ප්‍රංශ විප්ලවයවට හේතු?

ගිය සතියෙ “මගේ සටහන” ට ලැබිල තිබුනු ප්‍රතිචාර බොහොම අපූරුයි. දසුන් කියල තිබුන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලැබිලත් නොගිය වග. ගිය නුවණ අලි ඇතුන් ලවා වත් ආපසු අද්දවන්න බැරි බව පුරාණයේ ඉඳන් පැවත එන කියමනක්නෙ. ඒක නිසා හිත හදාගෙන ජීවත් වෙන්න තමයි තියෙන්නෙ. බැරිමනම් පේරාදෙණියට ගිය මානවිකාවක් හොයාගෙන සහකාරිය කර ගන්න එකත් නරක නැහැ. එහෙම කලොත් පේරාදෙණිය ගැන රසබර තොරතුරු ටිකක් අහගන්න බැරිවෙන එකක් නැහැ. හැබැයි ඉතින් දැනටමත් සහකාරියක් ඉන්නවනම් වහාම ඒ උපදෙස හිතින් ඉවත් කලොත් හොඳයි. එහෙමනම් ඉතින් “මගේ සටහන” දොළොස්වන දිග හැරුමයි මේ.
“මගේ සටහන” ලියන විලාශයෙදි සමහර විට හැම දේම ඉක්මනින් කියල අවසන් කරන්න හදනව වගේ හැඟීමක් එන බව සඳහන් කරල තිබුන. ඒ කාරණාව මමත් පිළිගන්නව කිසිම තරහක් නැතිව. කලින් දවසක කිව්වා වගේ කෙලින්ම යතුරු ලියනය කරන නිසාත්, සංස්කරණයකින් තොරව පල කරන නිසාත් තමයි ඔය වගේ දෙයක් වෙන්නෙ. වෙලාවකට හිතෙනවා “මගේ සටහන” කියවන උදවිය අතරින් කෙනෙක්ව හරි සංස්කාරක වරයෙක් හැටියට පත් කරගන්න තියෙනවනම් වැඩේ මීට වඩා හොඳට කරන්න පුලුවන් බව. එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකො බලන්න. හැබැයි ඉතින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා ගෙවීම් රහිතව තමයි රාජකාරිය කරන්න වෙන්නෙ. කොහොමටත් දැනට ලියන ලිපි නැවත වතාවක් සංශෝධනය කරල ලියන්න අදහසක් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒ වැඩේ කරන්න යම් කිසි නිවාඩුවක් ලැබෙන්න ඕන. ඉස්සරහට මොනව වේවිද කියල කවුද දන්නෙ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන ලියපු ලිපිය ලිව්වෙ බොහොම ආසාවෙන්. පරණ මතකයන් අතරෙ සැරිසරමින් ලියවුන ලිපියක් ඒක. දන්නෙම නැතිව වෙනද ලියන ප්‍රමාණය ඉක්මවල ලියල තිබුන. ගලහ හන්දියෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පා නගන ශිෂ්‍යයෙකුට හරි ශිෂ්‍යාවකට මොන වගේ ආඩම්බරයක් දැනෙනව ඇත්ද? පෙරාදෙණියට ගිය වෙලාවෙ ලංකාවෙ නාට්‍ය වේදින්ගේ පරීක්ෂණ වේදිකාවක් බවට පත්වී තිබුනු සුප්‍රසිද්ධ “වල” නමින් හැඳින්වෙන එළිමහන් රංග පීඨය සියැසින් දැක ගැනීමේ අවස්ථාව උදාවුනා. පොතින් පතින් පමණක් කියවල තිබුන ස්ථාන දැක බලාගන්න ලැබුන එක ගැන ඇතිවුනේ කියන්න බැරි තරමේ හැඟීමක්.
පේරාදෙණිය හා බැඳුනු රසබර කතන්දර එමටයි. මට ලිපිය ලියාගෙන යද්දි මතක් වුනා මං අහල තියෙන හා කියවන්න ලැබුනු කතන්දර කිහිපයක්. මගෙ මතකය නිවැරදි නම් මේ කතන්දර ටික තිබුනෙ අධි නීතිඥ පී.එම්. ජයතිලක මහත්මයා සිය පේරාදෙණිය විශ්ව විද්‍යාල ජීවිතය අළලා ලියපු නවකතා ත්‍රිත්වයකින්. නවකතා වල නම් දැන් මතකයෙ නැහැ. කොහොම වුනත් එක කතන්දරයක් කියන්නම්.
දවසක් දා එක මානවකයෙක් හදිසියෙ සුලු දිය පහ කිරීමේ ශාරීරික අවශ්‍යතාවයක් ඇතිවෙලා කලබලේට වටපිට බලලා විශ්ව විද්‍යාලයෙ තාප්පයකට අදාල වැඩේ කරන්න ගත්තලු. විශ්ව විද්‍යාලයෙ ආචාර්යවරයෙක් ඔය වෙලාවෙදිම ඔතනින් යන්න ආවලු. කලබලේට වැඩේ නවත්තන්නත් බැහැ. ආචාර්වරයා නැවතිලා ශිෂ්‍යයට කිව්වලු මෙන්න මෙහෙම. ”You are pumping against the rule” කියල . ඒ පාර හැරෙන තෑපෑලෙන් ශිෂ්‍යයා දුන්නලු මෙන්න මෙහෙම උත්තරයක්.”No sir, I am pumping against the wall”. ආචාර්යවරයත් සිද්ධියෙ උපහාස රසය විඳගෙන හිනාවෙලා යන්න ගියාලු. මේ තවත් සිද්ධියක්.
තවත් එක පාරක් එක මානවකයෙක්ට හිතක් පහල වුනාලු තවත් මානවිකාවක් ගැන. සාමාන්‍යයෙන් මොන දේට පුරුෂ ශක්තිය තිබුනත් ඔය ප්‍රෙමය ප්‍රකාශ කරන්න ගියාම ගොඩක් වෙලාවට ලොකු චකිතයක් හිතට ඇතිවෙනවනෙ. ඒක ඉතින් ස්භාවිකයි. හරි අමාරුයි හිතේ තියෙන දේ කියාගන්න. ඉතින් ඔය වගේ අර මානවකයටත් හිතේ තියෙන දේ කියාගන්න බැරිව හිටියලු. අන්තිමේදි ඉවසල බැරිම තැන හිතට දිරි අරගෙන අර මානවිකාව නවාතැන් ගන්න ශාලාවට ගියාලු මුණ ගැහෙන්න. කෙටි දැනුම් දීමක් කලාම මානවිකාව ආවලු. ඇවිත් ඉතින් මානවකයා සංවාදය ආරම්භ කරන තෙක් බොහොම සුහදශීලි විදිහට හිනාවෙලා හිටියලු.  හිතට දිරි අරගෙන ආවට මානවකයගෙ දිරිය බිංදුවටම බැහැල මේ වෙනකොට. කොහොම හරි කියනන්නත් එපැයි. මුලින්ම ඇහුවලු මෙන්න මෙහෙම.
“ඉතින්?”,   මානවිකාවත් කියාගන්න දෙයක් හිතාගන්න බැරුව සිනාසීගෙනම ඉන්නවලු. මානවකයා ආයෙමත් සැරයක් ඇහුවලු “ඉතින්?”. මානවිකාවත් ලැජ්ජාවෙන් වගේ තාමත් හිනාවීගෙන ඉන්නවලු උත්තරයක් නොදී. ඊළඟ අවස්ථාවෙ මානවකයා ඇහුවලු මෙන්න මෙහෙම. “ඉතින් මොනවද ඈ ප්‍රංශ විප්ලවයවට හේතු?”. ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ. තව කතන්දර කිහිපක් මතකයි. ඒ ටික හෙමිහිට ඉදිරි සටහන් වලදි කියන්න පුලුවන්. ඒත් ඉතින් පේරාදෙණිය හා බැඳුනු කතන්දර අහගන්න නම් එහෙට යන්නම වෙනවා.
 ගිය සතිය ක්‍රිකට් ලෝලීන්ට නම් සතුටුදායක සතියක් වුනා. වෙන මොකවත් නිසා නෙවෙයි රිකී පොන්ටින් ඇතුලු ආඩම්බරකාර ඔස්ට්‍රෙලියානුවන්ව දණ ගැස්සවීමට අපේ අසල්වැසි ඉන්දීය පිල සමත් වුන නිසා. දෙවන ටෙස්ට් තරඟයේ ඔස්ට්‍රෙලියානුවන් කොහොම හරි ජයග්‍රහණය කිරීමේ න්‍යායට අනුව ක්‍රීඩා කරල ක්‍රීඩාවේ ජීව ගුණය කෙළෙසල දැම්මා. විශේෂයෙන්  ඔස්ට්‍රෙලියානුවන්ගේ හැසීරීම් රටාව ගැන එරටේම ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ නොසතුට පල වෙලා තිබුන. ක්‍රීඩා කරන්නෙ ජයග්‍රහණය සඳහා පමණක් නෙවෙයි කියන එක ක්‍රීඩාවෙදි ඉගෙන ගත යුතු මූලික සිද්ධාන්තයක්. ඔය  සිද්ධාන්තය අමතක කරල ක්‍රීඩා කරන එක නිසා ක්‍රීඩාවට සිදුවෙන හානිය අති විශාලයි. අන්තිමේදි ඉන්දියානු ක්‍රීඩකයො හොඳ උත්තරක් ක්‍රීඩා පිටිය තුලදිම ලබා දුන්නා. මේ තරඟාවලියෙ පැවැත්වෙන්නෙ අති විශිෂඨ ක්‍රීඩකයන් දෙපලක් වූ සුනිල් ගවස්කාර් සහ ඇලන් බෝඩර් කුසලානය උදෙසා. ප්‍රවීණ ක්‍රීඩකයන්ට උපහාර දැක්වීමට මේක ඉතා හොඳ දෙයක් කියල ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාම පිළිගන්නව ඇති.
 පැවැත්වුන තරඟ වලදී මගේ ප්‍රියතම ඉන්දීය පිතිකරුවා වන වී.වී.එස් ලක්ෂ්මන් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිය පිලට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නා. විදුලි වේගයෙන් පන්දු යවන බ්‍රෙට් ලී ගේ පන්දු තඹයකටත් මායිම් කරන්නෙ නැතිව ඔහු පිතිකරණයේ යෙදුනු විලාශය හරි අපූරුයි. මං දන්න තරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව සාර්ථකම ඉන්දීය පිතිකරුවා වන්නෙ ලක්ෂ්මන් තමයි. සුපුරුදු පරිදි ඉන්දියාව බිහි කල විශිෂ්ඨතම පිතිකරු සචින් තෙන්දුල්කාර්  තම වගකීම් නිසි ලෙස ඉටුකලා. මං සටහන ලියන විට දෙරට අතර අවසාන ටෙස්ට් තරඟය පැවැත්වෙනවා. ඒ තරඟයෙ ප්‍රථම ඉනිමේදි සචින් ලකුණු එකසිය පනස් තුනක් රැස් කලේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයට රැස්වුනු දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින්. කෙසේ වුනත් ඉන්දීයාව මේ ඉන්නෙ ස්වර්ණමය යුගයක අවසානයෙ බවයි ක්‍රිකට් විචාරකයො කියන්නෙ. ඒකට හේතුව තමයි රාහුල් ඩ්‍රාවිඩ්, සචින් තෙන්දුල්කාර්, අනිල් කුම්බ්ලෙ, සවුරව් ගංගුලි සහ වී.වී.එස් ලක්ෂ්මන් යන ක්‍රීඩකයන් සිටින්නෙ තම කීඩා ජීවිතයෙ අවසාන අවධියේ වන නිසා. කොහොම නමුත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වර්ණවත් කල මගේ පීයතම පකිස්ථානු පිතිකරුවන් යුගලක් වූ සහීඩ් අන්වර් හා ඉන්සමාම් උල් හක් සමුගෙන ඉවරයි. බ්‍රයන් ලාරා යන්න ගියා. සනත්  ටික දවසකින් යන්න යාවි. කණගාටුවක් හිතට ඇතිවෙන එක වලක්වන්න බැහැ නේද?
ගිය සතියෙ “මගේ සටහන” නිමා කලේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ගී පද වැලකින්. “මගේ සටහන” කුලුඳුල් ලිපිය හමාර කලෙත් ඒ මහතාගෙම ගීයක පද වැලකින් තමයි. ගිය සතියෙ ප්‍රතිචාර වලට කියල තිබුනා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ගීත විතරක් අහල හරියන්නෙ නෑ ෆ්‍රේඩී සිල්වා මහත්මයගෙ ගීතත් අහන්න අවශ්‍යය බව. ගීත වලට සවන්දීමේදි එහෙම භේදයක් නෑ. ෆ්‍රේඩී සිල්වා මහත්මයා සහ එස්.කලාවතී ශිල්පිනිය ගායනා කරන “තේ කූඩේ පිටේ බැඳන්” ගීතයට මං ගොඩක් කැමතියි. හැබැයි දිවුල්ගනේ මහත්මයගෙ ගීත අතර තමයි මං ඉතා ප්‍රිය කරන ප්‍රේම ගීත තියෙන්නෙ. සිය ආදරය පිළි නොගැනීම නිසා තරුණියක් ඝාතනය කර සැඟවීමේ සිද්ධියක් පසුගිය සතියෙ පුවත්පත් වල පල වුනා. මෙවන් පුවත් බොහොම උන්නදුවෙන් පල කරල තමන්ගේ මඩිය තර කර ගන්න මාධ්‍ය මුදලාලිලා ඒ තත්වයට සමාජය පත්වීමේ ඛේදවාචය ගැන පල කරන්න සිය මාධ්‍යවල  ඉඩ වෙන් කරනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නෙ. දිවුල්ගනේ මහත්මයගෙ ගීත වල විරහ වේදනාව ගැන සඳහන් කරන්නෙ කෝපයකින් වත් සැඟවුනු ආවේගයකින් වත් නෙවෙයි. අතිශය සංවේදි ලෙසට ආදරයේ පරාජයන් විඳ දරා ගැන්නට අනුබල දෙන ආකාරයෙ ගීත රාශියක් දිවුල්ගනේ මහත්මයගෙ ගීත අතර තියෙනව.
කොහොමටත් ප්‍රචණ්ඩත්වය සාන්ද්‍රගත වුන ලාංකීය සමාජය එවන් ගීත ඇසිය යුතුයි. නැතින්ම අපේ සමාජය කවදා මොනවගේ ඉරණමකට භාජනය වෙයිද කියන එක හිතා ගන්නත් අමාරුයි. යෞවන වයසෙදි විරහ වේදනාවන් ඇතිවීම බොහොම ස්භාවිකයි. ආදරයෙන් පරාජය වූ පළියට ලෝකය අවසාන වෙන්නෙත් නැහැනෙ නේද? ඒකත් ජීවිතයට හොඳ අත්දැකීමක්. ආපසු හැරිල බලන කොට තමන්ට වැරදුනු තැන් හදාගන්න හොඳ පිටිවහලක් ලැබෙනවා. හැම අඳුරු වලාවකව රීදි ඉරක් තියෙනව කියල කියනවනෙ. මං තදින්ම ආස කරන “විකසිත පෙම් පොකුරු පියුම්” ගීතය ලියපු ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙන් යෞවන වයසෙදි විරහ වේදනාවන්ඇතිවීම ගැන අහල තිබුන. මට මතක ඇති විදිහට එතුම බොහොම සන්සුන්ව කියල තිබුන මෙන්න මෙහෙම . “ඔය වයසෙ විරහ වේදනාවන්ඇතිවීම ස්භාවිකයි. ඒව ගැන හිතල හැමදාම පසුතැවිලි විය යුතු නැහැ”. ඒක බොහොම හොඳ උපදෙසක් කියලයි මට හිතෙන්නෙ. 
නොදැනිම වගේ “මගේ සටහන” ට ලියන වචන ප්‍රමාණය දහස ඉක්මවල ගිය නිසා ලිපිය අවසන් කරන්න හදන්නෙ. “මගේ සටහන” සෙනසුරාදා උදේ වරුවෙම ලියල ඉවර කලා. සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතයක් අහන ගමන් “මගේ සටහන” ලිව්වෙ. ලබන සතියෙ නැවත හමුවෙමු.
“වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්”

Advertisements

4 thoughts on “ප්‍රංශ විප්ලවයවට හේතු?

  1. මට දැනට සහකාරියක් නැති නිසා ඔබේ උපදේශය ගැන තවදුරටත් සිතාබැලිය හැකියි. 😀

    යාළුවා ඔබේ සටහන කියවීමේදී(ඔබට එය ‘මගේ සටහන’ අපට ‘ඔබේ සටහන’) මට හිතෙනවා ඔබ ප්‍රේමයෙන් පාරජය වෙලාද කියලා. 😦

  2. දිවුල්ගනේගෙ ගීත වලින් වෙන්නෙ විරහව දරා ගැනීමෙ හැකියාව ඇති වීමද නැත්තන් තවත් ඒ තුළ හිරවීමද කියල ආයෙත් හිතන්න වෙනවා.
    ධනාත්මක චින්තනය ගැන අපේ කට්ටිය ලියල තියෙන්නෙ අ‍ඩුවෙන් කියලයි මම හිතන්නෙ.
    භාතිය සන්තුෂ්ගෙ Moving on සිංදුවෙ නම් සරල වුණත් ධනාත්මක ගීතයක්.
    තවත් ලස්සන ලිපියත් මල්ලි.
    මගෙන් සුබ පැතුම්!!

  3. නිදහස් අදහස්, හිතට වදින දැනෙන, අදහස් සමූහයක් මෙලෙස ගොඩ නැංවීම ගැන මගේ් ස්තූතිය, අද සිට මමත් මෙහි පාඨකයෙක්. ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )