නිදහස් අදහස්

May 12, 2008

පුලුවන් තරම් හයියෙන්

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 12:44 pm

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි පස් වන සටහන. සුපුරුදු ඉරිදා හැන්දෑවේ වැඩේ පටන් ගත්තෙ කරදර ගොඩක් මැද්දෙ. මුලින්ම මගේ පරිගණකය වැඩ කරන්නෙ නැතිව ගියා. ඒ මදිවට බෝඩිමේ ඉවසන්න බැරි රස්නෙ. හොඳ වෙලාවට මිත්‍රයෙක් ගෙ පරිගණකය තිබුන නිසා වැඩේ කරගන යන්න පුලුවනි. ඒක හින්දා අපහසුතාවයෙන් තමයි සටහන ලියන එක කරගෙන යන්න වෙන්නෙ. ගිය සතියෙ සටහන කියවමින් දිරි ලබා දුන්න හැමෝටම මුලින්ම ස්තූතිය පල කරන්න ඕනේ. මීට පස්සෙ ප්‍රතිචාර වලට සම්බන්ධව ප්‍රතිචාර සටහනක් ඊට අදාලව තබන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

“මගේ සටහන” පසුගිය සතිවල ලියවුනේ නිශ්චිත මාතෘකා ඔස්සේ නෙවෙයි සමහර වෙලාවට. ටිකක් නොසන්සුන්තාවයෙන් ලිව්ව නිසා එහෙම වුනා කියල හිතෙන්නෙ. මේ සතියෙ නැවත වතාවක් “මගේ සටහන” පරණ පාසල් යන කාලෙ සිදුවීම් කිහිපයක් හාරවුස්සන්න කල්පනා කලා. පාසල් යන කාලෙ මීට පෙර සටහන් වල කිව්වා වගේ ගෙදරින් නිදහස ලැබිල තිබුනා අවශ්‍ය තරමට. ඒක නිසා ඇති තරම් විනෝද වෙන්න අවස්ථා ලැබුනා. සමහර සිදුවීම් නම් බොහොම හාස්‍යජනකයි. සමහර සිදුවීම් “මගේ සටහන” හරහා කියන්න අමාරුයි. මොකද ඒවා ප්‍රසිද්ධියෙ කියන්න බෑ. හරියට අර පේරාදෙණියෙ ගජසිංහ පාලම හා බැඳුනු කතාව වගේ.

පාසල් කාලය කියන්නෙ කොහොමටත් ටිකක් දගගකාර කම් වල යෙදුනු කාලයක්. ගිය සතියෙ මම කිව්වනෙ වෙසක් කාලෙට යන බයිසිකල් සවාරි ගැන. එක වෙසක් දවසක රෑ බෝ වෙලා මමයි තව මිත්‍රයෙකුයි වෙසක් සිරි නරඹන්න හිතාගෙන බයිසිකලයකින් පිටත් වුනා. අපි වැඩි දුරක් යන්න කලින් අපේ ගම් පලාතෙම තරුණයො දීපු දන්සලක් තිබුනා. අපි එතනට ළඟා වෙන කොට දන්සල දීලා ඉවර වෙලා කට්ටිය මහ හයියෙන් සින්දු දාගෙන පාර මැද්දෙ නටනවා. කොහොමහරි අපි එතනට ළඟා වෙනකොටම එක නටමින් හිටපු තරුණයෙක් බයිසකලය ඉස්සරහට පැන්නා. මගේ මිත්‍රයා කොපමණ උත්සහ කලත් හැප්පෙන්නෙ නැතුව බේරගන්න බැරිවුනා. පාර මැදට පැනපු එකාට තුවාල සිදු නොවුනත් මගේ මිත්‍රයට බිම ඇද වැටීම නිසා සැලකිය යුතු ලෙස තුවාල සිදු අන්තිමේදි සවාරිය අතරමග නතර කරල බොහොම අමාරුවෙන් ආපහු ගෙවල් වලට ආවෙ දන්සැල පවත්වපු තරුණ පිරිසෙ පරම්පරා ගණනාවකට හිතින් පිං දෙමින්. ඇත්තටම තමන්ගෙ නොසැලකිලිමත් කම නිසා සෙසු අයට සිදුවන අනතුරු ගැන ලංකාවෙ ඉන්න උදවියට නම් කිසිම තැකීමක් නෑ.

ඔය මම කියපු මිත්‍රයා එක්ක බයිසකලයෙන් යද්දි තව අමතක නොවන අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. මේ කියන සිද්ධි කිහිපය සිදුවන විට අපි හිටියෙ සාමාන්‍ය පෙළ පන්ති වල. ඒ කාලයේ සංගීත විෂය සඳහා අපි අමතර පන්තියකට සහභාගි වෙනවා. පන්තිය තිබුනේ නිවෙස් වලින් ටිකක් දුර බැහැර. අපි දෙන්නා යන්නෙ මිත්‍රයගෙ පා පැදියෙන්. වයලීන පිටේ එල්ලගෙන මාවත් නංවාගෙන මිත්‍රයා බයිසකලේ පදිනවා. ඔය විදිහට පුරුදු විදිහට දවසක් අපි යන්න පිටත් වුනා. සාමාන්‍යයෙන් අපෙ ප්‍රදේශයේ පාරවල් ටිකක් පටුයි. ඔන්න ඉතින් අපි එක පල්ලමක් තියෙන හරියකට ආවා. අපිට ඉස්සරහින් බස් ර්‍යයක් බොහොම වේගයෙන් යනවා. මගේ මිත්‍රයත් බස් එක පිටිපස්සෙන් ඇරල දාලා යනවා. නමුත් එක පාරටම පාරේ ප්‍රතිවිරුද්ධ දිශාවට වාහනයක් ආවා. වාහන දෙකට එක විට මාරු වෙන්න ඉඩ නැති නිසා බස් රථය එක තැන තිරිංග තද කලා. අපිට දෙලොව සිහිවුනේ එතකොට. මිත්‍රයගෙ බයිසිකලයේ බ්‍රේක් වැඩ කරන්නෙත් නෑ. බස් රථය හා අපි අතර වැඩි පරතරයක් තිබුනෙත් නෑ. මම කොච්චර බය වුනාද කියනවනම් මට හිතුනෙ ඉවරයි තමයි කියල. වාසනාවකට වගේ යන්තම් පාරෙ අයිනෙ කටු පදුරු ගොන්නකට බයිසිකලය යොමු කලා. මගෙ නම් බය වුන පාර ඇස් දෙක පියවුනා ඉබේටම වගේ. බස් එකේ හැප්පිලා හොම්බ සමතලා කරගත්තෙ නැතුව බේරුන අපි කටු පඳුරු ගාලෙන් එළියට ආවෙ අත පය හූරගෙන. හිටපු හැටියට මළා මදැයි කියල එදා නම් හිත හදා ගත්තා.

තවත් දවසක් පන්තිය අවසාන වෙලා මමයි මිත්‍රයයි ගෙදර බලා එන්න පිටත් වුනා. එදා ටිකක් වැස්ස දවසක්. මම පා පැදියෙ ඉස්සරහ වාඩිවෙලා වයලීනයත් එල්ල ගෙන ඉන්න නිසා මිත්‍රයට හරියට පාර පෙනෙන්නෙත් නැහැ. වැස්ස වැඩි වන්න කලින් ගෙදර එන්න තිබුනු උවමනාව නිසා අපි ටිකක් වේගයෙන් ආවේ. කොහොමහරි එක තැනකදි හිතා ගන්නත් කලින් මනුස්සයෙක් පාර මැදට පැන්නා. කිසි දෙයක් කරගන්න කරගන්න කලින් ඒ මනුස්සයා බයිසිකලේ හැප්පුනා. ඒ වෙලේ මෙයා හිටියෙ ටිකක් අරගෙන. ඒ කියන්නෙ බී මතින්. මේ කෙනාට තුවාලයක් සිදු නොවුනත් එයා අතේ තිබුනා බඩු මල්ල හිල් වෙලා බයිසිකලයේ වැදීම නිසා. ඒකේ තිබුන සීනි පාර්සලයක සිදුරක් හැදිලා බිමට වැටෙනවා. වැස්සට පාර තෙමිලා නිසා එකතු කරන්නත් බෑ. තමුන්ගෙ සීනී මල්ලට සිදු වුන අලහභානිය නිසා කේන්තියට පත් වෙච්ච මනුස්සයා අපිට කිව්වා “මල්ලි, පුලුවන් නම් තව ටිකක් හයියෙන් යනවා” කියල. ඒ පාර කට වහගෙන ඉන්න බැරුව මගේ මිත්‍රයා කියපි “පුලුවන් තරම් හයියෙන් තමයි ඕයි ආවෙ. මීට වඩා හයියෙන් යන්න බෑ” කියල. ඒ පාර අර මනුස්සයට අසූ හාරදාහටම තද වුනා. ඊළඟට අපේ හත් මුතූ පරම්පරාව ගැන ගුණ වර්නණාවක් අහගන්න කලින් අපි එතනින් ඉක්මනට ආවා. ඒ ආවේ බයකට එහෙමනම් නෙවෙයි.

ඒ දවස් සල අපේ අම්මා එහෙම ටිකක් බයේ ඉන්නෙ ඔය ගමන් බිමන් ගැන. මොකද මොන ජංජාලයක් කර ගනීද කියල කියල විශ්වාස නැති නිසා . කොහොම නමුත් පස්සෙ කාලෙකදි එහෙම සිදුවීම් වලට මුහුණ පෑවෙ නම් නෑ. කියන දේවල් නොතක ඉන්න එකෙත් පොඩි විනෝදයක් තියෙනවනෙ ඒ වයසෙදි. ඔහොම තමයි දේවල් සිද්ධ වුනේ ඒ කාලයේ. තවත් දවසක් බයිසිකලය පදින ගමන් මගේ මිත්‍රයා කිව්වා හැඩලය අල්ල ගන්න කියල. ඒකට සූදානම් වෙලා නොහිතපු මම අතින් සමබරතාවය ගිලිහිලා අන්තිමට පාර අයිනෙ තිබුන කාණුවක තමයි නැවතුනේ. ඒ පාරත් අත පය වල මඩ ගාගෙන බෙරුනා.

ආයෙමත් ඉතින් මේ දවස්වල ජීවිතේ දිහාවට ටිකක් හැරෙන්නයි සූදානම. තාම විශ්ව විද්‍යාලෙ පටන් ගත්ත ගමන් වගේ නිසා බරපතල විදිහටම වැඩ යෙදුනෙ නෑ තාම. ඒක නිසා දවසෙ වැඩි හරියක් මිත්‍රයො එක්ක මොකක් හරි කරමින් තමයි ඉන්නෙ. ගිය සතියෙ බැඩ්මින්ටන් ගැහුවා හිතේ හැටියට . මුලදි මම ඒක ඒ තරම් ආස ක්‍රීඩාවක් නොවුනත් පස්සෙ කාලෙකදි මට ආස හිතුන සෙල්ලමට. සාමාන්‍යයෙන් මම කැමති කණ්ඩායම් ක්‍රීඩා වලට. මොකද අනිත් ක්‍රීඩා ටිකක් කම්ැලි වගේ දැනුන නිසා. මොනව වුනත් දෙයක් කරල බලන්නෙ නැතුව හරිම නිගමනයක් දෙන්න අමාරුයි. හරියට ආදරය කරන එක වගේ තමයි. වතුරට බැහලම බලන්න ඕනේ පීනන්න.

සෙනසුරාදා රෑ කාලෙකට පස්සෙ හොඳ චිත්‍රපටියක් බලන්න ලැබුනා. ආයතනික පුහුණුව ලබල ඉවර වුනාට පස්සෙ ටික කාලයට චිත්‍රපට බැලීම මග හැරිලා තිබුනෙ. එදා බැලුවෙ සුප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක වරියක් වන දීපා මේතා ගේ “WATER” චිත්‍රපටය. මෙච්චර කාලයක් ඒ වගේ විශිෂ්ඨ චිත්‍රපටයක් නරඹලා නොතිබුන එක ගැන නම් පසුතැවිල්ලක් ඇති වුනා. පුරුෂාධිපත්‍යය විසින් අසරණ කරනු ලැබූ පෙරදිග සමාජයේ ඛේදවාචකයක් ගැන කතා කරන එම චිත්‍රපටය ලාංකේය සමාජයටත් අඩු හෝ වැඩි වශයෙන් අදාලයි කියල මට හිතුනා. මිනිසුන්ගේ මූලික විඳීමේ අයිතියට එරෙහිව නැගී සිටින්නට සමාජයක් වශයෙන් පෙළඹිය යුතුයි. නැත්තම් ඒක මිනිසත් කමට වුනත් කරන නිගාවක් වගෙයි.

ඊට අමතරව මේ දවස්වල වැඩිපුරම කලේ බ්ලොග් කියවන එක. සිංහල , ඉංග්‍රීසි දෙවර්ගයේම බ්ලොග් මේ දවස් වල කියෙව්වා හිතේ හැටියට. නමුත් බොහොම දුකට හේතු වන විදිහට සිංහල බ්ලොග් කරුවන් මොකද්දෝ නිහඬතාවයකට එළඹිලා තියෙනවා වගේ පෙනෙනවා. හේතුව මොකක් වුනත් සියලුම බ්ලොග් කරුවන්ගෙන් නැවත සුපුරුදු පරිදි ලියන ලෙස ඉල්ලා සිටිනවා. නැත්තම් මොකද්දො පාලු ගතියක් දැනෙනවා. මොනව වුනත් දැන් ඉස්සරට වඩා සිංහල හා ඉංග්‍රීසි බ්ලො කරුවන් අනෙත් බසින් ලියවෙන අඩවි ගැන දක්වන උනන්දුව වැඩි වෙලා. විශේෂයෙන්ම සිංහල බ්ලොග් කරුවන් තමන් කියවන බ්ලොග් ලැයිස්තුවට ඇතුලත් කරගෙන ඉන්න ගවීන් සහ අපේ මිතුරු දිලින ට ස්තූතිය පල කරන්න ඕනේ.

යන්තම් ඉතින් “මගේ සටහන” වචන සීමාවට ආවා. එහෙමනම් ඉතින් ලබන සතියේ කරදර නැතිව ලියන්න වට පිටාව සැකසේවි කියන බලාපොරොත්තුව ඇතිව සමුගන්නවා. ලබන සතියේ හමුවෙමු.

6 Comments »

  1. Good one friend.. Interesting..

    Comment by Dilshi — May 12, 2008 @ 1:10 pm

  2. නියමයි! :)
    සිංහල බ්ලොග් කියවනය ආරම්භ කරපු බව දන්නවනෙ නේද?
    Water නම් ඇත්තටම නියමයි. මට ඒක නිකුත් කරපු දවස් වලම vcd එකක් හොයාගන්න ලැබුණා.

    Comment by මලින්ත — May 12, 2008 @ 4:34 pm

  3. As usual, nothing short of brilliant. :) Loved it.

    Off Topic:
    TAG! You’re next :)

    Comment by Dili — May 15, 2008 @ 7:11 pm

  4. @ Dilshi :- හැමදාම වගේ ඔබෙන් ලැබෙන දිරියට තුති.

    @ Malinthe :- සිංහල බ්ලොග් කියවනය ආරම්භ කරපු එක ගැන ඉතා සතුටුයි. Water අති විශිෂ්ඨයි.

    @ Dilina :- ස්තූතියි දිලින.

    Comment by නිදහස් අදහස් — May 16, 2008 @ 9:48 pm

  5. බොහෝ කලකිනි කියවන්න ඇසිල්ලක් හොයා ගත්තේ. මල්ලී, එක එල්ලේ කියවගෙන යන්න පුළුවන් සටහන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්

    ඔබ දිලින සහ ගවින් ගැන කියූ කතාවට මමත් 100% එකඟයි. සිංහල බ්ලොග්, ඉංග්‍රීසි බ්ලොග් හරි හරියට ලියවෙද්දී, ඒ අය අතරේ අප වැනි බ්ලොග් කරණයට නවකයින් හට නිරතුරු සවියක් දෙන, ලියන දේ කියවා ප්‍රශංසා කරන ඔවුන් දෙදෙනා අගය කළ යුතුමය.

    water චිත්‍රපටිය මටත් බලන්න ලැබුනේ පසුගිය නත්තල් නිවාඩු කාලේ, ඒ තරම් පහත් මට්ටමක් ලාංකික සමාජය තුල කාන්තාවට උරුම නෑ කියලයි මට හිතෙන්නේ, ඒකට බුදු දහමෙන් හැඩවුනු මාතෘ මූලික සමාජ ආචාර දර්ම ඉවහල් වෙන්නත් ඇති. ඒ අතින් අපි වාසනාවන්තයි. නමුත් ඒ අතරේ එහෙම නැතැයි කියලාම තර්ක කරන්නත් බෑ, ඒත් අපේ ජන සමාජය තුල, සති පූජා, සැමියා මළ ගැහැණුන් කොන් කිරීම හෑල්ලු කිරීම සමාජෙන් නෙරපීම, වගේ දේවල් නම් තිබුනේ නෑ නේද ? අපේ රටේ ගැහැණු රජකම් පවා කලා නොවෙද ?

    Comment by Bo — May 17, 2008 @ 2:22 pm

  6. @ BO :- නමුත් වර්තමාන සමාජය ඇතුලෙදි කාන්තාව අඩු හෝ වැඩි වශයෙන් පීඩනයට ලක් වෙනවා කියලයි මම හිතන්නෙ. ඒක ටිකක් දේශපාලනික ගතියකුත් තියෙනවා. කාන්තාව දේපලක් ලෙස මානසිකව හා භෞතිකව පරිහරණය කරන ලාංකේය පිරිමියා ඉදිරියෙ එම තත්වය ඇති වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. අපේ සමාජය තුල පීඩාවේ ආකාරය වෙනස් වෙන්න පුලුවන් . නමුත් එය තුල පීඩකයා හා මතවාද වල හැසිරීම එකමයි කියල හිතෙනවා.

    Comment by නිදහස් අදහස් — May 17, 2008 @ 9:18 pm


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.