“මගේ සටහන” ලියවෙන්නෙ මේ විසි වෙනි සටහන. ගිය සතියෙ සටහනට වෙනදට වඩා ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුනා. කොහොම නමුත් විසිවන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.
“මගේ සටහන” වෙනදට ලියවෙන්නෙ ඉරිදා හවස් වරුවෙ වුනත් රෑ බෝ වන තුරු වැඩේ කල් ගියා. ඊට ප්‍රධාන හේතුව වුනේ අද දවස තුල අසන්නට වුනු ඛේදජනක සිදුවීම් නිසා. අද උදයේ සිදුවුන බෝම්බ පිපිරීම නිසා සිවිල් වැසියන් ගණනනාවක් මිය ගියා. ඒ අතර අපේ ගම් ප්‍රදේශයේ වාසය කල කේ.ඒ . කරුණාරත්තන මහතා ද වුනා. මැරතන් ක්‍රීඩාව හා බැඳුනු නමක් වුන කරුණාරත්න බොහොම නිහතමානී මනුස්සයෙක්. දෙල්ගොඩ පිරිවෙනෙ හි අධ්‍යාපනය ලබන කාලයේ ඔහු අපේ තාත්තා ගේ ගෝලයකු වුනා. තාත්තා ගේ අවමගංගල සභාවේ ඔහු කතාවක් පැවැත්වූ බව පුංචි අවධියේ වුනත් මගේ සිතේ රැඳී තිබුනා. “මැරතන් කරූ” යන නමින් ලංකාව පුරා පතල වුනු ඔහු හැම දෙනාගේම සිත් දිනාගත්ත මිනිසෙක්.
එක්දහස් නවසිය අනූ එකේ අවුරුද්දේ දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙ දී ඔහු මැරතන් ඉසව්වවේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා නාමය ඉහළින් රඳවමින්. ඇත්තටම මේ සිදුෟවීම නිසා අපේ ගම් ප්‍රදේශයම කම්පාවට පත්වුනා. දේශපාලනික වශයෙන් ඉදිරියට නොගොස් ම්ලේච්ඡත්වයට මුල් තැන දුන් ත්‍රස්තවාදීන් හමුවේ ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කොතැනටදැයි සිතා ගැනීමටත් බැහැ. ඇත්තටම ඔය සිදුවීම් නිසා “මගේ සටහන” ලියන එක පවා ඕනැවට එපාවට වගේ පටන් ගත්තෙ.
මේ සති අන්තයත් ගෙවිල ගියා. සෙනසුරාදා දවස ගෙවිල ගියේ නුවර නගරයේදි. සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ගැන දැනුවත් කිරීමට හා ප්‍රචාරය කිරීමේ අරමුණු ඇතිව සංවිදානය කල වැඩ සටහනකට සහභාගි වෙන්න තමයි නුවර ගියේ. මෙතෙක් කලක් අන්තර්ජාලය හරහා පමණක් මුණ ගැසී තිබුනු ආනන්ද වර්ධන , බුද්ධික, කාලිංග සහ මීට කලින් වතාවක මුණ ගැසුනු මලින්ත මලයත් හමු වුනා සෙනසුරාදා දවසෙ. අපි එදින කලේ නුවර නගරයේ තෝරා ගත් ස්ථාන වල දී මැරතන් ඉසව්ව ගැන ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා සහ ස්ටිකර් බෙදා දීම. අපේ උත්සහය ඒ තරම්ම අපේ ගියෙත් නැහැ. යම් තරමක සාර්ථකයත්වයක් ලබා ගන්න පුලුවන් වුනා. ඒ අතරෙ දළදා මාලිගාව දිහා හැරිලවත් බැලුවෙ නැති වුනත්, බුද්ධික සහෝදරය මල් ලක්ෂයයක් පූජා කිරීමේ පින් කමකට සහභාගි වෙනවාදැයි අපට සැක හිතෙන තරමට දවස පුරාම මල් කැඩීමේ නිරත වුනා. ඇත්තටම ඒක දැකල බැති බර වුන අපේ මලින්ත මලයගෙන් ඉබේම සාදුකාර පිටවුනා.
මලින්ත මලය නුවර දි කරපු කියපු කතා මෙහි පල කරන්න එපයි කියල කියපු නිසා ඒ ගැන කියන්නෙ නෑ. සමේ පැහැපත් භාවයට හානි සිදුවෙයි කියල කාලීංග නම් අව්වේ ඇවිද යාම ගැන දැඩි විරෝධය පල කලා. ඔය අතරෙ ආනන්ද වර්ධන ත් බොහොම උන්නදුවෙන් ප්‍රචාරක කටයුතු වල නිරත වුනා. අන්තිමේදි සිැයලු වැඩ කටයුතු නිමා කරල සෙනසුරාදා හවස් වරුවෙම ගෙදර බලා එන්න පිටත් වුනා. නුවර ගිය වෙලාවට මම කවදත් යන්න ආස කරන පේරාදෙණිය සරසවිය ට නම් මේ වතාවෙ යන්න අවස්ථාව නොලැබීම නිසා පොඩි දුකකුත් ඇති වුනා.
නුවර නගරය නම් බොහොම රස්නෙයි මේ දවස්වල. මේ දවස් වල දවල් වරුවට වැඩිය එළියට බැහැල ඇවිදින්නෙ නැති නිසා දෝ බොහොම වෙහෙසක් දැනුනා අපිට. ඒ මදිවට කාලෙකින් සැලකිය යුතු දුරක් ඇවිදීම ත් හොඳ ව්‍යායාමයක් වගේ වුනා. මොනව වුනත් නුවර නගරයේ ගැවසෙන ජනකායට ප්‍රමාණවත් තරමින් නගරය විශාල නොමැති කමින් මට නම් ඇතිවුනේ බොහොම අපහසුතාවයක්. නගරයයේ ඒ තියෙන අපිළිවෙල ගතිය නිසාවෙන් දෝ මට නම් නොසතුටක් දැනුනා.
නිමා වන සතියෙ සිකුරාදා අපේ “ආයතනික පුහුණුව” නිමා වුනා. සති විසි හතරක කාලය ගෙවිලා ගියේ අපටත් තේරෙන්නෙ නැතිවම වගේ. ඒ කාලය තුල තමයි “මගේ සටහන” ලියන එක ආරම්භ කලේ . සැලකිය යුතු තාක්ෂණික දැනුමක් ලබා ගත්තා වගේම පරිබාහිර කටයුතු වලටත් දායක වුනා මේ සති විසි හතර තුල, විශ්ව විද්‍යායලට වඩා එක්තරා අතකට සැහැල්ලු වාතාවරණයක ඉන්නට ලැබීම එක අතකට ශරීර සෞඛ්‍යයට නම් හොඳ දෙයක් වුනා. ආයෙමත් තව සති දෙක තුනකින් විශ්ව විද්‍යාලෙ යන්න වෙනව.
අන්තිම සතියෙදි නම් තදින් වැඩත් යෙදී තිබුනා. ඒ හේතුව නිසාම මගේ චිත්‍රපටි බැලීමේ විනෝදාංශය කරන්නත් බැරි වුනා. අවුරදු කාලය තුල බලන්න චිත්‍රපට සූදානම් කරගෙන තියෙන්නෙ. විවේකයක් ලැබෙන තුරු තමා දැන් බලාගෙන ඉන්නෙ. ගිය සතියෙ දවසක ගිහින් කාලෙකට පස්සෙ කියවන්න පොත් පත් කිහිපයකුත් ගත්තා. ඒ අතරින් Jerome K. Jerome කියන ලේඛකයගෙ Three men in the boat කියන පොතේ සිංහල පරිවර්තනයත් ගත්තා. එය පරිවර්තනය කරල තිබුනෙ “තේම්ස් නදියෙ සවාරියක්” යන නමින් ජනක මහබෙල්ලන නම් ලේඛකයා එය සිංහලයට නගා තිබුනා. ඒ පොත කියවීමෙන් නම් ඉළ ඇට ඇදෙන කම් හිනා වුනා.
සාමාන්‍යයෙන් මම පොතක් කියවන විට මහ හඬින් සිනා සෙමින් උපරිම ලෙස රස විඳිනවා. සිනා සෙන්න අවස්ථාවක් ලැබුන විට සිත් සේ සිනා සිය යුතුයි. ඒ හේතුව නිසා පිටස්තර කෙනෙක් මම පොත් කියවන ආකාරය බලාගෙන ඉන්න කෙනෙක් “මේ යෝධය ට පිස්සු ද මන්ද?” කියල හිතන්නත් ඉඩ තියෙනව . ඔන්න ඔහොමයි මම පොත් කියවන්නෙ. එහෙමනම් මේ සතියෙ “මගේ සටහන” නිමා කරන්නයි සුඋදානම. වෙනද ලියන ප්‍රමාණයට සාපේක්ෂව බොහොම අඩුවෙන් තමයි ලියවුනෙ. ලබන සතියෙ සුපුරුදු ප්‍රමාණය ලියන අදහසින් සමුගන්නවා. ලබන සතියේ නැවත හමුවෙමු.
