දන්කෝ

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙනනෙ තිස් වන ලිපිය. ගිය සතියෙ ලිපිය ලිව්වෙ බොහොම කම්පනයෙන් යුතුව. ඒ කම්පනය කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. තුවාල වුනු ලංකාවෙ හදවත් වලින් ගලාගිය ලේ බිංඳු නිසා හැගීම් දැනීම් නැති යන්ත්‍ර බවට පත්වුනු මිනිස් ජීවිත නැවත යථා තත්වයට පත් වෙනකම් ඒ කම්පනය තියෙනවා. කොහොම වුනත් “මගේ සටහන” මෙතැන් සිට දිග හැරෙනවා.

ගිය සතියෙ බෝම්බයෙන් අපේ විශ්ව විද්‍යාලයෙ ප්‍රමාණ සමීක්ෂණය හැදෑරු සොයුරියකුත් , ඉංජිනේරු සොයුරෙකුත් සහ කටුබැද්ද තාක්ෂණික ආයතනයේ සිසුන් තිදෙනෙකුත් මිය ගොස් තිබුනා. ඒ ගැමුණු රත්නායක සොහොයුරාට අමතරව. මේ ඛේදවාචකයන්ගේ නිමාව කවදාදැයි ප්‍රශ්න කරනවාට වඩා එය නැවැත්තවීමට කල යුත්තේ කුමක්දැයි සොයන එක වඩා වැදගත් කියල මට හිතෙනවා. ඔය සිදුවීම් කාලය විසින් අමතක කර දමාවි. නමුත් ඒ තුලින් වඩා යහපත් සමාජයක ගොඩ නගන එක ගැන අපේ අවධානය යොමු කල යුතුයි.

සතියෙ කාර්ය බහුල කම එක්ක ගෙවිලා යද්දි නොයෙක් දේවල් මතක් වුනා. ළඟදි හොද පොතක් කියවන්න අවස්ථාව ලැබුනෙ නැති වුනත් එක පාරටම මම ආස කරපු කතාවක චරිතයක් මතක් වුනා. චරිතයේ නම “දන්කෝ” . මේ චරිතය තියෙන්නෙ මැක්සිම් ගෝර්කි ගෙ කෙටි කතාවක. “දන්කෝ” ගෙ චරිතය මතක් වෙන හැම වෙලාවෙම ඔහු වගේ මැරෙන්න ඇත්නම් කියල හිතෙනවා. “දන්කෝ” ගෙ චරිතයෙ කතාව එක්තරා අන්දමට වීර කතාවක් වගෙයි. ඒ කෙටි කතාව සිංහලයට පරිවර්තනය කරල තිබුනෙ විශිෂ්ඨ පරිවර්තකයකු වුන දැදිගම වී. රුද්‍රගූ ශූරින්. රුසියන් බසින් එතුම් සිංහලයට එම පරිවර්තනය කර තිබුනෙ. මම දන්නා තරමින් එතුමා මිය ගියේ රුසියාවේ සිටියදීම යි. ඒ කතාව මෙහෙමයි.

එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා යම් කාලයක. ඉතා සැහැල්ලුවෙන් දිවි ගෙවපු මේ ගෝත්‍රය වෙනත් ආක්‍රමණික ගෝත්‍රයක් විසින් අන්ධකාරය පිරුණු වනාන්තරයක් තුලට එලවල දමනමා. මේක බොහොම අඳුරු කෑලැවක්. බොහොම නිර්භය ගෝත්‍රයක් වුනත් මේ මිනිස්සුන්ගෙ ආත්ම දිරිය මේ කෑලැව විසින් සිඳ දමනවා. ඉර එළිය නොවැටෙන , ආශ්වාස කරන්න බැරි වායූන් පිට වෙන මඩ ගොහොරු සහිත මේ කැලෑව නිසා මිනිස්සු ලෙඩ වෙන්න පටන් ගන්නවා. ගැහැණු සහ ළමයි මිය යන්න පටන් ගන්නවා. අන්තිමේ දී මේ ගෝත්‍රය බොහොම දුක්ඛිත ඉරණමකට මුහුණ පාලා හිටියෙ. තමන්ගෙ ඉරණම නිසා මේ දේවල් සිදුවනෙවා කියල මොවුන් බොහොම උදාසීනව ඉන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙ තමයි “දන්කෝ” ඉදිරිපත් වෙන්නෙ.

“දන්කෝ” බොහොම නිර්භීත තරුණයෙක්. බොහෝ දෙනා ආක්‍රමණික ගෝත්‍රයට ගිහින් යටත් වෙලා වහලුන් ලෙස ජීවිතය රැක ගනිමු කියන කොට “දන්කෝ” ඒකට එරෙහි වෙනවා. ඔහූ කියනවා මොන තරම් විශාල වුනත් මේ කැලෑවෙ අවසානයක් ඇති. ඒක නිසා අපි කැලෑව අවසානය වෙනකම් ගමන් කරමු කියල. ඒ පාර හැම දෙනාම ඔහුට කිව්වා මග පෙන්වන්න කියල. ඉතින් මේ නිර්භීත “දන්කෝ” පෙරමුණ අරගෙන යන්න පිටත් වුනා. නමුත් මේ බිහිසුණු කැලෑව මේ ගමන අසීරු කලා. මඩ ගොහොරු වලට වැටිලා මිනිසුන් මිය ගියා. ඉක්මනට වෙහෙසට පත් වුනා. ඉර එළිය පොළොවට නොවැටෙන්න තරම් වැවුන ගස් පෙනුනෙ හරියට රාක්ෂයො වගේ. නමුත් “දන්කෝ” බය නැතුව ඉදිරියටම ගියා. නමුත් එන්න එන්නම ගමන අමාටු වෙනකොට මිනිස්සු “දන්කෝ” ට බනින්න පටන් ගත්තා.

“මේ පළපුරුද්දක් නැති, මෝඩ දන්කෝ නිසා අපිට මැරෙන්න වෙනවා” කියල මිනිස්සු කියන්න පටන් ගත්තා. මිනිස්සු කේන්ති අරගෙන “දන්කෝ” ට බනිනවා. නමුත් “දන්කෝ” කිව්වා ඔහුට දිරිය ඇති නිසා මග පෙන්වන බවත් ඔවුන් මෝඩ බවත් කිව්වා. එතකොට මිනිස්සු බොහොම කේන්තියට පත්වෙලා ඔහු වටේ එකතුවුනා. “දන්කෝ” ට තේරුනා ඔවුන් කේන්තිය නිසා තමන්ව මරන්න යන බව. එතකොට ඔහු වේදනාවෙන් කෑ ගැහුවා. “මගේ ජනතාව සඳහා මා කල යුත්තේ මොනවාද?”  ඒ වේදනාව නිසාම “දන්කෝ” තමන් ගෙ පපුව ඉරා දමලා හදවත එළියට අරගෙන ඔලුවට උඩින් උස්සලා පෙන්නුවා. ඇත්තටම ඒක ඉරටත් වඩා දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තා. අර කැලෑව එක පාරටම ඒ ආලෝකය ඉස්සරහ දමනය වුනා. මිනිස්සු ගිල ගන්න බලාගෙන හිටපු මඩ ගොහොරු හැංගුනා වගේ. අර රාස්සයො වගේ පෙනුන ගස් පැත්තකට වුනා වගේ දැනුනා. “ඉස්සරහට යමු” කියල “දන්කෝ” කෑ ගැහුවා. ඒ එක්කම ආලෝකයෙන් මෝහනය වුනා වගේ මිනිස්සු “දන්කෝ” එක්ක පිටිපස්සෙන් ගමන් කරන්න පටන් ගත්තා. ඒ යන අතරමගදිත් මඩ ගොහොරු වල ගිලිලා මිය ගියා. නමුත් ඉස්සෙල්ලා වගේ අඳෝනා නගන්නෙ නැතුව. අන්තිමේදී එක පාරටම අර මහ කැලෑව ඉවර වුනා. මිනිස්සු එළිමහන් බිමකට ආවා. ඉර බැබලුනා. ලස්සන ගහ කොල , තණ බිම් පිරුණු ප්‍රදේශයක්.  එතකොට මේ නිර්භීත “දන්කෝ” මිනිස්සු දිහා බලල ප්‍රීතියෙන් හිනා වෙලා බිම වැටිලා මැරුණා. ප්‍රීතියෙන් ඉව වහා ගිය මිනිසුන් අතරෙ හිටපු එක් කෙනෙක් දැක්කා බිම වැටුනු “දන්කෝ” ගෙ හදවත. ඒ කෙනා ඒක පාගලා නිවල දැම්මා. නමුත් එයින් ගිනි පුපුරු විසිරිලා ගියා. ඒක නිසා අදත් ස්ටෙප්ස් තණ බිම් වල විදුලි කොටන්න කලින් පුංචි ගිනි පුපුරු ඇති වෙනවා.

ඒ කතාවෙ වගේ “දන්කෝ” ලා සිය දහස් ගණනක් අපේ යුගයට අවශ්‍යයි. ඔය කතාව මතක් වෙන වාරයක් ගානේ මටත් දන්කෝ වෙන්නට තිබුනා නම් කියන එක දැනෙනවා. ආත්මාර්ථකාමීව හැසිරෙන්නෙ කොහොමද කියන එක පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත අපේ පරම්පරාවට දන්කෝ ගෙ කතාව විහිඵවක් වගේ පේන්න ඉඩ තියෙනවා. මම හැමදාම කියනවා වගේ එතනට අපේ පරම්පරාව ඇද දැමීමට වැඩිහිටි පරම්පරාව වග කියන්න ඕනේ. මට කලින් ජීවත් වූ පරම්පරාවල හැසිරීම , මගේ පරව්පරාවේ උදවියට සාප ගෙන දෙන ආකාරය ගැන උදාහරණ ඕනෙ තරම් හොයාගන්න පුලුවන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔය කතාව කිව්වෙ වර්තමාන ඛේදවාචක ඉස්සරහ බිහිරන්, ගොලුවන් වගේ බලා නොසිටිය යුතුයි කියන එක “මගේ සටහන” පාඨකයන් ගෙන් ඉල්ලන ගමන්.

සති අන්තය ගෙවිලා ගියා සුපුරුදු විදිහටම. මේ සටහන ලියනනෙ ඉරිදා දවාලේ. ඊයෙ හවස (සෙනසුරාදා) බ්‍රැඩ්බි කුසලානය සඳහා වන වාර්ෂික රගර් තරඟාවලියේ කොළඹ දී පැවැත්තවෙන තරඟය බලන්න ගියා. මේ තරඟය පැවැත්තවෙන්නෙ රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අතර. තරඟයේ මුල් විනාඩි දෙක ඇතුලත අපේ ක්‍රීඩකයන් ලකුණු ලබා ගත්තත් ඊට පසුව ඉතාම හොඳින් සෙල්ලම් කරපු ත්‍රිත්ව  විදුහල් කණ්ඩායම ලකුණූ 24 – 12 විදිහට ජයග්‍රහණය ලබා ගත්තා. මොනව වුනත් දෙපිලම ඉතා හොඳ තරගයක නිරත වුනේ රැස්ව සිටි ක්‍රිඩා ලෝලීන් පිනවමින්. අපේ පන්තිවල හිටපු සඟයො කිහිප දෙනෙක්ම තරඟය අතරතුර මුණ ගැහුනා. සාමාන්‍යයෙන් බ්‍රැඩ්බි තරඟය ක්‍රීඩා තරඟයක් වගේම පැරණි සඟයන් මුණ ගැහෙන තැනක්. නමුත් ඔය අතරෙ ප්‍රේක්ෂකයන්ගේ අවිනීත හැසිරීම නිසා බොහොම අවාසනාවන්ත විදිහට තරඟයට බාධා එල්ල වුනා. ඒක ක්‍රීඩාවට වගේම විදුහල් දෙක අතර පවතින සුහදතාවයටත් හානියක්. ඒ සිදූවීම වුනේ මම හිටිය ක්‍රීඩාගාර අන්තයේ. ජය පරාජය විඳගන්න බැරි එක්තරා අතකට රෝගී වුන පරම්පරාවක් බිහි වීමේ වැරැද්ද කා අත ද කියන එක මට තේරෙන්නෙ නෑ. දැන් අවුරුදු කිහිපයක පටන් ක්‍රීඩා තරඟවල මෙවැනි සිදුවීම් වැඩිපුර සිද්ධ වෙන්න පටන් අරගෙන. ගිය අවුරුද්දෙ මහනුවර කිංස්වුඩ් සහ ත්‍රිත්ව විදුහල් අතර තරඟයෙ දිත් මීට වඩා බරපතල සිදුවීම් සිදුවුනා. තරඟය ක්‍රීඩා කල ක්‍රීඩකයන් පවා තුවාල ලැබුවා ඒ සිද්ධිය නිසා. මෙවැනි දේවල් වලක්වන්නට කවුරුත් ඉදිරිපත් වන පාටක් පේනන නම් නෑ. එහෙම දෙයක් නොකෙරුනොතින් තිරිසන් බවට පත්වුනු මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්නට සිද්ධ වේවි. හැම දේම තමන්ට කෙලින්ම සිදු නොවෙන තෙක් පෞද්ගලික වැඩ කටයුතු වල නිරතව ඉන්න සමාජයකට එවැනි ඉරණමකට භාජනය වීම නවත්තන්නත් බැහැ.

හැම අතින්ම පිරිහෙන සමාජය තුල බලාපොරොත්තුවේ එළියක් හෝ පේන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක මේ සතියේ “මගේ සටහන” හමාර කරනවා. ලබන සතියේ නැවත හමුවෙමු.

Leave a comment

5 Comments

  1. සිතුවිලි

     /  June 16, 2008

    ඔබේ අද සටහනත් හරි අපූරුයි.”දන්කෝ” ගේ තථාව ගැන කියපු එකටත් ස්තුතියි. මම මගේ තැන ඉදලා අපි අපේ වෙන දවස ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්න කෙනෙක් මම. හැමදේම තමන්ගේ සිතුවිලි වලින් පටන් ගන්න පුළුවං නං අපිට මේ ආත්මාර්ථය ටිකකට හරි අපේ ජීවිත වලින් ඈත් කරගන්න පුළුවං වේවි. අපිට පුළුවං නං අපි තුල තියෙන ආත්මාර්ථය හදුනාගෙන එකෙන් ටිකක් හරි අත් මිදෙන්න අන්න එදාට මම අමතක වෙලා අපි මතුවේවි. ඔබට ජය.

    * Background එක ටිකක් කළු වැඩිද කියලා හිතෙනවා. කියවදුදි ටිකක් ආමාරුයි වගේ. අදහස් විමසලා බලන්න.

  2. “දන්කෝ” පවත කාලයට බොහොම ගැලපෙන බව පේනවා. ලිවීම ගැන පිං!

    ටික කලක ඉඳං තරඟ වල ඔවැනි කලහකාරි සිදුවීම් වැඩි බව නම් මාත් දුටුවා. ඒක පුරුද්දකට ගියොත් නම් හරි ම ඇවැඩක් තමා වෙන්නෙ.

  3. ඔබ කියන දේට මම එකඟ වෙනවා. ආත්මාර්තය වෙනුවෙන්ම ජීවත් වන, තමාගේ අසල්වැසියා දෙස සැම විටම සැකයෙන්ම බලන මේ වේදනාකාරී, ශාපලත් සමාජ ක්‍රමය වෙනස් කල යුතුමයි. එහි තර්කයක් නැහැ. ඒ වෙනුවෙන් කැපවූ සමාජ දේශපාලනික ව්‍යාපාරයක් අවශ්‍යයෙන්ම බිහිවිය යුතුයි. ඒ සඳහා අපට කල හැකි යමක් ඇත්නම් ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට පසුබට විය යුතු නැහැ.

    ‘දන්කොගේ හදවත’ ගැන ඔබ කිවූ දේට ස්තූතියි. ඇත්තටම අද අපේ සමාජයට නැත්තේ මඟ පෙන්වන්නෙක්. ඔබ කිවුවා වගේම මේ දන්කො ලා දහස් ගනනක් අවශ්‍ය වෙන කාලයක්…

  4. නිදහස් අදහස්

     /  June 20, 2008

    @ සිතැවිලි – ඔබේ අදිටන ගැන මගන් සුබ පැතුම්. පසුබිම ගැන කාණාව ඇත්ත. ඒක නිසා නැවත පරණ තේමාව භාවිත කලා

    @ අනුරාධ – ඔව්. දැන් දැන් මෙවැනි සිදුවීම පාසල් තරඟ වල බහුල වෙලා.

    @ කසුන් – වෙනස් කිරීමේ ව්‍යාපාර විටින් විට බිහි වෙනවා . අවශ්‍ය වන්නේ ඒවා නිවැරදි මාවතට යොමු කර ගැනීමයි.

  5. තරමක් පමා වුනත් මෙයත් කිව යුතුයැයි සිතුනා. ඔබේ සටහන දුටු පසු මමත් “දන්කෝ” ගැන කවක් සටහන් කලා. ලියා ටික කලක් වුනත් බ්ලොග් අඩවියට එක් කරන්නට සිතුනෙ මෙය දුටු පසුවයි. :) තුති!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.