සුද්දො ආයෙ ආවොත්

ගොඩ කාලයක් තිස්සෙ ලියවුනෙ නැති “මගේ සටහන” හදිස්සියෙම ගිය සතියෙ ලියල දැම්මනෙ . ඒ සටහනට මම හිතුව තරමටත් වැඩිය ප්‍රතිචාර හම්බ වෙලා තිබුනා. ඒක නිසා මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ ලිව්වමත් අමුතු උද්යෝගයක් දැනෙනවා. ගිය සතියෙ මම ලිව්වෙ චූ බේරෙන කතාවයි මගේ ගමන් විස්තරයි. ඒකට ලැබිල තිබුනු ප්‍රතිචාර අතර නොදන්න දේවල් ගොඩක් ඇතුලත් වෙලා තිබුනා. ඒ හැම දේම මුල්ම වතාවට රටින් බැහැරව යන ඕනෙම කෙනෙක්ට හරිම වැදගත්. ඉතින් එහෙමනම් වැඩි ආගිය තොරතුරු නැතිව මේ සතියෙ හතලිස් පස් වෙනි “මගේ සටහන” මෙතැන් සිට දිග හරිනවා.

මේ සතියෙත් මගේ ගමන් විස්තරේ ඉතුරු ටික කියන්න කියල තමයි මම කල්පනා කලේ. මම ඔය ඉන්දියාවට ගියා කියල කිව්වට ගමනාන්තය කොහෙද කියල කිව්වෙ නැති එක සමහර වෙලාවට “මගේ සටහන” පාඨකයන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති. මම ගියෙ ඉන්දියාවෙ හයිද්‍රාබාදයට. ඔය හයිද්‍රාබාදය තියන්නෙ ඉන්දියාවෙ ටිකක් උඩ හරියට වෙන්න. හයිද්‍රාබාදය අයිති වෙන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ වලට. ඉතින් මගේ ගමන හයිද්‍රාබාදයට වුනාට කෙලින්ම හයිද්‍රාබාදයට ගුවන් යානා තිබුනෙ නෑ. ඒක නිසා මට සිද්ධ වුනා චෙන්නායි නුවර හරහා යන්න. ඔය චෙන්නායි කියල දැන් හැඳින්වුනාට ඉස්සර ඒ නගරය ප්‍රසිද්ධ වෙලා තිබුනෙ අපි කවුරුත් දන්න මදුරාසිය නමින්.

ඔය මදුරාසිය කියන නමට මම ගොඩක් කැමති. මොකද නීල් විජේරත්න මහත්මය, එතුමාගේ ඉන්දියානු සවාරි ගැන විස්තර කරල ලියපු “මදුරාසි කොලුවා” පොත කියවලා. ඒ පොත කියසව්වට පස්සෙ කවදාවත් දැකල නැති මදුරාසියට යන්න ලොකු ආසාවක් හිතේ පහල වෙලා තිබුනෙ. ඉන්දියාවෙ කොහොමටත් පරණ නගර වල නම් මිට කාලෙකට කලින් වෙනස් වුනා. මට මතක විදිහට බොම්බේ කියන නම මුම්බායි කියල වෙනස් වුනා. ඔය ඉන්දියාවෙ නගර වල නම් වෙනස් කරපු එක ගැනත් රසවත් කතාවක් මතක් වුනා මේ ලියන අතර වාරෙ. ඒ කතාව කියන්නෙ රසල් පීටර්ස් කියන කැනේඩියානු ඉන්දියානුවා. රසල් කියන්නෙ ප්‍රසිද්ධ වේදිකාවල කතන්දර කියන කැනඩාවේ ඉපදිච්ච කෙනෙක්. මෙයගෙ දෙමවුපියො ඉන්දියානුවො. ඉතින් රසල් පීටර්ස් මේ නගර වල නම් වෙනස් කරපු එක ගැන මෙන්න මෙහෙම කියනවා.

“ඔන්න ඔය අය දන්නවා ඇතිනෙ ඉන්දියානුවො ළඟදි ඒ අයගෙ නගර කීපයක නම් වෙනස් කලා කියලා. ඒ අය එතකම්ම පාවිච්චි කලේ සුද්දා ඒ නගර වලට කියපු නම් තමයි. සුද්දො ඉන්දියාව අත ඇරලා ගිහින් අවුරුදු පනහක් ගෙවෙන කම් නම් වෙනස් නොකර හිටියෙ ඇයි කියල දන්නවද?  ඉන්දියානුවො හිතුවා ආයෙ සුද්දො එයි කියලා. ඉතින් ඒ අය බලාගෙන හිටිය සුද්දන්ට කල් දීලා ආපහු එන්න. මොකද කලබලේට නම් වෙනස් කරල ආයෙ මාරු කරන්න සිද්ධ වුනෝතින් කියල” :)

මේක ඇත්ත කතන්දරයක් කියල වරදවා වටහා ගන්න එපා. රසල් පීටර්ස් මේ වගේ උපහාසාත්මක කතා බොහොමයක් කියනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලයෙ හොයල බලන්න පුලුවන්. ඉතින් ගිය සතියෙ වගේම “මගේ සටහන” ප්‍රධාන කතාවෙන් පොඩ්ඩක් එළියට ගියා. ඒක ගැන එච්චර වද වෙන එකක් නැහැ කියල හිතෙනවා.

ඔන්න ගිය සතියෙ මම කතාව නැවැත්තුවෙ කණේ කැක්කුම ගැන කියලනෙ. කොහොමින් හරි ආයෙ ගුවන් යානය පහත් කරන්න ලං වෙන කොට කණේ වේදනාව අඩු වෙලා තිබුනා. ඒ වුනාට කණ අගුලු වැටිලා වගේ මොකද්ද වෙලා තියෙනවා කියල දැනුනා. වෙලා තියෙන දේ හොඳට තේරුනෙ ගුවන් යානයෙන් බැහැලා ඇවිදගෙන යනකොට.  මොකද ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අහන ප්‍රශ්න මට හරියට ඇහෙන්නෙ නෑ. මම කතා කරන ඒවත් මටම ඇහෙන්නෙ නෑ. හරියට තාවකාලිකව බීරී වෙලා වගේ. ඒ වෙලාවෙ පාන්දර හතරහ මාරට විතර. මුලු රෑම නිදා ගන්නෙ නැතුව ඉඳල මට හොල්මන් වගේ. ඒ ඔක්කොම අස්සෙ මිනිස්සු කියන දේ ඇහෙන්නෙත් නෑ. ඒ අය කියනව මොනවද පත්‍රිකාවක් පුරවල භාර දෙන්නලු . බලන කොට සූකර උණ ගැන මොකද්දෝ පත්‍රිකාවක් පුරවල දෙන්නලු.

කොහොමටත් මම ඉන්දියාවෙ යන දවස් සල සූකර උණ ගැන බොහොම බයක් පැතිරිලා තිබුනෙ. අත්‍යවශ්‍ය කටයුත්තකට ඇරෙන්න ඉන්දියාවට යන්න එපා කියල නිවේදනයකුත් කරල. මම යනකොටත් ගුවන් තොටුපලේ උදවිය මූණු ආවරණ දාගෙන හිටියෙ. ඒ අස්සෙ මුම්බායි නගරෙ ඉස්කෝල , විශ්ව විද්‍යාල එහෙම වහලා දැම්මා ලෙඩේ පැතිරෙන වලක්වන්න. මට නම් ඒක ඒ තරම් ගානක් වුනේ නෑ. මොකද බරපතල ලෙඩක් මට හැදෙන්නෙ නෑ කියල මෝඩ විස්වායක් මගෙ තියෙන නිසා . :) ඉතින් බාගෙට ඇහෙන දේවල් වලට යන්තම් උත්තර දීලා මම ගියා ගුවන් යානයට පටවපු ගමන් මල්ල අරගන්න. ඒකෙ තමයි මගෙ ඇඳුම් ටික තිබුනෙ. එතනදි මට තවත් අපූරු වැඩක් වුනා.

මම ඒ බෑග් එක ගන්න අතරෙ එතන හිටියා ගුවන් තොටුපලේ ඉන්දියන් ජාතික නිලධාරියෙක්. මේ මනුස්සයා මගේ ළඟට ඇවිත් නොහොම සුහදව හිනා වුනා. මමත් ඉතින් හෙම්බත් වෙලා හිටිය එකේ ඒක බොහොම ලොකු සැනසීමක් වගේ දැනිච්ච හින්දා හිනා වුනා ඒ පුද්ගලයා එක්ක. මේ මනුස්සයා මගෙන් අහපි ඔන්න “ඔයාගෙ බෑග් ඔක්කොම ගත්තද? සේරම හරිද?” කියලා. මටත් ඉතින් හරි සතුටු දායක හැඟීමක් ඇති වුනා මේ ඉන්දියානු ජාතිකයගෙ සුහද බව ගැන. ඉතින් මමත් පැනල උතත්ර දුන්නා ” ඔව් , ඔව්” කියල. ඊට අමතරව මම කිව්වා දේශීය ගුවන් තොටුපල තියෙන තැන කියන්න කියල. මොකද මම මුලින්ම ගොඩ බැස්සෙ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට. එතන ඉඳල හයිද්‍රාබාදයට යන ගුවන් යානය ප්‍රාදේශිය ගුවන් යානාවක්. ඒකට නගින්න නම් චෙන්නායි ප්‍රාදේශිය ගුවන් තොටුපලට යන්න ඕන. මොකද ඉන්දියාව විශාල රටක් නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් වගේම අභ්‍යන්තර ගුවන් ගමනුත් බොහොම ජනප්‍රියයි.

ඉතින් මේ මනුස්සයත් කියපි “හරි හරි මම උදව් කරන්නම්, හැබැයි මටත් පොඩි උදව්වක් කරන්න” කියල. මම ඇහුවා මොකද්ද කියල. මෙන්න මේ මනුස්සයා කියපි “මගෙ යාලුවෙක් ඉන්නවා එළියෙ, මම සල්ලි දෙන්නම්. විස්කි බෝතල් දෙකක් අරගෙන එළියෙ ඉන්න යාලුවට ගිහිල්ලා දෙන්න කියල” එක පාරටම මම බැලුවා මොකද්ද ඒ කතාව කියල. බලන කොට ගුවන් තොටුපලෙන් එළියට යන මගියෙක්ට තීරු බදු රහිත සාප්පු වලින් මත්පැන් ඇතුලු දේවල් මිලදී ගන්න පුලුවන්. ඉතින් රට ඇතුලෙදි ගන්න මිලෙන් භාගෙකටත් වඩා අඩුවෙන් අරගෙන යන්න පුලුවන් ගුවන් තොටුපලේ තීරු බදු රහිත සාප්පු වලින්. මේ මනුස්සයාට ඕන වුනේ එළියට යන කවුරු හරි හරහා පොඩි ජාවාරමක් කර ගන්න. ඒ වෙලාවෙ හොඳටම එපා වෙලා හිටපු මට යකා නැග්ගා ඒ කතාව අහලා. ඉතින් මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල ගුවන් තොටුපල ඇතුලෙ තියෙන බැංකුවක් ළඟට ආවා සල්ලි ටිකක් මාරු කර ගන්න.

මෙන්න මේ මනුස්සයා පස්සෙන් ඇවිත් ආයෙ දෙපාරක් විතර ඒ ඉල්ලීම කලා. ඒ පාර මම ගනන් ගන්නෙ නැතුව මගෙ වැඩේ කර ගන්න ගියා. මේ මනුස්සයා ඒ අස්සෙ තවත් කෙනෙක් ගෙන් ඒ ඉල්ලීම කලා. ඒ කෙනත් බැහැයි කිව්වා. කොහොම හරි අන්තිමට ඉතින් මම තනියම සල්ලි ටිකත් මාරු කරගෙන ගුවන් තොටුපලෙන් එළියට ආවා. ඒ වෙලාව වෙනකොට නම් නුහුරු නුපුරුදු තැනක ඉන්නව ටත් වඩා නොදන්න රටක ඉන්න එක හිතේ පොඩි තිගැස්මක් ඇති කරල තිබුනෙ.

ඔන්න මම ගුවන් තොටුපලෙන් එළියට ආපු ගමන් දැක්කෙ හරියට ලංකාවෙ බස් නැවතුම් පොලක වගේ දර්ශනයක්. මොකද සිඟමන් යදින අයයි, පිලිවෙලක් නැතිව ඇඳ ගත්තු බඩු ගෙනි යන මිනිස්සුයි එක්ක එතන එකම ජංජාලයක් වෙලා තිබුනෙ. ඒ අතින් බලන කොට අපේ කටුනායක ගුවන් තොටුපල කොයි තරම් හොඳද කියල හිතුනා. හැබැයි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එලියට බැස්ස ගමන් තියෙන කොරිඩෝව දිගේම ගියහම දේශීය ගුවන් තොටුපල තිබුන නිසා කරදරයක් වුනේ නෑ.

එහෙම නම් ඉතින් ඉතුරු විස්තර තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් අද සටහන නිමා කරනවා. නැවත හමුවෙමු.

Leave a comment

6 Comments

  1. එළ මචන්… ආයෙත් දිගටම ලියපන්

  2. Dilshi

     /  January 25, 2010

    හරිම රසවත්. කතාව කියන අතරෙ අතුරු කතා කියන එකත් අපූරුයි. දිගටම ලියන්න. ලබන සඳුදාත් මගෙ සටහන කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.. :)

    @ indika > මචන් කොහොමත් එළ තමයි.. :P

  3. බොහොම ලස්සන ලිවිල්ල. අදත් ආසාවෙන් කියෙව්ව. cheers!

  4. @ ඉනදික – ස්තූතියි :)

    @ දිල්ෂි – ස්තූතියි :)

    @ ආනන්ද – ස්තූතියි :)

  5. හප්පේ කම්මැලියට එලිවෙලා තියෙන්නේ. සටහන් දෙකම කියෙව්වා. වෙනදා වගේම ඔය බොහොම ලස්සනට ලියලා තියෙන්නේ.
    කම්මැලි කම නැතිවෙන්ට වස් කවියක්වත් කියා ගත්තනං….. :)

  6. @ සිතුවිලි – ස්තූතියි :)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.