අන්තිම සටහන ලියවිලා තිබුනෙ අපි කතරගම ගිය ගමනක් ගැන. කාලෙකට පස්සෙ සටහන ලියන කොට ලියන්නෙ මොනවද කියලත් දෙගිඩියාවක් ඇති වුනා. ගොඩක් දේවල් කල්පනා කර කර හිටියත් අන්තිමේදී හිතුවා තවත් මට අමතක නොවන චාරිකා සටහනක් ගැන ලියන්න. ඒ තමයි අපි ගිය සිරීපාද ගමන් ගැන ලියන එක. ඔය සිරීපාදේ ගමන ගැන කතාවට කියනවනේ “සිරීපාදේ නගින්න එක පාරක් හරි නොගිය මිනිහත් මෝඩයා , එක පාරට වැඩිය යන මිනිහත් මෝඩයා” කියල. ඔය කතාව කොහොම වුනත් මම නම් දැනට දෙපාරක් සිරීපාදේ කරුණා කරල තියෙනවා. කොහොම හරි ඉතින් මට මුල්ම වතාවට සිරීපාදේ යන්න ලැබෙන්නෙ කවද කියන එක ගැන හරි කුතුහලයක් තිබුනෙ.
ඔහොම බල බල ඉන්න කොට මුල්ම වතාවට මට සිරීපාදේ යන්න උදාවුනේ පාසල් ජීවිතෙත් හමාර කලාට පස්සෙ. ඒ කියන්නෙ අවුරුදු විස්සක් පැන්නටත් පස්සෙ. ඒ අවස්ථාව උදා වුනේ අපේ පවුලෙ නෑදෑයෝ පිරිස එකමුතු වෙල් සිරීපාදේ කරුණා කරන්න ලෑස්ති වුන නිසා. ඒ ගමන ගැන අහපු වෙලාවේ ඉඳන් මට ලොකු ආසාවකුයි , කුතුහලයකුයි තිබුනා. ඉතින් ගොඩ කාලයක් යන්න බලාපොරොත්තුවක් තිබුන ගමනක් නිසා මගේ අර ළමා කුතුහලය අවදි වෙලා තිබුනෙ.
ඉතින් මගේ මතකෙ හැටියට අපි පිටත් වුනේ සිකුරාදා දවසක හවස. අපි ඉතින් වෑන් එකක නැගල බොහොම විනෝදෙන් යුතුව ඒ ගමන යන්න පිටත් වුනා. කොහොම හරි ඉතින් කිති අතුරු ආන්තරාවක් සිද්ධ නොවී අපි නල්තන්නියට ළඟා වුනා හවස් ජාමේ වෙනකොට. එතන ඉඳගෙන රෑට සප්පායම් වෙල් එහෙම රෑ නමයට විතර තමයි අපි පිටත් වුනේ. ඒ කාලේ ටිකක් සෙනඟත් හිටපැ කාලයක්. ඈත ඉඳන් සිරීපාදේ කන්ද දකාන කොට නම් මට එකපාර මතක් වුනේ “අනේ අපිට මේ කන්ද නගින්න තියෙනව නේද? ” කියන එක තමයි. කොහොම වුනත් පටන් ගත්ත තැනම හිත අවුල් කරගන්න හොඳ නැති නිසා යන්න පිටත් වුනා. කොහොම හරි අපේ අම්මා එහෙම ඔය ගමනට සහභාගි කර ගන්න බැරි වුනා .මොකද සීරීපාදේ නගින්න අපහසුතාවය හින්දා.
ඉතින් නල්තන්නියෙන් අපි ගමන පටන් ගන්න කොටම කන්ද නගින්න මට පොඩි කම්මැලි කමක් ඇවිල්ලා තිබුනෙ. ඒ වුනත් ඒ පරිසරයෙ තිබුන ස්භාවයයි , කරුණා කරන්න ඇවිත් ආයෙමත් මට උද්‍යෝගයක් ඇති වුනා. ඉතින් රෑ ජාමේ ගමන යන නිසා අව්වෙන් බාධාවක් තිබුනෙත් නැති නිසා ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. ඔහොම ඉතින් මුල හරියෙ ගමන පිටත් වෙලා යනකොට ඒ තරම් අමාරුවක් දැනුනෙ නැති වුනාට ටිකක් දුර යන කොට තමයි මහන්සි දැනෙන්න ගත්තෙ. ඒ පාර ඉතින් මග ටික ටික නැවතිලා හති අරින ගමන් තමයි අපේ ගමන යන්න සිද්ධ වුනේ. කොහොමටත් අපේ නඩේ ගෑණු උදවිය හිටපු නිසා ගමන තවත් හිමින් තමයි සිද්ධ වුනේ. ඒ අය හති දම දමා ආපු හැටි දකින කොට මතක් වුනේ අර පරණ කාලේ කෝච්චි ඇංජින් ටිකක්.
කොහොම හරි අමාරු වෙන් වුනත් පාන්දර තුන විතර වෙනකොට සිරීපාද කන්ද මුදුනට නැග ගන්න අපේ නඩේ කට්ටියට පුලුවන් වුනා. ඒ යන අතරමග තිබ්බ ගොඩක් දේවල් මට බොහොම ආස්වාදයක් ගෙනාපු දේවල් වුනා. ඒ අතර එකක් තමයි අපේ නඩේ උදවිය සිරිපා කරුණා කරල ආපසු බහින උදවිය ගෙන් “තව ගොඩක් දුරද?” කියල අහන කොට දීපු උත්තරේ. එතකොට ඒ හැමෝම කියන්නෙ “අපෝ තව ටික දුරයි” කියල . එහෙම කිව්වම හිත හදාගෙන ගිහිල්ලා බැලුවට මන්ද මුදුන පේන තෙක් මානයකවත් නැහැ. ඒ වෙලාවට මම ඉතින් කල්පනා කරනවා මේ මොකද මෙහෙම කියන්න හේතුව කියල. කොහොම හරි මම පස්සෙ තමයි දැන ගත්තෙ එහෙම කියන එක සම්ප්‍රදායක් කියල. ඒ කියන්නෙ කොච්චර යන්න තිබුණත් කියන්නෙ තව ටික දුරයි කියල. ඒකත් හරි අපූරු වැඩක් තමයි.
ඊටත් වඩා මට පුදුම හිතුනෙ අපේ නඩේ හිටපු තරුණ උදවිය හති දාගෙන කන්ද නගින කොට වයසක ආච්චි අම්මලා සිරීපාදේ කරුණා කරනවා දැකපු එක. ඒ අය කාගෙවත් වාරුවක් නැතුව සිරිපාදේ කරුණා කලේ අපි ඔක්කොටම පුදුම හිතෙන විදියට. සමහර නඩ වල වල හිටියෙ වයස උදවිය විතරයි. ඒ අයගෙ උදව්වට තරුණ උදවිය කවුරුවත් හිටියෙ නෑ. නමුත් ඒ අය බුදු ගුණ කවි කියමින් හරිම විනෝදයෙන්, බැතියෙන් තමයි ඒ ගමන ගියේ.
හැබැයි සමහර කාල වලදි සිරීපාදේ කරුණා කරන්න ගොඩාක් සෙනඟ හිටියත් අපි ගිය දවසෙ සාමාන්‍ය තරමෙ සෙනඟක් හිටියෙ. මගෙ මතකෙ හැටියට අපි ගියෙ පෙබරවාරි මාසෙක. ඉතින් කොහොම හරි අමාරුවෙන් අපේ නඩේ කට්ටිය සිරීපාදේ මුදුනග නැඟත්තම මට අමුතු සතුටක් දැනුනා. එවෙලෙ දැනුන හැඟීම මොන වගේද කියන්න බැරි වුනත් ඒක අමුතුම හැඟීමක් දැනුන දෙයක්. හැබැයි සිරිපා මලුවෙ තිබුනෙ තද සීතලක්. පාන්දර ජාමේ නිසා ඒක තවත් තදට දැනුනා.
කොහොම හරි විනාඩි දහයක් පහලොවක් විතර මලුවෙ ඉඳලා අපි ආයෙමත් පල්ලෙහාට එන්න පිටත් වුනා. ආපහුව එන කොට නම් අපි හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. මොකද මුලු රෑම ගමන් කරපු හින්දත්, නිදි මරාගෙන ඉන්න වුන නිසාත් තමයි. හැබැයි සිරිතක් හැටියට සිරීපාදේ කරුණා කරන කොට සීත ගඟුලෙන් නාලා පිරිසුදුැ වෙන එක සිරිතක් වුනාට අපිට නම් චාරිත්‍රය කරන්න බැරිවුනා. කොහොමටත් ඒ සීතල වතුරෙ නෑව නම් අපිට සීතල හැදිලා මොකක් හරි ආන්තරාවක් වෙන්න තිබුනා. ඒ වතුර ඒ තරමටම සීතලයි. කොහොම වුනත් සීත ගඟුලෙන් මූණ කට හෝදගෙන තමයි අපි ගමන ඉස්සරහට ගියේ.
ඊට අමතරම කෝඩු කාරයෝ වෙච්ච අපේ නඩේ ගොඩක් අය ඉඳිකටු පානේ දී චාරිත්‍ර කලා. ඒකත් මට අමුතු සතුටක් ලැබුණු දෙයක් වුනා. ඉතින් උදේ අටට විතර තමයි අපේ නඩේ කට්ටිය පල්ලෙහාට බැස්සෙ. එතකොට නම් අපි හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. මට නම් ඒ වෙනකොට ගමනෙ ආස්වාදයට වඩා මහන්සිය වැඩිවෙලා මටත් එපා වෙල් තමයි තිබුනෙ. කොහොම හරි ගෙදර එන්න පිටත් වුනා උදේ වරුවෙම. මහන්සි වැඩි කමට අතරමග කොහේවත් අපේ නඩේ අය නැවතුනේ නෑ. ගෙදර ඇවිත් හති අරින කොට තමයි ගිය ගමනෙ රඟේ තේරුනේ. මම නම් හොදට දවස් දෙකක් විතර මහන්සි නිවාගෙන තමයි එළියට බැස්සෙ.
මොනව වුනත් සිරීපාදේ කන්ද පාමුල ඉඳල රෑට බලන කොට පෙනුන දර්ශනය නම් හරිම අපූරුයි. ඒ මොකද වන්දනා නඩමන්ද මුදුනට යන පාර දිගට විදුලි පහන් දාලා තියෙනවා. ඒ විදැලි පහන් වල ආලෝකය කන්ද මුදුනට වෙනකම් පේනකොට මැවෙන දර්ශනය තාමත් මතක් වෙනවා. ඒ වගේ අපූරු දෙයක් නම් මම වෙන කොහෙදිවත් දැකල නෑ.
ඊට පස්සෙත් තවත් එක පාරක් අපි සිරීපාදේ ගියා. හැබැයි ඒ මගේ මිත්‍රයො පිරිසක් එක්ක. ඒ ගමන ගැන විසාතර වෙන සටහනකින් කියන්නම්. එහෙම නම් කාලෙකට පස්සෙ ලිව්ව “මගේ සටහන” මෙතනින් අවසන් කරනවා. නැවත හමුවෙමු.

ආ… කාලෙකට පස්සේ තමයි මේ බ්ලොග් අඩවිය පැත්තට එන්න පුලුවන් වුනේ. කිව්වාට මොකද… මාත් තාම සිරිපාදේ ගිහිල්ලා නෑ නෙව. යන්න ලැබුනු අවස්ථා දෙක තුනක්ම හරිම දෛවෝපසහගත විදිහට මඟ ඇරුනා. කොහොමහරි යන්න ඕනේ. කාලෙකට පස්සේ ලියපු එක නම් ඉතින් ලොකු දෙයක්
Comment by සුපුන් සුදාරක — May 23, 2009 @ 9:09 pm
කෝ ඉතින් ෆොටෝ එකක් වත් ගත්තේ නැතේයි. මම ගියා තව යළුවෝ දෙන්නෙක් එක්ක පෙබරවාරි 17 ද කොහෙද, අපි යනකොට කටිටිය හොදටම අඩුයි. අපි තුන් දෙනා විතරයි ගොඩක් උඩට යනකන්.
http://herath1.blogspot.com/2009/03/pilgrimage-to-adams-peak.html
ඔන්න මම ගත්තු ෆොටෝ ටිකක්. Professional නම් නෑ ඉතින්.
Comment by හරින්ද්‍ර — May 23, 2009 @ 10:00 pm
More Photos From Me
Comment by හරින්ද්‍ර — May 23, 2009 @ 10:07 pm
මෙන්න මගේ ඇසින් සිරීපාදෙ…
http://bit.ly/19Bym3
http://bit.ly/bjrVu
http://bit.ly/qyCaS
http://bit.ly/ZZJKt
Comment by ගයන්ත — May 24, 2009 @ 6:36 am
මාද සිරිපා කරුණා කර ඇත්තේ එක්වරක් පමණි. ඒ දවසේ අප කරනු ලැබුවේ අර්ධ ද්‍රවිඩ සම්භාවයක් ඇති පිරිසක් සමඟයි, ඔවුන්සේම මා අුතුලු පිරිස කරනු ලැබුවේ දෙපා ආවරණ නොකර කට පරිස්සම් කරමිනි. අපොයි, එය මතක් කරද්දිත් දැන් ඉන්න ඒක ගැන පුදුමයක් දැනෙනවා. ගල් බොරලු ඇනෙමින් නැග්ග හැටි! නමුත් අප කොර කොරගාමින් පාමුලට එද්දී නඩයේ සිටි අවුරුදු 60 ගාණක වු සීයා කෙනෙක් සිරිපා බැස නාමින් සිටියේය.
බොහොම ස්තුතියි සටහනට, නැවතත් මාව අතීතයට ගෙන ගියා.
Comment by -බිன்ku- — May 25, 2009 @ 6:48 am
ලස්සන සටහන…..
මටනම් තාම සිරීපාදේ යන්න හම්බුවෙලා නෑ.
Comment by Dhanu — May 26, 2009 @ 8:10 pm
මමත් තාම නම් සිරිපාදෙ ගිහිල්ලා නෑ. අනාගතේ දවසක යන්න ලබෙයි කියලා හිතනවා. කොහොම වුනත් කලෙකට පස්සෙ මගෙ සටහන ලියපු එක නම් ගොඩක් හොඳයි. මොන වැඩක් කලත් ඉතින් ඒක ඔයාටම හිතෙන්න එපැයි කරන්න..
හැමදාම වගේ කියවන්න ආසා හිතෙන විදියට ලියලා තියනවා. දිගටම ලියන්න කම්මැලි වෙන්නෙ නැතුව..
Comment by Bernadine Dilshi — May 27, 2009 @ 9:00 am
නැවත ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි. දිගටම ලියයි කියල හිතනවා.
මාත් සිරීපාදෙ ගිහිල්ල තියෙන්නෙ එක පාරක් විතරයි. ඒ මීට අවුරුදු 20 කට විතර ඉස්සෙල්ල.
Comment by රසික — June 3, 2009 @ 10:39 pm