නිදහස් අදහස්

July 8, 2008

හිර කාරයෝ

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 1:04 am

“මගේ සටහන” මේ ලියන්නෙ තිස් තුන්වන සටහන. වෙනදට නම් ඉරිදා හවස් වරුවෙ ලියල ඉවර කරනව වුනත් මෙදා පාර කම්මැලි කම නිසාම වැඩේ කල් ගියා. අන්තිමට සඳුදා හවස් වරුවෙ බෝඩිමට වෙලා ඉන්න අතරෙ තමයි සටහන ලියන එක ආරම්භ කරන්නෙ. මේ සතියෙ “මගේ සටහන” ලියන්නෙ නැතුව ඉඳල පොඩි නිවාඩුවක් දාන්න හිතුනත් පස්සෙ ලියන්න තිරණය කලා. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම අන්තිමටම කියපු සිදුවීම හරි සංවේදී එකක්. ඒ කාලයේ මිත්‍රයන්ගෙන් එකම එක මිත්‍රයෙක් මට තවමත් මුණ ගැහෙනවා. අපි දෙන්නටම බොහෝ දේ මතකයෙ තිබුණත් දැන් ඒ අය ඉන්න තැනක් හරියට දන්නෙ නෑ. ඔය සිදුවීම් අතරෙ තුනේ හෝ හතරෙ පන්තියෙ දි වුන සිදුවීමක් සිහියට නැගුනා. වැඩිහිටියන්ට බොහෝ විට ළමයින්ගෙ අභ්‍යන්තරය වටහා ගන්නට අපහසුයි කියන එකට මේකත් හොඳ උදාහරණයක්. මේක වුනේ පාසලේ වාර විභාගයක් අතර තුර. එදා තිබුනෙ මගෙ මතකයෙ හැටියට පරිසරය විෂය. කොහොම හරි නියමිත කාලයට කාලයට කලින් උත්තර ලියල අවසන් කරල ඉවර වෙච්ච මම කම්මැලි කමට වට පිට බැලුවා. ඔහොම වට පිට බලන කොට මම දැක්කා තවත් සඟයෙක් අපුරු වැඩක් කරනවා. මිනිහත් ප්‍රශ්න පත්තරේට උත්තර ලියල ඉවර වෙලා කම්මැලි කමට විසඳුමක් හොයා ගෙන. විසඳුම තමයි මිනිහා එතන ඉඳගෙනම මනෝමය යතුරු ලියන්නෙක් ගෙ චරිතය රඟපානවා. මිනිහා හිතින් මවා ගත්ත යතුරු ලියනයකින් ලිපියක් යතුරු ලියනය කරනවා. ඒකට මූලාශ්‍රය තමයි මිනිහගෙ උත්තර පත්තරේ. ඇත්තටම සැබෑ යතුරු ලියන්නෙක් වගේ මේ කරන වැඩේ දැක්කම මටත් ඇති වුනේ ලොකු ආසාවක් . ඒ පාර මමත් ඉක්මනට “මෙන්න මගේ එකත් ටයිප් කරල දෙන්න” කියල   මානාහ අතට දුන්න. ඒ පාර මිනිහත් බොහොම සතුටින් වැඩේ භාර ගත්තා. මමත් දැන් බලාගෙන ඉන්නවා.

නමුත් අපේ මනෝමය යතුරු ලියන්නාට බාධා කරගෙන පන්ති භාර ගුරුතුමිය කඩා වැදුනා. “මෙහෙට දෙනවා ඕක” කියල ගුරුතුමිය මගේ සඟයා ගාව තිබුන මගේ උත්තර පත්තරේ උදුරල අරගෙන අපිට හොදටෝම බැණ වැදුනා. ඇය හිතුවෙ මගේ සඟයා මගේ උත්තර පත්තරේ ඉල්ලගෙන උත්තර ලියන්න හැදුවා කියල. මමත් සඟයත් කොච්චර කරුණු පැහැදිලි කරත් ගුරුතුමිය පිළි ගත්තෙම නෑ. “පුංචි කාලේ ඉඳලම නරක වැඩ වලට පුරුදු වෙනවා” ගුරුතුමිය බැණ වැදුණු හැටියට අපිට ලොකු වේදනාවක් දැනුනා. මට බැණුම් අහපු එක එතරම් ගණනක් නොවුනත් මම හින්දා නිකරුනේ අර සඟයට බැණුම් අහන්න සිද්ධ වුන එක ගැන මට දැනුනෙ ලොකු වේදනාවක්. වැඩිහිටියන් ළමයින්ගේ සිතුම් පැතුම් තෝරා බේරා ගැනීමේ දී කොයි තරම් අසමත් ද කියන එක දකින හැම වෙලේම මට ඔය සිද්ධිය මතක් වෙනවා.

කොහොමටත් හිතින් මවා ගත්ත වීර චරිත රඟපාන්න පුංචි සන්ධියෙ ළමයින්ගෙ හිත් වල තියෙන්නෙ ලොකු කැමත්තක්. මම කලින් “මගේ සටහන” වල කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තිබුණ ආසාව ගැන කිව්වනෙ. ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන් ගෙ “ටොම් සෝයර්” කියවල තියෙනවනම් දැනෙනවා ඇති ඔය හීන වල තියෙන අපූර්ව කම. ඔය පහේ පන්තියෙ ඉන්න දවස් වල මම කිව්වනෙ කරපු සෙල්ලම් ගැන. ඔය “පොල් කටු පාපන්දු” සෙල්ලම ඒ අතර හරි අපූරු නිර්මාණයක්. අවශයතාවය තියෙනවනම් ඕනෙ දෙයක් හැඩ ගසා ගන්න ළමයින්ට තියෙන්නෙ අපූරු හැකියාවක්. පහසුකම් ඒ තරම්ම නැති පුංචි ඉස්කෝලයක් වුනත් ළමයින්ගෙ නිර්මාණ ශීලිත්වයෙ අඩුවක් වෙන්නෙ නෑ. ඉස්කෝලෙ තිබුනෙ කොහොමටත් පහේ පන්තිය වෙනකම් නිසා ක්‍රීඩා පහසුකම් දියුණු කරන එක ගැන දෙමවුපියන් වත් ගුරුවරුන්වත් ඒ තරම්ම උනන්දු වුනේ නෑ. මොකද පහේ පන්තියෙදි ශිෂයත්ව විභාගය ගැන උනන්දු කරනවා මිසක් ළමයි සෙල්ලමක් නොකර ඉන්න එකට තමයි වැඩිහිටියො ගොඩක් කැමති. වාසනාවකට වගේ අපේ තාත්තා ගුරුවරයෙක් වුන නිසා මට නිදහසේ ඉන්න ලැබුනා.

ඔය කාලේ ගැන තව මතක් කරන කොට තව දවසක් වුන සිද්ධියක් මට මතක් වෙනවා. සාමාන්‍යයෙන් පාසල පිරිසිදු කිරීමේ කටයුතු පැවරිලා තිබුනෙ අපිට. පන්තියෙ ළමයි සියලු දෙනාටම සතියෙ එක දවසක පිරිසිදු කිරීමේ කාර්යය කරන එක පැවරිලා තිබුනා. ඒක අපි බොහොම කැමැත්තෙන් කලා. බොහෝ වෙලාවට පන්තිය අතු ගෑමේ කටයුත්ත පැවරිලා තියෙන දවසට කලින් දවසෙ හවස පන්තිය අතුගාන එක අපේ සිරිත වෙලා තිබුනා බොහොම වෙලාවට. මොකද එහෙම නොවුනොත් නියමිත දවසෙ වේලාසන එන්න වෙන නිසා. මේ කටයුත්ත අපි කරන්නෙ ඉස්කෝලෙ හමාර වුනාට පස්සෙ. දවසක් සුපුරුදු විදිහට පන්තිය අතු ගෑමේ කටයුත්තට අපි හවස නැවතුනා. එදා හවස මාව ගෙදර එක්ක ගෙන යන්න තාත්තට මොකක්  හෝ හේතුවක් නිසා එන්න බැරි වුන දවසක්. ඒක නිසා වෙනත් ඥාති බාප්පා කෙනෙකුට තමයි ඒ කටයුත්ත පැවරිලා තිබුනෙ. කොහොම හරි අතු ගෑම ඉවර කරල මම පාසලෙන් එළියට එනකොට වෙනදට වඩා විනාඩි දහයක් හෝ පහළොවක් ප්‍රමාදයි. ඊට පස්සෙ මම බාප්පා එක්ක ගෙදර ආවා කියමුකො. ගෙදර ආවට පස්සෙ ගෙදර කට්ටිය ඒකක බාප්පා කිව්වා “මෙයා ඉස්කෝලේ ඇරිලා ළමයි එක්ක සෙල්ලම් කර කර නට නටා හිටියෙ. පරක්කු මොකද කියල මම ගිහන් බලල එක්කගෙන ආවෙ” කියල. ඒ කතාව අහල මට මුලින්ම පුදුමයක් ඇති වුනේ. ඒ කතාව අහපු ආච්චි ත්(අම්ම ගෙ අම්මා)  සැර වුනා ” නටන්න හිටියෙ මොකද , මේ මනුස්සයගෙ වැඩ පාලු වෙනවනෙ” කියල . ඇත්තටම එවෙලෙ කේන්තියයි , දුකයි වැඩි කමට මට ඇඬුනා. මට මතක විදිහට මම හතරෙ පන්තියෙ හිටියෙ එතකොට. බාප්පා එහෙම බොරු කියල විනෝදයක් ගත්තද , නැත්තම් මොළේ හොඳ නැති වෙලාද කියල මට හිතා ගන්න බැරි වුනා. මම කොච්චර කිව්වත් කවුරුවත් ඇත්ත කාරණාව පිළි ගත්තෙත් නෑ. කොහොම හරි අම්මයි , තාත්තයි හිටියෙ නෑ එවෙලෙ.

ඇත්තටම ඒ සිද්ධිය සුලු සිදුවීමක් වුනත් වැඩිහිටියන් ගැන ළමයෙක් හැටියට මගේ තිබුන විශ්වාසය ඒක නිසා බිඳ වැටුනා. දැන් එහෙම සිදු වීමක් වුනා නම් ඉතින් උන්දැගෙ පරම්පරාවට හිතින් හරි පිං අනුමෝදනා කරල තමයි මම සැනසෙන්නෙ. මොනව වුනත් ළමයින්ව අවිශ්වාසට , අවඥාවට ලක් කරල සතුටට පත් වෙන නරුම වැඩිහිටියො ඕනෙ තරම් මම දැකල තියෙනවා. ඒ වගේ වෙලාවට නම් මට ඇතිවෙන්නෙ පුදුමාකාර කේන්තියක්.  ඔය සෙල්ලම් ගැන කතාව ඒ අතරෙ මග ඇරුනනෙ. සාමාන්‍යයෙන් ගහ මරා ගන්න වැඩ වලදි ඇරෙන්න ගෑණු ළමයි අපේ සෙල්ලම් වලට එනවා. හැබැයි ගහ මරා ගන්න ගිහින් ගෑණූ ළමයින්ගෙන් අපේ කොලු ගැටවු ගුටි කාපු වෙලාවල් තිබුනා. ඒ ගැන මම මීට කලින් “මගේ සටහන්” වලින් කියල තියෙනවා.

ඉස්කෝලෙ විවේක කාලයට අපිට තිබුන ජනප්‍රියම සෙල්ලම තමයි “අල්ලන සෙල්ලම”. අපි ඒ සෙල්ලම කලේ අපූරු විදිහකට. මුලින්ම අපි කණ්ඩායම් දෙකකට බෙදෙනවා. ඊට අමතරව කණ්ඩායම් දෙකේ මූලස්ථානය හැටියට පිට්ටනියෙ පැත්තක තිබුනු ගස් දෙකක් තෝර ගන්නවා. සෙල්ලමේ මූලික දේ වුනේ විරුද්ධ පැත්තෙ කට්ටිය හැකි තරම් අල්ලා ගැනීම. ඊට පස්සෙ අල්ල ගන්න උදවිය හිර කාරයො හැටියට තමන්ගෙ මූලස්ථානයට අරගෙන යනවා. එතන හිර කාරයො ටික රැක ගන්නත් තව දෙතුන් දෙනෙක් රඳ වනවා. නැත්තම් අනිත් පැත්තෙ නොදැවුණු ක්‍රීඩකයන්ට අත දීලා අර හිර කාරයො බේරගන්න පුලුවන්. ඒක නිසා ඒක වලක්වා ගන්න තමයි එහෙම කලේ. සෙල්ලමේ දිනුම තීරණය වෙන්නෙ එක පැත්තක ක්‍රීඩකයො සියලුම දෙනාම  හිර කාරයො විදිහට අල්ලා ගත්තට පස්සෙ. සාමාන්‍යයෙන් සියලුම දෙනා අල්ලා ගන්නකම් ගොඩක් වෙලා සෙල්ලම කරන්න පුලුවන්. දුවල දුවල මහන්සි වැටුනොත් තමන්ගෙ මූලස්ථානයට වෙලා ටිකක් විවේක ගන්නත් පුලුවන් විදිහට තමයි නීති හදල තිබුනෙ. සෙල්ලම පටන් අරගෙන ටික වෙලාවක් යන කොට වැඩි දෙනෙක් ප්‍රතිවාදී පැත්තෙ හිර කාරයො බවට පත් වෙනවා. වේගයෙන් , වෙට්ටු දමමින් දුවන්න පුලුවන් ළමයි අල්ල ගන්න විරුදධ පැත්තෙ වැඩි පිරිසක් එකතු වෙනවා. එකතු වෙලා වට කරල තමයි ඒ වගේ ළමයි අල්ල ගත්තෙ. මමත් බොහොම උනන්දුවෙන් ඔය සෙල්ලමට සහභාගි වුනත් සෙල්ලම පටන් අරගෙන ටික වෙලාවක් යනකොට විරුද්ධ පැත්තෙ හිර කාරයෙක් වෙලා අපේ පිලේ සඟයෙක් ඇවිල්ලා බේර ගනීවි කියන බලාපොරොත්තුවෙන් බල්ගෙන ඉන්න තමයි මට සිද්ධ වුනේ. ඒක ට හේතුව ඉතින් මට ඒ තරම් වේගයෙන් දුවන්න බැරි කම මිසක් වෙන දෙයක් නෙවෙයි.

එහෙමනම් ඉතින් සඳුදා රාත්‍රී යාමයේ (ඇත්තටම අගගහරුවාදා පාන්දර ) “මගේ සටහන” ලියල ඉවර කලා. ලබන සතියේ නැවත හමු වෙමු.

12 Comments »

  1. මම ඉතා කැමැත්තෙන් කියවන සටහනක්, මොකද ඔබේ කුඩා කාලය මගේ කුඩා කාලයට බෙහෙවින් සමාන නිසා. ඔබ සඳහන් කල ක්‍රීඩාව අපෙත් ඉතා කැමති එකක්.
    රසවත් දේ තවත් ලියන්න මෙන්න මගෙන් සුභ පැතුම්…!!!

    Comment by ඩෙරික් සුරංග විදානලාගේ — July 8, 2008 @ 2:36 am

  2. හා හා.. ඒ අල්ලන සෙල්ලම මාත් කරලා තියනවා.. ලස්සන සටහනක්.. හැබැයි මගෙ සටහන දවසක් ප්‍රමාද කරපු එකනම් හොඳ නෑ.. මේක කියවන්න සතියකට වඩා බලාගෙන ඉන්න ඉඩ තියන්නෙ නැතුව කම්මැලි නොවී ලියන්න..

    Comment by Dilshi — July 8, 2008 @ 8:57 am

  3. එල

    Comment by Anandawardhana — July 8, 2008 @ 10:31 am

  4. මේ සැරේ සටහනත් හරි ලස්සනයි. එක වසරේ ඉදලා උසස් පෙළින් සමු ගන්න තෙක්ම ඉඩක් ලද දවසක අපිත් ඔය සෙල්ලම කලා අපේ පාසලේ දී. හැබැයි ලොකු ළමයි විදිහට අල්ලම සෙල්ලං කරලා බැනුම් අහලත් තියෙනවා ඕන තරං. :) හැබැයි දවසක් වත් ප්‍රමාද කරපු එකනං හොද නැ ලියන්න.

    Comment by සිතුවිලි — July 8, 2008 @ 10:50 am

  5. ප්‍රතිචාරයක් නොදක්වා යන්න හිතෙන්නේ නැහැ. වෙනදා වගේම සටහන ලස්සනයි. …….

    Comment by කසුන් — July 8, 2008 @ 6:36 pm

  6. හැමදාම “මෙග් සටහන” කියවල ප්රතිචාරයක් එකතු කරන්න හිතුවත් අද තමයි ඒක කරන්්ෙන්. ලස්සන සටහන. ඇත්ත, සමහර වැඩිහිටිෙයා් ළමයින්්ෙග් මානසිිකත්වය ෙත්රුම් ගන්ෙන් නැති එක කනගාටුවට කරුණක්්.

    Comment by Hiranya Mudunkotuwa — July 9, 2008 @ 11:00 am

  7. විභාගෙට පාඩම් කරන අතරතුරේ හැමෝටම කියවන්න කියලා අධ්‍යාපන අමත්‍යංශෙන් නිර්දේශ කරන්න බ්ලොග් එකක් තමයි මේක. :) වැඩේ කියන්නේ අපි හැමෝගෙම පොඩි කාලේ එක ‍වගේමයි. ඇත්තටම ශිෂ්‍යත්වේ ලියපු ඒ අවුරුද්ද නම් අමතක වෙන්නේම නෑ…

    Comment by සුපුන් සුදාරක — July 9, 2008 @ 6:15 pm

  8. @ඩෙරික් සුරංග විදානලාගේ – ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට. ළමා කාලය කොහොමටත් අති සුන්දරයි.

    @දිල්ෂි – වෙලාවකට හරි කම්මැලියි ලියන්න. දිරි ගැන්වීම් නිසා තමයි දිගටම ලියන්නෙ.

    @ආනන්ද වර්ධන- ආ කාලේකට පස්සෙ ප්‍රතිචාරයක්. ස්තූතියි.

    @සිතුවිලි – හරි ලබන සතියෙ වෙලාවට දානවමයි.

    @කසුන් – ස්තූතියි දිරි ගැන්වීමට

    @හිරන්‍යා – ස්තූතියි ප්‍රතිචාර දැක්වීම ගැන. වැඩිහිටියන් හිතන්නෙ නෑ වැඩිපුර.

    @සුපුන් – අධ්‍යාපන අමත්‍යංශෙන් නිර්දේශ කිරීම කෙසේ වෙතත් මම අධ්‍යාපන බලධාරීන්ට බනින හැටියට මාව ඉවත් කරයිද දන්නෙත් නෑ. :) අපේ ළමා කාලයන් එක වගේ තමයි. සුන්දරයි.

    Comment by නිදහස් අදහස් — July 10, 2008 @ 4:48 pm

  9. ස්තුතියි…දැහැන බලන්න adobe reader install කරගන්න.මට ටිකක් වෙලාව අඩු උනත්
    ඔබේ බ්ලොග් එක හැකි හැම විටම කියවනවා….

    Comment by පඩුවස් — July 10, 2008 @ 8:41 pm

  10. ‍ගොඩාක් හොඳයි.

    Comment by ජයමාලි — July 11, 2008 @ 3:25 pm

  11. වරුණගෙ අකුරුඇමුණුම කියවීම හිතට සැහැල්ලුවක් ගෙනදෙනවා!

    Comment by ඔහේ — July 12, 2008 @ 3:49 am

  12. @ පඬුවස් – මම ගියා දැහැන ට. හරියට කියවගන්න බෑ තාම ජාලය අවුල් නිසා. ස්තූතියි ප්‍රතිචාරයට.

    @ ජයමාලි – ස්තූතියි

    @ ඔහේ – ස්තූතියි

    Comment by නිදහස් අදහස් — July 13, 2008 @ 12:35 am


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.