නිවේදකයා

“මගේ සටහන” මේ ලියවෙන්නෙ අටවන ලිපිය. මේ වෙනකොට සැලකිය යුතු මට්ටමේ පාඨකයො පිරිසක් ඉන්නවා. ඒ කියනන්නෙ අතේ ඇඟිලි ගණනට වඩා දැන් වැඩියි. “මගේ සටහන” කියවපු පාසල් මිත්‍රයෙක් පාසල් යන කාලෙ වුන සිදුවීම් කිහිාපයක් සිහිපත් කලා. ඉදිරියෙදි ඒ ටික ලියන්න පුලුවන්. දැනට විශ්ව විද්‍යාලය ගැන නොලියා ඉන්න තීරණය කරල තියෙන්නෙ. මොකද වුන සමහර සිදුවීම් ලියන්න තවම කල් වැඩියි. ඒ සිදුවීම් පිළිබඳව ලියන්න කලින් ආපසු හැරී බැලිය යුතුයි. බරපතලම කාරණාව තව ටික කාලයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න තියෙනවා. ඇඟ බේරගන්න බැරිවේවි දැන්ම ලිවුවොතින්.

මෙතැන් පටන් “මගේ සටහන” ආරම්භ කරනවා. කොහොමටත් පුංචි කාලෙදි පරිගණක සම්බන්ධ අංශයක යොමු වෙයි කියලා වැරදිලාවත් හිතල තිබුනෙ නෑ. සාමාන්‍ය පෙළ පන්තිය ඉවර වෙනකම් විතර වගේ ඒ තරම් වැටහීමක් තිබුනෙත්  නෑ. දැන් ඉතින් ඉදිරි  කාලෙ පුරාවට ජීවිකාව හොයාගන්න වෙන්නෙ මේකෙන් තමයි. ඒ දවස්වල හිතන්නෙ විභාග සමත් වීම ගැන විතරයි. අපි දැනගෙන හිටියෙත් ඔය ජනප්‍රිය රස්සා විදිහට සැලකෙන ටික ගැන පමණයි.  ගිය සතියෙ ලිව්වනෙ කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වීමේ සිහිනය ගැන . මගෙ තිබ්බ අනිත් ප්‍රධාන සිහිනය තමයි නිවේදකයෙක් වෙන එක. හැබැයි ඔය දැන් කාලෙ ගුවන් විදුලි නාලිකා වල ඉන්න කිසි කමකට නැතුව ඔහේ කියවන නිවේදකයෙක් වෙන්න නම් නෙවෙයි. අද කාලෙ ඉන්න නිවේදකයන්ගෙ තත්වය කොතරම් පහතට වැටිලද කියනවනම් සමහර උදවිය පාවිච්චි කරන්නෙ අන්වර්ථ නමක් වෘත්තිමය ජීවිතයේදි. සාමාන්‍යයෙන් නිවේදකයෙක්ට පමණක් නෙවෙයි ඕනෑම පුද්ගලයකුට තමන්ගේ කියා ඉදිරිපත් කල හැකි අනන්‍යතාවයක් තිබිය යුතුයි. මොකකදෝ හේතුවකට මාධ්‍ය මුදලාලිලා විසින් මොවුන්ට තමන්ගේ නම භාවිතා කිරීමට ඉඩ නොදී සිටීම හරහා පුද්ගල අනන්‍යතා බිඳ වැටී තියෙන ආකාරය හරිම ශෝකජනකයි. එක අතකට ඔය කාරණාව බිඳ වැටෙන සමාජයක තවත් එක ඛේදවාචයක් විතරයි කියලා හිතෙනවා.
මගේ නිවේදකයෙක් වෙන ආසාව ඇතිවුනේ පහේ පන්තියෙ විතර ඉන්න කොට. ඒකට හේතුව වුනේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය. ගුවන්විදුලියෙ උදෑසන සහ සවස හයට ප්‍රචාරය වන ප්‍රවෘත්ති විකාශයට සවන්දීම තාත්තගෙ දින චර්යාවෙ අංගයක්. මමත් හෙමිහිට අහගෙන ඉන්නවා මොනවද කියන්නෙ කියලා. ගුවන් විදුලියෙ වැඩ සටහනක් ඇරෙන් රූපවාහිනිය බැලීම මට ඒ කාලෙ තහනම් කරලයි තිබුනෙ. අද කාලෙ පෙර පාසල් යන වයසෙ දරුවන් පවා රූපවාහිනියට ඇබ්බැහි වෙලා ඉන්න ආකාරය දකින කොට තාත්තා පනවලා තිබුන තහනම මොන තරම් හොඳද කියන එක තේරුම් ගන්න පුලුවන්. දරුවන්ට ආදරය කරන එක වගේම වැරදි දේවල් වලින් ඈත් කරලා තියා ගන්න එකටත් වැඩිහිටියෙක්ට හොඳ හැකියාවක් තිබිය යුතුයි. මං හැබැයි එකඟ නොවෙන්නෙ ශාරීරික දඬුවම් දීම ගැන විතරයි. ගුවන් විදුලියට සවන් දීම ඒ කාලෙ හරිම ආශ්වාදජනක වැඩක්. තාත්ත රේඩියෝ එක ක්‍රියාත්මක කලහම මමත් බොහොම උනන්දුවෙන් සවන් යොමු කර ගෙන ඉන්නවා. ප්‍රවෘත්ති විකාශනය ඉදිරිපත් කරපු මගේ ප්‍රියතම නිවේදිකාව වුනේ “රම්‍යා වනිගසේකර” මහත්මිය. “වේලාව සවස හයයි. මෙන්න උදෑසන ප්‍රවෘත්ති. ප්‍රකාශය රම්‍යා වනිගසේකර.”. ඔය කොටස තමයි ප්‍රවෘත්ති විකාශයෙ මගෙ ප්‍රියතම කොටස. ටිකක් මතක් කරල බැලුවට ඒ කාලේ ප්‍රවෘත්ති කියපු  නිවේදකයන්ගෙ නමක් නම් මතකයට එන්නෙම නෑ. හැබැයි රම්‍යා වනිගසේකර මහත්මිය බොහොම භාම්භීර කටහඬකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරපු ආකාරය අදත් සිහි වෙනවා.
මං කලින් කිව්වා වගේ අහල පහල ළමයි හිටියෙ නැති නිසා ගෙදරදි කරන සෙල්ලම් මටම ආවේණික වුන ඒවා. නිවේදන කටයුත්තට මගෙ හිත කොතරම් යොමු වෙලා තිබුනද කියනවනම් කෝච්චි සෙල්ලමට අමතරව මගේ ප්‍රියතම විනෝදාංශය වුනේ ප්‍රවෘත්ති කියන එක. කියන දේවල් සියල්ලම මං විසින්ම නිර්මාණය කරගත්ත ඒවා. දැන් ඔය ඇමති මණ්ඩලේ ඉන්න ඇමතිවරුන්ගෙ නම සහ අදාල විෂය කිසිම මිනිහෙකුට මතක හිටින්නෙ නැති තරමට ඇමති වරු ඉන්නවනෙ. නමුත් ඒ කාලෙ හිටපු ඇමතිවරුන්ගෙ නම් අදාල විෂය එහෙම මට මතක හිටියා ඔය වැඩේ නිසා. ඔය සෙල්ලමත් මගෙ පාඩුවෙ කරන්න නිදහස ලැබුනා. විවේචකයො හිටියෙ නෑ කවුරුවත්ම. ළමයි කරන දේවල් හරහා යම් යම් දේවල් අනාගතයට එකතු වෙනවා. මගෙ කථික හැකියාවන්ට මූලික අඩිතාලම වැටුනෙ නිවේදක පිස්සුව නිසා තමයි. තාත්තා හැම විටම උනන්දු වුනා මගේ කථික හැකියාවන් වැඩි දියුණු කරන්න. අවාසනාවකට වගේ තාත්තා අකාලයෙ අපෙන් වියෝවුණු නිසා තරමක් අතරමගදි වැඩේ නැවතුනා. ආයෙමත් මං අටේ පන්තියෙදි ඉන්න කොට තමයි ඔය උන්නදුව  නැවත ඇතිවුනේ. හැබැයි මගෙ අඩුපාඩු කියල දෙන්න කවුරුවත්ම හිටියෙ නෑ මුල දවස් වල.
අට වසරෙදි පාසලේ කණිෂ්ඨ සිංහල සාහිත්‍ය සංගමය හරහා තමයි මගෙ හිතේ ආසාව ඉටු කරගන්න නැවත පොටක් පෑදුනේ. අපේ සංගමය භාරව හිටපු අමරදාස ගුරුතුමා තමයි මුලින්ම අත හිත දුන්නෙ. සාමාන්‍ය්‍යඑන් අපි ඕනෙම කෙනෙකුට තියෙන ප්‍රධාන බය තමයි පිරිසක් ඉදිරියට ගිහින් කථා කරන එක. මට යම් තරමකට පුරුදු කරල තිබුන නිසා මගෙ ඒ බය යම් තරමක් දුරට අඩුවෙලා තිබුනෙ. කොහොම වුනත් මං ඒ කාලෙ කථා කරන විට සභාවෙ ඉන් පිරිස දිහා බලන්නෙ නෑ වැරදිලා වත්. එහෙම වුනේ හිතේ චකිතය නිසා.  හොඳ කථිකයෙක් සතුව තිබිය යුතු  මූලික දෙයක් තමයි සභාව සමග ඇස් වලින් සබඳතාවය පවත්වා ගැනීම. ඔය සිද්ධාන්තය මට ඉස්සෙල්ලම කියල දුන්නෙ අමරදාස ගුරුතුමා තමයි. එතුමා සිංහල සාහිත්‍ය ගැන අති විශිෂ්ඨ අන්දමේ දැනුමක් තිබ්බ ගුරුවරයෙක්. මගෙ පාසල් ජීවිතේ හිටපු ගුරුවරුන් අතර මං ඉතාමත් ප්‍රිය කල කෙනෙක් බවට එතුමා පත් වෙලා හිටියා. අපේ පාසලේ අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙක් නම් එතුමා ගැන නොදැන ඉන් විදිහක් නෑ. දැනට අන්තර් සමාජ සහ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩයෙක් වන තාරක කෝට්ටහෙවා ගෙ පියාණන් තමයි මං මේ කියන අමරදාස ගුරුතුමා. වැඩි ප්‍රසිද්ධියක් නොලැබුනත් තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉශ්ඨ කරපු මේ නූතන දිසාපාමොක් වරුන්ට පින් සිදුවන්නට ශිෂ්‍යන් කී දහසකගෙ නෙත් පෑදෙන්නට ඇද්ද?
ඒ දිරි ගැන්වීම හරහා යම් තරමකට මගෙ හැකියාවන් වර්ධනය කර ගන්න අවස්ථාව ලැබුනා. සමහර කථික තරග වලදි ජයග්‍රහණ ලබා ගන්නත් හැකිවුනා. ඔය හේතු කාරණා නිසා මගෙ නිවේදකයෙක වන ආසාව හිතේ නොමැරි තිබුනා. පස්සෙ කාලෙකදි ඒ ආසාවත් හෙමිහිට නැතිවෙලා ගියා. ප්‍රධානම හේතුවක් වුනේ මම අති විශිෂ්ඨ මටටමේ කථිකයෙක් වත්, නිවේදකයෙක් වත් නොවන වග මට අවබෝධ වුන නිසා. මට වඩා පහල පන්තිවල හිටපු අති දක්ෂ කථන හැකියාවන් සහිත පාසල් සඟයන් මම දැකලා තියෙනවා. සමහර සමකාලීනයන් දැන් රූපවාහිනි , ගුවන් විදුලි ආයතන වල රාජකාරියෙ යෙදෙනවා. ස්වර්ණවාහිනියෙ ඉන්න අමින්ද වීරකෝන් කියනනෙ මගෙ පාසල් සඟයෙක්. දන්න කියන හිතවතෙක් තමන්ගෙ දක්ෂතාවය හරහා යම් තැනක ඉන්නවා දකින කොට අවංක සතුටක් ඇති වෙනවා. විශ්ශ විද්‍යාලයෙ අවස්ථා කිහිපයකදි නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුනා. ඒකෙන් මම හොඳ තෘප්තියක් ලැබුවා. අන්තිමේදි බලන කොට මට නිවේදකයෙක් වෙන්න බැරි වුණ එක ගැන කිසිම කණගාටුවක් ඇති වුනෙත් නෑ. මට තියෙන්නෙ සාමාන්‍ය මට්ටමේ හැකියාවක් බව මම හෙමිහිට අවබෝධ කර ගත්තා. ඒ හරහා ලැබුන අත්දැකීම් , හඳුනගත්ත යාලු මිත්‍රයො නිසා හිතේ ලොකු සතුටක් තියෙනවා. ජීවිතේ  ගැන හිතන කොට මං සර්ව අසුබ වාදියෙක් නම් නෙවෙයි. මට ආස කරන දෙයක් පුලුවන් තරමින් කරන්න අවස්ථාව ලැබෙනවනම් මං සතුටු වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් උගන්වනනෙ කොහොම හරි අනෙත් කෙනා පරදවල පළවෙනිය වෙන හැටි විතරයි. සාර ධර්ම ගුණ ධර්ම තියෙන්නෙ පොත් වල. විභාගෙ සමත් වන මිනිහව මහ ඉහළින් වර්ණනා කරන අය ඊට වඩා දස ගුණයකින් වැඩි අසමත් වූවන් ගැන ඇහැ ඇරල බලන්නෙ නෑ. නොයෙකුත් දෙනාට තියෙන්නෙ විවිධ හැකියාවන්. හැමෝටම හැමදේකදිම විශිෂ්ඨයකු වෙන්න බෑ. අවාසනාවකට ලංකාවෙ වැඩිහිටි පරම්පරාව ඔය සත්‍යය ගැන අවබෝධ කර ගන්න පාටක් පේන්න නෑ. හතරෙ පන්තියෙ ඉන්න දරුවා නිවාඩු කාලෙදි දවසට අවම වශයෙන් පැය හතරක් පාඩම් නොකලොත් දෙමව්පියො බැණ වදිනවා.
තිබ්බ සිහින බිඳ වැටුන එක ගැන හිතේ කිසිම ආකාරයේ දුකක් නෑ. සිහින ඉටු නොවෙන්න හේතු මොනවද කියල අවබෝධ කර ගත්ත නිසා. විශිෂ්ඨයෙක් වෙන්න බැරි වීම ගැන කණගාටු විය යුතු නෑ. මොකද වෙනත් ආකාරයකින් ජීවිතේ ඉදිරියට යන්න දිරිය ලැබෙන නිසා. තවත් “මගේ සටහන” ක් මේ ආකාරයට හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

Advertisements

2 thoughts on “නිවේදකයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )