ශ්‍රී ලංකා සංචාරය නිසා ඉන්දීය කණ්ඩායම තුල අර්බුදයක්

ඉදිරි දින වල ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නිසා ඉන්දීය කණ්ඩායම තුල විශාල අර්බුද හට ගෙන ඇති බව “පච ගොසිප්” වෙත වාර්තා විය.

එක්දින කණ්ඩායම අවුලක

මෙම සංචාරයට ආරම්භක පිතුකරුවන් ලෙස තෝරා ගෙන ඇති රෝහිත් ශර්මා සහ ශීකර් ධවාන් අතර ප්‍රසිද්ද වචන හුවමාරුවක් සිදුවී ඇත. මෙයට හේතුව “රෝහිත් ශර්මා” විසින්, තමන්ව පසුගිය බටහිර කොදෙව් තරගාවලියේදී විවේක ගැන්වූ ආකාරයටම “ශීකර් ධවාන්” විවේක ගන්වන ලෙස තේරීම් කමිටුවට සහ නායක “විරාත් කෝලි” හට බලපෑම් කිරීමයි. නමුත් මීට සැබෑ හේතුව, මීට පෙර ශ්‍රී ලංකාවටම එරෙහිව එක්දින තරගයකදී කීඩකයකු ලබාගත් වැඩිම ලකුණු ගණන වන 264 වාර්තාව අලුත් කරමින්, ලකුණු 300 ක් එක්දින තරගයකදී ලබාගත් ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීමට “රෝහිත් ශර්මා” අදහස් කර ගෙන සිටීම බව හෙළිවී තිබේ. එම නිසා මේ දවස් වල ලකුණු අතර සිටින “ශීකර් ධවාන්” ඊට බාධාවක් වන බැවින් ඒ වෙනුවට තරමක් සෙමින් පන්දුවට පහර දෙන “අජින්කය රහනේ” යොදවන ලෙස “රෝහිත් ශර්මා” බලපෑම් කරන බව “ශීකර් ධවාන්” ගේ මතය වී ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ වාදයට විසදුමක් ලෙස කණ්ඩායමේ නව පුහුණුකරු යෝජනා කර ඇත්තේ දෙදෙනාම එකම තරගයේදී ලකුණු 300 බැගින් ලබා ගෙන ලෙහෙසියෙන් නොබිදිය හැකි ලෝක වාර්තාවක් පිහිටවිය යුතු බවයි.

ඔවුන් දෙදෙනාගේ මත ගැටුම සමතයකට පත් වුවද කණ්ඩායමේ නායක “විරාත් කෝලි” හොර රහසේම තේරීම් කමිටුවට තමන්ගේ උපන් ගම වන දිල්ලි හි පාසල් කණ්ඩායමක ආරම්භක පිතිකරුවන් යුගලයක් තෝරා ගැනීමට බලපෑම් කර ඇත. මෙයට හේතුව ලෙස දැනට එක්දින ලකුණු 8,257 ලබා සිටින “විරාත් කෝලි” , මේ තරග 5 ඇතුලත ලකුණු 9000 සීමාව කර යාමට සැලසුම් කිරීමයි. “ශීකර් ධවාන්”, “රෝහිත් ශර්මා” වැනි ආරම්භක පිතිකරුවන් සිටියහොත් තමාට අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීමට වැඩි කාල වෙලාවක් නොලැබෙන බව ඔහු සක පල කරයි. ඊට අමතරව කුමාර සංගක්කාර එක්දින තරග 4 ක දී පිට පිට ලබාගත් ශතක 4 හි වාර්තාව බිද දැමීමටද ඔහුට අවශ්‍යව ඇත. “විරාත් කෝලි” යෝජනා කර ඇති පාසල් ක්‍රීඩකයන් දෙදෙනා මෙම තරග වාරයේ ලකුණු සාමාන්‍ය, ඉනිමකදී 8.12 සහ 2.76 ලෙස ලබා ගෙන ඇත. මෙම ක්‍රීඩකයන් වුවද ශ්‍රී ලංකා සංචාරයේදී ශතක වාර්තා කිරීමට ඉඩ ඇති මුත් , ඊට වඩා දුර්වල ක්‍රීඩකයින් සොයා ගැනීමට ඔහු අසමත් ව ඇත.

ටෙස්ට් තරග සැලසුම

ටෙස්ට් තරග වලදී කණ්ඩායමක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු වල වාර්තාව වන 952 බිද දැමීමට ඉන්දීය කණ්ඩායම අදහස් කරගෙන සිටී. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම , ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබාගත් වාර්තාවක් නිසා එහි ලැජ්ජාව මකා දැමීමට ලකුණු 2000 වත් ලබා ගත යුතු බව කණ්ඩායමේ අදහසයි. මෙහිදී හිටපු ක්‍රීඩක “සචින් තෙන්ඩුල්කාර්” පවසා ඇත්තේ ” ඒ දවස්වල අර සනත් කාරය අපිට සලකපුවට , ඌටම උණ ගැනෙන්න දෙමු. මොකද ඕකා තමයි දැන් ටීම් එක තෝරන්නේ” කියාය. මේ ආරංචිය කන වැටුන හිටපු බටහිර ඉන්දීය සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා , තමන් ඉනිමකදී ලකුණු 400 ලබා ගෙන තබා තිබු වාර්තාව අහිමි වීමේ අවදානම ගැන අතිශයින් කම්පාවට පත්ව ඇති බව වාර්තා වේ. මේ පිලිබදව ඔහු දුරකතනයෙන් “මුත්තයියා මුරලිදරන්” හට අමතමින්, පිච් ටික සවුත්තුවට හදා හෝ යමක් කරන ලෙසට ඉල්ලා ඇත. නමුත් මුරලි පවසා ඇත්තේ 2004 දී ලංකාවට ආපු වෙලේ පැල් බැදගෙන ස්වීප් පහරවල් එල්ල කරමින් තමාට දුන් වදය නිසා කිසි උදව්වක් නොකරන බවයි.

අශ්වින් හා ජඩේජා කැරලි ගසති

මෙහිදී රවිචන්ද්‍රන් අශ්වින් සහ රවින්ද්‍ර ජඩේජා හට ආරම්භක පිතිකරුවන් ලෙස ඉදිරිපත් වීමට අවශ්‍ය වී ඇත. කෙසේ හෝ ලකුණු 300 බැගින් ලබා ගැනීම ඔවුන්ගේ අදහස වී ඇත. එවිට කණ්ඩායමේ පිතිකරුවන් පවසා ඇත්තේ පන්දු යැවීමේ කාර්ය තමනට ලබා දිය යුතු බවයි. එවිට අවම වශයෙන් ශ්‍රී ලංකා පිල ඉනිමකදී පන්දු වාර 50 වත් මුහුණ දෙනු ඇති බව ඔවුන් පවසා ඇත. තවමත් අවසන් තීරණයකට එලබ නැති නමුත් මෙම ඉල්ලීමට ඉඩ ලැබීමට අවස්තාව ඇති බව කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

තරග සැලසුම්

එක්දින තරග වලදී හැමවිටම මුලින්ම පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇත. නැතිනම් ” ඕකුන් ඕවර පනහට 200 ක් ගහයි , එතකොට අපිට ඕවර 25 විතර ගහල මැච් ඉවරයි. උන් ඕවර 25 ක් රකින්නයි අපි ඕවර 50 රකින්නයි බෑ . ඕවර 50 ඇති වෙන්න ගහන්න ඕනේ” යනුවෙන් කණ්ඩායම තීරණය කර ඇත. ටෙස්ට් තරග වලදී අවම වශයෙන් දවස් 4 ක් පන්දුවට පහරදී ලංකා කණ්ඩායමේ ඉනිම් දෙකට පස්වන දිනය ලබා දීමට තීරණය කර ඇත. එහෙත් කට කැඩිච්ච කතා වලට ප්‍රසිද්ද ” චෙත්ශ්වර් පුජාරා” පවසා ඇත්තේ “අපරාදේ ඕයි , එහෙම කලත් බලනවකො ටී එකෙන් පස්සේ ඕවර 30 ඉතුරු වෙනවා” කියා බව, නම හෙළි කිරීමට අකමැති ක්‍රීඩකයෙක් පැවසීය.

මීට අමතරව “ක්‍රිකට් ක්‍රීඩකයන්ට කැච් අතහැරීම සාමාන්‍ය දෙයක් බව” දැනගැනීමෙන් උද්දාමයට පත්ව ඇති ඔවුන් , කැච් අත ඇරියට මැච් පරදින්නේ නැති හේතුව පහදා දෙන ලෙස ලසිත් මාලිංග ගෙන් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටී. කෙසේ වෙතත් මෙය ආරංචී වූ මාලිංග පවසා ඇත්තේ තමා “ගිරවුන්ගේ බෙන වලට රිලවු රිංගීම” යන කාරණය ගැන පර්යේෂණයක් සිදු කරමින් සිටින බැවින් , මේවාට පිළිතුරු දීමට තියා තමාගේ බද අඩු කරගැනීමට වත් වෙලාවක් නැති බවයි. මේ කතා අසාගෙන සිටි චාලී ඔස්ටින් තමාට “ඩිස්කේ අම්මට ඩිස්කි ඩිකේ” වූ බව පවසා ඇත.

 

 

 

 

තොරතුරු යුගය: පුලස්ති ට ඌන පූරණයක්

මෙම ලිපිය සුජීව කොකාවල ගේ බ්ලොග් අඩවියෙහි පලවූ ලිපියක පරිවර්තනයකි. අවසර ඇතිව පරිවර්තනය කරන ලද්දේ බ්ලොග් අවකාශය සහ තොරතුරු යුගය ගැන මතුවූ සංවාදයකට ඌන පූරණයක් ලෙසටය.

අනුන්ගේ කතා බහට ඇහුම්කන් දීම වැරදි පුරුද්දකි. ඒ කොහොම වෙතත් සමහර අවස්ථාවල දී එසේ කරන්නට පෙළඹෙන අවස්ථා නැතුව නොවේ. ඔබ දොස්තර කෙනෙකු මුණ ගැසීමට කල් මරමින්, තවත් පිරිසක් මැද සිටින විටෙක එවැනි අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත. එහිදී අනෙත් අයගේ කතා බහ අතරමැද තැනකදී ඔවුන් කියනා දේ ඔබේ සවනතේ ගැටෙනු ඇත.

‍‍‍‍‍‍‍‍++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

“ආතර් සී කලාක් මධ්‍යස්ථානයේ” එකෙක් කීවේය.

“ඇත්තට? ඒ කොහෙද?” අනෙකා අසයි.

“ආ ඒක ඔය කටුබැද්ද පැත්තෙ තියෙන්නෙ” ඒ තෙවැන්නාය.

මේ මොහොත වෙනවිට මගේ පිටිපස ඉඳගෙන සිටින්නේ කවුදැයි මට මෙලෝ මලදානයක හැඟීමක් නොවීය. කොහොම වුනත් ආවේ නම් පිරිමි කට හඬවල් තුනකි. ඔවුන් තරුණ හෝ මැද වයසේ සිටින්නවුන් විය හැක. ඔවුන් සිටියේ මගේ පිටිපස පේලියෙහි ය. හැබැයි ඒ කතාවට හොරෙන් සවන්දිමේ ආසාවක් නම් මට තිබුනේම නැත.

“කවුද දැන් ඒකෙ ලොක්කා?”

“……… ………… , එයා ආතර් සී. කලාක් ඉන්න කොටත් එතන හිටියනෙ”

“සිරාවට? මිනිහා ළඟදි මලා නේද?”

“ඔව්, ඔව්. හැබැයි ඉතිං හොඳට ඉගෙන ගෙන තිබ්බට වැඩක් නෑ, මැරෙන කොටත් කලාක් කෙනෙක් නෙ. හෙ හෙ හෙ ”

අනිත් එකාට clarke සහ clerk අතර වචන හරඹයවත් , විහිලුව වත් තේරුනෙ නැත.

“මම දැනගෙන හිටියෙ නෑ නෙ” ඔහු බොහොම සීරියස් මූඩ් එකකින් කියයි.

“ඇත්තටම බං, ඌ කලාක් (ලිපිකාරයා) කෙනෙක් ද? ” කතාව පටලවා ගත් අනිකාත් අසයි.

“නෑ නෑ බං, ඌ ඔය විද්‍යා ප්‍රබන්ධ ද මොනාද ලියපු එකෙක් නෙ” තරමක් දත් එකා කියයි.

“මිනිහා නේද මචං ඉන්ටර්නෙට් හොයා ගත්තෙ? ”
තවකෙක් අසයි.

“නෑ බං, ඉන්ටනෙට් නෙමෙයි. චන්ද්‍රිකා හොයා ගත්තෙ ඌ”

“ඒක තමයි යකෝ, ඒ කියන්නෙ ඉන්ටනෙට් එකත් එක්ක තමයි” වාද කරන එකා තම මතය ආරක්ෂා කරයි.

“ඕකා ඇමරිකන් කාරයෙක් නේද?”

“නෑ ඔස්ට්‍රේලින් බං”

“පිස්සුද? ඕකා ඇමරිකන් තමයි. නැත්තං උගෙ වැඩ ගැන ඔච්චර ප්‍රසිද්ධ කරන්නෙ නෑ නෙ. උංගෙ මිනිහනෙ ”

දැං නං මට ඉන්නම බැරිය. පිටිපස්ස හැරී මේ සෙට් එකේ මූණ බලා ගන්නට බැරිව කසනවා වගේ දැනෙයි. ඒ වුනත් මම පිටිපස්ස හැරී බැලූවිට ඔවුන් කතාව නවත්තන්නට හෝ මගෙන් මොකද අසන්නට ඉඩ ඇති නිසා ඒ විදිහටම ඉන්නට තීරණය කලෙමි. කතාව දිගටම ගලා යයි.

“මට මතකයි ඔය කතා ටික. 2001, 2010 යි තව 2035 ද කොහද. මම දැකලා තියෙනවා ඔය පොත්.” එකෙකුට පොත් ගැන මතකය.

දැකලා ඇතකියවලා නැත. ඒත් කමක් නෑ 2035?????? “යකෝ තොට වෙනම ලියල දුන්නද 2035?” ප්‍රශ්නය මගේ හිතේ හිර කරගෙන සිටියෙමි.

“ඒකෙ ෆිල්ම් එකකුත් ආවා බං 1998 දි ද කොහෙද? මම බැලුවා”.

මම ආයෙත් කල්පනා කලෙමි. 1998 දී ආතර් සී. කලාක් චිත්‍රපටියක් ආපු බව නම් මතක නැත. ඒ වෙන මොකක් හෝ වෙන්නට ඇත.

“මිනිහා අනාවැකි කාරකයෙක් නෙ බං”.

“ඌට ඕන උනාලු 2000 අවුරුද්ද බලන්න ……….. ඉඳගෙන (මට ස්ථානයේ නම ඇසුනේ නැත) . එතන තනිකර විෂ බීජ හරණය කරපු තැනක් ලු. හුලං පවා ෆිල්ටර් කරලා තිබිලා තියෙන්නෙ, මිනිහා මැරෙයි කියලා බයට”.

දැන් පොඩි විරාමයකි.

“මිනිහා කියල තියෙනවලු මචං ඔය චන්ද්‍රිකා සේරම අන්තිමට උණවටුනට ඇවිත් කඩාගෙන වැටෙනව කියල” එකෙක් කියාගෙන යයි.

“ඒ මොකෝ?”.

“මං හරියට දන්නෙ නෑ. මොකක් හරි ඇති. මං හිතන්නෙ ඔතන ගුරුත්වාකර්ෂණය වැඩි ඇති. මොකද ඔතන තියෙන්නෙ බර්මියුඩා වල අනිත් පැත්තෙ ලු”.

“මොකද්ද ඒ?”.

“බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ භයානක තැනක්. එතන නැව් අතුරුදන් වෙනවලු, ප්ලේන් කඩාගෙන වුටෙනවලු. එක එක සීන්”.

“දැන් ඒ හරියෙන් මුකුත් යන්නෙ නෑ” මහදැනමුත්තා සනාථ කරයි.

“ඇප නෑ”.

“ඒක හොයාගත්ත ගමන් එතන උඩින් යන එක නවත්තලා”.

බර්මියුඩා ත්‍රිකෝණය ඇතුලේ රටවල් ඇත. අපොයි දෙවියනේ.

“මොකද වෙන්නෙ එතන?”.

“පරණ කතාවක් තියෙනවා. ඉස්සර එහෙ මිනිස්සු ඉඳලා තියෙනවා ලු. පිටසක්වලින් ඇවිත් ඒ නගරෙ විනාස කරලා, දූපත මූදෙ ගිල්ලවලා දාලා. ඒ හිටපු මිනිස්සු ඔය කාන්දම් බලෙන් එක එක ඒවා කරපු උන් ලු. ඉතින් ඒ හරියෙ තාමත් කාන්දම් බලපෑම වැඩි ලු”.

“හැබැයි අපි ඉන්නෙ ලෝකෙ හරිටය අනිත් පැත්තෙ. අපිට බලපෑම අඩුයි”.

“ඒකද බං අපේ මිනිස්සුන්ගෙ මොළේ වැඩී කියන්නෙ?”.

“ඔව්. ඒකනෙ බං කොච්චර උනත් අපිට හැම වෙලේම හොඳ නායකයෙක් එන්නෙ. ඉඳලා හිටලා චාටර් වුනාට, හැම වෙලේම කෙළ වෙන්නෙ නෑ. අනික ඔය අනං මනං ස්වාභාවික කරදර අඩුයිනෙ”.

ආයෙ විරාමයකි. හරියට ඔවුන් තනාගත් බර්මියුඩා කතන්දරය ඇතුලේ ඔවුන් ගිලී ගියා මෙනි.

“ආතර් සී කලාක් කියලා තියෙනවා 2050 වෙනකොට ලෝකේ ඔක්කොම බුද්ධාගම අදහනවා කියල. මොකද ඒක විතරනෙ එකම විද්‍යාත්මක ආගම”. ඔහු තවත් කලාක් පතුරු ගසයි.

“සිරාවට?”

“ඔව්. ඒ වුනාට උං ඕක එළියෙ කියන්නෙ නෑ බං , හංගගෙන ඉන්නෙ”.

“හ්ම්”.

“ක්‍රිස්තියානි උං එහෙම්මම තමයි”.

“ඔය කියන්නෙ බං ජේසු කියන්නෙත් බුද්ධාගම දන්න කෙනෙක් කියලා”.

“ඔව් බං, ඉන්දියාවෙ හිටියලු”.

“කාශ්මීරේ ද?”.

“නෑ. නේපාලෙ”.

“නෑ යකෝ. කාශ්මීරේ තමයි”.

“මං කියෙව්වා ඔය සීන් එක හොඳට. බුදු හාමුදුරුවො ඉපදුනේ , ජේසු ට අවුරුදු 500 කට කලින්. එතකොට ජේසු ගෙ කාලෙ තමයි අසෝක රජතුමා හිටියෙ. එයා තමයි පළවෙන් ධර්ම සංගායනාව කලේ”.

බුදුන් සිටියේ ක්‍රිස්තු පූර්ව හත්වැනි/හයවැනි සියවසේය. අනික අසෝක රජු හිටියේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවෙහිය. අනික ඔහු සංවිධානය කලේ පළවැනි ධර්ම සංඝායනාව නොවේ.

කොහොම වුනත් ….

“උඹට සුවර් ද? ඒ පළවෙනි එක කියලා”.

“නෑ නෙ බං. පළවෙන් එක තිබ්බෙ බුදු හාමුදුරුවො පිරිණිවන් පාපු හැටියෙම”.

“එහෙනං දෙක වෙන්න ඇති”.

“දෙකත් නෙවයි, තුනත් නෙවයි. ඕක හතර තමයි”.

“ඕනෙ මඟුලක්”.

“එතකොට අසෝක රජතුමා හිටියෙ ජේසු ගෙ කාලෙ?”.

“පොඩ්ඩක් හිටපං. දේවානම් පිය තිස්ස රජතුමා හිටියෙත් ඒ කාලෙ තමයි”.

“ආ ඔව් ඔව්”.

“ඒ වුනාට මචං , කතාව තියෙන්නෙ බුතු හාමුදුරුවො පිරිණිවන් පාපු දවසට පස්සෙ දවසෙ විජය කුමාරයා ලංකාවට ආවා කියලනෙ. දේවානම් පිය තිස්ස රජ වුනේ ඊට අවුරුදු 100 කට විතර පස්සෙ”.

“මං දන්නෙ නෑ ඕයි, කොහොම හරි අසෝක ජීවත් වෙලා තියෙන්නෙ ජේසු ගෙ කාලෙ”.

“වෙන්න බෑ”.

“අසෝක ජීවත්වුනේ බුදු හාමුදුරුවන් ගෙන් අවුරුදු 100 කට පස්සෙ”.

“යනවා ඕයි යන්න, මට හෝඳටම සුවර් ජේසුයි අසෝක රජතුමයි හිටියෙ එක කාලෙ හිටිය කියල. අසෝක රජතුමා තමයි ජේසු තුමාට බුද්ධාගම තේරුම් කලේ”.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඊට පස්සෙ කතාව මොන පැත්තට ඇඳුනාද දන්නෙ නැත. ජේසු තුමා විවාහක බවත්, බුදුන් මෙරටෙහි උපන් බවත් , පිටසක්වල ජීවින් මානව ශිෂ්ඨාචාරය ඇති කල බවත්, මිනිසා සඳ මත කිසි දින පා නොතැබූ බවත්, ඉන්දියානුවන් සතුව රසදිය එන්ජින් සතු බවත් (නැත නැත ඒ අපේ රටය) , රාවණා රජු හා ඔහුගේ ගුවන් යානා ගැනත් , 2012 ලෝඛ විනාශය ආදී එකී නෙකී බොහෝ දේ ගැන කතා වන්නට ඇත. අවාසනාවක මහත, මගේ මේ ඉතා වටිනා අධ්‍යාපන සැසිය නිමා වන්නට පෙර හෙදියක් මගේ වාරය එළඹ ඇති බව නිවේදනය කලාය. මට යන්නට සිදුවිය. මම යන අතරතුර මෙතෙක් වෙලා ඉවසාගත නොහැකිව සිටි දෙය වූ ඔවුන්ගේ මුහුණු දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර ගත්තෙමි. ඔවුන් වෘත්තියෙන් මෙඩිකල් රෙප් ලාය. ඔවුන් කවුද යන්න මෙහි වැදගත් නොවේ. අද යුගයේ තේරුමකින් තොරව තොරතුරු සොයන කවුරුන් හෝ විය හැක.

මම නැවත සිතා බැලුවෙමි. අපි වැඩුන යුගයේ තිබුණේ රේඩියෝව සහ පත්තර පමණි. කලු-සුදු රූපවාහිනිය ආවේ මගේ ගැටවර සමයේ දීය. අපිට පෙර යුගයේ රේඩියෝ තිබුනේද නැත. එහෙත් පෘථිවිය බොහොම අපූරුවට භ්‍රමණය වුණි. අද අපි ජීවත් වනුයේ තොරතුරු යගයේ උච්චතම වකවානුවකය. රූප පෙට්ටියේ නාලිකා දුසිම් ගණනින් ද, සැටලයිට් සබඳතා හරහා ඩිස්කවරි ආදී එකී මෙකී නොකී හැට හුටාහමාරක් දේ ද , පත්තර ද ඇත. හැම ගෙදරකම වාගේ අන්තර්ජාලය ඇත. ගූගල්, විකිපීඩියා ඇත. මේ අප බලාපොරොත්තු වූ ඉලක්කය ද? මේ විශාල තොරතුරු යුගය ග්‍රහණය කර ගැනීමට තරම් අපේ සමාජය පරිණත ද?

අවාසනාවකට වගේ නිවැරදි තොරතුරු ලබා ගැනීමට මේ ඉහත කී සියලු මාද්‍ය දායක වන නමුත් , ඒ හා සමානවම හෝ ඊට වඩා වැරදි තොරතුරු මෙහි අඩංගු වෙයි. අපි එය දැනට අව තොරතුරු යැයි නම් කරමු. අව තොරතුරු හොඳට ලුණූ ඇඹුල් එකතු කර ඉතා ලෙහෙසියෙන් ගිල්ලවීමට හැකි පරිදි මනාව සකසා ඇත. මේවා හිතා මතා හැකි තරම් ප්‍රචාරය කර පැතිරවීමේ අරමුණ ඇතිව බෙදා හරියි. මේවා ගිලින පිරිසද වැඩිය. මෙවැනි අව තොරතුරු රැගත් ඊ මේල අපට දිනකට කොපමණ ලැබෙනවා ද?. අද පුවත්පත් “අන්තර්ජාලය ඇසුරෙනි” කියා කොපමණ වැරදි පුවත් පල කරනවාද? අවර ගණයේ දේශපාලන හා වාණිජ අරමුණු රැගත් ක්‍රියාදාම හරහා කොතරම් අව තොරතුරු සමාජ ගත කරනවා ද?.

තොරතුරු යුගයේ හොඳක් වනුයේ බුද්ධිමත් කොටසකට පමණක් සීමාවුණු, ඔවුනට පමණක් උරුම වූ යැයි සැලකුණු දේ සමාජ ගත වීමයි. අද කොල්ලයි බල්ලයි සියලු දෙනාම හැම දේම ගැණම දැනුවත්ය. ඔවුහු නැපෝලියන් ගැනද , ස්ට්‍රින්ග් තියරි, ක්වේසාර හෝ පල්සාර ගැන දනිති. නමුත් ඉස්සර නම් පිළිගත්තේ දැනුවත් මත පමණි. එලෙසම ඒ යුගයේ අප කියූ අනෙක් කොල්ලන් හා බල්ලන් ගේ මත ඔවුන්ගේ ලෝක ඇතුලේ නිර්වචනය කරගත් කුණු ගොඩකට වඩා එහා යමක් වූයේ නැත.

ඉස්සර හිටි ජනමාධ්‍යවේදියෝ කට හැකර කම ආභරණයක් කර නොගත් උගත් , බුද්ධිමත් අය වූහ. නමුත් පින්සිදු වන්නට අන්තර්ජාලය නැමති කතා පෙට්ටිය අද කාලයේ කුඩා මොළ සහ බෝක්කු කටවල් වලට අවශ්‍ය ඕනෑම කුණු ගොඩක් සපයයි. මාධ්‍යවේදය බල්ලන්ට ගිය යුගයක තාර්කික භාවයකින් තොර දැනුම සමාජ ගත වීම හරහා මාධ්‍ය වේදයත්, සමාජයත් පහත හෙලයි.

අප තවමත් එහි ප්‍රථිපල නියමාකාරයෙන් දැක නැත. තවමත් අපට පොඩි මහන්සියකින් නිවැරදි තොරතුරු සොයා ගත හැක. මන්ද තවමත් අපට හරි වැරැද්ද තෝරා ගැනීමේ හැකියාව ඇති නිසාය. නමුත් එයත් ක්‍රමක්‍රමයෙන් නැතිව යනු ඇත. විශේෂයෙන්ම තොරතුරු යුගයට පෙර සිටි සහ සාම්ප්‍රදායික මිනිසුන් නැතිවූ විට තාර්කික අතිර්කික භාවය පිළිබඳ හැඟීම නැතිව යනු ඇත. අද අප ඉදිරියේ ඇත්තේ තත්ව තුනකි. එනම් නොදැන සිටීම, දැන සිටීම සහ වැරදි දේ දැන සිටීම යන්නයි. හෙට දවසේ දී ඉහත කී අවසාන දෙක එකට එකතු වී අච්චාරුවක් බවට පත්වනු ඇත. නොදැන සිටීම යනු තව දුරටත් විස්තර කිරීමට නොහැකි දෙයක් වනු ඇත.

මේ තොරතුරු යුගයේ අපි ළඟා වීමට අපේක්ෂා කරන හිණි පෙත්තද? තාර්කිකව සිතීම අතුරුදන්වන යුගයද මේ?

[ඉහත සංවාදය සත්‍ය එකකි. යම් යම් දේ එහෙ මෙහෙ වුවත් අන්තර්ගතය වෙනස් වී නැත.]

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් ද: සුදීකට පිළිතුරක්

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් ද? මේ සුදීක සහෘදයා ළඟදී ලියූ ලිපියක්. ලිපියකට ප්‍රතිචාරයක් දක්වන්නට වත් බැරි තරම් ඇති කම්මැලි කම නිසා එයට කිසිවක් එකතු කරන්නට බැරි
වුනා. අන්තිමේ දී දවස් ගානක් කරුණු එහෙ මෙහෙ වෙවී ඉඳලා ඒ ගැන පිළිතුරක් ලියන්නට හිතුනා.

ඇත්තටම සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය අවසන් ද?

සරල උත්තරයක් එක පාරටම දෙන්න අමාරුයි ඒ ප්‍රශ්නෙට. වෙන දෙයක් නිසා නෙවෙයි. ස්වර්ණමය යුගය කියන එක තීරණය වෙන්නෙ මොන කරුණු කාරණා මතද කියන එක. ඒ කියන්නෙ සිංහල
බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය කියල යමෙක් අදහස් කරන්නෙ

  • බ්ලොග් ලියන පිරිස වැඩිවීම
  • බ්ලොග් කියවන පිරිස වැඩිවීම
  • විවිධ පරාසයන්ගෙන් යුතු පිරිසකගෙන් මෙය සමන්විත වීම

කියන කාරණා කියල උපකල්පනය කලෝතින් , ඔය කියන ස්වර්ණමය යුගය තියෙන්නෙ දැන්. එහෙමත් නැත්තම් ඉස්සරහට ඒක වර්ධනය වේවි. නමුත් මට නම් ඒක සැබෑ ස්වර්ණමය යුගයක් නෙවෙයි.
කොහොම වුනත් සූදීක එයාගෙ ලිපිය ඇතුලෙ කතා කරල තිබුනෙ බ්ලොග් අවකාශයේ ගුණාත්මක භාවය ගැන. ප්‍රශ්නය ඇහුවෙ එය මත පදනම් වෙලා නිසා, ඒකට දෙන්න තියෙන උත්තරෙත් නෑ කියන එක
තමයි. ඒ උත්තරේ සාධාරණීකරනය කරන්න නම් ඉතිහාසයට පොඩ්ඩක් යන්න වෙනවා.

මම සිංහල බ්ලොග් අවකාශයට පිවිසුනේ 2007 අවුරුද්දෙ දි. ඒ වෙදදි සක්‍රීය සිංහල බ්ලොග් රචකයන් හිටියෙ අතේ ඇඟිලි ගණනට. සංඛ්‍යාත්මකව ගත්තොත් ඇත්තටම 10 කට අඩුයි. සිංහල බ්ලොග් සඳහා
වෙනම සින්ඩිකේටර තිබුනෙ නෑ. කොත්තු අඩවිය තමයි කාගෙත් පිහිටට තිබුනෙ. ගොඩක් වෙලාවට මුල දවස් වල ලිපියක් ලියලා කොත්තුවෙ වැටෙනකම් සැරින් සැරේ බලනවා. ඒ දවස් වල යුනිකෝඩ්
භාවිතාව පවා තිබුනෙ ඉතා අවම මට්ටමක නිසා ලිපියක් බැලුවෙත් 10 ක වගේ පිරිසක්. ඒ කාලේ මලින්ත, ආනන්දවර්ධන, නිරංජන් මීගම්මන, ශ්‍රීශානු සහ මට නම් මතක නැති කිහිප දෙනෙක් තමයි ලිපි
ලිව්වෙ. ඇත්තටම ඒ හැමදාම බැලුවෙත් ප්‍රතිචාර දැම්මෙත් එකම පිරිස.

ඊට පස්සෙ මුලින්ම 2008 අප්‍රේල් මාසෙදි අපි සිංහල බ්ලොග් මැරතන් ඉසව්වව පවත්වන්න තීරණය කලේ මේ අවකාශය තව දුරටත් පුළුල් කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. ඒ වෙනකොට සිංහල බ්ළඔග්
සංසදයෙ ගූගල සමූහයෙ සිටි මුලු පිරිස 30 කට අඩුයි. එයිනුත් බ්ලොග් ලිව්වෙ 20 කට අඩු පිරිසක්. මෙතනින් ඇරඹුණ දේ අද වෙද්දි බොහෝ දුරට වර්ධනය වෙලා තියෙනවා. මේ ටික බොහොම
කෙටියෙන් කිව්වෙ මගෙ උත්තරයට අවශ්‍ය පසුබිම සකසා ගන්න.

දැන් තමයි සුදීකට උත්තරය දෙන්න අවශ්‍ය.

සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය අවසන් ද?

නැත.

ඇත්තටම එහෙම එකක් තිබුනේ නැත. ඉස්සරහට එහෙම වෙයිද කියා කියන්න දන්නෙ නැති නමුත් එහෙම මොකක් හෝ තිබුනා යැයි කියල හිතෙනවනම් ඒක ව්‍යාජයක් විතරයි. ඇයි මම එහෙම නෑ කියන්නෙ?

සිංහල බ්ලොග් අවකාශය ආරම්භ වෙලා තිබුනෙ මම ඒ ගැන දැන ගන්න කොට. නමුත් ඒ වෙනකොට ක්‍රියාකාරී වෙලා හිටපු අය සමඟ එකතු වෙලා එය ඉස්සරහට අරගෙන යන්න තල්ලුවක්
දෙනකොට,මගෙ පුද්ගලිකව තිබුනු අරමුණ එක්තරා අතකට දේශපාලනිකයි. මේක පක්ෂ දේශපාලනයක් පැතිරවීමට බ්ලොග් යොදාගන්න හදලා බැරිවුන තැන කියවනවා කියලා වැරදියට වටහා ගන්න
එපා. ඒ කාලයෙ අපි කල්පනා කරමින් හිටපු දෙයක් තමයි මේ සමාජය ඇතුලෙ මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් පවතින සිස්ටම් එකට බද්ධ වෙලා නිහඬව තමුන්ට අවශ්‍ය අවස්ථාවලදි විතරක් කතා කරමින් අනිත්
වෙලාවට මුළු ගැන්විලා කටයුතු කරන එක. මේ වෙලාවෙ මම පුද්ගලිකව දැකපු දෙයක් තමයි, අපිට පුලුවන් නම් මිනිස්සු ගෙ අදහස් , හඬ එළියට ගන්න සමාජය ප්‍රගමනයට යම් කිසි දෙයක් කරන්න
පුළුවන් වේවි කියන අදහස. අපිට නාට්‍ය කරන්න බැරි උනාට , වේදිකාවක් හදන්න උදව් කලොත් පුලුවන් මිනිස්සු ඇවිල්ලා නාට්‍ය හදල පෙනනාවි කියන අදහස තිබුන නිසා. පුද්ගලිකව මම වුනත් ලියපු
දේවල් සාහිතම්‍ය පැත්තෙන් ලොකු අගයක් හෝ බලොග් අවකාශයෙන් කොයි තරම් දුරට එළියට යන්න තරමක දුරට තිබුනාය කියල හිතන්නෙ නෑ. අපි ආසාවට ලිව්වා මිසක් එතන හිටපු ඒ පිළිබඳ
පරිචයක් ඇති ලේඛනය කලාවක් විදිහට ප්‍රගුණ කරපු අත්දැකීම් ඇති ආනන්ද වර්ධන වගේ කෙනෙක් තරම් මට්ටමට තිබුනෙ නෑ.

හැබැයි මට හිතෙන ප්‍රධාන දේ තමයි අපට අවශ්‍ය දිශානතියට මේක තල්ලු කරගෙන යන්න බැරි වුන බව. මුල් කාලෙදි මේක වටා එකතු වෙලා හිටියෙ තාක්ෂණීක පසුබිමක සිටි උදවිය පමණයි. ඒ අය
අතින් ගැණූනු සමහර තීන්දු තීරණ පවා ඒ නිසා මෙහි යහපතට වඩා යම් අවස්ථාවලදී අයහපතට හේතු වුනා. ඒකට හොඳම උදාහරණයක් තමයි සිංහල බ්ලොග් ලිවිය යුත්තෙ යුනිකෝඩ් ඇතිවද නැතිවද
කියන ප්‍රශ්නය. මේකෙදි වැදගත් සිංහල බ්ලොග් කරණය මිසක් යුනිකේත හෝ ෆොන්ට භාවිතය කියන කාරණාව ගොඩක් අයට තේරුම් ගන්නට බැරි වුනා. කොහොම වුනත් පස්සෙ කාලෙක තාක්ෂණීක
බ්ලොග් වලට අමතරව අපි බලාපොරොත්තුවෙන් සිටි විවිධ තරාතිරම් වල , විෂයයන් ඔස්සේ බ්ලොග් කරණය වර්ධනය වෙන්න ගත්තා. එතකොට අපි මුලින් බලාපොරොත්තු වුන සමාජයෙ විවිධ තලයන්
වල අත්දැකීම් අදහස් මෙතනදි බ්ලොග් හරහා එළියට ආවා. එතකොට අර කියන ස්වර්ණමය යුගය අද වෙනකොට වත් උදා වෙලා නැද්දමේ ස්වර්ණමය යුගය කියන කාරණාව නැති වෙලා ගියේ, බ්ලොග් ලෝකයේ සිටි ජනප්‍රිය , හොඳ මට්ටමේ නිර්මාණ කරුවන් ගේ නිහඬ වීම නිසා කියන කාරණාව ඉහත ලිපියෙ හි මතුවෙලා තිබුනා. නමුත්හොඳ ලිපි කිහිපයක් නොලියවුන පමණින් එය නැති වෙලා ගියා නොවෙයි. එය ඊට වඩා එහා ගිය දෙයක්. මේ අවකාශය ඇතුලෙ ස්වර්ණමය යුගයක් බිහි වෙන්න නම් , මම විශ්වාස කරන විදිහට එක අතකට පමණක් සීමා නොවුනු අදහස් හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නෙ ලියන කෙනා වගේම ඒ හරහා සංවාද ගොඩ නැගිය හැකි මට්ටමේ කියවන්නෙක් සහ සක්‍රීය අදහස් දායකයෙක් සිටිය යුතුයි. මෙය මම දකින බ්ලොග් අවකාශය ඇතුලෙ දකින්නට නැහැ. එහෙමනම් අතිශය බැරෑරුම් මට්ටමකින් සහ මහන්සියකින් සංවාද ගොඩ නගන්නට උත්සහ කරන බූන්දිය , මේ අවකාශය ඇතුලෙ බෙහෙවින් සංවාදයට ලක් වෙන්න ඕන. ඒත් මම එක තැනක කිව්වා වගේ මම එක කියමින් ප්‍රතිචාර දක්වන්නට පොර කන තැනක එහෙම දෙයක් ඇති වෙයි කියලා හිතන්නට අමාරුයි.

කොහොම වුනත් මට තේරෙන දේ නම් මේ සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ සාමාන්‍ය සමාජයෙ ප්‍රතිබිම්බයක්. ඒක එහෙම නොවුනොත් තමයි අපි පුදුම වෙන්න අවශ්‍ය. මුල් කාලෙ ඉඳන් මේ දිහා
බලාගෙන ඉඳලා යම් මට්ටමේ මැදිහත් වීම් මතවාදිමය පැත්තෙන් හෝ දක්වන්න අවශ්‍යයයි කියල කාලෙකට ඉස්සර හිතුනත් ඒක හරිම මෝඩ වැඩක් බව හිතුනා ටිකක් කල්පනා කරල බලන කොට.
කාලෙකට ඉස්සර චමිල කියපු විදිහට මේක අමුතුවෙන් හදන්න මහන්සි වෙන්න දෙයක් නෑ නෙ. ලියන උන් ඉන්නවා, කියවන උන් කියවනවා. ප්‍රබුද්ධ ද , පීචං ද කියල හොයන එක තේරුමක් නෑ.

එහෙම බලනකොට සුදීක, “සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය” කියන්නෙ වැඩකට ඇති දෙයක් නෙවෙයි. මට හිතෙන හැටියට අද දවසෙදි. සමහර විට කාලයක් යද්දි ඒක සාකච්චා කල යුතු
මට්ටමකට ඇවිත් තියේවි. කොහොම වුනත් මට හිතෙන්නෙ “සිංහල බ්ලොග් අවකාශය” කාලයත් එක්ක එහිම හැඩය තීරණය කර ගනියි. අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න එක විතරයි.

අනතිමට මට මතක් වෙන්නෙ ළඟකදි මාලන් කියපු දේ:

සිංහල බ්ලොග් අවකාශය ප්‍රකෘතියට ඇවිල්ලා තියෙන්නෙ දැන්.

ලයිසන් එක

“මගේ සටහන” අන්තිමට ලියල දැන් අවුරුද්දකටත් වැඩී. හිතෙන දේ ලියෙන යන්තරයක් වත් තිබ්බ නම් අඩුම ගානෙ තව ලිපි දෙක තුනක් වත් ලියවිලා තියෙන්න තිබුනා. ඒ කොහොම වුනත් අවුරුද්දක් තිස්සෙ හිතුවත් පනස් වෙනි ලිපිය දාගන්න තවම බැරි වුනා. ඉස්සර වගේම සුපුරුදු කම්මැලි කම ලෙඩේ හැදිලා නිසා ගොඩක් වෙලාවට ලියන්න හිත හදා ගන්න බැරි වුනත් අද කොහොම හරි මගේ සටහන 49 වෙනි ලිපිය ලියල දානවා.

මගේ සටහන අන්තිමට නැවතුනේ මගේ ඉන්දියන් ගමන් කතන්දර කියන ගමන්. ඒ කතන්දරේ ඒ දවස්වලම ඉවර කරලා දාලා අලුත් කතාවකට යන්න ඕනෑකම තිබ්බත් බැරිවුනා. අද කොහොම හරි මගේ හයිද්‍රාබාද් ගමන් විස්තරය කියල ඉවර කරනවා.

මම කොහොමටත් කිව්වනෙ හයිද්‍රාබාදය හරිම අපූරු නගරයක් කියල. හයිද්‍රාබාදය කොළඹ වගේ ජනාකීර්ණ සහ විශාල නගරයක් වුනාට මුලු ටවුමටම මම දැක්කෙ මාර්ග විදුලි එලි (trafic signals) එක තැනකදි විතරයි.

අනෙත් තැන් වල මිනිස්සු කොහොම හරි වාහන හප්පගන්නෙ නැතිව ධාවනය කරන හැටි දැකල මට හිතුනෙ අපි බැන්නට ලංකාවෙ පාරක වාහනයක් එලවන එක කොච්චර ලේසි ඇතිද කියල. මුලු නගරය පුරාම මං ගිය ගමන් වලදි වාහන හසුරුවන්න පොලිස් නිලධාරීන් හිටියෙ එකම එක තැනක විතරයි.

හයිද්‍රාබාදයෙ හරිම අපූරු වැඩේ තමයි එහෙ පාවිච්චි වෙන යතුරු පැදි ගණන. මොකද ගොඩක් අය යතුරු පැදියෙන් තමයි ගමන් බිමන් වල යන්නෙ. විශේෂයෙන්ම සකූටර් වල නැගී ගෙන තනියම උදේට වැඩට යන සුන්දර ඉන්දීය ලලනාවන් දැක්කම මගෙ හිත මොහොතකට සලිත වුනේ නැතුවමත් නෙවෙයි 🙂 . අනිත් අපූරු කාරණය තමයි එහෙදි හිස් ආරක්ෂක භාවිතයක් නැති කම. පොලිස්සිය ඉන්න කොට මගේ ගමන් සඟයා වුන කිරන් ඒක්ක බයිසකලේ නැගල යනකොට මම හිතුවෙ “මූට පිස්සු හෙල්මට නැතුව යන්නෑ කියල. බලනකොට එහෙම හිතපු මට තමයි වැරදුනේ කියල තේරුනෙ පොලිස් නිලධාරීන් ඉන්න කොට වුනත් කිසිම ගානක් නැතුව යතුරු පැදි වල හිස් ආවරණ නැතුව යනවා දැක්කම.

හයිද්‍රාබාදයෙ මාර්ග නීති කොයි තරම් අපුරුද කියනව නම් මගෙ සඟයා වෙච්ච කිරන් ගෙන් මම  ඉල්ලුවා මිනිහගෙ රියදුරු බලපත්‍රය. මෙන්න බොලෙ මිනිහා මට දීපි පොටො කොපි කරලා ලැමිනේටින් කරපු එකක්. පුදුම වෙච්ච පාර මම ඇහුවා ” කො මිනිහො මේකේ නියම එක ” කියලා. ඒ පාර මිනිහා කියපි ” මම ඒක ගෙදර අරගෙන තියල තියෙන්නෙ පරිස්සමට , මොකද මෙහෙදි නැතිවුනොත් කියලා ” . ඔන්න ඉතින් හිතාගන්නෙ පුලුවන්නෙ ඉන්දියාවේ මාර්ග නීති වල තද කම :).

ඉන්දියාවෙ දි පාරවල් වල යන එකේ රඟේ මට තේරැනෙ හවසට . කිරන් මගෙ නවාතැනට ඉස්සරහින් ගෙනත් දැම්මම මගෙ නවාතැන පැත්තට යන්න පාර පැන ගන්න බැරුව මම ගැහි ගැහි ඉන්නකොට. මොකද ඒ එන වාහන කන්දරාව අස්සෙ කහ ඉරක්වත් නැතුව පාර පනින්න විනාඩි 10 කට වඩා බලා ගෙන හිටපු මම අන්තිමට වාහන අඩු වෙනකම් පාරෙ උඩහට පල්ලෙහට ඇවිදල බැරිම තැන දෙවියො බුදුන් සිහි කර ගෙන තමයි පාර මාරු වුනේ. මේ වැඩේ කොච්චරම අමාරු වුනාද කියනව නම් මගෙ අවශ්‍යතාවයකට ටවුමට ගිය වෙල්වක මාත් එක්ක හිටපු සඟයට මගෙ බය දැනිලා අර පුංචි ළමයෙක් පාර හරහා එක්කර ගෙන යනවා වගේ මගෙ අතින් අල්ල ගෙන තමයි පාර මාරු වුනේ.

ඔය අස්සෙ මට තව කියන්න අමතක වුනානෙ ඉන්දියාවෙ කෑම ගැන. ඉන්දියන් කෑම ගැන මම කොච්චර ආස වුනාද කියනවනම් කට්ටිය මට එක එක කෑම අත්හදා බලන්න අවස්ථාව දුන්නා. වතාවක් සල්ලි ටිකක් මාරු කර ගන්න ගිය වෙලාවෙ පාර අයිනෙ පෙට්ටි කඩේකින් පපඩමක් වගේ එකකට තැම්බුං හොද්දක් වගේ එකක් දාලා කාපු හරිම රසවත් කෑමත් මට අමතක වෙන්නෙ නෑ. ඉන්දියාවෙ දි දවල් කෑමට මම ගොඩක් වෙලාවට එළියට ගියෙ නෑ. ඒ වෙනුවට මගෙ ඉන්දීය සඟයන් එක්ක කාර්යාලයෙ දෙන කෑම එක කන්න තමයි මටත් සිද්ධ වුනේ.

ඒ කෑම වේල තනිකරම නිර්මාංශ නිසා මට දි මුල දි නම් එපා වුනා. මොකද රෑට බඩ පැලෙන්න බුරියානි කාපු මට ඒ කෑම එක ඇල්ලුවෙ නෑ මුලදි. ඒ කෑම වේලට බත් , රොටි එක්ක බටු හොදි වගේ නොයෙක් ජාති තිබුනා. කොහොම වුනත් ඒ කෑම වේලෙ නරකක් නම් තිබ්බෙ නෑ. හැබැයි මුලදි මට තවත් හිතට අල්ලපු නැති කාරණාවක් වුනේ කෑම කාපු ඉඳුල් පිඟානෙම අතුරු පස දාගෙන කාපු එක. සව් වගේ දේවල් කෑම පිඟානෙම දාගෙන අතින් කන එක ටිකක් අමුතු වුනත් අර රොමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන නිසා මම ඒකත් කරලා බැලුවා.

කොහොම හරි ඉන්දියන් ගමන නිමා කරලා ආපහු හයිද්‍රාබාදයෙන් එන කොට ටිකක් දුකත් හිතුනා. ඒ අස්සෙ හයිද්‍රාබාදයෙ තිබුන ලංකාවෙ කවදාවත් දැකල තිබුනෙ නැති තරම් විසාල සාප්පු සංකීරණ , සාරි කඩ අස්සෙ කරක් ගැහුවට ඒ එකක් වත් සටහන් කර ගන්න කැමරාවක් නොගෙනිපු එක ගැන නම් අපරාදෙ කියලා හිතුනා. විශේෂයෙන්ම එහෙ තිබ්බ සාප්පු සංකීර්ණ තරම් විශාල ඒවා මම ලංකාවෙදි දැකල තිබුනෙ නෑ.

හයිද්‍රාබාදයෙ ඉඳල චෙන්නායි නුවරට එන කොට ගුවන් යානයෙ එනකොට තමයි තවත් අපුරු දර්ශනයක් දැක්කෙ. ඒ තමයි එක ලඟ ක්‍රීඩාංගන තුනක එකම වෙලාවෙ ක්‍රිකට් තරඟ තුනක් පැවැත් වෙවින් තිබුනු එක. උඩ ඉඳන් කැමරාවට සටහන් කර ගන්න මං දැකපු අපූරුම දර්ශනයක් තමයි ඒක. එතනින් එහාට ඉතින් ගමනෙ ඉතුරු හරිය සාමාන්‍ය විදිහට ඉවර වුනා.

එහෙම නම් ඉතින් මගේ සටහනෙ ඉන්දීය ගමන් විස්තර මේ ලිපියෙන් අවසන් කරනවා. පුලුවන් ඉක්මනින් නැවත හමුවෙමු.

හයිද්‍රාබාදයේ බිරියානි

මගේ සටහන එක පාරටම සටහන් හතරක් විතර ලියල දැම්මට පස්සෙ අයෙ පරණ ලෙඩේ හැදුනා. ඒ තමයි අර කම්මැලි කම කියන ලෙඩේ. ඒ කොහොම වුණත් මගේ සටහන ආයෙමත් ලියන්න ඕනෙ කියලා හිත හිතා හිටියා. අන්තිමේදි එකපාරටම මගේ සටහන ලියල දාන්න පටන් ගත්තා. මේ පාර මගේ සටහන ලියන්නෙ අමුතු විදියකට. මම කියවන ගමන් තව කෙනෙක් ටයිප් කරනවා. ඒ විදිය ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්. එහෙමනම් ඉතින් 48 වෙනි මගෙ සටහන මෙතැන් සිට ආරම්භ කරනවා.

මගේ සටහන අන්තිම ලිපි වලදී කියමින් හිටියෙ ඉන්දියානු ගමන් විස්තර ගැන. එක ලිපියකින් කියල ඉවර වෙයි කියල හිතුනත් පහුගිය සටහන් හතරම ඒ ගැන තමයි ලියවුනේ. එහෙම කලබලයක් නැතුව විස්තර ලියන එක හොඳයි කියලා ප්රමතිචාර වලටත් කියලා තිබුණ හින්දා මතක් වෙන හැම විස්තරේම ලියන්න මතත් හිතුණා. අන්තිමට මගේ සටහන නැවැත්තුවේ ගුවන් තොටුපොළේ ඉඳන් හයිද්රාලබාදයට ගිය ටැක්සි ගමන ගැන විස්තරෙන්. එතන ඉඳන් ඉතුරු ටික කියන්න තමයි අද කල්පනාව.

මගේ ඉන්දියානු ගමන් විස්තර ගැන මුලින්ම යොදාගන්න හිටියෙ මේ මගේ සටහනේ මාතෘකාව තමයි. ඒ කියන්නෙ හයිද්‍රාබාදයේ බිරියානි ගැන. මෙච්චර ගමන් විස්තරේක සාරාංශය වෙන්න තරම් හයිද්‍රාබාදයේ බිරියානි වල ඇති විශේෂත්වය මොකද්ද කියලා මගේ සටහන පාඨකයින් කල්පනා කරාවි. කොහොම වුනත් හයිද්‍රාබාදයේ බිරියානි අත්දැකීම විඳින්න ලැබුණු කෙනෙක් එහෙම කියන එක පුදුමයක් නැහැ. බිරියානි කියන්නෙ ලංකාවෙ අපි කවුරුත් දන්න බුරියානි වලට. අපි දන්න කාලෙ ඉඳන් බුරියානි කිව්වට ඒකෙ හරි නම බිරියානි කියලා මම දැනගත්තෙ ඉන්දියානු ගමනෙදි තමයි. ඒ බිරියානි වල රසට මම කොච්චර වහ වැටුනද කියනවනම් මේ ලියන වෙලාවෙත් කටට කෙළ උනන එක නවත්තන්න බෑ.

ඔන්න ඉතින් මගේ ටැක්සි රියදුරා මාව මගෙ නවාතැනට ගෙනල්ලා බැස්සුවා. ඒ අතරතුරේදි තමයි මම දැක්කෙ හයිද්‍රාබාදයේ තත්ත්වය. ඇත්තටම අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ඉන්දියාව හරි වෙනස්. මොකද හයිද්‍රාබාදය බොහොම දියුණු නගරයක්. මම එහෙ හිටපු දවස් වල තේරුණු විදිහට හයිද්‍රාබාදය කොළඹ නගරයට වඩා ලොකු වගේම දියුණු නගරයක්. මම මගේ නවාතැනට එන අතරෙ තමයි දැක්කෙ ප්රිධාන නගරයේ ඉඳන් හයිද්‍රාබාදයේ ගුවන් තොටුපොළට කිලෝමීටර් 20ක් දිග ගුවන් පාලමක් හදලා තියන හැටි. ඒ වගේම එහෙ පාරවල් මෙහෙට වඩා හරි දියුණුයි. අර ලංකාවෙ වගේ සමහර තැන්වල හදිස්සියට වැස්ස වෙලාවකට මාලුවෙක් අල්ලගන්න පුලුවන් වලවල් පාරවල් වල තිබුනෙ නෑ.

ඔන්න ඉතින් බිරියානි ගැන කියන්න ගිහින් පාරවල් ගැනනෙ කිව්වෙ. අයෙ එන්න ඕනෙ බිරියානි කතාවට. ඔක්කොටම කලින් හැමදාම අහල පුරුදු බුරියානි එක බිරියානි පැටලෙනවනම් කියවන කොට බුරියානි කියලම කියවගන්න කියල තමයි මගේ සටහන පාඨකයන්ට කියන්න තියෙන්නෙ.

ඇත්තටම හයිද්‍රාබාදයේ බිරියානි වලට ප්‍රසිද්ධයි. බිරියානි වල රහ විඳගන්න මට නියම අවස්ථාවක් ලැබුණෙ මම නැවතිලා හිටියෙ ” හයිද්‍රාබාද් හවුස්” කියන හයිද්‍රාබාදයේ ප්‍රසිද්ධ බිරියානි අවන් හලට උඩ තට්ටුවේ තිබිච්ච නවාතැන් පොලක නිසා. කොහොමහරි මම එහෙට ගිය පළවෙනි දවසෙම හයිද්‍රාබාදයේ බිරියානි කන්න අවස්ථාව ලැබුණා. හයිද්‍රාබාදයේ බිරියානි මේ තරම් වර්ණනා කරන්න ලංකාවෙ බුරියානි එක්ක තියන වෙනස මොකද්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒකට නම් ඉතින් කියන්න තියෙන්නෙ කාලම තමයි වෙනස බලන්න වෙන්නෙ කියලා.

ඉන්දියාවෙ බිරියානි හදන්නෙ බාස්මතී සහල් වර්ගයකින්. ඒක ටිකක් දිග ලංකාවෙදි මම කාලා නැති ජාතියෙ සහල් වර්ගයක්. එතන එක එක ජාතියෙ බිරියානි තියනවා. මම එතන තියන හැම ජාතියම කාලා බැලුවා. ඇත්තටම කියනවනම් මම හිටපු දවස් හතේම කෑවෙ බිරියානි තමයි. පුලුවන් කමක් තිබ්බනම් ලංකාවට එද්දි එකක් අරගෙන එනවා.

එහෙදි බිරියානි පාර්සල් කරලා දෙන්නෙ අමුතු විදියකට. සාමාන්යයෙන් එක බිරියානි එකක් දෙන්නෙකුට විතර කන්න පුළුවන්. බිරියානි ඒ අය දාන්නෙ අපේ කිරිපිටි පැකට් අසුරන කවර වල. එහෙම දාලා සීල් කරලා තමයි දෙන්නෙ. මගෙ පෙරේත කම කොච්චරද කියනවනම් ඔය දෙන්නෙක්ට කන්න පුලුවන් බිරියානි එකට අමතරව චිකන් කෙබාබ් වගේ අමතර දේකුත් එක වේලට ගිලලා දැම්මා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ බිරියානි වලට මගේ තිබ්බ කෑදර කම. කොහොමටත් මට මතක විදියට ඒ බිරියානි එකක් ඉන්දියන් රුපියල් 200 කට අඩුයි. කාර්යාලයෙන් අතේ වියදමට ඇතිවෙන්න සල්ලි දීල තිබුන නිසා රෑ කෑමට ඉන්දියානු රුපියල් 500ක් විතර ලෝබ නැතුව වියදම් කලා.

ඉන්දියානු බිරියානු ගැන කියව කියව හිටියා මිසක් හයිද්‍රාබාදයේ ගැන මුකුත් විස්තර කියන්න බැරි වුනා නෙ. හයිද්‍රාබාදයේ අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේෂ් කියන ප්‍රාන්තයට කියල කලින් “මගේ සටහන” ක දී මම කිව්වනෙ. ඇත්තටම අපේ නුවර නගරයට වඩා සිසිලසක් එහෙ තියෙනවා. ටිකක් උස් බිම් සහිත ප්‍රදේශයක් තමයි ඒක. හයිද්‍රාබාදයේ නොයෙකුත් අපූරු දේවල් තිබුනා.

එකක් තමයි ඒ නගරයෙදි මම දැක්ක ත්‍රී රෝද රථ. හයිද්‍රාබාදයේ ත්‍රී රෝද රථ හැම එකක්ම කහ පාටයි. අනිත් එක කිලෝ මීටරයකට ගන්නෙ ඉන්දියන් රැපියල් දොලහයි. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් රැපියල් තිහක් විතර. ඒ අතින් එහෙ ගාස්තු ලාබයි. අනිත් කාරණාව තමයි එහෙ ත්‍රී රෝද රථ පාවිච්චි කරන්නෙ බස් වලට ආදේශකයක් වගේ. ඒ කියන්නෙ එක රථයක මිනිස්සු පස් හය දෙනෙක් යනවා. රියදුරාගෙ දෙපැත්තෙත් මිනිස්සු ඉඳගෙන යනවා. එහෙ හවසට පාර අයිනෙ හිටගෙන හිටියොත් සෙනග පටවගත්ත ත්‍රී රෝද රථ නවත්තල අහනවා අපෙන් යන්න අවශ්යද කියල. ඒකයි මම කිව්වෙ ලං කාවෙ බස් රථ වගේ තමයි ඉන්දියාවේ ත්‍රී රෝද රථ භාවිතය කියල.

මේ සටහනත් වෙනද තරම් දිගට ලියන්නෙ නැතිව ඉතුරු විස්තර ඊළඟ සටහනින් අවසන් කරන්න ඕනේ කියල හිතුනා. එහෙමනම් තවත් සටහනකින් නැවත හමු වෙමු.

ඉන්දියානු ඩ්‍රයිවර්

“මගේ සටහන” ට ගිය සතියෙත් ඒ තරම්ම ප්‍රතිචාර ලැබිලා තිබුණෙ නැති නිසා එක පාරටම හිතේ පොඩි සැකයකුත් ඇති වුනා. ඒ කොහොම වුනත් මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. මොකද කම්මැලි ඉරිදා හැන්දෑවෙ කැරකි කැරකි ඉන්නවට වඩා ඒක හොඳයිනෙ. කොහොමටත් මේ දවස් ටිකේ කොයි තරම් වැඩ තිබුනත් චිත්‍රපටි බලන එක යහමින් කලා. ඒ හින්දා ලිවීමේ නිරත වෙන එකෙත් වරදක් නෑ නෙ. එහෙම නම් ඉතින් තව වැඩි දේවල් කියව කියව ඉන්නෙ නැතුව හතලිස් හත් වෙනි “මගේ සටහන” ලිවීම ආරම්භ කරනවා.

මගේ ඉන්දීය ගමන් ගැන විස්තර ඉස්සෙල්ලම ලියන කොට හිතාගෙන හිටියෙ එක ලිපියකින් ලියල ඉවර කරන්නපුලුවන් වෙයි කියල. ඒ වුනාට සටහන් තුනක් ලියවිලා ඉවර වුනත් තාම ගමන් විස්තරේ ඉවර නෑ. කොහොමටත් මෙගා නාට්‍ය කතන්දර වලට කොටස් පනසීයක් දාහක් පෙන්නන්න පුලුවන් නම් “මගේ සටහන” ඉන්දියානු ගමන් විස්තර ටිකක් ඇදුනට කමක් නෑ කියලත් හිතුනා. 🙂 දේසේ හැටියට වාසේ කියල කියනවනෙ. ගිය සතියෙ මම නැවැත්තුවෙ ගුවන් යානයට නැගීමේ අවසර පත ගත්ත තැනින් නෙ. ඉතින් අවසර පත අරගෙන ඇතුලට යන කොට ආයෙ ආරක්ෂක පරීක්ෂාවක්. මට ඒ වගක් වැඩිය තේරුනේ නැතිව ගියා. ඒ පාර එතන හිටපු පොලිස් නිලධාරියො මොනවදෝ කිව්වා. මට තේරුනෙ නෑ කියපු මෙලෝ දෙයක්. මොකද ඒ අය මට තේරුණු විදිහට හින්දි භාෂාවෙන් කතා කලේ. මම ඒ පාර ඉංග්‍රීසියෙන් කිව්වා මට තේරුනේ නෑ කියල. මෙන්න ඒ පාර හින්දියෙන් තව මොනවදෝ කියවගෙන යනව. බැරිම තැන මම අනිත් මිනිස්සු දිහා බලල මොකද කරන්න ඕනෙ කියල බලා ගත්තා.

යන්තම් ඒ කරදරෙන් ගැලවිලා මම ඇතුලට ඇවිල්ලා ඉඳ ගත්තා. එතන ගොඩක් සෙනඟ පිරිලා. මොකද එක එක පලාත් වලට යන ගුවන් යානා ගැන විස්තර රූපවාහිනි තිර වල වැටෙනවා. ඊට අමතරව නිවේදනයන් නිකුත් කරනවා. මේ දේවල් බල බල හිටපු හින්දා අමුතු ගතිය ටිකක් අඩු වුනත් මහන්සිය හින්දා එපා වෙන ගානට ඇවිත් තිබුනෙ. ඉන්දියාවෙ ගුවන් තොටුපලේ තමයි මම දැක්ක තවත් වෙනසක් තිබුනෙ. කටුනායක ගුවන් තොටුපලේ දි නම් ගුවන් යානය කෙලින්ම ඇවිත් නවත්තනවා ගොඩනැගිල්ලක් ලග. ඒ ගොඩනැගිල්ලෙ ඉඳල ගැවන් යානයට කෙලින්ම ගොඩ වෙන්න පුලුවන් පාලමක් තියෙනවා. ඒ පාලම සම්බන්ධ වෙන්නෙ හරියටම ගුවන් යානයෙ දොරටමයි. ඒ නිසා ගුවන් යානයට නගින එක හරිම ලේසියි. ඒ වුනාට ඉන්දියාවෙදි ගුවන් යායට නගින්න බස් එකක යන්න ඕන. අදාල ගුවන් යානය ආවම නිවේදනයක් කරනවා ගේට්ටු අංකය හෙවත් පිටවීමේ දොරටුව ගැන. එතකොට අපි ගිහිල්ලා අදාල බස් එකට නැග්ගම ඒ බස් එක අපිව අරගෙන යනවා ගුවන් යානය ළඟට. එතනදි තමයි අපිට ගුවන් යානයට නැග ගන්න වෙන්නෙ. ඔය කතන්දරේ මම යන්න කලින් කෙනෙක් කියල දීල තිබුන නිසා ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ.

ඔය ගුවන් තොටුපලේ ඉන්න වෙලාවෙ තමයි ඉස්සෙල්ම ඉන්දියානු ළඳුන්ගෙ රූප සොබාවේ අගේ දැක්කෙ. හරියට හැමෝම හින්දි චිත්‍රපටි වල දැකල පුරුදු අය වගේ. කොහොමටත් ලෝක රූ රැජිණන් ගණනාවක් බිහි කරපු රටක් නෙව. මමත් ඉතින් මහන්සිය කෙසේ වෙතත් ඉන්දියානු ළඳුන්ගෙ රූ සිරි නම් විඳ ගත්තා. 🙂 අන්තිමේ දී බලාගෙන ඉඳල ඉඳල මගේ ගුවන් යානය එනවයි කියල නිවේදනය කරා. ඒ පාර මමත් දඩි බිඩියෙ මගෙ ගමන් මලු ලෑස්ති කරගෙන පිටවීමේ දොරටුව ගාවට ගියා. ඒ පාර ඉතින් ගුවන් යානයට නැග ගත්තට පස්සෙ අර ශාරීරික අවශ්‍යතාවේ ආයෙ දැනෙන්න ගත්තා. ඒපාර හිතුවා ඉවසගෙන හිටපු එකේ කොහොම හරි ඉතුරු ටිකත් ඉවසගෙන ඉන්නව කියල.

චෙන්නායි ඉඳල හයිද්‍රාබාදයට ගමනෙදි තමයි තව අපූරු සිදුවීම් දැක්කෙ. මේවා ඉතින් ඒ තරම් අපූරු දේවල් නොවෙන්න පුලුවනි. ඒ වුනාට ඉස්සෙල්ලම වතාවට ගුවන් යානයක ගිය මට දකින දකින හැම දේම මොකද්දෝ අපූරු ගතියකින් දැනුනා. ඔන්න යන්තම් අපේ ගැවන් යාව යන්න පිටත් වැනා. මම හිතුවෙ එක පාරටම උඩට ගනී කියල. ඒ වැනාට මෙන්න බොලේ හරියට පාරේ යන බස් එකක් වගේ අපේ යානාව හෙමිහිට වංගු අරගෙන යනවා. එහෙම ගිහිල්ලා එක තැනක නැවැත්තවා. මම බැලුවා මොකද මේ වුනේ කියල. ඔන්න එතකොට තමයි ජනේලෙන් එලිය දකින කොට දැක්කෙ තවත් ගුවන් යානයක් ගොඩ බස්සවනවා. එතකොට පිටිපස්සෙන් තවත් යානයක් ඇවිත් නවත්තගෙන ඉන්නවා අපි වගේ. ඔන්න අර යානාව හෙමිහිට පහලට ඇවිත් ගොඩ බස්සවලා ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට හරව ගත්තා. ඊට පස්සෙ තමයි අපේ යානාව ප්‍රධාන ධාවන පථයට අරගෙන අහසට නැග්ගුවෙ.වාසනාවකට වගේ චෙන්නායි ඉඳල හයිද්‍රාබාදයට යන ගමනෙ දි කණේ කැක්කුම හැදුනෙ නෑ. ඒ වුනාට ඒකටත් හරි යන්න ශාරීරික අවශ්‍යතාවෙ දැනෙන්න අරගෙන තිබුනෙ. 🙂 ඒ ගුවන් යානාවෙ ගමන් කරපු ගොඩක් දෙනා මුඛ ආවරණ පැලඳගෙන හිටියෙ. ඒකෙන්ම තේරුණා සූකර උණ ගැන කොයි තරම් එහෙ බය පැතිරිලා තිබුණද කියන එක.

කොහොමින් කොහොම හරි වැඩි කරදරයක් නැතුව හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලට ළඟා වුනා. ඒ පාර නම් මට පුදුම අහනයක් දැනුනෙ. මට මතක විදිහට වෙලාව උදේ නමයට විතර. ඔන්න ඉතින් මගෙ ගමන් මලු ටික අරගෙන මම එළියට ආවා. එලියට ආවම එතන ඉඳන් මම නවාතැන් ගන්න තැනට කුලී ගමන් රථයක් අපේ ඉන්දියානු සමාගමේ මිත්‍රයො ලෑස්ති කරල තිබුනෙ. මම එතන එළියට එනකොට තමයි අනිත් අපූරු දර්ශනය දැක්කෙ. ගුවන් තොටුපලෙන් එළියට එන අය පිලි ගන්න ගොඩක් අය ඉන්නවා. ඒ අය තමන් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගෙ නම සඳහන් කරපු නාම පුවරු උස්සගෙන ඉන්නවා. හරියට උද්ඝෝෂණයක් වගේ. ඔන්න ඔය අතරෙ මඟේ නමයි , ශ්‍රී ලංකා කියල ගහපු බොඩ් එකක් උස්සගෙන තරුණයෙක් ඉන්නවා දැක්කා. එවෙලෙ හිතුනා ඇති යන්නතම් කියල. මම ඉතින් ඒ පාර මිනිහට කිව්ව මම තමයි කෙනා කියල. ඒ කොල්ලටත් ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ. ඒ වුනාට කොහොම හරි තේරෙන වචන දෙක තුනකුයි හස්ත මුද්‍රා වලිනුයි කතා කරගෙන අපි ටැක්සියට ආවා.

හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලෙන් එළියට ආවම තමයි මම දැක්ක තවත් ලස්නම දර්ශනයක් දැක්කෙ. හයිද්‍රාබාදයෙ ගුවන් තොටුපලෙන් එළියට එන පාර දෙපැත්තෙ වවල තිබුනා හරි ලස්සන කහ පාට දම් පාට මල්. පාර දෙපැත්තෙ එක යායට පිරිලා තිබ්බ මල් දැක්කම ආස හිතුනා. අවාසනාවට ඉන්දියානු ගමනට යනකොට මම කැමරාවක් අරගෙන ගියෙ නැති නිසා ඒ දර්ශනය සටහන් කර ගන්න බැරි වුනා. ඔය ගමන යන අතරෙ මගෙ රියදුරා මාත් එක්ක කතාවට වැටුනා. මිනිහා කතා කරන්නෙ මිනිහගෙ බාසාව මැද්දට දන්න ඉංග්‍රීසි වචන දෙක තුනක් දාලා. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ් වලට කියල මම කිව්වනෙ. එහෙ ප්‍රධාන භාෂාව තමයි තෙළිඟු. තෙළඟු භාෂාව කතා කරනකොට ගොඩක් වෙලාවට තේරෙන්නෙ දෙමළ භාෂාව වගේ. ඒක නිසා රියදුරාගේ කතා බහ මට ගොඩක් හුරු පුරුදුයි වගේ දැනුනා.

මේ මනුස්සයට ඕන වුනා මම ආවේ කොයි රටේ ඉඳලද , මොන පළාතෙද වගේ එක එක විස්තර දැන ගන්න. මිනිහා ලංකාව ගැන දන්නවා ටිකක්. කොහොමටත් අසල්වැසි රටක්නෙ. මිනිහා ගඔඩක් කතා කාරයෙක්. ටැක්සියට නැගපු වෙලේ ඉඳල එක එක දේවල් කියවනවා මාත් එක්ක. චිත්‍රපටි ගැනයි, සින්දු ගැනයි තව මොන මොනවදෝ විස්තර වගයක් නවත්තන්නෙ නැතුව මේ මනුස්සයා කියා ගෙන ගියා. මේ විස්තර අහගෙන ඉන්නකොට ආයෙ වතාවක් “නීල් විජේරත්න” මහත්තමයගෙ “කේරළ නළඟන” පොතේ එන ඉන්දියානු ගමන් විස්තර මතක් වුනා.

එහෙම නම් ඉතින් අද “මගේ සටහන” නුත් ඉන්දියානු ගමන් විස්තර කියල ඉවර කරන්න බැරි වුනා. එහෙම නම් ලබන සතියෙවත් ඉන්දියානු ගමන් විස්තරේ කියල ඉවර කරන බලාපොරොත්තුවෙන් මේ සතියෙ සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.

යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර්

කාලයක් තිස්සෙ නොලියවුනු “මගේ සටහන” ආයෙ ලියන්න පටන් අරගෙන දැන් සති දෙකක් වෙනවා. එතනින් මුල්ම සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණට ඡන්ද කලබල අස්සෙ හින්ඳ මන්දා ගිය සතියෙ සටහනට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා තිබුනෙ නෑ. ඒ “මගේ සටහන” කම්මැලි හින්ද දෝ කියලත් හිතුනා. කොහොම වුනත් මගේ ගමන් චාරිකාව ගැන විස්තර තව කියන්නත් එක්කම මේ සතියෙ “මගේ සටහන” හතලිස් හය වෙනි දිග හැරීම මෙතැන් සිට ආරම්භ කරනවා.

මදැරාසියෙන් හේවත් නූතන චෙන්නායි නගරෙට මම ගොඩ බැස්සෙ පාන්දර හතරහ මාරට විතර කියල කිව්වනෙ. ඒ ගුවන් තොටුපලට කියන්නෙ අන්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල කියල. කොහොම හරි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වැඩ කටයුතු ටික ඉවර කරගෙන දේශීය ගුවන් තොටුපලට සේන්දු වුනා. මම හිතාගෙන හිටියෙ හදිස්සියෙ හරි බස් එකකින් එහෙම යන්න වෙයිද කියල. ඒ වුනාට මගේ සැනසීමට පයින් ඇවිද ගෙන යන දුරින් ගුවන් තොටුපල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. මේ කතාව ලියා ගෙන යන අතර තුරේ සුපුරුදු පරිදි තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. කොහොමටත් “මගේ සටහන” ඇතුලෙ එක එක තැනින් පැනපු අතුරු කතන්දර තියෙනවා. ඒක නිසා පාඨකයන්ට වුනත් දැන් ඒ තරම් නුහුරු ගතියක් නැතිව ඇති කියල හිතනවා කියාගෙම යන දේ මැදට කොහෙන් හරි වෙන කතන්දරයක් පාත් වුනාහම.

මම මේ කියන්න යන දේ ඇත්තටම කතන්දරයක් මත් නෙවෙයි. එක්එරා විදිහක ඉන්දියානුවන්ගෙ හැසිරීම් රටාව ගැන විස්තරයක්. ඔය ඉන්දියානුවන්ගෙ භාෂා උච්චාරණ විලාසය බොහොම වෙනස්. මොකද ලංකාවෙ උදවිය කතා කරනවාට වඩා අමුතුයි. මේ ගැන සමහර විහිලු කතා පවා තියෙනවා. ඉන්දියානුවො ඉංග්‍රීසි කතා කරන කොට ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි “r” අකුර ඇදලා කියන එක. ඒ කියන්න්නේ “යාර්ර්ර්ර” වගේ දේවල්. අපිට විශ්ව විද්‍යාලෙදි දේශනයකට ආපු ආචාර්ය වරයෙක් කිව්වා හරි අපූරු කතාවක්. ඇත්තටම ඒ කතාව කියවල බලනවට වඩා අහන්න තිබුනා නම් තමයි හොඳ.

ඔන්න ඔය දේශක තුමා පොඩි කාලෙ එයාගෙ ගෙදරට ආවලු ඉන්දියානු ජාතිකයෙක් , පායාව මුණ ගැහෙන්න. මේ මනුස්සයා ගේ ඇතුලටම ඇවිත්. ඒ පාර තාත්තා ඇහුවලු අමුත්තා ගෙන් “How did you came in?” . ඒ කියන්නෙ කොහොමද ඔබ ඇතුලට ආවෙ කියල. ඒ පාර අර ඉන්දියානුවා උත්තර දුන්නලු මෙන්න මෙහෙම. ” යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර් ඕපන් ද ඩෝර්ර්ර් ෆොර්ර්ර් මී” කියල. “yourrrrrrrr driverrrrrrrr open the dooorrrrrr forrrrrrrrr me” . ඔය කතාව මම කියන හැම තැනකදිම අපේ මිත්‍රයො හිනා වෙනවා. කතාව මම කිව්වෙ ඉන්දියානුවන්ට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි. මොකද ඒ උච්චාරණ රටාව ඒ අයටම ආවේණීක දෙයක් නිසා.

ආයෙ ඉතින් මගෙ කතාවට ආයෙ එන්නයි සූදානම. දේශීය ගුවන් තොටුපලට ආවයි කියමුකො. චෙන්නායි ඉඳලා හයිද්‍රාබාදයට යන ගුවන් යානය තිබුනෙ උදේ අටහ මාරට හරි නමයට විතර. ඒ අතර තුර පැය හතරක් විතර මට දේශීය ගුවන් තොටුපලේ රැඳිලා ඉන්න තිබුනෙ. ඔන්න එතන මාර කලබලයක්. ජාත්‍යන්තර ගුවන් තොටුපලටත් වඩා එතන කලබලේ වැඩී. සමහර අය පුටු වල දිගෑදිලා පත්තර බලනවා. තවත් සමහර අය නිදි. මේ කිසිම කෙනෙක් අතර ලංකාවෙ කෙනෙක් බෙහෙතකටවත් හිටියෙ නෑ. ඒක නිසා මගේ හිතේ පාලුව තවත් වැඩි වුනා ඒ වෙලාවෙ.

කලින් දවසෙ රෑ ඉඳලම ඇහැරගෙන හිටපු නිසා ඒ වෙනකොටත් මම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. අලි මදිවට හරක් කිව්වා වගේ පාන්දර ජාමේ නිසා මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුනා. ඒකත් සුලු දිය පහ කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. බරපතල අවශ්‍යතාවයක්. ඔය වෙලාවෙ තමයි මම බරපතල ප්‍රශ්නෙකට මැදි වුනේ. මොකද මගෙ ගමන් මලු ප්‍රශ්නෙ නිසා. ඒක වුනේ මෙහෙමයි.

මේ ගමනට මම අරගෙන ගියේ එක ගමන් මල්ලයි. ඒක විශාල ගමන් මල්ලක්. ඒ ගමන් මල්ලට තමයි මගේ ගමනට අවශ්‍ය ඇඳුම් පැලදුම් ආදී ජාති ටික අහුර ගෙන තිබුනෙ. කොහොමටත් අවශ්‍යයම දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් උස්සගෙන යන්නෙ නෑ කියල මම තීරණය කරල තිබුනෙ. ඉතින් ඔය ගමන් මල්ල ඇත්තටම සූට් කේස් එකක්. අර අතින් ඇදගෙන යන්න පුලුවන් විදිහෙ. ඉතින් මම ගමන යන්න කලින් ඉන්දියාවෙ පොදු ප්‍රවාහන සේවා වල ඉන්න හොර හතුරො ගැන ගොඩක් අය මට උපදෙස් දීලා තිබුනෙ. ඒක නිසා මේ සූට් කේස් එකට ඉබි යතුරු දාගෙන හිටියෙ වැඩි ආරක්ෂාවට. 🙂 මේ සූට් කේස් එකට අමතරව මගෙ පරිගණකයත් අරගෙන තමයි ගියෙ. එතකොට ඔක්කොම බෑග් දෙකයි.

ඉතින් දැන් ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න හැටි කල්පනා කරන කොට තමයි ගමන් මලු බල පරශ්නෙ ඔලුවට ආවෙ. මොකද ගමන් මලු කොහවත් තනියම තියන්න එපා කියල උපදෙස් ලැබිලා තිබුනෙ. ඒක නිසා මුකුත් කරන්නත් බෑ. වැසිකිලිය ඇතුලට ගමන් මලු උස්සගෙන යන්නත් බෑ. කොහොමටත් උදේ පාන්දර රේගු නිලධාරියගෙ වැඩෙන් පස්සෙ ගමන් මලු ටික පොඩ්ඩකට හරි තියල වැසිකිලි යන එකත් හිතට හරි නෑ වගේ දැනුනෙ. මමම කල්පනා කරා මොකද කරන්නෙ කියල. තව කෙනෙක් ගෙන් පොඩ්ඩකට බෑග් බලා ගන්න කියල ඉල්ලීමක් කරන්නත් හිතුනා. ඒ වුනාට එතන හිටපු අයගෙ මූණු දිහා බැලුවම ඒ වගේ ඉල්ලීමක් කරන්න තරම් හිතෙන කෙනෙක් හිටියෙත් නෑ.

අන්තිමේදි මම තීරණය කලා ඉවසගෙන ඉන්නවා කියල. කණේ අමාරුව හැදිලා මුල්ම ගුවන් ගමන එපා වෙලා හිටපු මට ඒ වෙනඛඔට නම් ආයෙ ගෙදර දුවන්න හිතුනා. 🙂 කරන්න දෙයක් නැතිම තැන මම පොඩ්ඩක් නිදා ගන්න බලපු එක. ඒ වුනාට ඒක හරි ගියෙත් නෑ. මොකද මගෙ ගමන් මලු ගැන එන්න කලින්ම දීපු උපදෙස් මතක් වීම නිසා විනාඩියෙන් විනාඩියට ඇහැරල බලනවා ඔක්කොම හරියට තියෙනවද කියල. 🙂 ඒකත් හරියට මානසික ලෙඩක් වගේ. මගෙ දිහා කවුරු හරි බලාගෙන හිටියනම් මොනව හරි හිතන්න තිබුනා.

අන්තිමේදී නිදා ගන්න වැඩේ හරි ගියෙ නැති නිසා මට හිතුනා ගුවන් යානයට අදාල නැව් නැගීමේ පත්‍රය හෙවත් බෝඩිං පාස් එක අරගෙන ඇතුලට ගියා නම් හොඳයි කියල . ඔන්න ඒ පාර ම ගියා අදාල ගුවන් යානා කාර්ය මණ්ඩලය ලඟට. ඒ පාර ඒ අය කියපි මම මොකද්ද ආරක්ෂක පරීක්ෂාවක් කරගෙන නැතිලු. මොකද්ද ආරක්ෂක පරික්ෂාවක් කරගෙන ගමන් මලු වල මොකද්ද සහතික කිරීමේ ස්ටිකරයක් අලවගෙන එන්නලු. මම වටපිට බලනකොට ඇත්තටම තියෙනවා එහෙම එකක්. මම ඒක හරහා නෙවෙයි ඇවිල්ලා තියෙන්නෙ.

ඉන්දියාවෙ ගුවන් තොටුපල වලයි , ලංකාවෙ ගුවන් තොටුපල වලයි අතර ම දැක්ක විශේෂ වෙනස් කමක් තමයි ඒක. කටුනායක ගුවන් තොටුපලේ නම් ඇතුල් වෙන කොට අපේ ගම් මලු පරීක්ෂා කරනවා විතරයි. ඒ වුනාට ඉන්දියාවෙදි ගමන් මල්ලෙ ස්ටිකරයක් අලවනවා ඇතුල් වෙන තැනදි. ඊට පස්සෙ ගුවන් යානයට අදාල ප්‍රවේශ පත්‍රය ගන්න ගියහම ඒ කාර්ය මණ්ඩලය අපිට දෙනවා ටැග් පත්. ඒ ටැග් පත් අපේ ගමන් මලුවල ගැට ගහ ගන්න ඕන. ඊට පස්සෙ ගුවන් යානයට නගින්න කලින් ආයෙ ආරක්ෂක නිලධාරීන් පරීක්ෂා කරල අර ටැග් වල සීල් එකක් ගහනවා. ඒ සීල් එක තියෙනවනම් තමයි ගුවන් යානයට නගින්න අවසර ලැබෙන්නෙ.

ඉතින් මම මගේ අවසර පත්‍ර ටික අරගෙන ඇතුලට ගියා. එහෙමනම් ඉතින් ගමනෙ ඉතුරු විස්තර ටික තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. නැවත හමුවෙමු.

සුද්දො ආයෙ ආවොත්

ගොඩ කාලයක් තිස්සෙ ලියවුනෙ නැති “මගේ සටහන” හදිස්සියෙම ගිය සතියෙ ලියල දැම්මනෙ . ඒ සටහනට මම හිතුව තරමටත් වැඩිය ප්‍රතිචාර හම්බ වෙලා තිබුනා. ඒක නිසා මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ ලිව්වමත් අමුතු උද්යෝගයක් දැනෙනවා. ගිය සතියෙ මම ලිව්වෙ චූ බේරෙන කතාවයි මගේ ගමන් විස්තරයි. ඒකට ලැබිල තිබුනු ප්‍රතිචාර අතර නොදන්න දේවල් ගොඩක් ඇතුලත් වෙලා තිබුනා. ඒ හැම දේම මුල්ම වතාවට රටින් බැහැරව යන ඕනෙම කෙනෙක්ට හරිම වැදගත්. ඉතින් එහෙමනම් වැඩි ආගිය තොරතුරු නැතිව මේ සතියෙ හතලිස් පස් වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මේ සතියෙත් මගේ ගමන් විස්තරේ ඉතුරු ටික කියන්න කියල තමයි මම කල්පනා කලේ. මම ඔය ඉන්දියාවට ගියා කියල කිව්වට ගමනාන්තය කොහෙද කියල කිව්වෙ නැති එක සමහර වෙලාවට “මගේ සටහන” පාඨකයන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. මම ගියෙ ඉන්දියාවෙ හයිද්‍රාබාදයට. ඔය හයිද්‍රාබාදය තියන්නෙ ඉන්දියාවෙ ටිකක් උඩ හරියට වෙන්න. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ වලට. ඉතින් මගේ ගමන හයිද්‍රාබාදයට වුනාට කෙලින්ම හයිද්‍රාබාදයට ගුවන් යානා තිබුනෙ නෑ. ඒක නිසා මට සිද්ධ වුනා චෙන්නායි නුවර හරහා යන්න. ඔය චෙන්නායි කියල දැන් හැඳින්වුනාට ඉස්සර ඒ නගරය ප්‍රසිද්ධ වෙලා තිබුනෙ අපි කවුරුත් දන්න මදුරාසිය නමින්.

ඔය මදුරාසිය කියන නමට මම ගොඩක් කැමති. මොකද නීල් විජේරත්න මහත්මය, එතුමාගේ ඉන්දියානු සවාරි ගැන විස්තර කරල ලියපු “මදුරාසි කොලුවා” පොත කියවලා. ඒ පොත කියසව්වට පස්සෙ කවදාවත් දැකල නැති මදුරාසියට යන්න ලොකු ආසාවක් හිතේ පහල වෙලා තිබුනෙ. ඉන්දියාවෙ කොහොමටත් පරණ නගර වල නම් මිට කාලෙකට කලින් වෙනස් වුනා. මට මතක විදිහට බොම්බේ කියන නම මුම්බායි කියල වෙනස් වුනා. ඔය ඉන්දියාවෙ නගර වල නම් වෙනස් කරපු එක ගැනත් රසවත් කතාවක් මතක් වුනා මේ ලියන අතර වාරෙ. ඒ කතාව කියන්නෙ රසල් පීටර්ස් කියන කැනේඩියානු ඉන්දියානුවා. රසල් කියන්නෙ ප්‍රසිද්ධ වේදිකාවල කතන්දර කියන කැනඩාවේ ඉපදිච්ච කෙනෙක්. මෙයගෙ දෙමවුපියො ඉන්දියානුවො. ඉතින් රසල් පීටර්ස් මේ නගර වල නම් වෙනස් කරපු එක ගැන මෙන්න මෙහෙම කියනවා.

“ඔන්න ඔය අය දන්නවා ඇතිනෙ ඉන්දියානුවො ළඟදි ඒ අයගෙ නගර කීපයක නම් වෙනස් කලා කියලා. ඒ අය එතකම්ම පාවිච්චි කලේ සුද්දා ඒ නගර වලට කියපු නම් තමයි. සුද්දො ඉන්දියාව අත ඇරලා ගිහින් අවුරුදු පනහක් ගෙවෙන කම් නම් වෙනස් නොකර හිටියෙ ඇයි කියල දන්නවද?  ඉන්දියානුවො හිතුවා ආයෙ සුද්දො එයි කියලා. ඉතින් ඒ අය බලාගෙන හිටිය සුද්දන්ට කල් දීලා ආපහු එන්න. මොකද කලබලේට නම් වෙනස් කරල ආයෙ මාරු කරන්න සිද්ධ වුනෝතින් කියල” 🙂

මේක ඇත්ත කතන්දරයක් කියල වරදවා වටහා ගන්න එපා. රසල් පීටර්ස් මේ වගේ උපහාසාත්මක කතා බොහොමයක් කියනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයෙ හොයල බලන්න පුලුවන්. ඉතින් ගිය සතියෙ වගේම “මගේ සටහන” ප්‍රධාන කතාවෙන් පොඩ්ඩක් එළියට ගියා. ඒක ගැන එච්චර වද වෙන එකක් නැහැ කියල හිතෙනවා.

ඔන්න ගිය සතියෙ මම කතාව නැවැත්තුවෙ කණේ කැක්කුම ගැන කියලනෙ. කොහොමින් හරි ආයෙ ගුවන් යානය පහත් කරන්න ලං වෙන කොට කණේ වේදනාව අඩු වෙලා තිබුනා. ඒ වුනාට කණ අගුලු වැටිලා වගේ මොකද්ද වෙලා තියෙනවා කියල දැනුනා. වෙලා තියෙන දේ හොඳට තේරුනෙ ගුවන් යානයෙන් බැහැලා ඇවිදගෙන යනකොට.  මොකද ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අහන ප්‍රශ්න මට හරියට ඇහෙන්නෙ නෑ. මම කතා කරන ඒවත් මටම ඇහෙන්නෙ නෑ. හරියට තාවකාලිකව බීරී වෙලා වගේ. ඒ වෙලාවෙ පාන්දර හතරහ මාරට විතර. මුලු රෑම නිදා ගන්නෙ නැතුව ඉඳල මට හොල්මන් වගේ. ඒ ඔක්කොම අස්සෙ මිනිස්සු කියන දේ ඇහෙන්නෙත් නෑ. ඒ අය කියනව මොනවද පත්‍රිකාවක් පුරවල භාර දෙන්නලු . බලන කොට සූකර උණ ගැන මොකද්දෝ පත්‍රිකාවක් පුරවල දෙන්නලු.

කොහොමටත් මම ඉන්දියාවෙ යන දවස් සල සූකර උණ ගැන බොහොම බයක් පැතිරිලා තිබුනෙ. අත්‍යවශ්‍ය කටයුත්තකට ඇරෙන්න ඉන්දියාවට යන්න එපා කියල නිවේදනයකුත් කරල. මම යනකොටත් ගුවන් තොටුපලේ උදවිය මූණු ආවරණ දාගෙන හිටියෙ. ඒ අස්සෙ මුම්බායි නගරෙ ඉස්කෝල , විශ්ව විද්‍යාල එහෙම වහලා දැම්මා ලෙඩේ පැතිරෙන වලක්වන්න. මට නම් ඒක ඒ තරම් ගානක් වුනේ නෑ. මොකද බරපතල ලෙඩක් මට හැදෙන්නෙ නෑ කියල මෝඩ විස්වායක් මගෙ තියෙන නිසා . 🙂 ඉතින් බාගෙට ඇහෙන දේවල් වලට යන්තම් උත්තර දීලා මම ගියා ගුවන් යානයට පටවපු ගමන් මල්ල අරගන්න. ඒකෙ තමයි මගෙ ඇඳුම් ටික තිබුනෙ. එතනදි මට තවත් අපූරු වැඩක් වුනා.

මම ඒ බෑග් එක ගන්න අතරෙ එතන හිටියා ගුවන් තොටුපලේ ඉන්දියන් ජාතික නිලධාරියෙක්. මේ මනුස්සයා මගේ ළඟට ඇවිත් නොහොම සුහදව හිනා වුනා. මමත් ඉතින් හෙම්බත් වෙලා හිටිය එකේ ඒක බොහොම ලොකු සැනසීමක් වගේ දැනිච්ච හින්දා හිනා වුනා ඒ පුද්ගලයා එක්ක. මේ මනුස්සයා මගෙන් අහපි ඔන්න “ඔයාගෙ බෑග් ඔක්කොම ගත්තද? සේරම හරිද?” කියලා. මටත් ඉතින් හරි සතුටු දායක හැඟීමක් ඇති වුනා මේ ඉන්දියානු ජාතිකයගෙ සුහද බව ගැන. ඉතින් මමත් පැනල උතත්ර දුන්නා ” ඔව් , ඔව්” කියල. ඊට අමතරව මම කිව්වා දේශීය ගුවන් තොටුපල තියෙන තැන කියන්න කියල. මොකද මම මුලින්ම ගොඩ බැස්සෙ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට. එතන ඉඳල හයිද්‍රාබාදයට යන ගුවන් යානය ප්‍රාදේශිය ගුවන් යානාවක්. ඒකට නගින්න නම් චෙන්නායි ප්‍රාදේශිය ගුවන් තොටුපලට යන්න ඕන. මොකද ඉන්දියාව විශාල රටක් නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් වගේම අභ්‍යන්තර ගුවන් ගමනුත් බොහොම ජනප්‍රියයි.

ඉතින් මේ මනුස්සයත් කියපි “හරි හරි මම උදව් කරන්නම්, හැබැයි මටත් පොඩි උදව්වක් කරන්න” කියල. මම ඇහුවා මොකද්ද කියල. මෙන්න මේ මනුස්සයා කියපි “මගෙ යාලුවෙක් ඉන්නවා එළියෙ, මම සල්ලි දෙන්නම්. විස්කි බෝතල් දෙකක් අරගෙන එළියෙ ඉන්න යාලුවට ගිහිල්ලා දෙන්න කියල” එක පාරටම මම බැලුවා මොකද්ද ඒ කතාව කියල. බලන කොට ගුවන් තොටුපලෙන් එළියට යන මගියෙක්ට තීරු බදු රහිත සාප්පු වලින් මත්පැන් ඇතුලු දේවල් මිලදී ගන්න පුලුවන්. ඉතින් රට ඇතුලෙදි ගන්න මිලෙන් භාගෙකටත් වඩා අඩුවෙන් අරගෙන යන්න පුලුවන් ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පු වලින්. මේ මනුස්සයාට ඕන වුනේ එළියට යන කවුරු හරි හරහා පොඩි ජාවාරමක් කර ගන්න. ඒ වෙලාවෙ හොඳටම එපා වෙලා හිටපු මට යකා නැග්ගා ඒ කතාව අහලා. ඉතින් මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල ගුවන් තොටුපල ඇතුලෙ තියෙන බැංකුවක් ළඟට ආවා සල්ලි ටිකක් මාරු කර ගන්න.

මෙන්න මේ මනුස්සයා පස්සෙන් ඇවිත් ආයෙ දෙපාරක් විතර ඒ ඉල්ලීම කලා. ඒ පාර මම ගනන් ගන්නෙ නැතුව මගෙ වැඩේ කර ගන්න ගියා. මේ මනුස්සයා ඒ අස්සෙ තවත් කෙනෙක් ගෙන් ඒ ඉල්ලීම කලා. ඒ කෙනත් බැහැයි කිව්වා. කොහොම හරි අන්තිමට ඉතින් මම තනියම සල්ලි ටිකත් මාරු කරගෙන ගුවන් තොටුපලෙන් එළියට ආවා. ඒ වෙලාව වෙනකොට නම් නුහුරු නුපුරුදු තැනක ඉන්නව ටත් වඩා නොදන්න රටක ඉන්න එක හිතේ පොඩි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔන්න මම ගුවන් තොටුපලෙන් එළියට ආපු ගමන් දැක්කෙ හරියට ලංකාවෙ බස් නැවතුම් පොලක වගේ දර්ශනයක්. මොකද සිඟමන් යදින අයයි, පිලිවෙලක් නැතිව ඇඳ ගත්තු බඩු ගෙනි යන මිනිස්සුයි එක්ක එතන එකම ජංජාලයක් වෙලා තිබුනෙ. ඒ අතින් බලන කොට අපේ කටුනායක ගුවන් තොටුපල කොයි තරම් හොඳද කියල හිතුනා. හැබැයි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එලියට බැස්ස ගමන් තියෙන කොරිඩෝව දිගේම ගියහම දේශීය ගුවන් තොටුපල තිබුන නිසා කරදරයක් වුනේ නෑ.

එහෙම නම් ඉතින් ඉතුරු විස්තර තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් අද සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.

ගුවන් අනතුරින් චූ බේරේ

ගොඩ කාලයක් තිස්සෙ “මගේ සටහන” ලියවුණේ නෑ. ඒකට නම් ගොඩක් හේතු තිබුනා. රැකියාවෙ කාර්ය බහුල කම ආදී එක එක හේතු. ඉඳල ඉඳල බලනකොට බ්ලොග් කෙරුවාව පටන් අරගෙන අවුරුදු 2 කුත් ගෙවිලා ගිහිල්ලා. ඒ වුනාට දෙවෙනි අවුරුද්දෙ බ්ලොග් සටහන් ලියවුනේ නැති තරම්. ඒ අතර කාලය තුල බ්ලොග් අවකාශයට ගොඩක් අය එකතු වෙලා, නොයෙක් වෙනස් කම් එහෙමත් වෙලා. ඉතින් මේ හැම දේම දිහා බල බල ඉන්න කොට ආයෙමත් “මගේ සටහන” ලියන්න ආසාවක් ඇති වුනා. ඇත්තටම කියනවනම් ලිපියක් ලියන්න ඕන කම ගොග කාලෙක ඉඳන් තිබුණත්, මගෙ කම්මැලි කම නිසා ලිය වුනේම නෑ. එහම නම් ඉතින් මාස 7 ක විරාමයකට පස්සෙ ඉරිදා හැන්දෑවක හතලිස් හතර වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මම මීට ඉස්සර කාලෙක කිව්වනෙ ගොඩක් වෙලාවට මගේ සටහන ලියෙන්නෙ බස් එකේ, කොච්චියෙ යන කොට කියලා. ඒ කියන්නෙ යන අතර තුරේ යතුරු ලියනය කරන එක නෙවෙයි. ලියන්න අවශ්‍ය දේවල් හිතන එක. හැබැයි දැන් නම් ඒ පුරුද්ද මග ඇරිලා ගිහින්. ඉස්සර වගේ ලියන්න දේවල් කල්පනා වෙන්නෙ නෑ යන එන අතර තුර. ඉතින් කාලෙකට පස්සෙ “මගේ සටහන” ලියන්න යන කොට එක පාරටම මොනව ලියනවද කියල හිතා ගන්නත් බැරි වුනා. එහෙම  ඉන්න කොට ඉතින් මතක් වුනා පහුගිය ටිකේ මං බ්ලොග් නොලියපු කාලේ ගිය ඉන්දියානු සවාරිය ගැන ලියන්න.

ඔය ඉන්දියානු සවාරිය ඇත්තටම විනෝද චාරිකාවක් නෙවෙයි. ඒක මගේ කාර්යාලයෙන් පිලියෙල කරපු ගමනක්. කොහොම වුනත් ඒ ගමන තමයි හා හා පුරා කියල මම ලංකාවෙන් එළියට ගිය වතාව. මීට කලින් වෙන රටකට කියල ගිහිල්ලා තිබුනෙ රජරට ට විතරයි. 🙂 ඉතින් ඔය ඉන්දියානු ගමන සූදානම් වුනාම හිතේ ටිකක් දෙගිඩියාවෙන් තමයි හිටියෙ. මුල්ම හේතුව තමයි වෙන කොහෙවත් පිට රටකට ගොහින් නොතිබ්බ එක. අනික ඒ ගමන යන්න තිබුනෙත් තනියම. ඊටත් එහා ගුවන් යානයෙ යන එකත් හිතේ පුංචි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔය ගුවන් යානා ගැන කියද්දි ඒ අස්සෙම තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. හැබැයි මේ කතාව අසභ්‍යයි කියාවිද දන්නනෙත් නෑ. සමහරවිට මේ කතාව “මගේ සටහන” කියවන උදවිය අහල තියෙන්නත් පුලුවන්. ඔන්න එක්තරා දවසක ගුවන් යානයක් කන්දක හැප්පීම හින්දා අනතුරට පත් වුනා ලු. ඉතින් මේ යානයෙ ගිය අය අතරෙන් දහ දෙනෙක් මැරිලා ලින් චූ කියන චීන ජාතිකයා විතරක් ජීවිතේ බේර ගත්තලු. මේ අවාසනාවන්ත අනතුරෙන් ඒ ගුවන් යානයේ නියමුවා සහ කාර්ය මණ්ඩලයේ උදවියත් මිය ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රවෘත්ති වලට බොහොම උනන්දුවක් දක්වනවනෙ අපේ මාධ්‍ය ආයතන හෙවත් පත්තර , රේඩියෝ මහත්තුරු. ඉතින් ඔය අනතුරත් සිද්ධ වුන දවසෙ ගොඩක් පත්තර කන්තෝරු වල කට්ටිය උනන්දු වුනාලු ඔය ප්‍රවෘත්තිය පහුවදා පත්තරේ පල කරන්න. මේ අතරින් එක පත්තරේක ඒ වගේ විශේෂ සිද්ධි වාර්තා කරන කෙනා හිටපු නැති නිසා පත්තරේ කර්තෘ තුමා තීරණය කලා ලු අලුතින් සේවයට එකතු වෙච්ච මාධ්‍යවේදියෙක්ට මේ රාජකාරිය බාරදෙන්න.

ඉතින් මේ පත්තර මහත්තයත් බොහොම උනන්දුවෙන් ලෑස්ති වුනාලු ප්‍රවෘත්තිය ආවරණය කරන්න. ඔන්න ඉතින් මෙයා ඒ අනතුර වෙච්ච තැනට ඡායාරූප ශිල්පියෙක් එහෙම අරගෙන ගිහිල්ලා හොඳ පින්තූර ටිකක් එහෙම අරගෙන ඇවිත් බොහොම අපූරු විදිහෙ විස්තරයක් ලිව්වලු පත්තරේට. හරියට මේ අනතුර සිද්ධ වෙනවා ඇස් දෙකෙන් බලාගෙන හිටියා වගේ ලිව්වලු. කොහොම ලිව්වත් තාම අලුත් කෙනා නෙ. ඒක නිසා මාතෘකාව දැම්මලු මෙහෙම.  “ඊයේ සවස සිදුවූ බිහිසුණූ ගුවන් අනතුරින් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඇතුලුව පුද්ගලයින් දස දෙනෙක් මිය ගොස් ලින් චූ නම් චීන ජාතිකයාගේ පමණක් බේරේ” . ඔන්න ඒ පාර මේ ලිපිය බාර දුන්නලු පත්තරේ පිටු සකසන අයට. මෙතනදි තමයි පත්තරේක සාමන්‍යයෙන් පිටු වල ඉඩ තියෙන හැටියට, පුවතේ වැදගත් කම අනුව පල කරන්න සකස් කරන්නෙ. ඉතින් මේ පිටු සකසන උදවියට සිද්ධ වෙනවා සමහර විට හෙඩිම දිග වැඩි නම් ටිකක් සකස් කරන්න එහෙම.  ඔන්න මේ උදවිය බලන කොට හෙඩිම බොහොම දිග වැඩියි. හදිස්සි ප්‍රවෘත්තියක් නිසා පල කරන්නත් ඕන. ඒ වුනාට ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් තියනවා. අන්තිමේ දී ටිකක් වෙල් කල්පනා කරලා ඒ අය තීරණය කලා ලු මාතෘකාව කොට කරන්න. ඉතින් එහෙම කරලා ගුවන් යානා අනතුර ගැන පහුවදා පත්තරේ පල කලා ලු. පහුවදා පත්තරේ ගුවන් යානා අනතුර ගැන හෙඩිම තිබ්බලු මෙන්න මේ විදිහට.

“ගුවන් අනතුරින් චූ බේරේ”

ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ. මම දන්න තරමින් මේක ඇත්ත කතාවක් නෙවෙයි. ප්‍රබන්ධ කරපු කතාවක්. 🙂 ඉතින් අතුරු කතාවකට ගිහිල්ලා මගෙ ප්‍රධාන කතාව මග ඇරුණනෙ. ඇත්තටම ගුවන් යානයේ යන එක ගැන පුංචි තිගැස්සමක් තිබුනා. මගෙ ගමනට ආසන්න කාලයෙදි ප්‍රංශ ගුවන් සේවාවෙ යානයක් අනතුරට පත් වෙලා සියලුම දෙනා මිය ගියා. කවදාවත් ගිහින් නැති ගමනක් යන එකේ එහෙම දැනුනු එක පුදුමයකුත් නෙවෙයි.

ගමනට සූදානම් වෙද්දිත් තිබුනෙ හරි අවුලක්. අරගෙන යන්නෙ මොනවද, කොච්චර විය හියදම් වෙයිද කියන කිසිම දෙයක් ගැන හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි ඉතින් කාර්යාලයයෙන් ගමනට අවශ්‍ය විය හියදම් ඔක්කොම වගේ සපයපු නිසා ටිකක් බය ගතිය මග ඇරුනා. කොහොම හරි යන දවසත් ආවා. එදා ගුවන් තොටුපලට ගියෙ හරියට කාලෙකට ලංකාවෙන් පිට වෙලා ඉන්න යනවා වගේ.  ගමන යෙදිලා තිබුනෙ මහ රෑ. ඒක නිසා රෑ නිදා ගන්න ලැබුනෙත් නෑ.ගුවන් තොටුපල ඇතුලට ගියාම මට මැජික් වගේ.  එතන මහ රෑ වෙලාවෙත් සෙනඟ යන එන හැටි, සමුගන්න හැටි මම බලාගෙන හිටියෙ මොහොම ආසාවෙන්. ඒ වගේම එක එක රට වලට යන ගුවන් යානා වලට යන මිනිස්සු පෙල ගැහිලා ඉන්න හැටි, ඒ විස්තර රූපවාහින් තිර වල වැටෙන හැටි මං බලාගෙන හිටියෙ ලොකු කුතුහලයකින්. ඔය අස්සෙ මාව ගුවන් තොටුපලට ඇරලවන්න ආපු අපේ අම්මයි, ඥාතී සහෝදරයයි මට සමුදීලා යන්න ගියා. ඔන්න එවෙලෙ තමයි මට ඉස්සෙලම මොකද්දෝ තනිකමක් වගේ දෙයක් දැනුනෙ.

ඔය ගුවන් තොටුපලේ ඉන්න අතර වාරෙදි මට හම්බුනා ඉන්දියානු ශිෂ්‍යයො දෙන්නෙක්. ඒ අය ලංකාවෙ මොකද්ද වැඩ සටහනකට ඇවිත් ආපහු යන ගමන්. අපේ ගුවන් යානය එනකම් මම ඒ දෙන්නත් එක්ක කතාවට වැටිලා හිටියා. ඒ දෙන්නා ගෙ ලංකාව ගැන හිතපු දේවල් සහ ඉන්දියාවෙ ජීවීතේ ගැන අහපු එක මහ රෑ පාලුව නැති කර ගන්න උදව් වුනා.කලින් උපදෙස් ලැබිලා තිබුන නිසා අමාරුවක් නැතුව ගුවන් යානයට නැග ගත්තා. මම හිතා ගෙන හිටියෙ බස් එකක ගිහින් පඩි පෙලක් දිගේ ලොකු ගුවන් යානයක නගින්න තියේවි කියල. ඒ වුනාට අන්තිමට ගොඩනැගිල්ලක් අස්සෙන් ගිහිල්ලා ගුවන් යානෙට නැග්ගම මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා. මොකද මම හිතාගෙන හිටිය වගේ භාගයක් වත් නැති ගුවන් යානයක් ඒක. ඊට අමතරව දැනිච්ච දේ තමයි ඉන්දියාවට යන මගීන්ට අපේ ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩය කිසිම සුහදත්වයක් දැක්වුවෙ නැති එක. ඒ අයගෙ කතා බහයි හැසිරීම් රටාවෙනුයි හොදටම දැනුනා අපිට සලකපු හැටි.

ඔන්න ඉතින් ගුවන් යානෙ යන්න පිටත් වුනා. ඒ වෙනකොටත් මට නම් ටිකක් එපා වෙලයි තිබුනෙ. ඒ වෙලාවෙ පාන්දර 3.20 ට විතර. යන්තම් ගුවන් යානය ගමන ආරම්භ කරන්න ගත්තා. ඒ වෙලාවෙ නම් ටිකක් බය හිතුනා මුල්ම අත්දැකීම නිසා. අර ගුවන් යානේ පොලවෙන් ඉහලට ඉස්සුනාට පස්සෙ තමයි හිතේ තිබ්බ බය අඩු වෙලා ගියෙ.  හැබැයි ඊට වඩා අකරතැබ්බෙකට මූණ දෙන්න සිද්ධ වුනේ ගුවන් යානේ ඉහලටම නැගුනට පස්සෙ. මට ඉවසන්න බැරි කණේ කැක්කුමක් හැදුනා ඒ වෙලාවෙ. ජීවිතේට එහෙම කණේ වේදනාවක් හැදිලා තිබුනෙ නෑ. ඒක නිසා මගෙ මුල්ම ගුවන් ගමන හරිම වදයක් වුනා. ඒ වේදනාව කොයි තරම් තදට දැනුනද කියනවනම් මට හිතුනා ගුවන් යානය කඩා ගෙන වැටෙනවනම් හොඳයි කියල දැන්ම බිමට පහත් කරන්නෙ නැත්තම්.

එහෙම නම් ඉතින් ගමනෙ විස්තර ඊළඟ “මගේ සටහන” හරහා කියන බලාපොරොත්තුවෙන් මේ දිග හැරීම නතර කරනවා. නැවත හමුවෙමු.

බ්‍රැඩ්බි තරඟ මතක

කාලෙකට පස්සෙ ගිය සතියෙ ලියවුනු “මගේ සටහන” ට ලැබුණු ප්‍රතිචාර නිසා මේ සතියෙත් ආයෙමත් ලියන්න ඕනෙ කියල හිතුනා. කම්මැලි කමේ කැරකි කැරකි ඉඳලා ඉස්සර වගේම සුපුරුදු ඉරිදා හැන්දෑවේ තමයි “මගේ සටහන ලියන්න පටන් ගත්තෙ. වැහිබර හැන්දෑවේ සීතල ගතියත් එක්ක ආපු කම්මැලි කම පැත්තකට තියල එහෙමනම් හතලිස් තුන්වන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ සටහන ලියවුනේ මගේ සිරීපාදේ චාරිකා මතක සටහන් ගැන. මේ සතියෙත් ඒ ගැනම සටහනක් ලියන්න තමයි මුලින්ම හිතාගෙන හිටියෙ. නමුත් ඊයේ හවස් ජාමේ ගිහිල්ලා ආපු ගමනක් නිසා ඒ අදහස වෙනස් වුනා. කොහොමටත් ඔය මම ගිය එක එක ගමන් වල විස්තර “මගේ සටහන” ට ලියන්න ඕනේ කියන පිස්සුව තදවුනේ මට අර “සුනේත්‍රා සින්ඩ්‍රෝම” හැදුනට පස්සෙ :). ඔය සුනේත්‍රා සින්ඩ්‍රෝමය මට හැදුනෙ අපේ සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ “මතක පොත” කියෙව්වට පස්සෙ. ඔය පොත් කීපයටය මගෙ තිබුණු ආසාව තදවෙච්ච හින්දා මම ඒකට “සුනේත්‍රා සින්ඩ්‍රෝමය” කියලම නම තියා ගත්තා.

ඉතින් “සුනේත්‍රා සින්ඩ්‍රෝමය” පැත්තකට තියල මේ සතියෙ සටහනට බහින්න ඕන. මේ සතියෙ සටහන ලියන්න හිතුනෙ මගේ බ්‍රැඩ්බි මතකයන් ගැන. බ්‍රැඩ්බි කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නම් එක පාරටම හොල්මන් වෙන්න ඉඩ තියෙනවා. බ්‍රැඩ්බි කියන්නෙ ඇත්තටම පුද්ගලයෙක් ගෙ නමක්. ඊ.එල්.බ්‍රැඩ්බි මහත්මයා කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති ධුරය දැරූ කෙනෙක්. කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂික රග්බි තරඟයක් පැවැත්වෙනවා. මේක පැවැත්වෙන්නෙ බ්‍රැඩ්බි කුසලානය වෙනුවෙන්. මේක බොහොම ප්‍රසිද්ධ රගර් තරඟයක්. සාමාන්‍යයෙන් ලංකාවේ පාසල් රගර් ක්‍රීඩාවේ ඉහලම තැන තියෙන තරඟය විදිහට සැලකෙන්නෙ මේ තරඟය තමයි.

කොහොමටත් අපේ පාසල් කණ්ඩායම අන්තර් පාසල් රගර් තරඟ වල මොන තරම් හොඳට සෙල්ලම් කලත් බ්‍රැඩ්බි තරඟය පරදිනවා දකින්න කිසිම කෙනෙක් කැමති නැහැ. මේ තරඟය තමයි කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට තියෙන වැදගත්ම තරඟය. ඉතින් ඊයෙ දවසෙ මම කලේ නුවර ගිහිල්ලා මේ තරඟය බලපු එක තමයි. ඒක හරි අපූරු ආස්වාදනීය අත් දැකීමක්. ඒත්දැකීම විඳින්න ලැබෙන අවස්තවක් මම කොහොමටත් මග අරින්නෙ නම් නෑ.

මේ බ්‍රැඩ්බි තරඟයෙ තියෙන හරි අපූරු තරඟය තමයි කොළඹ එක තරඟයකුත් , මහනුවර දී අනෙත් තරඟයත් පවත්වන එක. ජයග්‍රාහකයා තීරණය කරන්නෙ තරඟ දෙකේදිම ලකුණු එකතුව වැඩි කණ්ඩායම. ඒක නිසා මේක බොහොම තරඟකාරී දෙයක්. මේ තරඟයෙ තියෙන පීඩනය නිසාම ඒක දිනන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි.කොහොමහරි ඉතින් ඊයේ පත්තවපු බ්‍රැඩ්බි කුසලාන පලවෙනි තරගෙදි ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 22-12 විදිහට පරද්දන්න අපේ කණ්ඩායමට පුලුවන් වුනා.

ඒ තරඟය ගැන ලියන එක ක්‍රීඩා විස්තර විචාරයක් වෙන හින්දා වැඩිය ලියන්නනෙ නෑ. ඒ වුනාට මේ බ්‍රැඩිබි තරඟයේ තියෙන අපූරු බව ගැන තමයි “මගේ සටහන” ට එකතු කරන්න අවශ්‍ය වුනේ. ඔය රගර් සෙල්ලම ගැන මට කිසිම අදහසක් තිබ්බෙ නෑ මුල දවස් වල. මොකද අපි පහ වසරට වෙනකම් හිටපු ඉස්කෝලෙ තිබුනු ක්‍රීඩා පහසුකම් වල තත්වය ගැන මම මීට කලින් “මගේ සටහන” වලදි කියල තියෙන නිසා.

ඉතින් මුලින්ම රගර් සෙල්ලම් කරනවා බලන්න හම්බ වුනේ රාජකීය විද්‍යාලෙට ආවට පස්සෙ තමයි. මුල දවස් වල නම් මට මේ අලුත් සෙල්ලම ගැන ඒ තරම් ආසාවක් ඇතිවුනේ නෑ. ඒ කොහොම වුනත් ටික දවසක් යනකොට මගෙ කුතුහුලය ටිකින් ටික වැඩි වුනා මේ සෙල්ලම ගැන දැන ගන්න. එතකොට තමයි මම රගර් සෙල්ලමේ තියෙන නීති රීති එහෙම මොනවද කියල දැනගත්තෙ. අනිත් එක නවයෙ දහය පන්ති වලට එනකොට අපේ පන්ති වල හිටපු සමහර ළමයි පාසල් කණ්ඩායම වෙනුවෙන් රගර් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒකට වැඩි හරියක් යොමුවුනේ ටිකක් ඇඟපත තියෙන ළමයි .මං වගේ ඇටිකිච්චො හීනෙන් වත් රගර් සෙල්ලං කරන්න නං හිතුනෙ නෑ. මොකද අපි සෙල්ලං කරානං තරඟ ඉවර වෙල් අපේ කෑලි ටික තමයි එකතු කර ගන්න වෙන්නෙ නිසා. 🙂

මේ සෙල්ලම ගොඩක් ඇගේ හැප්පිලා කරන එකක් වුනත් බොහොම ඉක්මනට මගෙ ආසාවක් ඇතිවුනා රගර් තරඟ බලන්න. කොහොමටත් රගර් කණ්ඩායම් ක්‍රීඩාවක් වුන නිසා මගෙ ආසාව තවත් වැඩි වුනා. මොකද තනි තනි ක්‍රීඩකයො සෙල්ලම් කරන ක්‍රීඩාවලට මගෙ ඒ තරම් කැමැත්තක් නැති නිසා. ඔය කාලේ ඉතින් අපේ පන්ති වල හිටපු රගර් ක්‍රීඩකයො නම් හරි ඉහළින් තමයි හිටියෙ. සමහර අය හිතාගෙන හිටියෙ ඒ අය නවසීලන්ත ජාතික කණ්ඩායමේ සෙල්ලං කරනවා වගේ. අප්පේ බලන්න එපැයි උන්දලගෙ තිබ්බ ආඩම්බර වෙලාවකට. ඒක නිසාම සමහර වෙලාවට රගර් ගහන උන්දල අපිට වැඩිය ඇල්ලුවෙත් නැති ගානයි.

ඉතින් ඔයින් මෙයින් මගෙ රගර් ක්‍රීඩාව ගැන තියෙන උනන්දුව එනාන එන්නම වැඩි වෙන්න ගත්තා. ඒක නිසාම සමහර වෙලාවට අපේ කාණ්ඩෙය මිත්‍රයො ආවෙ නැතත් තනියම හරි ගිහිල්ලා රගර් තරඟ නරඹලා තියෙනවා. ඉතින් ඔක්කොම කතන්දර අස්සෙ බ්‍රැඩ්බි තරඟය ගැන වැඩි විස්තර කියන්න අමතක වුනානෙ. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලෙ බිග් මැච් එකට අමතරව තියෙන වැදගත්ම ක්‍රිඩා ඉසව්ව තමයි බ්‍රැඩ්බි තරඟය. ඔය තරඟය ගැන හැම දෙනාම කතා කරන්නෙ හරිම උනන්දුවෙන්. කොහොමටත් පාසල් කාලෙදි ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා රගර් ක්‍රීඩකයො බොහොම ජනප්‍රියයි. පත්තර වල වුනත් රගර් තරඟ ආවරණය කරන එක බොහොම උනන්දුවෙන් කරනවා. තරඟ බලන්න එන පිරිසත් බොහොම වැඩියි.

ඔය රගර් ක්‍රීඩාවට උනන්දු වුනු මුල් කාලෙ තමයි බ්‍රැඩ්බි තරඟය ගැන දැන ගත්තෙ. ඒ දවස් වල ඉහළ පන්ති බල ළමයිනුයි අපේ පන්ති වල හිටපු සමහර ළමයිනුයි ඒ කාලෙදි බොහොම ඒ ගැන උනන්දු වුනත් මම එච්චරම ඒ ගැන හොයල බැලුවෙ නෑ. මොකද ඒක ඒ තරම් ආස්වාදනීය දෙයක් කියල මම හිතුවෙ නැති නිසා. නමුත් පස්සෙ කාලෙක තමයි මම මේ ගැන හරියටම ඇන ගත්තෙ.

ඔය බ්‍රැඩ්බි තරඟයෙ තියෙන අපූරු ගතිය තරඟ දෙකක් තියෙන එක කියල මම කිව්වනෙ. සාමාන්‍යෙන් දැන්නම් කොළඹ තරඟය රාජකීය ක්‍රීඩා සංකීර්ණයෙදි තමයි තියන්නෙ. මහනුවර තරඟය තියන්නෙ සුප්‍රසිද්ධ බෝගම්බර පිට්ටනියෙ. ඉස්සර නම් සුගතදාස පිට්ටනියෙත් , නුවර නිත්වෙලදිත් ඔය තරඟය තිබිලා තියෙනවා. කොහොම හරි මුල්ම වතාවට මම බ්‍රැඩ්බි තරඟයක් බලන්න ගියෙ මට මතක විදිහට දෙදහස් එකේ අවුරුද්දෙ. එච්චර කාලෙකට ආසාවක් තිබුනට බ්‍රැඩ්බි තරඟයට යන්න අවස්තාවක් හම්බ වුනේ නෑ.

කොහොමටත් මේ තරඟයෙ තියෙන වටා පිටාව හරිම අපූරුයි. මොකද පිට්ටනිය පිරිලා ඉතිරිලා යන තරමට සෙනග එනවා තරඟය බලන්න. කොහොමටත් නුවර තරඟය බලන්න යන එක විනෝද චාරිකාවක් යනවා වගේ. කණ්ඩායම් එකතු වෙල් උදේ නුවර ගිහිල්ලා කාලා බීලා විනෝද වෙලා හවස තරඟය බලන්න යන එක තමයි අපේ කට්ටිය කටන්නෙ. සමහර වෙලාවට උදේ හොදට සප්පායම් වුනාම හවස තරගෙදි එක බෝලයක් වෙනුවට බෝල තුන හතරක් මැවිලා පේනවා. 🙂

මේ තරඟයට එන ගොඩක් අය එන්නෙ තම තමන්ගෙ ඉස්කෝල වල ටී ෂර්ට් ඇඳගෙන ඒ ඒ අවුරුද්දෙ කණ්ඩායම් විදිහට. ඊට අමතරව ප්‍රසිද්ධ පපරෙ බෑන්ඩ් එහෙමත් සෙල්ලම් කරනවා. මේ තරඟය පුරුවටම අපි ඉතින් කරන්නෙ ගිරිය කඩාගෙන අපේ ඉස්කෝලෙ දිරිමත් කරන්න කෑ ගහන එක තමයි. ඉහෙම කරනකොට ඇතිවෙන හැඟීම නම් විස්තර කරන්න හරි අමාරුයි. කොහොම හරි 2001 අවුරුද්දෙ මම බලපු තරඟය පැවැත්වුනේ කොළඹ දි. ඒ අවුරුද්දෙ තිසල් ජයවර්ධනගෙ නායකත්වයෙන් තරඟ වැදුනු ත්‍රිත්ව කණ්ඩායම ලකූණූ 12-0 සහ 16-0 විදිහට පරද්දපු අපේ කණ්ඩායම ජයග්‍රහණය කලා. ඒ තරඟයෙදි අපේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ දක්ෂ ක්‍රීඩකයෙක් වුනු හරීන් කලුආරච්චි. ඊට අමතර ඒ කණ්ඩායමේ සුල්කි හමීඩ්, ෂමිල් මොහොමඩ්, දුෂාන්ත ලෙව්කෙ, රජිත් ජයසුන්දර වගේ ජාතික මට්ටමට ගිය දක්ෂ ක්‍රීඩකයන් ගෙන් පිරී තිබුණා.

ඉතින් ඒ මුල්ම තරඟයෙන් පස්සෙ මගෙ බ්‍රැඩ්බි තරඟය ගැන තියෙන ආසාව තවත් වැඩි වුනා. ඊට පස්සෙ අවුරුද්දෙ තමයි මම මුල්ම වතාවට නුවර බ්‍රැඩ්බි තරඟය බලනාන ගියෙ. ඒ නුවර ගමන් ඔක්කොම හරිම සුන්දර අත් දැකීම්. අනිත් කාරණාව ඔය බ්‍රැඩ්බි තරඟයට ගියාම පරණ යාලු මිත්‍රයො ගොඩ දෙනෙක් මුණ ගැහෙනවා. සමහර අයව දකින්නෙ ඉස්කෝලෙන් එළියට ආවට පස්සෙ පලවෙනි වතාවට. ඒක නිසා බ්‍රැඩ්බි තරඟය රගර් තරඟයකට අමතරව යාලු මිත්‍රකම් අලුත් කරන තැනක්.

තවත් ගොඩක් දේවල් බ්‍රැඩ්බි තරඟය වගේම මම බලන්න ගිය අමතක නොවන රගර් තරඟ ගැනත් ලියන්න තියෙනවා. එහෙම නම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” නිමා කරනවා. නැවත හමුවන තෙක් ආයුබෝවන්.