දඟයා

“මගේ සටහන” පළවන ලිපියට ලැබුනු ප්‍රුතිචාර බොහොම දිරි ගන්වන සුලු වුන බව මුලින්ම කිව යුතුයි. මූලිකවම කියලා තිබුන කාරණාව වුනේ ලිපිය කෙටි වැඩි බව. ඒ නිසාම මෙ සතියෙ ලිපිය වැඩිපුර ලියන්න හිතුවා. තවම සිංහල අකුරු ටයිප් කරන්න යන වෙලාව වැඩියි. ඒක නිසා කාලය වැඩිපුර වැය වෙනවා. මගේ විශ්ව විද්‍යාල සඟයෙක් කියලා තිබුනා “ලිව්වට කමක් නෑ මගේ මොඩ වැඩ ලියන්න එපා” කියලා. කොහොමටත් මඩ ප්‍රුචාර උදෙසා “මගේ සටහන” යොදා ගන්නෙ නෑ. ඒ හේතුව නිසා එම ඉල්ලීම හිස නමා පිළිගත්තා. තවත් මගේ ප්‍රාණසම සඟයෙක් තමන් ගැන මොනවා හරී ලියන්න කියලා ඉල්ලීමක් කලා බොහොම බැගෑපත්ව. ඉදිරි ලිපියක දි අනිවාර්යෙන්ම ඉල්ලීම ඉෂ්ට කරන බවට පොරොන්දු වුනා. ඇත්තටම කියනවනම් මගේ සටහන ලියවෙන්නෙ දුම්රියේ,  බස් එකේ යන එන අතරතුර. යන එන ගමන් පරිගණකයක් ආධාරයෙන් ටයිප් කරනවා නෙවෙයි. ලිවිය යුතු දේ හිතන්නෙ යන එන අතරතුරදි තමයි. කොච්චර හිතනවද කියනවනම් තවත් ලිපි දහයකට විතර අවශ්‍ය කරුණු හිතේ තියෙනවා. පොඩි ආගිය තොරතුරු කතාවකට පස්සෙ “මගේ සටහන” දෙවන ලිපිය ආරම්භ කරනවා ඔන්න.

ළඟදි දවසක ගියා මගේ ඥාති සහෝදරියකගෙ සුව දුක් බලන්න. මෑතකදි ඒ කැදැල්ලට තවත් බිළිදු පුතෙක් එකතු වුනා. අපේ අරමුණ වුනේ ළදරුවාගෙ හුරතල් ටිකක් බලලා එන්න. ඥාති සහෝදරියගෙ වැඩිමහලු පුත්‍රුයට වයස අවුරුදු හතරකට ආසන්නයි. අපි ගිහින් දොරට තට්ටු කලාම ඥාති සහෝදරිය දොර විවර කලා. අපරාදේ කියන්න බෑ ඊළඟ මොහොතෙ පුත්‍රුයා අපිව පිළිගත්තා බොහොම අපූරුවට. ආගන්තුක සත්කාර විදිහට මට  කොස්ස අරගෙන සංග්‍රුහ කරන්න ලෑස්ති වුනා. බොහොම අමාරුවෙන් බේරිලා ආවෙ. සිද්ධිය ලිව්වෙ පොඩි එකා එක්ක අමනාපෙකට නෙවෙයි. මොකද මං පාසල් යන කාලෙ අපි කරපු  දඩබ්බර වැඩ මතක් වුන නිසා. ඉස්සෙල්ලම පාසල් ගියෙ බප/දෙල් උඩුපිල කණිෂ්ඨ විද්‍යාලයට. බප/දෙල් කියන්නෙ බස්නාහිර පළාතෙ දෙල්ගොඩ අධ්‍යාපන කොට්ඨාශය කියන එක. ඒ කාලේ අපේ තාත්තා දෙල්ගොඩ කළ්‍යාණි ප්‍රුදීප පිරිවනේ ගුරුවරයෙක් ලෙස සේවය කලා. දෙකේ පන්තිය ඉවර වුන ගමන් මාව ඒ පාසලෙන් ඉවත් කරගෙන බප/කඩ බැප්ටිස්ට් විද්‍යාලයට ඇතුලත් කලා. බප/කඩ  කියන්නෙ බස්නාහිර පළාතෙ කඩවත අධ්‍යාපන කොට්ඨාශය. නම බැප්ටිස්ට් විද්‍යාලය වුනාට අධ්‍යාපනය ලැබූ සියලුම ළමයි බෞද්ධාගමේ බව මට හොඳට මතකයි. තුනේ පන්තියෙ ඉඳන් පහේ පන්තිය ඉවර වෙන තෙක්ම ඒ පාසලේ අධ්‍යාපනය ලැබුවා.

පොඩි කාලෙදි මම අනිත් ළමයින්ට සාපේක්ෂව එච්චර වැඩුනු ශරීරයක් තිබුන ළමයෙක් නෙවෙයි. ඒ වුනාට පොඩි දවස් වල ළමුන් අතර ආරවුල් , ගුටි බැට හුවමාරු ඇති වීම ස්භාවික සිදුවීමක්නෙ . මට තිබුන ප්‍රුශ්නෙ තමයි ගහගන්න ගියොත් ගුටි කන්න වෙන එක. එහෙම නම් ඉතින් එක්කො පැත්තකට වෙලා ඉන්න ඕනෙ. ඒක කරන්න හිත හදාගන්නත් බෑ. මං බැලුවා මොකද කරන්නෙ කියලා. ඒ පාසලේ මං බොහොම හොඳට අධ්‍යාපන කටයුතු කරගෙන ගියා.ඒක නිසා ගුරුවරු  අතරත් මට හොඳ පිළිගැනීමක් තිබුනා. මට හිතුනා අතින් පයින් බැරි නිසා වෙන ක්‍රුමයක් හොයාගන්න. වැඩේ හරි ලෙසි වුනා. මං හොඳ ළමයා වගේ අනිත් ළමයි ඔක්කොටම දන්නෙ නැති දේවල් කියලා  දීලා ගුරුවරු අතරත් නම තියාගෙන හිටියා. වැරදිලා හරි අභියෝග එල්ල වුනොත් පණඩිත වාක්‍ය දෙක තුනක් ඇද බාලා ජාම බේර ගන්නවා. උපක්‍රමය කොච්චර හොඳට වැඩ කලාද කියනවනම් පාසල් ගිය අවුරුදු දහ තුනටම කාගෙන්වත් ගුටි කාලා නෑ. ඒකනෙ කියන්නෙ මොළේ පාවිච්චි කල යුතුයි කියලා. හැබැයි ඔය තියරිය දන්නෙ නැතුව හැමදාම ගුටි කාලා අඬපු ඈයොත් හිටියා. මාත් ඉතින්මගෙ රහස කාටවත් කිව්වෙ නෑ.

මේ සිද්ධිය සිදුවුනේ හතරෙ පන්තියෙදි. සාමාන්‍යයෙන් ඔය වයසෙදි ගැහැණු සහ පිරිමි ළමයි ශරීර ප්‍රමාණයෙන් බොහෝවිට සමානයි. ගුටි බැට ඇණ ගන්න ගියාම ගැහැණු  පිරිමි භේදයක් නෑ ඒ දවස් වල. අපේ පන්තියෙ හිටියා අපිට වඩා ශරීර ශක්තිය තිබුනු ගැහැණු ළමයෙක්. මම ඒ දවස් වල වැරදිලා ඇඟේ හැප්පෙන්නෙවත් නෑ. බයකට එහෙම නෙවෙයි. අපේ පාසල බොහොම පොඩි එකක් නිසා යම් කිසි උත්සවයක් පවත්වන ශාලාවෙත් පන්දි පැවැත්තුවැ. හතරෙ පන්තිය තිබුනෙ ඔය කියන ශාලාවෙ. දතසක් අපේ පන්තියෙ හිටපු මෝඩ කොලුවෙක් මං අර මුලින් කීව ගෑණු ළමයට අභියෝග කලා. කිසි බයක් සැකක් නැතිව ඒ ළමයත් අභියෝගය භාර ගත්තා. ඔන්න දැන් දෙන්නා පාසලේ වේදිකාව උඩ පොර අල්ලන්න ලෑස්තිය. අපිත් බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. කොලුවත් හොඳට කල් යල් බලලා පාද ප්‍රහාරයක් දෙන්න කකුල ඉස්සුවා. අනේ අර ගෑණු ළමයා කොලුවගෙ කකුලෙන් අල්ලගෙන ඔය මල්ලව පොර තරඟයකදි කරනවා වගේ ගැහුවා පොළවෙ. කෙලින්ම පිටි පස්ස ඇනුනෙ බිම. අසරණ මෝඩ කොලුවා අඬාගෙනම දිව්වා. නැවතුනේ පිට්ටනියෙ. මොළේ හරියට පාවිච්චි නොකළොත් කාන්තා පාර්ශවයෙනුත් ගුටි කන්න වෙනවා.

කොහොම වෙතත් පහේ පන්තියෙදි මාත් ලොකු දඩබ්බර වැඩක් කලා.ඒ වයසෙ හැටියට තක්කඩි වැඩක්. මුලින්ම  කිව්වනෙ මම බොහොම සුචච, කීකරු ශිෂ්‍යයෙක් වග.සාමාන්‍යයෙන් පහේ පන්තියෙදි ශිෂ්‍ය නායකයො පත් කරනවා. පත් කරන්නෙ වසර මුලදිද නැත්තම් හරියටම කාල වකවානු මට දැන් මතක නෑ. කොහොම නමුත් මටත් ශිෂ්‍ය නායකයෙක් ලෙස පත්වීමක් ලැබුනා. ඒක අහලා අම්මයි තාත්තයිබොහොම සතුටු වුනා. අපේ පාසලේ හැමදාම උදේට රැස්වීමක් පැවැත්වෙනවා. ඔය රැස්වීමෙදි තමයි අපිට ශිෂ්‍ය නායක පදක්කම පැළැන්දුවෙ. මගේ මතකය නිවැරදි නම් ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස පත් කරන්න නියමිතව තිබුනෙත් මාවම තමා. දවසක් දා මට හිතුනා හොඳ වැඩක් කරන්න. ඒ කාලෙ පහ වසර පන්ති තිබුනෙ දෙකයි . ශිෂ්‍ය නායකයො පත් කරන්නෙ පහ වසර පන්ති දෙකෙන් විතරයි. දවසක් හවස් වරැවෙ මං සියලුම ශිෂ්‍ය නායකයන්ට කිව්වා මෙහෙම පණිවිඩයක්. “හෙට උදේ අටට ප්‍රින්සිපල් මැඩම්ගෙ කාමරේට එන්න කිව්වා”. අපරාදෙ කියන්න බෑ කවුරු කවුරුත් කිසි ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තා කාරණාව.මමත් හිත ඇතුලෙන් හිනා වෙවී ගියා අඹරපු ලණුව හැමෝටම ගිල්ලවන්න ලැබුණු එක ගැන. ඔන්න ඉතින් පහුවදා උදේ ඉස්කෝලෙට ගියා කියමුකො. උදේ අට වෙද්දි ගුරුතුමිය උගන්වන අතරවාරෙදි අපේ පන්තියෙ ශිෂ්‍ය නායකයො ටික නැගිටලා ගියා ප්‍රින්සිපල් මැඩම්ගෙ කාමරේට. මං විතරක් නොයා ඉන්නවා. අනිත් ළමයින්ටත් පුදුමයි මං නොගිහින් ඉන්න කොට. ඒ වෙලාවෙ තමයි මටත් කරපු වැඩේ බරපතල කම තේරුනෙ. ටික වෙලාවකින් මටලැබුනා කැඳවීමක් ප්‍රින්සිපල් මැඩම්ගෙන්. හොඳ බැනුම් ටිකක් අහගන්න ලැබුනා. පහුවෙනිදා උදේ රැස්වීම වෙලාවෙ මාව සභාව ඉදිරියට කැඳවලා මගේ වීර ක්‍රියාව පාසලටම දැනුම් දීලා ශිෂ්‍ය නායක පදවියෙන් ඉවත් කලා.

ඊට වඩා බරපතල ප්‍රශ්නය වුනේ සිද්ධිය ගෙදරට දැනුම් දෙන එක. වැඩේ හංගගෙන ඉන්න එකත් අමාරුයි. මොකද ශිෂ්‍ය නායක පදක්කම වෙනුවෙන් මුදල් ගේන්න කියලා අපට දැනුම් දීලා තිබුනා. අම්මා මට සල්ලි දෙන්න අහනවා උදේ පාසල් යද්දි. මමත් ටික දවසක් මග ඇරලා හිටියා. හැබැයි අන්තිමේදි අපේ තාත්තා මගෙ පන්ති භාර ගුරුතමියගෙන්ම දැන ගෙන තිබුනා වැඩේ. ගුටි කෑවද කියන්න මතක නැති වුනත් හොඳට බැනුම් අහපු බව මතකයි. අපේ අම්මා කිව්වා මිනිහෙක් මැරුවත් තමුන් කරපු දේ හංගන්න බොරු කියන්න එපා කියලා. මං කරපු වැඩේ වැරදි වුනත් ජීවිතේට පාඩම් දෙකක් ඉගෙන ගත්තා. එකක් දුර දිග නොබලා දේවල් නොකල යුතු බව. අනික තමයි පැත්ත ගියත් ඇත්ත කියන්න ඕන බව.  එහෙනම් ඉතින් පොරොන්දු වුන පරිදි දිග ලිපියක් ලිව්වා. තවත් “මගේ සටහන” ලිපියකින් හමු වෙමු.
 
 
 

Advertisements

5 thoughts on “දඟයා

  1. මල්ලි

    මට උඹව කලින් හමිබ වුණේ නෑනෙ. තියරිය අහගන්න
    ඉතිං ඉස්කෝලෙ යනකල් කලේ ගුටි කන එක.

    අම්ම දුන්න උපදේ‍ශය තාම මතක තියනව නේද?
    වර්තමානයේදිත් හැමදේම අම්මට කියනවද නැත්තං හිතේ තියාගෙන හිතට දුක් දිදී ඉන්නවද?

    කොහොම උනත් ලස්සන ලිපිය. නමුත් පළවෙනි එක මීට වඩා ලස්සනයි.
    මේකෙ හැම දෙයක්ම ඉක්මණට ඉක්මණට කියල ඉවර කරන්න හදලා තිහනව කියලයි මගේ හැගීම. දිග වුණාට කමක් නෑ. විස්තර කරල ලියන්න.

  2. අපි කරන අනුවණ ක්‍රියාවලින් ජී‍විතේ මතක හිටින පාඩම් ඉගෙනගන්න එකනම් ඉතා වටින දෙයක්. ඒ ‍වගේ ලැබෙන හැම අත්දැකීමක ම අනාගත ජීවිතේ යහතින් පවත්‍වාගෙන යන්න රුකුල් සපයන කරුණු රාශියක් ඇතුළත් වෙනව.

    පාසල් කාලයේ මතකයන් අවධිකරමින් තමන්ට ඒ තුළින් ලැබුණු දිරිය, මේ ලිපිය කියවද්දි තවත් අයෙකුට වැටහෙන අයුරින් ලියල තියනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )