බ්ලොග් අඩවි වල මොනවද ලියන්නෙ

සිංහලෙන් බ්ලොග් අඩවියක් ලියන්න කියල අපි ගොඩක් අයට කිව්වම අපෙන් ඒ අය පෙරලා අහන ප්‍රශ්නෙ තමයි “මොනවද මං ලියන්නෙ?” කියන එක. ඒ නිසා අපි කල්පනා කලා දිරි ගැන්වීමක් හැටියට ලියන්න අවශ්‍යය මොනව ගැනද කියන එක ගැන යම් අදහසක් ඔබට ඉදිරිපත් කරන්න.

පහුගිය දවසක තාක්ෂණික වටපිටාවෙ රැකියාව කරන මිත්‍රයෙකුට  බ්ලොග් අඩවියක් ලියමු කියන අදහස දැම්මම ඔහුත් ඔය පැනය යොමු කලා. ඔහු ජාවා ක්‍රම ලේඛනයේ කෙල පැමිණියෙක්. අපි ඔහුගෙන් ඇහුවා ඒ දැනුම බෙදා නොගන්නෙ ඇයි කියලා බ්ලොග් අඩවියක් හරහා. මේ ඉතා සරල උදාහරණයක් ලියන්න දෙයක් හොයාගන්න. සමහර අය කවි, ගීත සහ කෙටිකතා ලියනවා. සමහරවිට ඒවා කිසිම දිනක පුවත් පතක හෝ වෙනයම් මාධ්‍යයක් හරහා ප්‍රකාශ කරන්න උන්නදු වෙන්නෙ නෑ. තමන්ගේ නිර්මාණ තමන් ළඟම පුස් කන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එකෙන් එම නිර්මාණ වලටත් සිද්ධ වෙන්නෙ අසාධාරණයක්. එම නිසා නිසා ඔබට කරන්නෙ තියෙන්නෙ එම නිර්මාණ තවත් කල් නොයවා  බ්ලොග් අඩවියක පල කරන එක. එවිට එම නිර්මාණ වටා රසික පිරිසක් , ගුණ දොස් විවේචනය කරන පිරිසක් එකතු වේවි.

තවත්  අයට තමන්ගෙ එදිනෙදා යන එන ගමනෙදි , කාර්යාලයෙදි, පාසලෙදි හෝ මොනයම් තැනකදි මුහුණ දෙන අත්දැකීම් ගැන ලියන්න පුලුවනි. ඔබට මුලින් ඒවා එතරම් වැදගත් කමක් නැතැයි සිතෙන්නට පුලුවන් වුනත් එම අත්දැකීම් හරහා සමාජයට ගන්නට බොහෝ දේ තිබෙනවා. තව දුරටත් බලන කොට තමන්ගේ පාසල් යන කාලයේ සිදුවන රසබර අත්දැකීම් ගොනු කරන්නටත් පුලුවන්. පාසල් යන කාලෙ සිදුවුන දේවල් සිහි කරන්න අපි හැමෝම කැමතියිනෙ. ඒක නිසා එවැනි අත්දැකීම් බෙදා හදා ගැනමට කිසි විටක පසුබට විය යුතු නැහැ.

තමන්ගෙ හිතට නැගෙන සිතුවිලි  බ්ලොග් හරහා සමාජ ගත කරන බ්ලොග් කරුවන් අප අතර සිටිනවා. සමාජ සංවාද අතවශ්‍යය යුගයක එවැනි බ්ලොග් කරුවන්ගෙන් ඉටුවන මෙහෙය අප්‍රමාණයි. එම නිසා ඔබටත් එවැනි කර්තව්‍යයක කොටස් කරුවෙක් වෙන්න පුලුවනි බ්ලොග් අඩවියක් හරහා. බ්ලොග් අඩවි හරහා ඔබ භාවිතා කරන පරිගණක මෘදුකාංග ගැන හෝ ඔබ නිරතව සිටින විශේෂිත පරිගණක ක්‍රම ලේඛන බසක් ගැන ලිවිය හැකියි. එය පරිගණක අධ්‍යාපනය ලබන , තාක්ෂණික සහය සොයන සියලු දෙනාටම ඉමහත් සේවයක් ඉටු කරනවා නියතයි. දැනටමත් එලෙස ලියැවෙන සිංහල බ්ලොග් අඩවි වලින් ලාංකික අන්තර්ජාල පරිිහරණය කරන්නන් ඇතුලු සියලු දෙනා හට ලැබෙන දැනුම අති විශාලයි.

බ්ලඔග් අඩවියක් කියන්නෙ ලිපි පමණක් අඩංගු වන දෙයක් නොවෙයි. ඔබ ඡායාරූප ලෝලියෙක් නම් ඔබ ගත් ඡායාරූප බ්ලොග් අඩවියක් හරහා පල කිරීමට පුලුවන්. එවිට එය සෙසු අයගේ පැසසුමට ලක්වේවි. කොහොමටත් ලංකාවෙ බොහෝ අය තමන් විනෝද චාරිකාවක යෙදෙන විට තමන් සතු කැමරාවෙන් නෙත ගැටෙන සුන්දර දර්ශන ඡායාරූප ගත කරන්නට පැකිලෙන්නෙ නෑ. එවැනි සොබා දහමට පෙම් බැදි ඡායාරූප ලෝලීන් ඔබ අතර ඇතුවාට කිසිම සැකයක් නැහැ. එම නිසා තව දුරටත් කල් යවන්නෙ නැතුව එම අමිල දසුන් අප හා බෙදා ගන්න එක්වනවානම් ඉතා අගෙයි. මීට අමතරව වීඩියෝ දර්ශන පවා ඔබේ අඩවි වල පල කිරීමට පුලුවන්.

ඉතින් අපි ඔබට ඒ දැක්වූවේ මොනවද ලියන්නෙ කියල ඔබ මෙතුවක් කල් අදහසක් නැතුව සිටියානම් පොඩි මාර්ගෝපදෙශයක්. එම නිසා තව දුරටත් කල්දම දමා ඉන්නෙ නැතුව මොනයම් හෝ දෙයක් බ්ලඔග් අඩවියක් හරහා ඉදිරිපත් කරන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. ඔබට ඒ සඳහා තාක්ෂණික හෝ වෙනයම් සහයක් අවශ්‍ය නම් අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස හෝ අපව අමතන ලෙස ඉල්ලා සිටිනවා.

http://sinhalabloggers.com