නිදහස් අදහස්

July 12, 2008

යකඩ කට

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 11:37 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හතර වන සටහන. ගිය සතියෙ සටහන ලියන එක දවසක් ප්‍රමාද වුන නිසා මේ සතියෙ සටහන දවසක් කලින් ලියන්න තීරණය කලා. ජනාධිපති කුසලානය සඳහා ඉසිපතන – ශාන්ත පීතර දෙවිදුහල් අතර පැවති උණුසුම් රගර් තරඟය නරඹලා ඉවර වෙලා තමයි ලියන එක පටන් ගන්නෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

වෙනදා වගේම ලියන්න පටන් ගන්න කොටම නිශ්චිත අහසක් නැගුනෙ නෑ. මේ දවස් වල තියෙන වැඩ වැඩි කමත් ඒකට එක හේතුවක්. කොහොමටත් විශ්ව විද්‍යාල ජීවිතයේ මේ ගෙවිලා යන්නෙ අන්තිම මාස දෙක තුන. වැඩ කොයි තරම් ගොඩ ගැහිල තිබුනත් වෙලාවකට හරි කම්මැලි කමක් දැනෙනවා. නින්ද යන්නෙ නැති එක තමයි ලොකුම ලෙඩේ. බරපතලම කාරණාව ඒක නිසා උදේට නැගිටින්නෙ නිදි මතේ. ඊට පස්සෙ දවසම නිදි මතේ වැනි වැනි ඉන්න එක තමයි කරන්නෙ. මේ සටහන ලියන සෙනසුරාදා දවසෙ උදේ පාන්දර දහයට විතර නැගිටල ආයෙ පැය භාගයක් නිදා ගත්තා. ඊට පස්සෙ ටිකක් ඉඳල දවල් දොලහට විතර ආයෙ නිදාගෙන නැගිට්ටා දවල් එක පහු වෙලා. දවල් කෑම එහෙම අරගෙන ආයෙමත් නිදාගෙන නැගිටින කොට තුනහ මාර පහුවුනා. දැන් මේ හවස් ජාමේ තමයි ටිකක් ඇහැරගෙන ඉන්නෙ අද දවසටම. නිදි මත ලෙඩේ නිසා එදිනෙදා ජිවිතේ කටයුතු වලට බාධාවක් වෙන එක තමයි ඉවසන්න බැරි. ලියන්න දේවල් කල්පනා කර කර ඉන්න කොට ඉස්කෝලෙ යන කාලේ සිදුවීම් තව මතක් වුනා. ඔය වැඩිහිටියන් අතර තියෙන නොයෙකුත් ප්‍රශ්න නිසා අපි අපහසු තාවයට පත් වුනු සිදූවීම් ඔය අතර තිබුනා. ඒ අතර එක සිදුවීමක් වුනේ අපේ පන්ති භාර ගුරුතුමිය සහ පාසලේ විදුහල්පතිනිය අතර තිබුනු මොකද්දෝ නෝක්කාඩුවක්. හේතුව මොකද්ද කියන්න දන්නෙ නැති වුනත් අපේ පන්තියට නොයෙකුත් පුංචි පුංචි කෙනෙහිලිකම් සිද්ධ වෙන අපිටත් තේරිලා තිබුනෙ. සමහර වෙලාවට විදුහල්පතිනිය කරපු වැඩ මොන තරම් විකාර සහගත ද කියනවනම් ඒවායින් පීඩා විඳින උදවියට කේන්ති යන එක පුදුමයක් නෙවෙයි. ඒවා අතර එක දෙයක් වුනේ නොමනා ශබ්ද විකාශන යන්ත්‍රයෙ භාවිතය. ඒ සිද්ධිය වුනේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් පන්තියෙ ගුරුවරයෙක් නැති වෙලාවකට ටිකක් කෑ කෝ ගහන එක, ගුටි බැට ඇණ ගන්න එක ළමයින්ගෙ පුරුද්දක්. ළමයි එහෙම නොකලොත් තමයි අපි කලබල වෙන්න ඕනෙ. ඉතින් අපේ පන්තියෙත් ගුරුතුමිය හිටියෙ නැත්තනම් ටිකක් සද්දෙ වැඩියි. අවාසනාවකට වගේ අපේ පන්තිය පිහිටලා තිබුනෙ විදුහල්පතිනියගෙ කාමරයට යාබදව. ඒක නිසා පොඩ්ඩක් සද්දෙ වැඩි වුනත් ඇහෙනවා. ඉතින් සද්දෙ වැඩිවුන ගමන් ඇය කරන්නෙ අපේ පන්තියෙ වෙන්නෙ මොකද්ද කියල හොයල බලන්නෙ වත් නැතුව “5 A පන්තියෙ ළමයි වහාම නිශ්ශබ්ද වෙන්න” හරි නැත්තම් “විනීතව හැසිරෙන්න” කියල යකඩ කටින් කෑ ගහන එක. අපරාදේ කියන්න බෑ ඇගේ කාමරයෙන් ඔලුව එළියට දාලා කතා කරන දුරින් තියෙන පන්තියට කියන්න ඕනෙ පණිවිඩය මුලු ගමටම ඇහෙනවා. ඉතින් ඒ වගේ යකඩ කටින් ඇහෙනකොට තප්පර දෙක තුනක් සද්ද නැතුව ඉන්න අපි, ඊට පස්සෙ ඊටත් වඩා හයියෙන් කෑ ගහනවා. ආයෙත් යකඩ කට කෑ ගහනවා. ඔය සෙල්ලම ඉතින් මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. දවසක් අපිට හදිසි අවශයතාවයකට පැයකට දෙකකට අපේ පන්ති භාර ගුරුතුමිය යන්න ගියා. ඒ අතරෙ අපිට රචනාවක් ලියන්න කියල ගියා. අපි හිතුවා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් ගුරුතුමී ආපසු එන එකක් නෑ කියලා. ගුරුතුමිය කොහොම හරි ආපහු ආවා ඉස්කෝලෙ ඇරෙන්න කලින්. ඒ කාලය අතරතුර අර යකඩ කටින් කෑ ගහන සෙල්ලම සුපුරුදු පරිදි වුනා. ආපහු එන ගුරුතුමිය ඉස්කෝලෙට ලං වෙනකොට ඇහිලා යකඩ කටෙන් අපේ හැසිරීම ගැන ගුණ වර්ණනාවක් කියවෙන සද්දෙ. පන්තියෙ හැසිරීම ගැන ශබ්ද විකාශනයෙන් කියන කොට අහගෙන ඉන්න උදවිය හිතන්නෙ “මේ පන්තියෙ විනය අන්තිමයි” කියලනෙ. ඒක නිසා කෝපයට පත් වෙච්ච ගුරුතුමිය ගෙන් අපිට ගුටි කන්න සිද්ධ වුනා. මොකද එදා නට නටා හිටියා මිසක් අපි ගුරුතුමිය පවරපු රචනාව ලියල තිබුනෙත් නෑ. සාමාන්‍යයෙන් ඔය සිදුවීම මට හොඳට මතක හිටියෙ අපේ ගුරුතුමී අපිට දඬුවම් කරල තියෙන්නෙ බොහොම කලාතුරකින් නිසා.

ඔය විදිහෙ කෙනෙහිලිකම් නිසා ඉතින් අපිට වුනත් විදුහල්පතිනිය ගැන තිබුනෙ ඒ තරම් පැහැදීමක් නෙවෙයි. තවත් වතාවක ළමයි දෙන්නෙක් අතර ඇතිවුන ගැටුමක දි අනවශ්‍ය විදිහට මැදිහත්වීම නිසා ඇතිවෙන්න ගිය ලොකු අලකලංචියක් යන්තම් ගොඩින් බේරුනා. ලොකු අයගෙ වැඩ නිසා ළමයින්ට තමයි කරදරේ. තවත් දවසක් මට අපූරු වැඩක් වුනා. ඒක වුනේ මම දහයෙ පන්තියෙ හරි නවයෙ පන්තියෙ හරි ඉන්න කොට. ඒ දවස්වල මම ආවෙ ගියෙ කෝච්චියෙ. කොහොමටත් කෝච්චියෙ යන එන ගමන හරි විනෝදයි ඒ කාලෙ දැනට වඩා. දැන් නම් කෝච්චියෙ යන එන එක මතක් වෙනකොට එපා වෙනවා. කොහොමහරි මම දවසක් මම වෙනද යන කෝච්චියට කලින් කෝච්චියක ගියෙ. ඉස්කෝලෙ යන්න වේලාසන වැඩි නිසා මම මරදාන ස්ටේසමට වෙලා හිටියා. ඔය අතරෙ ආවා මැදිවියේ මනුස්සෙක්. ඒ කෙනා මගෙන් ඇහුවා උදව්වක් කරන්න පුලවන්ද කියල. මමත් බැලුවා මොකද්ද වැඩේ කියල. බලන කොට ඒ කෙනා අමතක වීමකින් වාර ප්‍රවේශ පත්‍රය ගෙනල්ලා නෑ. මට කිව්වා පුලුවන් නම් එළියට ගිහින් ප්‍රවේශ පත්‍රයක් ගෙනල්ලා දෙන්න නැත්තම් එයාට එළියට යන්න විදිහක් නෑ ස්ටේෂන් එකෙන් කියල. ඒ පාර ඉතින් මමත් වැඩි දුර හිතන්නෙ නැතුව එළියට ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඇවිල්ලා අර කෙනාට දුන්නා.

වැඩේ පත්තු වුනේ ඊට පස්සෙ. මම ඒ කරපු වැඩේ ටිකට් පරීක්ෂා කරන මහත්මයෙක් බලාගෙන ඉඳල. මම ප්‍රවේශ පත්‍රය අර පුද්ගලයගෙ අතට දෙනකොටම පරීක්ෂක මහත්තයා ඇවිල්ලා අල්ල ගත්තා දෙන්නවම. ඊට පස්සෙ දෙන්නවම අරගෙන ගියා දුම්රිය කාර්යාලයට. එතන මාර යුද්ධයයි. කට්ටියම වටවෙලා ප්‍රශ්න කරනවා. මගේ වාර ප්‍රවේශ පත්‍රයත් අතට අරගෙන ඒක අවලංගු කරනවා කියල තර්ජනයකුත් කලා. එවෙලෙ නම් මමත් හොඳටම බය වෙලා හිටියෙ. අපූරු වැඩේ කියන්නෙ මට කියල ප්‍රවේශ පත්‍රය ගෙන්න ගත්තු මනුස්සයා ජාතික හැදුනුම්පත ඇපයට තියල මොනවදො කියල යන්න ගියා. ඒ මනුස්සයා මට මොකද වෙන්නෙ කියල අහන්නෙවත් නැතුවයි යන්න ගියෙ. ඒ වැඩෙන් නම් මාව හොඳටම හොල්මන් වුනා. අන්තිමට ටිකට් පරීක්ෂක මහත්වරුන්ගෙන් කන් ඈත් වෙනකම් දේශනා වලට සවන් දුන්නට පස්සෙ මට එන්න අවසරය ලැබුනා. මම බයවෙලා හිටියෙ වාර ප්‍රවේශ පත්‍රය රඳව ගනියි කියල. අන්තිමේ දී ඔය වගේ වැරදි වැඩ කරන්න ගිහිල්ලා අමතක නොවෙන පාඩමක් ඉගෙන ගෙන තමයි ඉස්කෝලෙ ගියෙ. බැනූම් අහපු එකටත් වඩා මගෙ හිතට අමාරු කාරණාව වුනේ අර මනුස්සයා කිසිම වචනයක් වත් නොකියා පිට වෙලා ගිය හැටි දැක්කම.

එතකොට මම කෝච්චියෙ ගමන් බිමන් පටන් අරගෙන මාස දෙක තුනකට වඩා නෑ. ඔය වගේ කපටි වැඩ කරන උදවිය ගෙන් ඊට පස්සෙ නම් පරිස්සම් වෙන්න ඕන කියල මම ඉගෙන ගත්තා. ඔය වගේ උදවිය කරන තව කපටි වැඩක් තමයි ගමනෙන් බාගයක් දුරට ටිකට් ගන්න එක. ඒ සිද්ධිය පැහැදිලි කලොත් මෙහෙමයි. ගම්පහ ඉඳන් කොළඹ එන කෙනෙක් ප්‍රවේශ පත්‍රය ගන්නෙ වනවාසල වගේ නැවතුමකින්. කෝච්චියෙ පා පුවරුවෙ එල්ලිලා එන මෙයාලා කරන්නෙ කෝච්චිය නවත්තපු ගමන් දුවල ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ආයෙ තමුන් ආපු කෝච්චියට නගින එක. ලංකාවෙ උදවිය ඔය වගේ හොර වැඩ කරන්න හරි දක්ෂයි. හැබැයි මොකද්දෝ කල්පනාවක ගිහින් රාගම දි ටිකට් ගන්න අමතක වුන දවසක මටත් ඔය වැඩේ කරන්න සිද්ධ වුනා. කලබලේට ඔය වගේ වැඩ ගොඩක් වෙලාවට වෙනවා. ඒක නිසා හොරකම් කරන එක, කපටි වැඩ කරන එක සමහර වෙලාවට ඉතින් නොකරම බැරි වෙනවා. හැබැයි එහෙම කියල ඒවා සාධාරණී කරණය කරන එකත් හරි නෑ තමයි. කොහොම වුනත් පුරුද්දට කරන දෙයක් නෙවේනෙ කියල හිත හදා ගන්නවා. හැබැයි මගේ මිත්‍රයෙක් හිටියා ඉස්කෝලෙ යන කාලෙ මහජන පුස්තකාලය ළඟ ඉඳල ටවුන් හෝල් එක ගාවට යන්න ඕන වුනාම කපටි වැඩක් කරපු. එතන තියෙන්නෙ බස් නැවතුම් දෙකක දුර. මිනිහා කරන්නෙ කොටුව පැත්තට යන බස් එකට නැගලා මහරගමට ටිකට් එකක් ඉල්ලනවා. ඉතින් කොන්දොස්තර හිතන්නෙ “අනේ මේ ඉස්කෝලෙ යන ළමයට වැරදිලා, පවු” කියල. එහෙම හිතල එයාලා ටවුන් හෝල් එකෙන් බස් එකෙන් බැහැලා මහරගමට යන හැටි කියල දෙනවා. මිනිහත් බොහොම සතුටින් ටවුන් හෝල් එකෙන් බැහල යනවා සල්ලි නොදී.

එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” ලියල හමාරයි. එහෙමනම් ලබන සතියෙ නැවත හමුවෙමු.

July 8, 2008

හිර කාරයෝ

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 1:04 am

“මගේ සටහන” මේ ලියන්නෙ තිස් තුන්වන සටහන. වෙනදට නම් ඉරිදා හවස් වරුවෙ ලියල ඉවර කරනව වුනත් මෙදා පාර කම්මැලි කම නිසාම වැඩේ කල් ගියා. අන්තිමට සඳුදා හවස් වරුවෙ බෝඩිමට වෙලා ඉන්න අතරෙ තමයි සටහන ලියන එක ආරම්භ කරන්නෙ. මේ සතියෙ “මගේ සටහන” ලියන්නෙ නැතුව ඉඳල පොඩි නිවාඩුවක් දාන්න හිතුනත් පස්සෙ ලියන්න තිරණය කලා. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම අන්තිමටම කියපු සිදුවීම හරි සංවේදී එකක්. ඒ කාලයේ මිත්‍රයන්ගෙන් එකම එක මිත්‍රයෙක් මට තවමත් මුණ ගැහෙනවා. අපි දෙන්නටම බොහෝ දේ මතකයෙ තිබුණත් දැන් ඒ අය ඉන්න තැනක් හරියට දන්නෙ නෑ. ඔය සිදුවීම් අතරෙ තුනේ හෝ හතරෙ පන්තියෙ දි වුන සිදුවීමක් සිහියට නැගුනා. වැඩිහිටියන්ට බොහෝ විට ළමයින්ගෙ අභ්‍යන්තරය වටහා ගන්නට අපහසුයි කියන එකට මේකත් හොඳ උදාහරණයක්. මේක වුනේ පාසලේ වාර විභාගයක් අතර තුර. එදා තිබුනෙ මගෙ මතකයෙ හැටියට පරිසරය විෂය. කොහොම හරි නියමිත කාලයට කාලයට කලින් උත්තර ලියල අවසන් කරල ඉවර වෙච්ච මම කම්මැලි කමට වට පිට බැලුවා. ඔහොම වට පිට බලන කොට මම දැක්කා තවත් සඟයෙක් අපුරු වැඩක් කරනවා. මිනිහත් ප්‍රශ්න පත්තරේට උත්තර ලියල ඉවර වෙලා කම්මැලි කමට විසඳුමක් හොයා ගෙන. විසඳුම තමයි මිනිහා එතන ඉඳගෙනම මනෝමය යතුරු ලියන්නෙක් ගෙ චරිතය රඟපානවා. මිනිහා හිතින් මවා ගත්ත යතුරු ලියනයකින් ලිපියක් යතුරු ලියනය කරනවා. ඒකට මූලාශ්‍රය තමයි මිනිහගෙ උත්තර පත්තරේ. ඇත්තටම සැබෑ යතුරු ලියන්නෙක් වගේ මේ කරන වැඩේ දැක්කම මටත් ඇති වුනේ ලොකු ආසාවක් . ඒ පාර මමත් ඉක්මනට “මෙන්න මගේ එකත් ටයිප් කරල දෙන්න” කියල   මානාහ අතට දුන්න. ඒ පාර මිනිහත් බොහොම සතුටින් වැඩේ භාර ගත්තා. මමත් දැන් බලාගෙන ඉන්නවා.

නමුත් අපේ මනෝමය යතුරු ලියන්නාට බාධා කරගෙන පන්ති භාර ගුරුතුමිය කඩා වැදුනා. “මෙහෙට දෙනවා ඕක” කියල ගුරුතුමිය මගේ සඟයා ගාව තිබුන මගේ උත්තර පත්තරේ උදුරල අරගෙන අපිට හොදටෝම බැණ වැදුනා. ඇය හිතුවෙ මගේ සඟයා මගේ උත්තර පත්තරේ ඉල්ලගෙන උත්තර ලියන්න හැදුවා කියල. මමත් සඟයත් කොච්චර කරුණු පැහැදිලි කරත් ගුරුතුමිය පිළි ගත්තෙම නෑ. “පුංචි කාලේ ඉඳලම නරක වැඩ වලට පුරුදු වෙනවා” ගුරුතුමිය බැණ වැදුණු හැටියට අපිට ලොකු වේදනාවක් දැනුනා. මට බැණුම් අහපු එක එතරම් ගණනක් නොවුනත් මම හින්දා නිකරුනේ අර සඟයට බැණුම් අහන්න සිද්ධ වුන එක ගැන මට දැනුනෙ ලොකු වේදනාවක්. වැඩිහිටියන් ළමයින්ගේ සිතුම් පැතුම් තෝරා බේරා ගැනීමේ දී කොයි තරම් අසමත් ද කියන එක දකින හැම වෙලේම මට ඔය සිද්ධිය මතක් වෙනවා.

කොහොමටත් හිතින් මවා ගත්ත වීර චරිත රඟපාන්න පුංචි සන්ධියෙ ළමයින්ගෙ හිත් වල තියෙන්නෙ ලොකු කැමත්තක්. මම කලින් “මගේ සටහන” වල කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තිබුණ ආසාව ගැන කිව්වනෙ. ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන් ගෙ “ටොම් සෝයර්” කියවල තියෙනවනම් දැනෙනවා ඇති ඔය හීන වල තියෙන අපූර්ව කම. ඔය පහේ පන්තියෙ ඉන්න දවස් වල මම කිව්වනෙ කරපු සෙල්ලම් ගැන. ඔය “පොල් කටු පාපන්දු” සෙල්ලම ඒ අතර හරි අපූරු නිර්මාණයක්. අවශයතාවය තියෙනවනම් ඕනෙ දෙයක් හැඩ ගසා ගන්න ළමයින්ට තියෙන්නෙ අපූරු හැකියාවක්. පහසුකම් ඒ තරම්ම නැති පුංචි ඉස්කෝලයක් වුනත් ළමයින්ගෙ නිර්මාණ ශීලිත්වයෙ අඩුවක් වෙන්නෙ නෑ. ඉස්කෝලෙ තිබුනෙ කොහොමටත් පහේ පන්තිය වෙනකම් නිසා ක්‍රීඩා පහසුකම් දියුණු කරන එක ගැන දෙමවුපියන් වත් ගුරුවරුන්වත් ඒ තරම්ම උනන්දු වුනේ නෑ. මොකද පහේ පන්තියෙදි ශිෂයත්ව විභාගය ගැන උනන්දු කරනවා මිසක් ළමයි සෙල්ලමක් නොකර ඉන්න එකට තමයි වැඩිහිටියො ගොඩක් කැමති. වාසනාවකට වගේ අපේ තාත්තා ගුරුවරයෙක් වුන නිසා මට නිදහසේ ඉන්න ලැබුනා.

ඔය කාලේ ගැන තව මතක් කරන කොට තව දවසක් වුන සිද්ධියක් මට මතක් වෙනවා. සාමාන්‍යයෙන් පාසල පිරිසිදු කිරීමේ කටයුතු පැවරිලා තිබුනෙ අපිට. පන්තියෙ ළමයි සියලු දෙනාටම සතියෙ එක දවසක පිරිසිදු කිරීමේ කාර්යය කරන එක පැවරිලා තිබුනා. ඒක අපි බොහොම කැමැත්තෙන් කලා. බොහෝ වෙලාවට පන්තිය අතු ගෑමේ කටයුත්ත පැවරිලා තියෙන දවසට කලින් දවසෙ හවස පන්තිය අතුගාන එක අපේ සිරිත වෙලා තිබුනා බොහොම වෙලාවට. මොකද එහෙම නොවුනොත් නියමිත දවසෙ වේලාසන එන්න වෙන නිසා. මේ කටයුත්ත අපි කරන්නෙ ඉස්කෝලෙ හමාර වුනාට පස්සෙ. දවසක් සුපුරුදු විදිහට පන්තිය අතු ගෑමේ කටයුත්තට අපි හවස නැවතුනා. එදා හවස මාව ගෙදර එක්ක ගෙන යන්න තාත්තට මොකක්  හෝ හේතුවක් නිසා එන්න බැරි වුන දවසක්. ඒක නිසා වෙනත් ඥාති බාප්පා කෙනෙකුට තමයි ඒ කටයුත්ත පැවරිලා තිබුනෙ. කොහොම හරි අතු ගෑම ඉවර කරල මම පාසලෙන් එළියට එනකොට වෙනදට වඩා විනාඩි දහයක් හෝ පහළොවක් ප්‍රමාදයි. ඊට පස්සෙ මම බාප්පා එක්ක ගෙදර ආවා කියමුකො. ගෙදර ආවට පස්සෙ ගෙදර කට්ටිය ඒකක බාප්පා කිව්වා “මෙයා ඉස්කෝලේ ඇරිලා ළමයි එක්ක සෙල්ලම් කර කර නට නටා හිටියෙ. පරක්කු මොකද කියල මම ගිහන් බලල එක්කගෙන ආවෙ” කියල. ඒ කතාව අහල මට මුලින්ම පුදුමයක් ඇති වුනේ. ඒ කතාව අහපු ආච්චි ත්(අම්ම ගෙ අම්මා)  සැර වුනා ” නටන්න හිටියෙ මොකද , මේ මනුස්සයගෙ වැඩ පාලු වෙනවනෙ” කියල . ඇත්තටම එවෙලෙ කේන්තියයි , දුකයි වැඩි කමට මට ඇඬුනා. මට මතක විදිහට මම හතරෙ පන්තියෙ හිටියෙ එතකොට. බාප්පා එහෙම බොරු කියල විනෝදයක් ගත්තද , නැත්තම් මොළේ හොඳ නැති වෙලාද කියල මට හිතා ගන්න බැරි වුනා. මම කොච්චර කිව්වත් කවුරුවත් ඇත්ත කාරණාව පිළි ගත්තෙත් නෑ. කොහොම හරි අම්මයි , තාත්තයි හිටියෙ නෑ එවෙලෙ.

ඇත්තටම ඒ සිද්ධිය සුලු සිදුවීමක් වුනත් වැඩිහිටියන් ගැන ළමයෙක් හැටියට මගේ තිබුන විශ්වාසය ඒක නිසා බිඳ වැටුනා. දැන් එහෙම සිදු වීමක් වුනා නම් ඉතින් උන්දැගෙ පරම්පරාවට හිතින් හරි පිං අනුමෝදනා කරල තමයි මම සැනසෙන්නෙ. මොනව වුනත් ළමයින්ව අවිශ්වාසට , අවඥාවට ලක් කරල සතුටට පත් වෙන නරුම වැඩිහිටියො ඕනෙ තරම් මම දැකල තියෙනවා. ඒ වගේ වෙලාවට නම් මට ඇතිවෙන්නෙ පුදුමාකාර කේන්තියක්.  ඔය සෙල්ලම් ගැන කතාව ඒ අතරෙ මග ඇරුනනෙ. සාමාන්‍යයෙන් ගහ මරා ගන්න වැඩ වලදි ඇරෙන්න ගෑණු ළමයි අපේ සෙල්ලම් වලට එනවා. හැබැයි ගහ මරා ගන්න ගිහින් ගෑණූ ළමයින්ගෙන් අපේ කොලු ගැටවු ගුටි කාපු වෙලාවල් තිබුනා. ඒ ගැන මම මීට කලින් “මගේ සටහන්” වලින් කියල තියෙනවා.

ඉස්කෝලෙ විවේක කාලයට අපිට තිබුන ජනප්‍රියම සෙල්ලම තමයි “අල්ලන සෙල්ලම”. අපි ඒ සෙල්ලම කලේ අපූරු විදිහකට. මුලින්ම අපි කණ්ඩායම් දෙකකට බෙදෙනවා. ඊට අමතරව කණ්ඩායම් දෙකේ මූලස්ථානය හැටියට පිට්ටනියෙ පැත්තක තිබුනු ගස් දෙකක් තෝර ගන්නවා. සෙල්ලමේ මූලික දේ වුනේ විරුද්ධ පැත්තෙ කට්ටිය හැකි තරම් අල්ලා ගැනීම. ඊට පස්සෙ අල්ල ගන්න උදවිය හිර කාරයො හැටියට තමන්ගෙ මූලස්ථානයට අරගෙන යනවා. එතන හිර කාරයො ටික රැක ගන්නත් තව දෙතුන් දෙනෙක් රඳ වනවා. නැත්තම් අනිත් පැත්තෙ නොදැවුණු ක්‍රීඩකයන්ට අත දීලා අර හිර කාරයො බේරගන්න පුලුවන්. ඒක නිසා ඒක වලක්වා ගන්න තමයි එහෙම කලේ. සෙල්ලමේ දිනුම තීරණය වෙන්නෙ එක පැත්තක ක්‍රීඩකයො සියලුම දෙනාම  හිර කාරයො විදිහට අල්ලා ගත්තට පස්සෙ. සාමාන්‍යයෙන් සියලුම දෙනා අල්ලා ගන්නකම් ගොඩක් වෙලා සෙල්ලම කරන්න පුලුවන්. දුවල දුවල මහන්සි වැටුනොත් තමන්ගෙ මූලස්ථානයට වෙලා ටිකක් විවේක ගන්නත් පුලුවන් විදිහට තමයි නීති හදල තිබුනෙ. සෙල්ලම පටන් අරගෙන ටික වෙලාවක් යන කොට වැඩි දෙනෙක් ප්‍රතිවාදී පැත්තෙ හිර කාරයො බවට පත් වෙනවා. වේගයෙන් , වෙට්ටු දමමින් දුවන්න පුලුවන් ළමයි අල්ල ගන්න විරුදධ පැත්තෙ වැඩි පිරිසක් එකතු වෙනවා. එකතු වෙලා වට කරල තමයි ඒ වගේ ළමයි අල්ල ගත්තෙ. මමත් බොහොම උනන්දුවෙන් ඔය සෙල්ලමට සහභාගි වුනත් සෙල්ලම පටන් අරගෙන ටික වෙලාවක් යනකොට විරුද්ධ පැත්තෙ හිර කාරයෙක් වෙලා අපේ පිලේ සඟයෙක් ඇවිල්ලා බේර ගනීවි කියන බලාපොරොත්තුවෙන් බල්ගෙන ඉන්න තමයි මට සිද්ධ වුනේ. ඒක ට හේතුව ඉතින් මට ඒ තරම් වේගයෙන් දුවන්න බැරි කම මිසක් වෙන දෙයක් නෙවෙයි.

එහෙමනම් ඉතින් සඳුදා රාත්‍රී යාමයේ (ඇත්තටම අගගහරුවාදා පාන්දර ) “මගේ සටහන” ලියල ඉවර කලා. ලබන සතියේ නැවත හමු වෙමු.

June 29, 2008

පොල් කටු පාපන්දු

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 5:34 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් දෙවන සටහන. වෙනද වගේ නැතුව ටිකක් වැඩ අස්සෙ තමයි ලියන්න පටන් ගත්තෙ. කරන්න වැඩ ගොඩ ගැහිල තිබුනත් සුපුරුදු ඉරිදා හැන්දෑවේ ලියල දාන්න කල්පනා කලා. එහෙමනම් ඉතින් “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ සටහන නම් ගොඩක් ප්‍රතිචාර ලැබිල තිබුනා. මම හිතන්නෙ ඒකට හේතුව වෙන්න ඇත්තෙ අර බෙදිල්ලෙ තිබුන පිස්සු ගතිය නිසා වෙන්න ඇති. කොහොම වුනත් ඒක හරි අපූරු වැඩක්. ඔය පොත් කියවීමේ පිස්සුව ගැනත් මම ලිව්වනෙ ගිය සතියෙ. ඒ දවස් වල ඉඳන්ම අලුත් පොතක් කොහෙ හරි දැක්කම නිකමට හරි අතට අරගෙන පෙරලල බලන්න හිතෙනවා. සමහර වෙලාවට පොතක් ගන්නව තියා අමතර රුපියලක් වත් නැති දවසක් වුනත් පැය ගානක් තිස්සෙ පොත් ප්‍රදර්ශන වලට ගිහිල්ලා කාලය ගත කරල තියෙනවා. හැබැයි ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මුල කාලෙ හරිම ආසාවෙන් ගියත් පස්සෙ කාලේ යන එක නවත්තල දැම්මා. ඒකට ප්‍රධානම හේතුව වුනේ පොතක් ජීවිතේටවත් කියවන්න හිතපු නැති උදවිය එතන පිරිලා වැඩේ අවුල් කරන්න ගත්ත නිසයි. ඒ තද බදය අස්සෙ පොත් තෝරනවට වඩා කීයක් හරි වැඩිපුර දීලා පොත් සාප්පුවකින් පොත් ගන්න එක සැප නිසා මතක ඇති කාලෙකින් ගියෙ නෑ මම නම්. සාමාන්‍යයෙන් ඔය වගේ තැනක දි ලේඛකයො සහ පාඨකයන් එකතු වෙන තැනක් බවට පත් විය යුතු වුනත් එහෙම වෙන පාටක් පෙනෙන්න නෑ. හැබැයි මුල කාලේ මමයි මිත්‍රයකුයි ගිය වෙලාවක මම මිල දී ගන්න ලෑස්ති වුනා “චිත්‍රා අයි. පෙරේරා” මහත්තමිය අතින් සිංහලයට පරිවර්තනය වුන “කූඩු කිරිල්ලි” පොත් පෙල. කොහොම හරි මේ පොතේ අන්තර්ගතය ගැන මගේ මිත්‍රය පල කරපු අදහස් නිසා එතන කුටියෙ හිටපු අයත් එක්ක ලොකු විවාදයකුත් ඇති වුනා. කොහොම නමුත් මම පොත මිලදී ගත්තා. වැඩේ කියන්නෙ ඒ වගේ පොත් වල ගුණ දොස් ගැන තර්ක විතර්ක වලට එළඹෙන්න තරම් නිදහස් ඉඩ කඩක් එතන තිබුනු එක. නමුත් පස්සෙ කාලේ එතනට ලැබුන නුවමනා ප්‍රචාරයට පිං සිද්ධ වෙන්න වැඩේ අල වුනා.

පොත් ගැන නම් තව කියන්න තියෙනවා. ඒවා ඉඩ ලැබුන වෙලාවල දි කියන්න පුලුවනි. “මගේ සටහන” ලියාගෙන යන කොට මට එන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි අවිධිමත් කම. මොකද එක එක දේවල් හිටපු ගමන් මතක් වෙනවා. ඒක නිසා මට හැමදාම හිතෙනවා වගේ ලියල ඉවර වෙලා බලන කොට අපිළිවෙල ගතිය දැනෙනවා. ඒකට ඉතින් විශේෂ පිළියමකුත් නැති නිසා දිගටම මේ විදිහට ලියන්න තමයි වෙන්නෙ. ඔය ඉස්කෝලෙ යන කාලෙ අපිට තිබ්බෙ කාලයෙන් කාලයට එක එක පිස්සු වැඩ. සමහර වෙලාවට ඒවා ඒ කාලයේ ජනප්‍රිය වෙන දේවල්. එහෙමත් නැත්තම් අර PI වල අගය හොයනවා වගේ පිස්සු වැඩ. එක කාලයක් තිබුනා අපිට පාපන්දු පිස්සුවක් හැදිල තිබුනා. ඒ අපි පහේ පන්තියෙ ඉන්න කොට. හරියටම කියනවනම් නවසිය අනූ හතරෙ අවුරුද්දෙ. එ්කට ප්‍රධාන හේතුව වුනේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය. පිස්සුව කොයි තරම් තද වුනාද කියනවනම් විවේක කාලයේදි අපි කරන සුපුරුදු සෙල්ලමා නවත්තලා පාපන්දු සෙල්ලම් කරන්න ගත්තා. හැබැයි අපි හිටපු ඉස්කෝලෙ කොහෙන්ද පාපන්දූ? අඩුම ගානෙ අපිට සෙල්ලම් කරන්න සැහැල්ලු පන්දුවක්, වොලි බෝලයක් වත් තිබුනෙ නෑ. ළමයි කාගෙවත් ගෙදරක පාපන්දු ඇත්තෙත් නෑ. එහෙම එකක් අරගෙන දෙන්න කිව්වොත් කියයි “මේකා පොතක් පතක් අරගෙන දෙන්න කියල ඉල්ලන්නෙ නෑ, ඒ වුනාට ෆුට් බෝල ගහන්න කල්පනාව. පැත්තකට වෙලා පොතක් බලාගත්තොත් නරක් වෙලා තියෙයි” වගේ කතාවක්. කොහොමටත් තමන් හීන අසරණ දරුවො මතින් සපුරගන්න දඟලන, මිනිස් යන්ත්‍ර සූත්‍ර බිහි කිරීමේ පෙරමුණ ගත්ත ලංකාවේ බහුතර වැඩිහිටි පරම්පරාව ඔය වගේ තකතීරු කතන්දර ඇහුවෙ නැත්තං තමයි පුදුමෙ. හරිම අමාරුයි මේ අයට ළමයින්ගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න.

කතාවෙන් ටිකක් පිට පැන්නා වුනත් ඉතින් කොහොම හරි පාපන්දුවක් නැහැයි කියල අපේ පාපන්දු ගැසීමේ ආසාව නැති වුනේ නෑ. පාපන්දුව වෙනුවට අපි යොදා ගත්තෙ පොල් කට්ටක්. ඒ කාලේ මට මතක ඇති තරමින් ඒ දරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කලේ නෑ. ඒක නිසා පොල් කටුවක් පාවිච්චි කිරීමේ අදහස කවුරු ඉදිරිපත් කලා වුනත් විරුද්ධ වෙන්න කෙනෙක් හිටියෙ නෑ. හැබැයි ඉතින් සැබෑ පාපන්දුවක් වගේ පොල් කට්ට උඩින් ගහන්න බෑ. ඒක නිසා බිම දිගේ තමයි අපේ “පොල් කටු” පාපන්දුව අරගෙන යන්නෙ. සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ සුපුරුදු සෙල්ලම් වලට ගෑණූ ළමයි හවුල් වුත් “පොල් කටු” පාපන්දු සෙල්ලමට ඒ අය වැඩිය හවුල් වුනේ නෑ. ඕනෙවට වඩා දූවිලි අවුස්සගෙන , එක ගොඩේ හැප්පිලා සෙලලම් කරන්න ගෑණූ ළමයි අකමැති වෙන්න ඇති. හැබැයි ඔය සෙල්ලම පාපන්දු ලෝක කුසලානය ඉවර වුන ගමන්ම වගේ අපි අතින් මග ඇරිලා ගියා. ඊට පස්සෙ අපි අපේ සුපුරුදු සෙල්ලම් වලට මාරු වුනා. කොහොම වුනත් මට “පොල් කටු” පාපන්දු එපා වුනේ එක දවසක් දැල රකින්නා ලෙස ඉන්න කොට “පොල් කටු” පාපන්දුව අතින් අල්ල ගන්න ගිහින් දාරයකට අත කැපුනු නිසා. ඊට පස්සෙ මම පැත්තකට වෙලා හිටියා. ඒ කාලේ මගේ ප්‍රියතම කණ්ඩායම වුනේ ආර්ජන්ටිනාව. සුපිරි ක්‍රීඩක “දියාගෝ මැරඩෝනා” තමයි එම කණ්ඩායමේ නායකයා වුනේ. නමුත් තහනම් මත් ද්‍රව්‍ය ගැනීමේ චෝදනාව මත තරඟාවලිය අතරමැද ඔහු තහනමට ලක් වුනා. ඒක නිසාම ආර්ජන්ටිනා කණ්ඩායම වැඩි දුරකට ගියෙත් නෑ.

ඇත්තටම පහේ පන්තියෙ ඉන්න කාලේ ක්‍රීඩා පහසුකම් අපිට තිබුනෙම නැති තරම්. ටෙනිස් බෝලයක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක්. පිත්තක් නම් තිබුනෙම නෑ. ඒක නිසාම අපි වැඩිපුර ක්‍රිකට් ගහන්නෙ නෑ. අපි වැඩි පුරම කලේ එල්ලෙ ගහන එක. කවුදෝ කෙනෙක් උණ බම්බුවක් හොයා ගෙන ඇවිත් තිබුනා. කොහෙන් හරි ටෙනිස් පන්දුවක් හොයා ගත්තම වැඩේ පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිරිමි ළමයි ක්‍රීඩා කරන කොට ගැහැණු ළමයි එන්නෙ නෑ නෙ. මොකද පිරිමි ළමයි ශරීර ශක්තියෙන් වැඩි නිසා වේගෙන් දුවනවා, විශාල පහරවල් ගහනවා වගේ දේවල් නිසා. ඒ වුනාට අපි පහේ පන්තියෙ ඉන්න කොට එල්ලෙ ක්‍රීඩා කරද්දි ඉස්කෝලෙ ගොඩනැගිල්ලෙ වහල උඩින් ගිහිල්ල අනිත් පැත්තට වැටෙන්න පන්දුවට පහර දෙන්න පුලුවන් වුනේ අපේ පන්තියෙ හිටපු ගෑණු ළමයෙකුට. අපේ සම වයසෙ ළමයෙක් වුනත් සෙල්ලමේ දී කිසිම අමාරුවක් නැතිව අපිව පරද්දන්න ඒ යෙහෙළියට පුලුවන් වෙච්ච එක ගැන තිබුනෙ ලොකු ඉරිසියාවක්. පිරිමි ළමයි කොච්චර උත්සහ කලත් යන්තම් ඒ ගොඩනැගිල්ලෙ පළවෙනි තට්ටුව විතර උසකට තමයි පන්දුව යවන්න පුලුවන් වුනේ. මම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒ පාසලේ සෙල්ලම් වගේම සිදුවුන සංවේදි සිදුවීම් තාමත් මගේ මතකයෙ තියෙනවා. ඒ අතර එක සිදුවීමක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. සිද්ධිය මෙහෙමයි. පහ වසර ශිෂ්‍යත්වයෙන් මම ත් ඇතුලුව පාසලේ ළමයි හය දෙනෙක් සමත් වුනා අනූ හතර අවුරුද්දෙ. කොහොම හරි පාසලේ ළමයි ඔක්කොම කැඳවල අපිට සුබ පතල, අගය කරල රැස්වීමක් එහෙම පැවැත් වුනා. ඉතින් එදා හවස අපේ පන්තියෙ හිටපු ළමයි කිහිප දෙනෙක් එකතු වෙලා සමත් වෙච්ච සියලු දෙනාවම ළඟ පාත තිබ්බ කඩයකට එක්ක ගෙන ගිහින් බීම බෝතල් සහ කෑම අරගෙන දුන්නා. සාමාන්‍යයෙන් ඒ වයසෙදි ළමයි ළඟ වැඩිපුර සල්ලි නෑ. එදා වියදම් කරපු මුදලත් සැලකිය යුතු මට්ටමේ ගණනක් කාලෙ හැටියට. ඇත්තටම ඒ සංග්‍රහය නිසා අපි බොහොම සතුටටත්, පුදුමයටත් පත් වුනා. මොකද ඒ තරම් ගණනක් අපි වෙනුවෙන් වියදම් කරපු නිසා. ඒ පාර මම එක සඟයෙක් ගෙන් ඇහුවා “ඇයි අපිට මේවා අරගෙන දුන්නෙ ඔයාලගෙ වියදමින්” කියල. ඒ පාර ඒ සඟයා කිව්වා ” අපි ට හරිම සන්තෝසයි ඔයාලා පාස් වෙච්ච එක ගැන. ඔයාලා වෙන ඉස්කෝලෙකට ගියහම අපිට හම්බ වෙන එකකුත් නෑ නෙ, ඒකයි මේ” කියල. ඇත්ටම ඔවුන් තමන්ගෙ මිත්‍රයන්ගේ ජයග්‍රහණය ගැන සතුටු වුන අව්‍යාජ භාවය මේ ලියන මොහොතේ දී පවා මට දැනෙනවා. ඒ සිදුවීම නැවත සිහිපත් කලේ වැඩිහිටියන්  “අනිත් අයට වඩා ඔයා ඉහළට යන්න ඕන” කියල මොන තරම් විස පෙව්වත් ළමයින්ගෙ සිත් තුල මොන තරම් මනුෂ්‍යත්වයේ හැඟීම් දැල්වෙනවද කියන එක දැනුන නිසා. අද කොහේ ඒ මිත්‍රයන් කොහේ ඉන්නවද, මොනව කරනවද කියල දන්නෙ නැති වුනත් එදා ඒ දක්වපු අව්‍යජ භාවයට උපහාර පුද කරමින් “මගේ සටහන” නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

June 22, 2008

අමුතු බෙදිල්ල

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 8:26 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් එක්වන ලිපිය. සුපුරුදු පරිදි ඉරිදා හැන්දෑවේ , ත්‍රිත්ව සහ කිංස්වුඩ් දෙවිදුහල් අතර පැවැත්වුන රගබි තරඟය නරඹලා ඉවර වෙලා තමයි වැඩට බැස්සෙ. විටින් විට කඩා ගෙන හැලෙන වැස්ස එක්ක ටිකක් කේන්තියෙනුත් එක්ක තමයි ලියන්න පටන් ගත්තෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම කිව්ව දන්කෝ ගැන කතාව මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතා වලින් මම ඉතාම කැමති එකක්. ඊට අමතරව මම කැමතිම කෙටිකතා අතර “මගේ කුලුඳුල් ආලය” හා “විසි හය දෙනෙක් සහ තරුණියක්” කියන කතාවන් ඇතුලත්. ගෝර්කි ගෙ ඒ කෙටි කතා දෙක කියවල නැත්තනම් කොහෙන් හරි හොයාගෙන කියවන එක නරක නෑ. අන්ත දිළින්දකු ලෙස සිය ජීවිතයේ නොයෙක් බාධක වලට මුහුණ දුන් ගෝර්කි මම කියවල තියෙන ලේඛකයන් අතර විශිෂ්ඨතමයා විදිහට තමයි හිතෙන්නෙ. කොතරම් දුක් කරදර වින්දත් තමන් ලියපු දේවල් වල වයිරය , ක්‍රෝධය වගේ හැඟීම් වලින් තොරව, ඉතාමත් සංයමයෙන් මිනිස් සම්බන්ධතා වල ගුණ සුවඳ පිළිබඳ නොනැසෙන විශ්වාසයක් ඇතිව ලියපු ලේඛකයෙක් විදිහටයි මම ගෝර්කි ව සලකන්නෙ. එවැනි මානව දයාවෙන් පිරුණු ලේඛකයන් බිහි වෙන්නෙ බොහොම කලාතුරකින්.

හදිසියෙම ගෝර්කි මතක් වුන නිසා ඒ ටික කියල දැම්මා. ඉදිරි “මගේ සටහන්” හරහා මම කියවපු ගෝර්කි ගෙ පොත් ගැනත් ටිකක් කියන්න කල්පනාව තියෙනවා. මේ සතියෙ සටහන ලියන්න ගන්න කොටම පෙර සූදානමක් නැති කමින් ලියන්නෙ මොනවද කියන එක කල්පනා කරන්න සිද්ධ වුනා. වෙලාවකට ලියන එකේ ලබන ආස්වාදය ගිලිහිලා යන ගතිය ඒකට හේතුව වගේ දැනෙනවා. එදිනෙදා දේවල් වල නිරත වෙන යාන්ත්‍රික ස්භාවයට “මගේ සටහන” ලක් වෙලාද කියල මටත් සැක හිතෙන වෙලාවල් තියෙනවා. ඔය අස්සෙ ඉස්කෝලෙ යන කාලේ සිද්ධි මතක් වුනා. මතක් වෙන හැම සිද්ධියම කියන්න බැරි වුනත් කියන්න පුලුවන් තරමේ ඒවා කියල දාන්නයි කල්පනාව.

සාමාන්‍යයෙන් වැස්සකට හරි ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙක් ගණිතය කියල විෂයක් ගැන අහල ඇතිනෙ. එක වසරෙ ඉඳන් ලංකාවෙ ඉස්කෝල වල අවුරුදු එකොළහක් තිස්සෙ හණිතය උගන්නනවා වුනත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් ප්‍රතිශතය සියයට පනහක (50%) ට මදක් වැඩි ගණනක්. අබ්බගාත අධ්‍යාපන ක්‍රමය ගැන ඔයිට වඩා හොඳ උදාහරණ තවත් ඕනෙ නෑ නෙ. ගෙවල් වලින් ළමයින්ට වෙලාවකට බනිනවනෙ කේන්ති ගියහම “මේකට වියදම් කරපු  සල්ලි වලින් එළදෙනක් හැදුවා නම් කිරි ටික වත් ගන්නවා” කියල. ඒ වගේ අධ්‍යාපන ක්‍රමය නඩත්තු කරන්න ගෙවන බදු වලින් බලධාරීන් පිස්සු කෙලින හැටි දැක්කම හිතෙනවා “ඉස්කෝල වහල, ළමයි අතට සල්ලි ටික දුන්නනම්” කියල. කතාව ඉතින් බලධාරීන් ගැන නෙවේ. ඔය ගණිතයෙ තියෙනවනේ PI කියල අගයක්. ගණිතය යන්තමින් හරි මතක නම් ඔය අගය අමතක වෙන්න විදිහක් නෑ. සාමාන්‍යයෙන් ඕකෙ අගය 3.14 ක් විතර ආසන්න වශයෙන්.

ඉතින් අපි දහයෙ පන්තියෙ ඉන්නකොට අපේ සඟයෙක්ට ඇති වුනා අපූරු ආසාවක්. ඔය PI කියන අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හෙව්වොතින් ඒක ඉතා නිවැරදි අගයක් ලු.ඒක කොහෙන් හරි දැනගෙන ආපු මිනිහා අපිට කිව්වා කොහොම හරි  PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හොයමු කියල. මම එක පාරට කිව්වා “එච්චර ගොඩක් තනියම බෙදන්න බෑ, අත ඇරල දාමු” කියල. ඒ වුනාට මිනිහ නෙවෙයි සැලුනෙ. මිනිහා කිව්වා අපි තව දෙතුන් දෙනෙක් හවුල් කරගෙන මාරුවෙන් මාරුවට බෙදාගෙන යමු කියල. ඒ පාර තවත් සඟයෙක්ට ඇම දාලා වැඩේට හවුල් කර ගන්න පුලුවන් වුනා. වැඩේ යෝජනා කරපු මිත්‍රයා එදාම පිටු අසූවේ පොතකුත් මිලදී අරගෙන ආවා තමුන්ගෙ වියදමින්ම. මට ඉතින් ඇතිවුන ප්‍රශ්නෙ දශම ස්ථාන දශ ලක්ෂයක් ලියන්න පොතේ ඉඩ ඇති වෙයිද කියන එක.

කොහොම හරි අපි මුලින්නම සම්මුතියකට එළඹිලා වැඩේ පටන් ගත්තා. සම්මුතිය තමයි එක් කෙනෙක් දශම ස්ථාන සියයක් වෙනකම් බෙදිය යුතුයි කියන එක. කොහොම හරි අපිත් බොහොම උද්යෝගයෙන් යුතුව වැඩේ පටන් ගත්තා. කරදරයක් නැතිව දශම ස්ථාන දාහක් විතර වෙනකම් බෙදාගෙන ගියා. ඔන්න මුලින්ම “මේක කිසි තේරුමක් නැති වැඩක්” කියල අපේ හවුල්කාර සඟය ඉවත් වුනා. ඒක නිසා මගේ උද්යෝගයත් හීන වෙලා ඉවත් වුනා. අන්තිමට PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් දක්වා හොයාගෙන කීර්තිමත් ගණිතඥයකු වෙන ආසාව අකමැත්තෙන් වුනත් අත ඇරල දාන්න වැඩේ යෝජනා කරපු සඟයට සිද්ධ වුනා. හැබැයි සල්ලි දීලා ගත්ත අභ්‍යාස පොත නම් අපතෙ ගියෙ නෑ. මිනිහ ඒකෙ මුල් පිටු දෙක තුන ඉරල දාලා වෙන විෂයකට පාවිච්චි කලා. ඔය වගේ වැඩ කරන්න පරිගණක භාවිතා කරනවා කියල අපි මෙලෝ හාංකවිසියක් දැන ගෙන හිටියෙ නෑ ඒ කාලේ. කවුරුහරි මේක කියවන කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා “මෙච්චර මෝඩ වැඩ කරන්න මොළේ මහන්සි කලේ මොකටද” කියල. ඒ වුනාට ඉතින් ඉස්කෝලෙ යන කාලෙට එන ඔය වගේ අරුම පුදුම කල්පනා වලත් අමුතු ජොලියක් තියෙනවා. ඒ අවධිය පහු කලාට පස්සෙ තමයි කරපු මෝඩ කම් වල තරම තේරෙන්නෙ.

ඔය අතරෙ ටිකක් මොළේ ඇති වැඩත් කරල තියෙනවා. එකක් තමයි අපේ පන්තියෙ පිහිටුවගෙන තිබුන පොත් කියවීමේ කල්ලිය. ඒක හරිම අපූරු එකක්. ඒ කාලේ අපි කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු ටාර්සන්ගේ වීර ක්‍රියා ඇතැලත් පොත් වලට වගේම රයිඩර් හැගාර්ඩ් ලේඛකයගෙ ඈ හේවත් අයේෂා, විජයග්‍රහී කෝනෑන් වගේ පොත් වලට පිස්සු වැටිලා හිටියෙ. ඒ දවස් වල චන්දන මෙන්ඩිස් ශූරීන්  ගෙ ෂර්ලොක් හෝම්ස් පොත් ඒ තරම්ම ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඔය සම වයසෙ ගෑණූ ළමයි ගැන උනන්දුව ඇති වෙන්න කලින් අපිට තිබුන ලොකුම ආසාව ඔය පොත් කියවන එක.

ටාර්සන් පොත් සියල්ල කියවලා තියෙන කෙනෙක් හිටියොත් ඒ කෙනා නිතරඟ වීරයෙක්. “මම ඔය ඔක්කොම පොත් කියවල තියෙනවා” කියල කියන්නෙ හරිම උජාරුවෙන්. අපිට ඒ වෙලාවට හරිම ඉරිසියයි. අපිට ගොඩක් වෙලාවට අලුත් පොතක් කියවන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ කවුරු හරි පොත මිලදී ගත්ත කෙනෙක් ගෙන් හරි පුස්තකාලයෙන් හරි ඒ පොත හොයාගන්න කම්. ගෙදරින් අමතර වියදමට කියල සල්ලි වැඩිපුර ලැබුනෙ නැති නිසා ඉතින් පොතක් ගන්න සල්ලි එකතු කරගන්න මාස ගානක් බලාගෙන ඉන්න වෙනවා. හැබැයි හරි අමාරුවෙන් සල්ලි ඉතුරු කරගෙන මාස කිහිපයකට සැරයක් හරි පොතක් ගන්න සල්ලි හොයා ගත්තා ඉහළ පන්ති වලට ආවට පස්සෙ.

අලුත් පොත් “අහවලා ළඟ තියෙනවා” හරි “මම කියෙව්වා” වගේ කතන්දර අහගෙන ඉන්න කොට නම් ඉවසීමේ සීමාව ඉක්මවල යනවා. අන්තිමේ දී අපේ පන්තියෙ සඟයෙක් යෝජනා කලා අපි හැමෝගෙම සල්ලි යොදවල අලුතෙන් පිටවන පොත් මිල දී ගම්මු කියල. හැමෝම එක පයින් යෝජනාවට එකඟ වුනා. ඒ කල්ලියට විසි දෙනෙක් විතර හිටපු නිසා එක ළමයෙක්ට දෙන්න වුනේ රුපියල් දහයක් හෝ පහළොවක් වගේ ගණනක්. වැඩිම වුනොත් රුපියල් විස්සක්. ඒක හැමෝටම දරා ගන්න පුලුවන් ගණනනක් නිසා අපිට ලොකු සතුටක් දැනුනෙ. හැබැයි ඉතින් ක්‍රමයෙ පොඩි පොඩි අඩු පාඩුත් තිබුනා. මොකද සමහර අයට පොත කියවන්න සති දෙක තුනක් කට ඇරගෙන බලා ඉන්න වෙනවා. එතකොට පොත අතින් අතට ගිහිල්ලා අලුත් ගතිය නැතිවෙලා. පොත ගන්න සල්ලි දුන්න උදවියට අමතරව අපේ පන්තියෙ සහ අහල පහල පන්ති වල සඟයන්ට ත් පොත බලන්න දෙනවා. හැබැයි පොතට සල්ලි යොදවපු කට්ටිය කියවල ඉවර වුනාට පස්සෙ. ඒක බොහොම සාධාරණ වැඩක් වුනා කියල මට හිතෙන්නෙ.

ඔය විදිහට කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු “මොන්ත ක්‍රිස්තො” සිටුවරයා පොත් මාලාවේ පොත් හයම මිලදී අරගෙන කියවන්න අපිට පුලුවන් වුනා. ඊට අමතරව “ඈ හෙවත් අයේෂා” , “අයේෂා ආපසු එයි” වගේ පොත් කියවන්න ලැබුනා. හැබැයි මිලදී ගත්ත පොත් වල අවසාන අයිතිකාරයා වුනේ කවුද කියන එක ගැන කවුරුවත් ඒ තරම්ම වද වුනේ නෑ. මොකද ඒ වගේ රස වෑහෙන පොතක් පුංචි මුදලක් දීලා හරි කියවන්න ලැබීමත් ලොකු දෙයක් අපිට ඒ කාලෙ හැටියට.  ඔය පොත් අතරින් අපි වැඩිපුරම ආස කරපු “ටාර්සන්” පොත් ගැන තිබ්බ උනන්දුව කොච්චරද කියනවනම් අපේ සමහර සඟයන්ට ඒ පොත් වල එන නම් පවා පට බැඳල තිබුනා. යෝධයෙක් වගේ ඇඟ පත තිබුන ලමයෙක්ට නම දාලා තිබුනෙ “ටැන්ටෝර්” හෙවත් “ඇතා”. තව “පම්බා” හෙවත් “මීයා” සහ “හෝර්තා” හෙවත් “ඌරා” වගේ නම් පට බැඳිලා තිබුනා. මොනව වුනත් කියවීමට අපි ගොඩක් හුරු වුනේ ඒ පොත් හරහා තමයි. අප අතරින් වියෝ වුන තරුණ පරපුර කියවීමට හුරු කරමින් රසාලිප්ත ලෙස පරිවර්තන කාර්යයෙහි නිරත වුන කේ.ජී. කරුණාතිලක ශූරීන් ට “මගේ සටහන” හි උපහාර පුදමින් මෙවර සටහන නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

June 15, 2008

දන්කෝ

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 12:46 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙනනෙ තිස් වන ලිපිය. ගිය සතියෙ ලිපිය ලිව්වෙ බොහොම කම්පනයෙන් යුතුව. ඒ කම්පනය කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. තුවාල වුනු ලංකාවෙ හදවත් වලින් ගලාගිය ලේ බිංඳු නිසා හැගීම් දැනීම් නැති යන්ත්‍ර බවට පත්වුනු මිනිස් ජීවිත නැවත යථා තත්වයට පත් වෙනකම් ඒ කම්පනය තියෙනවා. කොහොම වුනත් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ බෝම්බයෙන් අපේ විශ්ව විද්‍යාලයෙ ප්‍රමාණ සමීක්ෂණය හැදෑරු සොයුරියකුත් , ඉංජිනේරු සොයුරෙකුත් සහ කටුබැද්ද තාක්ෂණික ආයතනයේ සිසුන් තිදෙනෙකුත් මිය ගොස් තිබුනා. ඒ ගැමුණු රත්නායක සොහොයුරාට අමතරව. මේ ඛේදවාචකයන්ගේ නිමාව කවදාදැයි ප්‍රශ්න කරනවාට වඩා එය නැවැත්තවීමට කල යුත්තේ කුමක්දැයි සොයන එක වඩා වැදගත් කියල මට හිතෙනවා. ඔය සිදුවීම් කාලය විසින් අමතක කර දමාවි. නමුත් ඒ තුලින් වඩා යහපත් සමාජයක ගොඩ නගන එක ගැන අපේ අවධානය යොමු කල යුතුයි.

සතියෙ කාර්ය බහුල කම එක්ක ගෙවිලා යද්දි නොයෙක් දේවල් මතක් වුනා. ළඟදි හොද පොතක් කියවන්න අවස්ථාව ලැබුනෙ නැති වුනත් එක පාරටම මම ආස කරපු කතාවක චරිතයක් මතක් වුනා. චරිතයේ නම “දන්කෝ” . මේ චරිතය තියෙන්නෙ මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතාවක. “දන්කෝ” ගෙ චරිතය මතක් වෙන හැම වෙලාවෙම ඔහු වගේ මැරෙන්න ඇත්නම් කියල හිතෙනවා. “දන්කෝ” ගෙ චරිතයෙ කතාව එක්තරා අන්දමට වීර කතාවක් වගෙයි. ඒ කෙටි කතාව සිංහලයට පරිවර්තනය කරල තිබුනෙ විශිෂ්ඨ පරිවර්තකයකු වුන දැදිගම වී. රුද්‍රගූ ශූරින්. රුසියන් බසින් එතුම් සිංහලයට එම පරිවර්තනය කර තිබුනෙ. මම දන්නා තරමින් එතුමා මිය ගියේ රුසියාවේ සිටියදීම යි. ඒ කතාව මෙහෙමයි.

එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා යම් කාලයක. ඉතා සැහැල්ලුවෙන් දිවි ගෙවපු මේ ගෝත්‍රය වෙනත් ආක්‍රමණික ගෝත්‍රයක් විසින් අන්ධකාරය පිරුණු වනාන්තරයක් තුලට එලවල දමනමා. මේක බොහොම අඳුරු කෑලැවක්. බොහොම නිර්භය ගෝත්‍රයක් වුනත් මේ මිනිස්සුන්ගෙ ආත්ම දිරිය මේ කෑලැව විසින් සිඳ දමනවා. ඉර එළිය නොවැටෙන , ආශ්වාස කරන්න බැරි වායූන් පිට වෙන මඩ ගොහොරු සහිත මේ කැලෑව නිසා මිනිස්සු ලෙඩ වෙන්න පටන් ගන්නවා. ගැහැණු සහ ළමයි මිය යන්න පටන් ගන්නවා. අන්තිමේ දී මේ ගෝත්‍රය බොහොම දුක්ඛිත ඉරණමකට මුහුණ පාලා හිටියෙ. තමන්ගෙ ඉරණම නිසා මේ දේවල් සිදුවනෙවා කියල මොවුන් බොහොම උදාසීනව ඉන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙ තමයි “දන්කෝ” ඉදිරිපත් වෙන්නෙ.

“දන්කෝ” බොහොම නිර්භීත තරුණයෙක්. බොහෝ දෙනා ආක්‍රමණික ගෝත්‍රයට ගිහින් යටත් වෙලා වහලුන් ලෙස ජීවිතය රැක ගනිමු කියන කොට “දන්කෝ” ඒකට එරෙහි වෙනවා. ඔහූ කියනවා මොන තරම් විශාල වුනත් මේ කැලෑවෙ අවසානයක් ඇති. ඒක නිසා අපි කැලෑව අවසානය වෙනකම් ගමන් කරමු කියල. ඒ පාර හැම දෙනාම ඔහුට කිව්වා මග පෙන්වන්න කියල. ඉතින් මේ නිර්භීත “දන්කෝ” පෙරමුණ අරගෙන යන්න පිටත් වුනා. නමුත් මේ බිහිසුණු කැලෑව මේ ගමන අසීරු කලා. මඩ ගොහොරු වලට වැටිලා මිනිසුන් මිය ගියා. ඉක්මනට වෙහෙසට පත් වුනා. ඉර එළිය පොළොවට නොවැටෙන්න තරම් වැවුන ගස් පෙනුනෙ හරියට රාක්ෂයො වගේ. නමුත් “දන්කෝ” බය නැතුව ඉදිරියටම ගියා. නමුත් එන්න එන්නම ගමන අමාටු වෙනකොට මිනිස්සු “දන්කෝ” ට බනින්න පටන් ගත්තා.

“මේ පළපුරුද්දක් නැති, මෝඩ දන්කෝ නිසා අපිට මැරෙන්න වෙනවා” කියල මිනිස්සු කියන්න පටන් ගත්තා. මිනිස්සු කේන්ති අරගෙන “දන්කෝ” ට බනිනවා. නමුත් “දන්කෝ” කිව්වා ඔහුට දිරිය ඇති නිසා මග පෙන්වන බවත් ඔවුන් මෝඩ බවත් කිව්වා. එතකොට මිනිස්සු බොහොම කේන්තියට පත්වෙලා ඔහු වටේ එකතුවුනා. “දන්කෝ” ට තේරුනා ඔවුන් කේන්තිය නිසා තමන්ව මරන්න යන බව. එතකොට ඔහු වේදනාවෙන් කෑ ගැහුවා. “මගේ ජනතාව සඳහා මා කල යුත්තේ මොනවාද?”  ඒ වේදනාව නිසාම “දන්කෝ” තමන් ගෙ පපුව ඉරා දමලා හදවත එළියට අරගෙන ඔලුවට උඩින් උස්සලා පෙන්නුවා. ඇත්තටම ඒක ඉරටත් වඩා දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තා. අර කැලෑව එක පාරටම ඒ ආලෝකය ඉස්සරහ දමනය වුනා. මිනිස්සු ගිල ගන්න බලාගෙන හිටපු මඩ ගොහොරු හැංගුනා වගේ. අර රාස්සයො වගේ පෙනුන ගස් පැත්තකට වුනා වගේ දැනුනා. “ඉස්සරහට යමු” කියල “දන්කෝ” කෑ ගැහුවා. ඒ එක්කම ආලෝකයෙන් මෝහනය වුනා වගේ මිනිස්සු “දන්කෝ” එක්ක පිටිපස්සෙන් ගමන් කරන්න පටන් ගත්තා. ඒ යන අතරමගදිත් මඩ ගොහොරු වල ගිලිලා මිය ගියා. නමුත් ඉස්සෙල්ලා වගේ අඳෝනා නගන්නෙ නැතුව. අන්තිමේදී එක පාරටම අර මහ කැලෑව ඉවර වුනා. මිනිස්සු එළිමහන් බිමකට ආවා. ඉර බැබලුනා. ලස්සන ගහ කොල , තණ බිම් පිරුණු ප්‍රදේශයක්.  එතකොට මේ නිර්භීත “දන්කෝ” මිනිස්සු දිහා බලල ප්‍රීතියෙන් හිනා වෙලා බිම වැටිලා මැරුණා. ප්‍රීතියෙන් ඉව වහා ගිය මිනිසුන් අතරෙ හිටපු එක් කෙනෙක් දැක්කා බිම වැටුනු “දන්කෝ” ගෙ හදවත. ඒ කෙනා ඒක පාගලා නිවල දැම්මා. නමුත් එයින් ගිනි පුපුරු විසිරිලා ගියා. ඒක නිසා අදත් ස්ටෙප්ස් තණ බිම් වල විදුලි කොටන්න කලින් පුංචි ගිනි පුපුරු ඇති වෙනවා.

ඒ කතාවෙ වගේ “දන්කෝ” ලා සිය දහස් ගණනක් අපේ යුගයට අවශ්‍යයි. ඔය කතාව මතක් වෙන වාරයක් ගානේ මටත් දන්කෝ වෙන්නට තිබුනා නම් කියන එක දැනෙනවා. ආත්මාර්ථකාමීව හැසිරෙන්නෙ කොහොමද කියන එක පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත අපේ පරම්පරාවට දන්කෝ ගෙ කතාව විහිඵවක් වගේ පේන්න ඉඩ තියෙනවා. මම හැමදාම කියනවා වගේ එතනට අපේ පරම්පරාව ඇද දැමීමට වැඩිහිටි පරම්පරාව වග කියන්න ඕනේ. මට කලින් ජීවත් වූ පරම්පරාවල හැසිරීම , මගේ පරව්පරාවේ උදවියට සාප ගෙන දෙන ආකාරය ගැන උදාහරණ ඕනෙ තරම් හොයාගන්න පුලුවන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔය කතාව කිව්වෙ වර්තමාන ඛේදවාචක ඉස්සරහ බිහිරන්, ගොලුවන් වගේ බලා නොසිටිය යුතුයි කියන එක “මගේ සටහන” පාඨකයන් ගෙන් ඉල්ලන ගමන්.

සති අන්තය ගෙවිලා ගියා සුපුරුදු විදිහටම. මේ සටහන ලියනනෙ ඉරිදා දවාලේ. ඊයෙ හවස (සෙනසුරාදා) බ්‍රැඩ්බි කුසලානය සඳහා වන වාර්ෂික රගර් තරඟාවලියේ කොළඹ දී පැවැත්තවෙන තරඟය බලන්න ගියා. මේ තරඟය පැවැත්තවෙන්නෙ රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අතර. තරඟයේ මුල් විනාඩි දෙක ඇතුලත අපේ ක්‍රීඩකයන් ලකුණු ලබා ගත්තත් ඊට පසුව ඉතාම හොඳින් සෙල්ලම් කරපු ත්‍රිත්ව  විදුහල් කණ්ඩායම ලකුණූ 24 – 12 විදිහට ජයග්‍රහණය ලබා ගත්තා. මොනව වුනත් දෙපිලම ඉතා හොඳ තරගයක නිරත වුනේ රැස්ව සිටි ක්‍රිඩා ලෝලීන් පිනවමින්. අපේ පන්තිවල හිටපු සඟයො කිහිප දෙනෙක්ම තරඟය අතරතුර මුණ ගැහුනා. සාමාන්‍යයෙන් බ්‍රැඩ්බි තරඟය ක්‍රීඩා තරඟයක් වගේම පැරණි සඟයන් මුණ ගැහෙන තැනක්. නමුත් ඔය අතරෙ ප්‍රේක්ෂකයන්ගේ අවිනීත හැසිරීම නිසා බොහොම අවාසනාවන්ත විදිහට තරඟයට බාධා එල්ල වුනා. ඒක ක්‍රීඩාවට වගේම විදුහල් දෙක අතර පවතින සුහදතාවයටත් හානියක්. ඒ සිදූවීම වුනේ මම හිටිය ක්‍රීඩාගාර අන්තයේ. ජය පරාජය විඳගන්න බැරි එක්තරා අතකට රෝගී වුන පරම්පරාවක් බිහි වීමේ වැරැද්ද කා අත ද කියන එක මට තේරෙන්නෙ නෑ. දැන් අවුරුදු කිහිපයක පටන් ක්‍රීඩා තරඟවල මෙවැනි සිදුවීම් වැඩිපුර සිද්ධ වෙන්න පටන් අරගෙන. ගිය අවුරුද්දෙ මහනුවර කිංස්වුඩ් සහ ත්‍රිත්ව විදුහල් අතර තරඟයෙ දිත් මීට වඩා බරපතල සිදුවීම් සිදුවුනා. තරඟය ක්‍රීඩා කල ක්‍රීඩකයන් පවා තුවාල ලැබුවා ඒ සිද්ධිය නිසා. මෙවැනි දේවල් වලක්වන්නට කවුරුත් ඉදිරිපත් වන පාටක් පේනන නම් නෑ. එහෙම දෙයක් නොකෙරුනොතින් තිරිසන් බවට පත්වුනු මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්නට සිද්ධ වේවි. හැම දේම තමන්ට කෙලින්ම සිදු නොවෙන තෙක් පෞද්ගලික වැඩ කටයුතු වල නිරතව ඉන්න සමාජයකට එවැනි ඉරණමකට භාජනය වීම නවත්තන්නත් බැහැ.

හැම අතින්ම පිරිහෙන සමාජය තුල බලාපොරොත්තුවේ එළියක් හෝ පේන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක මේ සතියේ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

June 8, 2008

වේදනාවෙන් ලියන්නෙමි

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 12:33 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි නව වන ලිපිය. ගිය සතියෙ ලියපු ලිපියටත් ප්‍රතිචාර ලැබිලා තිබුනා. කොහොම වුනත් මේ සතියෙ ලිපිය ලියන්න ගත්තෙ සෙනසුරාදා රෑ. හිතේ බොහොම කලකිරීම, නොසන්සුන්තාවය හිතේ දරාගෙන ලිවීම ආරම්භ කලේ. ඒ නිසා කිසිම පෙර සූදානමක් නැතිවයි “මගේ සටහන” ලියන්නෙ.

සිකුරාදා දවස උදා වුනේ බොහොම අවාසනාවන්ත සිදුවීමක් එක්ක. ඒ අපේ විශ්ව විද්‍යාලය අසලම පුපුරා ගිය බෝම්බය නිසා. ඒ වෙලාවෙ මම හිටියෙ නවාතැනේ වුනත් දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ ගලා ගෙන ආවා නිමක් නැතුව.  අන්තිමේ දි අපේ විශ්ව විද්‍යාල සිසුවෙක් ඇතුලු විසි දෙදෙනෙක් ගෙ ජීවිත අහිමි කරමින් එම සිද්ධිය නිමා වුනේ.  එක පාරටම ඇහුනු සද්දෙ මොකද්ද කියල මට නිශ්චය කර ගන්න බැරුව හිටියත් දුරකතන ඇමතුම් ගලා එන කොට තමයි තේරුම් ගියෙ බරපතල දෙයක් සිදුවෙලා තියෙන වග. මට කරදරයක් වෙලා නැති බව දැන ගත්ත අය සැනසුම් සුසුම් හෙලුවත් මිය ගිය මිනිසුන් වෙනුවෙන් වැලපෙන කඳුලු නැතිවෙන්නෙ නෑ. මරණය අපි අසලම ගැවසෙන එක ගැන දැනෙන්නෙ බයක් නෙවෙයි. ඒක විශාල කම්පනයක්. අපේ ජන සමාජයේ මිනිසුන් ගේ ජීවිත වලට අත්ව ඇති ඉරණම හදවතට දෙන්නෙ වේදනාවක්. තවත් එක් ලෙයින් වැකුණු දේශයක් බවට පත් වුණු ලංකාවේ මිනිස් ජීවිත ගැන කරුමය හරි වෙලාවෙ වැරැද්ද ගැන හිතමින් සැනසෙන්නට බැරි වග මට දැනෙනවා.  තුවාල වුන ලංකාවේ හදවත් වල ස්භාවය මොන තරම් ඉක්මනට වෙනස් වෙලාද කියන එක නොයෙක් උදාහරණ වලින් දැනෙනවා.

ගිය සතියෙ දුම්රියක් තුල දෙහිවල දි බෝම්බයක් පුපුරලා ගියා. මට එක පාරටම අම්මා ඇතුලු යන එන හිතවත් උදවිය සිහියට ආවා. ඒ අය යන්නෙ මුහුදු බඩ මාර්ගයෙ නොවුනත් දුම්රියේ යන එන නිසා ඒ කම්පනය කොහොමටත් දැනෙනෙවා. ඒ වෙලාවෙ ඒ ගැන කලබලයට පත් වුනු අපේ සඟයන් පූවත් වලට සවන් දෙන්න උත්සුක වන අතරේ පස් දෙනෙක් මිය ගිය පුවත අසා කම්පනයට පත් වුන මගේ මුහූණ දැකපු අපේ තවත් සඟයෙක් උපහාසයෙන්  හිනා වෙන ගමන් මගෙන් ඇහුවා ” අයියෝ පහයිනෙ මැරිලා තියෙන්නෙ” කියල. සංඛ්‍යා වලින් මිනිස් ජීවිත වල වටිනාකම් තෝරන්නට තරම් ඇද වැටුණු ලාංකේය සමාජ සංවේදනයට මම වෛර කරනවා. මිනිස් ජීවිත යනු තව දුරටත් තමන්ගේ සමීපයකු නොවන විට නොසලකා හැරි මට්ටමට අපේ සමාජය පත් වූ ආකාරය ගැන ඇතිවෙන්නෙ වේදනාවක්. මේ සියලු ඛේදවාචකයන්ට කෙලින්ම මුහූණ දෙන්නෙ මගේ පරම්පරාවේ උදවිය. දේශපාලකයන් මොන තරම් වහසි බස් දෙඩුවත් මිය යන්නෙ සාමාන්‍ය ජනතාව. යම් සිදුවීමක් සිදු වූ පසු රූපවාහියේ යන “breaking news”  වලින් පස්සේ හැමෝම තම තමුන්ගේ වැඩ කටයුතු කරා එළඹෙනවා. මම මේ ලියන මොහොතෙත් නිදි මරාගෙන sms ගහන ප්‍රසංගයක් රූපවාහිනියෙ යනවා. මම ජීවත් වන සමාජය සියලු දේ හුදෙක් සිදූවීම් ලෙස සලකා ජීවත් වන්නට පුරුදු පුහුණූ වුනේ ඇයි?

වැඩිහිටි පරම්පරාවල දේශපාලකයන් ඇතුලු අමනයන් විසින් මගේ පරම්පරාව මතට පටවන ලද යුද්ධය මා ඉස්සරහ පුපුරා යන ආකාරය බලා ගෙන ඉන්නෙ බොහොම තැති ගැන්මකින් යුතුව. යුද්ධය සිය ජීවිකාව වෙනුවෙන් සහ අවස්තාවාදය උදෙසා යොදා නොගන්නට මගේ පරම්පරාවේ ජීවිත උතුරේ යුධ පිටියේ දී මෙන්ම දකුණේ මග මග දී මරණයට මුහුණ නොපා ඉන්නට ඉඩ තිබුනා. ඇත්තටම කියනවනම් අවිනිශ්චිත තාව සහ මරණයේ සෙවනැල්ල මගේ පරම්පරාවේ නළල් තල මත කෙටු වැඩිහිටි පරම්පරාවට මම සාප කරනවා. ඒ පරම්පරාව හැමදාමත් ලංකාවේ තරුණ ජීවිත වල ලෙයින් මේ භූමිය සෝදා හැරියා. අසු නවයෙ දිත් ඉන් පසුව යූද්ධය නිසා තරුණ ජීවිත බිල්ලට දුන් ඒ කාලකණ්ණි වැඩිහිටි පරම්පරාවට සාප නොකර ඉන්නට තරම් හේතුවක් මට හොයාගන්න බැහැ. මේ සටහන ලියවෙන්නෙ අපේ ජීවිත මත මුග්ධ භාවය විසින් පතිත කරපු අවාසනාව ගැන කළකිරීම මුසු කේන්තියෙන් දැවෙමින්. වැඩිහිටි පරම්පරාවෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ තරුණ පරම්පරාවෙ ලෙයින් කියන ප්‍රකට කියමන සනාථ කරන්නට විසාලා මහනුවරක් බවට පත්වූ නූතන ලංකාව උදාහරණ දෙනවා.

යූද්ධය තුලදී හෝ මහ මගදී මේ මිය යන්නේ මහජන මුදල් ගසා කාපු උදවිය නෙවෙයි. වැට් බදු වංචාවෙන් සත පහක් හෝ කඩා ගත්ත උදවිය නොවෙයි. ඒ උදවිය යෙහෙන් වැජඹෙද් දි ආරක්ෂකයන්ගේ මුවාව නැති අපේ අසල් වැසියන් මිය යන්නේ සැමදා නොනැසෙන කැලැල් ඉතිරි කරමින්. ලියන්නට දේවල් ගලප ගන්න හරිම අමාරුයි. ලියනවට වැඩිය කලේ කල්පනා කරන එක. මිනිස් ජීවිත කිහිපයක් මහ මග දී අහිමි වීම එදිනෙදා ජීවිතයේ සරල සිද්ධියක් බවට පත් කිරීමට තරම් හේතු වූ කාරණා මොනවද කියන එක හොයලා බැලිය යුතුයි. එහෙම නොවුනොතින් ඉස්සරහට අපිට ඉතිරි වෙන්නෙ යන්ත්‍ර බවට පත් වුනු ආත්මාර්තයෙන් පිරී ගිය මිනිස් චරිත විතරයි.

පොඩි කාලයේ පටන්ම අනෙකා හෙලා දමා තමන් ජය ගත යුතු බව අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් , වැඩිහිටියන් ගෙන් සහ අවට සමාජයෙන් ඉගෙන ගත්ත අපිට , මම මුලින් කියපු සඟයගෙ කතාව එක අතකට පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. ඒ ඔහු අත් විඳි සමාජ හැසිරීම් තුලින් ඉතිරි වූ දෙය.  ඒක වෙනස් කිරීමට කල යුත්තෙ මොකද්ද  කියන එක මම හැමදාම ප්‍රශ්න කරනවා. මොකද තිරිසන් භාවයට පත්වුනු මිනිස් චරිත සමඟ ජීවත් වීමේ අප්පිරියාව වෙන කවදාටවත් වඩා මට දැන් දැනෙන නිසා.

මිය ගිය ගැමුණූ රත්නායක අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුවෙක්. අහිමි වන්නෙ විශ්ව විද්‍යාල සිසුවෙක් වුනත් නොවුනත් එය වටින දෙයක්. මේ දවස් වල හැමෝම කියන දේ පරිස්සම් වෙන්න කියන දේ. නමුත් ඒක කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ. ඒ තරමටම වික්ෂිප්ත වුන තැති ගැන්මකට ලක් වෙලා ඉන්නෙ හැම දෙනාම වගේ. අපි මේ මුහුණ දීලා ඉන්නෙ අපි ඉපදෙන්නටත් පෙර පරම්පරාවේ ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිපල. ඒක නිර්මාණය කරපු අයගේ දූ දරුවන් පිට රටවල ආරක්ෂිතව ඉන්නවා. මේක ලංකාවේ සැබෑ ස්වරූපය. ඒක ඉරණම විසින් තීන්දු කරපු දෙයක් කියල පිළිගන්න මම කැමති නෑ.

හදිසියෙ බස් එකක කෝච්චියක ගියත් දකින්නට ලැබෙන්නෙ සැකයෙන් පිරුණූ මුහුණු. ගිය සතියක ගමන් මල්ලත් අරගෙන කොළඹ ඉඳන් පිළියන්දලට එනකොට මගෙ දිහා බොහොම සැකයෙන් බලාගෙන හිටපු අපේ අම්මල ගෙ වයසෙ කාන්තාව මේ ලියන මොහොතෙ දි මට සිහි වුනා. පවතින තත්වය එක්ක ඒ ගැන මට කිසිම වැරැද්ක් කියන්න බැරි වුනත් තමන් අසල ඉන්න කෙනා තමන්ගේ මරණය ගෙන ඒවි කියන සැකය දැල්වුනු ඇස් දිහා බලාගෙන ඉන්න එක හරි අමාරු අත් දැකිමක්. ඒ වගේ සිදුවීම් බොහොම  වෙහෙසකර ගතියක් හිතට ගෙන දෙනවා. විමසිල්ලෙන් පසුවන ඒ දෑස් පස්සෙ කාලයක අවිශ්වාසය හිතේ දරාගෙන ජීවත් වෙනකොට ටිකෙන් ටික අවිශ්වාසය සමාජ ගත දෙයක් බවට පත් වෙනවා. යුද්ධය ප්‍රතිපලය අපි දෑස් ඉදිරිපිට අහිමි වන මිනිස් ජීවිත වලට අමතරව බරපතල හානියක් සමාජයට කරන්නෙ ඒ නිසයි.

තව දුරටත් මේ සතියෙ ලියන්නට බැරි බග හොඳටම දැනෙනවා. වෙනද ලියන්න හිතාගෙන ඉන්න කිසිම දෙයක් ගලප ගන්න බැරි වුනා. හැම දෙනාම ඒක තේරුම් ගනීවි කියල හිතනවා. මරණය හැමෝටම උරුම දෙයක් වුනත් එය මිනිස්සුන්ට ළඟා වන ආකාරය නිසා සමාජ සංවේදී තාවය මරා දමමින්, අවිනිශ්චිත තාවේ සලකුණු සටහන් කරන කොට ඊට එරෙහි නොවී බෑ. පව්කාර පරම්පරාවේ සාපය නිසා අපේ පරව්පරාවෙන් ගලා යන ලේ ගංගාව නිමා වේවා යන පැතුම ඇතිම මේ සතියේ සටහනට තිත තබනවා.

June 1, 2008

කේතලෙන් මල්ලක්

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 11:35 am

“මගේ සටහන” මේ ලියන්න සුදානම් වෙන්නෙ විසි අටවන සටහන. ගිය සතියෙ සටහන ගැන නම් ප්‍රතිචාර ගොඩක් ලැබුනා. ඒ සටහන පුරුදු රටාවෙන් ලියපු නිසා වෙන්න ඇති නිසා කියල හිතෙනවා. ඒ අස්සෙ සංවාදයකුත් ගොඩ නැගෙමින් තිබුනා . සංවාදය තුල පල කෙරෙන සියල්ලම මම වාරණයකින් තොරව පල කලා. මොකද එහෙම වාරණය කරන එක මගේ පැත්තෙන් සදාචාරාත්මක නැති නිසා. කොහොම වුනත් එම සංවාද හරහා බ්ලොග් අවකාශය තුල දැනුම සහ අදහස් ගලා යාමේ අරමුණ ඉෂ්ඨ වෙනවානම් ඇති කියලයි හිතෙන්නෙ. එහෙමනම් “මගේ සටහන” විසි අටවන දිග හැරුම මෙතැන් සිට.

ගිය සතියෙ මම කිව්වෙ හොකී සෙල්ලම් කරපු හැටි ගැන. ඒ අස්සෙ තව දිලින සොහොයුරා ලියන්න කියපු දෙයක් තවම ලියවුනේ නෑ. මේ සතිය ඇතුලත ඒක පල කරනවමයි. ගිය සතියෙ “කුඩ මිටි ගැහිල්ල” මම කිව්වා වගේ හරි අපූරු වැඩක්. ඒක ගැන බැඳුනු කතන්දර ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් හොකී සෙල්ලම් කරන්න අනිත් ක්‍රීඩා කරන ජාතියේ ක්‍රීඩාංගන වල පුලුවන් වුනත් ඒ සඳහා විශේෂයෙන්ම සකස් කරපු ක්‍රීඩාංගනත් තියෙනවා. ඒවට කියන්නෙ කෘතීම හොකී තණ තීරු. ඒ වගේ කෘතීම හොකී තණ තීරු හදන්න වගේම නඩත්තු කරන්නත් සෑහෙන මුදලක් යනවා. ඒක නිසාම ලංකාවට තවම තියෙන්නෙ මේ කෘතීම හොකී තණ තීරු දෙකයි. මුල්ම එක හැදුවෙ කොළඹ රීඩ් මාවතේ තුරඟ තරඟ පිට්ටනියෙ. අනිත් එක තියෙන්නෙ මාතලේ පුරවරයෙ. කොළඹ තියෙන කෘතීම තණ තීරුව නම් දැන් හොඳටම ගෙවිලා ගිහින් අලුතෙන් හදන්න අවශ්‍යය තත්වයට ඇවිත් තියෙන්නෙ. නමුත් තනතුරු සහ මහජන මුදල් ගසා කෑමේ උවමනාව ඇර වැඩක් කරන උවමනාව බලධාරීන්ට නැති නිසා වැඩේ දවසින් දවස කල් යනවා.

මේ කියන්න හදන්නෙ ඔය කෘතීම හොකී තණ තීරු ගැන බැඳුනු කතාවක්. කෘතීම තණ තීරු වල ක්‍රීඩා කරන්න කලින් ඒකට වතුර දමන්න අවශ්‍යය යි. නැත්තම් සෙල්ලම් කරන්න බෑ. එක්තරා කාලයක් තිබුනා වැස්ස ගොඩක් කල් නොවැටුන කාලයක්. කොහොම හරි අපේ කණ්ඩායමේ සඟයෙක් ආම්පන්න ටිකත් අරගෙන පුහුණු වීම් වලට යනවා දැකපු අසල් වැසියෙක් ඇහුවලු “මල්ලි , කොළඹ ට වැස්සා නේද පහුගිය දවස් වල” කියල. වැස්සක් තියා ආසාවට වැහි වළාකුලක් වත් අහසෙ තිබ්බෙ නැති නිසා ඒ දවස් වල හොල්මන් වුන මගේ සඟයා කිව්වලු ” නෑ වැස්සෙ නෑ” කියල.  ඒ පාර අර මනුස්සයා කිව්වලු ” ඒක වෙන්න බෑ නෙ , ඔයාලගෙ මැච් එකක් ටී වී එකේ පෙන්නන කොට මම  දැක්කනෙ පිට්ටනියෙ වතුර පිරිලා තියෙනවා” කියල. ඒ මනුස්සයා හිතල තියෙන්නෙ වැස්සට හොකී තණ තීරුව යට වෙලා කියල. අපේ සඟයා ඉතින් මුකුත් කියන්නෙ නැතුව ඇවිල්ලා.

සාමාන්‍යයෙන් හොකී හරි ආස හිතෙන සෙල්ලමක් වුනත් ලංකාවේ ගොඩක් ජනප්‍රියම සෙල්ලමකුත් නෙවෙයි. අපේ මාමා ඒකට කුඩ මිටි ගැහිල්ල කිව්වා වගේ ගොඩක් අය අහනවා කොහොමද ඔය සෙල්ලම කරන්නෙ කියල. එක වතාවක් හොකී තරඟාවලියක් සංවිධානය කරන්න අනුග්‍රාහක දැන්වීමක් හොයාගන්න අපේ සඟයෙක් ගිහිල්ලා එක්තරා ආයතනයක වෙළඳ අංශය බාර නිලධාරියා මුණ ගැහෙන්න. ඒ කෙනා ඇහුවලු ” ආ ඕක නේද අර බෝලෙ වලට දාන සෙල්ලම” කියල. ඒ කෙනා හිතාගෙන ඉඳල තියෙන්නෙ ගොල්ෆ් ක්‍රීඩාව ගැන. අපේ සඟයත් දැන්වීම ගැන කතා කරන පැත්තක තියල හෙමිහිට මාරු වෙලා ඇවිල්ලා.

මං මුලින් කියපු කෘතීම හොකී තණ තීරුවේ සෙල්ලම් කරන්න ලැබෙන කම් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ. මොකද හොඳට සෙල්ලම් කරන්න පුලුවන් නිසා. අපිට මුලින්ම ඒකේ සෙල්ලම් කරන්න ලැබුනෙ අවුරුදු පහලොවෙන් පහළ තරඟයකට සෙල්ලම් කරන කොට. ඊට පස්සෙ නම් දිගටම වගේ කොළඹ දිස්ත්‍රික්ක තරඟ පැවැත්වුනේ කෘතීම තණ තීරුවෙ තමයි. මුල දවස් වල ඒකට ගැලපෙන ආකාරයෙ සපත්තු තිබුනෙත් නෑ. ගොඩක් වෙලාවට අපි කරන්නෙ අපිට වඩා ඉහළ පන්තිවල හිටපු කාගෙන් හරි ඉල්ල ගන්න එක. සාමාන්‍යය ආකාරයේ සපත්තු දැම්මොත් ලිස්සල වැටෙන එක අනිවාර්යයි. එතකොට හරියට අලුතෙන් මැදපු පොලොවක් උඩ ඉන්නවා වගෙයි. කොයි වෙලේ සමබරතාවය නැති වෙලා වැටෙයිද කියන්න බෑ. මාව නම් ඕනෙ තරම් වැටිලා තියෙනවා එහෙම හරි හමන් සපත්තු දැම්මෙ නැති නිසා.

පස්සෙ කාලෙක අපිට මාතලේ කෘතීම තණ තීරුවෙ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනා. ඒකත් මට නම් වැදගත් අවස්ථාවක්. ජීවිතේ එක පාරක් හරි හොකී ක්‍රීඩාවේ පුරවරය වුනු මාතලේ ක්‍රීඩා කරන්න ලැබුනු එක ගැන. හැබැයි ඔය මාතලේ තණ තීරුවත් විවෘත කලාට පස්සෙ නිසි පහසුකම් නැති කම නිසා ප්‍රයෝජනයට ගන්නෙ නැතිව වහල දමල තිබුනා. ලංකාවේ බලධාරීන්ගේ මුග්ධ භාවය ගැන ඔය වගේ උදාහරණ නම් ඕනේ තරම් හොයා ගන්න පුලුවන්. අද වෙනකොට නම් මාතලේ හොකී ක්‍රීඩාවට ආදරය කරන අයගේ බල කිරීම  නිසා ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට පිටිය සකස් කරල තියෙනවා. අවසාන වතාවට ලංකාවේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදි හොකී තරඟ පැවැත්වුනේ මාතලේ දී තමයි. ඒ තරඟයෙදි අපේ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය පරවමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඇත්තටම කියනවනම් මාතලේ හඳුන්වන්නෙ “හොකී පුරවරය” කියන නමින්. මාතලෙන් බිහි කරපු අති විශිෂ්ඨ ක්‍රිඩකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි අවුරුදු පහලොවක් තිස්සෙ ජාතික මහා ක්‍රීඩා උළෙලෙ දි නොකඩවා අවුරුදු පහලොවක් තිස්සෙ හොකී රන් පදක්කම දිනා ගන්න මධ්‍යයම පලාතට හැකි වීම. කොළඹ ඉන්න අපේ අය කොච්චර උත්සහ කලත් හැමදාම දිනන්නෙ මාතලේ තමයි. ඒක ගැන පොඩි පහේ ඉරිසියාවක් ඇති වුනත් දක්ෂතාවය අගය කරන්න එපැයි. විශේෂයෙන්ම මාතලේ සාන්ත තෝමස්, සහිරා, විජය සහ ක්‍රිස්තුදේව යන විදුහල් අති දක්ෂ ක්‍රිඩකයන් බිහි කරනවා.

අවුරුදු දහ හතෙන් පහළ කණ්ඩායම නියෝජනය කරන කාලේ සමස්ත ලංකා තරඟාවලිය වෙනුවෙන් සහභාගි වෙන්න අපි මාතලේ ට ගියා. තරඟාවලියෙ ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුනු අපිට අඩුම ගානෙ “කේතලෙන් මල්ලක්” වත් හොයාගන්න බැරි වුනා. තාමත් ඉතින් තනිකඩ නිසා “කේතලෙන් මල්ලක්” හොයා ගන්න පුලුවන් නම් හොඳයි කියලයි හිතෙන්නෙ. ඉස්සරහට මොනව වෙයිද කියල කවුද දන්නෙ. ඒ මාතලේ ගිය ගමන අපිට නම් අත්දැකීම් ගොඩක් එකතු කරපු තරඟාවලියක් වුනා. කොළඹින් පිට තරඟාවලියකට අපි ගිය මුල්ම වතාව ඒක. එහෙ අපි නැවතිලා හිටපු පොලිස් දෙපාර්තුමේන්තුවට අයිති නිල නිවාසයෙ තිබුන අඹ ගහේ මී පැණි වගේ රස අඹ කාපු හැටි එහෙම මට තාම මතකයි. ඒ වගේ රසවත් අඹ මම  කාලා තියෙන්නෙ දෙතුන් වතාවයි. ඒ සියලුම අත් දැකීම් අපිට ලබා දුන්න ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් හිටපු නායකයකු වගේම පොලිස් කණ්ඩායමේ නායකත්වය දරපු අපේ පුහුණුකරු වුන දර්ශන එදිරිසිංහ මහත්මයාව අමතක කරන්න බෑ. කොහොමටත් ඔහු අති දක්ෂ පුහුණුකරුවෙක්.

හොකී ගහන්න ගිහල්ලා අමතක නොවෙන පාරවල් කිහිපයකුත් මට ලැබිලා තියෙනවා. මුලින්ම අපි අවුරුදු දහ හතෙන් පහල තරඟාවලයෙදි දණහිසට වැදුනා හොඳ පාරක්. ඒ නාලන්ද විද්‍යාලය සමඟ තිබුන තරඟයක දි. ඒ ඇතිවුන දන හිසේ ආබාධය නම් තාමත් විටින් විට මතු වෙනවා. හැබැයි ලොකුම අකරතැබ්බය වුනේ විශ්ව විද්‍යාලය වෙනුවෙන් සෙල්ලම් කරන කොට. පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරපු සය සාමාජික හොකී තරඟාවලයට පුහුණුවීම් කරන අතර තුරේදි අපේම සඟයෙක් ගෙන් එල්ල වුන පහරක් වැදිලා නළලට ඉහලින් පැලුනා. අන්තිමේ දී නතර වුනේ මැහුම් පහක් දමල. ලොකුම අපරාදේ වුනේ ඒ සිදුවීම තරඟාවලියට දවස් දෙකකට කලින් වුන එක. ඒක නිසා මට සිද්ධ වුනේ පේරාදෙණියට ගිහිල්ලා අනිත් සඟයො ක්‍රීඩා කරන එක බලාගෙන ඉන්න.  පුහුණු වීම් කරල අන්තිම මොහොතෙ දි තුවාල ලබල එළියට වෙලා ඉන්න එක හරිම වේදනාබර අත්දැකිමක්. නමුත් බලාපොරොත්තු නොවෙන දේ බාර ගන්න වෙනවා කියන එකට ඒක හොඳ උදාහරණයක්. හැබැයි ඒ වෙලාවෙ කණ්ඩායමේ සඟයො හැම දෙනාම මාත් එක්ක හිටිය එක හිතට ලොකු සැනසීමක්.

හොකී සෙල්ලමේ දී මම ආසම කරපු දේ තමයි කණ්ඩායම් හැඟීම. හැමෝම අනිත් කෙනා ගැන සැලකිලිමත් වෙලා හොයල බලන එක අපූරු සහෝදර බැම්මක් ඇති කරනවා. මම ඒක හොඳටම අත් වින්දෙ විශ්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රිඩා කරන කාලේ. සමහර වෙලාවට පුහුණුවීම් වලට නොගියත් මිත්‍රත්වයෙන් යුතුව සලකමින් අපේ කණ්ඩායම් සඟයො නිසා තමයි නිකමට හරි පිට්ටනිය පැත්තෙ යන්න හරි හිතුනෙ. ක්‍රීඩාව කියන්නෙ කොහොමටත් එකි නෙකා අතර බැඳීම වැඩි කරන දෙයක්. පාසලේ හොකී සෙල්ලම් කරද්දි අවුරුදු දෙකක් අපේ නිවාස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුනා. හැබැයි මම නායකත්වය දීපු එක තරඟයක් වත් දිනන්න නම් බැරි වුනා. ජිවිතේ හැම දේම ජයග්‍රහණයෙන් විතරක් කෙලවර වෙන්නෙ නැති බව ඒවා හරහා තේරුම් ගත්තා.

එහෙමනම් ඉතින් මේ සතියෙ සටහන සුපුරුදු සීමාවට පැමිණි නිසා නිමා කරන්නයි සූදානම . එහෙනම් ලබන සතියේ නැවත හමු වෙමු.

May 25, 2008

කුඩ මිටි ගැහිල්ල

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 7:55 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හත් වන සටහන. ගිය සතියෙ සටහනට ප්‍රතිචාර පල කරපු සියලුම දෙනාටම බොහොම ස්තූතියි. ගොඩක් අයගෙ අදහස වෙලා තිබුනෙ “මගේ සටහන” හි පුරුදු රටාවට ලියනවනම් හොඳ බවයි. ඒක නිසා මේ සතියෙ පරණ විදිහටම ලියන්න කල්පනා කලා. ඉන්ධන මිල ඉහළ යාම නිසා තාම සාමාන්‍ය මහජනතාව හොල්මන් වෙලා ඉන්න ඉරිදා උදේ වරුවෙ සටහන ලියන්න හදන්නෙ.

ගිය සතියෙ මම කිව්වනෙ ක්‍රිකට් ගහන්න තිබුණු ආසාව ගැන . මේ සතියෙ කියන්න හදන්නෙ කතන්දරේ ඉතුරු ටික. ඔන්න ඉතින් ළමයි ගොඩක් දෙනා මොකක් හරි ක්‍රීඩාවක නිරත වෙනවා දැක්කම මටත් ලොකු ආසාවක් ඇති වුනා. මුලින්ම මම ගියා චෙස් සෙල්ලම් කරන්න. දවස් දෙක තුමක් ගියාට පස්සෙ මට වැඩේ එපා වුනා. ඊට පස්සෙ මම කල්පනා කලා මොකද්ද කරන්නෙ කියල. වැඩිය වියදම් යන්නෙ නැති සෙල්ලමක් වෙන්නත් ඕනේ. නැත්තම් අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න අම්මට වද දෙන්නත් බෑ. කොහොම හරි නවය පන්තිය වෙනකම් මම සද්ද නැතුව හිටියා.  ඒ කාලේ අපේ පන්තියෙ ඉගෙන ගත්ත, පාසලේ නේවාසිකව නැවතිලා හිටපු ළමයි ගොඩක් දෙනා මොකක් හරි සෙල්ලමක් කලා. මගේ හොඳම මිත්‍රයෙකුත් ඔය අතර හිටියා. මම මිනිහට කිව්වා මගේ ආසාව ගැන.

ඒ පාර ඉතින් මිනිහත් මට කියපි එහෙනම් ගෙදරින් අහල ආවා නම් හවස ඉඳල සෙල්ලම් කරන්න පුලුවනි කියල. මමත් බොහොම කැමැත්තෙන් අම්මට ගිහින්  කිව්වා මගෙ ආසාව ගැන. හවස මට තනියම ගෙදර එන එක ගැන අම්මා ටිකක් අකමැති වුනත් මට අවසරය ලැබුනා. මමත් හරිම ආසාවෙන් හා හා පුරා කියල දවසක් හවස නැවතුනා. ඒ වෙනකොටත් මම කරන  සෙල්ලම මොකද්ද කියල හරි හැටි තීරනයක් තිබ්බෙ නෑ. ඒ වුනාට මගේ හොඳම මිත්‍රයා හොකී සෙල්ලම් කරපු නිසා මමත් ඒකම කරනවා කියල හිතා ගත්තා.

ඇත්තටම කියනවනම් ඊට කලින් මම හොකී සෙල්ලම් කරනවා දැකලා තිබ්බෙ නෑ. යන්තම් ඉතින් මොකක් හරි සෙල්ලමක් කරන්න ලැබුනු එක ගැන මුල්ම දවසෙ පුදුම සතුටක් දැනුනෙ. ඒ කාලේ මම නවය පන්තියෙ හිටියට උපන්නෙ ජනවාරි මාසයක නිසා මාව අයත් වුනේ දහ තුනෙන් පහල වයස් සීමාවට. මගෙ පලවන අවුරුද්ද ඒක නිසා මට ඒකත් ලොකු වාසියක් වුනා.  හැබැයි ඉතින් සෙල්ලම් කරන්න පටන් ගත්තට මුල දවස් වල තිබුන ප්‍රධානම ප්‍රශ්නෙ මටම කියල හොකී පිත්තක් නොතිබුන එක. සාමාන්‍යයෙන් තමන්ට හුරු පුරුදු පිත්තකින් ක්‍රීඩා කරන එක ලොකු වාසියක්. මුල දවස් වල මට සිද්ධ වුනේ ඉස්කෝලෙ තිබුන පිත්තක් තෝර ගෙන සෙල්ලම් කරන එක. සමහර වෙලාවට ගොඩක් ලමයි පුහුණු වෙන්න ඉන්නව නම් පිති මදි වෙනවා. එතකොට ඉතින් හිතට හරි අමාරුයි. ගොඩක් වෙලාවට අපිට වඩා වයසින් වැඩි ළමයි හොඳ පිති තෝර ගන්නවා. අපිට ඉතුරු වෙන්නෙ එච්චර හරි නැති ඒවා.

බැරිම තැන මම අම්මට කරදර කරන්න පටන් ගත්තා මටත් හොකී පිත්තක් අරගෙන දෙන්න කියල. අන්තිමේ දි අම්මත් මං ගැන අනුකම්පා කරල මට හොකී පිත්තකුයි බෝලයකුයි අරගෙන දුන්නා. ඒ දවස්වල තිබුන ලාබම ගානට තිබුනෙ ඒවා තමයි. සාමාන්‍යයෙන් හොකී පිත්තක් මාගෙන යන්න මලු තියෙනවනෙ. එහෙම එකක් තිබුනෙ නැති නිසා මම හොකී පිත්ත අරගෙන යන්නෙ එන්නෙ නිකම්ම තමයි. ඒකත් අරගෙන පාරෙ ටිකක් හයියෙන් දුවල ගියොත් මිනිස්සෙ හිතන්න ඇත්තෙ රණ්ඩුකට යනවා කියල. වැඩිය දේවල් ඉල්ලන එක හරි නැති නිසා හොකී පිත්තෙන් විතරක් සැනසෙන්න සිද්ධ වුනා.
හොකී පිත්ත අරගෙන යන එන එකේ අනිත් වදය වෙලා තිබුනෙ අපෙ පන්තියෙ හිටපු කොලෙ රැලෙන් පරිස්සම් කරගන්න එක. සමහරෙ ඒකෙන් ක්‍රිකට් ගහන්න හදනවා. එහෙමත් නැත්තම් කාට හරි තඩි බානවා. අන්තිමට ගුටි කාපු එකාට මාත් එක්කත් කේන්ති යනවා. මට ඉතින් අපේ දඩබ්බර කොල්ලන්ට කන්නලව් කරන්න වෙනවා “අනේ ඕක මෙහාට දීපං” කියල. හොකී පිත්ත බේරගන්න බැරිම තැන මම කලේ ඒක උදේ ඉස්කෝලෙට ගිය ගමන් නේවාසිකාගාරයේ තියන එක.  එහෙම කරන්න ගත්තෙ ඉතිහාසය පාඩම වෙලාවෙ වෙන කොලුවෙක් පිත්ත අරගෙන තව කොල්ලෙකුට අනිනවා දැකපු ගුරුතුමා පිත්තෙ අයිතිකාරයා වුන මාවත් එක්කම පන්තියෙන් එළියට ඇදල දැම්මට පස්සෙ. එවෙලෙ පන්තියෙන් එළියට ගියහම මම ඇති වෙච්ච කේන්තියට සිද්ධියට මුල්වුන කොලුවට හොකී පිත්තෙන් සංග්‍රහ කලා.

මම කොහොමටත් ක්‍රීඩාවට ඒ තරම් දක්ෂ නැති බව මම කලිනුත් කිව්වනෙ. ඒ වයසෙදිත් මම බොහොම පුංචි කොල්ලෙක් අනිත් ළමයි එක්ක තියල බලන කොට. ඒ වුනත් හැමදාම වරද්දන්නෙ නැතුව පුහුණු වීම් වලට ගිය නිසාම මම පලවන අවුරුද්දෙම අවුරුදු දහ තුනෙන් පහල හොකී කණ්ඩායමට තේරුනා. ඒ කණ්ඩායම අනූ අට අවුරුද්දෙ කොළඹ දිස්ත්‍රික්ක පාසල් හොකී ශූරතාවයෙ තුන්වන ස්ථානය දිනාගත්තා. තුන්වන තැන සඳහා පැවති තරඟයෙදි අපි වෙස්ලි විද්‍යාලය පරාද කලා. ඊට පස්සෙ අවුරුදු වලත් මම දිගින් දිගටම කණ්ඩායමට තේරුනා. කොහොම හරි අපේ අම්මා ක්‍රීඩා කටයුතු වලට යන එක ගැන ඒ තරම් විරුද්ධ වුනේ නැතත් අපේ මාමා නම් බොහොම තදින් විරුද්ධ වුනා.

මාමා හිතුවෙ මම සෙල්ලම නිසා ඉගෙන ගන්න වැඩ අතපසු කර ගනියි කියලා. මොකද මම අනිත් ළමයි යන තරම් අමතර පන්ති ගියෙ නෑ පුහුණුවීම් නිසා. අනික මම එන්නෙ රෑ බෝ වෙලා සතියට දවස් තුනක්. ඉතින් මමම හොකි පිත්ත උස්ස ගෙන යනවා දකින අපේ මාමා මට කැ ගහනවා මෙහෙම “කොලුවො , ඔය කුඩ මිටි ගැහිල්ල නවත්තල දාලා ඉගෙන ගනින්”. සාමාන්‍යයෙන් හොකී පිත්තක අග කොටස කවාකාර හැඩයක් තියෙන්නෙ හරියට කුඩ මිටක් වගේ. මාමා කොහොමටත් හොකී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒක නිසා එයා කියන්නෙ “අර කොල්ලා ගෙ කුඩ මිටි සෙල්ලම” කියලා. ඒ කාලේ ඒක ඇහෙන කොටත් මට හරි විනෝදයි. හැබැයි ඉතින් තාත්තා නැති වුනාට පස්සෙ අපි ගැන බොහොම සෝදිසියෙන් ඉඳල රැකවරණය සැපයුවෙ මාමා තමයි. ඒක ජීවිතේ තියෙන තුරාවට අමතක කරන්න බෑ.

මමත් ඉතින් උසස් පෙළ පන්තිය දක්වාම හොකී සෙල්ලම් කලා. ක්‍රීඩා කිරීම නිසා ජීවිතේට ඉගෙන ගත්ත දේවල් නම් බොහොමයි. මම අති විශිෂ්ඨ මට්මේ ක්‍රීඩකයෙක් නම් වුනේ නෑ කවදාවත්. නමුත් මම පුලුවන් විදිහට සෙල්ලම් කලා. ඒක නිසා අති විශිෂ්ඨයෙක් වෙන්න බැරි වුන එක ගැන නම් කවදාවත් දුක් වුනේ නෑ. ඒ සියලුම දේවල් අතර අපි ලබාගත්ත ලොකුම දිනුම ලැබුවෙ මම විශ්ව විද්‍යාලයට ඇවිත් සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සෙ.  ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ තිබුන නව වෙනි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලෙ දි අපිට මොරටුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් හොකී ඉසව්වෙ රන් පදක්ම දිනා ගන්න ලැබුනා. ඒ තරඟ වලදී මුල් වටයෙදි කැළණිය කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදි කොළඹ කණ්ඩායමත් පරාද කරපු අපි අවසාන තරඟෙදි රජරට කණ්ඩායම ලකුණු 3-0 විදිහට පරාද කලා.

ඒකේ තිබුන හරි අපූරු තරඟය වුනේ කොළඹ විශ්ව විද්‍යාලය සමඟ තිබ්බ තරඟය. ඒ තරඟය අපි දිනුවෙ ඉතාම තියුණු සටනකින් පස්සෙ. අනිත් කාරණාව ඒ කණ්ඩායමේ හිටිය වැඩි දෙනා පාසලේදී මාත් එක්ක එකට හොකී ක්‍රීඩා කරපු සඟයො වීම. සමහරු මගේ වයස් කාණ්ඩයෙ. තවත් අය අපිට වඩා ඉහල පන්තිවල හිටපු දැන් කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන්. ඉස්කෝලෙ දී එක කණ්ඩායමේ ක්‍රීඩා කරපු අපි දෙපැත්තකට බෙදිලා ක්‍රීඩා කලත් තරඟය ඉවර වෙලා නැවතත් සුහද මිතුරන් බවට පත් වුනා. කොහොමටත් ගොඩක් විශ්ව විද්‍යාල වල අපේ සමකාලීන මිත්‍රයන් ක්‍රීඩා කලා. එහෙම නොහිටියෙ පේරාදෙණිය කණ්ඩායමේ විතරයි.

තාමත් ඉතින් ක්‍රීඩා කිරීමේ ආසාව අත ඇරිලා නෑ . හැබැයි ගොඩ කාලෙකින් පුහුණුවීම් කරන්නත් බැරිවුනා. ආයෙමත් පිට්නිය පැත්ත යන්න තමයි හිතාගෙන ඉන්නෙ.  එහෙමනම් ඉතින් පුරුදු සීමාවට ආව නිසා මේ සතියේ “මගේ සටහන” නිමා කරනවා. දැන් “මගේ සටහන” හි ඒ තරම් රසයක් නැහැයි කියල ප්‍රතිචාරයක් ලැබුනා ගිය සතියෙ සටහනින් පස්සෙ. නැවත සුපුරුදු රටාවට එළඹෙන්න ඉක්මනට උත්සහ කරනවා. ඒක නිසා අඩු පාඩු ගැන හැකි තරම් ප්‍රතිචාර දක්වන්න කියල ඉල්ලා සිටන අතරවාරයේ නැවතීමේ තිත තබනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

May 18, 2008

එකසිය අනූව

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 1:02 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හයවන දිග හැරීම. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම අපේ මිතුරු දිලින තව මාතෘකාක් වක් ගැන ලියන්න ආරාධනා කලා. ඒ ඉල්ලීම ඉක්මනටම ඉෂ්ඨ කරනවා. මේ සතියෙ මුණ ගැහුනු අපේ විශ්ව විද්‍යාල සඟයො සමහරු ඇහුවා මොකද එයාලා ගැන සහ අනිත් රසවත් සිදුවීම් ගැන ලියන්නනෙ නැත්තෙ කියලා. ලියන්න කතන්දර එමට තිබුනත් විශ්ව විද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ බයක් සැකක් නැතිවම ලියන්න  කියල තමයි හිතාගෙන හිටියෙ. නමුත් ලැබෙන අල්ල පනල්ලෙ ටික ටික ලියල දාන්න තීරණය කලා ඉල්ලීම පරිදි.  එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. හැබැයි මේ සතියෙත් ලිවීමේ රටාව ටිකක් වෙනස් කරනවා වෙනදට වඩා. මොකද එකම දේ දිගටම කරන කොට එපා වෙන ගතියක් දැනෙන නිසා. ඒක නිසා ටිකක් කියවලා බලලා ඒ ගැනත් ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.

ශිෂ්‍යත්වය සමත් වී අලුත් පාසලට ගිය විගසම වාගේ මා කොහොමටත් උන්නේ මදක් මුලු ගැන්වී ගිය හැඟීමකිනි. කලින් වතාවක කිවූ පරිද්දෙන්ම පාසලෙ විශාලත්වය හා මුහුණ දීමට සිදුවූ වෙනස්කම් නිසා මා උන්නේ වික්ෂිපත වී යැයි කීම නිවැරදිය. මම අලු ගසා දමා කරළියට ආවෙ අටේ පන්තියේ පමණ දීය. ඒ කාලයේදී ටික ටික පරිසරයට හුරු වීමට මට හැකි විය. කෙසේ වෙතත් පාසලට ඇතුලත් වීමේ දී මගේ සිත් ගත් එක කාරණාවක් වූවේ පාසල සතුව පැවති ක්‍රීඩා පහසුකම්ය. කොහොමටත් බිග් මැච් එක ගැන  මගේ තිබු ආසාව ගැන මම කලින් වතාවල කීවේමි.

සාමාන්‍යයෙන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ජයටම පැවැත්වෙයි. ඒ සඳහා එක් එක් ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් නිවාස අතර තරඟ වෙන වෙනම පැවැත්වෙයි.මගේ ප්‍රියතම ඉසව්ව වූයේ ක්‍රිකට් නිසා අපේ පන්තිවල සිටි ළමයි ක්‍රීඩා කරනු බැලීමට මම ගියේ බොහොම උනන්දුවෙනි. රූපවාහිනියෙන් ලෙදර් බෝල ක්‍රීඩා කරනු මම දැක තිබුනත් ජීවිතයේ හා හා පුරා කියා හැබැහින් ලෙදර් පන්දු ක්‍රීඩා කරනවා දුටුවේ එවිටය.  කොට කලිසම් ඇඳගෙන සියලු ආම්පන්න දමාගෙන පිටියට බසින අපේ සම වයසේ ළමුන් ක්‍රීඩා කරනු දැකීම මා තුල විස්මයක් ඇති කලේය. එක ගොඩනැගිල්ලක් පමණක් තිබු පාසලක පහේ පන්තිය දක්ව උගත් මට ඒවා දැකීම කෙතරම් අරුමයක් වූවේදැයි කුමට කියම්ද?

මටත් ක්‍රිකට් ගැසීමට බොහොම ආසාවක් ඇති වුනත් ආම්පන්න වල මිල අධික නිසාත් , හවස පුහුණුවීම් වලට සහභාගි වී ගෙදර කැටුව යාමට අම්මාට කරදර කිරීමට  අකමැති කමත් නිසා ක්‍රිකට් බැලීමෙන් පමණක් සෑහීමට පත් වුනෙමි. ඒ දිනවලත් අත්‍යවශ්‍යම ශරීර ආරක්ෂක උපාංගයක මිල රුපියල් තුන්සීයක් පමණ විය. ඒ කාලයේ එය සැලකිය යුතු මුදලකි. ඉදින් තරඟ නැරඹීම හැර වෙන විකල්පයක් නොවීය.ඒ දිනවල අප අයත් වයස් කාණ්ඩය වුනු අවුරුදු දහ තුනෙන් පහල වයස් කාණ්ඩයේ තරඟ ආරම්භ වන්නේ උදේ දහයයි තිහට පමණය. ඒ වේලාව අපිට විවේක කාලය ලැබෙන කාලය බැවින් පැය බාගයක් පමණ තරඟ නැරඹීමේ අවස්ථාව අපිට හිමි වෙයි. ඊට අමතරව හවස පාසල නිමාවී ගෙදර යාමට පාසල් වෑන් රථය පැමිණෙන තෙක් ටික වේලාවකට හෝ තරඟය බලන්නට අවස්ථාව ලැබෙයි.

හතේ පන්තියේදි මගේ සඟයකු නිවාසාන්තර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල බැවින් මම  දැඩි උනන්දුවෙන් යුතුව තරඟය නැරඹීමට ගියෙමි. පන්තියේ දී එතරම් දැඟලිල්ලක් නැති මේ කොලුවා පිටියට පිවිසෙන විට මට පෙනුනේ වීරයෙකු මෙනි. තමන් මුහුණ දුන් මුල්ම පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරිය මගේ වීරයා ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු බිංදුවකට දැවී ගියේය. ඊට පසුව මම ඔහු වීරයා ගේ තත්වයෙන් සාමාන්‍ය කොලුවෙකු ගේ තත්වයට පහත හෙලා ඉතිරි තරඟ වල ක්‍රීඩා කරන අයුරු බලන්නට යෑමෙන් වැලකුනෙමි. නමුත් පසු කලෙක රාජකීය – සාන්ත තෝමස් නිල් මහ සටනෙදි ලකුණු එකසිය තිස් හතක් රැස්කර අලංකාර ශතකයක් ලබා ගැනීමට මේ මිතුරාට හැකිවිය. මට මතක හැටියට ඒ දෙදහස් හතර අවුරුද්දේ දීය.  අවාසනාවකට මෙන් ඒ තරඟය නැරඹීමට මට යාමට නොහැකි විය.

එදා ඒ ශතකය රැස්කල සඟයා නමින් ධනුෂ්ක එදුස්සූරිය ය. මං දන්නා තරමින් ඔහු පාසලෙන් සමුගත් පසු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත. ඊට පසු අවුරුදු වලත් මගේ පන්ති සඟයෝ නිවාසාන්තර තරඟ වලදී ක්‍රිකට් ක්‍රීඩා කලෝය. සමහරු ශතක , අර්ධ ශතක ලබාගෙන දස්කම් පෑ අතර තවත් සමහරෙක් පිටියේදී දස්කම් දැක්වීමට අසමත්ව අප අතරට පැමිණ පුරසාරම් දෙඩූහ. ඉන් එක මිත්‍රයෙක් හැමදාම කීවේ තමන් දැවී ගියේ වැරදි විනිසුරු තීන්දු නිසා බවය. නමුත් විනිසුරු වරයා නැතිව ක්‍රීඩා කලත් ඔහුට ලකුණු ලබා ගත නොහැකි බව මගේ හිත කිව්වත් , හිතට එන සියලු දේ ඔහේ ඇද බෑම හොඳ නැති නිසා නිහඬව හිටියෙමි. බොහෝ අය විනිසුරු වරයාට චෝදනා කිරීම පහසු මාර්ගයක් කරගෙන තිබුනි. ඊට හේතුව වූයේ විනිසුරු වරයා ලෙස කටයුතු කරන්නේ ද පාසල් සිසුවකු වීමයි. ඉතින් අපිටත් විනිසුරු වරයා වැරදි තීන්දු දුන් බව පිළීගන්නට සිදු විය. නිවාසාන්තර තරඟ ගැන තිබූ අනිත් චෝදනාව නම් ලකුණු සටහන් කරන අය හොර ලකුණු එකතු කරන බවයි. කොහොමටත් තමන්ගේ පිලට ලකුණු කිහිපයක් වැඩිපුර එකතු කිරීම සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන විටත් කරන වැඩකි. එවැනි පොඩි පහේ කට්ටකම් නොකරන කොලු ගැටයන් ඉන්නේ බොහොම කලාතුරකිනි.

පාසල් වියේ අපේ සම වයස් සඟයකු තවත් වතාවත් අන්තර් පාසල් තරඟයක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කලේය. ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව වයස පහළොවෙන් පහල තරඟයකදී ඉමංක හෙට්ටිආරච්චි නම් වූ අපේ මිතුරා ලකුණු එකසිය අනූවක් රැස් කලේය. ඒ ඉනිමට හයේ පහර දහ තුනකුත් , හතරේ පහර විසි දෙකකුත් අන්තර්ගත විය. කොහොමටත් වේගයෙන් පන්දුවට පහර දීමට රුසියකු වූ ඔහු සැහැල්ලු පන්දුවෙන් පවා පොයින්ට් කලාපයට ඉහළින් හයේ පහර එල්ල කිරීමේ සමතෙකි. එවැනි ක්‍රීඩකයන් මා දැක ඇත්තේ ඉතාම කලාතුරකිනි.  පසු කලෙක යගුලිය විසි කිරීමෙන් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් පිහිට වූ ඔහුට බිග් මැච් එක නියෝජනය කිරීමේ වරම නම් අහිමි විය.

පසු කලෙක මගේ මිතුරකු සමඟ එම ඉනිම ගැන සිහිපත් කලෙමි. එවිට මගේ මිත්‍රයා “එදා ඉමංක එකසිය අනූව ගැහුවෙ මං නිසා” යැයි කීවේය. මගේ මිත්‍රයාද කලක් පාසල් කණ්ඩායම නියෝජනය කල නමුත් එම තරඟයට ඔහු ක්‍රීඩා නොකල බැව් හොදාකාරවම දැන සිටි මම උඩ බිම බැලුවෙමි. පසුව මගේ මිත්‍රයා පැහැදිලි කල අයුරු කතාව මෙසේය. පාසල් ක්‍රීඩා පිටියේ එක පසක කෙහෙල් පඳුරු ගාලකි. දැන්නම් එය තිබෙනවාද දන්නේ නැත. කොහොම වුනත් එම ඉනිමේ ඉමංක එල්ල කල දැවැන්ත පහරකින් පන්දුව වැටී ඇත්තේ කෙසෙල් පඳුරු ගොන්නටය. පාසල නිම වී වෑන් රථය එනතුරු මගේ මිත්‍රයා තරඟය නරඹමින් හිඳ ඇත. සියලු දෙනා එකතු වී සොයා බැලුවත් අන්තිමේදි නැතිවූ පන්දුව සොයා ගෙන ඇත්තේ මගේ මිත්‍රයාය. එම නිසා ” එදා මම බෝලෙ හොයල දුන්නෙ නැත්තං ඉමංක ට එකසිය අනූව ගහන්න වෙන්නෙ නෑ” යි මගේ මිත්‍රයා මා හට පැවසුවේ බොහොම උජාරුවෙනි.

ඒ සියලු දෙනා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරතෙරටම ගියේ අටේ පන්තියෙ දි මගේ සඟයකු වූ ගංගනාත් රත්නායක යි. වසර පහක් බිග් මැච් ක්‍රීඩා කිරීමේ දුර්ලභ වරම හිමි කරගත් ඔහු ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කලේය. දෙදහස් හතර අවුරුද්දේ ෆර්වීස් මහරූෆ් නායකත්වය දුන් ශ්‍රී ලංකා පාසල් පිලේ උප නායකයා වුනු ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් හැමදාම තරඟ නැරඹුවා පමණක් මිස ආසාසවට හෝ ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමේ අවස්තාවක් නම් මට ලැබුනේම නැත. පසු කාලයේදී ඒ ආසාව උපන් ගෙයිම මිය යන්නට මම ඉඩ හැරියෙමි. සැබවින්ම කියතොත් මම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයකුද නොවූයෙමි. කාටවත් නොතේරෙන අයුරින් දස්කම් නොදක්වන ක්‍රීඩකයින් කණ්ඩායමේ තබා ගන්නා ශ්‍රී ලංකා තේරීම් කමිටුව අපේ පාසල් කණ්ඩායම තෝරන්නට පත් කර තිබුනානම් මා අවම වශයෙන් නිවාස කණ්ඩායමට හෝ තෝරා ගැනීමට තිබුනි. නමුත් අපේ පාසලේ වාසනාවකට මෙන් එවැනි අකරතැබ්බ සිදු නොවී මම තරඟ නරඹන්නකු බවට පමණක් වීමේන් සතුටු වුනෙමි.

එහෙමනම් ඉතින් මෙවර “මගේ සටහන” නිමා කරනවා සුපුරුදු සීමාවට පැමිණි නිසා. පරිහණකයේ ප්‍රශ්නය විසඳුන නිසා ඉරිදා උදේ වරුවෙම ලියල ඉවර කරන්න ඉඩ ලැබුනා. එහෙමනම් ලබන සතියේ නැවත හමුවන අදහසින් සමුගන්න අතරෙදි මේ දිනවල සිදුවන සමාජ ඛේදවාචකයන් නිසා නිතර සිහියට නැගෙන කියමනක් සටහන් තබනවා.

“යුගයේ මිනිස් හෘදය සාක්ෂිය යනු ලේ වැකුනු පා පන්දුවකි, අප කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”
රෝහිත භාෂණ අබේවර්ධන
හිරු කණ්ඩායම

May 12, 2008

පුලුවන් තරම් හයියෙන්

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 12:44 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි පස් වන සටහන. සුපුරුදු ඉරිදා හැන්දෑවේ වැඩේ පටන් ගත්තෙ කරදර ගොඩක් මැද්දෙ. මුලින්ම මගේ පරිගණකය වැඩ කරන්නෙ නැතිව ගියා. ඒ මදිවට බෝඩිමේ ඉවසන්න බැරි රස්නෙ. හොඳ වෙලාවට මිත්‍රයෙක් ගෙ පරිගණකය තිබුන නිසා වැඩේ කරගන යන්න පුලුවනි. ඒක හින්දා අපහසුතාවයෙන් තමයි සටහන ලියන එක කරගෙන යන්න වෙන්නෙ. ගිය සතියෙ සටහන කියවමින් දිරි ලබා දුන්න හැමෝටම මුලින්ම ස්තූතිය පල කරන්න ඕනේ. මීට පස්සෙ ප්‍රතිචාර වලට සම්බන්ධව ප්‍රතිචාර සටහනක් ඊට අදාලව තබන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

“මගේ සටහන” පසුගිය සතිවල ලියවුනේ නිශ්චිත මාතෘකා ඔස්සේ නෙවෙයි සමහර වෙලාවට. ටිකක් නොසන්සුන්තාවයෙන් ලිව්ව නිසා එහෙම වුනා කියල හිතෙන්නෙ. මේ සතියෙ නැවත වතාවක් “මගේ සටහන” පරණ පාසල් යන කාලෙ සිදුවීම් කිහිපයක් හාරවුස්සන්න කල්පනා කලා. පාසල් යන කාලෙ මීට පෙර සටහන් වල කිව්වා වගේ ගෙදරින් නිදහස ලැබිල තිබුනා අවශ්‍ය තරමට. ඒක නිසා ඇති තරම් විනෝද වෙන්න අවස්ථා ලැබුනා. සමහර සිදුවීම් නම් බොහොම හාස්‍යජනකයි. සමහර සිදුවීම් “මගේ සටහන” හරහා කියන්න අමාරුයි. මොකද ඒවා ප්‍රසිද්ධියෙ කියන්න බෑ. හරියට අර පේරාදෙණියෙ ගජසිංහ පාලම හා බැඳුනු කතාව වගේ.

පාසල් කාලය කියන්නෙ කොහොමටත් ටිකක් දගගකාර කම් වල යෙදුනු කාලයක්. ගිය සතියෙ මම කිව්වනෙ වෙසක් කාලෙට යන බයිසිකල් සවාරි ගැන. එක වෙසක් දවසක රෑ බෝ වෙලා මමයි තව මිත්‍රයෙකුයි වෙසක් සිරි නරඹන්න හිතාගෙන බයිසිකලයකින් පිටත් වුනා. අපි වැඩි දුරක් යන්න කලින් අපේ ගම් පලාතෙම තරුණයො දීපු දන්සලක් තිබුනා. අපි එතනට ළඟා වෙන කොට දන්සල දීලා ඉවර වෙලා කට්ටිය මහ හයියෙන් සින්දු දාගෙන පාර මැද්දෙ නටනවා. කොහොමහරි අපි එතනට ළඟා වෙනකොටම එක නටමින් හිටපු තරුණයෙක් බයිසකලය ඉස්සරහට පැන්නා. මගේ මිත්‍රයා කොපමණ උත්සහ කලත් හැප්පෙන්නෙ නැතුව බේරගන්න බැරිවුනා. පාර මැදට පැනපු එකාට තුවාල සිදු නොවුනත් මගේ මිත්‍රයට බිම ඇද වැටීම නිසා සැලකිය යුතු ලෙස තුවාල සිදු අන්තිමේදි සවාරිය අතරමග නතර කරල බොහොම අමාරුවෙන් ආපහු ගෙවල් වලට ආවෙ දන්සැල පවත්වපු තරුණ පිරිසෙ පරම්පරා ගණනාවකට හිතින් පිං දෙමින්. ඇත්තටම තමන්ගෙ නොසැලකිලිමත් කම නිසා සෙසු අයට සිදුවන අනතුරු ගැන ලංකාවෙ ඉන්න උදවියට නම් කිසිම තැකීමක් නෑ.

ඔය මම කියපු මිත්‍රයා එක්ක බයිසකලයෙන් යද්දි තව අමතක නොවන අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. මේ කියන සිද්ධි කිහිපය සිදුවන විට අපි හිටියෙ සාමාන්‍ය පෙළ පන්ති වල. ඒ කාලයේ සංගීත විෂය සඳහා අපි අමතර පන්තියකට සහභාගි වෙනවා. පන්තිය තිබුනේ නිවෙස් වලින් ටිකක් දුර බැහැර. අපි දෙන්නා යන්නෙ මිත්‍රයගෙ පා පැදියෙන්. වයලීන පිටේ එල්ලගෙන මාවත් නංවාගෙන මිත්‍රයා බයිසකලේ පදිනවා. ඔය විදිහට පුරුදු විදිහට දවසක් අපි යන්න පිටත් වුනා. සාමාන්‍යයෙන් අපෙ ප්‍රදේශයේ පාරවල් ටිකක් පටුයි. ඔන්න ඉතින් අපි එක පල්ලමක් තියෙන හරියකට ආවා. අපිට ඉස්සරහින් බස් ර්‍යයක් බොහොම වේගයෙන් යනවා. මගේ මිත්‍රයත් බස් එක පිටිපස්සෙන් ඇරල දාලා යනවා. නමුත් එක පාරටම පාරේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහනයක් ආවා. වාහන දෙකට එක විට මාරු වෙන්න ඉඩ නැති නිසා බස් රථය එක තැන තිරිංග තද කලා. අපිට දෙලොව සිහිවුනේ එතකොට. මිත්‍රයගෙ බයිසිකලයේ බ්‍රේක් වැඩ කරන්නෙත් නෑ. බස් රථය හා අපි අතර වැඩි පරතරයක් තිබුනෙත් නෑ. මම කොච්චර බය වුනාද කියනවනම් මට හිතුනෙ ඉවරයි තමයි කියල. වාසනාවකට වගේ යන්තම් පාරෙ අයිනෙ කටු පදුරු ගොන්නකට බයිසිකලය යොමු කලා. මගෙ නම් බය වුන පාර ඇස් දෙක පියවුනා ඉබේටම වගේ. බස් එකේ හැප්පිලා හොම්බ සමතලා කරගත්තෙ නැතුව බේරුන අපි කටු පඳුරු ගාලෙන් එළියට ආවෙ අත පය හූරගෙන. හිටපු හැටියට මළා මදැයි කියල එදා නම් හිත හදා ගත්තා.

තවත් දවසක් පන්තිය අවසාන වෙලා මමයි මිත්‍රයයි ගෙදර බලා එන්න පිටත් වුනා. එදා ටිකක් වැස්ස දවසක්. මම පා පැදියෙ ඉස්සරහ වාඩිවෙලා වයලීනයත් එල්ල ගෙන ඉන්න නිසා මිත්‍රයට හරියට පාර පෙනෙන්නෙත් නැහැ. වැස්ස වැඩි වන්න කලින් ගෙදර එන්න තිබුනු උවමනාව නිසා අපි ටිකක් වේගයෙන් ආවේ. කොහොමහරි එක තැනකදි හිතා ගන්නත් කලින් මනුස්සයෙක් පාර මැදට පැන්නා. කිසි දෙයක් කරගන්න කරගන්න කලින් ඒ මනුස්සයා බයිසිකලේ හැප්පුනා. ඒ වෙලේ මෙයා හිටියෙ ටිකක් අරගෙන. ඒ කියන්නෙ බී මතින්. මේ කෙනාට තුවාලයක් සිදු නොවුනත් එයා අතේ තිබුනා බඩු මල්ල හිල් වෙලා බයිසිකලයේ වැදීම නිසා. ඒකේ තිබුන සීනි පාර්සලයක සිදුරක් හැදිලා බිමට වැටෙනවා. වැස්සට පාර තෙමිලා නිසා එකතු කරන්නත් බෑ. තමුන්ගෙ සීනී මල්ලට සිදු වුන අලහභානිය නිසා කේන්තියට පත් වෙච්ච මනුස්සයා අපිට කිව්වා “මල්ලි, පුලුවන් නම් තව ටිකක් හයියෙන් යනවා” කියල. ඒ පාර කට වහගෙන ඉන්න බැරුව මගේ මිත්‍රයා කියපි “පුලුවන් තරම් හයියෙන් තමයි ඕයි ආවෙ. මීට වඩා හයියෙන් යන්න බෑ” කියල. ඒ පාර අර මනුස්සයට අසූ හාරදාහටම තද වුනා. ඊළඟට අපේ හත් මුතූ පරම්පරාව ගැන ගුණ වර්නණාවක් අහගන්න කලින් අපි එතනින් ඉක්මනට ආවා. ඒ ආවේ බයකට එහෙමනම් නෙවෙයි.

ඒ දවස් සල අපේ අම්මා එහෙම ටිකක් බයේ ඉන්නෙ ඔය ගමන් බිමන් ගැන. මොකද මොන ජංජාලයක් කර ගනීද කියල කියල විශ්වාස නැති නිසා . කොහොම නමුත් පස්සෙ කාලෙකදි එහෙම සිදුවීම් වලට මුහුණ පෑවෙ නම් නෑ. කියන දේවල් නොතක ඉන්න එකෙත් පොඩි විනෝදයක් තියෙනවනෙ ඒ වයසෙදි. ඔහොම තමයි දේවල් සිද්ධ වුනේ ඒ කාලයේ. තවත් දවසක් බයිසිකලය පදින ගමන් මගේ මිත්‍රයා කිව්වා හැඩලය අල්ල ගන්න කියල. ඒකට සූදානම් වෙලා නොහිතපු මම අතින් සමබරතාවය ගිලිහිලා අන්තිමට පාර අයිනෙ තිබුන කාණුවක තමයි නැවතුනේ. ඒ පාරත් අත පය වල මඩ ගාගෙන බෙරුනා.

ආයෙමත් ඉතින් මේ දවස්වල ජීවිතේ දිහාවට ටිකක් හැරෙන්නයි සූදානම. තාම විශ්ව විද්‍යාලෙ පටන් ගත්ත ගමන් වගේ නිසා බරපතල විදිහටම වැඩ යෙදුනෙ නෑ තාම. ඒක නිසා දවසෙ වැඩි හරියක් මිත්‍රයො එක්ක මොකක් හරි කරමින් තමයි ඉන්නෙ. ගිය සතියෙ බැඩ්මින්ටන් ගැහුවා හිතේ හැටියට . මුලදි මම ඒක ඒ තරම් ආස ක්‍රීඩාවක් නොවුනත් පස්සෙ කාලෙකදි මට ආස හිතුන සෙල්ලමට. සාමාන්‍යයෙන් මම කැමති කණ්ඩායම් ක්‍රීඩා වලට. මොකද අනිත් ක්‍රීඩා ටිකක් කම්ැලි වගේ දැනුන නිසා. මොනව වුනත් දෙයක් කරල බලන්නෙ නැතුව හරිම නිගමනයක් දෙන්න අමාරුයි. හරියට ආදරය කරන එක වගේ තමයි. වතුරට බැහලම බලන්න ඕනේ පීනන්න.

සෙනසුරාදා රෑ කාලෙකට පස්සෙ හොඳ චිත්‍රපටියක් බලන්න ලැබුනා. ආයතනික පුහුණුව ලබල ඉවර වුනාට පස්සෙ ටික කාලයට චිත්‍රපට බැලීම මග හැරිලා තිබුනෙ. එදා බැලුවෙ සුප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක වරියක් වන දීපා මේතා ගේ “WATER” චිත්‍රපටය. මෙච්චර කාලයක් ඒ වගේ විශිෂ්ඨ චිත්‍රපටයක් නරඹලා නොතිබුන එක ගැන නම් පසුතැවිල්ලක් ඇති වුනා. පුරුෂාධිපත්‍යය විසින් අසරණ කරනු ලැබූ පෙරදිග සමාජයේ ඛේදවාචකයක් ගැන කතා කරන එම චිත්‍රපටය ලාංකේය සමාජයටත් අඩු හෝ වැඩි වශයෙන් අදාලයි කියල මට හිතුනා. මිනිසුන්ගේ මූලික විඳීමේ අයිතියට එරෙහිව නැගී සිටින්නට සමාජයක් වශයෙන් පෙළඹිය යුතුයි. නැත්තම් ඒක මිනිසත් කමට වුනත් කරන නිගාවක් වගෙයි.

ඊට අමතරව මේ දවස්වල වැඩිපුරම කලේ බ්ලොග් කියවන එක. සිංහල , ඉංග්‍රීසි දෙවර්ගයේම බ්ලොග් මේ දවස් වල කියෙව්වා හිතේ හැටියට. නමුත් බොහොම දුකට හේතු වන විදිහට සිංහල බ්ලොග් කරුවන් මොකද්දෝ නිහඬතාවයකට එළඹිලා තියෙනවා වගේ පෙනෙනවා. හේතුව මොකක් වුනත් සියලුම බ්ලොග් කරුවන්ගෙන් නැවත සුපුරුදු පරිදි ලියන ලෙස ඉල්ලා සිටිනවා. නැත්තම් මොකද්දො පාලු ගතියක් දැනෙනවා. මොනව වුනත් දැන් ඉස්සරට වඩා සිංහල හා ඉංග්‍රීසි බ්ලො කරුවන් අනෙත් බසින් ලියවෙන අඩවි ගැන දක්වන උනන්දුව වැඩි වෙලා. විශේෂයෙන්ම සිංහල බ්ලොග් කරුවන් තමන් කියවන බ්ලොග් ලැයිස්තුවට ඇතුලත් කරගෙන ඉන්න ගවීන් සහ අපේ මිතුරු දිලින ට ස්තූතිය පල කරන්න ඕනේ.

යන්තම් ඉතින් “මගේ සටහන” වචන සීමාවට ආවා. එහෙමනම් ඉතින් ලබන සතියේ කරදර නැතිව ලියන්න වට පිටාව සැකසේවි කියන බලාපොරොත්තුව ඇතිව සමුගන්නවා. ලබන සතියේ හමුවෙමු.

« Previous PageNext Page »

Blog at WordPress.com.