කාළගුණයයි ගැහැණු ළමයිනුයි

“මගේ සටහන” ට තවත් ප්‍රතිචාර ගිය සතියෙ ලැබුනා. විශේෂයෙන්ම අඩු පාඩු , නිවැරදි විය යුතු තැන් ගැන පෙන්නල දීල තිබුනා. ටිකෙන් ටික පාඨකයින් පිරිස වැඩිවෙනව දකින කොට සතුටක් ඇති වෙනව. තවත් අලුත් වැඩක් පටන් ගන්නෙයි කියල අදහසක් ඉදිරිපත් වුනා. ඒ ගැනත් කාල වෙලාව හොයාගෙන සලකා බලන්න කියල හිතාගෙන ඉන්නෙ. ඉදිරි කාලයෙදි “මගේ සටහන” පාඨකයින් ඒ ගැන දැනුවත් කරන්නම්. එහෙමනම් සුපුරුදු පරිදි “මගේ සටහන” පහලොස්වන ලිපිය ආරම්භ කරනවා.

“මගේ සටහන” මේ සතියෙ ලියන්න හිතාගෙන හිටියෙ සෙනසුරාදා වුනත් ඉරිදා හවස තමයි පටන් ගත්තෙ. සෙනසුරාදා උදෙන්ම ගමනක් ගියා. ඒ මං කවදත් ආස කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට. ලංකා ඉතිහාසය පිළිබඳව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ කටයුත්තට අදාලව සාකච්චා කිරීමට පැවැත්වුන රැස්වීමකට තමයි ගියෙ. උදෙන්ම පේරාදෙණියට ගියත් අනෙත් සාමාජිකයියන් ටික ප්‍රමාද වෙලා තමයි ආවෙ. කොහොම වුනත්  මෙච්චර දවසක් අන්තර්ජාලය හරහා දැන අඳුන ගෙන හිටපු යාලු මිත්‍රයෝ හැබහින්ම මුණ ගැසීම අවස්ථාව උදා වුනා. ටිරෝන්, මලින්ත, චාමර, නිලක්ෂ, පැතුම් සහ පේරාදෙණි විශ්ව විද්‍යාලෙ ශිෂ්‍යයෙක් වන ප්‍රසංක වත් අඳුර ගන්න ලැබුනා එදා.
ටිරෝන් නම් අඩි හයකට වඩා උසයි. මලින්ත නම් මලය නුවර පදිංචිය. චාමර නම් ඡායාරූප වලින් දැකල තිබුනට වඩා තරුණයි කියල තමා දැකපු ගමන් හිතුනෙ. පැතුම් සොහොයුරත් අපි වගේම දුර ගෙවාගෙන ඇවිල්ල තිබුනා. අපේ අනිත් සාමාජිකය වුන නිලක්ෂත් නුවර පදිංචි කරුවෙක්. ගිය වැඩෙ කරදරයක් නැතුව හොඳට කෙරුනා. බලාපොරොත්තුව තිබුනෙ සෙනසුරාදා දවසෙම ආපසු එන්න වුනත් අන්තිමේදි සැලසුම් වෙනස් කරන්න සිද්ධ වුනා. ඒකට හේතුව වුනේ මගේ මිත්‍රයෙක් මුණ ගැසුන එක.

මිත්‍රයා පේරාදෙණියෙ දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක්. මුලින්ම අපේ විශ්ව විද්‍යාලයෙ මාස කිහිපයක් ඉගෙනුම ලැබුවත් අන්තිමේදි “බෝට්ටුවෙන්” පේරාදෙණියෙ දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වීමේ වරම හිමි කරගත්තා. ඔය බෝට්ටුව කියන්නෙ යම් කිසි පාඨමාලවක පුරප්පාඩුවක් ඇති වුනහම ඒ පුරප්පාඩුව පිරවීමට සුදුසුකම් ලැබු ශිෂ්‍යයෙක්ට අවස්ථාව ලබා දීම. පලවන අවස්ථාවෙදිම යම් පාඨමාලවකට තේරී පත්වන ශිෂ්‍යයන් හඳුන්වන්නෙ “නැව” කියල. ඕවා විශ්ව විද්‍යාලයෙ ව්‍යහාරික භාෂාව.  කාලෙකට පස්සෙ මුණ ගැහුනු නිසා මිත්‍රයගෙන් ආරාධනාවක් ලැබුනා නැවතිල ඉඳලා යන්න කියල. පේරාදෙණියට යන්න අවස්ථාව ලැබෙන්නෙත් කලාතුරකින් නිසා මමත් එක්පයින්ම කැමති වුනා මිත්‍රයගෙ යෝජනාවට.

මගේ මිත්‍රයා නෙවාසිකව ඉන්නෙ “හිල්ඩා ඔබේසේකර” ශාලාවෙ. ඊට ඉදිරිපිට පිහිටල තියෙන්නෙ “ජේම්ස් පීරිස්” ශාලාව. මම හිතාගෙන හිටියෙ නමේ හැටියට “හිල්ඩා” ශාලාවෙ ඉන්නෙ ශිෂ්‍යාවන් වෙන්න ඇති කියල. නමුත් තත්වය හාත්පසින්ම චෙනස්. “ජේම්ස් පීරිස්” එකේ ගැහැණු ළමයි. “හිල්ඩා ඔබේසේකර” එකේ පිරිමි ළමයි. මතුපිටින් පෙනෙන දෙයට වඩා ඇතුලාන්තය වෙනස් කියල කියන්නෙ ඕකනෙ. මගේ මිත්‍රයා කිව්ව විදිහට ඔය පටලැවිල්ලට හේතුවක් තියෙනව.

මුල් කාලෙදි නම් වල තේරුමට අදාල වන විදිහට “හිල්ඩා ඔබේසේකර” එකේ ගැහැණු ළමයි සහ “ජේම්ස් පීරිස්” ශාලාවෙ පිරිමි ළමයි නේවාසිකව ඉඳල තියෙනව. නමුත් “ජේම්ස් පීරිස්” ශාලාවෙ හොල්මන් අවතාර භීතියක් පැතිරීම නිසා ගැහැණු ළමයි”ජේම්ස් පීරිස්” ශාලාවටත් පිරිමි ළමයි “හිල්ඩා ඔබේසේකර” ශාලාවටත් මාරු කරන්න තීරණය වුනාලු.

මතුපිටින් පෙනෙන දෙයට වඩා ඇතුලාන්තය වෙනස් කියන කාරණාවට ඔයිට වඩා හොඳ උදාහරණයක් තියෙනව. ඒ තමයි ගැහැණු ළමයි. ප්‍රංශ කියමනක් තියෙනවනෙ “කාළගුණයයි ගැහැණු ළමයිනුයි එක වගේ” කියලා. ඒ මොකද ප්‍රංශයෙ කාළගුණයයි ගැහැණු ළමයින්ගෙයි ස්භාවය ගැන කිසිම විශ්වාසයක් තියන්න බැරි නිසාලු. ලංකාවෙත් ඔහොම තමයි නේද? කාන්තා පාර්ශවය නැවත වතාවක්  “මගේ සටහන” ගැන විරෝධය දක්වන්න ඉඩ තියෙනව. එහෙම වුනත් අවදානමක් අරගෙන හරි ඇත්ත කියන එක මගේ පුරුද්දක්.

කතාව ටිකක් වෙන අතකට ගියත් අවස්ථාව ලද විගස කාරණාව කියල දැම්මා. පේරාදෙණියෙ නේවාසිකාගාර වල තත්වය බොහොම හොඳයි කියල මට හිතුන. පහසූකම් අතිනුත් කියන්න තරම් වරදක් නැහැ. මොනව නැතත් පිහිටල තියෙන පරිසරය , තරුණ සුන්දර මානවිකාවො ඉන්න පේරාදෙණියෙ මොන අඩුවක්ද? මගේ මිත්‍රයගෙ හිතවතුන් කිහිපදෙනුකුත් හම්බ වෙලා කතා බහ කලා ඔය අතරවාරයෙදි.

පහුගිය දවසක මං සඳහන් කරපු රෝහණ වීරසූරිය ශිෂ්‍යයයා සිහි වෙන්න ඉදිකරපු ස්මාරකයක් තියෙනවා සරසවි භූමිය තුල. මෙදා පාර ගමනෙදි එතෙනට යන්න අවස්ථාව ලැබුනා. ඊට අමතරව “අල්විස් පොකුණ” නමින් සුප්‍රසිද්ධ පොකුණක් තියෙනව විශ්ව විද්‍යාලය ඇතුලත. පසුගිය භීෂණ සමයෙදි වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් ඝාතනය කරල එම පොකුණ වටේට ඔවුන්ගෙ හිස් තබා තිබුනලු. ලංකාවෙ නූතන ඉතිහාසය ඇතුලත තරුණයන්ට අත්වුන ඉරණම අතිශය ඛේදනීයයි.
කිසිම පාලකයෙක් ලංකාවෙ තරුණ පරම්පරාවෙ ප්‍රශ්න විසඳන්න උන්නදු වෙනවද කියන එක ප්‍රශ්නයක්. භීෂණය, යුද්ධය හරහා ලංකාවෙ තරුණ ජීවිත බිලිදුන්න ලංකාවෙ අනාගතය මොන වගෙ වේවිද කියන එක හිතාගන්න අමාරුයි.

පේරාදෙණියට ගිය හැම වතාවෙම හිතෙන්නෙ අනේ නොගිය මෝඩකම් කියන එක. අපරාදෙ කියන්න බැහැ මෙදා පාරත් එහෙමම හිතුන. මං ගිය දවස සෙනසුරාදා දවසක් නිසා විශාල ශිෂ්‍ය පිරිසක් විශ්ව විද්‍යාලය තුල හිටියෙත් නෑ. මගේ පාසල් සඟයන් අතර පෙරාදෙණියට ගිය මිත්‍රයෙක් හොයන එක කඵනික හොයනව වගේ අමාරු වැඩක්. මගෙ හොඳම පාසල් මිත්‍රය ඉන්නෙත් කොළඹ විශ්ව ශිද්‍යාලෙ. අනිත් සඟයො අපේ සරසවියෙ. කැළණිය සරසවියෙ තව කිහිපදෙනෙක් ඉන්නවා.

පේරාදෙණියෙ මිත්‍ර සමාගම විශාල නොවීම ලොකු අඩුවක්. අඩුම ගානෙ එක මිත්‍රයෙක් හරි ඉන්න නිසා දැන් ඉතින් ගිහිල්ල එන්න පුලුවන්. නැවත් වතාවක් ළඟදිම එන බවට පොරොන්දු වෙලා ඉරිදා උදෙන්ම ගෙදර බලා එන්න පිටත් වුනා. උදේ වරුවෙ ඇවිල්ලා නාලා කාලා ටිකක් නිදාගෙන තමයි හවස් වරුවෙ “මගේ සටහන” ලියන එක පටන් ගත්තෙ.

“බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට” කිව්ව වගේ තවම අපේ ව්‍යාපෘතිය ඉවර වුනේ නැහැ . ඒක නිසා ලියන කියන වැඩ කටයුතු වලට වෙලාව හොයාගන්නෙ ටිකක් අමාරුවෙන්. අනිත් උදවියගෙ බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර පලකරන්න අවස්ථාවක් ලැබුනෙත් නැහැ. ගෙදරට අන්තර්ජාල සබඳතාවක් ලබා ගන්නත් අවශ්‍යයි. සතියෙ දවස් වල අන්තර්ජාලය භාවිතා කරල අනිත් දවස් වලට හරිම පාලුවක් දැනෙනව.

“මගේ සටහන” මේ ලියන්නෙ පහලොස්වන ලිපිය. මගේ බ්ලොග් අඩවියට මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි කිහිපයක් ලිව්වත් සිංහලෙන් ලියන් ගත්තට පස්සෙ බ්ලොග් ලිවීම ගැන ඇබ්බැහි වුනා කියන එක නිවැරදියි. පහුගිය දවස් වල ඉංග්‍රීසි බසින් ලියවුන බ්ලොග් අඩවි කියවල බැලුවා. ඒව අතර බොහොම රසවත් බ්ලොග් අඩවි කිහිපයක්ම තිබුනා. මේ ටික මම හොයාගත්තෙ කොත්තු වෙබ් අඩවිය හරහා. ලංකාවෙ තවමත් අන්තර්ජාලය භාවිතා කරන අය අතර බ්ලොග් අඩවි ලියන එක තවම ඒ තරම්ම ජනප්‍රිය වෙලා නැති එක ලොකු අඩුවක්.

අනිත් කාරණාව විදිහට හිතුනෙ ඉංග්‍රිසි බසින් ලියන උදවිය සිංහල අඩවිත් සිංහල බසින් ලියන උදවිය ඉංග්‍රීසි අඩවිත් ගැන දක්වන උනන්දුව මදි වගේ කියල හිතෙනව. සිංහල යුනිකේත ජනප්‍රිය කරන්න බ්ලොග් අඩවි ඉතා සාර්ථක ප්‍රචාරක උපක්‍රමයක්. ඉදිරියෙදි තව තවත් සිංහල බසින් ලියන්නන් ගණන වර්ධනය වෙනව දකින් එක තමයි මගේ බලාපොරොත්තුව.

ගෙවුනු සතියත් වෙනද වගේම කාර්යබහුල වුනා. හැබැයි ඔය අතරතුරේ මගේ ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලාව වන වන “Prison Break” කතා මාලාවෙ කොටස් කිහිපයක් නැරඹන්න ලැබුනා. තවමත් සතියකට එක චිත්‍රපටයක් හරි බලන එක පුරුද්දක් නිසා මේ සතියෙ තව චිත්‍රපටයක් බලන්න ලැබුනා. ඒක තමයි “Some Times in April”  කියන චිත්‍රපටය. රුවන්ඩාවේ සිදුවුනු මහා මිනිස් සංහාරය පදනම් කරගෙන නිපදවුන තවත් චිත්‍රපටයක් ඒක. එම චිත්‍රපටය බලන කොට මිනිස්සුන්ට  මේ තරම් තිරිසන් විදිහට හැසිරෙන්න පුලුවන්ද කියල හිතෙනව. “මගේ සටහන” පාඨකයන්ට ඒ චිත්‍රපටයත් අවස්ථාව ලැබුනොත් බලන්න කියල නිර්දේශ කරනව.  අවශ්‍යය කෙනෙක් ඉන්නවනම් ලබා දෙන්නත් පුලුවනි.

අන්තිමේදි “මගේ සටහන” නිමා කරන්නත් වෙලාව හරි. ගිය සතියෙ “වැලන්ටයින් දිනය” ගෙවිල ගියානෙ. වෙනද තරම් මාධ්‍ය මුදලාලිල ටික ඒ ගැන උන්නදුවක් වුනෙත් නැහැ. මට ඉතින් සමරන්න අවස්ථාවක් නැති වුනත් පෞද්ගලිකව එහෙම දවසක් තියෙන එක ගැන මං කැමතියි. ඔය නිසා “මගේ සටහන” නැවතීමේ තිත තියන්න මං ඉතා ආස කරන ගීතයක පද වැලක් සිහියට නැගුනා. ලබන සතියේ නැවත හමු වෙමු.

“ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා”

Advertisements

8 thoughts on “කාළගුණයයි ගැහැණු ළමයිනුයි

  1. Can’t put a comment on your Pera trip malli, coz I don’t know about Pera Uni much. But still I can give a comment on the French saying. Quite pleased to see that you have put something we both can agree. 😀
    Keep your good work up!

  2. ඊට අමතරව “අල්විස් පොකුණ” නමින් සුප්‍රසිද්ධ පොකුණක් තියෙනව විශ්ව විද්‍යාලය ඇතුලත. පසුගිය භීෂණ සමයෙදි වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් ඝාතනය කරල එම පොකුණ වටේට ඔවුන්ගෙ හිස් තබා තිබුනලු.

    Who did this, by the way? The same military guys we hero worship now?

    When they kill Sinhalese we label them ‘bad’, when they kill Tamils we lable them ‘good’.

    We live in a strange country.

  3. රුවන්ඩාවේ සිදුවුනු මහා මිනිස් සංහාරය පදනම් කරගෙන නිපදවුන තවත් චිත්‍රපටයක් ඒක. එම චිත්‍රපටය බලන කොට මිනිස්සුන්ට මේ තරම් තිරිසන් විදිහට හැසිරෙන්න පුලුවන්ද කියල හිතෙනව.

    Guess you should be too young in 1983. I have seen it with my own eyes.

  4. ආ අයියා අපි ගැනත් ලියලා තියෙන්නේ 😉
    හැමදාම වගේ නියමෙටම ලියලා තියෙනවා. ආයෙ කතා දෙකක් නෑ. චිත්‍රපට ගැනත් තව ටිකක් වැඩියෙන් ලිව්වොත් හොඳයි නේද?

  5. මම පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්නෙ. මම දන්න විදියට නම් හොල්මන් අවතාර භීතියක් ඇති වුනේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ (හිල්ඩා කුමාරිගෙ අවතාරෙ). ඊට පස්සෙ ඒකෙ ගැහැණු ළමයි විජේවර්ධන ශාලාවටත්, ජේම්ස් පීරිස් ශාලාවටත් දාලා විජේවර්ධන එකේ හිටපු පිරිමි ළමයි හිල්ඩා එකට දැම්මා.

    ඔයාගෙ බ්ලොග් එක නම් එලකිරි. මමත් දැන් අවුරුද්දක විතර ඉදන් බ්ලොග් ලිව්වත් තාම සිංහලෙන් මොකුත් ලියන්න බැරි වුනා. හෙට අනිද්දාම සිංහලෙන් මොනවා හරි ලියනවා, ලියනවාමයි.

    ආයෙත් පේරාදෙණිය පැත්තෙ එනවනම් අපිටත් කියලා එන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )