“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් හතර වන සටහන. ගිය සතියෙ සටහන ලියන එක දවසක් ප්‍රමාද වුන නිසා මේ සතියෙ සටහන දවසක් කලින් ලියන්න තීරණය කලා. ජනාධිපති කුසලානය සඳහා ඉසිපතන – ශාන්ත පීතර දෙවිදුහල් අතර පැවති උණුසුම් රගර් තරඟය නරඹලා ඉවර වෙලා තමයි ලියන එක පටන් ගන්නෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.
වෙනදා වගේම ලියන්න පටන් ගන්න කොටම නිශ්චිත අහසක් නැගුනෙ නෑ. මේ දවස් වල තියෙන වැඩ වැඩි කමත් ඒකට එක හේතුවක්. කොහොමටත් විශ්ව විද්‍යාල ජීවිතයේ මේ ගෙවිලා යන්නෙ අන්තිම මාස දෙක තුන. වැඩ කොයි තරම් ගොඩ ගැහිල තිබුනත් වෙලාවකට හරි කම්මැලි කමක් දැනෙනවා. නින්ද යන්නෙ නැති එක තමයි ලොකුම ලෙඩේ. බරපතලම කාරණාව ඒක නිසා උදේට නැගිටින්නෙ නිදි මතේ. ඊට පස්සෙ දවසම නිදි මතේ වැනි වැනි ඉන්න එක තමයි කරන්නෙ. මේ සටහන ලියන සෙනසුරාදා දවසෙ උදේ පාන්දර දහයට විතර නැගිටල ආයෙ පැය භාගයක් නිදා ගත්තා. ඊට පස්සෙ ටිකක් ඉඳල දවල් දොලහට විතර ආයෙ නිදාගෙන නැගිට්ටා දවල් එක පහු වෙලා. දවල් කෑම එහෙම අරගෙන ආයෙමත් නිදාගෙන නැගිටින කොට තුනහ මාර පහුවුනා. දැන් මේ හවස් ජාමේ තමයි ටිකක් ඇහැරගෙන ඉන්නෙ අද දවසටම. නිදි මත ලෙඩේ නිසා එදිනෙදා ජිවිතේ කටයුතු වලට බාධාවක් වෙන එක තමයි ඉවසන්න බැරි. ලියන්න දේවල් කල්පනා කර කර ඉන්න කොට ඉස්කෝලෙ යන කාලේ සිදුවීම් තව මතක් වුනා. ඔය වැඩිහිටියන් අතර තියෙන නොයෙකුත් ප්‍රශ්න නිසා අපි අපහසු තාවයට පත් වුනු සිදූවීම් ඔය අතර තිබුනා. ඒ අතර එක සිදුවීමක් වුනේ අපේ පන්ති භාර ගුරුතුමිය සහ පාසලේ විදුහල්පතිනිය අතර තිබුනු මොකද්දෝ නෝක්කාඩුවක්. හේතුව මොකද්ද කියන්න දන්නෙ නැති වුනත් අපේ පන්තියට නොයෙකුත් පුංචි පුංචි කෙනෙහිලිකම් සිද්ධ වෙන අපිටත් තේරිලා තිබුනෙ. සමහර වෙලාවට විදුහල්පතිනිය කරපු වැඩ මොන තරම් විකාර සහගත ද කියනවනම් ඒවායින් පීඩා විඳින උදවියට කේන්ති යන එක පුදුමයක් නෙවෙයි. ඒවා අතර එක දෙයක් වුනේ නොමනා ශබ්ද විකාශන යන්ත්‍රයෙ භාවිතය. ඒ සිද්ධිය වුනේ මෙහෙමයි.
සාමාන්‍යයෙන් පන්තියෙ ගුරුවරයෙක් නැති වෙලාවකට ටිකක් කෑ කෝ ගහන එක, ගුටි බැට ඇණ ගන්න එක ළමයින්ගෙ පුරුද්දක්. ළමයි එහෙම නොකලොත් තමයි අපි කලබල වෙන්න ඕනෙ. ඉතින් අපේ පන්තියෙත් ගුරුතුමිය හිටියෙ නැත්තනම් ටිකක් සද්දෙ වැඩියි. අවාසනාවකට වගේ අපේ පන්තිය පිහිටලා තිබුනෙ විදුහල්පතිනියගෙ කාමරයට යාබදව. ඒක නිසා පොඩ්ඩක් සද්දෙ වැඩි වුනත් ඇහෙනවා. ඉතින් සද්දෙ වැඩිවුන ගමන් ඇය කරන්නෙ අපේ පන්තියෙ වෙන්නෙ මොකද්ද කියල හොයල බලන්නෙ වත් නැතුව “5 A පන්තියෙ ළමයි වහාම නිශ්ශබ්ද වෙන්න” හරි නැත්තම් “විනීතව හැසිරෙන්න” කියල යකඩ කටින් කෑ ගහන එක. අපරාදේ කියන්න බෑ ඇගේ කාමරයෙන් ඔලුව එළියට දාලා කතා කරන දුරින් තියෙන පන්තියට කියන්න ඕනෙ පණිවිඩය මුලු ගමටම ඇහෙනවා. ඉතින් ඒ වගේ යකඩ කටින් ඇහෙනකොට තප්පර දෙක තුනක් සද්ද නැතුව ඉන්න අපි, ඊට පස්සෙ ඊටත් වඩා හයියෙන් කෑ ගහනවා. ආයෙත් යකඩ කට කෑ ගහනවා. ඔය සෙල්ලම ඉතින් මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. දවසක් අපිට හදිසි අවශයතාවයකට පැයකට දෙකකට අපේ පන්ති භාර ගුරුතුමිය යන්න ගියා. ඒ අතරෙ අපිට රචනාවක් ලියන්න කියල ගියා. අපි හිතුවා ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් ගුරුතුමී ආපසු එන එකක් නෑ කියලා. ගුරුතුමිය කොහොම හරි ආපහු ආවා ඉස්කෝලෙ ඇරෙන්න කලින්. ඒ කාලය අතරතුර අර යකඩ කටින් කෑ ගහන සෙල්ලම සුපුරුදු පරිදි වුනා. ආපහු එන ගුරුතුමිය ඉස්කෝලෙට ලං වෙනකොට ඇහිලා යකඩ කටෙන් අපේ හැසිරීම ගැන ගුණ වර්ණනාවක් කියවෙන සද්දෙ. පන්තියෙ හැසිරීම ගැන ශබ්ද විකාශනයෙන් කියන කොට අහගෙන ඉන්න උදවිය හිතන්නෙ “මේ පන්තියෙ විනය අන්තිමයි” කියලනෙ. ඒක නිසා කෝපයට පත් වෙච්ච ගුරුතුමිය ගෙන් අපිට ගුටි කන්න සිද්ධ වුනා. මොකද එදා නට නටා හිටියා මිසක් අපි ගුරුතුමිය පවරපු රචනාව ලියල තිබුනෙත් නෑ. සාමාන්‍යයෙන් ඔය සිදුවීම මට හොඳට මතක හිටියෙ අපේ ගුරුතුමී අපිට දඬුවම් කරල තියෙන්නෙ බොහොම කලාතුරකින් නිසා.
ඔය විදිහෙ කෙනෙහිලිකම් නිසා ඉතින් අපිට වුනත් විදුහල්පතිනිය ගැන තිබුනෙ ඒ තරම් පැහැදීමක් නෙවෙයි. තවත් වතාවක ළමයි දෙන්නෙක් අතර ඇතිවුන ගැටුමක දි අනවශ්‍ය විදිහට මැදිහත්වීම නිසා ඇතිවෙන්න ගිය ලොකු අලකලංචියක් යන්තම් ගොඩින් බේරුනා. ලොකු අයගෙ වැඩ නිසා ළමයින්ට තමයි කරදරේ. තවත් දවසක් මට අපූරු වැඩක් වුනා. ඒක වුනේ මම දහයෙ පන්තියෙ හරි නවයෙ පන්තියෙ හරි ඉන්න කොට. ඒ දවස්වල මම ආවෙ ගියෙ කෝච්චියෙ. කොහොමටත් කෝච්චියෙ යන එන ගමන හරි විනෝදයි ඒ කාලෙ දැනට වඩා. දැන් නම් කෝච්චියෙ යන එන එක මතක් වෙනකොට එපා වෙනවා. කොහොමහරි මම දවසක් මම වෙනද යන කෝච්චියට කලින් කෝච්චියක ගියෙ. ඉස්කෝලෙ යන්න වේලාසන වැඩි නිසා මම මරදාන ස්ටේසමට වෙලා හිටියා. ඔය අතරෙ ආවා මැදිවියේ මනුස්සෙක්. ඒ කෙනා මගෙන් ඇහුවා උදව්වක් කරන්න පුලවන්ද කියල. මමත් බැලුවා මොකද්ද වැඩේ කියල. බලන කොට ඒ කෙනා අමතක වීමකින් වාර ප්‍රවේශ පත්‍රය ගෙනල්ලා නෑ. මට කිව්වා පුලුවන් නම් එළියට ගිහින් ප්‍රවේශ පත්‍රයක් ගෙනල්ලා දෙන්න නැත්තම් එයාට එළියට යන්න විදිහක් නෑ ස්ටේෂන් එකෙන් කියල. ඒ පාර ඉතින් මමත් වැඩි දුර හිතන්නෙ නැතුව එළියට ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ඇවිල්ලා අර කෙනාට දුන්නා.
වැඩේ පත්තු වුනේ ඊට පස්සෙ. මම ඒ කරපු වැඩේ ටිකට් පරීක්ෂා කරන මහත්මයෙක් බලාගෙන ඉඳල. මම ප්‍රවේශ පත්‍රය අර පුද්ගලයගෙ අතට දෙනකොටම පරීක්ෂක මහත්තයා ඇවිල්ලා අල්ල ගත්තා දෙන්නවම. ඊට පස්සෙ දෙන්නවම අරගෙන ගියා දුම්රිය කාර්යාලයට. එතන මාර යුද්ධයයි. කට්ටියම වටවෙලා ප්‍රශ්න කරනවා. මගේ වාර ප්‍රවේශ පත්‍රයත් අතට අරගෙන ඒක අවලංගු කරනවා කියල තර්ජනයකුත් කලා. එවෙලෙ නම් මමත් හොඳටම බය වෙලා හිටියෙ. අපූරු වැඩේ කියන්නෙ මට කියල ප්‍රවේශ පත්‍රය ගෙන්න ගත්තු මනුස්සයා ජාතික හැදුනුම්පත ඇපයට තියල මොනවදො කියල යන්න ගියා. ඒ මනුස්සයා මට මොකද වෙන්නෙ කියල අහන්නෙවත් නැතුවයි යන්න ගියෙ. ඒ වැඩෙන් නම් මාව හොඳටම හොල්මන් වුනා. අන්තිමට ටිකට් පරීක්ෂක මහත්වරුන්ගෙන් කන් ඈත් වෙනකම් දේශනා වලට සවන් දුන්නට පස්සෙ මට එන්න අවසරය ලැබුනා. මම බයවෙලා හිටියෙ වාර ප්‍රවේශ පත්‍රය රඳව ගනියි කියල. අන්තිමේ දී ඔය වගේ වැරදි වැඩ කරන්න ගිහිල්ලා අමතක නොවෙන පාඩමක් ඉගෙන ගෙන තමයි ඉස්කෝලෙ ගියෙ. බැනූම් අහපු එකටත් වඩා මගෙ හිතට අමාරු කාරණාව වුනේ අර මනුස්සයා කිසිම වචනයක් වත් නොකියා පිට වෙලා ගිය හැටි දැක්කම.
එතකොට මම කෝච්චියෙ ගමන් බිමන් පටන් අරගෙන මාස දෙක තුනකට වඩා නෑ. ඔය වගේ කපටි වැඩ කරන උදවිය ගෙන් ඊට පස්සෙ නම් පරිස්සම් වෙන්න ඕන කියල මම ඉගෙන ගත්තා. ඔය වගේ උදවිය කරන තව කපටි වැඩක් තමයි ගමනෙන් බාගයක් දුරට ටිකට් ගන්න එක. ඒ සිද්ධිය පැහැදිලි කලොත් මෙහෙමයි. ගම්පහ ඉඳන් කොළඹ එන කෙනෙක් ප්‍රවේශ පත්‍රය ගන්නෙ වනවාසල වගේ නැවතුමකින්. කෝච්චියෙ පා පුවරුවෙ එල්ලිලා එන මෙයාලා කරන්නෙ කෝච්චිය නවත්තපු ගමන් දුවල ගිහිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන ආයෙ තමුන් ආපු කෝච්චියට නගින එක. ලංකාවෙ උදවිය ඔය වගේ හොර වැඩ කරන්න හරි දක්ෂයි. හැබැයි මොකද්දෝ කල්පනාවක ගිහින් රාගම දි ටිකට් ගන්න අමතක වුන දවසක මටත් ඔය වැඩේ කරන්න සිද්ධ වුනා. කලබලේට ඔය වගේ වැඩ ගොඩක් වෙලාවට වෙනවා. ඒක නිසා හොරකම් කරන එක, කපටි වැඩ කරන එක සමහර වෙලාවට ඉතින් නොකරම බැරි වෙනවා. හැබැයි එහෙම කියල ඒවා සාධාරණී කරණය කරන එකත් හරි නෑ තමයි. කොහොම වුනත් පුරුද්දට කරන දෙයක් නෙවේනෙ කියල හිත හදා ගන්නවා. හැබැයි මගේ මිත්‍රයෙක් හිටියා ඉස්කෝලෙ යන කාලෙ මහජන පුස්තකාලය ළඟ ඉඳල ටවුන් හෝල් එක ගාවට යන්න ඕන වුනාම කපටි වැඩක් කරපු. එතන තියෙන්නෙ බස් නැවතුම් දෙකක දුර. මිනිහා කරන්නෙ කොටුව පැත්තට යන බස් එකට නැගලා මහරගමට ටිකට් එකක් ඉල්ලනවා. ඉතින් කොන්දොස්තර හිතන්නෙ “අනේ මේ ඉස්කෝලෙ යන ළමයට වැරදිලා, පවු” කියල. එහෙම හිතල එයාලා ටවුන් හෝල් එකෙන් බස් එකෙන් බැහැලා මහරගමට යන හැටි කියල දෙනවා. මිනිහත් බොහොම සතුටින් ටවුන් හෝල් එකෙන් බැහල යනවා සල්ලි නොදී.
එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” ලියල හමාරයි. එහෙමනම් ලබන සතියෙ නැවත හමුවෙමු.

haha..sira!! digatama liyanna!! patta!!
Comment by realskullzero — July 13, 2008 @ 12:48 am
වෙනද වගේම රසවත් සටහනක්…
Comment by ඩෙරික් සුරංග විදානලාගේ — July 13, 2008 @ 3:57 am
රසවත්. පාසල් යන දවස්වල ඇට්ටර වැඩ කරන්න ගොඩක් අය කැමතියි.
Comment by රාජිත — July 13, 2008 @ 4:31 pm
ha ha the last part was really funny
nice article
keep on writing
Comment by Dhanu — July 13, 2008 @ 7:57 pm
ඉක්මනින් ඉවර උනා වගේ දැනෙනවා. නියමිත වචන ගණන තිබ්බාද මන්දා. මදි වගේ.. හරිම සිත්ගන්නා සුළුයි. මේ කාර්ය බහුල ජීවිතයෙන් මිදිලා හැමදාම ඉස්කෝලෙ යන්න තිබ්බානම් කොච්චර හොඳද.. මේ පාර කලින් දැම්ම එක හොඳයි. ලස්සන සටහනක්..
Comment by Dilshi — July 14, 2008 @ 8:43 am
ඉතාමත් රසවත් බ්ලොග් සටහනක්..
මීට කලින් කීප වතාවක්ම සටහනක් තබන්න උත්සහ කලත් අද තමයි වෙලාවක් ලැබුනෙ.
සමහර ගුරුවරු ළමුන්ගෙන් වෛරය ඉතාමත් අනවශ්‍ය ලෙස පිරිමහනවා.
මටත් මතකයි පාසල් කාලයේදී අසාධාරණයට විරුදධව කතා කරන්න ගිහින් දඩුවම් ලැබුවා.
Comment by Nevindaree — July 14, 2008 @ 9:32 am
අද සටහනත් හරි අපූරුයි.
වැඩිහිටියන්ට අමතක වෙනවා තමන්ටත් කුඩා කාලයක් තිබ්බා කියලා . පාසල් යන කාලේ කොයි ලමයත් ඔහොමයි. ඒත් ඒක තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ කියන්නේ.
මිනිස්සුන්ගේ කපටි කං වලට අහු නොවී ඉන්න එක තමා කරන්න අමාරු.
Comment by සිතුවිලි — July 14, 2008 @ 4:15 pm
උදේ පාන්දර 10 කියන්නෙත් මාර වෙලාවක්නෙ. කොහොම වුනත් අපූරු වූ හා රසවත් ලිපියක්. ඒ වගේ ම යම් හාස්‍යජනක වැකියනුත් අඬංගුවෙලා තියනව.
Comment by malinga — July 15, 2008 @ 2:20 pm
ලස්සන පාසැල් කාලය නැවත සිහිපත් වුනා බොහොම ස්තුතියි
Comment by pads — July 16, 2008 @ 8:39 pm
හරිම ලස්සනයි පාසැල් කාලය මතක් වෙන කොට පුදුම සතුටක් දැනෙන්නේ.
Comment by පඩුවස් — July 17, 2008 @ 10:39 pm
කලකින් කිසිවක් නොලීවේ ඇයි?
Comment by කසුන් — August 2, 2008 @ 8:17 am
@ සියලු දෙනා හටම-
ප්‍රතිචාර ගැන තුති. කොහ වුනත් සති තුනකින් ලිව්වෙ නෑ. ලියන එක ටිකක් එපා වෙලා තියෙන්නෙ. අර “අවිනිශ්චිත තාව” ලෙඩේ හැදිලා ආයෙමත්.
Comment by නිදහස් අදහස් — August 2, 2008 @ 6:43 pm
ජිවිතයේ බොහෝ අවස්ථාවලදි අවිනිශ්තිතබවත්, කළකිරීමත් නිසා සියල්ල එපා කරනවනව තමයි. එහෙත් අප එයට යටත් විය යුතුද? නිහඩතාවය සැමවිටම විසඳුමක් නොවේ….
Comment by කසුන් — August 3, 2008 @ 8:21 am
@ කසුන් – ඔබ කියන දේට එකඟ වෙනව. මේ ලෙඩේ හැදුනම සනීප කරගන්න එක හරි අමාරු වැඩක්. මේ දවස් වල ඔලුව හිස් කොහොමටත්.
Comment by නිදහස් අදහස් — August 3, 2008 @ 2:57 pm
මාත් මේ පැත්තෙ ආවෙ හුග කාලෙකින්. (exam කියන ඒව ඉවර වුනත් මතක් වෙන කොටත් පිස්‌සු වගේ
) ඒත් ලියන ඒවයෙ quality නම් බැහැල නෑ.
නියම ලිපිය! මොනා වුනත්, ඉස්‌කෝලෙන් එන්න වෙච්ච එක මාර දුකක් ඕවගේ ඒව මතක් වෙනකොට.
Comment by Dili — September 29, 2008 @ 6:23 pm