සිනහ මැවෙයි කඳුල මැවෙයි එයයි ජීවිතේ

“මගේ සටහන” ගිය සතියෙ ලිපිය වෙනදට වඩා වැඩි දෙනෙක් කියවල තිබුනා. සිකුරාදා රෑ ජාමේ මෙවර සටහන ලියන්න හිතාගෙන හිටියත් අන්තිමෙදි ඉරිදා උදේ තමයි වෙලාව ලැබුනෙ ලියන්න. හැම සතියකම වගේ අලුත් බ්ලොග් අඩවි කිහිපයක් සිංහල බසින් අන්තර්ජාලයට එකතු වෙනව දකින්නට ලැබීම බොහොම සතුටු දායක කාරණාවක්. එහෙමනම් ඉතින් “මගෙ සටහන” දහ හතරවන ලිපිය මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ චානක වත්තේගම මහත්තය බ්ලොග් අඩවි ගැන කියල තිබුන කතාව බොහොම නිවැරදියි. අන්තර්ජාලයේ මෙවැනි සංකල්පයක් නොතිබෙන්න අපි වගේ ගොඩක් අයට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වෙන්නට තිබුනා. ලියන්න තිබුනු ආසාව සපුරා ගන්න ලැබුනෙ බ්ලොග් අඩවි ගැන දැන ගත්තම තමයි.

ගිය සතිය ගෙවිල ගියෙත් එතරම් සුභ දායක ආරංචි එක්ක නෙවෙයි. පාලකයන් මහ ඉහළින් නිදහස සමරන කොට රටේ සාමාන්‍ය වැසියන්ට තවත් ඛේදවාචකයන්ට මුහුණ පාන්නට සිද්ධ වුනා. සන්නාහ සන්නධ ආරක්ෂකයන්ට මුවා වෙලා පාලකයින් නිදහස ගැන පුරසාරම් දොඩවනකොට සිවිල් වැසියන් බුරුතු පිටින් රටේ නොයෙක් තැන් වලදි ඝාතනය වුනා. අද වෙනකොට ලංකාව කියන්නෙ දවසින් දවස අඳුරු වෙමින් පවතින චිත්‍රයක්. නිදහසට හැට වසරක් ගෙවෙද්දි අපේ සිවිල් ජනතාවට, නොසිතූ මොහොතකදී බෝම්බයකට ගොදුරු වෙලා මිය යාම හැරෙන්නට ලැබුනු දෙයක් තිබෙනවද කියන ප්‍රශ්නය මට ඇතිවුනා.

අනෙක් කාරණාව දිගින් දිගටම මෙවන් වූ මානසික ආතතියක් යටතේ ජීවත් වෙන ජන සමාජයකට මොන වගේ ඉරණමක් අත්වේවිද කියන එක.  ඕනෑවටත් වඩා මානසික කම්පනයන්ට ලක්වීම තනි තනි පුද්ගලයන්ටවත් සමාජයකටවත් එතරම් හොඳ දෙයක් නෙවෙයි. එහෙම වූනොත් සමාජයට නොයෙකුත් විකෘතින් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව කිසිම සැකයකින් තොරව.  එක අතකට බලන කොට භීෂණ සමය, අසූ තුන අවුරුද්දෙ කලු ජුලිය වගේ අමිහිරි සමයන් පසුකර ගෙන ආපු ලාංකේය ජන සමාජය නොයෙකුත් විකෘතීන් වලට ලක්වෙලා ඉවරයි. අන්තිමේදි මාධ්‍ය මුදලාලිලා සහ නොයෙකුත් අන්තවාදි කල්ලි සිය අවශ්‍යතා ඉශ්ඨ කරගත්තා විතරයි වුනේ මේ වගේ විපරීත සමාජයක් හරහා.

ගෙවුනු සතිය මටත් හොඳටම වැඩ ගොඩ ගැහුන සතියක් වුනා. ව්‍යාපෘතිය තවම ඉවර කරගන්න බැරිවුන නිසා බරටම වැඩ යෙදිල තියෙන්නෙ. හැමදාම ගෙදර එනකොට රෑ බෝ වුනා. ගහෙන් ඇන්න මිනිහට ගොනා ඇන්නා වගේ දවස් කිහිපයක් හවස් කාලෙ වැස්සා මදි නොකියන්න. බදාදා දවසෙ නොසෑහෙන්න නාගෙන ගෙදර ගියෙ හෙම්බත්වෙලා. ඇත්තම කියනවනම් හවස ගෙදර යන වෙලාවට වහින කොට වැස්ස වලාහක දෙයියන් ඇතුලු පරම්පරාව එක්ක මට පුදුම කෙන්තියක් ඇති වෙන්නෙ. ගෙදර යනකම් පිං අනුමෝදන් කරමින් තමයි ගියෙ ඇතිවුන කේන්තිය නිසා.

වැස්සෙ තෙමෙන එක කුඩයක් අරගෙන නොයන එකේ පල විපාක කියල හිත හදාගන්න පුලුවන් අපිටම බැණගෙන. ඒ වුනාට වහින දවස් වලට කෝච්චි ප්‍රමාද වෙනව හොඳටෝම. ගිය සතියෙම හවස වැස්ස දවස් වලට කෝච්චි ප්‍රමාද වුනා. රාගම එතරම්ම දුරින් පිහිටල නැති නිසා මට ඇතිවන ප්‍රමාදය එච්චර විශාල එකක් නෙවෙයි. නමුත් මීරිගම වගේ දුෂ්කර පලාත් ඇතුලු තව දුර පළාත් වල ඉන්න මගීන්ට වෙන අපහසුතාවය දකින කොට දැහැනට සම වැදුන තවුසෙකුට වුනත් කේන්ති යන එක නවත්තන්න බැහැ. ලංකාවෙ දුම්රිය සේවාවෙ කාර්යක්ෂම භාවය ගැන අමුතු උදාහරණ අවශ්‍ය නෑ. මං දන්න තරමින් සුද්දගෙ කාලෙ බදුල්ලට කෝච්චියෙ කොළඹ ඉඳන් යන්න ගතවෙලා තියෙන්නෙ පැය දහයක් වගේ කාලයක්. නිදහස ලබා හැට වසරක් ගෙවෙන කොට ඒ ගමනට පැය දොළහක් විතර ගතවෙන බව තමයි දැනගන්නට තියෙන්නෙ. ලැජ්ජ නැති කම මහ මුදලිකමටත් වඩා ලොකු නිසාද කොහෙදො නිදහස සමරන්න දුම්රිය ස්ථාන වලත් උනන්දු වෙලා තියෙනව මං දැක්කා.

ගිය සතියෙ කරපු ප්‍රධානම වැඩක් තමයි මගෙ බ්ලොග් අඩවිය නැවත කියවපු එක. වැරදි , අඩුපාඩු  තිබුන තැන් ගොඩක් හම්බවුනා කියවගෙන යනකොට.  විවේකයක් ලැබුනු හැටියෙම ඒ ටික නිවැරදි කරල ලිවිය යුතුයි කියල හිතාගෙන ඉන්නෙ. “මගේ සටහන” ට සංස්කාරකවරයෙක් පත් කරගන්න හිතක් පහල වෙලා තියෙනවා කියල සටහන් කලාට තාම ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ කාගෙන්වත්. තියෙන වැඩ කන්දරාවෙ හැටියට වෙලාව හොයාගන්න අමාරු ඇතිනෙ එහෙම වැඩක් කරන්න තරම්.

ඔය අතරෙදි “මැගි ආච්චි ගෙ හෑල්ල” නැවත පලවුනා. ඒක කොහොමටත් මම ආසාවෙන් කියවන එකක්. නැවත මැගි ආච්චි අප අතරට ගෙනාපු  එක ගැන මලින්ත මලයට මල්මිටක් පුද කරනව. තවත් බ්ලොග් අඩවියක් ආයෙමත් පාරක් කියවල බැලුවා මුල ඉඳන්ම . ඒ අපේ ආනන්ධවර්ධන මහත්තයගෙ වෙබ් ආලෝචනා අඩවිය. ඒක කියවගෙන යද්දි මට හිතුනෙ ඔහු දැනුම අතරෙ  සැරි සරපු කෙනෙක් බව.  අපේ අධ්‍යාපනය ක්‍රමයෙ ඵලදායිතාව අතිශයින් ඉහළ නිසා ඒ වගේ දැනුම අතරෙ සැරිසරන උදවිය බිහිවන්නෙ ඉතාම අඩුවෙන්. ඒ අතරෙ බෝධීනි සොයුරියගෙ සටහන් පෙලත් නැවත වතාවක් කියවන්න වෙලාව හොයා ගත්තා. මෙ සියලුම සටහන් කියවන එක බොහොම ආශ්වාදජනක වැඩක්. කියවන්න පොතක් පතක් මේ දවස් වල හොයාගන්න අමාරු නිසා බ්ලොග් අඩවි තියෙන එක ලොකු දෙයක්.

දිවුල්ගනේ මහත්මයගෙ ගීත ගැන කාරණාව තවම ඉවර නෑ. ගිය සතියෙ අන්තිමට ලියපු ගී පද වැලේ වදනක් වැරදියට ලියල තිබුනා. ඒක පෙන්නල දුන්න සංජීව සොහොයුරාට ස්තූතිය පල කරන්න අවශ්‍යයයි. දිවුල්ගනේ මහත්මයගෙ ගීත වලින් පරාජය තුලට කිමිදෙනව කියල මං විශ්වාස කරන්නෙ නෑ. ධනාත්මක චින්තනය හොඳයි තමයි. ඒත් හැමදේටම ඕක යොදාගන්න එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි කියන එක තමයි මගෙ හැඟීම. කෝකටත් බෙහෙත විදිහට පාවිච්චි කරන්න අමාරුයි. හැමදේම රාමුවක් ඇතුලෙ කොටු කරන්න ගියොත් ජීවිතේ අතිශයින්ම කෘතිම බවට පත් වෙනවා.

මිනිස්සු වුනාම දුකකදි අඬන එක බොහොම හොඳයි. මම කලින් සතියෙ කියපු ක්ලයිව් ලොයිඩ් කියන ලෝක පූජිත ක්‍රිකට් නායකයගෙ ජීවිත කතාවෙ ඔය කාරණාව හරි අපූරුවට කියල තිබුන. ලොව බිහිවුන විශිෂ්ඨතම නායකයා හැටියට සැලකෙන්නෙ ක්ලයිව් ලොයිඩ්. රටවල් දහයක එකතුවක් වන බටහිර ඉන්දීය කොදෙව්වන් එක කණ්ඩායමක් ලෙස තබාගෙන ජයග්‍රහණය කරා මෙහෙයවන එක ලේසි පාසි කාරියක් නෙවෙයි. කොහොම වුනත් වතාවක් තමාව කණ්ඩායමට තෝරා නොගැනීම නිසා ඔහු ආවේගය ඉවසගන්න බැරුව අඬල තියෙනව. ඒ බව තමන්ගේ ජීවිත කතාවෙ සඳහන් කරන්න ඔහු ලැජ්ජ වෙලා නෑ. සාමානය්‍ය මිනිස්සු හැටියට ඕනෑවට වඩා අසංවේදි ලෙස ජීවත් වෙන එකත් මට අනුමත කරන්න බැහැ.

ටිකක් ගැඹුරට කල්පනා කරල බැලුවොත් දිවුල්ගනේ  මහත්මයගෙ ගීත අහල තමා හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය මරන්න හිතුනා කියන කවුරුවත් මට දැනට මුණ ගැහිල නෑ. අනිත් අතට දිවුල්ගනේ මහත්මයගෙ ගීත වලින් සසර කලකිරුන කියන කෙනෙක් මට හම්බ වෙලත් නෑ. අතිශය සංවේදිව කලාකරුවකු සතු සමාජ වගකීම ඔහු ඉශ්ඨ කරල තියෙනව කියල මම විශ්වාස කරනවා. කොහොමටත් ඔය ධනාත්මක චින්තන උදවියගෙ දේශනා ඇහෙන කොට මට මතක් වෙන අපූරු කියමනක් තියනවා.
“Nothing called perfect”

සියලුම දේ සර්ව සම්පූර්ණ නැහැ. ලංකාවෙදි නම් ඔය කතාව කිව්ව වෙලේ ඉඳන් බැණුම් අහන්න වෙනවා. පොඩි කාලෙ ඉඳන් අපිට ඉස්කෝලෙදි , ගෙදරදි කියන්නෙ හැම දෙයකදිම පලවෙනියා වෙන්න ,අනිත් අයට ඔයා පරද්දන්න ඉඩ දෙන්න එපා වගේ දේවල්. පන්තියක වුනත් හොඳට වැඩ කරන ළමයි ගැන විතරයි ගුරුවරුන්ගෙ වුනත් උනන්දුව. මේ විකාර සහගත සමාජය කොච්චර විහිලුවක් වෙලාද කියන එක ගැන අමුතු උදාහරණ අවශය වෙන්නෙත් නැහැ. උසස් පෙළ පන්තියෙදි ඔය සතය්‍ය මම පෞද්ගලිකව අත් විඳල තියෙනවා. පවතින ක්‍රමය තුලින් අසහනය ඇරෙන්න වෙන දෙයක් කොහොමටත් ඉතුරු වෙන්නෙ නෑහැ තමයි. අනිත් එකාට හෙන ගහල ගියත් මං දිනුම්නං ඇති කියන කාරණාව මුල් බැහැගත්ත සමාජෙක ධනාත්මක චින්තන මුදලාලිලගෙ මඩිය තර වෙන අහන්න දෙයක් නෙවෙයි. 

මේ සති කිහිපය තුලම ලිව්වෙ පහුගිය අත්දැකීම් නෙවෙයි. හිතට ඔහේ ආපු දේවල්. ඉස්කෝලෙ කාලෙ කතන්දර කිහිපයකුත් තියෙනව. අමතක වෙන්න කලින් ලියල දාන්න අවශ්‍යයයි. තව විශිෂිඨ මට්ටමේ චිත්‍රපට කිහිපයක් ඔය හැම දේම අතරෙ බලන්න වෙලාව හොයාගන්න පුලුවන් වුනා. එකක් තමයි “Forrest Gump” කියන චිත්‍රපටය. එක් දහස් නවසිය අනූ හතරෙදි හදපු මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන හයක් දිනාගත්ත එකක්. මෙහි තිබුන සමහර ජවනිකා බොහොම හාස්‍යජනකයි. ටොම් හෑන්ක්ස් කියන සම්මානනීය නළුවා ප්‍රධාන චරිතය නිරූපනය කරපු මේ චිත්‍රපටය සාමාන්‍ය පුද්ගලයකුට තිබිය යුතු බුද්ධි මට්ටමට වඩා පහල බුද්ධි මට්ටමටක් තිබුනු පුද්ගලයෙක් වටා දිව යන්නක්. සිය ආදරය පතා නොසැලෙන මේ මිනිසා සෙසු සමාජයෙන් එල්ල වුන අපහාස , උපහාස හමුවෙ සිය ජීවිතය සාර්ථක කරගන්න අයුරු ඉතා රසවත් සිදුවීම් පෙලක් ලෙස සිනමාවට නංවා තිබුනා. “මගේ සටහන” කියවන පාඨකයන්ට අනිවාර්යෙන්ම අවස්ථාවක් ලැබුනොත් බලන්න කියල මම නිර්දේශ කරනවා ඒ චිත්‍රපටය.

අන්තිමේදි “මගේ සටහන” නිමා කරන්න යනකොට සෝමතිලක ජයමහ ශූරීන් ගෙ ගී පදවැලක් මතකයට නැගුනා. එහෙමනම් ලබන සතියේ නැවත හමුවෙමු.

“සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ, සිනහ මැවෙයි කඳුල මැවෙයි එයයි ජීවිතේ”.
  

Advertisements

4 thoughts on “සිනහ මැවෙයි කඳුල මැවෙයි එයයි ජීවිතේ

  1. දිවුල්ගනේ මහත්මය ගැන කතාව වැඩිදුර ගෙනියන්න මම අදහස් කරන්නෙ නෑ
    මොනව වුණත් ක්‍රයිව් ලොයිඩ් මහත්මයා ගැන මතක් කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. 96 ලෝක කුසලාන තරගාවලියේදි ඔහු ගත්ත නිර්භීත තිරණයක් නිසා අපේ කණ්ඩායම අවසාන තරගයට තේරුණා.
    මගේ සුඉ පැතුම්!

  2. මම මේ බ්ලොග් එක දැක්කෙ ලගදි. එක දිගටම ඔක්කොම කියෙව්ව.
    නියමයි මල්ලි, දිගටම ලියන්න. කම්මැලි නැතිව කියවන්න පුලුවන්.
    සුභ අනාගතයක්!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )