නිදහස් අදහස්

October 17, 2008

කොපි කිරිල්ල

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 11:11 pm

ගොඩ කාලයකින් “මගේ සටහන” ලියන්න බැරිවුනා . හරියටම බැලුවොත් මාස තුනකට වඩා වැඩි කාලයක්. ගොඩක් හේතු නම් තිබුනා නොලියා ඉන්න. එක පාරටම අර අවිනිශ්චිත තාව ලෙඩේ හැදුනා. ඒක නිසා ලියන එක දමල ගහල හිටිය කාලයක්. පස්සෙ වෙන වැඩවලට යොමු වීමත් එක්ක ලියන එකේ ආසාව මග ඇරිලා ගියා. බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගතවුන නිසා ආයෙමත් වතාවක් “මගේ සටහන” ලියන්න හිතුනා එක පාරටම. අවුරුදු 3 කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා අන්තිමේ දී කොහොම හරි විශ්ව විද්‍යාල ජීවිතේ නං ඉවර වුනා . කොහොම හරි අවසාන විභාගෙත් ලියල ඉවර කරල දැම්මා. දැන් ඉතින් රස්සාව තමයි ඊ ළඟට. ඒකත් ඉතින් ලබන මාසෙ මුල ඉඳන් යන්න වෙන නිසා මේ ඉන්නෙ නිදහසේ ගත කරන අන්තිම දවස් ටික. ලියන්නෙ නැතිව හිටපු මාස ටිකේ ගොඩක් සිදුවීම් සිද්ධ වුනත් එක පාරටම ලියන දෙයක් ගලප ගන්නත් අමාරුයි. කාලෙකට පස්සෙ ලියන නිසා ලියන දෙයක් හිතා ගන්නත් අමාරුයි. ඊට වඩා ප්‍රශ්නෙ සුපුරුදු රටාව මග හැරේවිද කියන එක. ඒ මොනව වුනත් හදිසියේම සිකුරාදා රෑ ජාමේ “මගේ සටහන” තිස් පස්වන සටහන සටහන ලිවීම ආරම්භ කරනවා.

අවසාන විභාගෙ ගැන මතක් වුන නිසා විභාග සම්බන්ධ බැඳුනු කාරණා ගැනම ලියන්න හිතුනා “මගේ සටහන” . සාමාන්‍යයෙන් විභාගයක් එක්ක බද්ධ වෙන අනෙත් දේ තමයි කොපි කරන එක . මොන තරම් පාඩම් කරල තිබුණත් , මොන විදියෙ උපක්‍රම දාලා වලක්වන්න හැදුවත් කොපි කරන එක නම් නතර කරන්න හරි අමාරුයි. මම මීට කලින් “මගේ සටහන” ක දි කිව්වනෙ කොපි කරයි කියල වැරදි ලෙස ගුරුතුමිය වටහා ගැනීම නිසා මගේ මිත්‍රයෙක් දඬුවම් ලබපු හැටි. නොකරපු වැරැද්දකට දඬුවම් විඳින එක කොහොමටත් හිතට හරි අමාරුයි. අපේ බැචියක් හිටියා කිඩිම හිරිකිතයක් නැතුව විභාග වලදි කොපි කරන. නම නම් ඉතින් කියන්න බැහැ. කිසිම හිරිකිතයක් නැහැයි කිව්වවෙ කොපි කරන එකේ සීමාවක් නැති නිසා. පූංචි පහේ කට්ට කමකට සමාව දෙන්න පුලුවන් වුනත් ඒ වගේ මහා පරිමාණ කොපි කිරීම් වලදි සමාව දෙන එක හරි අමාරුයි. විශ්ව විද්‍යාලෙ දි කොපි කරල අහුවුනොත් ලැබෙන දඬුවම් බොහොම බරපතලයි. ඒ වුනාට අවදානම අරගෙන බොහොම නිර්භිත ලෙස කොපි කරන්න අපේ අය හරිම සමත්.

කොපි කරන එක ගැන මතක් කරන කොට මට මතක හිටින අපූරු සිද්ධියක් වුනා පාසල් යන කාලේ. එතකොට මම හිටියෙ එකොළහෙ පන්තියෙ. ඒය  දවස් වල සෞන්දර්යය විෂය විදිහට අපි කලේ පෙරදිග සංගීතය. කොහොම හටි මම හිටපු පන්තියෙ පෙරදිග සංගීතය විෂය ඉගෙන ගත්තෙ ළමයි හතර දෙනයි මම ත් ඇතුලුව. කොහොම හරි මම තමයි ඒ හතර දෙනාගෙන් ඉස්සරහින් හිටියෙ. මොකද ඒ දවස් වල සංගීතය ගැන තිබ්බ ආසාව වැඩි කමට මම අපේ පැත්තෙ තිබුන සංගීත පංතියකට පවා සහභාගි වුන නිසා. කොහොම හරි ඉතින් එක වාර විභාගයකදි සංගීතය විෂය ප්‍රශ්න පත්තරේට අපි උත්තර ලියමින් හිටියා . වෙලාවටම වගේ එදා අපේ පන්ති භාර ගුරුතුමිය හිටියෙ නෑ. ඒ වෙනුවට හිටියෙ තරුණ අලුත් ගුරුතුමියක්. මේ ගුරුතුමිය අපි දිහා හොඳට ඇහැ ගහගෙන තමයි හිටියෙ.  අපි හතර දෙනා ඉඳගෙන හිටියෙ එක් කෙනෙකුට පස්සෙ තව කෙනෙක් ඉන්න විදිහට. ඒක නිසා කොපි කරන්න නම් පිටි පස්ස හැරෙන්නම වෙනවා. එදා ඉතින් සුපුරුදු විදිහට අපි කොපි කරන වැඩේ කරගෙන ගියා. ගුරුතුමියගෙ බැල්මට අහු නොවී ඉන්න තමයි අපි පුලුවන් තරම් උත්සහ කලේ. හැබැයි එක වතාවක් දෙකක් ගුරුතුමිය අපට තරවටු බැලුම් හෙලුවා.

හෙමිහිට වැඩේ කරගෙන යනකොට මගෙ පිටිපස්සෙ හිටපු සඟයට ඕන වුනා ප්‍රශ්නශකට උත්තරයක් බලා ගන්න. ඒ පාර ඉතින් මම සඟයට පෙනෙන විදිහට උත්තර ලියපු කොලය තිබ්බා. අපේ අවාසනාවට ගුරුතුමී මේ මුලු සිද්ධියම බලාගෙන ඉඳල එක පාරටම දුවගෙන ආවා අපි ළඟට. ඇවිත් මදි නොකියන්න දෙහි කැපුවා. මම හිතුවා වැඩේ එතනින් ඉවර වෙයි කියල. ඒ වුනාට අපි හිතපු නැති විදිහට ගුරුතුමී මගේ උත්තර පත්තරේ අරගෙන කොනකට වෙනන “copied” කියල රතු පෑනෙන් ලිව්වා. මොකද මම තමයි උත්තර පත්තරේ පෙන්නුවෙ. එවෙලෙ තමයි අපිට තරු විසිවුනේ. ජීවිතේට ම එහෙම දෙයක් සිද්ධ වෙලා තිබුනෙ නෑ. අප කොච්චර අඳෝනා නැගුවත් ගුරුතුමිය තීරණය වෙනස් කලෙත් නෑ. මම ඉතින් කරපු මෝඩ කම ගැන පසු තැවි තැවි හිටියා. ඒ එක්කම වගේ පාසල් වාරය ඉවර වෙලා නිවාඩුව ලැබුනා.

ඊළඟ පාසල් වාරය පටන් ගත්තම අපි ඉතින් ආයෙමත් ඉස්කොලෙ යන්න පටන් ගත්තා. හැබැයි නිවාඩු කාලය පුරාම අර සිද්ධිය මතක් වෙලා පපුව ගැහි ගැහි තමයි හිටියෙ. කොහොම හරි අපිට සංගීත විෂය තිබ්බ දවසෙ අපි ගියා අදාල පන්ති කාමරයට. අපි ගියෙ ටිකක් බයෙන්. අපි යනකොට සර් තේ එකක් බොන්න යන්න ලෑස්තිය. අපි ඇහැවා “සර්, පේපර්ස් බැලුවද” කියල. සර් කිව්වා ” නෑ අයිසෙ තාම බැරි වුනා. අන්න තාම මගෙ මේස උඩ තියෙනවඑ, පොඩ්ඩක් ඉන්නවා මම කැන්ටිම ට ගිහල්ලා එනකම් ” කියල. ඒ පාර අපිත් බොහොම ඉක්මනට සංගීත කාමරේට දුවල ගියා. ගිහින් බලන කොට මේසේ උඩ තියෙනවා උත්තර පත්තර ටික. හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ. ගත්තා මගෙ උත්තර පත්තරේ. “copied” කියල රතු පෑනෙන් ලියල තිබුන කෑල්ල ඉරල දැම්මා. හොඳ වෙලාවට ඒක ලියල තිබුනෙ කොලේ අගට වෙන්න නිසා ඒකෙ එච්චර අවුලක් පෙනුනෙ නෑ. ඊට පස්සෙ අපි මුකුත් දන්නෙ නෑ වගේ හිටියා. අන්තිමට මට ලකුණු අනූ පහක් හම්බ වුනා. ඒ වාරේ තමයි මම ඉස්කෝලේ හිටපු අවුරුදු අටටම වාර විභාගෙක දි පන්තියෙ පස් වෙනියගෙන් ඉහළ ස්ථානයක් ලබා ගත්ත එකම වාරය. ඒ වාරේ මම පන්තියෙ තුන් වෙනියා වුනා. නැත්තම් මම සාමාන්‍යයෙන් හිටියෙ පහළොස් වෙනියට පස්සෙ. ඒකෙන්  හිතා ගන්න පුලුවන් නෙ මගෙ අධ්‍යාපනයට තිබ්බ දක්ෂතාවය. :)

හැබැයි ඒ සිදුවීම නිසා හොඳ පාඩමකුත් ඉගෙන ගත්තා. මුල කාලවල අනිත් ළමයින්ට කොපි කරන්න උදව් කරන එක ටිකක් හිතට ලොකු වීරකමක්. ඒක නිසා අනිත් ළමයි අතර තැන ගන්න ඔය වගේ දේවල් කරනවා. සමහර වෙලාවට උත්තර වෙනම කොලයක ලියල හොරෙන් යවනවා අදාල ලමයට. ඒක හරි භයානක වැඩක් වුනත් හරිම ත්‍රාසජනක අත්දැකීමක් ඒ කාලේ. අනිත් එක කොහොම කලත් විභාගෙට යන්නෙ කොපි කරන්න බලාගෙනම තමයි. කොපි කරන්නෙ නැති ළමයෙක් අපි අතර හිටියනම් බොහොම කලාතුරකින්. සමහරු උත්තර ලියල ඒවයෙ හරි වැරදි පරික්ෂා කරනවා ළඟ ඉන්න අය එක්ක. ඒක කෙලින්ම කොපි කිරීමක් කියල පේන්නෙ නැති වුනත් පරමාර්ථය නම් ඉතින් කොහොම හරි වැඩිපුර ලකුණු ගැනීම තමයි. කොපි කිරීම ගැන සමහට ළමයි කොච්චර ප්‍රවීණයො වෙලා හිටියද කියනවනම් උසස් පෙළ පන්තියෙ හිටපු එක ළමයෙක් පන්තියෙ හැමදාම තුන් වෙනි තැනින් පල්ලෙහාට ගියෙ නෑ. හැබැයි මිනිහගෙ උසස් පෙළ ප්‍රථිපලය වුනේ “F” සාමාර්ථ තුනක්. ඒකට හේතුව වුනේ  මිනිහා දෙපැත්තෙ වාර විභාග වලදි හිටියෙ සමස්ත ලංකා කුසලතාවයන් දක්වල ඉහළින්ම උසස් පෙළ සමත් වෙලා අපේ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරුණු ශිෂ්‍යයන් දෙදෙනක් හිටපු එක.   ජාතියේ වාසනාවකට වාර විභාග වලදි වගේ උසස් පෙළ විභාගෙදි කොපි කරන්න බෑ. නැත්තම් ඒ වගේ කපටි රජෙක් ඉංජිනේරුවෙක් වුනා නම් කැළණිය ගුවන් පාලම හදල දවසකින් දෙකකින් කඩා ගෙන වැටෙනවා සිකුරුයි.

වාර විභාග වලදි සුලු සුලු මට්ටමේ කොපි කිරීම් වල නිරත වුනත් සාමාන්‍ය පෙළ , උසස් පෙළ නම් මගේ දැනුමෙන් ලියල සමත් වුනා. ඒක නිසා ඒ ගැන නම් හිතට සතුටුයි. සාමාන්‍ය පෙළ කෙසේ වෙතත් උසස් පෙළ වගේ තරඟකාරී විභාගයකදී මම කලින් කියපු ළමයා වගේ කොපි කලොත් එහෙම ඒක අනෙත් ලමයින්ට කරන ලොකු අසාධාණයක්. එහෙමනම් ඉතින් මාස තුනකට පස්සෙ ලියවුනු “මගේ
සටහන” නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

12 Comments »

  1. අපේ එකෙක් කොපි කරන්න ගෙනාපු කොළ ටික මැඩම් කෙනෙක්ට අහු වෙන්න ගිහින් මනුස්සයා ඒ කොළ ටික එහෙම්ම කටෙ දාලා හපලා ගිල්ලා. ඒ 9 වසරෙදි :)

    Comment by අමල් ඉෂාන්ත — October 18, 2008 @ 12:24 am

  2. කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත එක ගැනනම් සතුටුයි.
    කලින් වගේ හැම සතියකම ලියන්න.
    ජය වේවා!!!

    Comment by Buddhika Jayasinghe — October 18, 2008 @ 7:54 am

  3. බොහොම සන්තෝසයි කාලෙකට පස්සේ මගෙ සටහන ලියලා තියනවා දැක්කම. කිසිම වෙනසක් නෑ.. හැමදාම වගේ රසවත්.. සටහන දානකම්ම ඒ ගැන කිව්වෙ නැති එකට නම් හැබැයි තරහයි. දිගටම ලියන්න.. සුබ පැතුම්..

    Comment by Bernadine Dilshi — October 18, 2008 @ 8:23 am

  4. අහා.. මේ තියෙන්නෙ…නිකං ඉඳලා කම්මැලි හිතිලා වෙනසකටත් එක්ක ලියන්න ගත්තද ? දැන් වත් දිගටම ලියන්න..අද මේ සටහන කියවන්න ලැබුණු එක දෛවෝපගත සිදුවීමක් වගෙයි.. මං මේ කීප දෙනෙක් එක්ක කියලා කට ගත්තා විතරයි අද උදේ ඉඳන් තිබුණු විභාගයක් අපි කීප දෙනෙක් ඇරෙන්න බහුතරය කොපි කළා..මං ඒ ගැන කලකිරිලා ඉන්නෙ කියලා.. ෆෝන්වල දාගෙන, කොළවල තියාගෙන එක එක විදිහට ගෙනිහින් බලාගෙන උත්තර ලිවුවෙ ඔක්කොම වැඩිහිටියොනේ.. ලැජ්ජාවක්වත් නැද්ද මන්දා.. මං වගේ පැයට දෙකට ‍බලාගෙන හිතේ තියන්න පුළුවන් ටික එක්ක ගිහින් ලියන ‍උත්තර දැන් සැසඳෙන්නේ අර කොපි කරලා එළකිරි වගේ ලියපු අය එක්කනෙ කියන කොට මට ඒ ටික එහෙමම එපා වුණා… මොනව කරන්නද ?

    Comment by සු — October 19, 2008 @ 6:11 pm

  5. @ අමල් – මරු වැඩේ. හොඳ පාඩම. ස්තූතියි ප්‍රතිචාරයට

    @ බුද්ධික – ස්ථුතියි. දිගටම ලියන්නම්

    @දිල්ෂි – ටිකක් පුදුම කරවන්නයි කිව්වෙ නැත්තෙ. හැමදාම වගේ සහයෝගයට ස්තූතියි.

    @සූ – අසාධාරණ විදිහට කොපි කරන කොට නම් ඉවසන එක හරි අමාරුයි. අපේ සමහර අය එන්නෙම කොපි කරන්න බලාගෙන. ආයෙ ලියන්න හිතුනා. පොත් වගයකුත් කියවන ගමන් මේ දවස් වල

    Comment by නිදහස් අදහස් — October 19, 2008 @ 8:36 pm

  6. කොපි කිරීම කිහිප ආකාරයකින් කළ හැකි නොවැ. එක්තරා විභාගයකට මගේ යහළුවෝ දෙදෙනෙකු සමඟ මා ද කොපි කිරීමට සිතා ගත්තා. එනම් ආ හැකි පැණයන් හී උත්තර ඉතා කුඩාවට කොළයක ලියාගෙන ගොස් එය බලාගෙන ලියන්න. මා මීට පෙර කොපි කර තිබුනේ ම නැහැ. කොහොම නමුත් ප්‍රශ්ණ පත්‍රය ලැබුණු වෙලාවේ පටන් අර කොළය සාක්කුවෙන් එලියට අරගෙන බලන හැටි තමයි කල්පනාව. නමුත් බයයි. ප්‍රශ්ණ වලට උත්තර හිතට ආවත්, නියම උත්තරේ කොළේ තියෙනවා නේද කියලා නිතරම කල්පනා වෙනවා. ඒ නිසා උත්තරේ ලියන්නෙත් නැහැ, බය නිසා කොලේ එලියට ගන්නෙත් නැහැ. එවර මා විභාගය අසමත්. කෙසේ නමුත් දෙවන වාරයේ ද යහළුවෝ දෙන්නත් එක්ක විභාගයට පෙනී සිටියා, මෙවරත් අර විදිහමයි, කොළයක් සාක්කුවේ දාගෙන ගියා මේ පාරනම් අනිවාර්යෙන් අරගෙන ලියනවා කියලා. කෙසේ නමුත් විභාග ශාලාවට ඇතුළු වීමට පෙර සුළුදිය සඳහා වැසිකිලියට ගිය කල ලියාගෙන තිබූ කොළය එහි වැටුණි. එවර විභාගයට ලියූ කල මම සමත් වුයෙමි. බැරිවෙලාවත් අර කොළය මා ළඟ තිබුනේ නම් එවරද මා විභාගය අසමත් වීමට ඉඩ තිබුණි.

    Comment by නිලන්ත — October 20, 2008 @ 10:05 am

  7. සටහනට සුභ පැතුම්. කම්මැලි නැතුව දිගටම ලියන්න. :)

    Comment by සිතුවිලි — October 20, 2008 @ 12:41 pm

  8. එළ එළ.
    ආයෙත් ලියන්න ගත්ත එක ගැන සතුටුයි. :)

    Comment by කසුන් — October 22, 2008 @ 1:08 pm

  9. නිලන්ත – ඒක ඇත්ත. දන්න දේ ලියල එන එක හිතට සැහැල්ලුයි.
    කසුන් – ස්තූතියි

    Comment by නිදහස් අදහස් — October 24, 2008 @ 9:14 am

  10. නිලන්ත – ඒක ඇත්ත. දන්න දේ ලියල එන එක හිතට සැහැල්ලුයි.
    කසුන් – ස්තූතියි
    සිතුවිලි – ස්තූතියි

    Comment by නිදහස් අදහස් — October 24, 2008 @ 9:14 am

  11. නියම සටහන! මටත් ඔය වගේ ඉස්‌කෝලෙ විභාග කාලෙ වෙච්ච ඒව මතක්‌ කරල දුන්නා. :)

    Comment by Dili — October 29, 2008 @ 7:02 am

  12. ආපහු ලියන්න පටන් ගත්ත එක ගැන නම් කියලා වැඩක් නෑ. මටත් කියවන්න වෙලාවක් තිබ්බේ නැති නිසා ඔන්න දැන් තමයි මේක කියවලා අහවර කරේ. ඒක නිසා ප්‍රතිචාරය පරක්කු වෙලා දාපු එක ගැන සමාවෙන්න ඕනෑ. කොපි කරන එක ගැන නම් කියලා වැඩක් නෑ. විභාගේ කාලේ ඒ තරම් ආතල් වැඩක් තව නැති තරම් ;) හැබැයි කොපි කරලා අහුවුනොත් නම් ගස් තමා. ඔන්න මේක කියවපු නිසාම, මේ වාර විභාගේ විද්‍යාව කොපි කරන අදහස බොහොම අමාරුවෙන් නවත්තගත්තා! :D

    Comment by සු+දාරක = (හොඳ පුතා) — November 3, 2008 @ 10:56 am


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.