නිදහස් අදහස්

November 29, 2008

අපි නොදන්න චෙස්

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 9:54 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් නම වන සටහන. ගිය සතියෙත් සටහන ලියන් හම්බ වුනේ නෑ. තාමත් එක දිගට ලියන්න හම්බ වුනේ නෑ වෙනද වගෙ. බ්ලොග් ලියවිල්ල පටන් අරගෙන අවුරුද්දකට වැඩි කාලයක් ගතවුන එකත් මතක් වුනා මේ අස්සෙ. ඒක ගැන නම් වෙනම සටහනක් ලියන්න වෙනවා. ඒක මැරතන් එක දවසෙම ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. ඒ අතරෙ ජීවිතෙ වෙනස්කම් පවා සිද්ධ වුනා.  :) ඒක නිසා ටිකක් කාර්ය බහුලයි. එහෙම නම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

අන්තිම ලිපියෙ මම කිව්වනෙ “තාප්පෙ අයිනෙ” සෙල්ලම කරපු හැටි. ඇත්තටම ඔය ක්‍රීඩාවේ තිබ්බ සමහර නීති ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුලත් කරල තියෙනවා. ඔය එක සටහනක් ලියනකොට තවත් ගොඩක් දේවල් මතක් වෙනවා. හැබැයි ගොඩක්  ඒවා මතක් වෙන්නෙ අපිළිවෙලට. සේරම කල්පනාවල් අස්සෙ අපිට තිබ්බ තවත් පිස්සුවක් මතක් වුනා. ඒක තිබුනෙ අපි හතේ අටේ පන්තිවල ඉන්න කොට.  ඒ තමයි චෙස් ඇදීමේ පිස්සුව. චෙස් කියන්නෙ මොළයට ඉතාම හොඳ අභ්‍යාසයක් නම් තමයි. ඒ වුනාට අපි ඒකට ඇබ්බැහි වෙලා හිටියා ඉස්කෝලෙ යන දවස් වල. හැබැයි චෙස් ක්‍රීඩාව ගැන පොඩි පන්තිවල ඉන්නකොට මට උනන්දුවක් තිබුනෙම නෑ. මොකද අපි හිටපු ඉස්කෝලෙ ඔය වගේ ක්‍රීඩා පහසුකම් තිබුනෙ නැති නිසා. ඇත්තටම මම දැන ගෙන හිටියෙ දාම් අදින හැටි විතරයි. ඒක නම් මට මහ කම්මැලි සෙල්ලමක්. කොහොම හරි අලුත් ඉස්කෝලෙට ආවට පස්සෙ තමයි මම චෙස් අදින ලෑල්ලක් ඉස්සෙල්ලම දැක්කෙ.

කොහොමහරි ඉතින් චෙස් ලෑල්ලක් දැක්කෙත් ඔය ඉස්කෝලෙදි නිසා මට මෙලෝ හසරක තේරුමක් තිබුනෙ නෑ මොකද්දද මේ සෙල්ලම කියන එක ගැන. ඒක නිසා මම මුලින්ම කලේ සෙල්ලම කරන හැටි ගැන බලා ඉන්න එක. මුලදි නම් මට මේ සෙල්ලම හරි විකාර වුනා. මොකද ඉත්තන්ගෙ හැඩය හරි වෙනස්. එක එක ඉත්තො අදින හැටිත් වෙනස්. ඒක නිසාම මට මොකද්දො අපූරු ගතියකුත් දැනුනා.ඔහොම ඉතින් බලාගෙන ඉන්න කොට මටත් ඔය සෙල්ලම කරන්න ආසාවක් ඇතිවුනා. ඊට පස්සෙ තමයි සෙල්ලමේ නීති රීති අහගෙන චෙස් ගැහිල්ල පටන්න ගත්තෙ. ඒ කාලෙ වෙනකොට අපේ පන්ති වල චෙස් ක්‍රීඩාවෙ කප්පිත්තො තමයි හිටියෙ. ඒක නිසා මටත් සිද්ධ වුනේ ඔය කප්පිත්තො එක්ක තමයි මුලින්ම සෙල්ලම් කරන්න. ඉතින් මුල දවස් වල මට දිගටම අත් වුනේ පරාජය තමයි. කොයි තරම් පැරදුනාද කියනවනම් එක ළමයෙක් එක්ක මම එක දිගට තරඟ තිස් පහක් පැරදුනා. තිස් හයවන තරඟය තමයි මුල් වතාවට ජයග්‍රහණය කලේ. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ මගෙ දක්ෂතාවය. මාව පරද්දපු ළමයා දැන් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. මිනිහට සමහර විට මතක නැතුව ඇති ඔය සිද්ධිය.

සාමාන්‍යයෙන් බෝල ගහන්නෙ විවේක කාලයෙ දි වුනත් චෙස් ඇදිල්ල කරන්නෙ පන්තිය වෙලාවෙදි තමයි. ඒකට හේතුව ඒක පිස්සුවක් තරමට අපි ඇබ්බැහි වෙලා හිටපු එක. මේ සෙල්ලමට ඕන චෙස් ලෑලි අරගෙන එන්නෙ ළමයි තමයි. සමහර ළමයි ගාව තම තමුන්ට අයිති චෙස් ලෑලි තිබුනැ. මේවා අර කාන්දම් පිටිපස්සෙ තියෙන ඉත්තො සහිත ලෑලි. ඒක නිසා ඉත්තො ලිස්සල අහකට වැටෙන්නෙ නෑ. ඉතින් මේ චෙස් ලෑල්ල ඉස්කෝලෙට අරගෙන එන එක ළමයි නොවරදීම කරන දෙයක්. සමහර වෙලාවට පොතක් පතක් ගෙදර දාලා ආවත් චෙස් ලෑල්ල අරගෙන එන එක නම් කට්ටිය අමතක කරන්නෙ නෑ. ඉතින් මොකක් හරි ඉස්පාසුවක් ලැබුනු ගමන්ම අපි කරන්නෙ චෙස් ලෑල්ල අරගෙන සෙල්ලම කරන්න පටන් ගන්න එක.

මේක අපි වෙලාවක් අවේලාවක් නැතුව කලාද කියනවනම් පන්තියෙ උගන්නන වෙලාවට පවා අපි හිටියෙ චෙස් අදින සිහියෙන්. ඒක නිසා  ළඟ ඉන්න ළමයා එක්ක චෙස් තරඟයක් සෙල්ලම් කරන්න අපි පසුබට වුනේ නෑ. ගොඩක් වෙලාවට අපිට තිබුනෙ ඩෙස් වල යටින් පොත් පත් තියා ගන්නත් කොටසක් තිබුන නිසා වැඩේ ලේසි වුනා. ඒක නිසා අපි කලේ පාඩම අහගෙන ඉන්න ගමන් චෙස් ඇදපු එක. හැබැයි ඉතින් ඔය වැඩේ උගන්නපු ගුරුතුමාට එහෙම  අහුවුනු අවස්ථාවල් තිබුනා. ඒ වෙලාවට ඉතින් දඬුවම් එහෙම ලැබෙනවා. සමහර වෙලාවට චෙස් ලෑල්ල රාජ සන්තක කරන අවස්ථා තිබුනා. එහෙම වුනොත් යාදිනි කියල කියල වැඩේ බේර ගන්න එක තමයි කරන්නෙ . හැබැයි අපි ළඟ තිබ්බෙ වෙන කාගෙන් හරි චෙස් ලෑල්ලක් නම් ඒකෙ අයිතිකාරයගෙනුත් හොඳට බැණුම් අහගන්න සිද්ධ වෙනව. අර කතාවට කියනවනෙ කිඹුල කන එක ඉවසන්න පුලුවන් කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි කියල.

ඔය විදිහට චෙස් ඇදල ටික කාලයක් යන කොට මට හෙමිහිට යම් මට්ටමකට එන්න පුලුවන් වුනා. හැබැයි ඒකට සෑහෙන කාලයක් ගතවුනා. මමත් හැබැයි කොච්චර පැරදුනත් උත්සහ කරන එකත් අත ඇරියෙ නෑ. හැබැයි ඉතින් එහෙම කලා කියල අති දක්ෂ මට්ටමේ ක්‍රීඩකයෙක් නම් වුනේ නෑ කවදාවත්. ඒත් මම ගොඩක් විනෝද වුනා සෙල්ලමෙන්.  ඔයින් මෙයින් සෙල්ලමට හිත ඇදිල ගිය නිසා අපේ ඉස්කෝලෙ චෙස් පුහුණුවීම් වලට සහභාගි වෙන්න ආසාවක් ඇති වුනා මට. අන්තිමේ දි අපේ අම්මට කරතර කරල හතේ පන්තියෙ හරි අටේ පන්තියෙ හරි ඉන්නකොට මම චෙස් පුහුණුවීම් වලට ගියා. මට ඇත්තටම මතක නෑ හරියටම කොයි වයසෙද හිටියෙ කියල. කොහොම හරි හවස දෙකහ මාරේ විතර ඉඳන් පැය දෙකක් විතර පුහුණුවිම් කලා. ඒක මටත් ලොකු සතුටක් වුනා ඒ කාලෙ. ඒ පුහුණුවීම් වලට යනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරපු චෙස් ලෑලි වල නෙවෙයි සෙල්ලම් කලේ. අපිට ලැබුනෙ ලොකු ලී වලින් හදපු ලෑලි සහ ඉත්තො. ඒවයින් සෙල්ලම් කරපු එකත් හරි ආස හිතෙන වැඩක්. ඔහොම ඉතින් ටික දවසක් යනකොට පුහුණුවම් වලට යන එක බග ඇරුණා. ඒකට විශේෂ හේතුවක් තිබුනෙ නම් නෑ.

මුල දවස් වල චෙස් තරඟයක් වාර්තා කරන හැටි එහෙම ඉගෙන ගත්තා. නමුත් ටිකෙන් ටික හවස නවතින වැඩේට කම්මැලි හිතුන නිසා අල්ලල දැම්මා. ඒ දවස් වල හරි ආසාවක් තිබුනා හැබැයි මට ම කියල චෙස් ලෑල්ලක් මිලදී ගන්න. ඒ වුනාට ඉතින් වැඩිය කරදර කරන්න බැරි නිසා මම ඉල්ලන්න ගියෙ නෑ ගෙදරින්. අනික අපි ආව ගිය පාසල් වෑන් එකේ චෙස් ගහන්න ආස ළමයි හිටියෙත් නෑ. ඒ නිසා චෙස් ලෑල්ලක හිමි කාරයෙක් වෙන ආසාව ටිකක් යටපත් වෙලා ගියා. ඔය සෙල්ලම කරද්දි අපිට තරහ යම කාරනා එහෙම තිබුනා. එකක් තමයි බලාගෙන හිටපු ළමයි තමන්ගෙ අදහස් ප්‍රකාශ කරම එක. සමහරු තමන්ගෙ දැනුම ප්‍රදර්ශනය කරන්න ඊළඟට කරන්න ඕනේ දේ කියනවා. එහෙමත් නැත්තම් මොකක් හරි කියල ඔලුව අවුල් කරල දානවා. ඒ වෙලාවට ඉතින් යක්ෂාරූඪ වෙනවා අපිට. සමහර වෙලාවට එහෙම කරන්නෙ චෙස් ලැල්ලෙ අයිති කාරයා නිසා කට පියාගෙන ඉන්න සිද්ධ වෙනව. මොකද වවුලගෙ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න සිද්ධ වෙන නිසා. අනිත් වැඩේ තමයි සමහරු එක්ක තරඟ කරන කොට පැය ගානක් යන එක. ඒකට හේතුව ඒ අය එක ඉත්තෙක් අදින්න කලින් සෑහෙන වෙලාවක් කල්පනා කරන එක. චෙස් සෙල්ලමේ   කාලය මණින යන්තර පාවිච්චි කලත් අපි ලඟ ඒවා තිබුනෙ නැති නිසා අනිත් ලමය අදිනකම් ඉවසගෙන ඉන්න වෙනවා. මේ බලාගෙන ඉන්න එක එපා වුනා සමහර වෙලාවට.

ඔය පිස්සුව ඉතින් අපි නවයෙ පන්තියට එනකම් වගේම තිබුනා. හැබැයි ටික ටික ඒ ආසාවත් නැතිවෙලා යන්න ගත්තා. පස්සෙ කාලවල පරිගණකයත් එක්ක චෙස් සෙල්ලලමේ යෙදුනත් ඒ කාලේ වගේ ආස්වාදයක් දැනුනෙ නෑ. දැන්නම් මතක ඇති කාලෙකින් චෙස් අදින්න ලැබුනෙ නෑ. සෙල්ලමට ආස කෙනෙක් මුණ ගැහෙනවත් බොහොම අඩුයි. අනිත් කාරණාව මේ එදිනෙදා වැඩ කටයුතු වල ඇලිල ගැලිල ඉන්නව මිසක් අමතර දෙයක් ගැන අවධානය යොමු කරන්නෙ බොහොම කලාතුරකින් වීම.  ගොඩක් වෙලාවට පොඩි කාලෙ හරිම ආසාවෙන් උනන්දුවෙන් කරපු දේවල් දැන් මග ඇරිල ගිහිල්ලා. ඒවා අතර ගොඩක් හොඳ දේවල් පවා තියෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ හැටි. එහෙමනම් ඉතින් මෙ සතියෙ සටහන නිමා කරනවා. ලබන සතියෙ නැවත හමුවෙමු.

14 Comments »

  1. මට මතකයි අපි ඉස්කෝලෙ යනකොට පන්තියේ උගන්නනකොටත් හොරෙන් චෙස් ඇද්දා. ළඟදී රේඩියෝ එකේ කියනවා ඇහුනා චෙස් ක්‍රී‍ඩාව පාසල් විශය නිර්දේශයට ඇතුලත් කරන්න හදනවා කියල. (ඔය වැඩේ හොඳද නරකද කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්)ඒත් එතකොට හොරෙන් චෙස් අදින්න වෙන එකක් නෑ.

    Comment by pahan — November 29, 2008 @ 11:36 pm

  2. මගේ පාසල් ජීවිතෙත් මේ වගේමයි :) , ඔබ රාජකීයයෙක් ද?

    Comment by චතුර සංදීප — November 29, 2008 @ 11:50 pm

  3. @ පහන් – මම නම් කැමති වැඩේට. ළමයින්ගෙ බුද්ධිය වැඩෙන දෙයක්

    @ චතුර – ඔව් :) .

    පහත සටහන් බලන්නකො

    http://nidhahasa.wordpress.com/2008/11/02/%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/

    “අපේ පන්ති කාමර වලට ඉස්සරහ තමයි අති සුප්‍රසිද්ධ නව රඟහල තිබුනෙ. ”

    http://nidhahasa.wordpress.com/2008/05/18/%e0%b6%91%e0%b6%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%96%e0%b7%80/

    Comment by නිදහස් අදහස් — November 30, 2008 @ 7:40 am

  4. අපි දෙන්නා දවසක චෙස් අදිමු. මොකද මටත් චෙස් බැහැ. :D මමත් ස්කෝලෙ 8,9 පන්තිවලදි දවස් තුනක් විතර චෙස් පුහුණුවට ගියා. පස්සේ උසස් පෙළ ලියලා දවස් හතෙන් රස්සාවකට ගියාම පුංචි පෝර්ටබල් චෙස් බෝඩ් එකක් පොත් සාප්පුවකින් අරගෙන ඒකේ ඇතුල් පැත්තේ ලියා තියෙන උපදෙස් කියවලා තනියම අදින්න පුරුදු වුණා.. ඒ බෝඩ් එකනම් රු.125.00 යි. ඒක පොඩි පැන්සල් පෙට්ටියක් තරම් ඇති.. ඉත්තෝ ටික ඇතුළට දාලා පෙට්ටියක් වගේ වහලා අතේ වුණත් ගෙනියන්න පුලුවනි. මට ‍ඒකෙන් චෙස් අදින්න කියලා දුන්නෙයි මා එක්ක චෙස් ඇද්දෙයි එත‍කොට මා එක්ක එකට වැඩ කළ ගවිතා. එයාට සිංහල ඉගැන්නුවේ මමයි. අපි දෙන්නා හොරෙන් චෙස් ඇද්දා ඔෆිස් එකේ.. බෝඩ් එක චූටි නිසා ටක් ගාලා හංගගන්න පුළුවන්නෙ.. පස්සේ එයත් වෙන රටකට ගියා..
    මමත් චෙස්වලට ආකර්ෂණය වුණේ අර ලොකු ලී ඉත්තන්වයි ඒවට තියෙන නම් හෙමයි දැකලා..කොහොමද රජ ජෝඩුවේ ආඩම්බරේ..පස්සේ මං යුනි ඉන්න කොට ආව එක උපන්දිනේකදි පුෂ්පිකා කියලා මගේ සීනියර් බැචියෙක් මට ‍තරමක් ලොකු චෙස් බෝඩ් එකක් තෑගි කළා.. ඒකත් හැබැයි ලී නම් නෙවෙයි.පස්සේ කොලේජ් එකේ තරග තියෙන නිසාත් එහේ බෝඩ් නැති නිසාත් මං පරාර්ථචර්යාව ගැන හිතලා මගේ බෝඩ් එක එහෙට ගෙනිහින් අනික් අයට අදින්න දුන්නා.හැමදාම ගේන්න ගෙනියන්න වෙන්නේ නැති නිසා මං ඒක අනික් අයට පරිස්සම් කරන්න කියලා දීලා ගෙදර එනවා..ඉතින් ඒ අයගෙන් කවුරු හරි ඒක වැඩිපුර පරෙස්සම් කරන්න ගෙදර ගෙනිහිල්ලා.. එතන ඉන්න කාක්කෝ දුප්පත් මගේ බෝඩ් එකත් උස්සලා.. :( ඒ දවස්වල යුනියන්වලිනුත් ඔය වගේ වැඩ කළානෙ.. මට චෙස් අදින්න පාර්ට්නස්ල නැතිවුණත් මං ඒකට ආස කළා..
    අපේ ගෙදර කවුරුවත් චෙස් අදින්න දන්නේ නැහැ.. සමහර වෙලාවට මම තනියම බෝඩ් එක හරව හරවා ඇද්දා. මම ඒකට දක්ෂ නැති නිසා ඒ වැ‍ඩේ ඒ තරම් ප්‍රිය වුණේ නැහැ.. දන්න ටිකත් අමතක වෙනවටයි එහෙම කළේ..මම වැඩිපුර ආකර්ෂණය වුණේ කැරම්වලට..ඒකත් ලොකු කතාවක්..පොඩි දේවල්වලින් කොයි තරම් ලොකු කතා මැවෙනවද ? නේද ?? :D

    Comment by සු — November 30, 2008 @ 7:57 am

  5. අපිත් ඉස්සර වාර විභාගෙ ඉවර වෙලා ලකුණු දෙනකම් තියෙන කාලෙදි කරන්නෙ චෙස් අදින එක තමයි. 9 පංතියෙන් පස්සෙ නිනම්ම නැවතිලා ගියා. දැනුත් මම පරිගණකයෙදි අදිනවා.

    Comment by චරිත — November 30, 2008 @ 8:54 am

  6. පාසල් කාලයේ,විශේෂයෙන් 7,8 ව‍සර වලදි අපිටත් තිබ්බා චෙස් පිස්සුව.මුද්දර එකතු කිරීමත් ඒහා සමානවම තිබ්බ පිස්සුවක්.

    Comment by gayankt — November 30, 2008 @ 11:01 am

  7. :) චෙස්- ඔය කිව්ව වගේම තමා අපිත් කාලයක් ඔය විදියට ඇබ්බැහිවෙලා හිටියා. සමහර යාලුවො‍් අපිට බැන බැන ක්‍රිකට් ගහද්දි අපි කිහිප දෙනෙක් කොහේ හරි මුල්ලකට වෙලා චෙස් ඇද ඇද හිටියා. වෙලාවක් කලාවක් තිබ්බෙම නැහැ. තව අපේ මිත්‍රයෙක් හිටියා, විනෝදාංශය විදියට රට හුණු කෑලි වලින් චෙස් ඉත්තො කපන.

    Comment by කසුන් — November 30, 2008 @ 2:57 pm

  8. @ සූ – නියමයි. දවසක හොද පොත් ටිකක් ගැන කියව කියව අපි චෙස් අදිමු. මට නම් කැරම් බෑ හැබැයි. මම හරි ආස රුක් ට. අනිත් එකා නයිට්. අමුතු ආසාවක් තිබ්බා ඒ ඉත්තො දෙන්නට. මම තනියෙන් නම් අදින්නෙ නෑ . වස කම්මැලි මට.

    @ගයාන් – ඔව්. මටත් තිබ්බා ඔය පිස්සුව. පස්සෙ මම ඒක අපේ පුංචි ගෙ දුවට දීල දැම්මා

    @ කසුන් – ඒක හරි අපූරුයිනෙ චෙස් ඉත්තො රට හුණු වලින් කපන එක.

    Comment by නිදහස් අදහස් — November 30, 2008 @ 7:37 pm

  9. හොඳයි හොඳයි චෙස් ඇදිල්ල.. :)

    Comment by Dilshi — December 1, 2008 @ 8:49 am

  10. ෂා ! හරි ෂෝක් සෙල්ලම. සෙල්ලම හොදයි කියලා විතරයි දන්නේ. ඒත් සෙල්ලං කරලා නැ. ඒකට ඉතිං විවිධ හේතු නොතිබුනා නෙමෙයි. :) සෙල්ලං කරනවා බලං ඉදලා තියෙනවා ඇති වෙනකං . :)

    Comment by සිතුවිලි — December 1, 2008 @ 11:08 am

  11. අනේ මම නම් ඉතිං පොඩ්ඩක් වත් ඔය ගැන දන්නේ නෑ.. අපේ ස්කොලේ ගෑණු ළමයි විතරක් හිටිය හින්දද මන්දා ඔය වගේ ක්‍රී‍ඩා නම් තිබුනේම නෑ… නෙට් බොල් එක තමයි කෝකටත් තෛලෙ වගේ තිබුනේ.. :(

    Comment by malee_msg — December 1, 2008 @ 3:07 pm

  12. @ දිල්ෂි – ස්තූතියි. :)

    @ සිතුවිලි – ආ. අපරාදේ. පොත් කියවනව වගේම අපූරු විනෝදාංශයක්. ඉගෙන ගෙන බලන්නකො. :)

    @මලී මසාජ් – හැබැයි ගෑණු ඉස්කෝල වලත් චෙස් හරි ජනප්‍රියයි. නුවර මහාමායා, කොළඹ විශාකා, කිරිබත්ගොඩ විහාර මහා දේවි ඇතුලු ඉස්කෝල ගණනාවක් ප්‍රසිද්ධයි. අනික මේක තහංචි දාන්න හේතුවක් නෑ නෙ. ඉගෙන ගෙන බලන්න :)

    Comment by නිදහස් අදහස් — December 1, 2008 @ 7:55 pm

  13. අපරාෙද, කලින් කිවුවා නම් අපි ෙදන්නටත් අදින්න තිබුණා ෙචස් :-)

    Comment by ූඋත්පල — January 5, 2009 @ 9:21 pm

  14. ඔබේ සටහන මාව අතීතයට ගෙනගියා. අපි කරපු – කියපු දේවල් !!! සැබැවින්ම සුන්දරයි. 6 වසර ඊ පන්තියෙදි තමයි අපි ඔය චෙස් ඇදිල්ල පටන් ගත්තේ! ඒ දවස්වල ඔය චෙස් ඇදිල්ල නිසා පුංචි ඇස් රතු වුණු වෙලාවල්ද නොතිබුණා නොවේ… ඒත් මොහොතකින් අපි හැමෝම එක අම්මගෙ දරුවො වගේ සහෝදර බැම්මෙන් බැදුණා.
    පන්තියෙ කට්ටියම චෙස් අදින හැටි අපි බලන්හිටියෙ හරිම උනන්දුවෙන්.සමහර දාට හවසට වෑන් එක එනකම් චෙස් බෝඩ් 1 අත්ල උඩ තියාගෙනත් චෙස් ඇද්ද.
    - අතීතය සැබැවින්ම සුන්දරයි. – ඒ පාසැල් කාලය යලි එන්නේ නෑ –

    Comment by වජිර — January 10, 2009 @ 9:32 am


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.