ඒ දවස් වල

“මගේ සටහන” දෙවන ලිපියටත් හොඳ ප්‍රතිචාරයක් ලැබුනා. සමහර උදවිය බොහොම අපූරු ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒ හැමෝටම තුති. කොහොම වුනත් මගේ එක සඟයෙක් කිව්වා ටෙනිසන් කුරේගෙ විහිලු මීට වඩා හොඳයි කියලා. ඒකට ඉතින් කියන්න තියන්නෙ ඒ වගේ හැකියාවක් තිබුනා නම් මේ වැඩේ අත ඇරලා රඟගපාන්න යනවා. එතකොට හොඳ ගානක් වත් හොයාගන්න තිබුනා. ඇත්තටම “මගේ සටහන” කියන්නෙ සතිපතා ලියන විහිලු කථාවක් නොවන වග කියන්න අවශ්‍යයයි. කොහොමටත් මගේ ජීවිතෙ වෙච්ච දේවල් ජෝක් නෙවෙයි. ඒවායෙ යම් කිසි හාස්‍යජනක භාවයක් තියෙන්න පුලුවන්. මුලින් දවසක කිව්වා වගේ “මගේ සටහන” ලියන්න ඇත්ත හේතුවමේකයි. ලිවීමේ හැකියාව කෙසේ වෙතත් මොනවහරි ලියන්න ආසාව පාසල් යන කාලෙ ඉඳලා තිබුනා. අනිත් කාරණාව පහුගිය කාලෙ නොයෙක් ආකාරයෙ මානසික පසුබෑම් වලටත් මුහුණ දෙන්න සිද්ධ වුනා. මේ හේතු නිසා යම් ආකාරයක වෙනස් වැඩක යෙදීමෙ උවමනාව තදින්ම දැනුනා. හැබැයි අපරාදේ කියන්න බෑ දැනටමත් “මගේ සටහන” ට අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුලුවන් තරමෙ පාඨක පිරිසක් ඉන්නවා. මගේ කල්පනාව හැකි ඉක්මනින් අතේ ඇඟිලි වලින්පමණක් ගණන්  කරන්න පුලුවන් පිරිස අත් සහ දෙපා වල ඇඟිලි වලින් ගණන්  කරන ප්‍රමාණයට වැඩිකර ගැනීම. ඉතින් එහෙනම් තුන් වන ලිපිය ආරම්භ කරනවා.

ගිය සතියෙ කිව්වෙ පොඩි කාලෙ කථා. අදත් කියන්නෙ පාසල් යන කාලෙ සිදුවීම්. ඕනෑම මිනිහෙක් ජීවිතේ අනන්තවත් මෝඩකම් කරනවනෙ. පාසල් යන කාලෙ ඔය වගේ වැඩක් කලා. මං ගිය සතියෙ කිව්වනෙ පහ වසර වෙනකම් ගිය පාසල ගැන. අපේ පාසලට තිබුනා ශබ්ද විකාශන යන්ත්‍රයක්. හැමදාම උදේට ආගම සිහි කරන එක හැම පාසලකම කරන වැඩක්. අපේ පාසලෙත් උදේට පන්සිල් ගන්නවා. පාසල පොඩි වුනාට වැඩේ කෙරෙන්නෙ ශබ්ද විකාශන යන්ත්‍රය උපයෝගි කරගෙන. දවසින් දවස එක එක පන්තියෙ ශිෂ්‍යන්ට පන්සිල් දීමේ කාරිය පැවරිලා තිබුනා. ඔය වැඩේ අපිට පැවරිලා තිබුන දවසක මං තවත් පන්තියෙ මිතුරෙකුට පන්සිල් කියන අතරවාරයෙදි පහත් හඬින් යම් රහසක් කියමින් හිටියා. මටත් අමතක වුනා මයීක්‍රෆෝනය තිබුනෙ මට ආසන්නව වග. අන්තිමේදි සතර කන් මන්ත්‍රණය මුලු පාසලටම ප්‍රසිද්ධ රහසක් වුනා. ඒ වැඩේටත් විදුහල්පතිනියගෙන් ලැබුනා බැණුම් වරැසාවක්. තාමත් හැබැයි ඉඳලා හිටලා හරි මෝඩ වැඩක් කරන එක නැවතිලා නෑ. ළඟදි දවසකත් අපේ විශ්ව විද්‍යාල සඟයෙක් දුන්න ලණුවක් හොඳට ගිල්ලා. ඒක වෙන දවසක කියන්නම්.

පාසල් යන කාලෙ විනෝදජනක කාලපරිච්චේද වගේම කිසි ගතියක් නැති කාලවලුත් තිබුනා. පහේ පන්තිය වෙනකම් පාසල් ගිය කාලය බොහොම විනෝද ජනකයි. සැහැල්ලුවෙන් ගෙවී ගිය කාලයක් විදිහට අදටත් මතක් කරන්න පුලුවන්. හයේ පන්තියෙ ඉඳලා අටේ පන්තිය විතර කාලය ඒ තරම් ආශ්වාදයක් තිබුනෙ නෑ. ඒකට මූලික හේතුවෙක් වුනේ තාත්ගෙ අකල් මරණය නිසා කියලා හිතෙනවා. තාත්තා මියගියේ මං හයේ පන්තියෙ ඉන්න කොට. ඒ එක්දහස් නවසිය අනූ පහේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ. තවත් කාරණාවක් තිබුනා. ශිෂ්‍යත්වය සමත් වෙලා වෙනත් පාසලකට යන්න සිදුවීම. හැමදාම ආවෙ ගියෙ පාසල් වෑන් රථයෙ. ඒක මාව හොඳටම හෙම්බත් කලා. අලුත් පාසලට හුරු වෙන්නත් සෑහෙන කාලයක් ගතවුනා. මුල් දවස් වල විවේක කාලයෙදි පන්තිය පෙනෙන තෙක් මානයෙන් එහාට යන්නෙම නෑ. ඒක කෙනෙකුට බොහොම බියගුලු වැඩක් බව පෙනෙන්න පුලුවන්. නමුත් මට හිතෙන්නෙ මිනිස්සු හැටියට අපි නොයෙක් දේවල් වලට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස්. සමහර වෙලාවට ක්ෂණිව සිදුවන වෙනස් කම් වලට හැඩගැහෙන්න මට යම් කිසි කාලයක් ගත වෙනවා. පහේ පන්තියෙදි මං දිගටම පළවෙනියා. මේ පාසලෙදි අඩුමගානෙ පහළොස් වෙනියා වත් වෙන්න බැරිවුනා. ඔය වාගෙ කාරණා වල සම්මිශ්‍රණයක් නිසා මං හිටියෙ එච්චරම උද්‍යෝගයකින් නෙවෙයි. ඒක නිසාම ඒ අවුරුදු තුන ගැන කථා කරන්න දෙයක් නැති තරම්.

පාසල් ජීවිතේ හොඳම කාලය වුනේ නවයෙ පන්තියෙ ඉඳන් එකොලහෙ පන්තිය ඉවර වෙනකම් ගතවුන කාලය. ඔය කාලයෙදි හමුවුන මිත්‍රයො තමයි අදටත් ඉතිරි වෙලා ඉන්නෙ. අපේ පන්තිය නම් දරලා තිබුනෙ ඉගෙනීමේ දක්ෂතාවලට නෙවෙයි. වැඩිපුරම විනය විරෝධි හැසිරීම් වලට ප්‍රසිද්ධ පන්තියක් හැටියට. ශිෂ්‍ය නායකන්ට කීකරු නොවීම නිසා විවේක කාලයෙදි මුලු පන්තියටම අව්වෙ හිටගෙන , දණ ගහගෙන හිටපු වාර මතක නැති තරම්. අනිත් ගුරුවරු අතරත් අපි ගැන එතරම් පැහැදීමක් තිබුනෙ නෑ. අපිට ඒකෙ එතරම් තැකීමක් නැති වුනත් අපේ පංතිය භාරව හිටපු ගුරුතුමිය බොහොම අපහසුතාවයකට පත් වුනා. ඇයත් තදින් වෙහෙසුනා අපිව පාලනය කරගන්න. නිශ්ඵල ක්‍රියාවල නිරත වෙන්න එපයි කියලා බණ පොත් වලත් කියලා තියෙනවනෙ. ආපහුව හැරිලා බලද්දි මමත් ඇතුලුව අපේ පන්තියෙ හිටපු ළමයි වැඩි කොටසක් දඩබ්බර උදවිය නොවෙයි. හැබැයි දඩබ්බරයො කිහිප පොලක් හිටියා. ඒ කාලෙ හොඳම දඩබ්බරයා තේරුවා නම් අවසාන දොළොස් දෙනා අතරට එනවා ස්ථිරයි. අපි කලේ අර කිහිප දෙනා කරන වැඩ වලට උල් පන්දම් දෙන එක. ප්‍රථිඵල හවුලෙ විඳගන්න ලැබුනා. අනික ඒ කිහිප දෙනාගෙ වැඩ වලට විරුද්ධ වෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ. ආණ්ඩු පක්ෂය විතරයි කිසිම විරුද්ධ පාර්ශවයක් නෑ. අපිත් ඉතින් කාර්ය භාරයක් නැති ඇමතිවරු වගේ හෝයියා කිය කිය හිටියා. කොහොමත් හැමතැනදිම ඔහොමනෙ. කීප දෙනෙක් කෑ ගහනවා. අනිත් අය කර ගන්න දෙයක් කරගත්තාවෙ කියලා මග ඇරලා ඉන්නවා. ඔය වගේ සිද්ධි වලට උදාහරණ පස්සෙ කාලවලදි අත් දැකලා තියෙනවා. ඒවා වැඩිය ලියන්න යන්නෙ නෑ. තොප්පිය හරි නම් දා ගත්තාවෙ.

අපේ දඩබ්බර කම් වලට අමතරව අපේ පංතිය භාරව හිටපු ගුරුතුමිය අප්‍රිය කරපු තවත් කාරණාවක් තියෙනවා. අර කතාවට කියනවනෙ කොල්ලොයි බල්ලොයි එක වගේ කියලා. මෙලෝ තේරුමක් නෑ ඔහේ දුවනවා. අපෙත් වැඩේ විවේක කාලෙදි නිකම් ගහක් වටේ දුවලා හරි දාඩිය පෙරා ගෙන පංතියට යන එක. හවසට කෙල්ලන්ට ලයින් දාන්න යන, කෙල්ල හම්බ වෙන්න යන්න තියෙන කිහිප දෙනෙක් හිටියා බොහොම ලස්සනට.දාඩිය බිඳක් දාන්න වේගෙන් ඇවිදින්නෙත් නෑ. අපි දිහා කෙල්ලො  බලන්නෙත් නෑ ඒ දවස් වල.  අපි කරන්නෙ දාඩිය පෙරෙනකම් ක්‍රිකට් ගහන එක.ක්‍රිකට් ගහලා පන්තියට එන්නෙ ශිෂ්‍ය නායකයො පිට්ටනියට ඇවිල්ලා එලවන කම් ඉඳලා. එතකොට මූණ හෝදගන්නෙවත් නැතුව එන්නෙ.  අපේ පංතිය භාරව හිටපු ගුරුතුමියට කේන්ති යන එක පුදුමයක් නෙවෙයි ළමයි ටික දැක්කම. ඌරු කොටුවක් පරාදයි. දාඩිය බේරෙන, දුවිලි පාට ගැහුණු ඇදුම්. ගෙදරින් අහනවා බිම පෙරලෙනවද කියලා.  ඔය ක්‍රිකට් ගැහිල්ල ගැන කියනවනම් මං කොහොමත් එතරම් දක්ෂ නැහැ ක්‍රිකට් වලට. ඇත්තම කියනවනම් දමල ගහන්නෙ නැතුව පන්දු යවන්න බෑ උසස් පෙළ පන්තියට එනකම් වගේ. හැබැයි ඒ කාලේ ඔය අංශක පහළොවක් අත නමන්න පුලුවන් කියන නීතිය තිබුනෙ නෑ. හැබැයි ඒකෙනුත් එච්චර ප්‍රතිපලයක් නැති වෙන්න තිබුනා. අංශක හතලිස් පහක් විතර නවන්න අවසර දෙන නීතියක් තිබුන නම් මාත් ගොඩ. අපි සෙල්ලම් කලේ දෙවන පංතියෙ කණ්ඩායම් වලට. වැඩේ තේරෙන්න කියනවනම් මෙහෙමයි. මං කිව්වනෙ වැඩිය ක්‍රිකට් බෑ කියලා. ඉතින් හොඳට ක්‍රීඩාව පුලුවන් උදවිය අපිව ගන්නෙ නෑ. ගත්තත් අපිට බෝල දාන්න , බැට් කරන්න ලැබෙන්නෙ නෑ. අපිට තියෙන්නෙ බෝල අහුලන වැඩේ. මගේ විශ්ව විද්‍යාල සඟයො අහනවා හොකී ගහන්න ගිහිල්ලත් ඔය වැඩේමද මට වෙන්නෙ කියලා. ඒක ගැනත් “මගේ සටහන” කින්ම උත්තර බඳිනවා ඉදිරියෙදි.

කොහොම වුනත් අනිත් උදවියගෙ අනුකම්පාව නිසා පන්දුව දමලා ගැහුවට මටත් පන්දු යවන්න ලැබෙනවා. දවසක් මං යවපු බෝලයක් එක පාරටම දෝලනය වෙලා පිතිකරුවා දැවිලා ගියා. කට්ටියට හරි පුදුමයි. දවස් දෙක තුනක් යනකම් මට වැඩිපුර අවස්ථා ලැබුනා පන්දු යවන්න. හැබැයි නෑ කිසිම දෝලනයක්. ඇත්තටම වුනේ එදා බෝලෙ ගල් කැටේක වැදිලා අර අසරණයා දැවී ගිය එක. මිනිහා
නොසෑහෙන්න විරෝධය ප්‍රකාශ කලා ඒ දැවී යාමට එරෙහිව. මම ඇත්ත දන්නවා වුනාට ලාබ ප්‍රයෝජන සලකලා කට වහගෙන හිටියා. ඕක ක්‍රීඩාවෙදි වෙන සාමාන්‍ය සිදුවීමක්. හැබැයි ලිව්වෙ වෙන පුද්ගලයයෙක් මතක් වෙලා. මිනිහා අපේ විශ්ව විද්‍යාල සඟයෙක්. ඔය වගේ පන්දුව ගලක වැදීම නිසා මිනිහා යවපු පන්දුවකට ප්‍රතිවාදියා දැවී ගියා. දැන් මීනිහා හිතාගෙන ඉන්නෙ සැහැල්ලු පන්දු වලින් දෝලනය කිරීමේ හැකියාව එයාට තියෙනවා කියලා. තව විශ්ව විද්‍යාල සඟයෙක් හිතාගෙන ඉන්නවා සනත් ජයසූරියට වඩා තමාට ක්‍රිකට් පුලුවන් කියලා. කමක් නෑ පුතේ. ලෝකෙ රවුම් නෙවෙයි හතරැස් කියලා හිතන උදවිය තාම ඉන්නවනෙ. මඩ ගැහුවා කියලා හිතන්න එපා. ඇත්ත කිව්වෙ තරහකට නෙවෙයි, කට කහන හින්දා. එහෙනම් ඉතින් “මගේ සටහන” තුන් වන දිග හැරුම සමාප්තයි.
“කවදාද ආයෙ එන්නේ , හමුවන්න මා ඉතින්”

Advertisements

2 thoughts on “ඒ දවස් වල

  1. තවත් පාසල් කාලයේ සිදුවීම් පෙලක්. සියුම් උපහාසයක් සහිතයි. සමහර දේවල් ඇඟට නොදැනි විවේචනයට ලක්කරල තියනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )