පේරාදෙණිය

“මගේ සටහන” එකොළොස්වන ලිපිය තමා ලියන්න සූදානම් වෙන්නෙ. ගිය සතියෙ ලිපියටත් ප්‍රතිචාර ලැබිලා තිබුනා. ලිපිය මීට වඩා පොඩි ඡෙද බෙදල වෙන් කලොත් හොඳයි කියල අදහසක් පල කරල තිබුනා. ඒ අදහසට බොහොම ස්තූතියි. “මගේ සටහන” හි අකුරු වල ප්‍රමාණය මීට වඩා විශාල ප්‍රමාණයකින් පල කලොත් හොඳයි කියලත් හිතුනා. ඒ වගේම “මගේ සටහන” කියවල තමන්ගෙම කියල බලොග් අඩවියක් ලියන්න අදහස ඇතිවුනා කියල තිබුන. ඒ ගැන මගේ සතුට සහ දිරිගැන්වීම ලබාදෙන බව ප්‍රකාශ කරන්න අවශ්‍යයයි. එතකොට හැමොගෙම හැංගිලා තියෙන දක්ෂතාවයන් අපිට බලා ගන්න පුලුවන්. එහෙනම් සුපුරුදු පරිදි “මගේ සටහන” ආරම්භ කරනවා.
මේ සතියෙ ලිපිය ලියන්න ගත්තෙ නිශ්චිත අරමුණක් හිතේ තියාගෙන නෙවෙයි. ලිවීම ආරම්භ කලෙත් ඉරිදා හවස. වෙනදා මේ වෙනකොට “මගේ සටහන” සැලකිය යුතු  ප්‍රමාණයක් ලියල ඉවරයි. පවතින වාතාවරණයත් එතරම්ම සුභදායක එකක් නෙවෙයි. ලියන්න තරම් මානසික පසුබිමක් ඇතිවුනෙත් නැහැ. තවමත් මඳක් අසනීප තත්වයෙන් පසුවන නිසා ඉරිදා හවස වෙනකම්ම වැඩේ කල්ගියා. අද දවසේ මිනිස්සු ජීවත් වෙන්නෙත් විශාල මානසික තැති ගැන්මකින් සහ කම්පනයකින් බව හැම තැනම සිද්ධ වෙන දේවල් දිහා බැලුවම පෙනෙනවා. ගිය සතිය ගෙවිල ගියේ බුත්තල ප්‍රදේශයේ සිදුවුන අවාසනාවන්ත සිදුවීම් හරහා මුලු මහත් සමාජයම කම්පිත කරවමින්. සිය එදිනෙදා ජීවිතයේ අසල් වැසියන් විය යුතුව තිබුනු මිනිසුන්ගෙන් වෙඩි කා මියගිය එම අසරණ සිවිල් වැසියන්, “මගේ සටහන” හි සඳහන් කල මා නැරඹූ Hotel Rwanda චිත්‍රපටය සිහි ගැන්වුවා. ලෝකයේ ඕනෑම තැනකදි ඇතිවන සිවිල් යුද්ධයකදි වැඩි වශයෙන් පීඩනයට පත් වන්නෙ සාමාන්‍ය මහජනතාව.
සෙනසුරාදා විශ්ව විද්‍යාලෙ  පැත්තෙ ගියා කාලෙකින් යන්න බැරිවුන නිසා. අපේ සඟයො වැඩි දෙනෙක් හිටියෙත් නෑ. කිහිප දෙනයි මුණ ගැහුනෙ. ඒක නිසා වැඩි වෙලාවක් රැඳෙන්නෙ  නැතුව ආපහුව ආවා. සතියෙ දවස් පහේ වැඩ. සෙනසුරාදට කොහෙහරි යනවා. නැත්තම් ඉතින් සති අන්තයම ගෙදරට වෙලා තමයි කල් ගත කරන්නෙ. මොකක් හරි චිත්‍රපටයක් බැලුවොතින් ඇරෙන්න සති අන්තයෙ කරන වැඩක් නෑ. “මගේ සටහන” ලියන එක තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. විශ්ව විද්‍යාලෙට ගිහිල්ලා දැන් අවුරුදු තුනක් නිම වෙන්න ආසන්නයි. කාලෙ ගෙවිලා යන හැටි ඒ තරම්ම දැනුනෙත් නෑ. විශ්ව විද්‍යාලෙදි කාලය කියල දෙයක් ගැන හැඟීමක් ඇතිවෙන්නෙ ලෙක්චර් එකකට සහභාගි වෙනකොට තමයි. ඒ අතරිනුත් සමහර දේශන අති විශේෂයි. ඒ වෙලාවට ගෙවිල යන තත්පරයක් දැනෙන්නෙ හරියට පැයක් හමාරක් වගේ.  ලෙක්චර් එක කොයි තරම් රසවත්ද කියල හිතා ගන්න පුලුවන්නෙ. වැඩි විස්තර  අපේ විශ්ව විද්‍යාල සඟයෙක් අමතල දැන ගන්න පුලුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම්. ඊට වඩා දෙයක් “මගේ සටහන” හරහා කියන්න අමාරුයි.
විශ්ව විද්‍යාලෙ යන්න කියන එක තමයි සාමාන්‍යයෙන් අපේ රටේ ළමයෙක්ට වැඩිහිටියන්ගෙන් ලැබෙන අවවාදය. මුලින්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සෙ සාමාන්‍ය පෙළ. අන්ති මට උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලෙ යන්න කියන එක තමයි හැමෝම කියන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට සිහින විදිහට විකුණන්නෙ සුපර් ස්ටාර් කෙනෙක් වීම, ලොතරැයියක් ඇදෙන එක වගේ දේවල් නෙ. ඒක හින්දා ඉතින් මං මුලින් කියපු කාරණාවත් ඔය ගොඩටම එකතු කරනවා.  මමත් වැටුනෙ අන්තිමේදි අර සාමාන්‍ය කුලකයට නිසා මටත් ඉතිරි වුනේ විශ්ව විද්‍යාලෙ යන සිහිනය තමයි. ඒක මගේ හිතට ඇතුල් වුනේ මොන වයසෙදිද කියන එක මට හරියටම මතකයක් නැහැ. මට හිතෙන විදිහට මං නවයෙ පන්තියෙ විතර ඉන්න කොට වෙන්න ඇති.
ඒ කාලෙ යන්න ඕන මොන විෂය ධාරාව හරහාද කියන එක ගැන හැඟීමක් තිබුනෙ නෑ. ඇත්තම කියනවනම් සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙනකම් උසස් පෙළ සඳහා හදාරන විෂය ධාරාව තීරණය කරල තිබුනෙ නෑ. ඔය කථාව  ධනාත්මක චින්තනය ගැන කථා කරන කාට හරි ඇහුනනම් එහෙම මට හොඳ අවවාද උපදේශ ටිකක් අහගන්න තිබුනා.  ඒක මගේ ජීවිතේ දුර්වලතාවයක් විදිහට මම දකින්නෙ නෑ. මොකද ජීවිතයේ ඉලක්ක තිබිය යුතු පමණින් හැම දේම අපිට තීරණය කරන්න බැහැ. ක්‍රිකට් තරඟයකට යද්දි වුනත් තියෙන තණ තිල්ල අනුව ක්‍රීඩා කරනව මිසක් කලින් සැලසුම් කරන්න අමාරුයි. කියන්න හැදුවෙ ඔය කාරණය නෙවෙයි ඇත්තටම. නැත්තම් ධනාත්මක චින්තනය මාර්කට් කරල තමන්ගෙ ජීවිකාව හොයගන්න උදවිය මාත් එක්ක තරහ වෙන්න ඉඩ තියෙනවා.  විශ්ව විද්‍යාලෙ යන අදහස හිතට ඇතුල් වුනා කියමුකො. හැබැයි මං ඒ දවස් වල ඉඳල ආස කරපු එක දෙයක් තිබුනා. ඒක ඉශ්ඨ කර ගන්න නම් මගෙ හිතේ තිබුනෙ ලොකු  ආසාවක්. ඒක තමයි කවද හරි යන්නෙ පේරාදෙණිය  විශ්ව විද්‍යාලෙට කියන එක.
පේරාදෙණියට යන්න ආසාවක් ඇතිවෙන්න හේතු කිහිපයක්ම තිබුනා. ප්‍රධානම හේතුව තමයි ලංකාවෙ විශ්ව විද්‍යාල ගැන ලියවුනු පොත පත වැඩි හරියක් පාදක කරගෙන තියෙන්නෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලය. මං කියවපු නවකථා රාශියයකම පේරාදෙණිය ගැන ලියවුනු ඒවා. කොහොමටත් නුවර පළාතට මං තදින්ම ප්‍රිය කරනව. ඒ කාලෙ ඉඳන්ම හිතිල තිබුන නුවර පළාතෙ පදිංචි වෙන්න තිබුනනම් කියල. නුවර පළාතේ දේශගුණය, වටපිටාව ගැන ඕනෑම මනුස්සයෙක් ප්‍රිය කරනවනෙ. තව ඉතින් ඒ පැත්තෙ ඉන්න බාලිකාවනුත් බොහොම සුන්දරයිනෙ. ඒකට ඉතින් ඒ පළාතෙ තියෙන සෞම්‍ය දේශගුණය හේතු වෙනවත් ඇති. පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ තිබෙන පරිසරය, ස්ථාන වල නම් එහෙම දැකල නැති වුනත් ඒ දවස් වල හිතින් මවා ගෙන තිබුනෙ. කොහොම හරි උසස් පෙළට ගණිත විෂය ධාරාවන් තෝර ගත්තෙ. අන්තිමේදි උස්ස පෙළ යන්තම් ගොඩ ගියා.
ඊට පස්සෙ ඉතින් විශ්ව විද්‍යාලෙ තෝර ගන්න අවස්ථාව උදාවුනා.  යන්න කොතරම් ආසාව තිබුනත් මං හදාරන්න බලාපොරොත්තු වුන පාඨමාලාව පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ තිබුනෙ නෑ. අනිත් අතට දුර පිළිබඳව ගැටලුවකුත් තිබුන. හැබැයි රාගම ඉඳන් දුම්රියෙ යන්න තිබුනා පේරාදෙණියට ගියා නම්. පාසල් යන කාලෙ විශ්ව විද්‍යාලය කියන වචනය ඇහෙන කොටත් මතක් වෙන්නෙ පේරාදෙණිය. අපේ ගෙදරට ළඟම තියෙන්නෙ කැළණිය විශ්ව විද්‍යාලය. ඊළඟට කොළඹ විශ්ව විද්‍යාලය. අන්තිමේදි ගියෙ ඔය එක විශ්ව විද්‍යාලයකටවත් නෙවෙයි.
පේරාදෙණියට ශිෂ්‍යයෙක් විදිහට ඇතුල් වෙන්න බැරිවුනත් අවස්ථා දෙක තුනකදි විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුනා. හොකී තරඟවලට සහභාගි වීමට ගිය අවස්ථාවලදි පේරාදෙණියෙ නවතින්න පුලුවන් වුනා. ඒ වෙලාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ හිතේ හැටියට ඇවිදල බලන්න අවස්ථාව උදාවුනා. පිටස්තරයන්ට ඇතුලු වීමට අවසරයක් නැති නිසා පුස්තකාලයට යන්න අවස්ථාව ඇහිරී ගියා. මං දන්නා තරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ පුස්තකාලය ආසියාවෙම ඇති විශිෂ්ඨ දැනුම් ගබඩා වලින් එකක් හැටියට සැලකෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තරම් භූමි ප්‍රමාණයක් මං හිතන්නෙ ලංකාවෙ වෙනත් කිසිම විශ්ව විද්‍යාලයක් සතුව නැහැ. ඒ තරමටම පෙනෙන තෙක් මානයෙ තියෙන්නෙ විශ්ව විද්‍යාලය සතු ඉඩම්. මහවැලි ගඟ හරහා වැටුන  පාලම මතට වෙලා අපි බොහෝ වෙලාවක් අවට පරිසරයෙ සෞන්දර්ය විඳගත්තා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආවේණික වූ ස්ථාන සහ ඒවාට විශේෂිත නම් එහෙමත් තියෙනවනෙ. ඊට අමතරව නොයෙකුත් සම්ප්‍රදායන් එමටයි. විශේෂයෙන්ම “ලවර්ස් ලේන්” එක පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ අති ප්‍රසිද්ධ ගමන් මාර්ගයක්. අපිට මුණ ගැසුණු පේරාදෙණියෙ අධ්‍යපනය හදාරන සඟයෙක් සිරිත් විරිත් ගැන හොඳ දැනුවත් කිරීමක් ලබා දුන්නා. සම්ප්‍රදායෙ හැටියට “ලවර්ස් ලේන්” එකේ තනියම ගමන් කිරීම තහනම් අපේ සඟයා කියපු විදිහට. ඉතින් තනිකඩයො වුන අපේ නඩයෙ වැඩි දෙනෙක් “ලවර්ස් ලේන්” එක දිහා බලාගෙන හිටියෙ බොහොම දුකෙන් වගේ. මට නම් ඇත්තටම පේරාදෙණියෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයයො ගැන පොඩි පහේ ඉරිසියාවකුත් ඇති වුනා.
ඊට අමතරව සුප්‍රසිද්ධ “ගජසිංහ පාලම” මතින් අපි කිහිප වතාවක්ම එතෙර මෙතෙර වුනේ බොහොම ආසාවෙන්. “ගජසිංහ පාලම” ගැන බැඳුනු සමහර කථා අපේ මාර්ගෝපදේශක සඟයා පැවසුවත් ඒක “මගේ සටහන” හරහා කියන්න අපහසුයි. කතාව දැනගන්නම අවශ්‍යම නම් පෞද්ගලිකව අමතන්න. නැත්තම් කියන්න අමාරුයි. පේරාදෙණිය මං ආස කරන තවත් දෙයක් තමයි නේවාසිකාගාර සඳහා යොදල තියෙන නම්. ඒවා බොහොම කීර්තිමත් පුද්ගලයන්ගෙ නම්. ළඟඳි දවසක  සර් අයිවර් ජෙනිංස් නම් කීර්තිමත් අධ්‍යාපන වේදියාගෙ නම අලුතෙන් ඉදිවුන නේවාසිකාගාරයකට යෙදීමට විරුද්ධව කලබැගෑනියක් ඇතිවුනා. ඒ විරෝධතාවයට පෞද්ගලිකව මට නම් එකඟ වෙන්න බැහැ. ලංකා විශ්ව විද්‍යාලයෙ ප්‍රථම උප කුලපතිවරයගෙ නම එම විශ්ව විද්‍යාලයෙම ශාලාවකට යෙදීමේ වැරැද්දක් මට නම් පෙනෙන්නෙ නැහැ.අපි පේරාදෙණියෙ ගිය වතාවෙ අරුණාචලම් ශාලාවෙ නවාතැන් ගැනීමට අවස්ථාව උදාවුනා. එක දවසකට හරි පේරාදෙණියෙ අරුණාචලම් ශාලාවෙ නවාතැන් ගැනීමට ලැබීම ගැන කාටද ආඩම්බර නැත්තෙ.
අරුණාචලම් ශාලාවට අමතරව රාමනාදන්, සංඝමිත්තා වගේ නොයෙකුත් නම් වලින් හැඳින්වෙන ශිෂ්‍ය නේවාසිකාගාර තරම් ලංකාවෙ වෙන කිසිම විශ්ව විද්‍යාලයක ප්‍රසිද්ධ වුන ශිෂ්‍ය නේවාසිකාගාර නැතිව ඇති. කොහොමටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියන්නෙ තමන්ට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනගා ගත්තු විශ්ව විද්‍යාලයක්.  පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සමාජ සංස්කෘතික ප්‍රගමනයට දැක්වූ දායකත්වය ගැන අපි හැමෝම දන්නවා. අති විශිෂ්ඨ මට්ටමේ කලා කෘති, ලේඛකයන් හා නොයෙක් විෂයයන් හි කෙළ පැමිණි උගතුන් බිහි කරන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වුනා. කොහොමටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටා ඇති පරිසරය දකින කොට ඒක එතරම්ම පුදුමයක් නෙවෙයි කියල හිතෙනවා. සෞන්දර්ය රස විඳින මිනිහෙකුට පේරාදෙණිය තරම් සුන්දර තැනක් තවත් කොයින්ද?
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න බැරිවීම ගැන පොඩි දුකක් තියෙනවා. ඒකට නොයෙකුත් හේතු  කාරණා තිබුනා මුලින් සඳහන් කරපු. මොනව වුනත් ගෙදර ඉඳන් පැය දෙකක පමණ දුරින් ළඟා විය හැකි විශ්ව විද්‍යාලයක් තියෙද්දි පේරාදෙණියට යන එක ගැන අම්මා පවා විරෝධය දක්වන්න ඉඩ තිබුනා. අදටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ නම ඇහෙන කොටත් එදා පාසල් යන කාලෙ ඉඳන් දැනුනු හැඟීම හිතට එනවා.  අවස්ථාවක් ලැබුනොත් පේරාදෙණියෙ යන්න ලැබෙනවනම් බොහොම සතුටුයි.
යම් යම් හේතු නිසා “මගේ සටහන” සුපුරුදු සඳුදා දවසෙ පල කරන්න බැරි වුනා. අඟහරුවාදා නිවාඩු දවසක් වුන නිසා “මගේ සටහන” බදාදා තමයි පල කරන්නෙ. සටහන නිමා කරන අතරෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ ගීතයක් සවනතේ වැකුනා. ඒ ගීතයෙ පේලියකින් මෙවර “මගේ සටහන” නිමා කරනවා. ලබන සතියේ හමුවෙමු.

“ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ”

Advertisements

7 thoughts on “පේරාදෙණිය

  1. ළගදිම ලව(ර්)ස් ලේන් එකේ යන්න ලැබේවා!
    දිවුල්ගනේගෙ සිංදුම අහල හරියන්නෙත් නෑ පුතා.
    ෆ්‍රෙඩී සිල්වගෙ ඒවත් අහන්න ‍ඕන.
    ඉක්මණට ඉක්මණට ලියල වගේ පෙනුනත් තවත් හොද ලිපියක!
    මගේ සුබ පැතුම්!!!!

  2. පේරාදෙනිය විශ්‍ය විද්‍යාලයට යන්න වරම් ලැබිලත් එහි නොගිය ‍එක ගැන කිසිම දුකක් අදවෙන තුරු සිතේ තිබුනේ නෑ. ඒත් මේක කියෙව්වම නම් මහාලොකු මොඩකමක් කරගත්තේ කියලා හිතුනා. 😦

  3. නියමයි! (මම ඉතින් හැමදාම කියන්නෙ ‘නියමයි’ කියලා තමයි) 😉
    කියවන්නෙ බොහොම ආසාවෙන්. ඒකයි හැමදාම නියමයි කියලා කියන්නෙ. 🙂

  4. මම කියවන බ්ලොග් වලින් කම්මැලි නැතුව කියවන්න හිතෙන තවත් එකක් තමයි මේක.
    අයිවර් ජෙනිංස් ගැන කියන්න‍ දෙයක් නම් තියෙනවා…
    ශිෂ්‍ය සංගම්වල අය අයිවර් ජෙනිංස්ගේ නම දානවට විරුද්ධ වුනේ ඔවුන්ගේ පරණ මියගිය ශිෂ්‍යයෙක්ගේ නම නොදැම්ම නිසා නෙ…
    නමුත් මම නම් අයිවර් ජෙනිංස්ගේ නම දානවට විරුද්ධ ඒ නිසා නෙමෙයි.
    ජෙනිංස් පේරාදෙණියේ ප්‍රථම උපකුලපති වුනේ ඔහු එංගලන්තයේ හොඳම තේරීම නිසා වෙන්න ඇති. කෙසේ වෙතත් උපකුලපති වූ පසුව ජෙනිංස් ලංකාව හඳුන්වා තිබෙන්නේ “සංස්කෘතික කාන්තාරයක්” කියලයි. ඒ වගේම ඊනියා නිදහසින් පසුවත් ලංකාව එංගලන්තයේ සංස්කෘතික යටත්විජිතයක් කරන්න ජෙනිංස් සහ ජෙනිංස්ගේ වයිෆ් ලංකාවේ කලු ස්ද්දන් මෙහෙයවීමෙන් ඉංග්‍රීසීන්ට ලොකු සේවයක් කර ඇති බව තතු දන්නෝ දන්නවා… 😀

  5. පේරාදෙණිය කියන වචනේ google කරනකොට තමයි මේක දැක්කේ…. පළකරලා හුඟක් කල් වුනත් මේ සටහනේ තියෙන විශේෂතා නිසා මේකට අදහසක් නොදමා යන්න බෑ කියලා හිතුනා. ඔන්න ලියනවා….
    මගෙත් විශ්ව විද්‍යාල සම්බන්ධ සිහිනය ඔය වගේමයි කිව්වොත් වැරැද්දක් නෑ. මමත් හිතාගත්තා පොඩිකාලෙදිම කොහොම හරි කැම්පස් යනවා කියලා.. ඒත් එක්කම හිතාගත්තා යනවානම් යන්නේ පේරාදෙණියේ කියලා…. ඒ වගේම මගෙත් තිබ්බා නුවර පළාතට ලොකු බැඳීමක්… ඇයි කියන්න දන්නේ නෑ.. ඉස්සර ඉස්කෝලේ යන කාලේ හිටපු ගමන් නුවර ගිහින් එනවා දවසෙන්…. ගෙදරට කියන්නේ හවස sports වලට ඉන්නවා කියලා… ඒත් අවාසනාවට උසස් පෙළ කලාට පස්සේ දැක්කේ මගේ ප්‍රථිපල වලට හරියන පාඨමාලාවක් පේරාදෙණියේ නෑ කියලා … ඇත්තම කියනවානම් උසස් පෙළ කරනකම් කරන්න ඔනේ මොන පාඨමාලාවද කියලා හරියට හිතලා තිබුනේ නෑ… ඊට පස්සේ කොළඹට ගියා… හැබැයි විශ්ව විද්‍යාලයට තේරුනාට පස්සේ (විශ්ව විද්‍යාලයට යන්න කලින්) යාළු වුනා ගෑණු ළමයෙක් එක්ක… එයා දැන්‍ යන්නේ පේරා =( දැනුත් මම ඉදලා හිටලා පේරා යනවා… ඒ ගියාම දැනෙන දේ මොකද්ද කියලා මට ‍තේරුම් ගන්න බෑ… පුදුමයි මම වගේම මේ ගැන හිතෙන එක ඔබටත් !!!

    ජය!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )