අලුත් අවුරුද්ද

“මගේ සටහන” ලිවීමෙන්ලැබෙන ආශ්වාදය බොහොමයි. සතියකට සැරයක් හරි මගෙ ජීවිතේ දිහා ආපහුව හැරිල බලන්න තියෙන අවස්ථාව මේක.  “මගේ සටහන” කොහොම හරි සතියක් ගානෙ ලියන් උනන්දු වෙන හේතුව ඒකයි. ඔන්න ඉතින් “මගේ සටහන” නව වන ලිපිය ආරම්භ කරනවා.

ගෙවුනු  සති අන්තයේ මගෙ උපන් දිනය එළඹුනා. තවත් අවුරුද්දක් වයස ගියා, ජීවිතේ වගකීම් තවත් වැඩිවුනා. කරදරයක් නැතුව සති අන්තය සතුටින් ගෙවිලා ගියා. හැමදාම ඒකාකාරිව ගතවෙන ජීවිතේ ඒ වගේ වෙනසක් වෙන එකත් හිතට ලොකු සහනයක්. ගෙදරක වුනත් ගෘහ භාණ්ඩ තියලා තියෙන ස්ථාන ටික වෙනස් කරන එක හොඳයි එකම විදිහට තියන්නෙ නැතුව. එතකොට පොඩි වෙනසක් , අලුත් බවක් දැනෙනවනෙ. නමුත් සමහර දේවල් තියෙනවා කොච්චර ඒකාකාරී බව දැනුනත් වෙනස් කරන්න අමාරුයි. විශේෂයෙන්ම තමුන්ගෙ භාර්යාව එහෙම වෙනසකටත් එක්ක කියලා වෙන කෙනෙක් ගේන්න බෑනෙ. අපිට තාම අත්දැකීම් නැති නිසා ඔය කාරණාව ගැන නිශ්චිත අදහසක් පල කරන්න බැහැ. ඔය විදිහට භාර්යාව වෙනස් කරන සමාජ සම්ප්‍රදායක් තවම ගොඩනැගිල නැති නිසා කාන්තා පාර්ශවයේ උදවියට කලබල වෙන්න දෙයක් නැහැ. නැත්තම් ඔය කාන්තා අයිතිවාසිකම් ගැන පෙනී සිටින නෝන ලා එකතු වෙලා මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම ගැන මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්න ඉඩ තියෙනවා මෙන්න මේ වගේ. “මගේ සටහන ට අපේ විරෝධය”, “කාන්තාවනි, මගේ සටහන කියවන්න එපා”.  ඒ වැඩෙන්  එයාලටත් වෙනසක් දැනේවිනෙ. කොහොමටත් ලංකාවෙ සිද්ධ වෙන දේවල් මොන තරම් විකාර සහගතද කියනවනම් මීට කාලෙකට ඉස්සර ලාංකීය මහාචාර්ය වරයෙක් ලියපු පොතකට විරුද්ධව පෙළපාලි ගියා බොරැල්ලෙදි. ප්‍රශ්නෙ ඒ පොතේ අන්තර්ගතය ගැන  තේරුමක් තිබුන පොත කියවපු උදවිය කී දෙනෙක් එතන හිටියද කියන එක. සමාජය නොයෙකුත් විපරීත දේවල් වලට මුහුණ දෙන කොට ඔය වගේ විකෘති සහගත සිදුවීම් ඇතිවීම පුදුමයක් නෙවෙයි.
ගිය සතියෙ අතිශය සංවේදි චිත්‍රපටයක් නරඹන්න ලැබුනා. චිත්‍රපටියෙ නම Hotel Rwanda. රුවන්ඩාව කියන අප්‍රිකානු රටේ ඇති වුන ජාතිවාදි සිවිල් යුද්ධය තේමා කරගත්ත කථා පුවතක් එහි අඩංගු වෙලා තිබුනා. රුවන්ඩාවෙ හුටු හා ටුට්සි කියන ගෝත්‍ර දෙක අතර ඇතිවුන ගැටුම් නිසා වසරක පමණ කාලය ඇතුලත ලක්ෂ දහයක පමණ සාමාන්‍ය වැසියන් දේපාර්ශවය අතින් මරා දැමුනා. මං දන්නා තරමින් එය එම රටේ මුලු ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ගණනක්.
ලංකාවෙ පැවති භීෂණ සමයේදි මිය ගිය සංඛ්‍යාව හැටදහසක් පමණ වන බව සැලකෙද්දි රුවන්ඩාවෙ සිදුවුන දේවල් වටහා ගන්නට තවත් අමුතු උදාහරණ අවශ්‍ය නෑ. රුවන්ඩාවෙ ප්‍රධානම සංචාරක හෝටලයේ ප්‍රධානියා ලෙස කටයුතු කල පෝල් නම් පුද්ගලයා  මෙම චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය. ඔහු මුහුණ පෑ  සිදුවීම් වටා තමයි කථාව ගොඩ නැගෙන්නෙ. හුටු ගෝත්‍රිකයෙක් වන ඔහු තම ටුට්සි ගෝත්‍රික බිරිඳ හා අසල් වැසියන් ඇතුලු පුද්ගලයන් එක්දහස් දෙසිය තිස් අටකගේ ජීවිත මිනිස් ලෙයට පිපාසිත වූ මෘගයන්ගෙන් රැක ගන්නා අයුරු ඉතාම සංවේදි ලෙස සිනමාවට නංවා තිබුනා. ආරක්ෂිතව බෙල්ජියමට ලඟා වූ ඔහු පසුව ලෝකයෙ නොයෙක් රටවල් හා සංවිධාන මගින් පිදුම් ලැබුවා. නෙල්සන් මැන්ඩෙලා වැනි නිදහසේ වීරයන් බිහිවූ අප්‍රිකාවෙන් තවත් එවැනි වීරයෙක් පිළිබඳව ගොඩ නැගුනු එම චිත්‍රපටිය නැරඹීමට ලැබීම ගැන විශාල සතුටක් ඇතිවුනා.
කොහොමටත් අපිට රාජකාරිය අතරෙ තියෙන ලොකුම විනොදාංශය තමයි චිත්‍රපට භාගත (download) කරන එක අන්තර්ජාලය හරහා. ඒකට කාගෙන්වත් බාධාවක් , තහංචියක් එල්ල වුනේ නෑ තවම. හවස ගෙදර ගියාම රෑ නිදි වරාගෙන චිත්‍රපට බලන නිසා අවශ්‍ය තරමට නින්ද ලැබෙන්නෙ නෑ බොහෝවිට. සාමාන්‍යයෙන් නිරොගී වැඩිහිටියෙක් දවසකට පැය අටක් පමණ නිදාගත යුතු බව කියනවනෙ. පැය අටක් නිදාගන්න ලැබුනු කාලයක් මතක නැති තරම්. ඔය නිදිමත ගැන කතා කරන කොට අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි විභාග සමය ආසන්න වෙන විට නිදිමත වැඩිවෙනවා. ඒක මනස මගින් කරන බලපෑමක් වෙන්න ඇති. එදිනෙදා කරන වැඩ අදාල දවසෙම ඉවර කරන එක හොඳ පුරුද්දක් කියලා හැමදාම අහල තිබුනට මෙච්චර කාලෙකට එහෙම වැඩ කරන්න මට බැරිවුනා.තාමත් කරන්නෙ විභාගෙට සතියකට දෙකකට කලින් පටන්ගෙන පුලුවන් තරමක් ඔලුවට දාගෙන විභාගෙට ලියනවා. ඉවර වෙලා කියනවා “අපරාදෙ තව ටිකක් මහන්සි වුනානම් ” කියලා. සැලසුමක් , වෙලාවක් කලාවක් ඇතුව වැඩ නොකිරීමේ ලාංකීය පුරුද්ද මටත් අපූරුවට පිහිටල තියෙනවා. අපේ තියෙන දුර්වල කම් ටිකක් හරි දැන කියාගන්න එක හොඳයි. අඩුමගානෙ  වැරදුන තැනකදි  හේතුව හොයාගන්න පුලුවන්.  අර චිත්‍රපට ලබා ගැනීමේ නිදහස නිසා සැලකිය යුතු මට්ටමේ චිත්‍රපට ගණනක් බලන්න අවස්ථාව ලැබුනා. අන්තර්ජාලය හරහා ගන්න පුලුවන් ඉතා හොඳ ප්‍රයෝජනයක් ඒක. කාලෙකට ඉස්සර පොත පත කියවන එක ප්‍රියතම විනෝදාංශයක් වෙලා තිබුනට කියවන්න පොත පත හොයාගන්න නැති කමින් හොඳ පොතක් කියවන්න ලැබෙන අවස්ථාව අඩුයි. මහජන පුස්තකාලෙ සාමාජිකයෙක් වෙලා හිටියා පාසල් යන දවස් වල. විශ්ව විද්‍යාලෙ යන්න ගත්තට පස්සෙ මහජන පුස්තකාලයට යන්න වෙලාවක් නැති කමින් අවස්ථාව මග හැරුණා. දැනට තියෙන හොඳම විනෝදාංශය මේක තමයි.
අලුත් අවුරුද්දක් ආරම්භ වුනානෙ. කලින් දවසක කිව්වා වගේ අපි කොච්චර ප්‍රාර්ථනා කලත් අපේ රටේ තියෙන සමාජ, දේශපාලන අර්බුධ විසඳෙන වර්ෂයක් වෙයිද කියන එක තමයි සැක. මගෙ නම් පෞද්ගලික බලාපොරොත්තු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේ අවුරුද්දෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරන එක. එතකොටම ඉතින් එක කඩඉමක් ඉවරයි. ඒක තමයි අපේ සඟයන් බොහොම දෙනෙක්ගෙ නව වසරෙ ප්‍රාර්ථනාව. ඊළගට කරන දෙය පස්සෙ බලන්න බැරියැ.  වයස පහේ ඉඳන් ලබපු අධ්‍යාපනය ඔන්න එතකොට ඉවරයි. “මිනිසා උපතේ සිට මිනී වල තෙක්ම ඉගෙනුම ලබයි” කියල මහා කවි රබ්‍රීන්ද්‍රනාත් තාගෝර් තුමා ප්‍රකාශ කරල තියෙනවා. නමුත් අවාසනාවකට වගේ එකතැන පල් වෙන විභාග මතම පදනම් වෙච්ච අපේ රටේ අබ්බගාත අධ්‍යාපන ක්‍රමය නිසා හැමෝම බලාගෙන ඉන්නෙ කවදද මේක ඉවර වෙන්නෙ කියන එක ගැන. පවතින සමාජ අර්බුධ සඳහා දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන අති විශාල දායකත්වය ගැන අපේ රටේ අධ්‍යාපන බලධාරීන්ට මල් පහන් තියා පිදිය යුතුයි කිව්වොතින් සියලු දෙනාම එකඟ වෙයි කියල මට හිතෙනවා. උදාහරණයක් විදිහට අපේ අධ්‍යාපනයෙ තිබෙන ඔල මොට්ටල ස්භාවය කොච්චරද කියනවනම් පහේ ශිෂ්‍යත්ව පන්ති වල ළමයෙකුට දෙන සමහර ප්‍රශ්න උපාධිධාරියකුටවත් උත්තර දෙන්න බැරි මට්ටමේ ඒවා. අපි නම් දැන් ගොඩ පෙනෙන නොපෙනෙන මානයේ ඉන්නෙ. නමුත් මට තියෙන ප්‍රශ්නෙ ළමයින්ට අධ්‍යාපනය වදයක් බවට පත් කරල ලාංකීය සමාජය ලබන වින්දනය නවතින දවස කවදා උදාවෙයිද කියන එක.
 ඒ ඇරෙන්න වෙනත් බලාපොරොත්තු කිහිපයකුත් තියෙනවා. ඒ ටිකත් ඉශ්ඨ කර ගන්න අවස්ථාව ලැබේවිද කියන එක ගැන බොහොම විමසිල්ලෙන්ඉන්නෙ. ගෙවුන අවුරුද්ද නම් ගොඩක් දේවල් සිදුවුන එකක් වුනා. නොසිතු ආකාරයේ සිදුවීම් කිහිපයකටම මුහුණ පාන්න වුනා. ආපසු හැරිල බලන කොට ඒ සියලුම දේවල් සාර්ථකව නිමා කරහන්න හැකියාව ලැබුනා. නොයෙකුත් මානසික පසුබෑම් වලටත් ලක්වුනා. ලොකුම දේ තමයි ජීවිතේට අමතක නොවන පාඩම් කිහිපයක් ඉගෙන ගන්න ලැබීම. මිනිස්සුන්ගෙ ගති ස්භාවය ගැන අලුත් ආකාරයේ කරුණු කාරණා අත්දැකීම් ගොන්නට එකතු වුනා. සමහර වෙලාවට අපී බලාපොරොත්තු වන තරමට අනිත් අය අපි ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ. ඒක තරමක් වේදනාකාරී අත්දැකීමක් වුනත් හිත ශක්තිමත් කරගන්න ඒ ආකාරයේ සිදුවීම් වලට ඉඩ දෙන්න වෙනවා. අනිත් වැදගත්ම දේ “මගේ සටහන” ලිවීම ආරම්භ කරපු එක. ඒක නිසා අලුත් මිත්‍ර සබඳතා ඇතිවුනා. මෙච්චර කාලෙකට නොදැන හිටිය දේවල් රාශියක් ඉගෙන ගත්තා. මේ ලියවෙන්නෙ “මගේ සටහන” දෙදහස් අට අවුරුද්දෙ ප්‍රථම ලිපිය. අපි පාරෙ යන එන සාමාන්‍ය උදවිය නිසා පවතින තත්වය අනුව ජීවිතය ගැන විශ්වාසයක් තියාගන්න බැරි වුනත් හදිසි අකරතැබ්බයක් නොවුනොතින් දිගටම ලියන්න තමයි කල්පනාව.  ඛේදවාචකයක් බවට පත්වුන අපේ ජන සමාජයේ මිනිස්සුන්ගෙ ජීවිත එක අතකට හරිම අනුවේදනියයි. අද “මගේ සටහන”  හමාර කරනව එහෙනම්. අද ලිපිය නීරසයි වගේ හිතෙනවද දන්නෙ නෑ. නමුත් හිතට එන දේවලුත් ලියන්න එපැයි. නැවත ලබන සතියේ හමුවෙමු.

Advertisements

3 thoughts on “අලුත් අවුරුද්ද

  1. අද උදේ මම පලමුවෙන් ම කියෙව්වේ ඔබේ ලිපිය තමයි. හරිම ප්‍රබෝධවත් ශෛලියක්! රසවත්!!!

    *ඒක නෙමෙයි. කොහොමද hotel Rwanda වගේ සිනමා පට අන්තර්ජාලයෙන් බාගන්නෙ? සෑහෙන මුදලක් වැය කරන්න වෙනව ද?*

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )