කෝච්චි ඩ්‍රයිවර්

“මගේ සටහන” ගියවර ලිපිය දිග මදි කියලා චෝදනාවක් ලැබුනා. නමුත් ලිව්වෙ වෙනදට ලියන ප්‍රමාණයම තමයි. සාමාන්‍යයයෙන් “මගේ සටහන” වචන දාහක් වගේ ගණනකට සීමා කරලයි තියෙන්නෙ. උපන්ගෙයි කම්මැලි කම නිසා ඊට වඩා වැඩි යමක් කරන්න අමාරුයි. ගිය සතියෙ ලිපිය සාර්ථකව ලියවුනා කියලා හිතෙනවා. ඇත්තටම පාසල් යන කාලෙ සිදුවීම් මතක් කරන කොටත් බොහොම මිහිරි ආශ්වාදයක් ලැබෙනවා. ඒ දවස්වල ගුරුවරයෙක් ගෙන් ගුටි කෑව එක පවා මතක් වෙද්දි ආයෙත් පාසල් යන්න හිතෙනවා. ඕනෑම දේක අගය දැනෙන්නෙ අපි ළඟ ඒ දේ නැති වුනාම තමයි. අනිත් කාරණාව “මගේ සටහන” මුලින්ම පල  කලේ බ්‍රහස්පතින්දා දවසක. ගිය සතිය වෙනකොට අඟහරුවාදා පලකලා. නමුත් මීට පස්සෙ “මගේ සටහන”  පල කරන්නෙ සඳුදා. එහෙම කරන එක මටත් ලේසියි. සති අන්තයෙ නිවී සැනසිල්ලෙ ගෙදරට වෙලා “මගේ සටහන” ලියනන පුලුවන්. දැනට වඩා ලිපියෙ අඩු පාඩු නිවැරදි කරලා පල කරන්න අවස්ථාව ලැබෙනවා. මේ ලිපියෙ  සතියෙ ඉඳන් “මගේ සටහන” කියවලා අලුත් සතිය ආරම්භ කරන්න කියවන ඔයාලට පුලුවන්. එහෙනම් ඉතින් “මගේ සටහන” සත් වන දිග හැරුම මෙතැන් සිට.
ගිය සතියෙ ලිව්වෙ උසස් පෙළ අවධිය ගැන වුනත් ආයෙමත් පුංචි සන්ධිය ගැන ලියන්න හිතුනා. සියලු දේටම කලින් පොඩි කතන්දරයක් කියන්න තියෙනවා. කථාව මට කියවන්න ලැබුනෙ සඟරාවක තිබිලා. සාමාන්‍යයයෙන් ඔය ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට කිව්වොතින් “මං කැමති ඔයාව මගෙ හොඳ යාලුවෙක් විදිහට තියාගන්න” කියලා ඒක පිටි පස්සෙ හැංගිච්ච අර්ථයක් තියෙනවලු.  ඒකෙන් කියන්නෙ ඇත්තටම   ගැහැණු ළමයට අවශ්‍ය පිරිමි ළමයා තමුන්ගෙ ජීවිතෙන් අයින් වෙනවා දකින්නලු. ඉතින් ඔය දේ කෙලින් කියාගන්න බැරිකම නිසාත් , පිරිමි ළමයගෙ හිත රිදවනන අකමැතිකම නිසාවෙන් තමයි ඒ විදිහට කියන්නෙ කියලා සඟරාවෙ සඳහන් කරලා තිබුනා. “මගේ සටහන” වැඩිපුරම කියවන්නෙ තරුණ වයසෙ උදවිය නිසා කාට හරි ප්‍රයෝජනයක් වේවි කියලා හිතලා ඔය ටික කිව්වෙ. ඔන්න ඉතින් නියම මාතෘකාවට දැන් තමා පිවිසෙන්නෙ.
ළමයෙක් පොඩි කාලෙ වැඩිහිටියො ඒ ළමයගෙන් අහන අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙ තමයි “පුතා ලොකු වුනාම මොන වගේ කෙනෙක්ද වෙන්නෙ”. ලංකාවෙ ළමයෙක්ගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවම ළමයා දිය යුතු අනිවාර්ය පිළිතුරු කිහිපයයි තියෙන්නෙ. එක්කො දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්තම් නීතිඥයෙක් වගේ උත්තර ටිකක් තමයි. අපරාදේ කියන්න බෑ ඔය ප්‍රශ්නෙ අහන බව දන්න හින්දා අම්මලා තාත්තලත් ළමයව තැනකට එක්කගෙන යන්න කලින් ඔය ප්‍රශ්නෙට උත්තරේ කට පාඩම් කරගෙන තමයි අරගෙන යන්නෙ. පොඩි එකාගෙ රුචි අරුචි කම් , හැකියාවන් ගැන ප්‍රශ්නෙ අහන උදවියට අබමල් රේණුවක තරම් වත් තැකීමක් නෑ. වැරදිලාවත් ඔය සමාජෙ ජනප්‍රිය රස්සා ටිකට අමතරව වෙන උත්තරයක් දුනනොත් පොඩි එකාට දෙවියන්ගෙම පිහිටයි. ලංකාවෙ  මිනිස්සු තමුන්ගෙ චින්තනය පැත්තෙන් වැටිලා ඉන්න ආගාධයෙන් ගොඩ එන්න තව කොච්චර කල් යයිද කියන එක තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙන් එක දෙවියෙක් වත් දන්නවද කියන එක සැකයි. මගෙන් පොඩි කාලෙදි ඔය ප්‍රශ්නෙ ඇහුවම එක එක කාලෙට මට තිබුනෙ නොයෙකුත් මාදිලියෙ ආසාවන්. ඔය ධනාත්මක චින්තනය මාර්කට් කරන කට්ටිය දැන් කියනවනෙ මං කවදහරි අහවල් කෙනෙක් වෙනවා කියලා හිතාගන්න කියලා. නමුත් ඔය කථාවට මං ඒ තරම්ම එකඟ නෑ. මොකද ළමයෙක් අවුරුදු පහක් විතර වයසෙදි ඒ ළමයා කවදා මොනවා කරයිද කියන එක හරියටම කියන්න අමාරුයි. වැඩිහිටියන්ගෙ යුතුකම විය යුත්තෙ ළමයෙක්ගෙ සැබෑ දක්ෂතා අඳුරගෙන ඒ අදාල මාර්ගයෙ යන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සලසා දෙන එක. අවාසනාවට වගේ ඔය කාර්යය වෙන්නෙ නැති නිසා තමන් ආස කරන ක්ෂේත්‍රයට හාත්පසින් වෙනස් කාර්යන් වල නිරත වෙන උදවිය අපිට නිතරම මුණ ගැහෙනවා.
මුලින්ම මගෙ ආසාව තිබ්බෙ ලේඛකයෙක් වෙන්න. කොහොමටත් කියවීමට ලොකු නැඹුරුවක් තිබුනා මට පොඩි කාලෙ ඉඳලම. ඒක තාත්තගෙන් මට ලැබුනු පුරුද්දක්. පාසල් යන කාලෙ විවේක වෙලාවට කරන්න වෙන දෙයක් තිබුනෙත් නෑ. පරිගණක ගැන රටේ එතරම්ම ලොකු ආන්දෝලනයක් තිබුනෙත් නෑ. උසස් පෙළ සමත් වෙනකම් මට ගෙදර පරිගණකයක් තිබුනෙත් නෑ. ඇත්තටම කියනවනම් කියවන්න ඇබ්බැහි වෙලා හිටියා කිව්වොත් වඩා නිවැරදියි. මං මුලින්ම හය වසරෙ ඉන්න කොට පුස්ථකාලයෙන් ගන්න හැදුවෙ රුසියන් ලේඛක මිහයිල් ලෙර්මන්තොව් ගෙ “අපේ කාලයේ වීරයෙක්” කියන පොත. ඒ පොත මට කියවන්න තරම් සරල නැහැ කියලා පුස්ථකාලයාධිපතිනිය පොත නිකුත් කලේ නෑ. කොහොමින් කොකොම හරි ලේඛකයෙක් වෙන ආසාව කාලයත් එක්කම වියැකිලා ගියා. මං වැඩියෙන්ම ආස කලේ දුම්රිය රියදුරෙක් වෙන්න. සරල භාෂාවෙන් කියනවනම් කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්න. දැන් නම් කෝච්චියෙ යන එක එපා වෙලා තිබුනට ඒ දවස්වල පුදුම පිස්සුවක් තිබුනෙ. අපි ගනේමුල්ල නගරයට ආසන්නව පදිංචිවෙලා හිටපු කාලෙ අම්මා රාජකාරියට යන්න එන්න දුම්රියට ගොඩ වෙන්නෙ ගනේමුල්ල දුම්රිය ස්ථානයෙන්. ගොඩක් දවස් වල හවසට තාත්තයි මමයි හවස අම්මා වැඩ ඉවර වෙලා එන වෙලාවට ගනේමුල්ල දුම්රිය ස්ථානයට යනවා. ටිකට් පරීක්ෂා කරන උදවිය අපිව දන්න හින්දා දුම්රිය වේදිකාවට ඇතුල් වෙලා ඉඳගෙන ඉන්න අවසරය ලැබෙනවා ටිකට් ගන්නෙ නැතුව. මගෙ වැඩේ යන එන කෝච්චි දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්න එක. ඔය හේතු කාරණා නිසා ක්‍රමක්‍රමයෙන් මගෙ කෝච්චි පිස්සුව වැඩිවුනා. කෝච්චි වැඩේ මං ආස කරපු කරුණු දෙකක් තිබුනා. එකක් තමයි දුම්රිය ගමනාන්තය වෙනකම් අතරමග නැවතුම් මොනවද කියන එක දැන ගන්න  එක. අනිත් එක දුම්රිය ගමනාන්තය ගැන කරන නිවේදන වලට සවන් දෙන එක. සමහර දුම්රිය ස්ථාන වල නිවේදන කටයුතු කරන්නෙ නැති වුනත් ගනේමුල්ල සාමාන්‍යයෙන් ප්‍රධාන දුම්රිය නැවතුමක් නිසා හැම දුම්රියක් ගැනම නිවේදනය කරනවා. කොච්චරඬ උන්නදුවකින් ඒවා අහගෙන හිටියද කියනවනම් මට ඒ දවස්වල කට පාඩම් වෙලා තිබුනෙ එක් එක් කෝච්චියට අදාල නිවේදනය.
මං ගෙදර ගියාම හිතන්නෙ කොහොමද කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වෙන්නෙ කියලා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් , ක්‍රියා පටිපාටි ගැන මෙලෝ හසරක දැනීමක් තිබුනෙ නෑ. මගෙ කල්පනාව තිබුනෙ එහෙම කෙනෙක් වෙන්න ලැබුනොතින් අඳුරන කට්ටිය මගෙ කෝච්චියෙ එක්කගෙන රට වටේ යන ආසාව තමයි. මට මතක විදිහට අම්මවත් තාත්වත් ඔය කල්පනාව ගැන මුකුත් කිව්වෙ නෑ. තාත්තා ගුරුවරයෙක් වුන නිසාමදෝ ළමයෙක් වුන මගෙ මානසිකත්වය තේරුම් ගන්න ඇති කියල දැන් තමා කල්පනා වෙන්නෙ. ගනේමුල්ලෙ ඉන්න කාලේ අපි හිටපු ගෙදර අහල පහල මගෙ වයසෙ  ළමයි හිටියෙ නෑ සෙල්ලම් කරන්න. ඒක නිසා මට සිද්ධ වුනා තනියම සෙල්ලම් කරන්න ගෙදර ඉන්න වෙලාවට. කෝච්චි එක්ක බැඳිල තිබුන ආසාව නිසා මගෙ ලොකුම විනෝදංශයට සම්බන්ධ වුනෙත් කෝච්චි.
ගෙදර සාලෙ බිම මං ඇඳලා තිබුනා රටේ හතර දිසාවටම යන කෝච්චි පාරවල් ටික පාට කූරු වලින්. කෝච්චි හතරක් පහක් විතර හදාගෙන තිබුනා හිස් ගිනි පෙට්ටි වලින්. ඊට අමතරම කෝච්චි වලට විශේෂිත නම් තියෙනවනෙ. ඔය නම් ටිකත් පාඩම්. මගෙ වැඩේ තමයි ඔය කෝච්චි එලවන එක. මුලින්ම මං නිවේදනය කරනවා කෝච්චියෙ ගමනාන්තය ගැන, අතරමග නැවතුම් පලවල්. මගෙ ආසම කෝච්චි නිවේදනය තමයි බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකෙ දුම්රිය නිවේදනය. මට තාමත් බදුලු කෝච්චිය නවත්තන දුම්රිය ස්ථාන මතකයෙ තියෙනවා. කාලයත් එක්ක සමහර වෙලාවට වෙනත් දුම්රිය ස්ථාන වල කෝච්චිය දැන් නවත්තනවා ඇති.
අනිත් ආසම නිවේදනය තමයි ත්‍රිකුණාමල කෝච්චියෙ නිවේදනය. ඔය මන්නාරමට කෝච්ච් යන එක නවත්තලා සැහෙන කාලයක් වුනත් මගෙ කෝච්චි මන්නාරමට විතරක් නෙවෙයි යාපනයටත් ගියා. කෝච්චි නිවේදන තනියම කියවනව ඒ කාලෙ කවුරු හරි බලාගෙන හිටියනම් “මේ ළමයට පිස්සු” කියලා හිතන්නත් ඉඩ තිබුනා. හැබැයි මට ඇති වෙනකම් ඔය වැඩේ කරන්න උපරිම නිදහස ලැබිල තිබුනා. රට තොට ගැන , සමාජ අධ්‍යනය වගේ පාඩම් වල මූලික දේවල් ඉගෙන ගන්න ලැබුනෙ ඔය විනෝදංශය  හරහා තමයි. මං අහන දේවල් කියල දීලා තාත්ත මට නිහඬවම අනුබලය දුන්නා.
අවසානයේදි ඉහළ පන්ති වලට එද්දි විනෝදාංශය මග ඇරිලා ගියා. කෝච්චි ඩ්‍රයිවර් මහත්තයෙක් වීමේ ආසාව ඉටු කරගන්නත් බැරිවුනා. දුම්රිය වර්ජනයක් තිබුන දවසක කෝච්චි ඇන්ජිමක එල්ලිලා ගියා මිසක් වෙන අවස්ථාවක් ලැබිලත් නෑ. වැල යන අතට මැස්ස ගැහීමේ න්‍යාය අනුගමනය කරලා දැන් හිත හදාගෙන  ජීවත් වෙනවා. ඕනෑම ළමයෙක්ට තමන්ට ආවේණික සිහින තියෙනව. වැඩිහිටියන්ගෙ වගකීම ඒව සිනහවට ලක් නොකර ස්භාවිකව ළමයා සතු හැකියාවන් වර්ධනය වෙන්න ඉඩ දෙන එක තමයි. හිතන්නට යමක් ඉතුරු කරලා මෙවර “මගේ සටහන” නිමා කරනවා. නැවත හමුවෙමු.

Advertisements

7 thoughts on “කෝච්චි ඩ්‍රයිවර්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )