එක පාර මාව මරන්න

“මගේ සටහන” ලියන්න සූදානම් වෙන්නෙ දහතුන් වන ලිපිය. සෙනසුරාදා උදේ වරුවෙ ලියන්න හිතාගෙන හිටියත් පරිගණකය එක දිගට ලෙඩ දෙන්න ගත්ත නිසා හවස් ජාමේ තමයි වැඩේ පටන් ගත්තෙ. ඒකත් බොහොම දෙගිඩියාවෙන් යුතුව. ගෙවුනු සතියේ තවත් අලුතෙන් බලොග් අඩවියක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලයට එකතු වුනා. ඒක බෝධීනි රන්මැණික් කියන ලේඛිකාවගෙ බලොග් අඩවිය.  දිහටම ලියනන්න කියල දිරිගන්වන ගමන් “මගේ සටහන” දහ තුන්වන ලිපිය ආරම්භ කරනවා.

හැමදේටම කලින් ගිය සතියක අයිවර් ජෙනිංස් මහතා ගැන යම් කිසි කරුණු පැහැදිලි කීරීමක් කරපු නිලක්ෂන සොහොයුරාට ස්තූතිය පල කරල සිටිනව. පේරාදෙණිය සරසවිය ගැන කියද්දි මතක් වෙන සමහර ඛේදජනක සිදුවීම් තියෙනවා. ලංකාවේ සරසවි භූමියක් ඇතුලත ශිෂ්‍යයෙක් ඝාතනය වූනේ පේරාදෙණිය සරසවිය තුලදි. ඒ එක් දහස් නවසිය හැත්ත හයේ වසරෙදි රෝහණ වීරසූරිය නම් ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරකින් මියගියා. සුන්දර දේවල් විතරක් නෙවෙයි ජීවිතේ
සිද්ධ වෙන්නෙ. දසුන් ගිය සතියෙ යම් කිසි කාරණාවක් විමසල තිබුනා. ඒකට පෞද්ගලිකව උත්තරයක් ලබා දෙන්නම්. එහෙම නැත්තම් ඉඟියක් අවශ්‍ය නම් “මගේ සටහන” පලවන ලිපිය සීරුවෙන් කියවල බලන්නකො.

අනිත් කාරණාව දිවුල්ගනේ මහත්මයගෙ ගීත ගැන ප්‍රශ්නය. ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. ගීතය කියන්නනෙ සමාජ ප්‍රකාශනයක්. කලාව හරහා යම් කිසි සමාජ බලපෑමක් කරන්න පුලුවන්. ප්‍රේමය කියන්නෙ ජය පරාජය යන දෙකම උරුම වෙන්න පුලුවන් දෙයක්. විරහව කියන්නෙ ආවේගයෙන් තොරව දරා ගත යුතු දෙයක්. එතකොට ඒ පිළිබඳව ලියැවෙන ගීත  තුලින් මිනිස්සුන්ගේ ආවේගයන් අවදි කරනව නම් මං ඒකට විරෝධය පල කරනව. “එක පාර මාව මරන්න” කියන ප්‍රකාශනයන්ට වඩා දිවුල්ගනේ මහත්මයාගෙ ගීත තුලින් අවදි කරන මානව දයාවට මං කැමතියි. අනිත් කාරණාව ධනාත්මක විදිහට හැමදේම කරන්න ගිහින් අනවශ්‍ය ප්‍රමාණයට යන්ත්‍ර සූත්‍ර වගේ හැසිරිය යුතුයි කියල මට හිතෙන්නෙ නෑ. දුකක් දැනෙනකොට , සංවේදි කාරණාවකදි ඇහැට කඳුලු එන එක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. දිවුල්ගනේ මහත්තයගේ ගීත වල තියෙන්නෙ ඒ දරාගැනීමට අවශ්‍ය ශක්තිය. ඒ ගීත වල වෛරය අඩංගු වෙලා නැහෑ.

තව දුරටත් පැහැදිලි කලොත් “අජානීය ස්කූටර්” ගීතය පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කරන ප්‍රකාශනයක් . “මරතෝඩිය රටා මැවේ ” කියනනෙත් ඒ වගේ තවත් ගීතයක්. ඔය හැම ගීතයටම වඩා “මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද” ගීතය බොහොම ප්‍රබල ගීතයක් විදිහටයි මම දකින්නෙ. තමන්ට රිසි ඕනෑම දෙයක් කර සුදු පිරුවට හැඳගත් පසු ගැහැණියක් ප්‍රශ්න කරන ලාංකීය පුරුෂයා බරපතල ලෙස පෙරලා විවේචනය කරන්න මෙම ගීතය හරහා කලාකරුවා සමත් වෙනවා. පුරුෂාධිපත්‍ය සමාජ ගත කල ලාංකීය දෙබිඩි පුරුෂයා ප්‍රශ්න කරන එවැන් ගීත හරිම විරලයි නේද? හැබැයි කිව්ව දේවල් වලට අමනාප වෙනව එහෙම නෙවෙයි. සමාජ සංවාදයක යෙදීම බරපතල අවශ්‍යතාවයක් බවට අද යුගයේ පත්ව තිබෙන නිසා මේ ඉඩ කඩ ඒ සඳහා යොදා ගත්තා.  

අද “මගේ සටහන” ලියන දවසේ උදේම අහන්න ලැබුනෙ දඹුල්ලෙදි බස් බෝම්බයක් පුපුරා ගිය  පුවත. දවසින් දවස ආර්ථික, දේශපාලන හා පුලුල් වශයෙන් ගත්තම සමාජයක් ලෙස ලාංකීය ජන ජීවිත ආගාධයට ඇදී යන අයුරු දකින විට ඇතිවන්නේ වේදනාවක්. මතුපිටින් පෙනෙවවට වඩා බරපතල විදිහට අපේ සමාජය හැම අතින්ම අර්බුධයට ලක්වෙලා. ඒ නිසාමද මන්දා “මගේ සටහන” වෙනද වගේ නිශ්චිත මාතෘකාවක් ඔස්සේ මෙහෙයවන්න බැරිවුනා වගේ දැනෙනව. 
“මගේ සටහන” මේ දහතුන් වන දිග හැරුම බව මුලින්ම කිව්වනෙ. බටහිර රටවල නම් දහතුන අසුබ අංකයක් විදිහට සැලකෙනවා.  ඒක නිසා දෙගිඩියාවක් නම් ඇතිවුනේ නෑ ලියන්න පටන් ගන්න කොට. හැබැයි පරිගණකය ලෙඩ දෙන්න පටන් ගත්ත නිසා ඒ කතාවෙ ඇත්තක් තියෙනවද කියලත් හැඟීමක් ආවා. ඒක නිසා “මගේ සටහන” දිහා ආපසු හැරිලා බැලීමක් කරන්න හිතුනා.

බලොග් අඩවිය පටන් ගන්න කොට සිංහලෙන් ලියන්න කිසිම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. ටික දවසක් ගිහිල්ල තමයි වැඩේ කරන්න හිතුනෙ. ඒකට මුලික වශයෙන් මලින්ත මලයගෙ සටහන දැක්කම ආසාවක් ඇතිවුනා. අන්තිමේදි “මගේ සටහන” සිංහලෙන් ලිවීම ආරම්භ කලා. මුල දවස් වල අතේ ඇඟිලි ගණනකටත් වඩා අඩු පාඨකයන් පිරිසක් තමයි හිටියෙ. නමුත් දැන් ටිකක් පාඨක සංඛ්‍යාව වැඩි වෙලා තියෙන එක සතුටට කාරණාවක්.  “මගේ සටහන” ලියන ශෛලිය ගැන බොහෝ දෙනකුගෙ ප්‍රසාදය පල වෙලා තිබුනා. ඇත්තටම මේ   ශෛලිය ගැන මට ආසාවක් ඇතිවුනේ එක්තරා ලිපි පෙලක් කියවල.
ඒ තමයි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ක්ලයිව් ලොයිඩ්ගෙ ජීවිත කතාවේ සිංහල පරිවර්තනය. මේක මට කියවන්න ලැබුනෙ පරණ “ක්‍රීඩා” පත්තර පෙලක. මේ කතාව පත්තරේට ලියල තිබුනෙ සඳුන් ප්‍රේමතිලක කියන මාධ්‍යවේදියා. ඔහු දැනට ජීවතුන් අතර නැහැ. ක්ලයිව් ලොයිඩ් නම් මේ දැවැන්ත බටහිර ඉන්දීය කොදෙව්වන්ට නායකත්වය සැපයූ  ලොව සිටි විශිෂ්ඨතම ක්‍රිකට් නායකයාගේ ජිවිත අත්දැකීම් ඉතා අපූරුවට සඳුන් ප්‍රේමතිලකයන් ලියල තිබුන. සඳුන් ප්‍රේමතිලක කියන්නෙ ජීවත්ව සිටිනවුන් නිදා සිටින අපේ රටේ සිය සමාජ වගකීම් ඉටු කරන්නට වෙහෙසුන මිනිහෙක්. අකාලයේ ඔහු මියගියත් ඔහුගේ සොහොයුරා තවමත් ලාංකේය ජන සංවේදනයට ජීවය සපයනවා.

ඒ තමයි සුනිල් මාධව ප්‍රේමතිලක. මීමන ප්‍රේමතිලක ශූරීන්ගේ පුතණුවන්.  සුනිල් මාධවයන් සිංහලයට පරිවර්තනය කරපු “Cry Freedom” පොත ඔහු කරපු සමාජ කාර්යභාරයට සපයන එක උදාහරණයක්. ඒ පොත “හඬනු මැන නිදහස” නමින් තමයි එය සිංහලයෙන් පල වුනේ. සුදු ජාතිකයන් වෙතින් වහලුන් හා සමානව සැලකුම් ලැබූ දකුණු අප්‍රිකාවෙ කලු ජාතික නිදහස උදෙසා සටන් කල සටීව් බිකෝ නම් ශිෂ්‍ය නායකයා ගැන ලියවුන එම පොත නිදහස පිළිබඳ සැබෑ අරුත ඕනෑම මිනිහෙකුට වටහා දෙන්නට සමත් වෙනවා.

කොහොම වුනත් මේ ශෛලිය තෝරා ගත්ත එක හොඳයි කියල හිතෙනව. ඒක බ්ලොග් අඩවියක් වගේ දෙයකදි කියවන්නාට වඩාත් සමීප විය හැකි ක්‍රමයක්. පොඩි වෙනසකටත් එක්ක වෙනත් ශෛලියකින් ටිකක් ලියල බලන්න හිතුනා.

“පසුගිය දින වල එක දිගටම රාජකාරීයේ යෙදෙන්නට වීම නිසා මම බොහෝ සෙයින් වෙහෙසට පත්ව උන්නෙමි. අසනීප තත්වය තරමක් සුව වුවද විටින් විට නැවත මතුවන හිසරදය මා දැඩි පීඩාවට පත් කලේය. විශ්ව විද්‍යාලයට ගොස් මිත්‍රයන් මුණ ගැසීමෙ අවශ්‍යතාව තිබුනද එයද කල නොහැකි වීමට එයද හේතු විය. ලියන්නට කරුණු කාරණා හිතට නැගුනේද නැති බැවින් මෙවර සටහන ලියම්දෝ නොලියම්දෝ යන්න මට ගැටලුවක් විය. කෙසේ නමුදු සතිපතා සටහන පල කිරීමේ පුරුද්ද මග හැරී යතැයි සිතා මොනවා හෝ ලිවිය යුතුයයි තීරණය කලෙමි. ”

ඔන්න ඔය විදිහට තමයි වෙනත් ශෛලියකින් ලිව්වනම් ලියවෙන්නෙ. හැබැයි එහෙම ලිව්වම මට එච්චරම ප්‍රියතාවයක් දැනුනෙ නෑ. ඔය රටාවෙන් ලියපු එක්තරා පොතක් මං විසි සැරයක් විතර නැවත නැවත ඉතා ආසාවෙන් කියවල තියෙනව. ඒ තමයි ලෝ ප්‍රකට “රොබින්සන් කෘසෝ” නවකතාවෙ සිංහල පරිවර්තනය. මේ රසාලිප්ත නවකතාව සිංහලයට පරිවර්තනය කලේ අද අප අතර නැති ප්‍රවීණ ලේඛකයකු වූ මඩවල එස්. රත්නායක ශූරීන්. ඒ පොත කියවගෙන යද්දි අපිත් නවකතාවෙ ප්‍රධාන චරිතය එක්ක ජීවත් වෙනව වගේ දැනෙන විදිහට අති දකෂ ලෙස එතුමා තම පරිවර්තන කාර්යය ඉටු කර තිබෙනව. කොහොම හරි ඔය ලියපු ටිකම “මගේ සටහන” හි සුපුරුදු ශෛලියෙන් ලිව්වොතින් මෙන්න මෙහෙමයි. 

“පහුගිය දවස් ටිකේම අපේ සේවය කරන තැන වැඩ ගොඩ ගැහිල තිබුනෙ. ඒක නිසා මහන්සි වැඩියි. පහුගිය දවස් වල ලෙඩ අසනීප වෙලානෙ හිටියෙ. තරමක් සුව අතට හැරුනට විටිටන් විට හිසරදයක් හැදෙන්න ගත්ත නිසා ඔලුවත් අවුල් වෙලා. විශ්ශ විද්‍යාලෙ පැත්තෙ ගිහිල්ලා අපේ බැචාලා එක්ක කතාවක් දාන්න ඕනැකම තිබුනත් ඔය හේතු නිසා මොනවත් කරගන්න බැරිවුනා. අලි මදිවට හරක් කිව්ව වගේ වෙනදට මගේ සටහන ලියන කොට දැනෙන උද්යෝගය හිතට ආවෙත් නෑ. අන්තිමට ඉතින් හැමදාම ලියන පුරුද්ද මග ඇරේවි කියල තමයි ලියන්න පටන් ගත්තෙ.”

ඔන්න ඔය ලිව්වෙ “මගේ සටහන” හි සුපුරුදු විලාශය. කොහොමටත් මේ විදිහට දිගටම ලියනව මිසක් වෙනස් කරන්න අදහසක් නම් නෑ. හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුවට පේනව කියල කතාවට කියනවනෙ. ඒක හින්ද තමයි පොඩි වෙනසක් කරල බැලුවෙ ප්‍රතිචාරය මොනවගේ වේවිද කියල බලාගන්න. උදාවුනේ දීර්ඝ සති අන්තයක්. තව චිත්‍රපට කිහිපයක් තියෙනව බලන්න. සති අනතයෙ යන්න ගමන්ක බිමනක් යොදා ගන්නත් බැරිවුන නිසා ගෙදරටම වෙලා ඉන්න වේවි. පුස්තකාලයකට ගොඩ වදින්න අවස්ථාව ලැබෙන්නෙත් නැති නිසා කියවන්න  පොතක් පතක් හොයාගන්න ලැබෙන්නෙත් නෑ. “මගේ සටහන” හි අකුරු වල ප්‍රමාණය විශාල කරල පල කලොත් හොඳයි කියන හැඟීම තිබුනට තවම කරන්න බැරිවුනා. ඉදිරි සති කිහිපය  තුල හොයල බලල ඒ වැඩේ කරන්න ඉන්නෙ.
ඉදිරි සති දෙක ඇතුලෙදි දැනට කරන ව්‍යාපෘතියත් ඉවර වෙන නිසා ටිකක් විවේකයක් ලැබේවි. එහෙම වුනොත් ආයෙත් පරණ අත්දැකීම් මතක් කරල “මගේ සටහන” ලියන්න පුලුවන්.

පහුගිය සති දෙකේම වැඩිපුර ලිව්වෙ පේරාදෙණිය සරසවිය ගැන. ඒ ලියපු දේවල් නිසා “මගේ සටහන” හි සමහර පාඨකයින් කරපු මෝඩකම් ගැන පසුතැවිලි වුනානෙ. ඒක නිසා තාවකාලිකව පේරාදෙණිය ගැන නොලිය ඉන්නව කියල තීරණය කලා. අනුන්නට සිත් තැවුල් ඇති කරන්න එක හිතට හරි නෑ. පේරාදෙණිය සරසවියට ශිෂ්‍යයෙක් විදිහට ඇතුලත් වෙන්න බැරිවුන එකේ කතිකාචාර්ය වරයෙක් හැටියට වත් යන්න ඇත්නම් කියල පේරාදෙණියට ගිය අවස්ථාවලදි හිතුන. හැබැයි ඉතින් කතිකාචාර්ය වරුන්ට “ලවර්ස් ලේන්” යන්න අවස්ථාව ලැබෙන්නෙ නැත්තම් ඒකත් තේරුමක් නැහැයි කියල හිතල අදහස අතහැරල දැම්මා.

මේ සතියෙ “මගේ සටහන” ලිව්වෙ ගීත වලට සවන්දෙන ගමන් නෙවෙයි. යන්තම් සෙනසුරාදා දවස ඇතුලත ලියල ඉවර කලා.  කොහොම වුනත් ලංකාවේ ඊනියා සුචරිතවාදීන්ව  ප්‍රශ්න කරන දිවුල්ගනේ මහත්මයගෙ මං කලින් සඳහන් කරපු “මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද” ගීතයෙ පද වැලක් “මගේ සටහන” නිමා කරද්දි නැවත මතකයට නැගුනා. එහෙමනම් ලබන සතියේ නැවත හමුවෙමු.

“ඉඟ නෙරියේ රැළි සැඳුවේ හිමි සඳුනේ මගෙ විතරද”

Advertisements

5 thoughts on “එක පාර මාව මරන්න

  1. Yours is a blog I read with interest. Congrats. Keep it up.

    After doing my A/Ls in mid 1980s and tired of begging editors to get my stuff published, I had a wide idea. I thought of suggesting (but never did) to public library to have a long wall around Vihara Maha Devi park, so that anybody who likes to publish and have no financial resources could paste their work for others to see. Today I find blogs are the same concept emerged in a better and more sophisticated manner.

    Sorry, I am too lazy to type in Sinhala. 🙂

  2. ඔබේ ‍ලිවීමේ ශෛලිය ඇත්තටම ඔබ හිතනව වගේම කාලයට ගැලපෙන එකක්. ඒක දිගටම පවත්වාගෙන යන්න.

    සුනිල් මාධව කියන්නෙ මමත් ඉතාම ගරු කරන මානව ප්‍රේමියෙක්. අනෙක් අතට ඉතාම නිර්භීත පුවත්පත් කලාවේදියෙක්.

    දිවුල්ගනේගෙ ගීත වලින් දරා ගැනීමේ හැකියාව කෙසේ වෙතත් පරාජය ඉක්මණින් බාර ගැනීමේ පෙළඹවීම ඉබේටම ඇති වන බවයි මගේ පෞද්ගලික හැගීම. ප්‍රේමයෙන් පරාජය වීමෙන් පසු තවත් ඒ ගැනම තැවෙම්න සිටීමටනම් ඒවායින් ලොකු පිටුවහලක් ලැබෙනවා.

    අනික් කාරණය මල්ලි, ගීතයෙන් පුද්ගලයෙක්ගෙ දේශානුරාගය නැමති ආවේගය ඉස්මතු කිරීමේ කිසිම වරදක් නැති බවයි මගේ හැගීම.

  3. ලිවීමේ ශෛලිය ගැන ගොඩක් ප්‍රතිචාර ලැබුණ එක පුදුමයක් නෙවෙයි. ඒක ඇත්තටම හරිම ලස්සන ශෛලියක්. දිගටම ලියන්න නැවතත් සුභපැතුම්! 🙂

  4. ලිවීමේ ශෛලිය ගැන ලියා තිබෙන කතාව නම් හරියට හරි,කාටවත් තේරෙන්නෙ නැති බර වචන තොගයක් ලියනවාට වඩා, හැමෝගෙම හිතට දැනෙන සරල අපි එදිනෙදා කතා කරන බාසාවෙන් ලිව්වම ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් කියන එකට මමත් එකගයි.
    දිගටම ලියන්න වරුන මේක කියවන්න ආස හිතෙන ජීවන සටහන් පෙල ගැස්මක් !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )