නොසිතු දේම සිදුවේ

“මගේ සටහන” ට දිගින් දිගටම ප්‍රතිචාර ලැබෙනවා. ඒ සීයලු දෙනාටම නැවත වාරයක් තුති පුද කරනවා. ඒ වගේම නොනවත්වා ලියන්න දිරි ගැන්වීම් ලබා දීම ගැන සතුටුයි. එහෙනම් ඉතින් මෙවර “මගේ සටහන” ආරම්භ කරනවා.

“මගේ සටහන” සතිපතා ලියවෙන්නක් වුනත් මේ සතියෙ සටහන බොහෝ දුරට ලියන්නෙ නැතිව ඉන්න ඉඩ තිබුනා. එහෙම වුනේ ගිය සති අන්තයේ මුහුණ දීමට සිදු වුන යම් සිද්ධියක් නිසා.අන්තිමේදි ළඟ හිටපු යාලු මිත්‍රයන්ගේ පිහිටෙන් බෙල්ල බේර ගන්න ලැබුනා. වෙච්ච වැඩේ මේ වගේ ප්‍රසිද්ධ තීරු ලිපියකින් කියන්න අමාරුයි. ඒක නිසා කියවන උදවිය අමනාප වෙන්න එපා. “දන්නෝ දනිති, නොදත්තෝ කට ඇරගෙන බලා සිටිති”.  කොහොම වුනත් හැම දේම සිද්ධ වෙන්නෙ බොහොම අනපේක්ෂිත විදිහට. පහුගිය දවසක  නුගේගොඩ නගරයෙ බෝම්බ පිපිරීම සිද්ධ වුනු දවසෙ මමත් ගියා. මං යනකොට විනාඩි පහක් වත් ගතවෙලා තිබුනෙ නෑ. වැරදිලාවත්  නුගේගොඩ නොයන මට එදාම අවශ්‍යතාවයකට යන්න සිද්ධ වුනා. කාල වේලාව සුලු එහා මෙහා වීමකින් අපේ විශ්ව විද්‍යාල සඟයෙක් තමන්ගෙ ජීවිතේ බේරගෙන තිබුනා. නමුත් තවත් උදවිය අවාසනාවන්ත වුනා. කල්පනා කරලා බලද්දි අනපේක්ෂිතව සිදුවෙන සිදුවීම් වලට මුහුණ දෙන්න අපිට හැකියාව තියෙන්න අවශ්‍යයයි කියලා හිතෙනවා. මං ඉතා තදින් ආස කරන කථාවක් තියෙනවා. සමහරවිට මේක පොතක පළවුනු එකක් වෙන්න ඇති. නමුත් මේ කථාවෙ අපූරු ජීවන දර්ශනයක් ගැබ්වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක්  කියන්න හිතුනා.

ඔය චීන රටේ තියෙනවනෙ සෙන් ආශ්‍රම. ඒවා ඉතාමත් විනයානු කූල සහ විධිමත් අධ්‍යාපන ආයතන ලෙස ප්‍රකටයි.  දවසක් එක්තරා ගමක හිටපු තරුණයො දෙදෙනෙක් ඔය සෙන් ආශ්‍රමයක නැවතිලා සටන් ක්‍රම හැදෑරීමෙ අරමුණින් ගෙදරින් පිටත් වුනා. මේ දෙන්නා අතරමග හිටිය උදවියගෙන් මග සලකුණු අහගෙන තමයි පිටත් වුනේ. ඔහොම යද්දි එක්තරා මංසන්ධියකට ළඟා වුනා මේ දෙන්නා. වටපිට බලද්දි හිටියලු වයසක මිනිහෙක්. ඒ මහල්ල ගෙන් ඇහුවලු අර ආශ්‍රමයට යන පාර. ඒ මහල්ලා කීවලු “වම් පස මාර්ගය ළඟයි. නමුත් සොර සතුරු උවදුරු බහුලයි, එම නිසා දකුණු පස මාර්ගය වඩා යහපත්” කියලා. මේ දෙන්නත් මහල්ලගෙ කීම පිළි අරගෙන දකුණු පස මාර්ගය ඔස්සෙ  ගමන් ආරම්භ කලාලු. නමුත් අතරමගදි සොරුන් කණ්ඩායමකට අහුවෙලා මේ දෙන්නා සතු සියලුම දේවල් අහිමි වුනාලු . ඉතින් යන්තම් බේරිලා ආශ්‍රමයට ළඟාවුනාලු මේ දෙන්නා. එතකොට ආශ්‍රමයෙ ප්‍රධාන හිමි නම මෙයාලා පිළිගෙන ඇහුවලු මොකද වුනේ කියලා. ඉතින්  විස්තරේ කිව්වම ප්‍රධාන හිමි නම ප්‍රශ්නයක් යොමු කරාලු. ප්‍රශ්නෙ තමයි මේ සිද්ධියෙන් ගත යුතු පාඩම මොකද්ද කියන එක. පළවන තරුණයා කිව්වලු “මිනිස්සු කියන කිසිම දෙයයක් විශ්වාස කරන්න හොඳ නෑ” කියලා. දෙවන තරුණයා කිව්වලු “බලාපොරොත්තු නොවන දේ සිදුවිය හැකි බව බලාපොරොත්තු විය යුතුයි”. අන්තිමේදි ප්‍රධාන හිමි නම දෙවන තරුණයා විතරක් රඳවගෙන අනෙක් තරුණයා ආපසු පිටත් කලාලු. සරලව කියනවනම් නොහිතන දේ සිද්ධ වෙන බව අවබෝධ කරගෙන ඉන්න එක හොඳයි. කතන්දරේ කිව්වට මුකුත් හිතන්න එපා. ජීවිතේ සිද්ධ වෙන දේවල් වලට වැටෙන්නෙ නැතුව කටයුතු කරගෙන යන්න ඒ විදිහට හිතන එක වැදගත් කියලා හිතුන නිසයි ලිව්වෙ.

එක අතකට ජීවිතෙ ටිකක් නිදහස් මේ දවස් වල. මොකද විශව විද්‍යාලෙ යන්න නැති නිසා. ගියානම් assignment , project සහ lectures . ටික දවසක් කරගෙන යනකොට එපා වෙනවා. අපි ඉතින් හැමදාම කලේ ඔය විභාග ලියන එක තමයි. කවදා ඉවර වෙයිද කියලා බලාගෙන  ඉන්නෙ.අපේ බැචාලට කොච්චර කිව්වත් කට්ටිය සෙට් වෙන්න කතා කලහම මග අරිනවා. එක්කො මොකක් හරි වැඩක් කියයි, ගමේ යනවා කියයි. තව සඟයෙක් කිව්වා ගෙදරින් එලියට බහින්න බයයි මේ දවස් වල කියලා. අන්තිමේදි මම තීරණය කලා කාටවත්ම ඔය සෙට් වෙන්න අඬගහන්නෙ නැතුව ඉන්න මීට පස්සෙ. කස කාරයො නැති වුනාට පෙරහැර යයිනෙ කරදරයක් නැතුව.
කාලයත් එක්ක මිනිස්සු කොහොමත් වෙනස් වෙනවනෙ. ඒකට නොයෙක් හේතු සාධක බලපානවා. අතේ මිටේ මුදල් හදල් නැති වුනාම හරි කරදරයි. ඉබේම වෙනස් වෙන්න සිද්ද වෙනවා. ඔය කාරණාව සමහර විට හරි අපූරු  ආකාර වලින් බලා ගන්න පුලුවන්. මොකද දන්නවද කාරණය. ඉස්සර උදේ අපේ ගෙවල් ගාව බස් නැවතුමේ ඉන්න කොට තව ගමේ අඳුරන උදවිය හම්බ වෙනවනෙ. ගොඩක් වෙලාවට බස් ටිකට් එකට අනුග්‍රහය දක්වන්න අඳුරන උදවිය පැකිළෙන්නෙ නෑ ඒ දවස් වල. මොකද බස් ගාස්තු , ජීවන වියදම මේ තරම් තදට දැනුනෙ නෑ නෙ. දැන් ඉතින් වැරදිලා  ගත්තොත් මිසක් ටිකට් ගන්නෙ නෑ වෙන කෙනකුට. වැඩේ ඉතින් මට පාඩුයි.  දැන් රුපියල්එකොළහෙ ටිකට් එක ඒ දවස් වල රුපියල් තුනයි. පහේ පන්තියෙ ඉන්න කොට මං ඉස්කෝලෙ ආවෙ ගියෙ තනියම. හැමදාම උදේට අම්මා රුපියල් පහක් දෙනවා. යන්න එකයි පනහයි. එද්දි රුපියල් තුනයි.
යද්දි අඩු මුදලකුයි එද්දි වැඩි  මුදලකුයි වැය වෙන්න හේතුව මේකයි. උදේ යද්දි ගෙවල් ගාව ඉඳන් කඩවතට යන්න තනි බස් එකක් තියෙනවා. කඩවත ඉඳලා ඉතුරු දුර යන්නෙ පයින්. එනකොට එන්න වෙන්නෙ රාගම හරහා. ඒක බස් දෙකක ගමනක්. භාගෙ ටිකට් එක එකයි පනහයි . දවසට සත පනහක් ඉතුරුයි. කොහොමටත් ඒ දවස් වල ගෙදරින් අමතර මුදල් දෙන්නෙ නෑ. ඒ තරම් අවශ්‍යතාවයක් දැනුනෙත් නෑ. එච්චර කඩචෝරු කන්න පුරුදු වෙලත් හිටියෙ නෑ මම. ඉතුරු සල්ලි වලට කරපු දේවල් මතක නෑ දැන් නම්. මොනව වුනත් පොඩි දවස් වල සල්ලි නාස්ති කරන්න පුරුදු වෙලා හිටියෙත් නෑ. හැබැයි බස් එකේ කෝච්චියෙ යද්දි පුංචි කට්ට වැඩ කරලා තියෙනවා ගාන ඉතුරු කර ගන්න. සාමාන්‍යයෙන් අවුරුදු දොළහට අඩු ළමයින්ට විතරනෙ භාගෙ ටිකට් වලින් යන්න පුලුවන්. මම ඉතින් නවයෙ පන්තියෙදිත් භාගෙ ටිකට් අරගෙන යන්නෙ. කොන්දොස්තරට සැක හිතුනට හොයලා බලන්න විදිහකුත් නෑ නෙ. ඒ දවස් වල බස් එකේ යද්දි මට වයස දොළහයි අනිත් වෙලාවට දාහතරයි. දහයෙ පන්තියෙදි වැඩේ නවත්තන්න වුනා  මොකද දිග කලිසම් ඇඳගෙන අවුරුදු දොළහයි කියලා කියන්න බෑනෙ. දහයෙ පන්තියෙ ඉඳන් ආවෙ ගියෙ කෝච්චියෙ. ඔය වයස ඉතින් විරුද්ධ පාර්ශවයෙ උදවිය කෙරෙහි පිරිමි ළමයින්ගෙ අවධානය යොමු වෙන්න පටන් ගන්න අවධිය.ඒ කාලෙ ගැන කියන්න තරම් වරදක් නෑ.  කොච්චර බැණුම් ඇහුවත් යන්නෙ පා පුවරුවෙ. පණ්ඩිත කම ඉහටත් උඩින්. දැන් තමයි ඒක කල්පනා වෙන්නෙ. එක දවසක් වැටෙන්නත් ගියා පා පුවරුවෙ යද්දි.
 පුරුවෙ වාසනාවක් තිබිලද කොහෙද වෙන මගියෙක් අල්ල ගත්තා වැටෙන්න නොදී. එහෙම නොවුනම්  “මගේ සටහන” උපන් ගෙයිම මිය යනවා සිකුරුයි.  අවට හිටපු කිහිප දෙනා හොඳ බැණුම් වරුසාවකින් සංග්‍රහ කලා. ඒ බැණපු හැටි තාම මතකයි. ඒ වාඩේ නතර කලේ මගේ ඇස් ඉදිරි පිටදිම පාසල් සඟයෙක් පා පුවරුවෙ ගිහින් අනතුරට පත් වෙනවා දැකලා. එදා නම් හොඳට බය වුනා. ඕනැවට වඩා පණ්ඩිත වීම හොඳ නැති බව තේරුම් ගත්තා ඒ සිදුවීම නිසා.කොහොමටත් ගැටවර වයසෙදි අපි හැමෝම එහෙමයි. කවුරුවත් කියන දෙයක් අහන්න කැමති නෑ. මොකක් හරි සිද්ධ වුනාම තමයි බරපතල කම ඔලුවට යන්නෙ. තව බොහොම සුන්දර දේවල් තියෙනවා කියන්න. ඉදිරි ලිපි වලදි nහෙමිහිට කියන්න බලාපොරොත්තුවෙන්ඉන්නවා. “මගේ සටහන” හරහා ආගිය තොරතුරු මතක් වෙද්දි සතුටක් දැනෙනවා. ගොඩක් දේවල් ඔලුවට එන නිසා “මගේ සටහන” ටිකක් අපිළිවෙලයි කියලත් හිතෙනවා වෙලාවකට. ඒක නිසා කියවන උදවිය ප්‍රතිචාර දක්වන තරමට වැඩේ නැගලා යයි. කලින්ම කිව්වා වගේ මේ සතියෙ ලිපිය කළබලකාරී වාතාවරණයක් මැද ලියවුනේ. තැනින් තැන අහුල ගත්තා වගේ දැනෙනවා.ලිපිය ඉවර කරන්න කලින් නුගේගොඩදි වෙච්ච අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරට පත් වුනු සියලු දෙනා ගැනම ශෝකය ප්‍රකාශ කරනවා. මැති ඇමතිවරුන් පිරිවරාගෙන ආරක්ෂකයො හිටියට අපි වගේ සාමාන්‍ය ජනතාවට තියෙන්නෙ මග තොටදි පරිස්සමින් යන එක තමයි. නැවත ලබන සතියෙදි “මගේ සටහන” හරහා හමුවෙමු.

Advertisements

4 thoughts on “නොසිතු දේම සිදුවේ

  1. නියම බ්ලොග් එකක්. මං ටික දවසකට කලිනුයි දැක්කේ. ඒත් මගේ අදහස් ලියන්න බැරිවුණා සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් තිබුණ නිසා. කොහොම වුණත් – නියමයි! 🙂

  2. අර්තවත් ආදර්ශයට ගන්නට හැකි කතාවන් මුසු කරමින් කියවන කෙනාට රසාස්වාදයට වැඩි යමක් දීමට උත්සහයක් දරල තියනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )