උසස් පෙළ

“මගේ සටහන” මේ ලියවෙන්නෙ හයවන ලිපිය. සතියක් පාසාම වගේ අලුතෙන් ලිපිය කියවන කිහිප දෙනෙක් හඳුනා ගන්න ලැබෙනවා. ඒක බොහොම සතුටට කාරණාවක්, යාලු මිත්‍රයො ආශ්‍රය කරන්න ලැබීම. කොහොම වුනත් ඒක “මගේ සටහන” ලියන්න ලැබෙන දිරි ගැන්වීමක්. “ජීවිතෙ ගෙවෙන්නෙ කිසිම දෙයක්  අලුතෙන් එකතු වෙන්නෙ නැතුව , බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි” . ඔය ටික මගෙ දින පොතේ ලියවුන පේලියක්. “මගේ සටහන” නිසා දින පොත ලියවෙන එක ටිකක් අතපසු වෙනවා. කොහොමින් හරි වැඩ දෙකම කරගෙන යන්න කියලා කල්පනාව තියෙන්නෙ. එහෙනම් ඉතින් “මගේ සටහන” හය වන දිග හැරුමයි මේ.

මං උසස් පෙළට හැදෑරුවෙ ගණිත විෂය ධාරාව.  උසස් පෙළ කරපු අවධිය බොහොම සුන්දර කාලයක්. මෝඩ වැඩ බහුලව කරපු, මදි නොකියන්න පාඩම් ඉගෙන ගන්න ලැබුනු කාලයක්. හැදෑරුවෙ ගණිතය විෂයන් වුනාට මට ගණන් බෑ ඒ දවස් වල. සංයුක්ත ගණිතයට වැලේ වැල් නෑ. උදේ ඉස්කෝලෙ යනවා, සෙනසුරාදා  ඉරිදා අමතර පන්ති යනවා. මොනවා කලත් වැඩ සවුත්තුයි. සාමාන්‍යයෙන් හැම පාසල් වාරයක් අවසාන වෙලා විභාගය එහෙම පැවැත්වුනාට පස්සෙ දෙමවුපියන්  කැඳවලා රැස්වීමක් තියෙනවා. මෙතනදි තමයි තමන්ගෙ දරුවගෙ අධ්‍යාපන වැඩ කටයුතු වල තත්වය ගැන දෙමවුපියන්ට දැන ගන්න ලැබෙන්නෙ. ඔය දවස මං සාමාන්‍යයෙන් හරි අකමැති දවසක්. මොනව කළත් එදාට දෙමවුපියන්ගෙන් එක් කෙනෙක් හරි සහභාගි වීම අනිවාර්යයි. ගොඩක් ළමයින්ගෙ අම්මා තාත්තා දෙදෙනාම එනවා. තාත්තා හයේ පන්තියෙදි මිය ගිය නිසා අම්මා විතරයි එන්නෙ. සමහර වෙලාවට දුකත් හිතෙනවා අනිත් ළමයින්ගෙ තාත්තල එනවා දකිනකොට.වෙන්වීම කියන එකේ බරපතලකම වැඩි වැඩියෙන් ඒ වගේ වෙලාවට දැනෙනවා. මමත් ඉතින් සාමාන්‍ය පෙළ පන්තියට එනකම්ම  නොවැරදීම අම්මව එක්කගෙන යනවා ඔය ගුරු දෙගුරු රැස්වීම තියෙන දවසට. හැබැයි උසස් පෙළ පන්තියෙදි එකඑම එක වතාවයි අම්මව එක්ක ගෙන ගියෙ. ඇත්තම කියනවනම් ඊට පස්සෙ කවදාවත් එක්ක ගෙන ගියෙ නෑ. මොකක් හරි බොරුවක් කියල බේරෙනවා. ප්‍රගති වාර්තාවෙ ලකුණු  දැක්කනම් අම්මට ලැජ්ජ හිතෙනවා ඒ දවස් වල. ගණිතයට කොච්චර දුර්වල වෙලා හිටියද කියනවනම් දොළහෙ පන්තියෙදි ගණිතයට ලකුණු තිස් හයයි. ජීවිතේට එච්චර අඩු ලකුණු හම්බ වෙලා නෑ. ඊළඟ වතාවෙ වැඩි ලකුණු ගන්න පොරොන්දුව පිට බැණුම් අහන්නෙ නැතුව බේරුනා. එහෙම වුනාට වැඩි දෙයක් කරන්න බැරිවුනා අනිත් වතාවලදිත්. හෙමිහිට ටිකක් බොරු කියලා ෂේප් වෙනවා.

ආපහුව හැරිලා බලද්දි උසස් පෙළ කරන කාලෙ පසුබෑම් වලට හේතුව නොහැකියාවමත් නෙවෙයි. පණ්ඩිතකම තමයි ප්‍රධාන හේතුව. අපේ පන්ති භාර ගුරුතුමිය හැමදාම කියනවා උදේ හතරට නැගිටලා පාඩම් කරන්නෙයි කියලා. පන්තියට ගියාම අහනවා “අද උදේ නැගිටල මොනවද පාඩම් කලේ” කියලා. හැමදාම කලේ බොරු කියන එක තමයි. අපරාදෙ කියන්න බෑ අපිමයි රැවටුනේ. උසස් පෙළ කරපු කාලෙටම එකම එක දවසක් උදේ හතරට නැගිටලා තියෙනවා පාඩම් කරන්න. ඒකත් සති ගානක් තිස්සෙ කල්දමමින් ඉඳල කලේ. අම්මටත් සන්තෝස හිතුනා පුතණ්ඩියා උදේ නැගිටපු එකට  පාඩම් කරන්න. අම්මත් ඉක්මනට අවදි වෙලා තේ එකක් එහෙම හදල දුන්නා. මාත් තේ එක  බීලා ආයෙමත් හතරහ මාරට විතර නිදාගත්තා. පාඩම් කරන්න කියල පාන්දර නැගිටපු එකම ප්‍රථම සහ අන්තිම දවස ඒක තමා. විශ්ව විද්‍යාලෙ විභාග ගොඩ දාගන්න බැරිම බව තේරෙන කොට ප්‍රශ්න පත්තරේ තියෙන දවසෙ උදේට නැගිටිනවා. පාඩම් ඉගෙනගත්ත නිසා අර පණ්ඩිතකම දැන් ටිකක් අඩු වෙලා තියෙන්නෙ.

උසස් පෙළ පන්තියෙදි අපිට සංයුක්ත ගණිතය උගන්වපු ගුරුවරයා තරමක් අපූරු චරිතයක්. කිසිම අනුකම්පාවක් නෑ ළමයින්ට. ළමයින්ට ගුටි බැට දෙන්න පසුබට වෙනනෙ නෑ. හැබැයි ළමයින්ට ශාරීරිකව දඬුවම් දුන්න ගුරුවරුන්ට වඩා වැරදි තෙරුම් අරගෙන කටයුතු කරපු ගුරුවරු ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් තියෙනවා. ඉතින් අපේ ගණිත ගුරුවරයා බොහොම උගත් කෙනෙක්. ගණිතය විෂයට ගෞරව උපාධියක් තිබුනු කෙනෙක්. අසීරු ගණිත ගැටඵවක් විසඳන එක ඒ ගුරුවරයට ලොකු ආශ්වාදයක්. ඒක එතුමා විස්තර කරන්නෙ මෙන්න මෙහෙම.

“අයිසෙ , ඔය ගාණක් මහන්සිවෙලා හැදුවම තියෙන ආතල් එක හරියට කෙල්ලෙක් දාගත්තා වගේ, ඒක නිසා ට්‍රයි කරනව අත අරින්නෙ නැතුව”. අපේ පන්තියෙ සමහරුන්ට පෙම්වතියො හිටියා. සමහරු ගණිතයට අතිශයින් දක්ෂයි. අපිට ගණන් හදන්නත් බෑ, කෙල්ලෙකුත් නෑ. ඒක නිසා අපිට ආතල් නෑ. අපි ඉතින් පුලුවන් නම් ගණන් පීරියඩ් එක වෙලාවට කට්ටි පනිනවා. නැත්තම් බොරුවට ගණන් හදන්න උත්සහ කරනව වගේ පෙන්නනවා. ඒ දවස් වල ගණිතය වෙලාවට පන්තියෙ ඉන්න එක හරි භයානකයි. දවසක් සර් පොත් බැලුවා. ගැලවෙන්නෙ විදිහක් තිබුනෙම නෑ. මමත් කරන්න දෙයක් නැති තැන ගිහින් පොත පෙන්නුවා. සර් ට කොච්චර කේන්ති ගියාද කියනවනම් මගෙ පොත  පන්තියෙ පිටි පස්සට පියාඹල ගියා. මමත් හෙමිහිට ගිහිල්ලා පොත ඇහිඳගෙන ඇවිල්ලා වාඩි වුනා. සාමාන්‍යයෙන් ගෙදරදි හදාගෙන එන්න ගණන් දෙනවනෙ. විස්සක් දුන්නොත් උපරිම දෙකකට වඩා හදන්නෙ නෑ. වෙන මොනව හින්දමත් නෙවෙයි බැරිකම නිසා. පහුවදා උදේට ගිහිල්ලා හදපු ළමයෙක් ගෙන් කොපි කරන එක තමා කරන්නෙ. හැබැයි ඒක අනිත් ළමයින්ට කොච්චර වදයක් වෙන්න ඇතිද කියලා දැන් තමා තේරෙන්නෙ. ඒ දවස් වල කාගෙන් හරි කොපි කරනවා ඇරෙන්න තනියම ගාණක් හදන්න උනන්දුවක් තිබුනෙත් නෑ. හැබැයි දවසක් අපෙ පන්තියෙ සඟයෙක් කෙලින්ම කිව්වා “මේක මාර වදයක්නෙ , අනිත් දවසෙ තනියම හදාගෙන වරෙං” කියලා. එදා නම් පොළොව පලාගෙන යන්න හිතුනා ලැජ්ජාවට. ඊට පස්සෙ ඒ සඟයගෙන් කොපි කරන්නෙ නැතුව අනිත් සඟයන්ගෙන් විතරක් කොපි කලා. අපරාදෙ කියන්න බෑ අන්තිම මොහොතෙ හරි මහන්සි වෙලා අපේ සඟයො වැඩි දෙනෙක් විශ්ව විද්‍යාලෙ  යන්න සමත් වුනා.

ගණිතය විතරක් නෙවෙයි අනිත් විෂයන් දෙකත් බෑ. රසායන විද්‍යාව ඉගැන්නුවෙ අපේ පන්ති භාර ගුරුතුමිය. සතියට දවස් දෙකක් වත් පන්තියෙ හිට ගෙන ඉන්නව මුල දවස්වල වැඩ කරන්නෙ නැතුව. අන්තිමේදි කියල කියල බැරිම තැන අපිට දඬුවම දෙන එක අත අරින්න ඇය තීරණය කලා. ඒකත් අපි ලබපු සැබෑ ජයග්‍රහණයක්. වැඩ නොකර ඉඳලමයි ජයගරහණය කලේ. ඒකේ සැබෑ ප්‍රථිඵලය පළවන වතාවෙ  උසස් පෙළ ප්‍රථිඵල ලැබුනම විඳගන්න ලැබුනා. එවෙලෙ තමයි හිතුනෙ අනේ අපොයි කියලා. අනිත් විෂය භෞතික විද්‍යාව. කවදාවත් ලකුණු හතළිහකට එහා පැත්තෙ අරගෙන නෑ. කොහොමටත් මගෙ උසස් පෙළ හදාරන අවධියෙ පාසල් ප්‍රගති වාර්තාවෙ කිසිම කෙනෙකුට හොයාගන්න බැරිවෙන්න ඒ කාලෙම හැංගුවා. අඩුම ගානෙ කොහෙ හැංගුවද කියලා මටවත් මතක නෑ දැන්. භෞතික විද්‍යාව කාල පරිච්චේදය කට්ටි පනින්න ලේසියි. එක විනාඩියක් පරක්කු වුනත් පන්තියට ඇතුල් වීම තහනම්. පනින රිළවුන්ට ඉණිමං බඳින්න ඕන නෑ කියලා කතාවට කියනවනෙ. අපෙ පන්ති ළඟට වෙන්න තමා පුස්ථකාලය තිබුනෙත්. හෙමිහිට ඒකට රිංගගෙන ඉන්නවා වෙලාව එවර වෙනකම්. ඔය වගේ ඉතා හොඳට අධ්‍යාපනය කරපු නිසාම උසස් පෙළ පන්තියෙදිත් දහවෙනියගෙන් ඉහළ ස්ථානයක් ගන්න බැරිවුනා. ඒකට ඉතින් කාටවත් වැරද්දක් කියන්නත් බෑ. අපි කරපු හැටියට තමයි අපට ප්‍රථිඵල ලැබුනෙ. 

කොහොමටත් මං ඉස්කොලෙ යන්නෙ අට පහුවෙලා. ඒ දවස්වල පාසල පටන් ගත්තෙ අටට. මං ආවෙ ගියෙ දුම්රීයෙ. උදේට රාගම ඉඳන් පාසලට එන්න වැඩි වෙලාවක් ගතවෙන්නෙ නෑ. මම කොහොමත් උදෙන්ම ගෙදරින් එනවා. නමුත් පන්තියට යන්නෙ පාසල ආරම්භ වුනාටත් පස්සෙ. අපේ පන්ති භාර ගුරුතුමියට තිබ්බ ප්‍රධාන ප්‍රශ්නෙ වේයන්ගොඩ, මීරිගම වගේ දුර ඉඳලා දුම්රියෙ එන ළමයි වෙලාවට කලින් පාසලට එද්දි මං විතරක් ප්‍රමාද වෙන්න හේතුව මොකද කියන එක. දවසක් ගුරු දෙගුරු රැස්වීමකදි අපේ අම්මගෙ අවධානයට ඔය කාරණාව ගුරුතුමිය යොමු කලා.  පව් පින් සලකන්න ගියොත් බේරෙන්න බැරි නිසා මොකද්දෝ ගල් පැලෙන බොරුවක් කියලා ජාම බෙරගත්තෙ. ඒ කාලෙ කරපු වැඩ වලට මේ වෙනකොට අම්ම ගෙන් සමාව ලැබිල තියෙන නිසා දැන් ඉතින් ආරංචි වුනත් කමක් නෑ කියල ලියල දානව කරපු වැඩ. එහෙනම් ඉතින් නැවත “මගේ සටහන”  කින් හමුවෙන තෙක් ආයුබෝවන්.
 

Advertisements

3 thoughts on “උසස් පෙළ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )