දහවන සටහන

“මගේ සටහන” මේ ලියවෙන්නෙ දහවන සටහන. ගිය සතියෙ සටහන පල කරන්න දවසක් ප්‍රමාද වුනා. හැබැයි කවුරුවත් ඒක ගැන විමසුවෙ නෑ. ගිය සතියෙ ලිපියට තමයි දැනට දිනකට වැඩිම දෙනෙක් “මගේ සටහන” කියවලා තිබුනෙ. විශාල ගණනක් නම් නෙවෙයි. නමුත් මගෙ වැඩේ හැටියට නරකම නැහැ.එහෙනම් සුපුරුදු පරිදි  “මගේ සටහන ” ආරම්භ කරනවා.
සාමාන්‍යයෙන් “මගේ සටහන” ලියන්නනෙ සති අන්තයෙ වුනත් එකොලොස්වන සිකුරාදා තමයි මේ ලිපිය ලිවීම පට න් ගත්තෙ.  ටිකක් කලින් ලියවුනා වුනත් අවස්ථාව ලැබුන වහාම ලියන එක හොඳයි කියලා හිතුනා. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. අපි කරගෙන යන ව්‍යාපෘතිය අවසන් කරලා භාරදීමට නියමිත කාලයත් ලඟා වනවා.  අලුත් අවුරුද්දක් වුනත් හැම පැත්තෙන්ම අහන්න ලැබෙන දේවල් එතරම් සුබ දායක නෑ. කොළඹ යන එන එක යුද්දෙට යනවා වගේ. බොහොම අවිනිශ්චිත ගමනක්. තව කොච්චර කාලයක් අපේ සමාජය මේ ප්‍රශ්න වලට පැතිරෙන්න ඉඩ දීලා තමන්ගෙ පාඩුවෙ ඉන්න එක කවදා හෝ නවතිවීද කියන එක හිතෙන කොටත් ඇති වෙන්නෙ කණගාටුවක්. ලිපිය ලියන්න ගත්තෙ වහින වෙලාවක. දැන් වැස්සටත් නිසි කාල වෙලාවක් නෑ. මේ දවස් වල තව අපූරු චිත්‍රපට කිහිපයක්ම බලන්න ලැබුනා.  මෙල් ගිබ්සන් කියන විශිෂ්ඨ නලුවා රඟපෑ (What women want) කියන චිත්‍රපටිය ඒ වගේ එකක්. මේක ගොඩක් අය නරඹලා ඇතුවට සැක නෑ. මේ චිත්‍රපටය අයිති වෙන්නෙ හාස්‍යජනක චිත්‍රපට ගොන්නට. හොලිවුඩ් චිත්‍රපට වල මං දකින විශේෂම දේ ප්‍රධාන කථාවට යටින් ඉදිරිපත් කරන අදහස. ලංකාවෙ චිත්‍රපටියක් බැලුවම ගොඩක් වෙලාවට අන්තිමේදි ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ නෙ. 
මානව දයාව, ආදරය වගේ සංකල්ප වියැකිලා යන  සමාජයක චිත්‍රපටියකින් හරි ඒ වගේ දෙයක් ගැන කථා කරනවා දකින්න ලැබීම සතුටක්. චිත්‍රපටි ගැන ගිය සතියෙත් කථා කලා. මේ සතියෙත් ඒ ගැනම කියවනව කියල දෝෂාරෝණය කරයිද දන්නෙ නෑ. දැනට කවුරුවත් බැනල නැති නිසා බලමුකො. ගෙවුනු සතිය ටිකක් වෙහෙසකර වුනා. හදිසියේ අසනීප වුනා. යාලු මිත්‍රයො ඒ ගැනත් විවිධ කතන්දර පතුරවන බවට ආරංචියක් ආවා. එක මිත්‍රයෙක් දුරකථන ඇමතුමක් දුන්නා ඇත්තටම මොකද වුනේ කියල දැනගන්න. මට අසනීපයක් හැදුනත් මිනිස්සු හිතන්නෙ වෙන දේවල්. හොඳ වෙලාවට අටලෝ දහමින් කම්පාවට පත් වෙන්නෙ නැතුව ඉන්න කියලා පාසල් යන කාලෙ ඉගෙන ගෙන තිබුන නිසා දැන් නම් කවුරු මොනව කිව්වත් ගානක් නෑ.  දැන් ඉතින් අපේ ආයතනික පුහුණුවෙ මාස තුනක් ඉවරයි. තව මාස තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ. කාලෙ ගෙවිලා යන ඉක්මන හිතා ගන්නත් අමාරුයි. කාලය ගැන කියන කොට මං ආස තදින්ම ආස කරන සින්දුවක් තියෙනවා. “සොඳුරිය කාලය කෙතරම් නපුරුද” කියන අමරසිරි පිරීස් මහත්තයගෙ ගීතය. යෞවන වයසෙ ඉන්න හැම දෙනාටම අත්දැකීම් ඇතිනෙ ඔය ගැන. බස් හෝල්ට් වල කටු කාපු , බාලිකාවෝ දිහා කෑදර බැල්මෙන් බලාගෙන හිටපු කාලයක් නැත්තෙ කාටද? ඔය කෑදර බැල්මෙන් බලාගෙන හිටිය කියන එක ගැන පිරිමි ළමයි අමනාප වෙන්න එපා. සාමාන්‍යයෙන් ගෑණු ළමයි කියන්නෙ “අපෝ අර කොල්ලා බලාගෙන හිටිය හැටි කන්න වගේ”. මට නම් ස්ථිරයි  අපිට ඔය කථාව කියන්න ඇති සම වයසෙ හිටපු ගෑණු ළමයි.
ඔය පාසල් යන කාලෙ ප්‍රෙම කරන එක . කෙල්ලො පස්සෙ යන එක ගැන වැඩිහිටියො හරි විරෝධයක් පානවනෙ. සමහර විට ඒක මේ වගේ බ්ලොග්  එකක කථා කරන එක ගැන සුදුසු නැහැ කියල හිතෙන්නවත් ඇති. මට පුද්ගලිකව හිතෙන දේ තමයි අපි හැකි තරම් විවෘතව කථා බහ කල යුතුයි කියන එක. ගැටවර වයසෙදි අපි කරපු කියපු දේවල් වලින් කොතරම් ආශ්වාදජනක දේවල් ඉතිරි වුනාද? නමුත් පුද්ගලයෙක්ට ආදරය , කරුණාව වගේ හැඟීම් යටපත් කරගෙන ජීවත් වෙන්න අමාරුයි. අපරාදේ කියන්න බැහැ අපේ අධ්‍යාපන ක්‍රමයට පින් සිද්ධ වෙන්න ඔය සාහිත්‍ය, මානව දයාව, ආදරය නොහඳුනන රොබෝලා බිහි කිරිමේ කාර්යය අති සාර්ථකව ඉෂ්ඨ කරනවනෙ. අනිත් උදවියත් තමන්ගෙ දුවා දරුවන් ඔය ගොරහැඬි යන්ත්‍රයට ඇතුල් කරලා මිරිකිලා පීඩනයට පත්වෙන ආකාරය දිහා සිත් පිත් නැතුව බලාගෙන ඉන්නවා. හැමදාම අධ්‍යාපනයට බනිනව කියල තරහ ගන්න එපා. දිරවන්න බැරි දේවල් වමාරලා හරි එලියට දැම්මොතින් හොඳක් සිද්ධ වෙනවනෙ.  සාමාන්‍යයෙන් අපිට පාසල් යන කාලෙ කියන්නෙ ඔය දේවල් ගැන හිතන්න එපා. හොඳ ළමයි වුනාම ඔය වගේ දේවල් කරන්නෙ නෑ. අපේ අම්මා මට මතක ඇති තරමට ඔය වගේ අවවාද උපදෙස් දීලා නෑ. මං හිතන්නෙ ඒ වයසෙදි ඒ වගේ හැඟීම් ඇතිවීම බොහොම ස්භාවිකයි කියල දැනගෙන හිටපු නිසා වෙන්න ඇති. නැත්තම් සමහරවිට මේකට කොහෙන්ද කෙල්ලෙක් කැමති වෙන්නෙ කියල හිතුනද දන්නෙත් නෑ. මං ඉතින් පස්සෙ කාලෙකදිවත් එහෙම කිව්වෙ නැත්තෙ ඇයි කියල අහන්න ගියෙ නෑ. 
පාසල් යන කාලෙ මට ලැබුණු නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙනත් නැහැ. පොඩි කාලෙදි මං එතරම් සමාජශීලි ළමයෙකුත් නෙවෙයි. උසස් පෙළ පන්තිවලට එන කොට තමයි කුලෑටි කම ටිකක් අඩු වුනෙ. ඒ දවස් වල තමයි විරුද්ධ පාර්ශවය ගැන ඇල්ම බැල්ම යොමු කරන්න පටන් ගත්තෙ. අපි ආවෙ ගියෙ කෝච්චියෙ නිසා හිතේ හැටියට බාලිකාවො දැකගන්න ලැබුන. අපි කොච්චර උත්සහ කලත් අපේ ඇලුම් බෑලුම් වලට ප්‍රතිචාර ලැබුනෙ බොහොම කලාතුරකින්. පස්සෙ කාලෙදි අපිට ගණන් උස්සපු අය හොඳ හිතවතියන් බවටත් පත් වුනා.  බොරු කියන්න අවශ්‍ය නැහැ ඉතින් ඔය හැම වැඩක්ම වගේ කලා. මට හිතෙන විදිහට ඒ සියලු අත්දැකීම් වලින් ජීවීතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතේ ගැන අවබෝධ කර ගන්න සමාජයෙ පය තියල බලන්නම වෙනවා. සාහිත්‍යට , සෞන්දර්යට නැඹුරුතාවයක් ඇතිවන්න ප්‍රෙමය කියනනෙ බෙහෙතක් වගේ තමයි. කවි සිතුවිලි පහල වෙනවා, විරහ වේදනාවන් දැනෙනවා.  ඔය ආදරයෙන් පරාජය වුනහම දැන් කාලෙ කරන්නෙ පෙම්වතා හරි පෙම්වතියගෙන් පළිගන්න එකනෙ. පුද්ගල සබඳතා දිහා වපර ඇසින් බලන සමාජයකදි, ආදරය මාධ්‍ය මුදලාලි විසින් අමුතුම ආකාරයේ විකෘතියක් බවට පත් වීමේ ඛේදවාචකය සමහර සිදුවීම් හරහා අපට පැහැදිලිව ඔප්පු වුනානෙ. රත්නපුර කිරිඇල්ලෙදි තමන්ට ආදරය නොකල වරදට සිය සම වයසේ පාසල් ශීෂ්‍යාවක් මරා දැම්ම පාසල් ශිෂ්‍යාට එරෙහිව ඇඟිලි දිගු කල සමාජය විරහ වේදනාව දරාගැනීමට තරම් මානව දයාවෙන් පිරි මිනිසුන් බිහි කරනවද කියන එක මට ඇති විශාල ගැටලුවක්. ඔය කාරණාව අපේ විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වුන ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉතා අපූරුවට පැහැදිලි කරල දුන්න. කොහොමටත් “ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා” වගේ ගීත පද රචනා දැන් බිහි නොවන්නෙ ඇයි කියන එක ඉතා පැහැදිලියි. පුද්ගල සම්බන්ධතා තුල තිබිය යුතු මානුෂිය සුවඳ දිනෙන් දිනම ඉවත් වෙන කොට ආදරය අද අවසේදි  ගොඩක් අයට වේදනාව කැඳවන ඛේදවාචයක් බවට පත් වෙමින් තියෙන එක ගැන මට පුදගලිකව ලොකු කණගාටුවක් දැනෙනවා. “මගේ සටහන” කියවන උදවියටත් මේ කියන කරුණු  කාරණා ගැන නිවාඩු පාඩුවෙ  හිතල බලන්න කියන ආරධනාව කරන ගමන් මේ සතියෙ “මගේ සටහන” නිමා කරනව. ලබන සතියේ නැවත හමුවෙමු.

Advertisements

6 thoughts on “දහවන සටහන

  1. සිංහල චිත්‍රපටිවල ගන්න දෙයක් නෑ කිහන එකත් එක්ක එකග වෙන්න බැරි උණත් ඒක සම්පූර්ණයෙන්ම බොරුයි කියල කියන්නත් බෑ තමා. එකම දේ අපේ අය තමන් ජීවත් වෙන්නෙ ලංකාවෙ කියල අමතක කරන එකයිග
    කෙල්ලො පස්සෙන් ගිය කාලෙනම් අමතක කරන්න බෑ නේද? ඒ දවස් වල ඉතිං ඔක්කොම බහු වචනයෙන්. ගෑණු ළමයෙක් පස්සෙන කොල්ලෙක් යද්දි උදවු කාරයො ගමකට. ඉතිං කරන්නෙ බස් හෝල්ට් වලයි දුම්රියපොළ වලයි රස්තියාදු ගයන එක.
    හුගක් හොද ලිපියක්. ඔයාගේ ලිපි කොහොමත් ලස්සනයිනෙ. සමාවෙන්න ඕන පහුගිය දවස් වල ප්රතිචාරයක් දාන්න බැරිවිම ගැන. කාර්ය බහුල වීම තමා හේතුව.
    ඒක නෙමේ මල්ලි ඔයාගෙ ලිපි කියවලා මටත් මේ වගේ ලියන්න හිතෙනවා. මේ වගේ දෙයක් ලිවම හිතට ලොකු සතුටක් එනව නේද?

  2. නිතර නිර චිත්‍ර පටි නොබැළුවත් බලන එක උපරිම ලෙස රස විඳින්න උත්සහ කරනවා. සිංහල චිත්‍රපටි ගැන කියනව නම්. ගරිල්ලා මාකටින්, අග්නි දාහය, විරාගය හා මාතලන් චත්‍ර පටි වලට දැඩිසේ ඇලුම් කරනවා. නරක චිත්‍රපටි වගේම හොඳ ඒවත් දකින්න ඔනා නේ. මමත් දිගටම මේක කියෙව්වා ‍comment කරේ නැති වුනාට. දීර්ඝ ලිපියක් වුනත් එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )