“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හයවන දිග හැරීම. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම අපේ මිතුරු දිලින තව මාතෘකාක් වක් ගැන ලියන්න ආරාධනා කලා. ඒ ඉල්ලීම ඉක්මනටම ඉෂ්ඨ කරනවා. මේ සතියෙ මුණ ගැහුනු අපේ විශ්ව විද්‍යාල සඟයො සමහරු ඇහුවා මොකද එයාලා ගැන සහ අනිත් රසවත් සිදුවීම් ගැන ලියන්නනෙ නැත්තෙ කියලා. ලියන්න කතන්දර එමට තිබුනත් විශ්ව විද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ බයක් සැකක් නැතිවම ලියන්න කියල තමයි හිතාගෙන හිටියෙ. නමුත් ලැබෙන අල්ල පනල්ලෙ ටික ටික ලියල දාන්න තීරණය කලා ඉල්ලීම පරිදි. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. හැබැයි මේ සතියෙත් ලිවීමේ රටාව ටිකක් වෙනස් කරනවා වෙනදට වඩා. මොකද එකම දේ දිගටම කරන කොට එපා වෙන ගතියක් දැනෙන නිසා. ඒක නිසා ටිකක් කියවලා බලලා ඒ ගැනත් ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.
ශිෂ්‍යත්වය සමත් වී අලුත් පාසලට ගිය විගසම වාගේ මා කොහොමටත් උන්නේ මදක් මුලු ගැන්වී ගිය හැඟීමකිනි. කලින් වතාවක කිවූ පරිද්දෙන්ම පාසලෙ විශාලත්වය හා මුහුණ දීමට සිදුවූ වෙනස්කම් නිසා මා උන්නේ වික්ෂිපත වී යැයි කීම නිවැරදිය. මම අලු ගසා දමා කරළියට ආවෙ අටේ පන්තියේ පමණ දීය. ඒ කාලයේදී ටික ටික පරිසරයට හුරු වීමට මට හැකි විය. කෙසේ වෙතත් පාසලට ඇතුලත් වීමේ දී මගේ සිත් ගත් එක කාරණාවක් වූවේ පාසල සතුව පැවති ක්‍රීඩා පහසුකම්ය. කොහොමටත් බිග් මැච් එක ගැන මගේ තිබු ආසාව ගැන මම කලින් වතාවල කීවේමි.
සාමාන්‍යයෙන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ජයටම පැවැත්වෙයි. ඒ සඳහා එක් එක් ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් නිවාස අතර තරඟ වෙන වෙනම පැවැත්වෙයි.මගේ ප්‍රියතම ඉසව්ව වූයේ ක්‍රිකට් නිසා අපේ පන්තිවල සිටි ළමයි ක්‍රීඩා කරනු බැලීමට මම ගියේ බොහොම උනන්දුවෙනි. රූපවාහිනියෙන් ලෙදර් බෝල ක්‍රීඩා කරනු මම දැක තිබුනත් ජීවිතයේ හා හා පුරා කියා හැබැහින් ලෙදර් පන්දු ක්‍රීඩා කරනවා දුටුවේ එවිටය. කොට කලිසම් ඇඳගෙන සියලු ආම්පන්න දමාගෙන පිටියට බසින අපේ සම වයසේ ළමුන් ක්‍රීඩා කරනු දැකීම මා තුල විස්මයක් ඇති කලේය. එක ගොඩනැගිල්ලක් පමණක් තිබු පාසලක පහේ පන්තිය දක්ව උගත් මට ඒවා දැකීම කෙතරම් අරුමයක් වූවේදැයි කුමට කියම්ද?
මටත් ක්‍රිකට් ගැසීමට බොහොම ආසාවක් ඇති වුනත් ආම්පන්න වල මිල අධික නිසාත් , හවස පුහුණුවීම් වලට සහභාගි වී ගෙදර කැටුව යාමට අම්මාට කරදර කිරීමට අකමැති කමත් නිසා ක්‍රිකට් බැලීමෙන් පමණක් සෑහීමට පත් වුනෙමි. ඒ දිනවලත් අත්‍යවශ්‍යම ශරීර ආරක්ෂක උපාංගයක මිල රුපියල් තුන්සීයක් පමණ විය. ඒ කාලයේ එය සැලකිය යුතු මුදලකි. ඉදින් තරඟ නැරඹීම හැර වෙන විකල්පයක් නොවීය.ඒ දිනවල අප අයත් වයස් කාණ්ඩය වුනු අවුරුදු දහ තුනෙන් පහල වයස් කාණ්ඩයේ තරඟ ආරම්භ වන්නේ උදේ දහයයි තිහට පමණය. ඒ වේලාව අපිට විවේක කාලය ලැබෙන කාලය බැවින් පැය බාගයක් පමණ තරඟ නැරඹීමේ අවස්ථාව අපිට හිමි වෙයි. ඊට අමතරව හවස පාසල නිමාවී ගෙදර යාමට පාසල් වෑන් රථය පැමිණෙන තෙක් ටික වේලාවකට හෝ තරඟය බලන්නට අවස්ථාව ලැබෙයි.
හතේ පන්තියේදි මගේ සඟයකු නිවාසාන්තර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල බැවින් මම දැඩි උනන්දුවෙන් යුතුව තරඟය නැරඹීමට ගියෙමි. පන්තියේ දී එතරම් දැඟලිල්ලක් නැති මේ කොලුවා පිටියට පිවිසෙන විට මට පෙනුනේ වීරයෙකු මෙනි. තමන් මුහුණ දුන් මුල්ම පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරිය මගේ වීරයා ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු බිංදුවකට දැවී ගියේය. ඊට පසුව මම ඔහු වීරයා ගේ තත්වයෙන් සාමාන්‍ය කොලුවෙකු ගේ තත්වයට පහත හෙලා ඉතිරි තරඟ වල ක්‍රීඩා කරන අයුරු බලන්නට යෑමෙන් වැලකුනෙමි. නමුත් පසු කලෙක රාජකීය – සාන්ත තෝමස් නිල් මහ සටනෙදි ලකුණු එකසිය තිස් හතක් රැස්කර අලංකාර ශතකයක් ලබා ගැනීමට මේ මිතුරාට හැකිවිය. මට මතක හැටියට ඒ දෙදහස් හතර අවුරුද්දේ දීය. අවාසනාවකට මෙන් ඒ තරඟය නැරඹීමට මට යාමට නොහැකි විය.
එදා ඒ ශතකය රැස්කල සඟයා නමින් ධනුෂ්ක එදුස්සූරිය ය. මං දන්නා තරමින් ඔහු පාසලෙන් සමුගත් පසු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත. ඊට පසු අවුරුදු වලත් මගේ පන්ති සඟයෝ නිවාසාන්තර තරඟ වලදී ක්‍රිකට් ක්‍රීඩා කලෝය. සමහරු ශතක , අර්ධ ශතක ලබාගෙන දස්කම් පෑ අතර තවත් සමහරෙක් පිටියේදී දස්කම් දැක්වීමට අසමත්ව අප අතරට පැමිණ පුරසාරම් දෙඩූහ. ඉන් එක මිත්‍රයෙක් හැමදාම කීවේ තමන් දැවී ගියේ වැරදි විනිසුරු තීන්දු නිසා බවය. නමුත් විනිසුරු වරයා නැතිව ක්‍රීඩා කලත් ඔහුට ලකුණු ලබා ගත නොහැකි බව මගේ හිත කිව්වත් , හිතට එන සියලු දේ ඔහේ ඇද බෑම හොඳ නැති නිසා නිහඬව හිටියෙමි. බොහෝ අය විනිසුරු වරයාට චෝදනා කිරීම පහසු මාර්ගයක් කරගෙන තිබුනි. ඊට හේතුව වූයේ විනිසුරු වරයා ලෙස කටයුතු කරන්නේ ද පාසල් සිසුවකු වීමයි. ඉතින් අපිටත් විනිසුරු වරයා වැරදි තීන්දු දුන් බව පිළීගන්නට සිදු විය. නිවාසාන්තර තරඟ ගැන තිබූ අනිත් චෝදනාව නම් ලකුණු සටහන් කරන අය හොර ලකුණු එකතු කරන බවයි. කොහොමටත් තමන්ගේ පිලට ලකුණු කිහිපයක් වැඩිපුර එකතු කිරීම සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන විටත් කරන වැඩකි. එවැනි පොඩි පහේ කට්ටකම් නොකරන කොලු ගැටයන් ඉන්නේ බොහොම කලාතුරකිනි.
පාසල් වියේ අපේ සම වයස් සඟයකු තවත් වතාවත් අන්තර් පාසල් තරඟයක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කලේය. ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව වයස පහළොවෙන් පහල තරඟයකදී ඉමංක හෙට්ටිආරච්චි නම් වූ අපේ මිතුරා ලකුණු එකසිය අනූවක් රැස් කලේය. ඒ ඉනිමට හයේ පහර දහ තුනකුත් , හතරේ පහර විසි දෙකකුත් අන්තර්ගත විය. කොහොමටත් වේගයෙන් පන්දුවට පහර දීමට රුසියකු වූ ඔහු සැහැල්ලු පන්දුවෙන් පවා පොයින්ට් කලාපයට ඉහළින් හයේ පහර එල්ල කිරීමේ සමතෙකි. එවැනි ක්‍රීඩකයන් මා දැක ඇත්තේ ඉතාම කලාතුරකිනි. පසු කලෙක යගුලිය විසි කිරීමෙන් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් පිහිට වූ ඔහුට බිග් මැච් එක නියෝජනය කිරීමේ වරම නම් අහිමි විය.
පසු කලෙක මගේ මිතුරකු සමඟ එම ඉනිම ගැන සිහිපත් කලෙමි. එවිට මගේ මිත්‍රයා “එදා ඉමංක එකසිය අනූව ගැහුවෙ මං නිසා” යැයි කීවේය. මගේ මිත්‍රයාද කලක් පාසල් කණ්ඩායම නියෝජනය කල නමුත් එම තරඟයට ඔහු ක්‍රීඩා නොකල බැව් හොදාකාරවම දැන සිටි මම උඩ බිම බැලුවෙමි. පසුව මගේ මිත්‍රයා පැහැදිලි කල අයුරු කතාව මෙසේය. පාසල් ක්‍රීඩා පිටියේ එක පසක කෙහෙල් පඳුරු ගාලකි. දැන්නම් එය තිබෙනවාද දන්නේ නැත. කොහොම වුනත් එම ඉනිමේ ඉමංක එල්ල කල දැවැන්ත පහරකින් පන්දුව වැටී ඇත්තේ කෙසෙල් පඳුරු ගොන්නටය. පාසල නිම වී වෑන් රථය එනතුරු මගේ මිත්‍රයා තරඟය නරඹමින් හිඳ ඇත. සියලු දෙනා එකතු වී සොයා බැලුවත් අන්තිමේදි නැතිවූ පන්දුව සොයා ගෙන ඇත්තේ මගේ මිත්‍රයාය. එම නිසා ” එදා මම බෝලෙ හොයල දුන්නෙ නැත්තං ඉමංක ට එකසිය අනූව ගහන්න වෙන්නෙ නෑ” යි මගේ මිත්‍රයා මා හට පැවසුවේ බොහොම උජාරුවෙනි.
ඒ සියලු දෙනා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරතෙරටම ගියේ අටේ පන්තියෙ දි මගේ සඟයකු වූ ගංගනාත් රත්නායක යි. වසර පහක් බිග් මැච් ක්‍රීඩා කිරීමේ දුර්ලභ වරම හිමි කරගත් ඔහු ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කලේය. දෙදහස් හතර අවුරුද්දේ ෆර්වීස් මහරූෆ් නායකත්වය දුන් ශ්‍රී ලංකා පාසල් පිලේ උප නායකයා වුනු ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් හැමදාම තරඟ නැරඹුවා පමණක් මිස ආසාසවට හෝ ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමේ අවස්තාවක් නම් මට ලැබුනේම නැත. පසු කාලයේදී ඒ ආසාව උපන් ගෙයිම මිය යන්නට මම ඉඩ හැරියෙමි. සැබවින්ම කියතොත් මම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයකුද නොවූයෙමි. කාටවත් නොතේරෙන අයුරින් දස්කම් නොදක්වන ක්‍රීඩකයින් කණ්ඩායමේ තබා ගන්නා ශ්‍රී ලංකා තේරීම් කමිටුව අපේ පාසල් කණ්ඩායම තෝරන්නට පත් කර තිබුනානම් මා අවම වශයෙන් නිවාස කණ්ඩායමට හෝ තෝරා ගැනීමට තිබුනි. නමුත් අපේ පාසලේ වාසනාවකට මෙන් එවැනි අකරතැබ්බ සිදු නොවී මම තරඟ නරඹන්නකු බවට පමණක් වීමේන් සතුටු වුනෙමි.
එහෙමනම් ඉතින් මෙවර “මගේ සටහන” නිමා කරනවා සුපුරුදු සීමාවට පැමිණි නිසා. පරිහණකයේ ප්‍රශ්නය විසඳුන නිසා ඉරිදා උදේ වරුවෙම ලියල ඉවර කරන්න ඉඩ ලැබුනා. එහෙමනම් ලබන සතියේ නැවත හමුවන අදහසින් සමුගන්න අතරෙදි මේ දිනවල සිදුවන සමාජ ඛේදවාචකයන් නිසා නිතර සිහියට නැගෙන කියමනක් සටහන් තබනවා.
“යුගයේ මිනිස් හෘදය සාක්ෂිය යනු ලේ වැකුනු පා පන්දුවකි, අප කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”
රෝහිත භාෂණ අබේවර්ධන
හිරු කණ්ඩායම
