“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් දෙවන සටහන. වෙනද වගේ නැතුව ටිකක් වැඩ අස්සෙ තමයි ලියන්න පටන් ගත්තෙ. කරන්න වැඩ ගොඩ ගැහිල තිබුනත් සුපුරුදු ඉරිදා හැන්දෑවේ ලියල දාන්න කල්පනා කලා. එහෙමනම් ඉතින් “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.
ගිය සතියෙ සටහන නම් ගොඩක් ප්‍රතිචාර ලැබිල තිබුනා. මම හිතන්නෙ ඒකට හේතුව වෙන්න ඇත්තෙ අර බෙදිල්ලෙ තිබුන පිස්සු ගතිය නිසා වෙන්න ඇති. කොහොම වුනත් ඒක හරි අපූරු වැඩක්. ඔය පොත් කියවීමේ පිස්සුව ගැනත් මම ලිව්වනෙ ගිය සතියෙ. ඒ දවස් වල ඉඳන්ම අලුත් පොතක් කොහෙ හරි දැක්කම නිකමට හරි අතට අරගෙන පෙරලල බලන්න හිතෙනවා. සමහර වෙලාවට පොතක් ගන්නව තියා අමතර රුපියලක් වත් නැති දවසක් වුනත් පැය ගානක් තිස්සෙ පොත් ප්‍රදර්ශන වලට ගිහිල්ලා කාලය ගත කරල තියෙනවා. හැබැයි ඔය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මුල කාලෙ හරිම ආසාවෙන් ගියත් පස්සෙ කාලේ යන එක නවත්තල දැම්මා. ඒකට ප්‍රධානම හේතුව වුනේ පොතක් ජීවිතේටවත් කියවන්න හිතපු නැති උදවිය එතන පිරිලා වැඩේ අවුල් කරන්න ගත්ත නිසයි. ඒ තද බදය අස්සෙ පොත් තෝරනවට වඩා කීයක් හරි වැඩිපුර දීලා පොත් සාප්පුවකින් පොත් ගන්න එක සැප නිසා මතක ඇති කාලෙකින් ගියෙ නෑ මම නම්. සාමාන්‍යයෙන් ඔය වගේ තැනක දි ලේඛකයො සහ පාඨකයන් එකතු වෙන තැනක් බවට පත් විය යුතු වුනත් එහෙම වෙන පාටක් පෙනෙන්න නෑ. හැබැයි මුල කාලේ මමයි මිත්‍රයකුයි ගිය වෙලාවක මම මිල දී ගන්න ලෑස්ති වුනා “චිත්‍රා අයි. පෙරේරා” මහත්තමිය අතින් සිංහලයට පරිවර්තනය වුන “කූඩු කිරිල්ලි” පොත් පෙල. කොහොම හරි මේ පොතේ අන්තර්ගතය ගැන මගේ මිත්‍රය පල කරපු අදහස් නිසා එතන කුටියෙ හිටපු අයත් එක්ක ලොකු විවාදයකුත් ඇති වුනා. කොහොම නමුත් මම පොත මිලදී ගත්තා. වැඩේ කියන්නෙ ඒ වගේ පොත් වල ගුණ දොස් ගැන තර්ක විතර්ක වලට එළඹෙන්න තරම් නිදහස් ඉඩ කඩක් එතන තිබුනු එක. නමුත් පස්සෙ කාලේ එතනට ලැබුන නුවමනා ප්‍රචාරයට පිං සිද්ධ වෙන්න වැඩේ අල වුනා.
පොත් ගැන නම් තව කියන්න තියෙනවා. ඒවා ඉඩ ලැබුන වෙලාවල දි කියන්න පුලුවනි. “මගේ සටහන” ලියාගෙන යන කොට මට එන ප්‍රධානම ප්‍රශ්නෙ තමයි අවිධිමත් කම. මොකද එක එක දේවල් හිටපු ගමන් මතක් වෙනවා. ඒක නිසා මට හැමදාම හිතෙනවා වගේ ලියල ඉවර වෙලා බලන කොට අපිළිවෙල ගතිය දැනෙනවා. ඒකට ඉතින් විශේෂ පිළියමකුත් නැති නිසා දිගටම මේ විදිහට ලියන්න තමයි වෙන්නෙ. ඔය ඉස්කෝලෙ යන කාලෙ අපිට තිබ්බෙ කාලයෙන් කාලයට එක එක පිස්සු වැඩ. සමහර වෙලාවට ඒවා ඒ කාලයේ ජනප්‍රිය වෙන දේවල්. එහෙමත් නැත්තම් අර PI වල අගය හොයනවා වගේ පිස්සු වැඩ. එක කාලයක් තිබුනා අපිට පාපන්දු පිස්සුවක් හැදිල තිබුනා. ඒ අපි පහේ පන්තියෙ ඉන්න කොට. හරියටම කියනවනම් නවසිය අනූ හතරෙ අවුරුද්දෙ. එ්කට ප්‍රධාන හේතුව වුනේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය. පිස්සුව කොයි තරම් තද වුනාද කියනවනම් විවේක කාලයේදි අපි කරන සුපුරුදු සෙල්ලමා නවත්තලා පාපන්දු සෙල්ලම් කරන්න ගත්තා. හැබැයි අපි හිටපු ඉස්කෝලෙ කොහෙන්ද පාපන්දූ? අඩුම ගානෙ අපිට සෙල්ලම් කරන්න සැහැල්ලු පන්දුවක්, වොලි බෝලයක් වත් තිබුනෙ නෑ. ළමයි කාගෙවත් ගෙදරක පාපන්දු ඇත්තෙත් නෑ. එහෙම එකක් අරගෙන දෙන්න කිව්වොත් කියයි “මේකා පොතක් පතක් අරගෙන දෙන්න කියල ඉල්ලන්නෙ නෑ, ඒ වුනාට ෆුට් බෝල ගහන්න කල්පනාව. පැත්තකට වෙලා පොතක් බලාගත්තොත් නරක් වෙලා තියෙයි” වගේ කතාවක්. කොහොමටත් තමන් හීන අසරණ දරුවො මතින් සපුරගන්න දඟලන, මිනිස් යන්ත්‍ර සූත්‍ර බිහි කිරීමේ පෙරමුණ ගත්ත ලංකාවේ බහුතර වැඩිහිටි පරම්පරාව ඔය වගේ තකතීරු කතන්දර ඇහුවෙ නැත්තං තමයි පුදුමෙ. හරිම අමාරුයි මේ අයට ළමයින්ගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න.
කතාවෙන් ටිකක් පිට පැන්නා වුනත් ඉතින් කොහොම හරි පාපන්දුවක් නැහැයි කියල අපේ පාපන්දු ගැසීමේ ආසාව නැති වුනේ නෑ. පාපන්දුව වෙනුවට අපි යොදා ගත්තෙ පොල් කට්ටක්. ඒ කාලේ මට මතක ඇති තරමින් ඒ දරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කලේ නෑ. ඒක නිසා පොල් කටුවක් පාවිච්චි කිරීමේ අදහස කවුරු ඉදිරිපත් කලා වුනත් විරුද්ධ වෙන්න කෙනෙක් හිටියෙ නෑ. හැබැයි ඉතින් සැබෑ පාපන්දුවක් වගේ පොල් කට්ට උඩින් ගහන්න බෑ. ඒක නිසා බිම දිගේ තමයි අපේ “පොල් කටු” පාපන්දුව අරගෙන යන්නෙ. සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ සුපුරුදු සෙල්ලම් වලට ගෑණූ ළමයි හවුල් වුත් “පොල් කටු” පාපන්දු සෙල්ලමට ඒ අය වැඩිය හවුල් වුනේ නෑ. ඕනෙවට වඩා දූවිලි අවුස්සගෙන , එක ගොඩේ හැප්පිලා සෙලලම් කරන්න ගෑණූ ළමයි අකමැති වෙන්න ඇති. හැබැයි ඔය සෙල්ලම පාපන්දු ලෝක කුසලානය ඉවර වුන ගමන්ම වගේ අපි අතින් මග ඇරිලා ගියා. ඊට පස්සෙ අපි අපේ සුපුරුදු සෙල්ලම් වලට මාරු වුනා. කොහොම වුනත් මට “පොල් කටු” පාපන්දු එපා වුනේ එක දවසක් දැල රකින්නා ලෙස ඉන්න කොට “පොල් කටු” පාපන්දුව අතින් අල්ල ගන්න ගිහින් දාරයකට අත කැපුනු නිසා. ඊට පස්සෙ මම පැත්තකට වෙලා හිටියා. ඒ කාලේ මගේ ප්‍රියතම කණ්ඩායම වුනේ ආර්ජන්ටිනාව. සුපිරි ක්‍රීඩක “දියාගෝ මැරඩෝනා” තමයි එම කණ්ඩායමේ නායකයා වුනේ. නමුත් තහනම් මත් ද්‍රව්‍ය ගැනීමේ චෝදනාව මත තරඟාවලිය අතරමැද ඔහු තහනමට ලක් වුනා. ඒක නිසාම ආර්ජන්ටිනා කණ්ඩායම වැඩි දුරකට ගියෙත් නෑ.
ඇත්තටම පහේ පන්තියෙ ඉන්න කාලේ ක්‍රීඩා පහසුකම් අපිට තිබුනෙම නැති තරම්. ටෙනිස් බෝලයක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක්. පිත්තක් නම් තිබුනෙම නෑ. ඒක නිසාම අපි වැඩිපුර ක්‍රිකට් ගහන්නෙ නෑ. අපි වැඩි පුරම කලේ එල්ලෙ ගහන එක. කවුදෝ කෙනෙක් උණ බම්බුවක් හොයා ගෙන ඇවිත් තිබුනා. කොහෙන් හරි ටෙනිස් පන්දුවක් හොයා ගත්තම වැඩේ පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිරිමි ළමයි ක්‍රීඩා කරන කොට ගැහැණු ළමයි එන්නෙ නෑ නෙ. මොකද පිරිමි ළමයි ශරීර ශක්තියෙන් වැඩි නිසා වේගෙන් දුවනවා, විශාල පහරවල් ගහනවා වගේ දේවල් නිසා. ඒ වුනාට අපි පහේ පන්තියෙ ඉන්න කොට එල්ලෙ ක්‍රීඩා කරද්දි ඉස්කෝලෙ ගොඩනැගිල්ලෙ වහල උඩින් ගිහිල්ල අනිත් පැත්තට වැටෙන්න පන්දුවට පහර දෙන්න පුලුවන් වුනේ අපේ පන්තියෙ හිටපු ගෑණු ළමයෙකුට. අපේ සම වයසෙ ළමයෙක් වුනත් සෙල්ලමේ දී කිසිම අමාරුවක් නැතිව අපිව පරද්දන්න ඒ යෙහෙළියට පුලුවන් වෙච්ච එක ගැන තිබුනෙ ලොකු ඉරිසියාවක්. පිරිමි ළමයි කොච්චර උත්සහ කලත් යන්තම් ඒ ගොඩනැගිල්ලෙ පළවෙනි තට්ටුව විතර උසකට තමයි පන්දුව යවන්න පුලුවන් වුනේ. මම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
ඒ පාසලේ සෙල්ලම් වගේම සිදුවුන සංවේදි සිදුවීම් තාමත් මගේ මතකයෙ තියෙනවා. ඒ අතර එක සිදුවීමක් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. සිද්ධිය මෙහෙමයි. පහ වසර ශිෂ්‍යත්වයෙන් මම ත් ඇතුලුව පාසලේ ළමයි හය දෙනෙක් සමත් වුනා අනූ හතර අවුරුද්දෙ. කොහොම හරි පාසලේ ළමයි ඔක්කොම කැඳවල අපිට සුබ පතල, අගය කරල රැස්වීමක් එහෙම පැවැත් වුනා. ඉතින් එදා හවස අපේ පන්තියෙ හිටපු ළමයි කිහිප දෙනෙක් එකතු වෙලා සමත් වෙච්ච සියලු දෙනාවම ළඟ පාත තිබ්බ කඩයකට එක්ක ගෙන ගිහින් බීම බෝතල් සහ කෑම අරගෙන දුන්නා. සාමාන්‍යයෙන් ඒ වයසෙදි ළමයි ළඟ වැඩිපුර සල්ලි නෑ. එදා වියදම් කරපු මුදලත් සැලකිය යුතු මට්ටමේ ගණනක් කාලෙ හැටියට. ඇත්තටම ඒ සංග්‍රහය නිසා අපි බොහොම සතුටටත්, පුදුමයටත් පත් වුනා. මොකද ඒ තරම් ගණනක් අපි වෙනුවෙන් වියදම් කරපු නිසා. ඒ පාර මම එක සඟයෙක් ගෙන් ඇහුවා “ඇයි අපිට මේවා අරගෙන දුන්නෙ ඔයාලගෙ වියදමින්” කියල. ඒ පාර ඒ සඟයා කිව්වා ” අපි ට හරිම සන්තෝසයි ඔයාලා පාස් වෙච්ච එක ගැන. ඔයාලා වෙන ඉස්කෝලෙකට ගියහම අපිට හම්බ වෙන එකකුත් නෑ නෙ, ඒකයි මේ” කියල. ඇත්ටම ඔවුන් තමන්ගෙ මිත්‍රයන්ගේ ජයග්‍රහණය ගැන සතුටු වුන අව්‍යාජ භාවය මේ ලියන මොහොතේ දී පවා මට දැනෙනවා. ඒ සිදුවීම නැවත සිහිපත් කලේ වැඩිහිටියන් “අනිත් අයට වඩා ඔයා ඉහළට යන්න ඕන” කියල මොන තරම් විස පෙව්වත් ළමයින්ගෙ සිත් තුල මොන තරම් මනුෂ්‍යත්වයේ හැඟීම් දැල්වෙනවද කියන එක දැනුන නිසා. අද කොහේ ඒ මිත්‍රයන් කොහේ ඉන්නවද, මොනව කරනවද කියල දන්නෙ නැති වුනත් එදා ඒ දක්වපු අව්‍යජ භාවයට උපහාර පුද කරමින් “මගේ සටහන” නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

මට නම් අවිධිමත් ගතියක් පේන්නේ නැහැ. ඒක තීරු ලිපියක සාමාන්‍ය දෙයක් නේද? මට මතකයි ‘මව්බිමේ’ බන්දුල නානායක්කාරවසම් මහතා ලියපු ‘කොහි එනු සිට’ ලිපි මාලාව. එහිත් යම් විස්තරයක් කියාගෙන යන විට ඒ තුලින් තව තවත් අතුරු කථාවන්ට යොමු වීම් බොහෝයි.
Comment by කසුන් — June 30, 2008 @ 7:55 am
පොල් කට්ටෙන් පා පන්දු ගහන්න පුළුවන් කියලා ඇහුවෙත් අදමයි.. ලියන පිළිවෙල කෙසේ වෙතත් ලියන රටාව නිසා කියවන්න අසා හිතෙනවා. හරිම ලස්සනයි.. හරිම සිත්ගන්නා සුළුයි..
Comment by Dilshi — June 30, 2008 @ 9:46 am
එක කතාවකින් අතුරු කතා එන එක ලේඛනවල මෙන්ම සිනමාවෙත් තියෙනවා. සිනමාවෙදි නම් ඒකට කියන්නෙ Anthology Cinema කියලා..ලංකාවට ඒක හඳුන්වා දුන්නෙ මට හිතෙන විදිහට ප්‍රසන්න විතානගේ මහතා..එයාගෙ ඉර මැදියම තුළින්…වැඩේ කියන්නෙ ඒ එක එක කතාවක් එකට බැඳිලා තියෙනවා..
ඉසබෙල් අය්යන්දේ ගෙ පොත් හෙම කියවලා ඇතිනෙ..ඒ වගේ මෙගා ආඛ්‍යානවල ඔය වගේ කතා ඕන තරම්..
සටහන කියෙව්වා..අන්තිම ඡේදය හරිම සංවේදී යි
Comment by සු — June 30, 2008 @ 3:01 pm
I like your writing style. Don’t worry about going off topic. I like reading day to day stuff rather than a specific serious topic.
Keep up the good work !!!
Comment by Dhanu — June 30, 2008 @ 8:41 pm
සටහනේ තියෙන අවිධිමත් කම නිසා තමයි ලියන දේවල් සිත් ඇද ගන්නා සුළු වෙලා තියෙන්නේ. ඇත්තම කිවිවොත් පෙන්න තරං අවිධිමත් ගතියකුත් නැ. කොහොම උනත් සටහන හරි අපුරුයි. අර අන්තිමට කිවිව කතාවනං හරිම සංවේදි. පුංචි කාලේ යාළුවො ඇත්තටම හරි හොදයි. ඒත් ඒ අය දැන් ලග නැ.
Comment by සිතුවිලි — July 1, 2008 @ 11:00 am
@ කසුන් – බන්දුල නානායක්කාරවසම් මහතා ලියපු ‘කොහි එනු සිට’ ලිපි මාලාව නම් හරි අපූරුයි. ඒක හැබැයි හරි ලස්සන බසකින් ලියල තිබුනා මීට වඩා.
@ දිල්ෂි – අවශ්‍ය තාවය අනුව මොකකින් හරි වැඩේ කර ගන්න වෙනවනෙ.
@ සූ -ඉසබෙල් අය්යන්දේ ගෙ “ඊවා ලූනා” කියවල තියෙනවා . ඒක හරි අපූරුයි. අන්තිම කාරණාව මටත් තාම දැනෙනවා
@ධනු – ස්තූතියි. එදිනෙදා දේවල් සමහර වෙලාවට පුද්ගලිකයි. අනන්‍යතවයත් එක්ක ඒවා ලියන්න අමාරුයි. වර්තමාන ජීවිතයේ ඇතුලට එබිලා බලන්න තරම් දෙයක් මට සමහර වෙලාවට හම්බ වෙන්නෙ නෑ. ප්‍රතිචාරයට තුති.
@ සිතුවිලි -අවිධිමත් කම සමහර වෙලාවට අනිත් දේවල් වලදිත් තියෙනවා.
කොහොම වුනත් සංස්කරණය කලා නම් හොඳයි කියල හිතෙනවා.
Comment by නිදහස් අදහස් — July 3, 2008 @ 10:29 pm
අපිත් 5 වසරදි ෙසල්ලම් කරා ඒතෙකාට අෙප් ජනප්රිය ක්රීඩාව ගහ ගැනිල්ල
Comment by අමල් ඉෂාන්ත — October 16, 2008 @ 10:50 pm