නිදහස් අදහස්

June 22, 2008

අමුතු බෙදිල්ල

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 8:26 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ තිස් එක්වන ලිපිය. සුපුරුදු පරිදි ඉරිදා හැන්දෑවේ , ත්‍රිත්ව සහ කිංස්වුඩ් දෙවිදුහල් අතර පැවැත්වුන රගබි තරඟය නරඹලා ඉවර වෙලා තමයි වැඩට බැස්සෙ. විටින් විට කඩා ගෙන හැලෙන වැස්ස එක්ක ටිකක් කේන්තියෙනුත් එක්ක තමයි ලියන්න පටන් ගත්තෙ. එහෙමනම් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ මම කිව්ව දන්කෝ ගැන කතාව මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතා වලින් මම ඉතාම කැමති එකක්. ඊට අමතරව මම කැමතිම කෙටිකතා අතර “මගේ කුලුඳුල් ආලය” හා “විසි හය දෙනෙක් සහ තරුණියක්” කියන කතාවන් ඇතුලත්. ගෝර්කි ගෙ ඒ කෙටි කතා දෙක කියවල නැත්තනම් කොහෙන් හරි හොයාගෙන කියවන එක නරක නෑ. අන්ත දිළින්දකු ලෙස සිය ජීවිතයේ නොයෙක් බාධක වලට මුහුණ දුන් ගෝර්කි මම කියවල තියෙන ලේඛකයන් අතර විශිෂ්ඨතමයා විදිහට තමයි හිතෙන්නෙ. කොතරම් දුක් කරදර වින්දත් තමන් ලියපු දේවල් වල වයිරය , ක්‍රෝධය වගේ හැඟීම් වලින් තොරව, ඉතාමත් සංයමයෙන් මිනිස් සම්බන්ධතා වල ගුණ සුවඳ පිළිබඳ නොනැසෙන විශ්වාසයක් ඇතිව ලියපු ලේඛකයෙක් විදිහටයි මම ගෝර්කි ව සලකන්නෙ. එවැනි මානව දයාවෙන් පිරුණු ලේඛකයන් බිහි වෙන්නෙ බොහොම කලාතුරකින්.

හදිසියෙම ගෝර්කි මතක් වුන නිසා ඒ ටික කියල දැම්මා. ඉදිරි “මගේ සටහන්” හරහා මම කියවපු ගෝර්කි ගෙ පොත් ගැනත් ටිකක් කියන්න කල්පනාව තියෙනවා. මේ සතියෙ සටහන ලියන්න ගන්න කොටම පෙර සූදානමක් නැති කමින් ලියන්නෙ මොනවද කියන එක කල්පනා කරන්න සිද්ධ වුනා. වෙලාවකට ලියන එකේ ලබන ආස්වාදය ගිලිහිලා යන ගතිය ඒකට හේතුව වගේ දැනෙනවා. එදිනෙදා දේවල් වල නිරත වෙන යාන්ත්‍රික ස්භාවයට “මගේ සටහන” ලක් වෙලාද කියල මටත් සැක හිතෙන වෙලාවල් තියෙනවා. ඔය අස්සෙ ඉස්කෝලෙ යන කාලේ සිද්ධි මතක් වුනා. මතක් වෙන හැම සිද්ධියම කියන්න බැරි වුනත් කියන්න පුලුවන් තරමේ ඒවා කියල දාන්නයි කල්පනාව.

සාමාන්‍යයෙන් වැස්සකට හරි ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙක් ගණිතය කියල විෂයක් ගැන අහල ඇතිනෙ. එක වසරෙ ඉඳන් ලංකාවෙ ඉස්කෝල වල අවුරුදු එකොළහක් තිස්සෙ හණිතය උගන්නනවා වුනත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් ප්‍රතිශතය සියයට පනහක (50%) ට මදක් වැඩි ගණනක්. අබ්බගාත අධ්‍යාපන ක්‍රමය ගැන ඔයිට වඩා හොඳ උදාහරණ තවත් ඕනෙ නෑ නෙ. ගෙවල් වලින් ළමයින්ට වෙලාවකට බනිනවනෙ කේන්ති ගියහම “මේකට වියදම් කරපු  සල්ලි වලින් එළදෙනක් හැදුවා නම් කිරි ටික වත් ගන්නවා” කියල. ඒ වගේ අධ්‍යාපන ක්‍රමය නඩත්තු කරන්න ගෙවන බදු වලින් බලධාරීන් පිස්සු කෙලින හැටි දැක්කම හිතෙනවා “ඉස්කෝල වහල, ළමයි අතට සල්ලි ටික දුන්නනම්” කියල. කතාව ඉතින් බලධාරීන් ගැන නෙවේ. ඔය ගණිතයෙ තියෙනවනේ PI කියල අගයක්. ගණිතය යන්තමින් හරි මතක නම් ඔය අගය අමතක වෙන්න විදිහක් නෑ. සාමාන්‍යයෙන් ඕකෙ අගය 3.14 ක් විතර ආසන්න වශයෙන්.

ඉතින් අපි දහයෙ පන්තියෙ ඉන්නකොට අපේ සඟයෙක්ට ඇති වුනා අපූරු ආසාවක්. ඔය PI කියන අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හෙව්වොතින් ඒක ඉතා නිවැරදි අගයක් ලු.ඒක කොහෙන් හරි දැනගෙන ආපු මිනිහා අපිට කිව්වා කොහොම හරි  PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් වෙනකම් බෙදල හොයමු කියල. මම එක පාරට කිව්වා “එච්චර ගොඩක් තනියම බෙදන්න බෑ, අත ඇරල දාමු” කියල. ඒ වුනාට මිනිහ නෙවෙයි සැලුනෙ. මිනිහා කිව්වා අපි තව දෙතුන් දෙනෙක් හවුල් කරගෙන මාරුවෙන් මාරුවට බෙදාගෙන යමු කියල. ඒ පාර තවත් සඟයෙක්ට ඇම දාලා වැඩේට හවුල් කර ගන්න පුලුවන් වුනා. වැඩේ යෝජනා කරපු මිත්‍රයා එදාම පිටු අසූවේ පොතකුත් මිලදී අරගෙන ආවා තමුන්ගෙ වියදමින්ම. මට ඉතින් ඇතිවුන ප්‍රශ්නෙ දශම ස්ථාන දශ ලක්ෂයක් ලියන්න පොතේ ඉඩ ඇති වෙයිද කියන එක.

කොහොම හරි අපි මුලින්නම සම්මුතියකට එළඹිලා වැඩේ පටන් ගත්තා. සම්මුතිය තමයි එක් කෙනෙක් දශම ස්ථාන සියයක් වෙනකම් බෙදිය යුතුයි කියන එක. කොහොම හරි අපිත් බොහොම උද්යෝගයෙන් යුතුව වැඩේ පටන් ගත්තා. කරදරයක් නැතිව දශම ස්ථාන දාහක් විතර වෙනකම් බෙදාගෙන ගියා. ඔන්න මුලින්ම “මේක කිසි තේරුමක් නැති වැඩක්” කියල අපේ හවුල්කාර සඟය ඉවත් වුනා. ඒක නිසා මගේ උද්යෝගයත් හීන වෙලා ඉවත් වුනා. අන්තිමට PI වල අගය දශම ස්ථාන දශ ලක්ෂයක් දක්වා හොයාගෙන කීර්තිමත් ගණිතඥයකු වෙන ආසාව අකමැත්තෙන් වුනත් අත ඇරල දාන්න වැඩේ යෝජනා කරපු සඟයට සිද්ධ වුනා. හැබැයි සල්ලි දීලා ගත්ත අභ්‍යාස පොත නම් අපතෙ ගියෙ නෑ. මිනිහ ඒකෙ මුල් පිටු දෙක තුන ඉරල දාලා වෙන විෂයකට පාවිච්චි කලා. ඔය වගේ වැඩ කරන්න පරිගණක භාවිතා කරනවා කියල අපි මෙලෝ හාංකවිසියක් දැන ගෙන හිටියෙ නෑ ඒ කාලේ. කවුරුහරි මේක කියවන කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා “මෙච්චර මෝඩ වැඩ කරන්න මොළේ මහන්සි කලේ මොකටද” කියල. ඒ වුනාට ඉතින් ඉස්කෝලෙ යන කාලෙට එන ඔය වගේ අරුම පුදුම කල්පනා වලත් අමුතු ජොලියක් තියෙනවා. ඒ අවධිය පහු කලාට පස්සෙ තමයි කරපු මෝඩ කම් වල තරම තේරෙන්නෙ.

ඔය අතරෙ ටිකක් මොළේ ඇති වැඩත් කරල තියෙනවා. එකක් තමයි අපේ පන්තියෙ පිහිටුවගෙන තිබුන පොත් කියවීමේ කල්ලිය. ඒක හරිම අපූරු එකක්. ඒ කාලේ අපි කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු ටාර්සන්ගේ වීර ක්‍රියා ඇතැලත් පොත් වලට වගේම රයිඩර් හැගාර්ඩ් ලේඛකයගෙ ඈ හේවත් අයේෂා, විජයග්‍රහී කෝනෑන් වගේ පොත් වලට පිස්සු වැටිලා හිටියෙ. ඒ දවස් වල චන්දන මෙන්ඩිස් ශූරීන්  ගෙ ෂර්ලොක් හෝම්ස් පොත් ඒ තරම්ම ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඔය සම වයසෙ ගෑණූ ළමයි ගැන උනන්දුව ඇති වෙන්න කලින් අපිට තිබුන ලොකුම ආසාව ඔය පොත් කියවන එක.

ටාර්සන් පොත් සියල්ල කියවලා තියෙන කෙනෙක් හිටියොත් ඒ කෙනා නිතරඟ වීරයෙක්. “මම ඔය ඔක්කොම පොත් කියවල තියෙනවා” කියල කියන්නෙ හරිම උජාරුවෙන්. අපිට ඒ වෙලාවට හරිම ඉරිසියයි. අපිට ගොඩක් වෙලාවට අලුත් පොතක් කියවන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ කවුරු හරි පොත මිලදී ගත්ත කෙනෙක් ගෙන් හරි පුස්තකාලයෙන් හරි ඒ පොත හොයාගන්න කම්. ගෙදරින් අමතර වියදමට කියල සල්ලි වැඩිපුර ලැබුනෙ නැති නිසා ඉතින් පොතක් ගන්න සල්ලි එකතු කරගන්න මාස ගානක් බලාගෙන ඉන්න වෙනවා. හැබැයි හරි අමාරුවෙන් සල්ලි ඉතුරු කරගෙන මාස කිහිපයකට සැරයක් හරි පොතක් ගන්න සල්ලි හොයා ගත්තා ඉහළ පන්ති වලට ආවට පස්සෙ.

අලුත් පොත් “අහවලා ළඟ තියෙනවා” හරි “මම කියෙව්වා” වගේ කතන්දර අහගෙන ඉන්න කොට නම් ඉවසීමේ සීමාව ඉක්මවල යනවා. අන්තිමේ දී අපේ පන්තියෙ සඟයෙක් යෝජනා කලා අපි හැමෝගෙම සල්ලි යොදවල අලුතෙන් පිටවන පොත් මිල දී ගම්මු කියල. හැමෝම එක පයින් යෝජනාවට එකඟ වුනා. ඒ කල්ලියට විසි දෙනෙක් විතර හිටපු නිසා එක ළමයෙක්ට දෙන්න වුනේ රුපියල් දහයක් හෝ පහළොවක් වගේ ගණනක්. වැඩිම වුනොත් රුපියල් විස්සක්. ඒක හැමෝටම දරා ගන්න පුලුවන් ගණනනක් නිසා අපිට ලොකු සතුටක් දැනුනෙ. හැබැයි ඉතින් ක්‍රමයෙ පොඩි පොඩි අඩු පාඩුත් තිබුනා. මොකද සමහර අයට පොත කියවන්න සති දෙක තුනක් කට ඇරගෙන බලා ඉන්න වෙනවා. එතකොට පොත අතින් අතට ගිහිල්ලා අලුත් ගතිය නැතිවෙලා. පොත ගන්න සල්ලි දුන්න උදවියට අමතරව අපේ පන්තියෙ සහ අහල පහල පන්ති වල සඟයන්ට ත් පොත බලන්න දෙනවා. හැබැයි පොතට සල්ලි යොදවපු කට්ටිය කියවල ඉවර වුනාට පස්සෙ. ඒක බොහොම සාධාරණ වැඩක් වුනා කියල මට හිතෙන්නෙ.

ඔය විදිහට කේ.ජී. කරුණාතිලක ශූරීන් පරිවර්තනය කරපු “මොන්ත ක්‍රිස්තො” සිටුවරයා පොත් මාලාවේ පොත් හයම මිලදී අරගෙන කියවන්න අපිට පුලුවන් වුනා. ඊට අමතරව “ඈ හෙවත් අයේෂා” , “අයේෂා ආපසු එයි” වගේ පොත් කියවන්න ලැබුනා. හැබැයි මිලදී ගත්ත පොත් වල අවසාන අයිතිකාරයා වුනේ කවුද කියන එක ගැන කවුරුවත් ඒ තරම්ම වද වුනේ නෑ. මොකද ඒ වගේ රස වෑහෙන පොතක් පුංචි මුදලක් දීලා හරි කියවන්න ලැබීමත් ලොකු දෙයක් අපිට ඒ කාලෙ හැටියට.  ඔය පොත් අතරින් අපි වැඩිපුරම ආස කරපු “ටාර්සන්” පොත් ගැන තිබ්බ උනන්දුව කොච්චරද කියනවනම් අපේ සමහර සඟයන්ට ඒ පොත් වල එන නම් පවා පට බැඳල තිබුනා. යෝධයෙක් වගේ ඇඟ පත තිබුන ලමයෙක්ට නම දාලා තිබුනෙ “ටැන්ටෝර්” හෙවත් “ඇතා”. තව “පම්බා” හෙවත් “මීයා” සහ “හෝර්තා” හෙවත් “ඌරා” වගේ නම් පට බැඳිලා තිබුනා. මොනව වුනත් කියවීමට අපි ගොඩක් හුරු වුනේ ඒ පොත් හරහා තමයි. අප අතරින් වියෝ වුන තරුණ පරපුර කියවීමට හුරු කරමින් රසාලිප්ත ලෙස පරිවර්තන කාර්යයෙහි නිරත වුන කේ.ජී. කරුණාතිලක ශූරීන් ට “මගේ සටහන” හි උපහාර පුදමින් මෙවර සටහන නිමා කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

16 Comments »

  1. හිහි නියමයි :)

    Comment by මලින්ත — June 22, 2008 @ 8:42 pm

  2. මට දාන්න බැරිද පන්තියක්…. ගණනනක් ඉගෙන ගන්න….

    Comment by කාලිංග — June 22, 2008 @ 8:44 pm

  3. මේ පොත් ගැනිල්ල ගැනයි කියවිල්ල ගැනයි මට මහ හුඟක් කතා තියෙනවා..පොඩි කාලෙ මං හිතන් හිටියෙ ආසි‍යාවෙ හොඳම ලොකුම පොත්ගුල මං දානවා කියලයි..මම ස්‍කෝලෙ යන කාලෙ සරභූ පොත් ගුල කියලා නම දාලා මුද්‍රාවකුත් කපන් හිටියා..මගේ පොත්වල ගහන්න. සරභූ කියන එක තෝර ගත්තෙත් තේරුමක් ඇතිවයි. පස්සෙන් පහු සරසවි යන කොට කීප දෙනෙකු එකතු වෙලා පොත් සීට්ටුවක් දැම්මා..රු.100ක වගෙයි මතක. මම ‍ඉගෙන ගත්තෙ රැකියාවක් කරමින් නිසා මටත් ඒක පුලුවන් වුණා.අනිත් අයට මහපොළ, ශිෂ්‍යාධාර හෙම තිබුණා..ඉතින් එක මාසෙක රු1000ක විතර පොත් ගත්තා..හොයාගන්න දුර්ලභම පොතක් ගුණසිරි අයියගෙ පුස්තකාලෙන් ණයට ගෙනියන්නත් පුලුවන් කම තිබුණා..ගංගොඩවිල වනාත පාරෙ.

    මගේ පොත්වලට ලේඛන දෙකක්, බැහැර ගෙනයාමේ ලේඛනයක්, මුද්‍රා වගේම පරිග්‍රහණ අංක පවා මමම ඉගෙන ගනිමින් ලබා දී තිබුණා..ඇතැම්වා මම හම් බැම්මෙන් බැන්දා…ඒ මම ඒවට පුදුම විදිහට ආදරේ නිසයි

    හැම මාසෙකටම පොතක් ගන්න එකයි අපේ අරමුණ වුණේ.. ජනකගෙ පොත් ගෙදරින් වගේම සරත් සර්ගෙ විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් අපිට වට්ටම් තිබුණා..අදත් එහෙමයි..අළුත් පොත් ආව ගමන් වගේ අපිට දැනුවත් කිරීමකුත් වුණා..කියවන පිපාසට තිබුණ ඒ කාලෙ හරිම ආස්වාදජනකයි..විලාසිතාවලට වඩා හිත ගියේ හොඳ පොතක් අයිති කර ගන්නයි..

    ඉන් පස්සේ….
    ….
    ….

    පොත් ගොඩක් ගණන් ගියා..මම එහෙමම හිටිද්දි..හැමදේම ගණන් ගියා..පොත් දිහා බලලා අතගාලා, පිටු පෙරළලා බලලා, සුවඳත් බලලා, ආපහු තියලා හැරිලා ආ දවස් දිගටම එන්න පටන් ගත්තා…පස්සේ මගේ යාළුවා පොත් ගන්න එක දිගටම කරගෙන ගිය නිසා ඒවායෙ අනිවාර්ය කියවීම්කරු වෙන්න මට පුලුවන් වුණා..අපි දෙන්නා තවමත් හැම සැප්තැම්බර් මාසෙම ජාත්යන්තර පොත් සල්පිලට අඩුම ගාණෙ දින 3 බැගින්වත් යනවා. මුල දවසෙ කල් තියා සැලසුම් කළ අලුත්ම පොත් අරන් අනිත්වා බලාගෙන යනවා. ඊ ළඟ දවස්වල ඉතිරිවා සහ ඒ දිනවල නිකුත්වුණ ඒවා වෙන්කරවාගෙන මිල දී ගන්නවා..

    අපිට කතුවරයින්, පොත්, පොත් ප්‍රකාශකයින් අනුව පොත්වල වෙනස්කම්, නිමාව වගේ හැම ක්ෂේත්‍රයක් ගැනම අවිධිමත් නමුත් හොඳ දැනුමක් ලැබුණේ නිරායාසයෙන්මයි.

    දැන් නම් කලින් වාගෙ පොතක් කියවලා ඒ ගැන කතා කරන්න තරම් සන්සුන් පරිසරයක් නැහැ.. පිස්සුවක් වාගෙ තිබ්බ පොත් කියවිල්ලත් ඇල් මැරී ගිහින්..දැන් ඒ වෙනුවට චිත්‍රපටියක් බලලා භාව විරේචනය කර ගන්න තැනට ඇවිල්ලා…

    පොත් ගල් කරන යාළුවෝ තමා එපාම කරපු යාළුවෝ … මං ගාම තාමත් 1 වසරෙදි ලැබුන මගුල් කෑමේ ඉඳන් පොත් තියෙනවා…පොතක් කියන්නේ සිහිවටන ගොන්නක් මිසක් පොතක් විතරක් නෙවෙයි.

    පොත් තැගි දෙන එකත් මගේ ආසම පුරුද්දක්..තැග්ග ලබන කෙනාගෙ රුචිය, වයස, දැනුම, උවමනාව අනුව පොතක් තෝරන එකත් වෙනම විෂයක් වගෙයි….මං ඒ හැමදේම කළේ හරිම ආසාවකින් වගේම කැපවීමකින්..

    මොනවා වුණත් මේ පොත් ගැන ලියන සටහනට මට තව සටහන් 10කටත් වඩා එක හුස්මට ලියන්න දේවල් තියෙනවා..ඒත් ‍මේකෙන් නවතිනවා…

    දැන් ආපහුත් මගේ කියවීමේ අනුරාගය වඩවන්න උත්සාහ කරන කෙනෙකුන් ඉන්න නිසා….බලමු ආයෙත්…

    : )

    Comment by සු — June 22, 2008 @ 9:48 pm

  4. හා හා .. බෙදිල්ල නම් මරු.. අද මගෙ සටහන සිත්ගන්නා සුළුයි.. ලස්සනයි..

    Comment by Dilshi — June 23, 2008 @ 8:16 am

  5. නියම බෙදිල්ල, හැබැයි ඒක අගේ ඇති නිර්මාණයක්.

    Comment by සහන් — June 23, 2008 @ 9:10 am

  6. ලස්සනයි, දිගටම ලියන්න

    Comment by blogsanjeew — June 23, 2008 @ 9:19 am

  7. හ හා පන`තියට මාත` එනවා….. ඇත`තම කියන`ඩකො අන`තඉමට ඔයා පොත` ටික ඉස`සුවා නෙද? කැතයි හොදෙ………… නියමහි නියමයි අද නං නියමයි.

    Comment by tharindu — June 23, 2008 @ 9:52 am

  8. :) හරි ලස්සන සටහන. ඇත්තටම බෙදිල්ලනං අමුතුයි ඒ වගේම මරු. “විසි හය දෙනෙක් සහ තරුණියක්” කෙටිකතාව මා ලගදි කියෙව්වා. ඔබ කියු විදිහට ඇත්තටම ඒක ලස්සනයි.

    Comment by සිතුවිලි — June 23, 2008 @ 10:00 am

  9. ඉස්කෝලෙ යනකොට අතහැර දමා තිබූ Zilclare Spectrum සහ BBC Microcomputer එකේ BASIC වලින් වැඩසටහන් ලියන කාලේ, π වල අගය හොයන්න වැඩසටහනක් ලියුවා. ඒකෙ උත්තරය එන්න විනාඩි 10ක් විතර ගියා, පිරිගණනය කැඩුනා කියලා බොහො ම බය වෙලයි හිටියෙ… ;-)

    දැන්නම් ඉතින් එහි අගය දසම ස්ථාන ලක්ෂ ගනනකට උනත් ගන්න මුදුකාංග තියෙනවනෙ:

    http://en.wikipedia.org/wiki/Pi
    http://en.wikipedia.org/wiki/Numerical_approximations_of_%CF%80
    http://en.wikipedia.org/wiki/Software_for_calculating_%CF%80

    Comment by Anuradha Ratnaweera — June 23, 2008 @ 12:19 pm

  10. π ගැන කියන කොට තමයි මතක් උනේ ලෝක වාර්තාව ගැන. පුළුවන්නම් උත්සාහ කරල බලන්න.

    http://pi-world-ranking-list.com/lists/memo/index.html
    http://www.pi-world-ranking-list.com/index.html

    Comment by රාජිත — June 23, 2008 @ 7:57 pm

  11. පොත් කියවීම ගැන කියවන කොට මට මතක් වුනේ මැක්සිම් ගොර්කි කියපු මෙන්න මේක..

    ” මා තුල වූ සෑම යහපත් දෙයකටම මම පොත්වලට ණයගැති වෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය. ගැඹුරු හැඟීම් වලින් හා ප්‍රීතිමත් උද්යෝගයෙන් යුතුව මිස, මට පොතක් ගැන කථා කල නොහැකිය.
    මගේ අතට පොතක් පත්වූ විට,
    ජීවමාන දෙයක්, ආශ්චර්්‍යාත්මක දෙයක්, මා අමතා කථා කල හැකි දෙයක්, මගේ අතට, මගේ ජීවිතයට ඇතුල් වූවාක් මෙන් දැනෙයි. … ” — මැක්සිම් ගොර්කි

    ඉස්සර ඉදලා මගේ පුරුද්දක් තිබුනා කියවන්න ලැබෙන පොත්වල සිත්ගත් තැන් සටහන් කරලා තියා ගන්න එක. වේලාවකට මහ පිස්සුවක් කියලා හිතුනත් ඒ පුරුද්ද නම් අතඇර ගන්න බැරි වුනා.

    Comment by කසුන් — June 24, 2008 @ 10:47 am

  12. Ada mage satahana kiyawagena yanna puluwan hasarellak muwe thiyagena digatama. Mamath hugaak kemathi a pariwarthana gena liwwa eka genath godaaak sathutui :) :) :)

    Comment by pubudu — June 24, 2008 @ 2:29 pm

  13. පොත්, පොත්, පොත්! ඕක තමයි නියම රසවින්දන ක්‍රමේ! අපි හොස්ටල් එකේ ඉන්නකොට වැඩේම වුනේ පොත් කියවන එක තමයි! හැබැයි වැ‍ඩේ දුර දිග ගියා, අපේ සෙට් එක තමන්ගේ කියවන්න තියෙන ආසාව නිසා පොත් ඉස්කෝලෙත් ගෙනිහිල්ලා, ගුරුවරු පාඩම් කියලා දෙනකොටත් හොරාට ඩෙස් එක යට තියාගෙන කියවන්න වුනා! මේක නිසා හොස්ටල් එකේ හැමදෙනාටම වගේ අම්බානකට බැනුම් අහන්න වුනා. මම නම් වැඩිපුරම කැමති චන්දන මෙන්ඩිස් ගූරීන්ගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන, මගේ ළඟ ඔය පොත් සැට් එකම තියෙනවා :D හොස්ටල් එකේ ඉන්න කාලේ අපේ තාත්තා හැම සතියෙම වගේ එනවා. ඉතින් තාත්තා ආපු දවසට මාත් ඉතින් තාත්තාත් එක්ක කොළඹ රවුමක් ගහලා ආපහු හවස්වෙනකොට හොස්ටල් එක‍ට එනවා. ඉතින් ඔබ රවුම ගහන‍කොට නොවරදවාම ගියපු තැනක් තියෙනවා. ඒක තමයි අපේ ඉස්කෝලේ ළඟම තියෙන විජිත යාපා පොත්හල, ඉතින් ඔන්න ඕකෙන් හැම සතියෙම චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පොතක් මට ලැබෙනවා. ඒක මම දවස් දෙකකින් විතර කියවලා ඉවරවෙලා අපේ ඩෝර්ම් එකේ (සයනාගාරයේ) වටේට යවලා තමයි ආපහු පොත ඇරගෙන කබඩ් එකේ දාගන්නේ. ඔය විදිහට අපේ අනිත් අය ළඟත් ගොඩක් පොත් එකතු වෙලා තිබ්බා. ඉතින් හැම දෙනාම සහයෝගෙන් පොත් කි‍යවනවා. ඒත් මෑතකදී නම් මට එක හොඳ පොතක්වත් කියවාගන්න බැරිවුනා. :( ඒත් මම ගිය අවුරුද්දේ තිබ්බ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනේට ගිහිල්ලා පොත් ගොඩක් ඇරගත්තා. මට මතක විදිහ‍ට මම අන්තිමට කියෙව්වේ හැරී පොටර් අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය. මම කියවපු ආසම පොත් අතර මම කලින් කියපු ආතර් කොනන් ඩොයිල් විසින් රචිත, චන්දන මෙනිඩිස් විසින් පරිවර්තිත ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොමයි, ගුණදාස අමරසේකර ශූරින්ගේ ගල් ‍පිළිමය හා බොල් පිළිමය ඇතුලත් කෙටි කතා පොත ඇතුලු එකී මෙකී නොකී පොත් කන්දරාවක් තියෙනවා.
    ඒ වගේම නිදහස් අදහස්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ අතීතයට අපි හැමෝම වාගේ ගෙනිච්චාට.

    ඒ වගේම…. අර බෙදිල්ලත් මරු! හෙට ඉස්කෝලේට ගිහිල්ලා අදහස දාන්න ඕනේ අපේ ගණිතඥයින් ‍සැට් එකට

    මරු මරු!! තව ලියන්න.

    Comment by සුපුන් සුදාරක — June 24, 2008 @ 7:30 pm

  14. @ මලින්ත – :) . ස්තූතියි.

    @ කාලිංග – පන්ති දාන්න පුලුවන්. හැබැයි දැන් නම් ගණන් බෑ. හරිම දුර්වලයි මම. :)

    @ සූ – ස්තූතියි සූ අක්කේ ප්‍රතිචාරයට. ඇත්තටම ඔයාගේ ප්‍රතිචාරය හරිම රසවත්. ඔයාගේ පොත් කියවීමේ ඇබ්බැහියට පින් සිද්ධ වෙන්න මටත් හොද පොත් ටිකක් ලැබුනා. අර “නුගෙගී” ගෙ “කුරුසියෙ ලූ යක්ෂයා” කියෙව්වම මාර හැඟීමක් ආවේ.

    ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මුල අවුරුදු වල ආසාවෙන් ගියත් පස්සෙ කාලේ මම යන එක නැවැත්තුවා. මොකද දැන් තද බදය වැඩියි. එතනට එන වැඩි පිරිස පොත් ගන්න එන, පොත් වලට ආදරය කරන අයට වඩා වැඩක් නැතුවට එතන රස්තියාදු ගහන්න එන්නෙ. ඒක නිසා මට එපා වුනා.

    @ දිලි – ස්තූතියි දිලි.

    @ සහන් – කරපු මෝඩ කම් වලට මම නම් මටම හිනා වෙනවා. ස්තූති ප්‍රතිචාරයට.

    @ සන්ජීව් – ස්තූතියි.

    @ තරිඳු – ස්තූතියි. මං ගාව ඉතුරු වුනා මොන්ත ක්‍රිස්තො සිටුවරයා පොත් පෙලේ දෙවන පොත. ඒ ඇර අනිත් පොත් එකක් වත් නෑ. කවුරු ලඟ තිබුනත් තාම කියවනවා ඇති. :)

    @ සිතුවිලි – ස්තූතියි. මරු බෙදිල්ලක් තමා ඒක. පිස්සු නැත්තං ෂෝක්. ගෝර්කි ගෙ කතන්දර හරි අගෙයි. “මගේ සරසවි” , “මිනිසුන් අතර” කියවන්න. තව “පොමා ගොර්දයෙව්” , “කමකට නැති එකකුගේ ජීවිත කතාව” (මේක මිලදී ගන්න දවසෙ මිත්‍රයො මට විහිලු කලා ” මේ උඹේ ජීවිත කතාව නේද” කියල :) ). කියවල බලන්න. ක්‍රමයක් තියේ නම් (ආපසු දෙන පොරොන්දුව පිට) “මගේ සටහන” හි මිත්‍රයන්ට ලබා දෙන්න පුලුවනි.

    @ අනුරාධ – ස්තූතියි අමතර කරුණු ලබා දුන්නට. අපි ඒ කාලේ ඒ ගැන අහලවත් තිබ්බෙ නෑ නෙ

    @ රාජිත – ස්තූතියි දැනුවත් කිරීම ගැන

    @ කසුන් – ඔයාගේ පුරුද්ද හරිම හොඳ , අගේ කල යුතු එකක්.

    @ පුබුදු – මගේ කරදරේට හරි හැම දාම “මගේ සටහන” කියවල යුනි කේත නැතත් අමාරුවෙන් හරි ප්‍රතිචාර ලබා දීමෙන් කරන දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි.

    @ සුදාරක – ඇත්තටම පොත් පිස්සුව කියන්නෙ නොකා නොබී කරන වැඩක්. යාලුවො හිනා වෙන්න ඉඩ තියෙනවා අදහස ගැන කිව්වොත්.
    @
    @

    Comment by නිදහස් අදහස් — June 26, 2008 @ 11:21 am

  15. මගේ සිංහල බ්ලොග් එකේ comment එකක් දම්මට බොහොම ස්තුති. පොත් ගැන මතක් කරද්දි සාමාන්යපෙල උසස්පෙල කරන කාලෙ පන්තියෙ පාඩම් උගන්වද්දිත් desk එක අස්සෙ තියාගෙන පොත් බලනවා. මේ ලිපියෙ තියන පොත් හුගක් ඒව මමත් හරිම අසවෙන් කියවපු පොත්. මොන්තො ක්රිස්තො සිටුවරයගෙ කතාව, අයේශා, ටාර්සන් ඒ වගෙම ශර්ලොක් හෝම්ස් රහස් පරේක්ෂක කතා 52.
    කේ. ජි. කරුණාතිලක මහත්මයගෙ පරිවර්තන කෘති හරිම රසවත්. ඒ මහත්මය නැති පාඩුව අදටත් හොදට දැනෙනනව. දැන් ඉතින් නිවාඩුවක් හම්බෙලා ගෙදර ගියාම තමයි පොත් කියවන්න අවස්තාවක් ලැබෙන්නෙ. එහෙටත් ලබන මාසෙ adsl ලබෙනව කිඅල නංගි කිව්ව. :|

    Comment by තිලිණ — June 26, 2008 @ 11:28 am

  16. අවුරුද්දකට කලින් ලියැවුනක් වුණත් මේක කියෙව්වට පස්සේ සටහනක් නොදා ඉන්න බෑ.
    ඒ කාලේ පිස්සුවෙන් වාගේ කියවපු පොත් ගැන මතකයන් ඉවරයක් නෑ. මං හිතන්නේ මම වරුණගේ ටාර්සන් යුගයටත්, සුදාරකගේ හෝම්ස් යුගයටත් අතරමැද පරම්පරාවක වෙන්න ඕනේ මොකද ඒ කාලේ දෙකටම පුදුම ඇබ්බැහියක් තිබුණේ.
    කේ ජී කරුණාතිලක ත්‍රාසජනක සිද්ධි අපූරුවට විස්තර කරද්දි අපි දවස් ගානක් ටාසන් සහ මිතුරන් එක්ක කැලේ ගත කළා.(අපේ අවාසනාවට සම්පූර්ණ කතා මාලාවම පරිවර්තනය කරන්න කලින් ඒ මහත්මයා අප අතරින් වියෝ වුණා. පස්සේ පරිවර්තකයන් ආවත් ඒ වගේ ලියන්න කාටවත් බැරි උණා).අපේ පොත් කල්ලිය හමු වුණ වෙලාවට අහන දකින සිද්ධිත් හෝම්ස් වගේ විස්තර කරන්න පටන් ගත්තා.
    අපේ පොත් කල්ලිය හමු වුණ වෙලාවට අහන දකින සිද්ධිත් හෝම්ස් වගේ විස්තර කරන්න පටන් ගත්තා. ටාසන් පොත් සියල්ලයි හෝම්ස් කතා හැටයි කියවලා තිබුණ අය හැටියට බොහොම උජාරුවෙන් කතා කළා. මේ පරීක්ෂණය තියෙන්නේ අහවල් පොතේ කියන්න පුලුවන් මතකයක් තිබුන අයත් හිටියා. හරිම සුන්දර මතකයක්..
    පස්සෙ විදර්ශන පාඨක ජාලයට සම්බන්ධ වෙලා (Pocket money ඔක්කොම වියදම් උනත්) සැහෙන පොත් කියවන්න හිමිකරගන්නම ලැබුණා.පාඨකයන්ට අඩු මිලට පොත් කියවන්න දෙන්න ගත්තු ඒ අපූරු අවංක උත්සාහය තවමත් තියෙනවද කියලනම් දන්නේ නෑ
    දැන් නම් කියවන්න හොඳ පොතක් හොයා ගන්නෙත් වෙලාව හොයාගන්නෙත් පුදුම අමාරුවෙන්.බ්ලොග් අවකාශයේ කියවන්නට ලැදි මිතුරන් පිරිස දැකීමෙන් ප්‍රමෝදයට පත් වෙලයි මේ සටහන දාන්නට හිතුවේ.

    Comment by Keheliya Bandara Gallaba | කෙහෙළිය බණ්ඩාර ගල්ලබ — June 20, 2009 @ 9:01 am


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.