුට පල කිරීම ගැන සියලු දෙනාටම මුලින්ම මේ සතියේ තුති පුද කරනවා. ටිකක් කාර්ය බහුල වුනත් ඉරිදා දවල් වරුවේ “මගේ සටහන” ලිවීම පටන් ගත්තා . එහෙමනම් ඉතින් දහ නව වන “මගේ සටහන” ආරම්භ කරනවා.

ගිය සතියෙ ලිව්වෙ බිග් මැච් සම්බන්ධ මගේ මතකයන් ගැන. ඒක නිසාම මේ සතියෙත් ඒ හා බැඳුනු තවත් මතකයන් ටිකක් හාරවුස්සන්න හිතුනා. බිග් මැච් එක පාසල් ශිෂ්‍යයන් හැටියට ඒ කාලයේ අපට තිබුණු විනෝදාත්මක ඉසව්ව හැටියට හදුන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපේ බිග් මාච් එක පැවැත්වෙන්නෙ බ්‍රහස්පතින්දා , සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල. එම සතිය පාසලේ කිසිම අධ්‍යාපනික කටයුත්තක් නොකෙරෙන ගානයි. බොහොම කුල්මත් භාවය කැටි වුන උද්යෝගයකින් තමයි අපි බිග් මැච් එක දිහා බැලුවෙ. එම සතියෙ පැවැත්වෙන අපේ විද්‍යාලයයෙ ශිෂ්‍ය නායකයන් සහ  ගුරුවරුන් අතර පැවැත්වෙන සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරඟය අපේ විනෝදය දියුණු තියුණු කලා.

එම තරඟය තරම් වෙන කිසිම විනෝදයක් තිබුනෙ නෑ කියල හිතෙනවා. අපේ ද්වේශයට ලක් වුනු ශිෂ්‍ය නායකයින්ට එරෙහිව කොහොම හරි ගුරුතුමන් ලා ජයග්‍රහණය කරනව දකින එක තමයි අපේ බලාපොරොත්තුව වුනේ. හැබැයි මම පාසලේ හිටපු කාලය තුල අපේ බලාපොරොත්තු සුන් කරමින් අපේ සතුරු කැල වූ ශිෂ්‍ය නායකයන් හැමදාමත් ජයගත්තා. අඩුම ගානේ වස්තුවක් උපරිම වේගයෙන් යන ආකාරයට ප්‍රක්ෂිප්ත කල යුතු ආකාරය සැමදාම කජු කනවා වගේ  ලෙහෙසියෙන් අපට ඉගැන්වූ අපේ සංයුක්ත ගණිත ගුරුතුමාට වත් නියමිත කෝණයට පහරක් එල්ල කරල ලකුණු ලබා ගන්න බැරි වුනා. භෞතික විද්‍යාව ගුරුතුමා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඉගෙන ගන්න හැමදේම ප්‍රායෝගික නෑ කියන්නෙ ඕක නිසා වෙන්න ඇති.  ඒ තරඟයෙන් ගුරුතුමන්ලා ජයග්‍රහණය කරනවා දකින්න අපේ තිබුණු උනන්දුව කොතරම්ද කියනවනම් අපි කට්ට වැඩත් කලා ඒ වෙනුවෙන්. ගුරුතුමන් ලා පන්දුවට පහර දෙනකොට අපි කරන්නෙ හතර සීමාව ඉදිරියට ගෙන එන එක . එතකොට හතරෙ හයේ පහරවල් එල්ල කරන එක ලේසියි. ශිෂ්‍ය නායකයන්ගෙ වාරයෙදි හතරෙ සීමා ඈත් කරනවා. එතකොට හතරෙ පහරවල් ගහන එක අසීරු වෙනවා. මොන දේ කලත් අපේ සියලු උත්සහයන් ගඟට කපපු ඉනි වගේ අපතේ ගියා.

බිග් මැච් කාලෙට තිබුණු අනිත් විනෝදය තමයි cycle parade එක. ඔය වැඩේ ගැන නම් පත්තර වල බොහොම විවේචනාත්මක ලිපි පලවුනා. අන්තිමේදි cycle parade යන එක තහනම් කරන්න පවා සිද්ධ වුනා. හැබැයි පාසල වෙනුවෙන් ජය ඝෝෂා නගමින් , කොඩි වනමින් පාරවල් දිගේ ගිය හැටි මතක් වෙනකොට ආයෙමත් යන්න හිතෙනවා. ඒ හා බැඳුනු සමහර රසවත් දේවල් තිබුනා. cycle parade එකේදි අපේ විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙක් පෙට්ටයක් රැගෙන ඊට අපේ ප්‍රතිවාදි සාන්ත තෝමස් කොඩියක් පෙරවාගෙන මීනී පෙට්ටියක් රැගෙන යනවා වගේ වීදි ඔස්සේ රැගෙන යනවා. අපේ සිසුන් තව පිරිසක් එය පස්සෙන් “අයියෝ තෝරා මලා, අම්මෝ” යැයි අඬමින් යනවා. සාන්ත තෝමසුවන් හැදින්වූයේ “තෝරා” යන කෙටි නමින්. එය ඔවුන්ට අපහාස කිරීමට යොදා ගත්ත වැඩක්. අපරාදේ කියන්න බෑ ඔවුන්ගේ සිසුනුත් ඒ දේම අපිට කලා. මොනව වුනත් ක්‍රීඩාවෙ දි දෙපිරිසක් වුනත් මිත්‍රයන් හැටියට සාන්ත තෝමසුවන් අති විශිෂ්ඨයි.

සාමාන්‍යයෙන් බිග් මැච් එක දිනුවොතින් ඊ ළඟට එළඹෙන සඳුදා දින පාසලට නිවාඩු දීමේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ එම ජයග්‍රහණය සැමරීමට. කොහොම හරි අනූ එකේ අවුරුද්දෙන් පස්සෙ බිග් මැච් එක දිනන්න බැරි වීම නිසා හැමෝම නොඉවසිල්ලෙන් හිටියෙ. ඒ සම්ප්‍රදාය හා බැඳුනු රසවත් සිද්ධියක් මගේ මතකයේ තියෙනවා. එම සිද්ධිය වුනේ අනූ නවය අවුරුද්දෙ. බිග් මැච් එකට කලින් දවසක ක්‍රීඩා කරන කණ්ඩායම සිසුන්ට හදුන්වාදීමට සහ විදුහල්පති තුමාගේ සුබ පැතුම් පිරි නැමීමට රැස්වීමක් පැවැත්වෙනවා . මෙම රැස්වීමට මුලු පාසලම සහභාගි වෙනවා. පාසලම සහභාගි වන විට විද්‍යාලයෙ ශාලා වල ඉඩ නොමැති නිසාවෙන් ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩාගාරය ඉදිරිපිට තමයි එය පැවැත්වෙන්නෙ.

එම අවුරුද්දෙ කණ්ඩායමේ නායකයා වුනේ තුෂාන් අමරසූරිය. ඔහු තමයි සිංගර් සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතාගේ පුතණුවන්. කොහොම හරි නායකයා විදුහල්පති තුමාට හඳුන්වා දෙන කොට අපේ ගුරුතුමෙක් තුෂාන් ගෙන් ඇහුවා මෙහෙම. “Thushan, will monday be a holiday?” ඒ ව්‍යංගාර්ථයෙන් ඇහුවෙ අපි බිග් මැච් එක දිනයි නේද කියල. “Yes , sir I am sure that monday will be a holiday” කියල තුෂාන් උත්තර දුන්නෙ බිග් මැච් එක දිනන එක ගැන ආත්ම විශ්වාසය පෙන්වමින්. එම ප්‍රකාශයෙන් කුල්මත් වුන අපිත් උඩ පනිමින් අත් පුඩි තැලුවා. මොකද ඒ අවුරුද්දෙ අපිට ප්‍රබල කණ්ඩායමක් හිටියා. අන්තිමේදි බිග් මැච් එකේ ලකුණු පුවරුව මෙහෙමයි.

රාජකීයන් මුල් ඉනිමට කඩුලු 3 කට ලකුණු 288.  සාන්ත තෝමස් පිල කඩුලු 9 කට ලකුණු 258 . රාජකීය දෙවන ඉනිම ලකුණු 80 සියල්ල දැවී. සාන්ත තෝමස් පිල ජයග්‍රහණයට අවැසි වුන ලකුණු 111 කඩුලු 6 ක් දැවී ලබා ගත්තා. මුල් ඉනිමේදි අඩු ලකුණු ගණනකට කඩුලු දැවී ගොස් සිටි   සාන්ත තෝමසුවන් වෙනුවෙන් මෙෂාඩ් පීරීස් අලංකාර ශතකයකුත් දෙවනි ඉනිමේදි සුරංග පීරිස් කඩුලු පහකුත් ලබා ගත්තා. මොනව වුනත් මෙෂාඩ් පීරීස්  ලකුණු බිංදුවෙදි ලබා දුන්නු ඉතා පහසු උඩ පන්දුව අත හැරපු රාජකීය නායක තුෂාන් අමරසූරියගෙ ප්‍රකාශය සනාථ කරමින් අපට කෙසේ වෙතත් සාන්ත තෝමස් විදුහලට සඳුදා නිවාඩු දිනයක් වුනා. ඒ සිද්ධිය බොහොම හාස්‍යජනක වුනාට රාජකීය නායකයට කොතරම් වේදනාවක් දැනෙන්න ඇතිද කිල හිතෙනව. ඒක තමයි ක්‍රීඩාවෙ ස්භාවය.

ඒ සිද්ධි බිග් මැච් එකට බාහිර සිදුවීම්. බිග් මැච් එක තුල මතක් වෙන බොහෝ සිද්ධි තියෙනවා. සාමාන්‍යයෙන් බිග් මැච් එක පවත්වන දිනවල දි දිවා ආහාරය සහ තේ පානය සඳහා තරඟය නතර කරන අවස්ථාවල පිට්ටනිය ඇතුලට යන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව උදා වෙන කම් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ප්‍රීති නාද නගමින් එස්.එස්.සී පිට්ටනියෙ හතර අතට දුව පනින්න ලැබුනු එම අවස්ථාව අපි කවදාවත් පැහැර හැරියෙ නෑ. ආදි ශිෂ්‍යයන් තරඟය නරඹන ක්‍රීඩාගාර ඉදිරියට යන අපි, අපේ විද්‍යාලය වෙනුවෙන් ඔවුන් හා එකතුව ජය ඝෝෂා පවත්වනවා. එවිට තමන් පාසලේ සිටිය කාලය සිහිවීමෙන් වගේ ඔවුන්ගේ දෑස් ප්‍රීතියෙන් පිනා යන අයුරු දැක ගන්න පුලුවන්. ඒ වගේම ක්‍රීඩක විවේකාගාරය ඉදිරිපිටට ගිය විට ඔවුනුත් ,අපි ඔවුන් වෙනුවෙන් දක්වන දිරි ගැන්වීම වෙනුවෙන් දෑත් වනමින් ප්‍රතිචාර පල කරන විට අපි කතා කරගැනීමට බැරිවන තුරු කෑ ගහනවා.

මීට අමතරව සමහර ක්‍රීඩකයන් එල්ල කරපු පහරවල් සහ ක්‍රීඩා කල ඉනිම් තවමත් මගේ මතකයේ රැඳී තිබෙනවා. පාසල් කාලයෙදි ක්‍රීඩා පිටිය පුරා සිය අණසක පැතිරවූ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රීඩක ජෙහාන් මුබාරක් එල්ල කරපු පහරක් ඒ අතර විශේෂයි. දෙදහෙ අවුරුද්දෙ බිග් මැච් එකේදි තමයි ඔහු එම පහර එල්ල කලේ. දෙවන රාජකීය කඩුල්ල බිඳ වැටුනු පසු පිටියට පිවිසි ඔහු සාන්ත තෝමස් පිලේ ජීවන් මෙන්ඩිස් ගේ මුල් පන්දු දෙක තුන ආරක්ෂාකාරීව පිළිගත්තා. ඊළඟට ජීවන් මෙන්ඩිස් එවූ මදක් කෙටි පන්දුවට පාදයක් පිටි පස්සට අරගෙන එහු එල්ල කරපු පහර හතරෙ සීමාවට උඩින් පියාඹගෙන ඇවිත් සාන්ත තෝමස් ශිෂ්‍ය කූඩාරමේ වහලය උඩට වැටුනා. මහ හඬක් නංවමින් වහලයට පතිත වුන ඒ පන්දු පහර අපිට ඉමහත් ප්‍රීතියක් ගෙන දුන්නා. කොහොම වුනත් ජෙහාන් මුබාරක් ලකුණු දහයකට එම ඉනිමේ දැවී ගියා. කොතරම් දක්ෂ පිති කරුවකු වුනත් බිග් මැච් එකකදි ශතකයක් කරා යාමට ඔහුට බැරි වුනා. ඊට අමතරව ඒ අවුරුද්දෙදිම සාන්ත තෝමස් පිලේ මෙෂාඩ් පීරිස් රාජකීය පන්දු යවන්නකු එවූ කෙටි පන්දුවකට සාන්ත තෝමස් ශිෂ්‍ය කූඩාරමේ වහලය උඩට හයේ පහරක් එල්ල කලේ පන්දු යැවූ දිලින පෙරේරා අන්ද මන්ද කරමින්.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” නිමා කරනවා. වචන දහස පැන්නට පස්සෙ කොහොමටත් ලියන්න හිතෙන්නෙ නෑ. කම්මැලි කම නිසා ඊට වඩා ලියවෙන්නෙ නෑ.   ලබන සතියේ ටිකක් කාර්ය බහුල වුනත් වෙලාවට “මගේ සටහන” පල කරන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Advertisements

7 thoughts on “සඳුදා නිවාඩුව

  1. බොහොම රසවත් අත්දැකීම් රැසක් , අපිටත් බිග් මැච් කාලේ හරි අපූර්ව අත්දැකීමක් ගෙන ආවේ, අර ඉස්කෝලෙ ඉස්සරහ සල්ලි ඉල්ලලා නටමින් hat collection එන පපර බෑන්ඩ් එකයි, සමහර විට ඉස්කෝලෙ තාප්පෙන් පැනලා, පංතිකාමර වලට පවා එන අයියලා මල්ලිලා ටිකයි නිසා ඒ කාලෙ ඉස්කෝලේ ගුරුවර ගුරුවරියන් හරිම සීරුවෙන් ඉන්නේ, සමහර විට ඉස්කෝලේ ඇරුනත් අපිට ගේට්ටුව ලඟට යන්න තහනම් කරන අවස්තා එමටයි, ඒකත් බිග් මැච් එකේ එක්තරා සංස්කෘතියක් වගේ. ආයෙත් ලියවෙන නිදහස් අදහස් ගොන්නට මගෙන් සුභ පැතුම් දිගටම ලියන්න..බෝ අක්කා

  2. “අඩුම ගානේ වස්තුවක් උපරිම වේගයෙන් යන ආකාරයට ප්‍රක්ෂිප්ත කල යුතු ආකාරය සැමදාම කජු කනවා වගේ ලෙහෙසියෙන් අපට ඉගැන්වූ අපේ සංයුක්ත ගණිත ගුරුතුමාට වත් නියමිත කෝණයට පහරක් එල්ල කරල ලකුණු ලබා ගන්න බැරි වුනා……”

    හරිම මනරම්. වරුනගේ ලිවීමත් ශෛලියත් එන්න එන්න ම ඔප වැටෙනවා. කියවන්න ප්‍රියයි.

  3. ලිපිය නම් ප්‍රසංසනීයයි. එහෙත් ඔබ වර්තමානය ගැන දුක් වී අතීතය ගැන සිතමින් සතුටු වෙන‌වා වගේ …

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )